හිමිදිරි පාන්දර වැටුණු පින්නෙන් දොවා පිපුණු මල් මිටක් ලොව්තුරු බුදු පාමුල පුදා බැතියෙන් අරඹන දවස පින්බර ද කොයිතරම්.. සුන්දර ද මොනතරම්… හිමිදිරියේ දවසේ ඇරඹුමත්, රාත්‍රියේ දවසේ නිමාවත්, තෙරුවනේ අනන්ත ආශීර්වාදයෙන් සාර්ථක කර ගත් ජීවිත තිබුණි ඈත අතීතයේ සුන්දර. දාන – සීල – භාවනාවෙන් පෝෂණය වූ, පිනෙන් පිරුණු සුපින්වත් ජීවිතවල උරුමකරුවන් වූවෝ බුදු දහමෙන් සැබෑ ඵල ලද්දෝ ය. අවබෝධයෙන් ම සරණ යමින්, ගෞතම දහම ජීවිතවලට බද්ධ කර ගත්තවුන් සැබැවින් ම සුගති සැප උරුමය කර ගත්තෝ ය.

අප බුදු සමිඳුන්ගේ උතුම් අවබෝධය දිවි හිමියෙන් අදහා ගත් ගොයුම් ශ්‍රාවකයන්ගෙන් බැබළුණු ඒ පින්බර යුගය ගෙවී ගොස් බොහෝ කල් ය. ශ්‍රාවකත්වයක් ලැබුණත් අති දුර්ලභ බුදු සසුනක, සැබෑම ශ්‍රාවකයන් අද ඇත්තේ ඉතා අල්ප වශයෙනි. උප්පැන්නයට පමණක් බෞද්ධ වූ ශ්‍රාවකයන් ම යි සුලභ. දියුණුව කරා වේගයෙන් දුවන ලෝකයේ ඊටත් වඩා විනාශ වෙමින් යන්නේ මිනිස් ගුණධර්මයන් ය. අසන්නට, දකින්නට ලැබෙන බොහෝ සිදුවීම්වලින් පෙනී යන්නේ මිනිසුන් මනුස්සකම පවා අහිමි කරගෙන ඇති ශෝචනීය බවකි. දියුණුයි කියන ලෝකයේ, දියුණුයි කියන මිනිස් හදවතේ දියුණුව මනින මිනුම් ඒකකය කුමක් ද? වනාන්තර විනාශ කරමින් ඒ මත ගොඩ නැගෙන කොන්ක්‍රීට් මහා පවුරු ප්‍රාකාර ද? එසේත් නැති නම් මිනිස් සිතට සමාන ව ම දියුණු කරමින් නිපදවා ඇතැයි කියන පරිගණක තාක්ෂණය ද? බාහිර තව බොහෝ දේවල් අද ලෝකයේ දියුණුව ලෙස විදහා දැක්වුව ද මිනිසාගේ ගුණධර්මයන්ගේ දියුණුවක් ගැන, ආධ්‍යාත්මයේ දියුණුවක් ගැන අසන්නට දකින්නටවත් නොමැති තරම් ය. මේ සියල්ල මැදින් යාන්ත්‍රික වූ විද්‍යුත් මිනිස් හදවත් පරිපථය තුළින් දවසින් දවස විනාශ වෙමින් මැකී යන්නේ උතුම් මිනිස් ගුණධර්මයන් ය. මමත්වය තුළින් ක්‍රියාත්මක ආත්මාර්ථකාමී සිතුවිලිවලින් පිරුණු හදවත්වල කුමන දියුණුවක් ද? රාග, ද්වේෂ, මෝහ කෙලෙස් මත්තේ ම හැපෙමින්, ඒවාගෙන් ම යැපෙමින්, නූතන දියුණුව ගැන පාරම් බාන කයිවාරු ලෝකයේ දියුණු වී ඇත්තේ කෙලෙසුන් ම ය. ජයගෙන ඇත්තේ කුහකකම් ය. පුහු මාන්නයෙන් පිරුණු පව් කන්දරාවක් පමණ ය දියුණුයි කියන මිනිස් හදවත්වල අවසානයේ ඉතිරිය. පරලොව තීරණය කරන්නෙත්, මැරෙන දවසට අරන් යන්න වෙන්නෙත් ඒ පව් කන්දරාව ම ය. කර්මයට අනුව සුගතියත්, දුගතියත් තමා විසින් ම තනා ගන්නා යථාර්ථයක මෙලොව අතහැර යන්නට වෙන්නේ දුගතියකට නම්, ඵලක් තිබේ ද බාහිර ව මනින දියුණුවකින්?

