අපගේ භාග්‍යවතුන් වහන්සේ සත්පුරුෂයා ගැන මෙසේ වදාළා.

“මහණෙනි, සත්පුරුෂයා පවුලක ඉපදීම නිසා බොහෝ දෙනාට යහපත, හිතසුව පිණිස වෙයි. මව්පියන් හට යහපත හිතසුව පිණිස වෙයි. අඹුදරුවන් හට යහපත, හිතසුව පිණිස වෙයි. දාස කම්කරු පුරුෂයින් හට යහපත, හිතසුව පිණිස වෙයි. යහළු මිත්‍රයන් හට යහපත, හිතසුව පිණිස වෙයි. මිය පරලොව ගිය ඥාතීන්ට යහපත, හිතසුව පිණිස වෙයි. රජු හට යහපත, හිතසුව පිණිස වෙයි. දෙවියන් හට යහපත හිතසුව පිණිස වෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන් හට යහපත හිතසුව පිණිස වෙයි.

මහණෙනි, එය මෙබඳු දෙයකි. මහා වැස්ස සියලු ගොවි බිම් සරු කරයි ද එය බොහෝ ජනයාට හිතසුව පිණිස වෙයි.”

සත්පුරුෂ ඇසුර කියන්නේ හරිම සුන්දර දෙයක්. හරිම අසිරිමත් දෙයක්. සත්පුරුෂයෙක් ඇසුරු කරන්න ලැබුණොත් දුස්සීල ජීවිතයක් ගෙවන අයට සිල්වත් වෙන්න පුළුවන්.

සත්පුරුෂයෙක්ගෙන් භය වෛරය උපදින්නේ නෑ. අන් අයට අනුබලයක් ලැබෙන්නෙත් නෑ. අන් අයවත් භය වෛරයෙන් මුදවන්න මහන්සි ගන්නවා. අන් අයට ද්වේෂයෙන් වෛර කර කර ඉන්න සිත ආදරය කරුණාව අනුකම්පාව තුළ ඇවිළෙන ගින්නක් මහා වතුරෙන් නිවලා දානවා වගේ නිවලා දාන්න පුළුවන්. දුක ශෝකය පිරුණු ජීවිතයට සැනසිල්ලක් ලබා ගන්න පුළුවන්. ඔහේ ගෙවලා දාන ජීවිතය අර්ථවත් විදිහට ගත කරන්න පුළුවන්. වැටිච්ච කෙනාට නැගිටින්න පුළුවන්. අනේක ප්‍රශ්න ගැටලු මැද්දේ සැනසුම් සුසුමක් හෙළන්න පුළුවන්. මෙලොව යහපත උදා කර ගන්නත් පුළුවන්. පරලොව සුගති රැකවරණය ලබා ගන්නත් පුළුවන්. අමා නිවන ලබන්නත් පුළුවන්.

මේ තුන් ලෝකයට ම මහා කරුණාවෙන් වැඩ හිටිය පරම සත්පුරුෂ උතුමාණන් වහන්සේ තමයි අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ පහළ වීම නිසා සත්පුරුෂ උතුමන් වහන්සේලාගෙන් මේ මිහි මඬල සුන්දර වුණා. අනේක දෙවි මිනිසුන්ට සෙත ශාන්තිය සැලසුණා.

සත්පුරුෂයෙක් සුළු මොහාතක් ඇසුරු කරන්න ලැබුණත් මහා රැකවරණයක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටිය කාලේ එක තරුණයෙක් හිටියා. සාගරයෙන් එතෙර වෙළඳාම් කිරීම පිණිස නැව් නගින්න තීරණය කළා. නැව් නගින්න කලින් මේ තරුණයා භික්ෂු සංඝයාට දානයක් දුන්නා. තෙරුවන් සරණ ගියා. සීලය සමාදන් වුණා.

