මේ ජීවිතයට තියෙන අති මිහිරි දෙයක් තමා කෝප නොවීම, ක්‍රෝධ නොකිරීම. අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා, “අසවලා මට බැන්නේ ය, ගැහුවේ ය, මා සතු දේ පැහැර ගත්තේ ය කියලා ඒක ම හිතද්දි හිතද්දි එයාගෙ සිතින් හට ගන්නා තරහා, ක්‍රෝධය, වෛරය සන්සිඳීමට පත් වෙන්නේ නෑ.” කියලා. සමහර වෙලාවට කෙනෙක් අපේ යහපත වෙනුවෙන් දෙයක් කීවත් අපට හිතෙන්නේ ‘අනේ බැන්නා’ කියලා. මේ දේවල් ආයෙ ආයෙ මෙනෙහි කරද්දි අපිටත් තේරෙන්නේ නෑ හිතේ වෛරය පිහිටනවා කියලා.
බද්ධ වෛරය කියන්නේ, වෛරයට හිත බැඳෙනවා කියන එකයි. බැඳුනට පස්සේ සර්පයා තුඹසේ ඉන්නවා වගේ. හොයන්න බෑ. හැබැයි අවස්ථානුකූල ව මතු වෙනවා. මේවා හඳුනා නොගත්තොත් අපට ජීවත් වෙන්න වෙන්නේ අකුසල් එක්කයි. අකුසලයට කුසලයක් උපද්දවන්න බෑ. සමහරු වෛර බඳිනවා පුංචි දේට. සමහරු වෛර බඳිනවා ලොකු ලොකු දේට. පුංචි වේවා, විශාල වේවා යමක් කෙරෙහි හිතක ඇති වෙන වෛරය නම් යහපත පිණිස නොපවතින දෙයක් ම යි.
බුදු සමිඳුන් වදාරනවා ක්‍රෝධයට උපමාවක්. ඒ තමා විස මුල් ඇති, මිහිරි අග ඇති දෙයක් බව. ගහක මුලෙන් තමා ඒ ගහ වැඩීම පිණිස සියලු සාරය උරා ගන්නේ. ඒ ගසේ කඳ, කොළ, පොතු, මල්, ගෙඩි සියල්ලට ම ඒ සාරය උපකාරකයි. ඒ වගේ කෙනෙක් තුළ ක්‍රෝධය නමැති විස මුල් ඇදලා නම් එයාගේ ක්රියාවේ, වචනයේ, සිතිවිලිවල තියෙන්නේ ක්‍රෝධය, පළිගැනීම නමැති මිහිරි අග. ඒ කියන්නේ එයා සතුටට පත් වෙන්නෙ පළි අරන්. පළි ගන්නේ කොහොමද? එකට එක කිරීමෙන්.
සමහර වෙලාවට පුංචි දේටත් මේ හිතේ වෛරය පිහිටනවා. කවුරු හරි අපිට සැර වචනයක් කියනවා. මෙන්න කතා නොකර ඉන්නවා. ගස්සගෙන යනවා. රවනවා. මූණ පුම්බ ගන්නවා. කතා කරද්දී ඇහෙන්නේ නෑ වගේ යනවා. මේ විදියට ප්‍රතිප්‍රහාර දීලා සතුටට පත් වෙනවා. සමහර වෙලාවට මීට වඩා භයානක විදියට වෛරය පිහිටුවා ගන්නවා. මේ හිතක හට ගන්න වෛරය ගොඩාක් දුර යන එකක්. සසර පුරුද්දක් විදියට භවයක් භවයක් ගානේ පස්සෙන් එනවා.
මිනිස් ලොව, තිරිසන් ලොව, ප්‍රේත ලොව ආදී කොයි ලෝකෙක හිටියත් වෛරය පිහිටුවාගෙන ඉන්න ආකාරය අනුව එකිනෙකා මුණගැහෙනවා. ධාතු ස්වභාවයකින් ඒක වෙන්නෙ. ඊට පස්සෙ පළිගන්නවා, අනන්ත වද වේදනා, දුක් පීඩා විඳිනවා. එහි අවසන් වීමක් නෑ.
