සාමාන්‍යයෙන් කාන්තාවට පැවරී ඇති වැඩ බොහෝයි. ඇයට සුව සේ නින්දක්, සුව සේ ගමන් බිමන් යාමක්, සුව සේ විවේකී ව කාලය ගත කිරීමක් නැති තරම්. නිරන්තරයෙන් කුමන හෝ වැඩක ඇය සිරවෙලා. පැටලිලා. පහසුව නැති නිසා ම බොහෝ විට ඇය ගැටුණු සිතින් දැවුනු සිතින් කාලය ගත කරන්නේ. ‘මට විතරක් ඇයි මෙතරම් වැඩ. මේ වැඩවල ඉවරයක් නැහැනේ’ කියා ඇයට සිතෙන වාර අනන්තයි. එනිසා අපි මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසි පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ ඒ පිළිබඳ ව සාකච්ඡා කළා.
පවුලට එන බොහෝ ප්රශ්නවල දී කාන්තාව එහි බර දරනවා. එයට කළ යුතු පිළියම දිවා රෑ සොයනවා. ඒ නිසා ම කරදර, වැඩ කටයුතු බහුල වන විට ඇයට තරහ යනවා. පවුලේ අනෙක් අය සැනසිල්ලේ ඉන්නකොට සිතට ඊර්ෂ්‍යාවක් එන්නත් පුළුවන්. වැඩ වැඩි වෙනකොට ජීවිතය පවා එපා වෙනවා. එතරම් ම ඇයට ජීවිතයේ වැඩ ගොඩක් තිබෙනවා. ඒ වැඩ ගොඩ අස්සේ කවුරුත් සොයන සැපය මේ අහිංසක කාන්තාවත් හොයනවා. සමහර කාන්තාවන් සවි ශක්තිය තිබෙන කාලයේ වැඩ කරලා අවසාන කාලයේ ඇඳට වැටුණා ම, ඇය ධර්මයේ හැසිරිලා නැත්නම් ඒ ජීවිතය මහ අසාධාරණයක් ලෙස ඇයට පීඩා දෙනවා. අවාසනාවන්ත ලෙස ඇයගේ ජීවිතය අවසන් වෙනවා.
නමුත් වැඩ වැඩිවෙන විට තමාගේ සිත ආරක්ෂා කරගෙන ඒ සියලු වැඩ කරන්නට පුළුවන් නම් ඇය ජීවිතයේ දිනූ කාන්තාවක්. වැඩ වැඩිවෙන විට සිත විසුරුවා ගන්නේ නැතිව, තරහ පාලනය කරගෙන, සිත අපහසුතාවයට පත්කර ගන්නේ නැතුව, දුකට කණගාටුවට පීඩාවට පත්වෙන්නේ නැතිව කරන වැඩ තමාට සතුටින් කරන්න පුළුවන් නම් ඒ පුරුද්ද ඇයගේ ජීවිතයට ලොකු සැනසිල්ලක් වෙනවා. අපි ජීවිතයේ මොන දේ කළත් ඒ හැම දෙයක් ම කරන්නේ ජීවිතයේ සැනසීමක් බලාපොරොත්තුවෙන්. දරුවෝ හදන්නේ ජීවිතයේ සැනසීමක් බලාපොරොත්තුවෙන්. ඒත් දරුවාගේ කුඩා වරදෙහි පවා අම්මා දොස් අහනවා. දුක්ඛ දෝමනස්සයන්ට ලක් වෙනවා. මේ වගේ ගැටලුවක දී ඇය ධර්මය අසා නැත්නම්, ධර්මය පුරුදුකර නැත්නම් ද්වේෂය, එකටෙක කිරීම ආදී නොයෙක් අකුසලයන්ගෙන් සිත වෙලී යනවා. ඒ නිසා මොනතරම් වැඩ වැඩි වුණත් සතුටින් ඉන්න උත්සාහ කරන්න. නමුත් ඒක පුරුද්දක් නැතිව කරන්නත් බැහැ.