ධර්මය හා බැඳෙමින් හුදෙකලා ව විවේකී ව වාසය කිරීමෙන් සිත්වල උපදින මෛත්‍රිය, කරුණාව, දයාව කාර්යබහුල, කාර්යක්ෂම ජීවිත තුළින් මැකී ගොසිනි. සීතල හිමිදිරියේ ද ඔවුන්ගේ ජීවිත ගිනි මද්දහන වගේ කැකෑරෙයි. දුම් දමමින් ඇරඹෙන දවස යාන්ත්‍රීය සිතිවිලි දාමයක පටලැවී විසිහතර පැයකින් සෑහීමකට පත් නො වී ම ගෙවී යයි. තමාගේ ආත්මාර්ථකාමී ජීවිතය ගැන ම හැම තප්පරයක් ම වැය කළා මිස අනෙකෙකුගේ යහපතක් වෙනුවෙන්, උදව් උපකාරයක් වෙනුවෙන් යොදවන්නට තප්පරයක්වත් ඒ ජීවිත තුළ නැත. කාට හෝ උදව්වක් කිරීමට අත් සෝදා බලා සිටින්නට තරම් පරාර්ථකාමී සිතුවිලි ද ඒ සිත්වලට ආගන්තුක ය. දවස ආරම්භයේ මෛත්‍රී සිතින් යුතුව ‘අද දවසේ කාට හෝ උදව්වක් කිරීමට ලැබේවා!්’ යි සිතමින් අරඹන දවසක ඇති සතුට ඒ සිත්වලට නුහුරු ය. අනෙකෙකුට උදව්වක් කිරීමෙන් ලබන සතුටට වඩා මගහැර යාමෙන් ලබන කෛරාටික සතුටට ම සිත් ඇට්ටර වී ඇත. අනෙකාගේ දුකක් දැක තෙත් වන කරුණාබර හදවත් නැති තරම් ය.

වියැළී, ඉරිතලා, ගිනියම් ව ඇති හදවත් තුළින් කෙසේ නම් තෙත් වූ පරෝපකාරී සිතුවිලි උපදින්න ද? මෙවන් පරිහානියක් ඔස්සේ දවසින් දවස, මොහොතින් මොහොත අප දුරස් වන්නේ උතුම් මිනිස් ගුණධර්මයන්ගෙන් ය. හණි හණිකට ළං වන්නේ නම් පිරිහෙමින් යන විනාශයට ම ය. උදා වූ දවසක් නිමාවට යන විට දවස පුරා තමාට අත්පත් කර ගත් දේවල් නිසා උදම් වීමට නොව, තමා නිසා අන් අයට සිදු වූ යහපතක් ගැන සිහි කොට අවංක ව සතුටු විය හැකි නම් ඔබට පිනක් රැස් වනවා සේ ම ගුණධර්මවලින් ද ඔබ දියුණු වන්නේය. වෙනස් වෙමින් යන ලෝකයේ, වෙනස් වෙමින් යන මනුස්ස හද සන්තානයේ උපදිනා සිතුවිලි මොනතරම් වෙනස් වෙනවා ද මේ විපරීත ලෝකයේ? මිසදිටු මති මතාන්තරවලින් පිරුණු නේක රට රටවලින් හඹා එන විකෘති කුණාටුවලින් අතීතයේ සිට ම මේ රටට නොයෙක් අන්තරාවන් සිදු විය. නගරබද ජීවිතවලින් ඔබ්බට ද මේ කුණාටුවල සුන්බුන් විසිරී ගියේ ය.

