බුදු සසුනක සිසිල නොවිඳින කාලයේදීත් මිනිසුන් සිල්පද රැක්කා. ඒ සීලයේ අනුසස් වින්දා. නමුත් බුද්ධ ශාසනයක් පවතින කාලයක රකින සීලයක් තුළින් පමණයි නිවන් මගට මාවත සැකසෙන්නේ. අද අප සමාජයේ බොහෝ දෙනා සිතනවා සමාදන් වූ සීලය පොඞ්ඩක් කැඩුනාට, පුංචි පුංචි සතුන් මැරුවාට, විහිළුවට ඉඳහිට බොරුවක් කිව්වාට, සාදයක දී මත්වතුර පාවිච්චි කළාට අවැඩක් නැහැ කියා. ඒ පිළිබඳ ව තවදුරටත් කරුණු දැනගැනීම පිණිස මහමෙව්නාව අනගාරිකා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ අප සාකච්ඡා කළා.

****************************************

සීලය පිළිබඳ ව අපගේ ශාස්තෘන් වහන්සේ විවිධ ආකාරයෙන් වර්ණනා කොට තිබෙනවා. උන්වහන්සේ වදාළා කිරලියක් බිත්තර රකිනවා වගේ සිල්පද රකින්න කියලා. ඒ කිරලි බිත්තර උඩට ගිහින් පාද උඩට තබාගෙන කෑ ගසමින් සිටින්නේ. ඇයි ඒ? ඇය බයයි ආකාශය කඩා වැටිලා බිත්තර විනාශ වෙයි කියලා. එතරම් ම පරිස්සමට බිත්තර රකිනවා. ඒ වගේ ම සෙමර මුවාගේ වටිනා ම තැන ඒ සතාගේ වලිගය යි. සෙමර මුවා වලිගය රැක ගන්නේ කෙසේ ද ඒ ආකාරයට තමා සමාදන් වූ සිල්පද රකින්න කියලා.

යම් මවකට සිටින්නේ එක ම දරුවා නම් ඒ අම්මාගේ මුළු ජීවිතය ම ඒ දරුවායි. ඒ දරුවා රකිනවා වගේ සමාදන් වූ සිල්පද රකින්න ඕනේ. ඒ අම්මා ඒ දරුවා ටිකක් එහා මෙහා වෙනවාට කැමැති වෙන්නේ නැහැ. ඒ අම්මා හිතන්නේ මගේ දරුවාට හානියක් වෙන්න එපා කියලයි. ඒ වගේ සීලය සමාදන් වූ ඔබත් සිහි කළ යුත්තේ පොඩියටවත් මගේ සීලයට හානියක් වෙන්න එපා කියලයි. ඒ වගේ ම එක ඇසක් ඇති මිනිසෙක් ඒ ඇස පරිස්සම් කර ගන්නවා වගේ සිල්පද පරිස්සමට රැකගන්න ඕනේ. එහෙමනම්, ටිකක් මත්වතුර ගත්තාට කමක් නැද්ද? පොඩි බොරුවක් කීවාට කමක් නැද්ද? කියා සිතා බලන්න.

