යළිත් සොඳුරු යුගයක අසිරිය ලොව පුරා පැතිරෙන්නට විය. ඒ පින් ඇති සියලු ලෝ සතුන් හට සෙත සලසමින් මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ, ඒ අසමසම වූ කෝණාගමන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව වැඩ හුන් යුගය යි. දඹදිව් තලය පුරා රන් වැසි වස්සවමින් ලොව උපත ලද හෙයින් ‘කනකාගමන’ හෙවත් කෝණාගමන යන නම් ලද ඒ සම්බුදුරජුන්ගේ බුද්ධ රාජ්‍යය සරත් කල අහසේ දිලෙන හිරු මඬල සේ ලොව බබළන්නට විය. අපමණ වූ දෙව් මිනිස් ප්රජාවත් දිවි මගට යහපත සලසා ගත්තේ ය. කෙළ ලක්ෂ ගණනින් යුතු ඒ පිනැතියන් අතරේ තවත් එක් කුල දියණියකට ද සසර නම් වු නිරුදක කතර තරණය කරන්නට මග හසර විවර වූ අයුරු ය මේ…
ඇය ද කෝණාගමන සම්බුදු සසුනේ සැදැහැති උවැසියක වූවා ය. ලද සෑම අයුරින් ම පින තම දිවියට එක්කර ගන්නට නොපමා වූ ඇගේ දිවියේ තවත් එක් සොඳුරු දිනයක් උදා විය. ඇසිල්ලකින් ඈ සිත තුළ පෙර කිසිදා ඇති නො වූ ආකාරයේ සිතිවිල්ලක් ඇති විය.
‘මටත් ඒ ලෝකනාථ වූ භාග්‍යවතුන් වහන්සේට දානයක් පූජා කර ගන්න ඇත්නම්…’
ඈ හනිහනිකට ලෝකනාථයන් වහන්සේ වැඩ සිටින ගන්ධ කුටිය වෙත පියනැගුවා ය. ශාස්තෘන් වහන්සේගේ පා කමල් ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වූ ඇය,
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, හෙට දවසේ මාගේ නිවසට දානය පිණිස වැඩම කරන සේක්වා…!” කියා ඇරයුම් කළා ය. භාග්‍යවතුන් වහන්සේ නිහඬව ම වැඩ සහුන් සේක. ඇයගේ සතුට නිම්හිම් නැත. ‘ශාස්තෲන් වහන්සේ මාගේ ඇරයුම පිළිගත් සේක. තථාගතයන් වහන්සේ මාගේ ඇරයුම පිළිගත් සේකැ.’යි ඔද වැඩී ගිය සිතින් ඈ යළිත් ශාස්තෘන් වහන්සේගේ පා කමල් ආදරයෙන් වන්දනා කොට පිටත්ව ගියා ය. නිවස කරා ගිය ඇය හණිහණික දඬු සකසාගෙන කණු සතරක් සිටුවා පැලක් තැනුවා ය. වහළයට කොළ අතු හෙවිල්ලුවා ය. බිමට සුදු වැලි අතුරා උඩු වියන් බැඳ ආසනයක් පැනවූවා ය.
ලෝකනාථයන් වහන්සේ උදෙසා කළ ඒ කුටිය සුවඳ දුමින් සුවඳවත් කළා ය.
සුපුරුදු ලෙසින් හිරුමඬල අවරදිගින් සැඟවී ගියේ ය. රැය පහන් වන්නට ආසන්න වෙමින් තිබුණි. ඇය පිනා ගිය සිතින් ඉතා ප්‍රණීත වු දන් පැන් පිළියෙල කළා ය. අලුත් දවසක් උදා වී ඇත. දැන් දානයට සියලු කටයුතු සූදානම් ය. ශාස්තෘන් වහන්සේට දානයට කල් දැන්විය යුත්තේ ය.
හිමිදිරියේ ම ඇය නැවතත් භාග්‍යවතුන් වහන්සේ කරා පියනැගුවා ය. සිරිපා අබියස හිසින් වැඳ වැටී “ස්වාමීනී, දන් පැන් පිළියෙල කළෙමි. භාග්‍යවතුන් වහනසේ එයට කල් දන්නා සේක්වා.” යි දන්වා සිටියා ය.