ඉස්සර ගමක ජීවත් වුණු පවුල් අතර තිබුණු සමඟිය, සහජීවනය ඉතා සුන්දර ය. ගෙදරක විශේෂ කෑමක් හැදුවත් අහල පහළ ගෙවල් සමඟ බෙදා ගත්තේ ඔවුන්ගේ දුක සැපයන් ය. ලෙඩක දී කරදරයක දී තමාගේ පවුලේ අයට කලින් දුවගෙන ආවේ අහල පහළ අසල්වැසියන් ය. අනෙකාගේ දුකත්, සැපත් තමාගේ කරගෙන උදව් උපකාර කරනා අවංක බවකින් ඒ සිත් පිරී තිබුණි. වැට මායිම්වලට ගහ බැණ ගත්තාට කරදරයක දී ආයෙත් දුවගෙන එන්නට ඔවුන්ට සිටියේ ඔවුනොවුන් ම ය. එතරම් ම ඒ සිත්වල ගුණධර්මයන් පිරී තිබුණි. මේවා ඔවුන්ගේ ජීවිත තුළින් ම, අවංක හදවත් තුළින් ම ගොඩනැඟුනු සොඳුරු වටිනා ගුණධර්මයන් ය. වෙනස් වන කාලයේ අරුමයට හසු වී සියල්ල වෙනස් වෙමින් ඇත. ගෙයින් ගෙට තිබූ වැට මායිම් අතර පවුරු, ප්‍රාකාර තාප්ප ඉදිවන්නට විය. මෙයින් ඈත්ව ගියේ ඒ සිත්වල තිබුණු ගුණධර්මයන් ය.

මනුසත් හදවත්වල පිරී ඉතිරුණු සොඳුරු ගුණධර්මයන්ගේ සෝදා පාළුවෙන් පසු ඉතිරි වූයේ ආත්මාර්ථකාමී, වංචනික හදවත් ඇත්තන් පිරිසකි. “අනෙකාට හෙණ ගැහුවත් අපට මොකෝ?” කියන නූතන ආත්මාර්ථකාමී, අනුකම්පා විරහිත සංස්කෘතියේ ව්‍යාප්තිය සමඟ නාගරික ජීවිතවලට පමණක් නොව, ඈත පිටිසර ගම් දනව්වල ජීවත් වූ අහිංසක මිනිසුන්ගේ පවා සිතුම් පැතුම් ආකල්පවලට ද හානි සිදු විය. දසත විහිදී ගිය සත්පුරුෂ ගුණධර්මයන් පවුරු, ප්‍රාකාර අස්සේ කොටු වී ගියේ ය. අනෙකාගේ දුක දැක තෙත් වූ හදවත් රාග, ද්වේෂ, මෝහයෙන් ගිනියම් වන්නට විය.

සමඟියෙන් බෙදා හදා ගත් මිනිස්සු අනෙකාගේ දෙය හෝ කඩා වඩාගෙන තමාගේ මඩිය තර කර ගන්නා ගුණමකු පිරිසක් බවට පත් වූහ. හොර, බොරු වංචාවලින් ම යැපෙන පාපී සිතුවිලිවලින් ඒ ජීවිත අඳුරෙන් අඳුරට ම ඇදී ගියේ ය.

