අද සමාජයේ පුරුෂයාට වඩා කාන්තාව නින්දා අපහාසවලට බහුල ලෙස ගොදුරු වෙනවා. දරුවෙක් වැරැද්දක් කළත් අම්මා බැණුම් අහනවා. ස්වාමියා වැරැද්දක් කළත් බිරිඳ සමාජයෙන් දොස් අහනවා. ‘කාන්තාව දෙසට දිගු වන ඇඟිල්ල ඉදිරියේ ඇය කටයුතු කළ යුත්තේ කෙසේ ද? අසාධාරණ සමාජයේ සාධාරණත්වයක් සෙවීම කෙතරම් කාලෝචිතද? සාධාරණය සෙවීම තුළින් සිදුවන්නේ තමන් තව තවත් පීඩාවට පත් වීම පමණක් නොවේ ද? තමන් නොසිතපු මොහොතක, නොකරපු වරදකට බොහෝ නින්දා අපහාස විඳීමට සිදු වූවොත් කෙසේ එයට මුහුණ දිය යුතු ද?’ කියා මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ අප සාකච්ඡා කළා.
පින්වත් මෑණියන් වහන්ස, යම් කාන්තාවක් නොකළ වරදකට සමාජයෙන් බොහෝ නින්දා අපහාස ලබනවා. එවිට ඇයට සිතෙනවා ‘මොන පාපයක් නිසා මම මෙතරම් අපහාස විඳිනවා ද?’ කියා. ඇත්තෙන් ම නොකළ වරදකට කෙනෙක් එසේ නින්දා අපහාස විඳින්නේ ඇයි?”
මේ සසරේ ස්වභාවය තමා දුක් පීඩා උරුම කර දීම. සසර ගමනේ අනන්ත ජීවිතවල අප නොකළ වැරදිවලට නින්දා අපහාස ලබා තිබෙනවා. වර්තමානයේත් මිනිස් ලෝකයේ ඉපදිලා අප නොකළ දෙයකට නින්දා ලබනවා වෙන්න පුළුවන්. ඒක සසරේ ස්වභාවය යි.
දිනක් භාග්‍යවතුන් වහන්සේ අතුල කියන උපාසකට වදාළා ‘පින්වත් අතුල, අතීතයේ සිට තිබෙන කාරණයක් තමයි නිශ්ශබ්දව සිටියත් බැණුම් අහන්න වෙනවා, වැඩිපුර කතා කළත් බැණුම් අහන්න වෙනවා, ප්‍රමාණය දැනගෙන කතා කළත් බැණුම් අසන්න වෙනවා. එනිසා නින්දා නොලද කෙනෙක් මේ ලෝකයේ නැහැ” කියා.
එසේ නම් අප තේරුම් ගත යුතුයි මේ ලෝකයේ ඉපදුණ සෑම කෙනෙක් ම නින්දා ලබනවා කියන දේ ධර්මතාවයක්. අපගේ භාග්‍යවතුන් වහන්සේ කියන්නේ නින්දා නොලැබිය යුතු, ප්‍රශංසා පමණක් ලැබිය යුතු උතුමෙක්. නමුත් උන්වහන්සේ පවා නොකළ වරදට නින්දා අපහාස ලැබුවා. වරක් මිසදිටුවන් විසින් සුන්දරී කියන කාන්තාව ඝාතනය කරලා ජේතවනාරාමයේ මල් ගොඩේ සැඟවූවා. ඒ දේ භාග්‍යවතුන් වහන්සේ කළේ නැහැ. නමුත් උන්වහන්සේ නොකළ දෙයට නින්දාව ලැබුවා. චිංචිමානවිකාව භාග්‍යවතුන් වහන්සේට චෝදනා කළා. ඒ සා පාරිශුද්ධ, ඒ සා මහානුභාවසම්පන්න, ඒ සා පිනෙන් පිරුණු, අකුසල් කියන දේ ජීවිතය තුළ නැති, කර්ම සියල්ල ක්ෂය කළ ඒ භාග්‍යවතුන් වහන්සේට පවා නින්දා ලැබුණා. එහෙනම් සාමාන්‍ය සත්වයන් වන, කර්මයෙන් නිදහස් වෙලා නැති, ජීවිතය මහානුභාවසම්පන්න කරගෙන නැති අපිටත් නොකළ වරදට නින්දා එන්න පුළුවන්. ඒක ලෝක ධර්මතාවයක්. ලාභ – අලාභ, නින්දා – ප්‍රශංසා, යස – අයස, සැප – දුක කියන අටලෝ දහමින් පැන ගොස් බේරෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකයේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ, මහරහත් උතුමන්, රජවරු, සිටුවරු ආදී සියලුම දෙනා නොකළ වැරදිවලට නින්දා අපහාස වින්දා. තාමත් විඳිනවා.”
“යම් කාන්තාවක් බොහෝ නින්දා ලබනවා. නමුත් ඇය ඉවසනවා. එසේ ඉවසන කාන්තාව සමාජයට දෙන පණිවිඩය කෙබඳු ද?”
