දුරාතීත යුගයේ දී ලෝකයෙන් ම උතුම් රට හැටියට දේශ දේශාන්තරයන්හි පතල සිංහල දේශයේ අභිමානවත් අතීතය පිළිබඳ ව වර්තමාන අවදියේ ජීවත්වන බහුතර ජනකායක් වෙත වරින් වර මතක් කර දිය යුතුව ඇත්තේ ඔවුන් ඉතිහාසයක් නොදන්නා පිරිසක් හැටියට සිය චර්යා රටාවන් මෙහෙයවන ආකාරය පෙනී යන බැවිනි. භාරතීය ඉතිහාසයට පවා එළියක් විහිදුවන අපගේ ජාතියේ අතීතය පිළිබඳ වටිනා ම පුස්තකය වන මහාවංශය නම් වූ උතුම් ග්‍රන්ථය නොහැදෑරීම නැතහොත් අමතක කොට දැමීම අප ජාතියට සිදු වූ මහත්ම අභාග්‍යය යි. ඉතිහාසයක් නොමැති ජනකායකට වර්තමානයක් හෝ අනාගතයක් හෝ නොමැති බව දන්නා බටහිරයෝ බෞද්ධාගමෙන් පෝෂණය වුණු ඉගැන්වීම් ක්‍රියාවලිය ජනතාවගෙන් ඈත් කොට මිෂනාරි අධ්‍යාපනය දිවයින පුරා පතල කොට හැරියහ. මහාවංශය, රාජාවලිය, පූජාවලිය ආදී දේශීය ඉතිහාසය ගැන කියැවෙන ග්රන්ථ අධ්‍යාපන විෂය මාලාවෙන් ඉවත් කිරීමට බටහිරයන් අනුකරණය කළ සිංහල උගත්තු ද කටයුතු කළහ. මේ නිසා අතීත යුගයේ සිංහල ජාතියේ අධ්‍යාත්මය දැනුමෙන්, ඇවතුම් පැවතුමෙන් පෝෂණය කළ සම්භාවනීය ග්රන්ථ පුස්කොළ පොත් විහාරස්ථානයන්හි අල්මාරි තුළ පූජා භාණ්ඩ බවට පත් විය.
ශ්‍රී ලංකාද්වීපය තරම් අතීත යුගයේ සිට ලෝකවාසීන්ගේ අවධානයට යොමු වූ දේශයක් තවත් නැති තරම් යයි ඓතිහාසික සිදුවීම් ගැන මෙනෙහි කරන විට පෙනී යයි. දිවයිනක් වශයෙන් ලෝක ගෝලයේ සෙසු රටවල් අතර සාගරය මැද පිහිටා තිබෙන ආකාරය, එහි සදාහරිත පාරිසරික සෞන්දර්යය, පවත්නා ඛනිජ ද්‍රව්‍ය හා භව භෝග සම්පත් දුරාතීත යුගයේ සිට ලෝකවාසීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය. ඉන්දියන් සාගරය ඔස්සේ මුළු ලොව ම සම්බන්ධ කරන මුහුදු මාර්ග ජාලයේ කේන්ද්‍ර ස්ථානයක පිහිටා තිබීම නිසා විවිධ රටවල ජනයා ලක්දිවට පැමිණියහ.
ව්‍යවහාර වර්ෂ පූර්ව හතර වැනි සියවසටත් එහා යුගයේ සිට ම සිංහල දේශය විදේශික ජාතීන්ගේ ආකර්ෂණය දිනාගෙන තිබුණ බවට ලිඛිත සාධක පවතී. ගණනින් කියා නිම කළ නොහෙන දීර්ඝ අතීතයක සිට සිංහල දේශය උතුම් පින්බිමක් බව ගෞතම බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඤාණයෙන් පසක් කොටගෙන සිටි හෙයින් “මාගේ ශාසනය අවුරුදු පන්දහසක් කල් සුරැකිව පවතින්නේ සිංහල දේශයෙහි ය.” යි දේශනා කොට වදාළහ. බුදු මුවින්, බුදු රැසින්, මෙත් කරුණා දියෙන් තෙමී සැනහී ආශීර්වාද ලද ලංකා පුණ්‍ය භූමිය පිළිබඳ ව ලියැවුණු, කියැවුණු, ගැයුණු අප්‍රමාණ වූ නිර්මාණයන් අතුරෙන් වත්මන් යුගයට පිරිමැහෙන දේශානුරාගී ගී සරණියක තවත් අදියරක් සඳහා පූර්වෝක්ත පසුතල සංකථනය ඉදිරිපත් කෙළෙමි. බුදු වදනින් තෙමුණු සාමකාමී සොඳුරු දේශයක තිර පැවැත්මට එරෙහි දුෂ්ට බලවේග විසින් මෙහෙයවා අතීතය අමතක කරවනු ලැබූ ජනකායකගේ ජාතික හා දේශජ වාත්සල්‍යය, එමගින් අවදි කරවීම අපගේ ව්‍යායාමය වන්නේ ය.
මෙවර අප ඉදිරිපත් කරන ගීතය මින් අඩ සියවසකටත් එපිට යුගයක දී තිරගත වුණු ‘ඩිංගිරි මැණිකා’ නම් වූ සිනිමා තිරපටයේ ඇතුළත් වූවකි. විසිවැනි සියවස මුල දී ‘ඩිංගිරි මැණිකා’ නවකථාව රචනා කළ පියදාස සිරිසේනයන්ට ද පසුබිම් ව පැවතියේ අදට වඩා වෙනස් මුහුණුවරකින් පැනනැඟුණු දේශ විරෝධි බලවේගයකි. බටහිරට ගැතිකම් දැක්වූ සිංහල ජනයා තුළ ජාතිකානුරාගය දැනවීම සඳහා නවකථා ලියූ ඔහු ඩිංගිරි මැණිකා තුළින් ද අපේක්ෂා කළේ එය යි. ඒ ඇසුරින් නිර්මාණය වූ සිනිමා සිත්තමෙහි රැව්දුන් ගීතය, මව්බිමේ අභිමානවත් අතීතය අමතක කොට නොඑක් පිල්වලට බෙදී කා කොටා ගන්නා ජනකායකගේ සිහි කල්පනාව අවදි කිරීමට හේතු වන්නක් යයි සිතමි. ශ්‍රාවක සිත් තුළ ඔද තෙද කා වැදී යන සීනු කටහඬින් එදවස එම දෑ අභිමානි ගීතය ගායනා කරන ලද්දේ ලතා වල්පොල ගායන ශිල්පිනිය සහ පිරිස විසිනි. ගී පද රචනය කරුණාරත්න අබේසේකරගේ ය.
“පෙරදිග මුතු ඇටය යි මේ…. ලෝකේ
සිරිබර සිරි ලංකා…”
ආරම්භක මේ ගී පද යුගලයෙන් රැව් දිදී නින්නාද වන්නේ සිංහල දේශයේ අභිමානවත් අතීතයේ උදාරත්වය යි. දුරාතීතයේ පෙරදිග මුතු ඇටය කෙසේ පැවතිණි ද? කවර ම යුගයක නිරීක්ෂණය කළ ද ලෝක සිතියමේ මුතු ඇටයක් ලෙසින් දිස්වන අප මාතෘ භූමිය, අතීතයේ සැබැවින් ම මුතු මැණික් සම්පතින් ආඪ්‍ය වූ දිවයිනකි. එදවස මෙහි පැවති සියලු ම නැව් තොටු මුතු මිල දී ගන්නා වෙළඳුන්ගෙන් පිරී පැවතිනැයි කියැවේ. හූරාතොට (කයිට්ස්), තම්බපණ්ණි, මෝදරගම් ආරු මුවදොර පිහිටි මගන (මේ නැව් තොට ටොලමි හැඳින්වූයේ මකන නමිනි), කලාඔය මුවදොර පිහිටි උරුවේලා යන හැම නැව් තොටක් ම මුතු බෙල්ලන් කැඩීමට ගන්නා අනර්ඝ මුතු අපනයනය කිරීමට ප්‍රසිද්ධ ව තිබිණ. එවක ලොව ප්‍රකට වරායවල් වූයේ මහාතිත්ථ (මාතොට) හා ගෝකණ්ණ යන නැව් තොටු දෙක යි. සිංහල දේශයේ අනර්ඝ මුතු මැණික් වර්ග නිසාත්, ඉහත කී වරායවල් දකුණු ඉන්දියාවේ කොරමණ්ඩල් වෙරළට මුහුණ ලා තිබුණු නිසාත් සොලීන් හා පාඬින් සිංහල දේශය ආක්‍රමණය කිරීමට පෙළඹුණු අයුරු මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරිහු පෙන්වා දුන්හ. (ලංකා ඉතිහාසය – 1964 – 19 පිටුව)
මුතු ඇටයක වටිනාකම භෞතික වශයෙන් පමණක් නොව ආධ්‍යාත්මික ගුණයෙන් ද පොහොසත් ය. පෙරදිග මුතු ඇටය හැටියට සිංහල දේශය හැඳින්වුණේ එහි පවත්නා සුන්දරත්වය ද ලෝවාසීන් අගය කළ හෙයිනි. වයඹදිග වෙරළෙන් කිමිද සපයා ගනු ලැබූ අනර්ඝ මුතු සහ ඈත උතුරේ මුහුදෙන් සපයා ගත් මුතු සහ සක් බෙල්ලන් ඉන්දියාවටත්, වෙනත් රටවලටත් අපනයනය කළ ඉස්තරම් වෙළඳ භාණ්ඩ විය. සිංහල දේශයේ එක් ස්ථානයකින් සපයා ගනු ලැබූ නොයෙක් මුතු වර්ග ගැන ව්‍යවහාර වර්ෂ පූර්ව 4 වැනි සියවසේ දී ලියන ලද කෞටිල්‍ය අර්ථ ශාස්ත්රයේ සඳහන් ව ඇති බව මහාචාර්ය පරණවිතාන සූරීහු කියති. (කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රය, ඉංග්‍රීසි පරිවර්තනය 83 පිටුව)
ව්ය. ව. 411 දී ලක්දිවට පැමිණි ෆාහියන් තෙරුන් ලියූ ‘බෞද්ධ රාජධානි පිළිබඳ වාර්තාව’ කෘතියෙහි ද එවක ලංකාවේ පැවති මුතු මැණික් වර්ග ගැනත්, එයින් රජුට ලැබෙන අයබදු ගැනත් සඳහන් කොට තිබේ. ප්රස්තුත ගීතයේ ස්ථායි පද යුගලය ගැන මේ සා දිග විවරණයක් ඉදිරිපත් කළේ මුතු ඇටයක් වැනි දිවයිනක මහාර්ඝත්වය ගැනත්, එහි වෙසෙන්නන් තුළ තිබිය යුතු අභිමානය ගැනත් අවබෝධයක් ඇති කිරීම සඳහා ය. එම ගීතයේ දෙවැනි කොටසින් දෑ අබිමන උත්කර්ෂයට නංවන්නේ මෙපරිද්දෙනි:
“ජනිතවු සැම මෙම පොළොවේ
නිති ආඩම්බර විය යුතු වේ”
සිරිලක් පොළොවේ ජනිත වූ සෑම දෙනෙකු ම ආඩම්බර විය හැකි අඛණ්ඩ ඉතිහාසයක් ඇත. ලොව ශ්‍රේෂ්ඨතම ආගම වන බුදු දහමින් පෝෂණය වුණ ජාතියකට අයත් වීම හා නිර්මල බුදු දහම පවත්නා දේශයක උපත ලැබීම සියලුම ජාතින්ට පරම භාග්‍යයකි. වර්ගවාදී, ගෝත්රවාදී හා ආගම් භේදවාදී ගැටුම් මෙහි නොමැත. වෙනත් දේශයකට යා නොවුණ සොඳුරු දේශගුණයක් පවත්නා රටක වැසියන් වීම, හරිත වර්ණයෙන් බැබළෙන ශාක පද්ධතීන්ගෙන් යුතු සමශීතොෂ්ණ පරිසරයක ආස්වාදය ලැබීම ගැන අපට අඩම්බර විය හැකි ය.
“දෑ කුල බේදේ ආගම් වාදේ
හැරදා එකමුතු වී – සමඟිව පේළි සැදී
දිවි දී…. රකිමු අපේ ලංකා”
බටහිර ධන වැද්දන් වූ අධිරාජ්‍යවාදීන් බලය අත්පත් කර ගැනීමට පෙර දෙදහස් වසරක් මේ රටේ ජනතාව එක ම ජන සංඝයක් ලෙස වැඩුණේ බුදු දහමේ ඉගැන්වීම්වලට අවනත ව හා අනුකූල ව සිය දිවි පෙවෙත හැඩගස්වා ගත් හෙයිනි. ජාති – කුල – ආගම් භේද කිසිවක් ඔවුන් අතර පැවතුණේ නැත. සිංහලයකු නොවන්නකු සිහසුනට පත් වුව ද ඔහු අනුගමනය කළේ බෞද්ධ පාලකයෙකුගේ පාලන වත් පිළිවෙත් ය. ඔවුහු සිරිලක් දේශය දිවිහිමියෙන් ආරක්ෂා කළහ. වර්තමානයේ එක් එක් පක්ෂවලට බෙදී කුලල් කා ගන්නා ලාංකික ජනතාව අනුගමනය කළ යුත්තේ අතීත මුතුන් මිත්තන් අනුගිය මඟ යි. පෙරදිග මුතු ඇටයේ මහිමය පෙන්වා දෙන මේ ගීතයේ අවසානය, අද අප පත්ව සිටින ඛේදනීය ව්‍යසනයත්, ඉන් ගැලවෙන මඟත් අනාවරණය කරන්නකි:
“නැඟී සිටිය හැක එක්සත් වී
බෙදී ගියොත් රට යයි සුන් වී
පිබිදෙව්! පිබිදෙව්! පිබිදෙව්!
අපගේ විකුම බලේ – රට ජාතියෙහි බලේ
දිවි දී රකිමු අපේ ලංකා…”
අන් ජාතීන් එක් පුද්ගලයකුගේ ප්‍රශ්නයක දී වුව සියලු ම දෙනා පක්ෂ පාට නොසලකා එකමුතු ව එක් පිළකට වී තම ශක්තිය පළ කරද්දී සිංහල ජාතිය පක්ෂ වශයෙන් බෙදී කුලල් කා ගන්නා තැනට අද පත්ව සිටී. මේ කුලල් කා ගැනීම ගම් දනව්වලට ද පැතිර ගොස් එක ම පවුලේ අය පවා බෙදී ආරවුල් ඇති කර ගන්නා අයුරු දැක්ක හැකි ය. මෙය වූ කලී අනාගත මහ විපතක පෙර නිමිත්තකි. එහෙයින් එදවස සමස්ත ශ්‍රී ලාංකේය ජාතිය ඇමතූ “පෙරදිග මුතු ඇටය යි මේ” නම් වූ මේ ගීතය අද සාකල්‍යයෙන් ම අදාළ වන්නේ සිංහල ජාතියට යයි සිතමි.
“නැඟී සිටිය හැක එක්සත් වී
බෙදී ගියොත් රට යයි සුන් වී
පිබිදෙව්! පිබිදෙව්! පිබිදෙව්!”
සටහන – දයාපාල ජයනෙත්ති
Recent Comments