සිතට සැනසීමක් නැති විට, කරදර එක පිට එක එන විට ජීවිතයට සැනසීම ලබනු පිණිස අපි විවිධ ක්‍රම අනුගමනය කරන්නෙමු. බෞද්ධ අප එවැනි අවස්ථාවක බොහෝ විට කරන්නේ බෝධිපූජාව යි. බොහෝ කාන්තාවන් මෙන්ම පුරුෂයන් ද කරන්නන් වාලේ බෝධි වන්දනාව කරනවා මිස ඒ පිළිබඳව නිසි අවබෝධයක්, වැටහීමක් ඇතිව අර්ථ සහිතව එය සිදු කරන බවක් දක්නට නැත. එසේ කිරීමෙන් සැනසීමක් හෝ පිහිටක් ලැබේ ද? ‘ආමිස පූජා අතර ඉතාම ජනප්‍රිය පූජාවක් වන බෝධිපූජාව නිවැරදිව සිදු කරන්නේ කෙසේද? එයින් මෙලොව පරලොව ජීවිතයට ලැබෙන යහපත කුමක් ද?’
මේ පිළිබදව අප මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේ නමක් සමඟ මෙසේ සාකච්ඡා කළා.
අටලෝ දහමට අනුව පැමිණෙන සියලු ම කරදර, කම්කටුලු උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමට, සැනසීම ලබා ගැනීමට තිසරණ සරණ යා යුතු වෙනවා. එසේම ධර්මය සරණ ගිය පිරිස් සැනසීම අපේක්ෂා කරමින් බොහෝ කලක් තිස්සේ ආගමික චාරිත්‍රයක් ලෙසට සිදුකරන පූජාවකි බෝධි පූජාව.
සාමාන්‍ය ජීවිතය ගත කරන කාටත් පිහිටක්, පිළිසරණක් අවශ්‍ය වූ විට නොපෙනෙන බලවේගවලින් යමක් ඉල්ලීමට ඒ පිරිස් පුරුදුව සිටිනවා. ඒ වගේම, තිසරණ සරණ ගොස් සිටින ශ්‍රාවකයාටත් ලෙඩදුක්, කරදර, බාධක කොතෙකුත් හමු වෙනවා. ඒ අවස්ථාවේ උපාසක උපාසිකාවන්ට පිහිටක්, පිළිසරණක් ලැබිය හැකි මාර්ගයක් තිබෙනවා. ඒ, මේ තුන්ලොව ජය ගත් බුද්ධ රත්නය, ධර්ම රත්නය සහ සංඝ රත්නය තුළින්. ඊට අමතරව ධාතුන් වහන්සේ, බෝධින් වහන්සේ, පිළිම වහන්සේ ආදිය වන්දනා කිරීම තුළින්.
පින්වත් මෑණියන් වහන්ස, බෝධින් වහන්සේ වන්දනා කිරීම තවත් එක් වෘක්ෂ වන්දනාවක් ද?
බෝධින් වහන්සේ වන්දනා කරනවා කියන්නේ තවත් එක් වෘක්ෂ වන්දනාවක් නෙවෙයි. ඒ වගේම බෝධින් වහන්සේ කියා කියන්නේ ඉල්ලන ඉල්ලන දේ දෙන කප් රුකක් ද නෙවෙයි.
‘අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙවන් වෘක්ෂයක මුල දස මාර සේනාව පරදවා සම්බුද්ධත්වයට පත් වුණා’ කියන බුද්ධානුස්සති සංඥාව උපදවා ගන්නයි බෝධින් වහන්සේ වැඩ සිටින්නේ. බෝධින් වහන්සේ වන්දනා කිරීම භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටිය කාලයේ දී පටන් සිදු වූ දෙයක්. එදා සිටි භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා මෙන්ම සැදැහැතියන් ද බෝධි වන්දනාව සිදු කර තිබෙනවා.