“සාමාන්‍ය සමාජයේ දී පුරුෂයෙකුට වඩා කාන්තාවකට එල්ල වෙන නොයෙක් පීඩන, අපහාස චෝදනා බහුල යි. ඒක සාමාන්‍ය ලෝකයේ ස්වභාවයක් වෙලා. දියණියක් වේවා, තරුණියක් වේවා ඇය අඳින ඇඳුම, යන එන ආකාරය, කතාබහ කරන අය, ඇසුරු කරන අය පිළිබඳව නොයෙක් ආකාරයෙන් නින්දා අපහාස එන්න පුළුවන්. විවාහක කාන්තාවක් වුවත් නිරපරාදේ සැමියාගේ සැකයට භාජනය වෙලා ඥාතීන්ගේ නින්දාවට පත් වෙන්න පුළුවන්.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොඇසූ තැනැත්තියක් මෙවැනි අවස්ථාවක බොහෝ කම්පාවට පත් වෙනවා. ‘ඇයි මට මෙහෙම වුණේ?’ කියා මානසික ව විඳවනවා. බොහෝ කාන්තාවන් එයට ප්‍රතිචාර දක්වන්න උත්සාහ කරනවා. එවිට ඇගේ තිබෙන ප්රශ්නය දෙගුණ තෙගුණ වෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකාවක් නම් ඇය කළ යුත්තේ ප්රශ්නය ඇති වූ මුල සොයා ගැනීම යි. බෞද්ධ කාන්තාවක් සංවර විය යුතු සීමා තිබෙනවා, ඇසුරු කළ යුතු පුද්ගලයන් සිටිනවා, ලෝකයාගේ දෑස් නිතර ම තමා වෙත එල්ල වී තිබෙන බව ඇය මතක තබාගත යුතු වෙනවා. එවැනි දේ ගැන බුද්ධියෙන් කල්පනා කරලා කටයුතු කරනවා නම් ගැටලු උපදින්නේ නැහැ. සමහර දේ සිදුවන්නේ කර්මානුරූපීවයි. කිසිම සාධාරණයක් නැතිව නින්දා අපහාස එල්ල වෙනවා. එක ප්‍රශ්නයක් ඉවර වෙලා ටික කලක දී තවත් ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ සෑම විට දී ම ශ්‍රාවිකාව ශාස්තෘන් වහන්සේගේ ධර්මය මෙනෙහි කරලා මනාව ඉවසනවා නම්, ප්‍රශ්නයත් සමඟ එකතු නොවී සිටිනවා නම් සසරේ ස්වභාවය හඳුනාගෙන ජීවිතය තේරුම් ගන්නවා නම් ඇය තමාගේ ජීවිතය දිනුවා වෙනවා. ඇය සමාජයට ආදර්ශයක් දෙනවා. ටික කාලයක් යද්දී සමාජය ම තේරුම් ගන්නවා ඇගේ නිවැරදි භාවය. එනිසා, යම් ප්‍රශ්නයක් ආ විට ඇවිස්සිලා කෑ ගහලා, දරුණු ආකාරයට ප්‍රතිචාර දැක්වීමෙන් සිදු වන්නේ ප්රශ්නය උඩු දිවීම පමණ යි. බොහෝ විට ඊර්ෂ්‍යාව නිසා, ලාබ සත්කාර නිසා, පැරණි අමනාපයක් නිසා නොකළ වරදකට නින්දා අපහාස ලැබෙනවා නම් ඒ දෙස උපේක්ෂාවෙන් බලන්න ඔබ පුරුදු වෙන්න. එවිට ඔබ අනෙක් කාන්තාවන්ට ආදර්ශයක් බවට පත් වෙනවා. ආශීර්වාදයක් බවට පත් වෙනවා. එනිසා යම් කාන්තාවක් තමාගේ ජීවිතයේ එවැනි දුෂ්කර අවස්ථාවන්හි දී ඉවසීමෙන්, ශක්තිමත් ව මුහුණ දුන්නොත් පසු කාලයක දී ආපසු හැරී ජීවිතය බලද්දී ඇයට ජීවිතය ගැන සතුටු වෙන්නත් පුළුවන්.”
“නොකළ දෙයකට එක දිගට ම නින්දා අපහාස විඳින්න වෙන්නේ පෙර කර්මය නිසා ද?”