ඔබ අහලා ඇති කාලි යකින්නියගේ කතාව. එක් පුරුෂයෙක් හිටියා සැවැත්නුවර. ඔහුගේ බිරිඳට දරුවන් නැති නිසා තවත් බිරින්දෑ කෙනෙක් කැන්දාගෙන ආවා. ඇයට දරුවන් ලැබුණොත් දේපළ අයිති වේ යැයි යන ඉරිසියාවෙන් පෙළුන පළමු බිරිඳ දෙපාරක් ම දෙවන බිරිඳගේ කුස පිළිසිඳ ගත් දරුවන් ගබ්සා වෙන්න බෙහෙත් දුන්නා. තුන්වන දරුවට බෙහෙත් දෙන විට දරුවා හොඳට ම වැඩිලා හිටියේ. එවර ඒ දරුවත් එක්ක ම මවත් මරණයට පත් වුණා. ඒ අහිංසක මවට මහා වේදනාවක් හට ගත්තා. ඇගේ පැත්තෙන් බැලුවොත් ඇගේ මොනයම්ම වරදක්වත් තිබුණේ නෑ. නිරපරාදේ දරුවන් තුන්දෙනත්, ඇයත් මරණයට පත් වුණේ. හැබෑවට ම ඇයට අසාධාරණයක් සිදු වූයේ. නමුත්… මේ සසරේ අපට කිසි විට සාධාරණය හමු වන්නේ නෑ. සසර පුරාවට අප අසාධාරණයෙන් බැට කමින්, අනන්ත පීඩා විඳිමින් යා යුතුව පවතිනවා. ඉතින් ඇගේ හිතේ වෛරයක් හට ගත්තා. ‘මං මැරිලා යක්ෂණියක්ව උඹේ දරුවන්වත්, උඹවත් කනවා’ කියලා හිත පිහිටුවා ගත්තා.
මරණයට පත් වූ ඒ අසරණ මව ඒ නිවසේ ම බැළලියක් වුණා. පළමු බිරිඳගේ ක්‍රියාව දැනගත් ස්වාමියාගෙන් ලැබුණ පහරවලින් ආබාධයට පත්ව එයින් මිය ගොස් ඇයත් එම නිවසේ ම කිකිළියක්ව ඉපදුණා. බැළලිය ඒ කිකිළිය දමන දමන බිත්තරය කා දමනවා. කිකිළියවත් කා දමන්න මාන බලනවා. ඉතින් කිකිළිය මෙහෙම හිතුවා. ‘මා දමන දමන බිත්තර කා දමා, මාත් කෑමට සිටින උඹව දරුවන් සහිතව කන්න ලැබේවා’…
කිකිළිය මිය ගොස් දිවි දෙනක වී උපන්නා. බැළලිය මිය ගොස් මුව දෙනක ව උපන්නා. මුව දෙන දරුවන් වදන විට සත් වරක්ම දිවි දෙන ඇගේ පැටවුන් කා දැම්මා. මුව දෙන වෛරය පිහිටුවා ගත්තා. ‘දරුවන් කා දමා දැන් මාත් කන මැය දරුවන් සමඟම කන්ට ලැබේවා’ යි ප්‍රාර්ථනා කොට මුව දෙන යක්ෂණියක්ව උපන්නා. දිවි දෙන මියගොස් සැවැත්නුවර කුල දුවකව උපන්නා. ඈට උපන් දරුවන් දෙපාරක් ම යක්ෂණිය විසින් කා දැමුවා. මේ සිද්ධි දාමයේ පළමුවෙන් දරුවන් සමඟ මරණයට පත් වූ අහිංසක මාතාවයි මෙසේ යක්ෂණිය ව උපන්නේ. ඉරිසියාවෙන් මත් වී ඇයත්, දරුවනුත් මරා දැමූ දුෂ්ට කාන්තාව අද මිනිස් මවක්ව සිටිනවා. යක්ෂණිය තුන්වන දරුවාත් කා දමන්නට යද්දී තමයි ඒ දරුවා රැගෙන මව ජේතවනාරාමයට දිව ගියේ.
එදා බුදු සමිඳුන්ගේ සම්බුදු වදන් ඇසූ යක්ෂණිය වෛරය අත්හැරියා. සැනසීමට පත් වුණා. සතර අපායෙන් මිදී ගියා. ඔවුන් දෙදෙනා ම වෛරය නිසා ඇවිළී ගිය චිත්ත සන්තාන දහම් ඔසුවෙන් නිවා දැමුවා. නමුත්… මේ අයුරින් වෛරය හැරදා සැනසිල්ලට පත් වන්නට හැම දෙනාටම අවස්ථාව ලැබෙන්නේ නෑ.