අපට පුළුවන් නම් මේ ආකාරයට සිල් රැකගන්න අපගේ මරණාසන්න මොහොත කෙතරම් නම් ආරක්ෂා සහිත ද. සිල්පද රැකීම තුළ තිබෙන පුණ්‍ය විපාකය අතිශයින් ම බලවත් එකක්. එසේ නම් මේ සිල්පද කැඩීමෙන් අත්වන විපාකය ද ඉතා බරපතළ විපාකයක්. මේ පිළිබඳ ව ඉතා ම සුන්දර විස්තරයක් අංගුත්තර නිකායේ පහ පොත් වහන්සේගේ අපාය සංවත්තනික සූත්‍රය නමින් තිබෙනවා. එහි සඳහන් වෙනවා යම් කෙනෙක් සතුන් මරනවා නම්, සතුන් මැරීම නිතර නිතර කිරීමට පෙළඹෙනවා නම්, බහුල ව එය කරනවා නම් අනිවාර්යෙන් ම ඒ උපත නිරයට සැකසෙනවා. එහෙම නැත්නම් ප්‍රේත ලෝකයට යනවා. එසේ නැත්නම් තිරිසන් අපායට යනවා. සතෙකු මැරීමෙන් ලැබෙන අඩුම විපාකය සමඟ ඔහු මනුස්ස ලෝකයට ආ විට අඩු ආයුෂයෙන් මනුස්ස ලෝකයෙන් සමුගන්න වෙනවා. යමෙක් සතුන් මරන විට එහි විපාකයක් තිබෙනවා කියා තේරෙන්නේ නැහැ. නමුත් අපට පොඩි දරුවෝ මැරෙනවා පේනවා. සමහර දරුවෝ මවුකුසේ දී මැරෙනවා. නැත්නම් මේ ලෝකයට බිහිවෙන විට මැරෙනවා. මිනිස් ලෝකයේ ටික කාලයක් ජීවත් වෙලා ඉඳලා මැරෙනවා. හැමෝම අඬනවා. තරුණ කාලයේ මැරෙනවා. එවිටත් වැළපෙනවා. දරුවෝ පොඩි කාලයේ ළමා කාලයේ මැරෙන විට අනේ මේ දරුවා අකාලයේ මැරුණේ ඇයි? කියා අප කියනවා. ඒකට වැරැද්ද කළේ කවුද? වැරැද්ද කොතැන ද කියලා අපට එක විට ම හිතෙන්නේ නැහැ. නමුත් එසේ මියගිය දරුවා පෙර ජීවිතයක සත්තු මරා තිබෙනවා. සමහර විට මේ ජීවිතයේ ඔහු ඉතා අහිසංක කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අපි කෙතරම් හඬා වැළපුණත්, ප්‍රාණඝාතයේ විපාකයි ඔහුට ලැබුණේ. එහෙම නම් අද කාලයේ කෙනෙක් බහුල ලෙස සතුන් මරනවා නම් පසු ආත්මයක මනුස්ස ලෝකයට ආවොත් අඩු ආයුෂයෙන් මැරෙන්න වෙනවා. ඒ විපාකයේ අඳුරු ස්වභාවය විස්තර කරන්න දන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි.

ඒ වගේ ම යම් කෙනෙක් සොරකම් කිරීම කළොත්, නැවත නැවත කළොත්, බහුල ව කළොත් නිරයේ යන්න වෙනවා. තිරිසන් ලෝකයේ යන්න වෙනවා. ප්‍රේත ලෝකයේ යන්න වෙනවා. සොරකම් කළ පුද්ගලයාට ලැබෙන අඩු ම විපාකය යම් දවසක මිනිස් ලෝකයේ උපත ලැබුව ද ඔහුගේ දේපළ විනාශ වෙනවා. තමන් බොහෝ කාලයක් මහත් කැපවීමෙන් එක්රැස් කළ දේ සුළු මොහොතකින් විනාශ වෙනවා. අපට මේ වගේ සිද්ධීන් පේනවා. නමුත් ඒ පිටුපස්සේ ඇති සසරේ කළ දේ පේන්නේ නැහැ. අනුන් සතු දෙයට ආශා කර කර හොර සිතින් තව කෙනෙක්ගේ දේ ලබාගෙන මේ ලෝකයේ දිනූ කෙනෙක් නැහැ. සසරේ තමා පිටුපස එන අකුසලය කවුරු නම් නවතා දමන්න ද? විපාකයේ ස්වභාවය දන්නවා නම් අනුන්ගේ දෙයක් තිබූ තැනින් ඔසවන්නට පවා අප බය වෙනවා. සොර සිතින් ඒ දේ ගැනීමට ඔසවද්දී ම සමාදන් වූ සීලය කැඩෙනවා.