බෝධි වන්දනාවට සැදැහැවතුන් පෙළඹී තිබෙන ආකාරයත් ධර්මයේ සඳහන් වෙනවා. එකල භාග්‍යවතුන් වහන්සේ බැහැ දැක වන්දනා කිරීමට මිනිසුන් බොහෝ ඈත දුර පළාත්වල සිට පා ගමනින්, ගැල්වලින් දින ගණන් ගෙවාගෙන ජේතවනාරාමයට පැමිණෙනවා. නමුත් ඇතැම් විට භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමයේ නැහැ, චාරිකාවේ වැඩලා. එවිට ඒ පිරිස මහත්සේ කම්පාවට පත් වෙලා පූජා භාණ්ඩ ගඳකිළිය අසල තබා බොහෝ දුකෙන් පිටත් වී යනවා. මේ සිදුවීම ආනන්ද ස්වාමීන් වහන්සේ දුටුවා. දිනක් භාග්‍යවතුන් වහන්සේගෙන් ආනන්ද
ස්වාමීන් වහන්සේ අසනවා,
“ස්වාමීනි, තථාගතයන් වහන්සේ වන්දනා කරන අදහසින් දුර සිට එන සැදැහැතියන්ට ඔබ වහන්සේ නැති අවස්ථාවල දී ඔබ වහන්සේ වෙනුවට වන්දනා කරගෙන සිත සතුටු කර ගැනීමට කිසියම් ක්‍රමයක් තිබෙනවා ද?’ කියා. ඒ අවස්ථාවේ දී තමයි ආනන්ද බෝධිය රෝපණය කරන්නට උපදෙස් දී, තමන් වහන්සේ වෙනුවෙන් බෝධින් වහන්සේ වන්දනා කරන්න යැයි භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළේ. එදා සිට භාග්‍යවතුන් වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන සැදැහැතියන් උන්වහන්සේ චාරිකාවේ වැඩ ඇති බව දැන ගත් විට සියලු ම පූජාභාණ්ඩ ආනන්ද බෝධීන් වහන්සේට පූජා කර ‘භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරනවා’ යැයි සිතා මහත් ගෞරවයෙන් බෝධින්
වහන්සේ වන්දනා කර පිටත්ව යාමට පුරුදු වුණා.
එසේනම් බෝධින් වහන්සේනමක් කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් වැඳුම් පිදුම් කළ හැකි උතුම් වෘක්ෂයක්?
බෝධි වන්දනාව කියන්නේ රහතන් වහන්සේලා මාර්ග ඵලලාභී උතුමන් වහන්සේලා නිරන්තරයෙන් කළ වන්දනාවක්. නමුත් අද වන විට බොහෝ බෞද්ධයන් පෙළඹී සිටින්නේ තමන්ට හෝ තම සමීපතමයෙකු බරපතළ ලෙස රෝගී වූ විට, කරදරයකට පත් වූ විට, ව්‍යාපාර බිඳ වැටුණු විට, දරුවන්ගේ අධ්‍යාපනික දියුණුව ආදිය සඳහා බෝධියක් අසලට ගොස් වන්දනාවක් කිරීමට යි. එසේ හෝ වන්දනා කිරීම හොඳයි. නමුත්, අපි බෝධින් වහන්සේගේ ගුණ දැන, පිදිය යුතු වෘක්ෂයක් ලෙස විශ්වාස කරමින් නිතර නිතර බෝධිය වන්දනා කරනවා නම් ඒ රැස් වෙන පිනෙන් ජීවිතයට ඇති වී තිබෙන සහ ඇති වීමට තිබෙන දුක් කරදර මඟ හරවා යහපත උදා කර ගැනීමට පුළුවන්කම තිබෙනවා. බෝධින් වහන්සේ, ධාතුන් වහන්සේ වන්දනා කරන්නට ලැබෙනවා කියන්නේ ජීවිතයට ලැබෙන මහත් යහපතක්. දුර්ලභ පිනක්.
අපට ලංකාවේ නම් සෑම ගමකම විහාරස්ථානයක් තිබෙනවා. ඒ සෑම විහාරස්ථානයකම බෝධින් වහන්සේ නමක් වැඩ සිටිනවා. ඒ නිසා අපට එහි ඇති දුර්ලභ බව පෙනෙන්නේ නැහැ. නමුත් කෙනෙක් ලංකාවෙන් බැහැර වෙනත් රටක පදිංචියට යනවා. ඔහුට හෝ ඇයට බෝධින් වහන්සේනමක් දකින්නට ලැබෙනවා කියන දේ දුර්ලභ යි. නමුත්, ලංකාවේ සිටින බෞද්ධ අපට පින් කර ගන්නට බැලූ බැලූ අත බෝධින් වහන්සේලා වැඩ සිටිනවා.
සැබෑ සැදැහැවතෙක් පින් කරන අරමුණෙන් ම බෝධි වන්දනාවක් කරන්නට කැමැති නම් එය කළ යුත්තේ කෙසේද? ඒ වගේම බෝධින් වහන්සේනමක් වන්දනා කිරීමෙන් ජීවිතයට ලැබෙන මහානුභාවසම්පන්න පින කුමක් ද?