ඔබ යම් රාජකාරියක නිරත වෙනවා නම් ඔබට පැවරී තිබෙන රාජකාරිය ඉක්මනට අවසන් කළාට ඔබ සොයන සැනසීම එතැනින් ලැබෙන්නේ නැහැ. නමුත් ධර්මය ගළපාගෙන ධර්මයට අනුව සිතන්න පුළුවන් නම් ඒ දේ කරන්නේ තමාට පින් කර ගන්න පුළුවන් සේවයක් ලෙසයි. ඒ වගේ ම දරුවන්ට උපස්ථාන කිරීමෙන්, ස්වාමියාගේ වැඩපළ කිරීමෙන්, ගේ දොර වැඩපළ කිරීමෙන්, පිරිසිදු කිරීමෙන් ඇයට පිනක් රැස් වෙනවා. නමුත් මේ දේ කරන්න නම් ඇය ධර්මය අනුව හිත හදා ගන්නත් ඕනේ. එවිට සතුටින් ඉන්න පුළුවන්. බොහෝ අවස්ථාවල සතුට නැතිවෙලා තිබෙන්නේ ධර්මය ගළපා ගන්නේ නැති නිසයි. බොහෝ වැඩ කටයුතු සමඟ ජීවිතය ගත වෙනවා. ඒ අතර වැඩ වැඩිවෙන විට මනස සැහැල්ලු කර ගන්න වෙන වෙන ක්‍රම සොයනවා. බොහෝ විට රූපවාහිනිය ළඟ නතර වෙලා නාට්‍ය බලමින් සතුට, සැනසීම සොයනවා. නැත්නම් දුරකථනයට ඇබ්බැහි වෙනවා. ඒ තුළින් තව තවත් ජීවිතය අගාධයට ම යනවා. සුන්දර වූ සැපය සැනසීම ලැබෙන්නේ නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය ගළපාගෙන, වැඩ වැඩි වෙනවිට සිත ඒ අනුව හසුරුවා ගන්න පුළුවන්නම් ඒ කාන්තාවට සොයන සැනසීම ලැබෙනවා.
සැපය සොම්නස බහුලව වාසය කරන්න කැමති කෙනෙක් සිටිනවා නම් ඇය පුරුදු කළ යුතු සුන්දර බුද්ධ දේශනාවක් ‘සුඛ සෝමනස්ස සූත්‍රය’ නමින් තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා කෙතරම් වැඩ කටයුතු රාජකාරී බහුල වුවත් කාරණා හයක් සිහි කර කර ඉන්න පුළුවන් නම්, පුරුදු කරමින් ඉන්න පුළුවන් නම් ‘වැඩ වැඩියි’ යැයි සිතමින් පසුතැවෙන්නේ නැහැ. අපහසුවෙන්, පීඩාවෙන් ඉන්නේ නැහැ. වැඩ කොතරම් වැඩි වුවත් ඇයගේ සිත රැඳී තිබෙන්නේ ධර්මය මතයි. ඒ නිසා ඔබත් මේ කාරණා පුරුදු කර ගන්න මහන්සි ගන්න.
භාග්‍යවතුන් වහන්සේ වදාළා යම් කෙනෙක් දිවා රෑ සැප සේ වාසය කරන්න කැමැති නම් මේ දෙයට ඇලෙන්න කියා. ඒ තමයි, (ධම්මාරාමෝ හෝති) ධර්මයට ඇලුනු සිතින් වාසය කරන්න යැයි වදාළා. අපේ සිතේ ස්වභාවය තමයි යම් දෙයකට ඇලිලා ඒ දේ සිහි කර කර ඉන්නවා. නමුත් යම් කාන්තාවක් දරුවන්ට, ස්වාමියාට, වැඩකටයුතුවලට ඇලෙන්නේ නැතිව වැඩක් පලක් කරන අතරේ ධර්මය සිහි කරමින් සිටින විට කාලයත් සමඟ මේ සිත ධර්මයට ඇලෙනවා. ධර්මයට සිත ඇලෙන්න පටන් ගත්තාට පස්සේ ඇයට සැප සොම්නස ලැබෙනවා. ධර්මය තුළින් ජීවිතය දකිමින් සිටින නිසා ඒ සිතෙහි තරහ ඇතිවෙන්නේ නැහැ. මේ කරුණු සැප සතුට ළඟාවෙන්නත්, ආශ්‍රවයන් දුරු කරන්නටත් හේතු වන බව භාග්‍යවතුන් වහන්සේ වදාළා.
ඔබ කෑම පිසිමින් සිටිනවා කියා සිතන්න. ඒ වැඩ කරන ගමන් චතුරාර්ය සත්‍ය ධර්මය සිහි කරනවා. රහතන් වහන්සේ ගැන සිහි කරනවා, ගිහි ශ්‍රාවිකාවෝ ඒ ජීවිතය ගත කළ ආකාරය සිහි කරනවා. මෙහෙම සිහිකරන විට ඇයත් නොදැනී ම ධර්මයට ඇලෙනවා. වැඩ නිසා කයට කෙතරම් වෙහෙසක් දැනුනත් ධර්මය තුළින් සැපයක්, සතුටක්, ආස්වාදයක් ලබනවා. ඇය අකුසල් සෝදා හරිනවා.
දෙවැනි කරුණ ලෙස භාග්‍යවතුන් වහන්සේ, (භාවනාරාමෝ හෝති) භාවනාවට ඇලෙන්න යැයි වදාළා. ඔබ සිතයි ‘අනේ මේ වැඩ අස්සේ භාවනාවට අපට වෙලාවක් නැහැනේ’ කියලා. නමුත් ඔබ සිතන්න නිවස අතුගාන විට, දරුවන්ට කෑම පිළියෙල කරද්දී, රෙදිපිළි සෝදද්දී ඒ දේ මෛත්‍රියෙන් කරන්න පුළුවන් නම් එතැන තිබෙන්නේ භාවනාවක්. සතර ඉරියව්වෙන් මෙත් සිත පුරුදු කරනවා නම් ඔබ භාවනාවට ඇලුනු තැනැත්තියක්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාළා යම් කෙනෙක් සැපෙන්, සතුටින් සිටින්න කැමැති නම් භාවනාවට සිත අලවා සිටින්න කියලා.
තුන්වැනි කරුණ පහානාරාමෝ හෝති. වැඩ වැඩි වෙනවිට අපට තරහා යනවා. නීවරණ බලවත් වෙනවා. එතකොට ඇයගේ ජීවිතය පුන්සඳක් අඳුරු වලාකුළකින් වැසී යනවා සේ අකුසලයෙන් වැසී යනවා. නමුත් යම් කෙනෙකුට අකුසල් බැහැර කරමින්, කුසල් වඩමින් ජීවත් වෙන්න පුළුවන් නම් සැප සේ සතුටින් වාසය කරන්න පුළුවන් කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා. වැඩ වැඩිවෙන විට අපගේ සිතටත්, කයටත් මහන්සියි. ‘අනේ මේ වැඩ ඉවර වෙන්නේ කවදා ද’ කියලා සිතනවා. එවිට සිත ගැටෙන්න පුළුවන්. ‘හැමෝ ම හොඳට නිදි. මට විතරක් සැනසීමේ නිදා ගන්නවත් නැහැ’ කියලා සිතෙන්න පුළුවන්. ඒ වගේ ගැටුනු සිතක් ඇතිවන විට ධර්මය සිහි කරන නිසා ඇයට සිහිය උපදිනවා. ‘අනේ මගේ ගැටුනු සිත සැපයට හේතුවන්නේ නැහැ’ කියා තරහා සිතේ ආදීනව සිහි කරනවා. කරුණා මෛත්‍රිය ආදී ගුණධර්මයන්හි ආස්වාදය සිහි කරනවා. නපුරු මාර්ගය දුරු කරනවා. එවිට ඇයගේ සිතේ තරහ සිතිවිලි, කාම සිතිවිලි දුරු වෙලා යනවා. සාමාන්‍යයෙන් අපේ සිත අකුසල් එකතු කර කර යන ගතියක් තමයි තිබෙන්නේ. ඒකයි සතුට සැහැල්ලුව අප තුළ නැත්තේ.
හතරවැනි කාරණය පවිවේකාරාමෝ හෝති. තමන්ට කෙතරම් වැඩ කටයුතු බහුලව තිබුණත් සුළුවෙන් හෝ විවේකය පුරුදු කරන්න. දවසේ පොඩි වෙලාවක් වෙන්කර ගෙන බුදුගුණ, දම්ගුණ, සඟගුණ ආදී යම් ගුණයක් සිහි කරන්න. කයට මෙන් ම සිතටත් විවේකයක් දෙන තැනැත්තාට සතුටින් සැපයෙන් ඉන්න පුළුවන් යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළා.
පස්වැනි කරුණ ලෙස වදාළා අව්යාපජ්ඣාරාමෝ හෝති. තරහ සිත දුරු කරනවා කියන කාරණයි එහි තේරුම. එයට ඇලී තරහ සිත දුරු කරන්න යම් කෙනෙක් උත්සාහ කරනවා නම් ඒ තැනැත්තාට සැපය, සන්තෝෂය, සැහැල්ලුව, ප්‍රීතිය ලැබෙනවා. ඉතිං ඔබ සොයන සැපය තමයි මේ බුද්ධ දේශනා තුළ තිබෙන්නේ. එනිසා වැඩ වැඩි වුණා කියා ඇයට තරහ සිතිවිල්ලක් ඇතිකර නොගෙන තව කෙනෙකුට වචනයෙන්, කයින් උපකාරයක් කරනවා. තමා කරන පින ගැන සිත සිතා ඉන්නවා. බොහෝ කාන්තාවන්ට සැප සතුට නැත්තේ තමා කරන වැඩ කටයුතු පිනක් සේ සලකන්නේ නැති නිසයි. තමා වගකීම් යුතුකම් කරද්දී තව කෙනෙකුට පහසුවක් සැලසෙනවා නම් එතැන ඇයට පිනක් රැස්වෙනවා. සැපය සතුට නැත්තේ කරන දේ පිනක් කියා සිහි කරන්න දන්නේ නැති නිසයි.
හයවැනි කරුණ ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාළා නිප්පපඤ්චාරාමෝ හෝති. මේ ආයතන හයෙන් අරමුණු අරගෙන ඒවා නැවත නැවත සිතමින් සිටින විට ඒ අරමුණු විතර්ක බවට පත් වෙනවා. ඒ ඔස්සේ ප්‍රපංච ගොඩ නැගෙනවා. තමන්ට නොදැනී ම සිත ඈතට යනවා. සැපයට කැමැති කෙනා ප්‍රපංච දුරු කරනවා. ඉන්ද්රිය සංවරය, සීලය, ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කිරීමෙන් ප්‍රපංච දුරු කළ හැකියි. නිශ්ප්‍රපංච පිහිටන්නේ රහතන් වහන්සේලාට පමණක් බව ඒ දේශනාවේ සඳහන් වෙනවා.
භාග්‍යවතුන් වහන්සේ වදාළා යම් කෙනෙක් ඉහත කාරණා තුළ ඇලී වාසය කරනවා නම් කෙතරම් වැඩ කටයුතු බහුල වුවත් ඇය වීර්යය ආරම්භ කළ කෙනෙක්. එය ඇයට අකුසල්, ආශ්‍රව දුරු කරන්න හේතුවක් වෙනවා.
මේ නිසා වැඩ බහුල විට දී පවා ධර්මය සිහි කරමින් ධර්මයට ඇලී සිටිනවා නම්, ඒවා කරදරයක් ලෙස නො සිතා සිටිනවා නම්, ඇයට පින් ගංගාවල් ජීවිතය පුරා ගලනවා.
බුද්ධ ශාසනය තුළ එසේ ධර්මයට ඇලී සිටි ආර්ය ශ්‍රාවිකාවන් අපට මුණගැසෙනවා. විශාඛාව ගිහි ගෙදර බොහෝ වැඩ කටයුතු තිබූ තැනැත්තියක්. දරුවෝ තිස් දෙදෙනෙක් සමඟ ඇය සිර වී සිටියේ. නමුත් නිතර ම ඇය ධර්මයට ඇලී වාසය කළා. සැපෙන් සතුටින් සිටියා. ඒ වගේ ම බොහෝ දරුවන් සිටි තවත් අම්මා කෙනෙක් සිටියා. ඇයට ඒ ජීවිතේ බොහෝ දුක් පීඩා විඳින්න සිදු වුණා. ඇය ආරාමයකට ගියා. ඒ ආරාමයෙත් ඇයට වැඩවලින් නම් අඩුවක් වුණේ නැහැ. මුළු දවල් කාලය ම වැඩ, වැඩ, වැඩ. නමුත් ‘අනේ මට මෙතරම් වැඩ ඇයි?’ කියා තරහ සිතිවිල්ලක් ඇති කර ගත්තේ නැහැ. කලකිරුනේ නැහැ. වැඩ වැඩියි කියා ජීවිතය එපා කර ගත්තේ නැහැ. ‘අනේ මේ හැම දෙයකින් ම මට පිනක් රැස් වෙනවානේ’ කියා විතරයි සිතුවේ.
ඒ නිසා, අද වුවත් බොහෝ වැඩ පැවරී තිබෙන යම් කාන්තාවකට වුවත් පුළුවන් නම් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට අනුව සිත පවත්වා ගන්න, ‘එදා සිටි ආර්ය ශ්‍රාවිකාවන් වැඩ වැඩියි කියා අකුසල් සිතක් ඇතිකර ගත්තේ නැහැ‘ කියා සිහි කරන්න පුළුවන් නම්, ධර්මයට අනුව ජීවිතය මෙහෙයවා ගන්න පුළුවන් නම් සතුටින් සිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. එහෙම කාන්තාවන් අදත් අපි අතර සිටිනවා. ඇය වැඩ අවසන් කරන විට මධ්‍යම රාත්‍රිය එළඹෙනවා. නමුත් කෙතරම් වැඩ වැඩි වුවත් තමන් කරන පින සිහිකර කර, සිහිකර කර සතුටු වෙනවා. දුකෙන් වාසය කරන්නේ නැහැ.
එනිසා ඔබත් බොහෝ වැඩකටයුතු මැද තරහ නොගෙන, අපහසුතා විඳගෙන ‘අනේ මට ඇයි මෙහෙම වුණේ’ කියා නො සිතා සතුටින්, සැපසේ වාසය කරන්න ලැබේවි.
සාකච්ඡා සටහන – නයනා නිල්මිණි
Recent Comments