ඒ වගේ ම සඳහන් වෙනවා වැරදි කාම සේවනය පිළිබඳවත්. එය නැවත නැවත කිරීම හේතුවෙන් නිරයේ යනවා. තිරිසන් අපායේ යනවා. ප්‍රේත ලෝකයේ යනවා. අඩු ම විපාකය මිනිස් ලොව ආ විට බොහෝ සතුරන් ඇතිවෙනවා. සතුරන් ඇතිවුණාම ජීවත් වෙන්න ඉතා අමාරුයි. සියලු දෙනා මිතුරු නම් එය පහසුවක්. එසේ නම් නිරයේ, ප්‍රේත ලෝකයේ, තිරිසන් ලෝකයේ දුක කෙසේ ද කියා සිහි කරන්න. සමහර විට අපට ඇසුරු කරන්නන්ගේ ආදරය නොලැබෙන්න, විවාහ ජීවිතය කඩාකප්පල් වෙන්නත් මේ අකුසලය බලපානවා.

මේ දේශනාවේ තවදුරටත් සඳහන් වෙනවා නිරන්තරයෙන් කෙනෙක් බොරු කියනවා නම්, මරණින් මතු නිරයේ යනවා. ප්‍රේත ලෝකයේ යනවා. තිරිසන් ලෝකයේ යනවා. බොරු කීමෙන් ලැබෙන අඩු ම විපාකය නම් මිනිස් ලොවට ආ විට නිකරුණේ නින්දා අපහාස ලැබෙනවා. කාරණා සහිත ව නින්දා ලබනවාට වඩා නිකරුණේ තමා නොකළ වරදකට අපවාද ලැබෙන විට සිතට අමාරුයි. වැරැද්ද නොකරත් වැරැද්දක් වුණා වගේ වචන අසමින් කොන් වෙන්න වෙනවා. එවිටත් සිත කඩා වැටෙන්න පුළුවන්. වැරදි එසේ නොකර නින්දා ලබන කෙනෙක් පිළිබඳ ව ඔබ දන්නවා නම් ඔබත් සිතයි, ‘අනේ කිසි වැරැද්දක් නැහැ. ඇයි මෙහෙම වෙන්නේ?’ කියලා. එතැනදීත් අපි තේරුම් ගන්න ඕන ‘මේ සසරේ හැටි. සසරේ බොහෝ සේ බොරු කියා තිබෙනවා. දැන් විපාක විඳිනවා’ කියා. බුදුරජාණන් වහන්සේ වදාළේ විහිළුවටවත් බොරුවක් කියන්න එපා කියලයි. එයට බය වෙන්න කියලයි. බොරුවක් කියන්න ලෙහෙසියි. එයට තප්පරයයි යන්නේ. දිවටත් නොදැනී බොරුව කියා දානවා. නමුත් විපාකය එනවිට තනිවම ගෙවන්න ඕනේ. තමන්ගේ පවුල කැඩී වැනසී යන තරමේ විපාක ලැබෙනවා. ඥාතීන් අතරට, සේවා ස්ථානයට, මිතුරන් අතරට යා ගත නොහැකි තරම් නින්දා අපහාස එනවා. ඒ නිසා ඒ විපාක විඳින්නට බය වෙන්න. මේ දේ කළොත් මට විපාක විඳින්නට සිදුවෙනවා කියන දේ පිළිගන්න. එයට බය වෙන්න.