මේ සිදුවීම දෙස මොහොතක් බලන්න. එක්තරා සිටු පුත්‍රයන් හතර දෙනෙක් සිටියා. ඔවුන් සල්ලාල ජීවිත තමයි ගත කළේ. දවසක් මේ හතර දෙනාම එකතු වෙලා කහවණු දහසක් දීලා එක් ගණිකාවක් එක් දිනකට වෙන් කර ගත්තා. එක්තරා උයනකට රැගෙන ගියා. කාමයෙන් මත් වී දවස පුරාම ඈ සමඟ කාමයේ හැසිරෙමින් කාම දාහය නිවා ගත්තා. සවස් වීගෙන එන විට මිනිසුන්ගෙන් තොර වූ උයන දකිද්දී ඔවුන්ට මෙවැනි අදහසක් ඇති වුණා. ‘මැයව මරා අප දුන් කහවණු දහසත්, ඇගේ පලඳනාවනුත් පැහැර ගමු’ කියා. හතර දෙනාම එයට එකඟ වුණා. මොවුන් කතිකා කර ගත් දේ ඒ කාන්තාවට හොඳින් ම ඇසුණා. ඇයට මහා තරහක් හට ගත්තා. ඇය ඒ වෙලාවේ අසරණයි. ‘මොවුන් කිසි ලැජ්ජාවක් නැති අයයි. දවස පුරාම මා සමඟ අභිරමණය කොට දැන් මා මරන්ටයි සූදානම් වන්නේ.’ එසේ සිතූ ඈ මරණයට පත් වෙද්දී ‘මමත් යක්ෂණියක්ව මොවුන්වත් මරනවා.’ යැයි වෛරය හිතේ පිහිටුවා ගත්තා. මරණයට පත්ව යක්ෂණියක් ව උපන් ඇය සියක් වතාවක් භවවල දී ගව දෙනකට ආවේශ වී ඔවුන්ගේ දිවි තොර කළා.
ඇත්තෙන් ම අසාධාරණය සිදු වූයේ ඇයට ම යි. සසර පුරා නැවත නැවත ඇය අසාධාරණයට බඳුන් වුණා. ඇය වෛරය හිතේ පිහිටුවා ගත්තේ දුස්සීල වූ පෘථග්ජන මිනිසුන් හතර දෙනෙක් පිළිබඳවයි. ඈ මෙන්ම ඔවුන් ද සසරේ දිගට ම පැමිණියා.
එහෙත්… ඈ බද්ධ වෛරය ම හිත තුළ පිහිටුවාගෙන එද්දී ඔවුන් ඒ වරදේ විපාක විඳින අතරම කුසලයේ හිත පිහිටුවමින් පැමිණියා. සාධාරණය, යුක්තිය ඉටු විය යුත්තේ ඇයටයි. එනමුදු, හොඳින් විමසා බලන්න. ඇය පිහිටුවාගත් වෛරය අවසන් වූයේ කොතැනින් ද? ක්‍රෝධය නැමැති විෂ මූලය හිතේ පිහිටුවා ගත්තාට පස්සේ ඇය සතුටු වූයේ පළිගැනීමෙන් ම යි. ඇයව මරා දැමුවේ, ඇය අතවරයට ලක් වූයේ, ඇගේ ආභරණ පැහැර ගත්තේ එක් වතාවක් පමණයි. එහෙත් සියක් වාරයක් ඔවුන් මරා දැමුව ද ඇයගේ වෛරය සන්සිඳුනේ නැහැ. අහෝ! වෛරයෙන් කිසි දින වෛරය නොසන්සිඳේ…
දුස්සීල වූ පවිටු මිනිසුන් කෙරෙහි තම සිතේ පිහිටුවා ගත් වෛරය සන්සිඳුවා ගැනීම පිණිස මෙවර ඇය මරා දැමුවේ කවරෙක් ද? සියලු කෙලෙසුන් ගෙවා දමා සැනසිල්ලට පත් වූ පරම පිවිතුරු හද මඬලක් දරා වැඩ සිටි බාහිය දාරුචීරිය නම් උත්තම මහරහතන් වහන්සේවයි. හිතේ පිහිටුවා ගත් වෛරය ඇයත් නොදැන ම කල්පයක් පුරා විඳවන ආනන්තරීය පාප කර්මයක් කරා ගෙන ගියා නො වේ ද? එසේ ම, ඕරම්භාගිය සංයෝජන ප්රහාණය කොට අනාගාමි ඵලයට පත් වූ පුක්කුසාති නම් උතුමන් ද සතර අපායෙන් මිදුන සුප්රබුද්ධ නම් උපාසකයා ද සද්ධානුසාරී ව දෙව්ලොව උපත ලැබූ තම්බදාඨික චෝර ඝාතකයා ද අවසන් වරට ඇය විසින් මරණයට පත් කරනු ලැබුවා.