බෝධින් වහන්සේනමක් සැදැහැ සිතින් වන්දනා කරගත්තොත් එය නිවන පිණිස බීජයක් බවට පත් කර ගන්නට පුළුවනි. අපේ බුද්ධ ශාසනයේ වැඩ සිටි සමහර රහතන් වහන්සේලා ඒ සම්බන්ධයෙන් විස්තර හෙළි කර තිබෙනවා. උන්වහන්සේලා ඈත අතීත ජීවිතයක බෝධින් වහන්සේ නමකට උපස්ථාන කොට රැස් කළ පින සසරේ බොහෝ කාලයක් සැප උපද්දවා මේ ජීවිතයේ නිවන ළං කර දුන් ආකාරය පිළිබඳව ථේරාපදානයන් ගේ දැක්වෙනවා. එක් රහතන් වහන්සේ නමක් ඈත අතීතයේ වැඩ සිටි බුදු කෙනෙකුට බුද්ධත්වය පිණිස සෙවණ දුන් රුක්ෂයකට බෝධි මණ්ඩපයක් කරවලා, තව රහතන් වහන්සේනමක් බෝධින් වහන්සේට මල් කළඹක් පූජා කරලා, තව රහතන් වහන්සේ නමක් බෝ මළුවක පත්‍ර ඇහිඳ උපස්ථාන කරලා. තව අවස්ථාවක බෝධින් වහන්සේනමකට සිරස නමා වන්දනා කරලා. ඒ අය වෙන පිනක් කරලා නැහැ. නමුත් ඒ පුණ්‍ය බීජය ඒ උතුමන් වහන්සේලා අරහත්වය කරා ගෙන යන්නට උපකාර වී තිබෙනවා. එසේනම් බෝධින් වහන්සේනමක් වන්දනා කිරීම පුංචි පිනක් නෙවෙයි.
ඒ වගේම මේ මිනිස් කයට බොහෝ ලෙඩ රෝග හැදෙනවා. ඒ අතර මේ කයේ දද, වණ, කුෂ්ඨ, හොරි වගේ තව කෙනෙක් පිළිකුල් කරන රෝග තිබෙනවා. එවැනි රෝග දුරු කර ගැනීමටත්, ජීවිතයට යම් කර්ම විපාකයක් නිසා මාරකයක් තිබුණා නම්, එය වළකා ගැනීම පිණිසත්, බලවත් රෝගාබාධවලින් වගේම අමනුෂ්‍ය උපද්‍රවවලින් ගැලවීම පිණිසත් මේ බෝධි වන්දනාව සහ බෝධින් වහන්සේට උපස්ථාන කිරීම ඉතා ප්‍රයෝජනවත් වෙනවා. එසේ දිනපතා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරමින් බෝධින් වහන්සේට පුද සත්කාර කරනවිට තමන් යම් කර්ම විපාකයකින් පීඩා විඳිනවා නම් ඒ කර්ම විපාකයට වඩා බලවත් වූ පුණ්‍ය බලයක් ඉපදීම නිසා ඒ කර්ම විපාකය යටපත් වෙනවා.”
අද භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් වැඩ සිටින බෝධින් වහන්සේට සැදැහැතියන් පුද පූජා කරන ආකාරයේ යම් වැරැද්දක් තිබෙනවා නේද?
භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් වැඩ සිටින බෝධින් වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේ හා සමාන කොට සැලකිය යුතු වෙනවා, ගෞරව කළ යුතු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ අප ඉදිරියේ වැඩ සිටිනවා නම් අප උන්වහන්සේගෙන් පිහිටක්, පිළිසරණක් බලාපොරොත්තුවෙන් උන්වහන්සේ ඉදිරියට ගිය විටදී මොන තරම් ගෞරවයෙන් හැසිරෙනු ඇත්ද? නමුත් අද සමාජයේ බොහෝ අය බෝධින් වහන්සේ ඉදිරියේ නොමනා ලෙස හැසිරෙනවා, හඬ නඟා කතා කරනවා, සිනාසෙනවා. වැලි මළුවේ වන්දනාවට හිඳ ගත් විට දෙපා බෝධින් වහන්සේ දෙසට දිගු නොකර වාඩිවීම මුලින් ම පුරුදු කරගත යුතු දෙයක්. බොහෝ කාන්තාවන් නිවසේ ඉතිරිව තිබෙන කුඩා රෙදි කැබැල්ලකින් කොඩියක් මසාගෙන ගොස් බෝ අත්ත පහත් කර එය එල්ලා බෝ අත්ත අතහරිනවා. සමහර කාන්තාවන් බෝධින් වහන්සේ ස්පර්ෂ කරමින් බෝධින් වහන්සේට නළල තබාගෙන තමන්ගේ දුක කියනවා. මේවා නොකළ යුතු දේවල්. ජීවමාන භාග්‍යවතුන් වහන්සේ බඳු වූ බෝධීන් වහන්සේට අප එසේ කරන්නේ නැහැ.