ඒ වගේ ම ඒ දේශනාවේ සඳහන් වෙනවා ‘කේළාම් කීම හේතුවෙන් නිරයේ උපදී. තිරිසන් අපායේ උපදී. ප්‍රේත ලෝකයේ උපදී. කේලාම් කීමෙන් ලැබෙන අවම විපාකය වශයෙන් මිනිස් ලොව ඉපදුණොත් යහළුවෝ බිඳෙනවා.’ යහළුකම් පවත්වන්න අනෙක් අය අකැමැති වෙනවා. තමන්ට කියා කවුරුත් නැතිවෙනවා. එහෙම ජීවත් වෙන්න අපහසුයි. ඒ සසරේ කේළාම් කීමේ අඩු ම විපාකය යි.

සූචිලෝම කියන ප්‍රේතයාගේ නලල තුළින් ඉඳිකටු දාහක් ඇතුළට යනවා. කටින් එළියට එනවා. ඔබට එක ඉදිකටුවක් ඇණුනා කියා හිතන්න. වේදනාව කෙතරම් ද? ඒ ප්‍රේතයා කෑ ගසමින් විලාප තියනවා. ඒ ඉඳිකටු දාහ නැවත බෙල්ලෙන් ඇතුළට යනවා. නැවත පපුවෙන් එළියට එනවා. නැවත බඩෙන් ඇතුළට යනවා. කලවෙන් ඉඳිකටු දාහ එළියට එනවා. ඉන් පසු ඒ ඉඳිකටු කෙණ්ඩාවලින් ඇතුළට යනවා. යටිපතුලෙන් එළියට එනවා. මේ ආකාරයට අනෙක් පැත්තටත් සිදුවෙනවා. ඒ ප්‍රේතයාගේ ආයුෂය ගනින්න බැරිතරම්. මහත් වූ වේදනාවක් නොනවත්වා ම විඳිනවා. එක ඉඳිකටුවක් තත්පරයක් මේ දේ කළා නම් වේදනාව හිතන්න. ඒ ප්‍රේතයා තෙරුන් වහන්සේනමකට මුණගැසී “ඇයි මේ වගේ දුකක්?” කියා විමසනවා. “ස්වාමීනි, මම සසරේ බොහෝ සේ කේළාම් කිව්වා. එහි විපාකය යි මේ. මම කේළාම් කියලා සමඟි අය අසමඟි කළා. ඒ දිහා බලලා මම සතුටු වුණත් අද විඳින මේ විපාකය ඉතාමත් කටුකයි. දුකයි.” මේ දේ අපගේ පියවි ඇසට පෙනෙන්නේ නැහැ. නමුත් ඇත්ත එයයි. කුඩා සතුටකට දෙදෙනෙක් බිඳවලා මහා විශාල දුකක් හදාගන්නේ ඇයි? අනවශ්‍ය දෙයට පැටලෙන්නේ ඇයි? ඒ නිසා අපි කතා කරන වචනය සංවර කර ගත්තොත්, නිහඬ කර ගත්තොත් සිල්පද ආරක්ෂා කර ගන්න ගොඩාක් පහසුයි.

ඒ වගේ ම දේශනාවේ සඳහන් වෙනවා යමෙක් දරුණු වචන කීමෙන් නැවත නැවත කීමෙන් මරණින් මතු නිරයේ උපදිනවා. තිරිසන් අපායේ, ප්‍රේත ලෝකයේ උපදිනවා. අඩු ම විපාකය ලෙස මනුස්ස ලෝකයට ආ විට කනට අසන්න ලැබෙන්නේ ම අසතුටු වචන. තමන් ආශා නැති වචන.

ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා යම් කෙනෙක් මත්පැන් පානයට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් එයාට මරණින් මත්තේ නිරයේ හෝ තිරිසන් ලෝකයේ හෝ ප්‍රේත ලෝකයේ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ දුගති ලෝකවලින් චුතවෙලා නැවත මනුස්ස ලෝකෙට ආවොත් උම්මත්තකයෙක් බවට පත්වෙනවා. සුළු කරුණකටවත් මූණදීගන්න බැරුව පිස්සු හැදෙනවා.