මේ අතර ගහගෙන යන අතට නොයා ගුණධර්ම රැක ගනිමින්, තෙරුවන ම පිහිට කර ගනිමින්, උඩුගං බලා යාමට වෙර දරන පිරිසක් ද නැතුවා ම නො වේ. හොඳ වුණත්, නරක වුණත් ලෝකය යන අත මෙයයි. කැමති වුණත්, අකැමති වුණත් සියල්ල සිදුවෙමින් යන්නේ මෙලෙසටයි. මේ කිසිදු පරිහානියක වරද අනිකා පිට පටවා නිවැරදි වන්නට අප කාටත් බැරි ය. අපි කවුරුත් කාටවත් ම වැරදි නොකළ අය වෙන්නට පුළුවන, නමුත් අප ආත්මාර්ථකාමී ලෙස අප ගැන ම පමණක් සිතා කටයුතු කිරීමෙන් ම අප වරදකරුවන් වී ඇත, වැරදිවල වගකීම් බාර ගත යුත්තවුන් වී ඇත. අද බිහිවන දරුවා දවසක සමාජයට එන්නේ වංචනිකයෙක්, දාමරිකයෙක් ලෙසින් නම් ඒ වගකීම දෙමාපියන් භාරගත යුතුය. ඉපදුණදා ඉඳලා ම ටිකෙන් ටික ඔහු ව ඒ තත්ත්වයට පත් කරන්නට ගෙදර වටපිටාවේ වූ ගුණධර්ම හිඟයේ ද බලපෑමක් තිබේ. ආදරය කියන්නේ දරුවන්ගේ විනාශයට මඟ පාදා දීම නොව, විනාශය – පිරිහීම වළකාලීම යි. බොහෝ නුහුගුණ උපදවනා නූතන මෙවලම්වලින් දරුවන් ව ඈත් කිරීම සැබෑ ආදරය යි. කුඩා කාලයේ ම වරදක් කරන දරුවාට පුංචි දඬුවමක් කොට හෝ හෝ ඒ වරද නිවැරදි කිරීම සැබෑ ආදරය යි. ඒ තුළින් ලද පන්නරයෙන් දරුවා යළි වැරදි නොකර සිටිනවා සේ ම, වැරදි කිරීමට බියක් ලැජ්ජාවක් ඇති කර ගනී. එයින් ම දරුවාගේ ආරක්ෂාව සැලසෙනු ඇත. “ජීවිතේට දරුවන්ට අතක් උස්සලා නෑ” කියන බොහෝ දෙමව්පියන්ට අද ඒ දරුවන් ම අතපය උස්සාගෙන එන්නේ එදා අතක් නොතියා හදපු එකේ විපාකයන් ලෙසට ය. පුංචි වරද දුටු තැන ම නිවැරදි නොකිරීමෙන් අනාගතයේ දී බරපතළ වැරදිවලට ඔවුන් පෙළඹීම අරුමයක් නො වේ. ආහාරපානවලින් පමණක් නොව ගුණධර්මවලින් ද කුඩා කාලයේ පටන් ම ඔවුන් ව පෝෂණය කිරීම දෙමාපිය වගකීමකි. එවිට සමාජයෙන් කිසිම දවසක ඔබට ප්‍රශංසා මිසක ගැරහුම් නොලැබෙනු ඇත.

සරල දිවි පැවැත්ම නිසාත්, පන්සලෙන් ලද මග පෙන්වීම නිසාත් ගම තුළ හෝ රැකී තිබුණු අහිංසක ගුණධර්මයන් ගමෙන් ද අද පිටමන් ව ගොසින් ය. ඈත ගම් දනව්වල සුන්දර ගැමි හදවත්වල පිරී තිබුණු සහජීවනයේ ගුණධර්ම ඈත් වී ගොසින් ඇත්තේ අද ගමට පන්සල ඈත් වී ඇති සේ ම ය. වැවත්, දාගැබත්, ගමත්, පන්සලත් යනු ආදි ලේඛකයන්ගේ පොත්වල හමු වන හුදු වචන ටිකක් හෝ සංකල්පනාවක් පමණක් ම වී ඇත. ගමෙන් නගරයට සංක්‍රමණය වීමත් සමඟ ම විවර වන්නා වූ විනාශයේ ලෝකයට ගුණධර්මවලින් ඵලක් නැත. හිරි බියෙන් ආරක්ෂා කොට, සංස්කෘතියෙන් ඔපවත් කළ, ධර්මයේ රැකවරණයෙන් රැකගත් සොඳුරු මිනිස් ගුණ දම් කාමභෝගී නූතන සමාජයට වටින්නේ නැත. ඔවුන්ගේ තක්සේරු කිරීම්වල ඉහළින් ම වැජඹෙන්නේ සිල් රකින උපාසකවරුන් නොව, වංචනික දූෂිත පව්කාරයන් ය. සිල් රැකීමෙන්, පින් කිරීමෙන් ආදායම් නොලැබෙන නිසා ඒවා ඔවුන්ට අවශ්‍ය නැත. පව්වලට සිත ඇදී යාමත් – රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස්වලට සිත යට වීමත් දුකක්, ලැජ්ජාවක් ලෙස අතීත බොදු ශ්‍රාවකයා දුටුව ද අද ලෝකයේ බොහෝ දෙනා සතුට යැයි විඳින්නේ, සමරන්නේ මේ කෙලෙසුන් ම ය. සතුට යනු කෙලෙස්වලට පණ දීම නොවේ. කෙලෙස්වලින් නිදහස් වීමයි සැබෑ සතුට ලෙස අප මුනිරජුන් ලොවට පෙන්වා වදාළේ. එවන් උතුම් සතුටක් ලැබීමේ පින උරුම කරගෙන ඉපදුණ ද හඹා යන්නේ පව්කම් පස්සේ ම නම් එහි ප්‍රතිඵල සුන්දර නොවනු ඇත. එළිපිටත්, රහසේත් කරන සියලු කර්මයන්වලට විපාක නො දී නම් කෙළවර නොවන්නේ ම ය. මේ ජීවිතයේ දී යම් ප්‍රමාදයක් වුවත් මරණින් මතු සියලු කෙරුවාවල්වලට ඒකාන්තයෙන් ම ප්‍රතිඵල ලැබෙනු ඇත. ඒ ප්‍රතිඵලයන්ට අනුව තමා විසින් ම රැස් කර ගත් දෙයින් උරුම වූ ලොවක මතු උපත සැකසෙනු ඇත. ආයෙ කවදාවත් මනුස්ස ලෝකයක් හිමි නොවන දේවල් නම් රැස් කර ගත්තේ, එදාට ඔබ පසුතැවුනාට වැඩක් නැත. පොළවට පස් වෙලා යන මේ කුණු ශරීරයේ ආරක්ෂාව, රැකවරණය ගැන ම වෙහෙසන ලෝකයේ, සිතේ රැකවරණය ගැනත් මොහොතකට හෝ සිතුවා නම්, මෙවන් ඉරණමක් අත් නොවනු ඇත. කයට සිදු වන අනතුරකදී රක්ෂණ සමාගමකින් ඔබට වන්දියක් ලෙස යම් මුදලක් ලැබේවි. නමුත් ඔබේ සිතට සිදුවන අනතුරුවලට වන්දි ගෙවන්නේ කවුද?