“අපිට විපතක්, දුකක්, කරදරයක් ආ විට මුලින් ම මතක් වෙන්නේ කර්මය. නමුත් හොඳ දෙයටත් කර්මය බලපානවා. සමහර කාලවල දී අපි කරන සියලු දේ හරියනවා. පවුලේ සියලු දෙනා ලෙඩක් දුකක් කරදරයක් නැතිව ඉන්නවා. දරුවෝ හොඳින් ඉගෙන ගනිමින් මව්පියන්ට කීකරුව ඉන්නවා. එතකොට අපට සිහිපත් වෙන්නේ නැහැ ‘අනේ මට මේ පෙර කර්මයක් ඵල දීලයි තිබෙන්නේ’ කියලා. දුක පමණක් නොවේ කර්මය කියන්නේ. සැපත් කර්මයක්. නොකළ දෙයකට නින්දා ලැබෙනවා නම් අපට සමහර විට කර්ම විපාකයක් තිබෙන්න පුළුවන්. නමුත් හැම නින්දාව ම කර්මය නිසා සිදුවන්නේ නැහැ. යම් තරුණියක් නිතර ම රාත්‍රි කාලයේ ගමන් බිමන් යනවා. එතකොට කෙනෙකුට ඇය ගැන සැකයක් ඇතිවෙන්න පුළුවන්. එවිට ඇය නොකළ දෙයක් වෙනුවෙන් නින්දා ලබන්න පුළුවන්. කාන්තාවකට නොගැළපෙන යම් දෙයක් ඇය කරනවා නම් නින්දා අපහාස එන්න පුළුවන්. කෙලෙස් සහිත පුද්ගලයාගේ ස්වභාවය තව කෙනෙක් දෙස නුගුණ සිතින් බැලීම. එනිසා අපේ ජීවිතවල බොහෝ විට ප්‍රශ්න උපදින්නේ අපි කල්පනා කරන රටාව අනුව යි. නැතිනම් තමන් කරන කියන දේ අනුසාරයෙන් වෙන්නත් පුළුවන්. නැතිනම් තමන්ගේ කර්මයක් බලවත් වීම නිසා එසේ නොකළ දෙයකට අපහාස විඳිනවා වෙන්නත් පුළුවන්.
බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ සිටි කුණ්ඩධාන තෙරුන් වහන්සේටත් එසේ පෙර කර්මයක් ඵල දුන්නා. උන්වහන්සේ පිණ්ඩපාතයේ වඩිද්දී කාන්තාවක් පසුපසින් ගමන් කරනවා පෙනෙනවා. කුටියේ වැඩ සිටිද්දී අන් අයට පේනවා කාන්තාවක් කුටියේ එහා මෙහා යනවා. නමුත්, මේ තෙරුන් වහන්සේට ඒ බව පේන්නේ නැහැ. මේ බව කොසොල් රජුටත් ආරංචි වුණා. රජතුමා උන්වහන්සේ මුණගැසීමට ගියා. රජතුමා ආ ශබ්දය ඇසී තෙරුන් වහන්සේ එළියට වැඩියා. රජතුමා දොරෙන් දුටුවා කුටිය තුළ කාන්තාවක් සිටිනවා. රජතුමා කිව්වා “ස්වාමීනි, කුටියෙන් එළියට වඩින්න.” ස්වාමීන් වහන්සේ එළියට වැඩියා. රජතුමා කුටියට ගියා. සෑම තැන ම පරීක්ෂා කළා. කාන්තාවක් නැහැ. “ස්වාමීනි, නැවත කුටිය ඇතුළට වඩින්න.” තෙරුන් වහන්සේ වැඩියා. නැවත රජතුමා දුටුවා ස්ත්‍රියක් කුටිය තුළ සිටිනවා. රජතුමා හිතුවා ‘මේ තෙරුන්ගේ කිසිම වරදක් නැහැ. මේ නම් කර්ම දෝෂයක් වෙන්න ඇති.’ කියලා. රජතුමා කියා සිටියා ‘ස්වාමීනි, පිණ්ඩපාතය සඳහා ගමට වඩින්න එපා. රජ මාලිගාවට පමණක් වඩින්න.’ කියා. කුණ්ඩධාන තෙරුන්ගේ මේ සිද්ධිය භාග්‍යවතුන් වහන්සේටත් ආරංචි වුණා. උන්වහන්සේ තෙරුන් වහන්සේ කැඳවා කියා සිටියා ‘පින්වත් කුණ්ඩධාන, ඔබ සසරේ කළ දෙයක් මේ විඳවන්නේ. ඔබට නොපෙනුනාට අන් අයට ඒ ස්ත්‍රිය පේනවා. එහෙම වුණාට ඔබ දුස්සීල කෙනෙක් නොවේ. ඒ නිසා ඉවසීමෙන් මේ කර්මය ගෙවා අවසන් කරන්න.’ කියා.”
කර්ම විෂය ගැන දන්නේ භාග්‍යවතුන් වහන්සේ. සසර ගමනේ දී කර්මය ගමක බලවේගයක් වුණත් සියල්ල ම කර්මයට භාර දීමක් ධර්මය තුළ සිදු කෙරෙන්නේ නැහැ. නින්දා ප්‍රශංසා ලැබෙන බව ලෝක ධර්මතාවයක්. එනිසා, මෙය ලෝක ස්වභාවය බව තේරුම් ගෙන ඒ ගැන උපේක්ෂාවට පත් වීමයි වැදගත්. පෙරළී යන ලෝක ධර්මයන් හමුවේ අකම්පිත සිතක් උපදවා ගැනීමටත්, මේ කටුක දුක් සහිත සසරින් නිදහස් වීමටත් කැමැත්ත බලවත් කර
ගැනීම යි අප විසින් කළ යුත්තේ…”
නයනා නිල්මිණී.
Recent Comments