එනිසා… බොහෝ කල් ජීවත් වෙන්න කැමති නම් ප්‍රාණඝාතයෙන් වළකින්න ඕනෙ. තමන්ගේ දේපළ රැකගන්න ඕනෙ නම්, දේපළ විනාශ වෙනවට අකැමති නම් සොරකම් නොකර සිටින්නට ඕනේ. ඒ වගේ ම හතුරන් ඇතිවෙනවාට අකැමති නම් වැරදි කාම සේවනය නොකර සිටින්න ඕනේ. කරුණු රහිත ව නින්දා අපහාස අසන්නට කැමැති නැත්නම් බොරු නොකියා ඉන්න ඕනේ. තමන්ගේ යහළුවන් බිඳෙනවාට අකැමති නම් කේළම් නොකියා ඉන්න ඕනේ. තමන් සතුටු වචන ම අසන්න ආශා නම් කිසිවෙකුට දරුණු වචන නොකියා සිටින්න ඕන. තමන්ගේ වචන අනෙක් අය විශ්වාස කරනවාට කැමැති නම් බොරු නොකියා ඉන්න ඕනේ. තමන් උමතු වෙනවාට අකැමති නම් සුරාපානයෙන් වැළකෙන්න ඕනේ.

බුද්ධ කාලයේ ස්වාමීන් වහන්සේලා කිහිප නමක් නැවක නැගලා වඩිනවා. නැව මුහුද මැද නැවතුනා. නැවේ ප්‍රධාන නාවිකයා පිරිස රැස්කරලා ඒ ඒ අයගේ නම් ලියලා තුණ්ඩු හැදුවා. ඒ තුණ්ඩුව වතුර බේසමකට දැම්මා. තුණ්ඩු සියල්ල ම පාවුණා. එක තුණ්ඩුවක් බේසමේ වතුර යටට ගියා. ඒ තුණ්ඩුවේ නම තිබෙන කෙනා වතුරේ ගිල්ලුවාම නැව නැවත පණ ගන්වන්න පුළුවන් කියා ඒ කාලයේ මතයක් තිබුණා. නැවියා ගිලුන තුණ්ඩුව අරගෙන බැලුවාම ඔහුගේ ප්‍රියමනාප බිරියගේ නමයි තිබුණේ. නැවත තුණ්ඩු ගිල්ලුවා. නැවත ගිලුණු තුණ්ඩුව ගත්තා. ඔහුගේ බිරියගේ නම තිබුණා. නැවත බැලුවා. නැවතත් ඇයගේ නම තිබුණේ. ඔහු බිරිය දෙස බැලුවා. සුන්දර ප්‍රියමනාප තරුණ ස්ත්‍රියක්. නැවියාට කරන්න කිසිම දෙයක් නැහැ. ඇය හඬා වැටෙද්දී ඔහු කිව්වා “මේ නැවේ සිටින සියලු ම දෙනා වෙනුවෙන් මම ඔබේ ජීවිතය අතහරිනවා.” කියලා. ඔහු අනිත් පිරිසට කියනවා “මැයගේ කරේ ලොකු බරක් ගැට ගහලා එක පාරට ම ගිලෙන ආකාරයට මුහුදට දාන්න.” කියලා. නැවියෝ එසේ කළා. ඇය මුහුදට දැමූ සැණින් නැව ක්‍රියාත්මක වුණා. නැවේ සිටි තෙරුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මේ කරුණ පවසා සිටියා. භාග්‍යවතුන් වහන්සේ වදාළා, “පින්වත් මහණෙනි මේ සිදුවීම අතීත සිදුවීමක් හා සම්බන්ධයි. එය මෙසේයි.