කෙලෙස් අනතුරු නිසා විනාශ වූ සිතින් ඊ ළඟ උපත සැකසෙන්නේ නිරයේ නම්, තිරිසන් ලෝකයේ නම්, ප්‍රේත ලෝකයේ නම් වන්දිවලින් ඵලක් තිබේ ද? සිත රැක ගත්තේ නැත්තේ ඔබ ම නම්, වන්දි ගෙවන්නට වන්නේ ද ඔබට ම යි. මනුලොව විවරව තිබූ සුගතියේ දොරටු සියල්ල වැසුණු කල, පාපී ක්‍රියාවන් තුළින් ඔබ ම විවරකර ගත් දොරටුවෙන්, ඔබට උරුම ලෝකය වෙත එදාට ඔබට යන්නට සිදු වෙයි. ඒ සමහර විට ආයෙත් කිසිදාක මිනිස් ලොවකට නො එන්නට ම විය හැකියි. උතුම් මිනිස් ජීවිතයක් ලැබීත් අත් කර ගත්තේ එවන් දුක්ඛිත ඉරණමක් නම්, මේ මනුස්ස ජීවිතේ ඇති අරුත කුමක් ද? “ඉන්න ටිකේ කාල බීල ජොලියෙ ඉමු” යි කියූ, මිතුරු වෙස් ගත්තවුන් එදාට නැත. හවසට එක් ව බෝතලය වටේ වහවැටුණු සගයෝ ද එදාට නැත. “මගෙයි…” කියාගෙන බිඳිය නොහැකි බැඳීම්වලින් බැඳිලා හිටිය කවුරුත් එදාට නැත. කෙලෙස් පාවඩ අතුරමින් පාපයට ම මග හෙළි කළ සැමගේ උපකාරයෙන් ඔබ කිසිම දවසක නොසිතුව ලෝකයකට තනිවම ඔබට යන්නට සිදු වනු ඇත. එවන් ශෝකාන්තවලින් කෙළවර නොවන්නට නම් මේ මොහොතේ සිට ම අප්‍රමාදී විය යුතු නොවේද? ජරා මරණයෙන් යට වී යන මේ තාවකාලික ජීවිතයට ධර්මයේ හැසිරෙනවා හැර වෙන රැකවරණයක් නම් නැත්තේ ම ය. “ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” – “ඒකාන්තයෙන්ම ධර්මයෙහි හැසිරෙන කෙනා ව ධර්මය විසින් ම රකිනු ලබන්නේ ය.” ධර්මයේ හැසිරීමකින් තොරව ආරක්ෂාවක් ලොව නැත්තේ ම ය. යමෙක් දහමට දිවි පුදා ධර්මයේ හැසිරෙන්නේ ද ඔහු අප්‍රමාදී ව සයුරට වදිනා නදියක් සේ අමා නිවන කරා ම පැමිණෙන බව අනන්ත ගුණ දරා ලොව වැඩ සිටි බුදුවරු පෙන්වා වදාළහ.