ඔවුන් අතින් ඇයව විපතට පත් වූයේ එක් වරක් පමණයි. නොයක් වාරවල ඒ වරදේ දුක් විපාක ඔවුන් විඳවන්නට ඇති. නිරයේ ඉපිද අනේක දුක් විඳින්නට ඇති. එනමුදු සත්පුරුෂ ඇසුර ලැබූ සැණින් සියලු වැරදි පිඹ හැර සිත කුසලයේ පිහිටෙව්වා. ඒ පින්වන්තයින්ගෙන් සමහරෙක් සියලු දුකින් මිදී අමා නිවනට පත් වූවා. සමහරෙක් සුගති රැකවරණය සලසා ගත්තා.
සිතන්න, නොයෙක් ආකාරයෙන් විමස විමසා බැලුව ද මේ සසරේ නිරතුරුව පවතින්නේ අසාධාරණය පමණයි. එබැවින් ත්‍රිවිධ රත්නය කෙරෙහි සිත පහදවාගෙන නිසැක බවට පත් වන තුරුම අපට අන් අයගෙන් ද අන්‍යයන්ට අපගෙන් ද සුළු වේවා විශාල වේවා වැරදි අඩුපාඩු සිදු විය හැකියි. වැරදි සිදු වන විට වරදට සමාව ගැනීම කළ යුතුයි. කෙනෙකු සමාව අයදින විට වෛරය සිතේ පිහිටුවාගෙන නොසිට වරදට සමාව දීම කළ යුතු ම යි. යමෙක් තව කෙනෙක් ගැන වෛරය පිහිටුවා ගනී නම් පළමු අසාධාරණය වන්නේ ඔහුට ම යි. අන් අය නැසීමට පෙර ඔහු තමාව ම නසා ගන්නවා. තුන්ලොව දිනූ අප භාග්‍යවතුන් වහන්සේ කාළි යක්ෂණියට වදාළ මේ උතුම් ගාථාව දෙස බලන්න.
“නහී වේරේන වේරානී සම්මන්තීධ කුදාචනං
අවේරේන ච සම්මන්තී ඒස ධම්මෝ සනන්තනෝ”
“වෛර කරන කෙනාට වෛර කිරීමෙන් ඒ වෛරය නොසන්සිඳෙයි. යම් සේ කෙළ, සොටු, මළ මූත්‍ර ආදී අසූචි පිටවන තැන් ඒ අසූචිවලින් ම සේදූ විට පිරිසිදු කළ නොහැකියි. දුගඳ නැති කළ නොහැකියි. තව තව අපිරිසිදු බවට ම පත් වෙයි. තව තව දුගඳ හමයි. වෛර නොකිරීමෙන් ම යි වෛරය සන්සිඳෙන්නේ. කෙළ, සොටු, මළ මූත්‍ර ආදිය පිරිසිදු ජලයෙන් සේදූ විට පිරිසිදු වෙයි. දුගඳ නැති වෙයි. එලෙසින් ම අවෛරයෙන්, ඉවසීම – මෛත්‍රිය නමැති සිහිල් දියෙන් වෛරය සන්සිඳෙයි. නැති වෙයි. මෙසේ අවෛරයෙන් වෛරය සන්සිඳීම බුදු පසේබුදු මහරහත් උතුමන් වැඩූ මාර්ගය යි.”
ද්වේෂයෙන් දැවෙන විට ශරීරය සිදුරු කළ දඬු කෝටු ආදියට ද්වේෂ නොකර එය කරන්නා වූ පුද්ගලයාට ද්වේෂ කිරීම සිතේ ස්වහාවය යි. එයට යට නොවී ද්වේෂයට අකැමැති වීම යහපති. පුද්ගලයා කෙරෙහි ද්වේෂ නොකිරීම යහපති. ද්වේෂය උපදින විට එය නැසිය යුතු යි. නොවැඩිය යුතු යි. එය නැසීමට ඉවසීම මෛත්‍රිය පුරුදු කළ යුතුයි. එවිට ද්වේෂය නැති වී යයි. අහස සේ කෙළවරක් නැති දුදනන් හැම දෙනා මරන්නට නොහැකි බැවින් ක්‍රෝධ සිත මරනු මැනවි. එවිට හැම සතුරන් ම මරන ලද්දේ වෙයි.
අපටත් වෛරයේ ගිනි සිළු මෛත්‍රිය නම් වූ සීතල වරුසාවෙන් නිවා සැනසෙන්නට මේ පින උපකාර වේවා!
සාදු! සාදු! සාදු!
– මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසිනි –
Recent Comments