ඒ ස්ත්‍රිය පෙර ජීවිතයක බරණැස් නුවර ඉපදී සිටියා. ඇය සුනඛයෙක් ඇති කළා. ඒ සුනඛයා නිතර ම ඇය පිටුපස්සෙන් එහේ මෙහේ යනවා. දකින අය විහිළු කරනවා ‘අන්න වැද්දියක් යනවා’ කියලා. ඇය මේ සුනඛයා තමා පසුපස එනවට කැමැති වුණේ නැහැ. නිතර ම එළවා දැමුවා. නමුත් ඒ සතා නවතා දැමිය නොහැකි වුණේ ඇගේ පෙර ජීවිතයක සැමියා නිසයි. ඇය දිනක් කළයක් අරගෙන සුනඛයාවත් කැඳවාගෙන ගඟ අසලට ගියා. ගඟ අසල දී කඹයක කොණක් සතාගේ බෙල්ලේ ගැට ගසා අනෙක් පැත්ත කළයේ ගැට ගසා සුනඛයා ගඟට තල්ලු කළා. සුනඛයා ගිලිලා මැරුණා. ඇය කළ පවේ විපාකයට මරණින් මතු නිරයේ ගියා. ඉන් පසු ඇය ඉපදුණ ආත්මභාව අනූනවයක් ම දියේ ගිලී මිය ගියා. මේ සියවැනි වතාව යි.” කියා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ සිදුවීම කරන්නට ඇයට ගියේ පොඩි කාලයයි. නමුත් විපාකය කෙතරම් බරපතළ ද? කෙතරම් ඛේදනීය ද?

එනිසා අල්පමාත්‍රයක්වත් සිල්පදවලට හානි කර ගන්න එපා. ඉතාමත් පිරිසිදු ව සිල් රකින්න ඕනේ. කිසිදු කිලුටක් නැතිව තමන් සමාදන් වූ සිල්පද රැකගෙන තමන්ට මිය යන්න තිබෙනවා නම් එය කෙතරම් යහපතක් ද?

එනිසා, ඔබ සමාදන් වූ සිල්පද මේ වන විට කැඩුනා නම්, ඒ පාපයෙන් ගැලවෙන්න කැමැති නම් ළඟ ම තිබෙන සෑයක්, බෝධින් වහන්සේනමක් අසලට හෝ නිවසේ පිළිම වහන්සේ අසලට හෝ ගොස් බොහෝ ම ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ ගොස් සිල්පද සමාදන් වෙලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙන්න “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අද පටන් මම තෙරුවන් සරණ ගොස් සිල්පද රකිනවා, මම මගේ වරද වරදක් ලෙස දැක්කා. ඒ වරදින් අත මිදෙනවා.” කියා. වරදින් මිදෙන්න අධිෂ්ඨානයක් ඇතිකර ගෙන දිවි හිමියෙන් ඒ සිල්පද රකින්න. තම පණට වඩා සමාදන් වූ සිල්පදයට ආදරය කරන්න. එතැන් පටන් ඔබ සිල්වත්. තමන් අතින් සිදු වූ වැරදි අමතක කොට ආයති සංවරය වූ තැන සිට සිල්වත් වෙනවා. එවිට පැරණි වරදට සිත දොස් කියන්නේ නැහැ. වරදින් නැගී සිට සිල්වත් ජීවිතයක් ගත කරනවා.

ඉන් පසු, රැකගත් ඒ සීලය පිළිබඳ ව සෑම දිනක ම රාත්‍රියට ආවර්ජනයක් කරන්න පුළුවන්. ‘අද දවස පුරා ම මම සතෙකු මැරුවේ නැහැ. සොරකම් කළේ නැහැ. වැරදිකාම සේවනය කළේ නැහැ. බොරු කිව්වේ නැහැ. මත්වෙන දෙයක් පාවිච්චි කළේ නැහැ. මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක්, ශ්‍රාවිකාවක්.’ කියලා දිනපතා සතුටු වෙන්න. රකින සීලය සිහි කර කර සතුටු වෙන්න. එවිට ඔබ ගමන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළයි.

සාකච්ඡා සටහන – නයනා නිල්මිණි