බුදුවරුන්, පසේබුදුවරුන් සේ ම අරහත් මුනිවරුන් ද කෙලෙසුන්ගෙන් මිදී උතුම් නිකෙලෙස් ගුණ දරා ලොව අග්‍ර ව වැඩ සිටි සේක. අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කර ගැනීම පිණිස උත්තම බෝසත් ගුණ දියුණු කර ගනිමින් පාරමිතාවන් සපුරා ගත්තේ ය. අප මහ බෝසතාණන් වහන්සේගේ අනන්ත වූ ගුණ මහිමයේ විස්මිත බව පන්සිය පනස් ජාතක කථාවන් පුරාවට පිළිබිඹු වන්නේ ය. රජ, සිටු, මැතිවරුන් ලෙස උපන් මිනිස් ජීවිතවල පමණක් නොව තිරිසන් යෝනියේ ඉපිද සිටිද්දී පවා මහ බෝසතාණන් වහන්සේ ගුණධර්ම දිවි හිමියෙන් ම ආරක්ෂා කළහ. තමාගේ ජීවිතය තොර වන බව දැන දැනත් ජීවිතය අත්හැර ගුණයන් ම රැක්කහ. එවන් වූ උත්තරීතර අධිෂ්ඨානයෙන් යුතුව ගුණයන් දියුණු කර ගනිමින් අප මහ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පාරමිතාවන් සපුරා ගත්හ. කිසිවෙකුට සම කළ නොහැකි, ළං වීමටත් නොහැකි එවන් වූ ගුණධර්මයන්ගෙන් ලොව අග්‍ර වූ අප භාග්‍යවතුන් වහන්සේගේ මහා ගුණස්කන්ධය අපට සිතිය නොහැකි තරම් විස්මිත ය.

“දයාය පාරමී චිත්වා – පඤ්ඤාය’ත්තානමුද්ධරී
උද්ධරී සබ්බධම්මේ ච – දයාය’ඤ්ඤේ ච උද්ධරී

මෙත් කරුණා ඇතිව පෙරුමන් පිරු සේක
නුවණින් වැඩී තමා මුදවා ගත් සේක
හැම ගුණ තුළින් ලොව මුදුනට පත් සේක
කරුණාවෙන් ම අන් අය මිදවූ සේක

දිස්සමානෝ පි තාවස්ස – රූපකායෝ අචින්තියෝ
අසාධාරණඤාණඞ්ඪේ – ධම්මකායේ කථාව කාති

දිවමන් මුනිඳු විස්මිත රුව ඇති සේක
මුදුනට පැමිණි අසම නුවණින් යුතු සේක
දම් කඳ තුළින් මුනිඳු බැබළී සිටි සේක
සැබැවින් මුනිඳු විස්මය දනවන සේක”

ඒ ලොව්තුරු ගුණ ගඟුලෙන් උකහා ගත් ගුණ මහිමයෙන් තම ජීවිත සුන්දර කර ගත් උතුම් අරහත් මුනිවරුන්ගේ ගුණයන් දෙවෙනි වූයේ අප ශාස්තෘන් වහන්සේට පමණි. මේ මහා විශ්වය ම කම්පා කළ හැකි, හිරු සඳු පවා ස්පර්ශ කළ හැකි, මහ බඹුගේ සිරස පා පිස්නාවක් කර ගැනීමට තරම් අපරිමිත මහා ගුණ කඳක් දරා වැඩ සිටි නමුත්, අං කැඩුණු ගොනෙකු සේ, සැඩොල් කුලහීනයෙකු සේ සියල්ල ඉවසා දරා සිටින මහ පොළොව සේ ඉමක් නිමක් නැති අනන්ත ගුණයන් රහසේ ම දරාගෙන වැඩ සිටි ඒ උතුමන්ගේ ජීවිත ගුණවත් කළ ගුණකඳ එතරම් ම විස්මිත නම්… සුන්දර නම්… ඒ උතුමන් මෙලොවට දායාද කළ අප සර්වඥයන් වහන්සේගේ ගුණයන් ගැන අපට සිතා නිම කළ නොහැක්කේ ම ය.