කෝණාගමන දසබලයන් වහන්සේ ඇය කෙරෙහි අනුකම්පාවෙන් සිවුරු හැඳ පොරවාගෙන පාත්‍රය ද ගෙන ඇගේ නිවසට වැඩමකොට කොළ අතු සෙවිළි කොට සැකසූ භුමිය තුළ පැනවූ ආසනයේ වැඩ සිටි සේක. ඕ සකස් කර ගත් ප්‍රණීත වූ දන් පැන් භාග්‍යවතුන් වහන්සේට පූජා කළා ය. තුන් සිවුරු ද පූජා කළා ය.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේ ය. මිනිසුන්ගේ ආයුෂය අවුරුදු තිස්දහසක්ව පැවැති ඒ යුගයේ ඇය දිවි ඇති තෙක් අප්‍රමාණ පින් කොට මරණින් මතු දෙවියන් අතර උපත ලැබුවා ය. බුද්ධාන්තරයක කාලයක් දෙව් සැප විඳ, මේ මහා භද්‍ර කල්පයේ ම තුන්වෙනුව ලොව පහළ වූ කාශ්‍යප සම්බුදුරජුන්ගේ සම්බුද්ධාභිෂේකය සිදුවන විට දෙව්ලොවින් චුතව මනුලොව උපත ලැබුවා ය.
වැඩිවිය පත් වූ ඕතොමෝ කාශ්‍යප සම්මා සම්බුදුරජුන්ගේ ධර්මය අසා ලෝක ස්වභාවය කෙරෙහි කලකිරී කාශ්‍යප සම්බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලැබුවා ය. අවුරුදු විසිදහසක් බඹසර රකිමින් ආයු කෙළවර කළුරිය කොට නැවත දෙවියන් අතර උපත ලැබුවා ය.
යළිත් බුද්ධාන්තරයක කාලයක් ම දෙව් සුව විඳිමින් සිට ගෞතම අප සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනා කල විසාලා මහනුවර ක්ෂත්රිය කුලයේ පින් ඇති දැරියකව උපත ලැබුවා ය. ශක්තිමත් මෙන් ම පැහැපත් සිරුරකට හිමිකම් කී ඕ තොමෝ නමින් ‘ථේරිකා’ නම් වූවා ය. යොවුන් වියට පත් ඇයට දෙමව්පියන්ගේ කැමැත්තට අනුව විවාහ දිවියට පත්වන්නට සිදු විය. පතිකුලයට ගිය ඕ තොමෝ සිය ස්වාමියා දෙවියෙකු කොට සැලකුවා ය. නැදිමයිලන්ගේ ද සිත දිනාගත් ඇය සියලු දෙනාට ප්‍රියමනාප වූවා ය. මෙසේ කාලය කෙමෙන් ගෙවී යද්දී අපගේ ශාස්තෲන් වහන්සේ විසාලාවට වැඩම කළ මොහොතේ ධර්මය අසා ඇය සැදැහැවත් උවැසියක් වූවා ය. පසුව චිරරාත්රඤ්ඤ භික්ෂුණීන් අතර අගතැන්පත්, ගෞතම බුදු සසුන එකලු කළ මහා ප්‍රජාපතී ගෝතමී මහරහත් තෙරණින් වහන්සේගෙන් ධර්මය අසා ගිහි බැඳුම් සිඳ බිඳ දමා පැවිදි දිවියට පත් වීමේ කැමැත්තක් ඇයට ඇති විය. නමුදු ගිහි බැඳුම් සිඳ බිඳ දමා අභිනික්මන් කරන්නට තම ස්වාමියාගෙන් අවසර ලැබෙන්නේ නැත.
එනමුදු ඇයගේ සිත කම්පා නොවේ. තම ස්වාමියා කෙරෙහි අමනාපයක් ද නැත. පැවිද්දට ඉඩක් නොලැබුණ ද ඇය ධර්මයෙන් බැහැර නොයන්නී ය. සුපුරුදු සතුටු සිතින් කටයුතු සොයා බලන්නී ය. ගේ දොර කටයුතු, ස්වාමියාගේ කටයුතු කිසිවක් අතපසු නොකරන්නී ය. ඉතා සතුටින් ඒ සියලු කටයුතු නොපිරිහෙලා ඉටුකරන්නී ය. එනමුදු ඇය කිසිම මොහොතක ධර්මයෙන් බැහැර නොවූවා ය. ඇය සියලු කටයුතු කරන්නේ මනා කොට පිහිටුවාගත් සිහියෙනි.
නමුදු, කිසිවෙකු ඒ බව නොදනී. අඳුරු ගුහාවක දිලෙන පහන් සිළක් සේ ඒ හද ගැබ තුළ සද්ධර්ම ප්‍රදීපය දිලි දිලී පවතී.