විශාල සෙනගත් සමඟ නැවේ ගමන් කළා. දවසින් දවස ගෙවි ගෙවී හත් වෙනි දවස ආවා. මහා සාගරයේ වේගයෙන් ගමන් කරන මේ නැවේ හදිසියේ ම සිදුරක් හැදුණා. වතුර පිරෙන්න පටන් ගත්තා. මිනිස්සු කොතෙකුත් උත්සාහ කළත් සිදුර වහන්න බැරි වුණා. මිනිසුන්ට මරණ භය ඇති වුණා. ඇතැම් අය අන් අයගෙන් පිහිට ඉල්ලුවා. ඇතැම් අය තෙරක් නොපෙනෙන මහා සාගරයේ පිහිට වෙන්න කෙනෙක් හෙව්වා. ඇතැම් අය තම තමන්ගේ දෙවිවරුන්ගේ නම් කිය කියා ජීවිතේ ඉල්ලුවා. ඇතැම් අය අහසට අත් දිගු කරමින් පිහිට යැදුවා. පපුවේ අත් ගගහා වැළපුණා. හිසේ අත් ගගහා වැළපුණා. මේ අය අතර එක් කෙනෙක් කිසිම භයක් තැතිගැනීමක් නැතිව, සන්සුන් ව, පළඟක් බැඳගෙන වාඩිවෙලා ඉන්නවා. හැමෝටම මේ පුරුෂයා ගැන පුදුම හිතුණා. අහනවා, “පුරුෂය, ඔබ දන්නෙ නැද්ද? මහා අනතුරක් වෙලා. අපේ ජීවිතවලට කුමක් වෙයි ද දන්නෙ නෑ. ඔබට බය නැද්ද?”

“පින්වත, මම මේ නැවට නගින්න කලින් භික්ෂු සංඝයාට දානයක් දුන්නා. තෙරුවන් සරණ ගියා. සිල් සමාදන් වුණා. මට බයක් නෑ. මට පිහිටක් තියෙනවා.”

ඒ පිරිස කියනවා, “අනේ! ඔබට යම් දෙයකින් පිහිටක් ලැබුණා නම් ඒ දේ අපිට දෙන්න පුළුවනි ද?”

“පුළුවනි.”

නැවේ හත්සියයක පිරිසක්. මේ තරුණයා පිරිස 100 ගානේ කාණ්ඩායම් හතකට බෙදුවා. පළමු සියයට හඬ නගා කීවා, “පින්වතුනේ, ඔබ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යන්න.” කියලා. ඒ හැම දෙනාම “මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ‘බුද්ධං සරණං ගච්ඡාමි’.” කීවා. ධර්මයත් සරණ යන්න කීවා. ඒ හැම දෙනාම “මම උතුම් ශ්‍රී සද්ධර්මය සරණ යනවා. ‘ධම්මං සරණං ගච්ඡාමි’.” කීවා. ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නය සරණ යන්න කියලා දුන්නා. “ආර්ය මහා සංඝරත්නය සරණ යනවා, ‘සංඝං සරණං ගච්ඡාමි’.” කීවා. ඒ හැම දෙනාම සීලයෙත් පිහිටෙව්වා.

මේ වෙනකොට නැවේ වතුර මිනිසුන්ගේ ගොප් ඇටය දක්වා පිරිලා. සියයක් වූ දෙවන පිරිස තෙරුවන් සරණෙත්, සීලයෙත් සමාදන් කරවද්දී දණහිස දක්වා වතුර පිරිලා. තුන්වෙනි පිරිසට කියද්දී ඉඟටිය දක්වා පිරුණා. සිව්වන පිරිසට කියද්දී ඉණ ළඟට වතුර පිරුණා. පස්වන සියයක් පිරිසට කියද්දී පපුව ළඟට වතුර පිරිලා. හය වන පිරිසට කියද්දී ගෙල තෙක් වතුර පිරිලා. හත්වන පිරිස තිසරණ සහිත සීලයේ සමාදන් කරවද්දී කට ළඟට වතුර පිරිලා. ලුණු වතුර පෙවි පෙවී සරණ ගියේ. හරි ම අසිරිමත්…! මහා සාගරය මැද හත්සියයක් පිරිසට සත්පුරුෂයෙක් මුණගැහුණා.

හැම දෙනාම මරණයට පත්වෙලා තව්තිසා දෙව්ලොව සතුල්ලපකායික දෙවිවරු වෙලා උපන්නා. යොදුන් 12ක් විශාල දිව්‍ය විමාන වෙන වෙන ම පහළ වුණා. ඒ තරුණයාට සියලු විමානයන්ට ඉහළින් යොදුන් 100ක් පුරා පැතිරුණ, රත්තරනින් බබළන, මහානුභාව ඇති විමානයක් පහළ වුණා.

හත්සියයක් දිව්‍ය පිරිස තමන්ට මේ සා සැප ලැබුණේ කුමන පිනක් නිසා ද කියා බලද්දී මහා සාගරය මැද තමන්ට සත්පුරුෂයෙක්ගෙන් ලැබුණ පිළිසරණ පෙණුනා. “අපි හැම දෙනාම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ සත්පුරුෂයාගේ ගුණ කියමු.” කියලා රැය පහන් වන වේලාවේ මුළු ජේතවනාරාමය ම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිත් වන්දනා කරලා හිටගත්තා. පැත්තකින් හිටගත්ත එක් දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කීවා.

“සත්පුරුෂයින් සමඟ ම යි ඉන්ට ඕන. සත්පුරුෂයින් සමඟ යි යාළු වෙන්ට ඕන. සත්පුරුෂයින්ගේ ධර්මය දැනගත්තු කෙනාට දියුණුවක් ම යි සිද්ධ වෙන්නෙ. පිරිහීමක් නම් සිද්ධ වෙන්නේ නෑ.”

තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කීවා.

“සත්පුරුෂයින් සමඟ ම යි ඉන්ට ඕන. සත්පුරුෂයින් සමඟයි යාළුවෙන්ටත් ඕන. සත්පුරුෂ ධර්මය දැනගත්තු කෙනාට ප්‍රඥාව ලැබෙනවා. වෙන දේකින් ප්‍රඥාව ලැබෙන්නේ නෑ.”
තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කීවා.

“සත්පුරුෂයින් සමඟ ම යි ඉන්ට ඕන. සත්පුරුෂයින් සමඟයි යාළුවෙන්ටත් ඕන. සත්පුරුෂ ධර්මය දැනගත්තු කෙනාට ශෝක වෙන ජනයා මැද ශෝක නොවී ඉන්ට පුළුවනි.”
තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කීවා.

“සත්පුරුෂයින් සමඟ ම යි ඉන්ට ඕන. සත්පුරුෂයින් සමඟ ම යි යාළුවෙන්ට ත් ඕන. සත්පුරුෂ ධර්මය දැනගත්තු කෙනා ඥාතීන් මැද බබළනවා.”

තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කීවා.

“සත්පුරුෂයින් සමඟ ම යි ඉන්ට ඕන. සත්පුරුෂයින් සමඟයි යාළුවෙන්ටත් ඕන. සත්පුරුෂ ධර්මය දැනගන්න උදවිය සුගතියේ උපදිනවා.”

තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කීවා.

“සත්පුරුෂයින් සමඟ ම යි ඉන්ට ඕන. සත්පුරුෂයින් සමඟයි යාළුවෙන්ටත් ඕන. සත්පුරුෂ ධර්මය දැනගන්න උදවිය බොහෝ කල් සැප සේ ජීවත් වෙනවා.”

එතකොට දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහ්න්සේගෙන් මෙහෙම ඇහුවා.

“භාග්‍යවතුන් වහන්ස, කවුරු විසින් ද ඉතා ම හොඳට කිව්වේ?”

භාග්‍යවතුන් වහන්සේ එවිට මෙකරුණ වදාළා.

“ඔය හැම දෙනෙක් ම බොහෝ ම හොඳට කරුණු කිව්වා. එහෙනම් මගේ අදහසත් දැන් අහන්න.

සත්පුරුෂයන් සමඟ ම යි ඉන්ට ඕන. සත්පුරුෂයන් සමඟ යි යාළුවෙන්ටත් ඕන. සත්පුරුෂ ධර්මය දැන ගැනීම නිසා, සියලු දුකින් නිදහස් වෙනවා.”

*********************************

සාදු! සාදු!! ඔබටත්, මටත් සත්පුරුෂ ඇසුර දිවි තිබෙන තුරා ම ලැබේවා! සසර පුරා ම ලැබේවා! සත්පුරුෂ ධර්මය ම මුණගැසේවා! චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව උදාවේවා!