ගුණයෙන් පිරිහුණු, මිථ්‍යාවේ කෙළ පැමිණිය, නොයෙක් ව්‍රතවලට බැඳුණු බමුණන්, නිගණ්ඨයන් ආදී එකල සමාජයේ ශාස්තෘවරුන් ලෙස පෙනී සිටි රංගධරයන් අද කාලයේ වගේ ම මිනිස්සුන්ගේ ජීවිත ගුණධර්මවලින් හිස් කළහ. ඒ හිස් මතයන් ඔළුව උඩ තියාගෙන, බලි තොවිල් නටාගෙන, යකුන් යක්ෂණියන්ගේ පිහිට පතාගෙන ඒ පස්සේ ම වැටුණු අන්ධබාල හිස් මිනිස්සු අද වගේ ම එදත් සිටියහ. පව් කරන්නන් ව ගල් ගසා, බෙලි කපා, වද හිංසා පමුණුවා මරාදැමිය යුතු යැයි පිළිගත් හිංසාකාරී මිථ්‍යාමත පිරුණු ලෝකයක, සකල ලෝ සත්වයාට ම සම මෙත් සිත පැතිරවූ, මහා කරුණාවට සාගරයක් බඳු වූ අප සර්වඥයන් වහන්සේගේ සෙවණ එවන් අසරණයන්ගේ සසර ම නිවා දමන ලොව්තුරු සෙවණක් ම බඳු විය. දහස් ගණන් මිනී මැරූ මිනීමරුවන්, රාග ගින්නෙන් ජීවිත ගිනියම් කර ගත් නගර ශෝභිනියන්, නීච සැඩොල් කුලවල ඉපදුණු කුල දිළින්දන් ආදී එකල සමාජය විසින් පව්කාරයන් යැයි හංවඩු ගැසූ අන්ත අසරණයන්ට සදාකාලික සරණ ලැබුණේ ගෞතම බුදු සෙවණේ ය. ගල් ගසා මරා දමන්නට බැරි, බෙලි කපා සිඳලන්නට බැරි, වද හිංසා පමුණුවා වනසන්නට බැරි උරුමයක් ගෞතම බුදු සසුන වෙනුවෙන් සසර පුරාවට ඒ උතුමන් රැස් කළහ. ජීවිත පූජා කරමින්, මහා බල සම්පන්න පින් රැස් කරමින්, මෙලොව පහළ වී ගෞතම බුදු සසුන බැබළවූ වීතරාගී මුනි උතුමන්ගේ අපරිමිත ගුණ කඳ බුදු සසුන පවතින තාක් කල් මනුසත් ගුණදම්වලට පරමාදර්ශී වන්නේ ය.

වැරදි කරන්නන් හට නිවැරදි වීමට මග කියා නො දී, වරදින් මිදෙන්නට සරණක් නො වී මරා දැමීම ඒකායන විසඳුම යැයි අදහන මිත්‍යා මතයන් සුණුවිසුණු කරන මහා බලසම්පන්න අහිංසක – පරමාදර්ශය අපගේ අංගුලිමාල මහරහත් මුනිඳුන් ය. වලාවෙන් මිදුනු සඳ යම් සේ ගගනත දිලෙයි ද සියලු වරදින් මිදී ගෞතම සම්බුදු සසුන’ඹර බැබළවූ අහිංසක සඳ මඬල අංගුලිමාල මහ රහත් මුනිඳුන් ය. ගුරු ගෞරවයට ජීවිතය පූජා කොට රැකගත් උත්තම ගුණ මහිමයෙන් ම නිවන් මඟ හෙළි කර ගත් ගුරු ගෞරවයේ ප්‍රතිමූර්තිය අංගුලිමාල මහරහත් මුනිඳුන් ය. දසතින් නැඟුන අවලාද අපවාද නිහඬ ව ම ඉවසාගෙන, ‘මාගේ සතුරෝ ද මේ ධර්මය අසත්වා! මාගේ මිතුරෝ ද මේ ධර්මය අසත්වා!’ යි මෙත් වැඩීම සසරෙහි පිරූ පිනෙන් බලවත් වූ ගුණයන්ගේ ම ආනුභාවය යි.