එදින සුපුරුදු ලෙස ඇය කුස්සිය වෙත ගියේ නිවැසියන් හට අහර පිසින්නට ය. පළා කොළ මිටක් අතට ගත් ඇය එය සෝදා සිහින්ව කපන්නට වූවා ය. කපා අවසන් වූ පළා මිටෙහි ද දැන් ඇයට පෙනෙන්නේ වෙනස් වී යන ධර්මතාවයයි. ඇය මනා සිහියෙන් කපා ගත් පළා මිට භාජනයකට දමා ලිප තැබුවා ය. ලිපෙහි ගින්න ද දැල්වේ. ඒ හේතුවෙන් භාජනය ද කෙමෙන් කෙමෙන් උණුසුම් වෙමින් පවතී. දැන් පළාවල පැහැය ද වෙනස් වේ. ටිකෙන් ටික වෙනස් වෙමින් පවතින දෙයක් එතන ඇත. අවසන, තෙත සිඳී ගිය මැල්ලුම රොස් වී ගියේ ය. මේ සෑම දෙයක ම හටගැනීමත්, නැතිවීමත්, වෙනස්වෙමින් පැවතීමත් පමණක් ම පෙනේ. හටගත් සෑම දෙයක ම වෙනස් වීමක් පෙනේ. අනිත්‍යය වූ, දුක් වූ, තම වසඟයේ පැවැත්වීමට නොහැකි වූ ස්වභාවයක් ම පෙනේ. ඇගේ සිත ඒ අරමුණ තුළ ම ඒකාග්ර විය. ගත වූයේ මොහොතකි. පිළිවෙළින් ඕරම්භාගිය සංයෝජන ධර්මයෝ ඇගේ සිතින් ප්රහාණය වී ගියේ ය. කාම ලෝකයට බැඳ තබන බන්ධන මුළුමනින් ම ප්රහාණය වී ගියේ ය. ඇය දැන් ගෞතම බුදු සසුනේ අනාගාමී උවැසියකි.
නිවෙස වෙත පැමිණි ස්වාමියාට දකින්නට ලැබුණේ වෙනදා දකින තම ප්‍රියාදර බිරිඳ නොවේ. ඇය අද වෙනදාටත් වඩා ශාන්ත ය. නිවී ගොස් ය. පෙර දින පය බැඳි නූපුර අද නැත. ගෙල බැඳි රන්දම ද අද නැත. අත්වල හඬ නැගූ රන්වළලු ද අද නැත. කන් පෙති අග ලෙලදුන් රන් තෝඩු ද අද නැත. කුමක් හෝ වෙනසක් සිදුව ඇත.
“සොඳුර කිම ද මේ…? ඔබ පෙර මෙන් නොවේ. මා කිසි දිනක දැක නොතිබූ ශාන්ත බවක්, නිවී ගිය බවක් ඔබ තුළ දිස් වේ. එසේ ම පෙර දින ගත සැරසූ ආභරණ ද අද දකින්නට නැත. කිමෙක්ද මේ සිදු වී ඇත්තේ?”
එවිට ඇය සියලු තතු තම ස්වාමියාට පවසා තමාට දැන් පැවිදි වීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටියා ය. එවිට තම සෙනෙහෙබර බිරිඳගේ පැවිද්දට අනුමැතිය ලබා දුන් ඒ පින්වන්ත පුරුෂයා ඇය මහත් වූ හරසරින් ඇය ව මහා ප්‍රජාපතී ගෞතමී තෙරණිය වෙත කැඳවාගෙන ගොස් ඇයට අනගාරික බුදු සසුනේ උතුම් පැවිදි බව ලබාදෙන මෙන් ඉල්ලා සිටියේ ය.
මහා ප්‍රජාපතී ගෞතමී මහරහත් තෙරණින් වහන්සේ ඇයට උතුම් පැවිදි උපසම්පදාව ලබා දී භාග්‍යවතුන් වහන්සේ හමුවට කැටුව ගියා ය. මහා කාරුණික තථාගතයන් වහන්සේ ඇයගේ අරහත්වයට ඇති හේතු සම්පත් දැක මේ ගාථාව වදාළ සේක.
“සුඛං සුපාහි ථේරිකේ – කත්වා චෝළේන පාරුතා
උපසන්තෝ හි තේ රාගෝ – සුක්ඛං චාකං ච භූමියන්ති”
“පින්වත් ථේරිකා, පාංශුකූල වස්ත්‍රයෙන් මසාගත්ත සිවුර පොරව ගත්තට පස්සේ හරිම සැප සේ වාසය කරන්න පුළුවන්. ඔබේ රාගයත් ප්රහාණය වෙලා සන්සිඳිලා ගියේ භාජනේක මැල්ලුමක් රොස් වුණා වගේ.”
ගාථා දේශනාව අවසානයේ ඇයගේ සිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස්ව ගියේ ය. ඇය සිව් පිළිසිඹියා පත් රහත් තෙරණින් වහන්සේනමක් බවට පත් වූවා ය.
ඒ ගෞතම බුදු සසුනේ නිකෙලෙස් ගුණ දරා වැඩ සිටි උතුම් රහතන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා…!
ඇසුර – ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා, ථේරිගාථාට්ඨ කථා
මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුව
Sadu Sadu Sadu
සාදු! සාදු!! සාදු!!! 🙏🙏🙏
සාදු! සාදු!! සාදු!!!