එනිසා, ඔබත් පුරුදු වෙන්න සකසා බෝධි වන්දනාව කරන්න. නිවසින් පෙරා ගත් පැන් කළයක් රැගෙන යන්න. බෝධින් වහන්සේ උදෙසා විවිධ ගිලන්පස සකසා ගන්න. මල්මාලාවක් ගොතා ගන්න. කාලය වැය කර ඒවා මහත් වූ ගෞරවයෙන් සකසා ගන්න. ‘භාග්‍යවතුන් වහන්සේට පුදනවා’ කියා සිතා ගත් විට ඔබ අහක දමන දේ රැගෙන ගොස් බෝධින් වහන්සේ පුදන්නේ නැහැ. ඒ වගේම තමා වන්දනා කළ පසු තමා පූජා කළ ද්‍රව්‍ය එතැනින් ඉවත් කරන්න. පූජා කළ ගිලන්පස බෝ මළුවේ ම හළන්නේ නැතිව එය සුදුසු ස්ථානයක බැහැර කොට එතැන පිරිසිදු කර පැමිණීමත් අප කළ යුතුව තිබෙනවා.
ඒ නිසා ඔබ විහාරයට ගිය පසු ඒ බෝ මළුව මුලින්ම හොඳින් අමදින්න. ඉන්පසුව මල් අසුන්වල ඇති පරමල් ඉවත් කර ඒ අසුන් පිරිසිදු ජලයෙන් සෝදා පවිත්‍ර කරන්න. පහන් පිරිසිදු කරලයි ඒ පහන් දැල්විය යුත්තේ. අපිරිසිදු පහන් වලට තෙල් දමා දැල්වීමෙන් අපිරිසිදු ආලෝකයක් තමයි ලැබෙන්නේ. හඳුන්කූරු ගසන භාජන ද පුළුවන් ආකාරයට පිරිසිදු කරන්න. ඒ ආකාරයට බුදු ගුණ සිතමින් මල්, ගිලන්පස ආදිය පූජාකරගෙන සිතේ සැහැල්ලුවෙන් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය සිහි කරමින් බෝධින් වහන්සේ වන්දනා කර ගන්න.
මෙවැනි අසිරිමත් වෘක්ෂයක් සෙවනේ දී මාර සේනාව පලවා හැර අපගේ භාග්‍යවතුන් වහන්සේ ජය ගත්තා සත්‍යයයි. උන්වහන්සේ මේ තුන් ලෝකය අවබෝධ කර ගත්තා සත්‍යයයි. මේ බෝධින් වහන්සේට පිට දී උන්වහන්සේ දසබල ඥාන, විශාරද ඥාන උපදවා ගත්තා සත්‍යයයි ආදී වශයෙන් ගුණ සිහිකරමින් සතුටු සිත් ඇතිකර ගත යුතු වෙනවා. එලෙස බුද්ධ වන්දනාව කර, පිරිත් සජ්ඣායනා කර දෙවියන්ට පින් අනුමෝදන් කරන්න පුළුවන්. එවිට තමන් විසින් සකසා කර ගන්නා ලද, වටිනා, ලස්සන පිනක් තමයි රැස්කර ගෙන තිබන්නේ. ඒ සියලු පින් ඉෂ්ට දේවතාවන්ට, මග ඵලලාභී දෙවියන්ට අනුමෝදන් කර තමාට පැමිණ ඇති ලෙඩ දුක්, කරදර කම්කටුලු, කර්ම විපාක, අමනුෂ්‍ය උපද්‍රව ඇත්නම් ඒවා දුරුවේවා කියා ප්‍රාර්ථනා කිරීමටද පුළුවනි.”
“සිරිලක් බිම වැඩ හිඳිනා බෝධිය
සිරිලක් බිම සෙත සදනා බෝධිය
ලක් මවගේ මිණි කිරුළයි බෝධිය
අපිත් වඳිමු සිරි ගෞතම බෝධිය”
නයනා නිල්මිණී.
නමෝ බුද්ධාය !
මගේ පාසල වන ගුරුකුල විද්‍යාල භූමියේත් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ විරාජමාන වෙනවා. කෙතරම් සැනසීමක්ද බෝධින් වහන්සේට වන්දනා කරන්නට ලැබීම … 🙏🙏🙏