උන්වහන්සේ සසර පුරාවට කළ පව්වලින් මිදෙමින්, ගැරහුම් ලැබූ ලෝකයෙන් ම පිදුමන් ලබමින්, අප බුදු සමිඳුගේ වදනට කීකරු වෙමින් බුදු සසුන සපුරා ගත් සේක ඒ බුදු සෙවණට කෘතගුණ දක්වමින්. කල්පයක් පුරාවට බල පතුරුවාලූ ඒ උත්තමයන් වහන්සේගේ සත්‍යානුභාවයේ තේජස මතු දවසක මෙතේ බුදු සසුන ද ඒකාලෝක කරවමින් බබුළුවන්නේ ය. වැරදි කරන්නන් සොයා ගොස් මරා දමන ලෝකයක, වැරදි කරන්නන් සොයා ගොස් වරදින් මුදවාගෙන සසරින් ද මුදවාගෙන දෙව් බඹුන්ගෙන් පවා පිදුම් ලබන්නා වූ සුපූජනීයත්වයට පමුණුවාලූ අප ලෝකනාථයන් වහන්සේගේ කරුණාව කොයිතරම් විස්මිත ද! කොයිතරම් අසිරිමත් ද! ඒ උත්තමයන් වහන්සේලා කල්ප ගණන් දියුණු කර ගත් ගුණධර්මයන්ගේ උපකාරය ද ඇතිව උතුම් නිවන සාක්ෂාත් කර ගත්තේ නම් මේ කාලේ ධර්මාවබෝධය ලැබීම අපහසු වීමට ගුණධර්මයන්ගේ පරිහානිය ද බලපා ඇති බව මනා ලෙස පැහැදිලි ය.

ගුණධර්ම දියුණු කර ගැනීමට වෙහෙසෙන අප කාටත් ලොව ඒකායන පරමාදර්ශය නම් අප ශාස්තෘන් වහන්සේ ම ය. ගුණධර්මයන්ගේ දියුණුවකින් තොරව දියුණු වන ධර්මයක් නම් නැත්තේ ය. ළඟ තිබෙන පුංචි පුංචි ගුණයන් හට පයින් ගසාගෙන, පාගාගෙන, යටකරගෙන දුවලා ගිහින් අල්ලා ගන්නට උත්සාහ කරන මහා ගැඹුරු දේවලට ළං වීම පවා එවන් අයට සිහිනයන් ය. ගණනකට නොගෙන මඟ හරිනා පුංචි ගුණයන් තුළින් ඔබට මගහැරී යන්නේ පරම සුන්දර වූ නිවන් අවබෝධය විය හැකියි. ළඟ ඇත්තේ ඉවසීම නම්, කරුණාව නම්, දයාව නම් ගුණයන් ලෙස ඒවා පුරුදු කර ගත යුතුයි. එසේ නොමැතිව ඒවා මග හැර යාමෙන් ජීවිතයේ හිස් වන හිස්තැන පිරවීමට ආයෙත් ඔබට කවදාවත් ම අවස්ථාවක් නොවන්නටත් පුළුවන. එවන් ජීවිත දවසින් දවස හිස් වෙමින් යන්නේ ය. ගුණධර්මවලින් හිස් ජීවිතයක් කිසිදාක පරිපූර්ණ වූ ධර්මයකින් පිරවිය නොහැක. බාහිර පෙනුම මොනතරම් සුන්දර වුවත් අභ්‍යන්තරය හිස් නම්, ගුණධර්ම වැඩී නැත්නම්, එවන් ජීවිත වලාවෙන් වැසී යන සඳ සේ අඳුරෙන් අඳුරට ම යන්නේ ය. වත්පොහොසත්කම් නැතත් ගුණවත්කම්වලින් පොහොසත් කෙනා වලාවෙන් මිඳුණු සඳ සේ දවසින් දවස බබළන්නේ ය. එසේ නම්, ගුණධර්ම යනු බාහිර ආටෝපයට යට වන හිස් මිනිසුන්ගේ තවත් එක් විලාසිතාවක් නොව, බුදු – පසේබුදු – අරහත් උතුමන්ගේ ආධ්‍යාත්මය සොඳුරු කරමින්, ලොව්තුරු නිවන කරා පිවිසීමට උපකාර කර ගත් පුණ්‍ය තීර්ථය යි. එවන් උතුම් ගුණධර්මයන් රැක ගනිමින්, නැති වී ගිය ගුණදම් යළි ඇතිකර ගනිමින් ධර්මාවබෝධය පිණිස ම වීරිය වඩත්වා!!!

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි