පසුගිය කලාපයෙන් විජය රජතුමාගේ සිට දෙවන පරාක්‍රමබාහු රජ සමය දක්වා එකල ජීවත් වූ අපගේ පැරණි මුතුන් මිත්තන් නොයෙක් කරදර බාධා මධ්‍යයේ රජෙක් එනතුරු බලා සිටි ආකාරය ගැන මනාකොට දැනගත්තෙමු. දෙවන පැරකුම්බා රජුගෙන් පසුව නැවත සොළීන් විසින් මේ රට අත්පත් කර නොගත් බව ද අපි දැන් දන්නෙමු. එසේ නම් සිංහල ජනතාවට නැවත රජෙක් පහළ වනතුරු බලා සිටුමට අවස්ථාවක් නොඑළඹුණි ද? නැවත කිසිදු ආක්‍රමණයක් මෙරටට එල්ල නොවුණි ද? දිගට ම සාමකාමී ව ම මේ රට පැවතුණි ද? බුදු සසුන කිසිදු කරදරයකින්, බාධාවකින් තොරව දිනෙන් දින දියුණු වෙමින් ම පැවතුණි ද? නැත. කිසිසේත් ම නැත. අප ලක් දෙරණටත්, ලක් වැසියාටත් එබඳු වාසනාවක් උදා වූයේ නැත.

දෙවන පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී නැවතත් රට සමෘද්ධිමත් විය. බුදු සසුනේ විශාල දියුණුවක් හා ආගමික ප්‍රබෝධයක් ඇති විය. සිංහල සාහිත්‍යය දියුණු වී ගියේ ය. රටවැසියෝ බොහෝ සතුටින් වාසය කළහ. එහෙත් ඒ සතුට වැඩි කල් නොපැවතුණි. දෙවන පැරකුම්බා රජුගේ අභාවයෙන් වසර 13කට පසු ව්‍ය. ව. 1284 දී දකුණු ඉන්දියානු පාණ්ඩ්‍ය රජවරු යටතේ ආර්ය චක්‍රවර්තී නම් අයෙක් එවක යාපහුව අගනුවර කොට ලක්දිව පාලනය කළ 1 වන බුවනෙකබාහු රජුගේ රාජ්‍ය සමයේ (ව්‍ය. ව. 1281-1284) යාපහුව ආක්‍රමණය කොට වසර දහස් ගණනක් පුරා ලක් රජුන් හා ලක්වැසියා සතුව තිබූ රාජ්‍ය සංකේතය බවට පත් වූ අති උත්තම දළදා වහන්සේ රැගෙන පඬි රටට ගියේ ය. තම පණටත් වඩා දළදා වහන්සේට ආදර ගෞරව දැක්වූ ලක්වැසියනට මෙය දරාගත නොහැකි විය. රජෙක් නැති අඩුවටත් වඩා වැඩි අඩුවක් ඔවුනගේ සිත් සතන්වලට දැනුණි. තමන් මහත් වූ අසරණ භාවයකට පත් වූ සේයාවක් ඔවුන් අතරින් දිස් වුණි. ඕනෑම නරපතියෙකුගේ රාජ්‍යත්වයේ පූර්ණ භාවය ඇති කළ දළදා වහන්සේ අහිමි වීම, රට අරාජික තත්ත්වයකට පත් වූවාක් මෙන් විය. කලින් රජෙක් පහළ වන තුරු බලා සිටි ලක්වැසියා මෙවර දළදා වහන්සේ නැවත මෙරටට වඩින තුරු බලා සිටින්නට වූහ. තත්ත්වය මනා කොට වටහාගත් සඩ වන විජයබාහු රජුගේ පුත් වූ සසස වන පරාක්‍රමබාහු රජු (1287-1293) පාණ්ඩ්‍ය දේශයට ගොස් එහි රජු හමුව තෑගි බෝග දී මිත්‍රත්වය ගොඩ නගාගෙන කරුණු කාරණා පැහැදිලි කොට දී දළදා වහන්සේ ඉල්ලන ලද්දේ ය. වාසනාවක්මැයි…! දළදා වහන්සේ නැවත ලක් රජුට ලැබුණි. දළදා වහන්සේ රැගත් රජු ලක්දිවට පැමිණ පොළොන්නරුවේ පිහිටි පැරණි දළදා මැදුරෙහි දළදා වහන්සේ වඩා හිඳුවන ලදී. ලක්වැසියා අතිශයින් ම ප්‍රීති ප්‍රමෝදයට පත් විය. ජනී ජනයාගේ සාදු නාදයෙන් ශ්‍රී ලංකාද්වීපය ම ඒකනින්නාද විය. ඇද හැළුණු සතුටු කඳුළු ධාරාවන්ගෙන් ලක් ධරණීතලය සේදී ගියේ ය. ලක්වැසියාට නැවතත් සතුටු සිතින් නිවී සැනසිල්ලේ ජීවත් වීමට අවස්ථාව උදා විය.

ටික කලක් ගත විය. ලක්වැසියාට බොහෝ කාලයක් සාමකාමී ව, කරදරයකින් බාධාවකින් තොරව ජීවත් වීමට අවස්ථාවක් නොලැබෙන තරම් ය. නැවතත් සතුරු ආක්‍රමණයක අඳුරු සේයාවන් මතු වන්නට විය. එකල යාපනයේ සිටි ආර්ය චක්‍රවර්තී නම් අයෙකුට සිංහල කිරීටයේ උරුමය තමා නතුකර ගැනීමේ බලවත් අභිලාශයක් ඇති විය.

එය සඵල කරගනු වස් ගම්පොල අගනුවර කොට රාජ්‍ය පාලනය කළ ඩ වන බුවනෙකබාහු රජ දවස (ව්‍ය. ව. 1372-1408) ආර්ය චක්‍රවර්තී විසින් දකුණු ඉන්දියානු චෝලයන්ගේ ආධාර උපකාර ද ඇතිව ගොඩින් හා මුහුදින් රට අල්ලා ගැනීම පිණිස මහා සේනාවක් එවන ලදී. බොහෝ කාලයක් මුළුල්ලේ විදෙස් රජවරුන්ට යටත් ව බොහෝ දුක් පීඩා විඳිමින් ඇතිවන කටුක ප්‍රතිඵල ගැන මනා අවබෝධයකින් යුක්තව සිටි අප සිහලුන්ට නැවත එවන් තත්ත්වයක් ඇති වීමට කිසිදු ඉඩ ප්‍රස්තාවක් නොතැබීමේ දෘඪ අධිෂ්ඨානයකින් යුක්තව එවකට ප්‍රභූරාජ තනතුර දැරූ අලගක්කෝණාර සෙනෙවි යටතේ සතුරාට විරුද්ධව පෙරට ආවෝ ය. තම ජාතියත්, තම රජතුමාවත්, තම දේශයත් උතුම් බුදු සසුනත් ආරක්ෂා කර ගනු වස් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ ලක්වැසියාගේ අභීත රණකාමීත්වය හමුවේ එම ආක්‍රමණිකයන් හට අන්ත පරාජයකට ලක් වීමට සිදු විය. බොහෝ දෙනෙක් මිහිකත වැළඳ ගත්හ. ජීවත් වීමට වරම් ලැබුවෝ යාපනයට පලා ගියහ. ඒ ආකාරයෙන් ලක් සිහසුන ආරක්ෂා කර ගැනීමට ලක්වැසියා සමත් විය. ඉන් පසු නැවත ද්‍රවිඩ ආක්‍රමණයක් සිදු වූයේ නැත.

කාලය ගත විය. ඩස වන පරාක්‍රමබාහු නමින් නමට සරිලන ක්‍රියා ඇති බලවත් රජෙක් කෝට්ටේ රාජධානියේ පහළ විය. මෙතුමාගේ අප්‍රතිහත උත්සාහය හමුවේ ලක්දිව අවසන් වරටත් එක්සේසත් විය. සිංහල සාහිත්‍ය, භාෂාව හා බුදු සසුන අතිශයින් ම දියුණු විය. රට සශ්‍රීකත්වයෙන් වෙළී ගියේ ය. නමුත් මෙම රජුගෙන් පසුව නැවත රාජ්‍ය බලය දුර්වල වීම ආරම්භ වුණි. මේ අතරවාරයේ ඩසසස වන වීර පරාක්‍රමබාහු රජ දවස (ව්‍ය. ව. 1505 නොවැම්බර් 15) ලොරැන්සෝ ද අල්මේදාගේ නායකත්වයෙන් යුත් පෘතුගීසි කණ්ඩායමක් හදිසි කුණාටුවකට හසුවීමෙන් ගාලු වරායට සේන්දු විය. අනාගතයේ ඔවුන් නිසා රටවැසියාට බොහෝ දුක් කරදර විඳීමට සිදුවන බව නොදත් රජු ඔවුන් ව පිළිගෙන වෙරළබඩ ප්‍රදේශයේ වෙළඳාම් කිරීමේ අයිතිය ඔවුන්ට ලබා දුනි.

ඔවුන් රිසි සේ වෙළඳාමෙහි නිමග්නව සිටිය දී ඩසසස වන පැරකුම් රජුගේ පුත් සං වන පරාක්‍රමබාහු කුමරු සිංහාසනගත විය. දක්ෂ, රණශූර පාලකයෙක් නො වූ මෙතුමා රජකමට පත්ව නොබෝ කලකින් මෙතුමාගේ ම සහෝදරයෙක් වූ විජයබාහු කුමරු රජු සමඟ ගැටුම් ඇතිකර ගත් බැවින් රජු විසින් තමාගේ ආත්මාරක්ෂාව පිණිස මෙරට අල්ලා ගැනීමේ අභිලාශයක් ප්‍රථමයෙන් නොතිබූ පෘතුගීසින්ගෙන් ආධාර උපකාර ඉල්ලා සිටියේ ය. ඊට පිළිතුරු වශයෙන් ඉන්දියාවේ සිටි පෘතුගීසි හේවායෝ බොහෝ පිරිසක් මෙරටට ගොඩබැස බලකොටු තනාගෙන මෙරට පදිංචි වූහ. ඒත් සමඟ රාජ්‍ය පරිපාලනයට ද අත ගැසූ ඔවුන්ගේ සිත් සතන් තුළ රට අල්ලා ගැනීමේ සිතුවිලි මෝදු විය. ඉන් පසු රජකමට පත් ඩසස වන විජයබාහු රජු පෘතුගීසීන්ට විරුද්ධව කටයුතු කළ ද එම රජුගෙන් පසුව රජකමට පත් ඩසස වන බුවනෙකබාහු රජු තමාට විරුද්ධව කටයුතු කරන තම රාජ්‍යය අල්ලා ගැනීමට මාන බලන සීතාවක රාජධානියේ රජකම් කළ තමාගේ ම සහෝදරයෙකු වූ මායාදුන්නේ රජුට බියෙන් පෘතුගීසීන්ගෙන් ම ආත්මාරක්ෂාව පැතී ය. රජුගේ එක ම මිතුරාත්, ආරක්ෂකයාත් බවට වෙනත් ජාතියකට අයත් වෙනත් ආගමක් ඇදහූ පෘතුගීසීන් නිතරඟයෙන් ම පත් විය. ඔවුහු රටවැසියා පෙළීමට පටන් ගත්හ. සිංහල බෞද්ධයන්ට වාසය කිරීමට පරිසරයක් එහි නැති විය. පීඩාවට පත් බොහෝ ජනයාත්, භික්ෂූන් වහන්සේලාත් බෞද්ධයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි එක ම බෞද්ධ රජු වන මායාදුන්නේ රජු වාසය කළ සීතාවක රාජධානියට පලා ගියහ. දළදා වහන්සේ ව ද රහසිගතව වැඩමවන ලද්දේ ය. අඳෝමැයි! අවසන කෝට්ටේ රාජධානිය තුළ නෙත් සිත් සනසාලූ කහ සිවුර දැකගත නොහැකි විය. සියලු දුක් නිවා සනහාලන එකදු බණ පදයක් ඇසීමේ වාසනාව සවන් යුගවලට අහිමි වී ගියේ ය.

මේ අතරවාරයේ ව්‍ය. ව. 1562 දී විදේශිකයන්ගෙන් මේ රට ගලවාගෙන නැවතත් සිංහල රජු හට මේ රන් දෙරණේ අයිතිය ලබාදීමේ උතුම් අභිලාශයෙන් මායාදුන්නේ රජුගේ පුත් කුමරු වන එවකට 12 හැවිරිදි වයසේ සිටි ටිකිරි කුමරු සමඟ එක්ව කෝට්ටේ රාජධානිය නතුකර ගනු වස් ස්වදේශිකයෝ ඉදිරියට ගියහ. මේ වග කන වැකුණු පෘතුගීසීහු අති විශාල සේනාවක් ගෙන අප ලක්වාසීන්ට විරුද්ධව පෙරට ආවෝ ය. මුල්ලේරියා වෙල් යායේ දී දෙපිරිස ම මුහුණට මුහුණලා මුණගැසුණි. තමාට වඩා අති බලවත් යුද බලයක් හා අවි පුහුණුවකින් සමන්විත එම පෘතුගීසි භටයන් සමඟ දිවි පරදුවට තබා රට, ජාතිය වෙනුවෙන් සටන් කළහ. සටන අතිශයින් ම බිහිසුණු විය. අපගේ වීරෝධාර සිංහ ගති ඇති සිංහලයන්ගේ අති දක්ෂ රණකාමීත්වය හමුවේ පෘතුගීසින් හට එතෙක් ලෝකයේ පෙරදිග ජාතියක් අතින් ලැබූ දරුණුතම පරාජය භුක්ති විඳීමට සිදු විය. මෙයින් ඔද වැඩී ගිය සිංහලයෝ නව ජවයකින් යුක්තව පෙරට ගොස් රට බේරා ගැනීමේ උතුම් අදහසින් කොළඹ කොටුව වටලා බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණපාමින් අභීත ව සටන් කළත් පෘතුගීසීනට ගෝවෙන් ආධාර ලැබුණෙන් පසුබැසීමට සිදු විය. එහෙත් ඒ වන විට විශාල ප්‍රදේශයක් තම රජුට නතුකර දීමට ලක්වැසියා සමත් විය.

කලක් ගත විය. රාජ්‍ය ලෝභය නම් අන්ධකාරයෙන් සිත් වැසී ගිය ටිකිරි කුමරු තම පිය රජු මරා රාජ්‍යත්වය හිමිකර ගත්තේ ය. සිංහලයාගේ ආරක්ෂකයා වශයෙන් සිටි මෙතුමා ශිව දහම වැළඳගෙන සිංහලයාගේ සතුරෙකු බවට පත් විය. රැකවරණය පැතු තැනින් ම බිය හට ගත්තේ ය. රජුගේ මිථ්‍යාදෘෂ්ටිය නම් බිහිසුණු සැඩ සුළඟින් සීතාවක රාජ්‍යයෙන් උතුම් බුදු සසුන නමැති වෘක්ෂය ඉදිරී ගියේ ය. රජුගේ කුරිරු ක්‍රියාකලාපය හමුවේ මහා විනාශයක් සිදු වූවේ ය. බොහෝ භික්ෂූන් වහන්සේලාගේ ගෙල රුධිරයෙන් පොළොව තෙමී ගියේ ය. වෙහෙර විහිර ගිනිබත් විය. පොත් පත් දැවී අළු විය. කාලිංඝ මාඝ කාලයේ සිදු වූ විනාශයට නොදෙවෙනි විනාශයක් සිදු විය. ජනී ජනයා කරකියා ගත හැකි දෙයක් නොමැති වූයෙන් අන්දමන්ද වී ගියහ.

වාසනාවකි. ඒ වන විට පෘතුගීසීන් යටතේ දොන් ජෝන් නමින් බෞතීස්ම ලබා සිටි කෝණප්පු බණ්ඩාර කුමරු ක්‍රිස්තියානිය අතහැර බුදු දහම වැළඳගෙන 1 වන විමලධර්මසූරිය යන නමින් උඩරට රාජධානියේ රජ බවට පත්ව බුදු සසුනේත්, සිංහල ජාතියේත් ආරක්ෂකයා බවට පත් වී සිටියේ ය. මේ බව දැනගත් භික්ෂූන් වහන්සේලාත්, බෞද්ධ ජනයාත් දළදා වහන්සේව ද රැගෙන වහා උඩරට රාජධානියට පලා ආවෝ ය. පලා ආ ඔවුන් තමාගේ උපරිම සහයෝගය සිංහල රජු හට ලබා දුන්හ.

මුළු රටේ ම අග්‍ර රජු බවට පත් වීමේ අපේක්ෂාවෙන් සිටි ස වන රාජසිංහ රජු ව්‍ය. ව. 1592 දී උඩරට රාජ්‍යය ආක්‍රමණය කිරීමට පැමිණියේ ය. එහෙත් ඒ වන විට එම රජුගෙන් පීඩාවට පත් වී සිටි ජනයාත්, රජුගේ බෞද්ධ විරෝධී ක්‍රියාපිළිවෙත ගැන දැන සිටි ජනයාත් තම රජු අහිමි වුවහොත් තමාට අත්වන ඉරණම ගැන හොඳින් තේරුම් ගත්හ. වහා රජු සමඟ එක්ව රාජසිංහ රජු ව පරාජයට පත් කිරීමට උඩරටවාසීන්ට හැකියාව ලැබුණි. පැරදුණු රජු ආපසු තම රාජ්‍යයට පැමිණෙන අතරමග දී උණ කටුවක් ඇනීමෙන් රෝගී බවට පත් වී මිය ගියේ ය. ඒත් සමඟ ම සීතාවක රාජධානිය ද පෘතුගීසින් විසින් අල්ලා ගත් අතර උඩරට රාජ්‍යය හැර සියලු ප්‍රදේශ ඔවුන් සතු විය.

මේ අතරතුර උඩරට රාජ්‍යය ද අල්ලාගෙන මුළු ලංකාද්වීපය ම තම අණසකට නතුකර ගැනීමේ අදහසින් ව්‍ය. ව. 1594 දී පෙඞ්රෝ ලෝපේස් ද සූසා මහා සේනාවක් ගෙන රාජ්‍ය උරුමයක් තිබූ දෝන කතිරිනා බිසව ද සමඟ උඩරට ආක්‍රමණය කිරීමට පැමිණියේ ය. ඒ බව දැනගත් රජු සිංහල සේනාවන් සමඟ එම අවස්ථාවේ උපක්‍රමශීලී ව පසුබැස ගිය අතර ක්‍රිස්තියානිය වැළඳගෙන තිබූ දෝන කතිරිනා බිසව සිංහාසනාරූඪ කරවී ය. රටවැසියා මෙම බිසව තම නායිකාව ලෙස පිළිගෙන තමාට පක්ෂපාතී වෙතැයි යන මුග්ධ සිතුවිල්ලක් පෘතුගීසින් තුළ තිබුණි. එහෙත් රටවැසියා පිළිගන්නේ හා පක්ෂපාතී වන්නේ සිංහල බෞද්ධ රජෙකුට පමණක් බව තේරුම් ගැනීමට ඔවුනට දින කිහිපයක් ගත විය. ඒත් සමඟ සූසා තම සේනාවන් හා මහනුවර සිට කොළඹ බලා යාමට පිටත් වූ අතර ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් රජු හා සිංහල සේනාවෝ දන්තුරේ ප්‍රදේශයේ කඳවුරුලා සිටියහ. ව්‍ය. ව. 1594-10-06 දින මේ කිසිවක් නොදත් පෘතුගීසිහු එම ප්‍රදේශයට පැමිණියහ. සිදු වූයේ ඔවුන් කිසිසේත් ම අපේක්ෂා කළ දෙයක් නො වේ. ඔවුන්ට එකවර ම සතර දිග්භාගයෙන් ප්‍රහාර එල්ල වීමට පටන් ගත්තේ ය. එම ප්‍රහාර හමුවේ සූසා ඇතුළු බොහෝ භට පිරිසක් මිය ගිය අතර පෘතුගීසීන් සමග පැමිණි දෝන කතිරිනා බිසව විවාහ කොටගෙන විමලධර්මසූරිය රජු රාජ්‍යයේ උරුමය තහවුරු කර ගත්තේ ය. එය නව රාජ පරම්පරාවක ඇරඹුම විය.

නැවතත් ටික කලකින් අසවේදු නම් වූ කෲර සෙනෙවියෙක් පෘතුගීසි භට සේනාවකුත්, ස්වදේශිකයන්ගෙන් සැදුම් ලත් සේනාවකුත් ගෙන රජුට විරුද්ධව යුදයට ආවේ ය. උඩරට සේනාවන් හා පෘතුගීසි සේනාවන් එකිනෙකා මුණගැසුණි. සිදු වූයේ පෘතුගීසිහු කිසිකලෙකත් බලාපොරොත්තු වූ දෙයක් නො වේ. පෘතුගීසි සේනාව තුළ සිටි සිංහලයන්ගේ යටපත් වී තිබූ ජාතික හැඟීම් අවදි වන්නට විය. වහා පෘතුගීසින් ව අතහැර රජු හා එක් වූහ. කිසිදු දෙයක් සිතාගත නොහැකිව වික්ෂිප්ත භාවයට පත් වූ සිතින් දිවි බේරා ගත හැකි වූ සේනාවත් ගෙන වහා පසුබැසීමට අසවේදුට සිදු විය. රටවැසියන්ට නැවත ටික කලක් සතුටින් ජීවත් වීමට අවස්ථාවක් ලැබුණි.

කාලය ගෙවී ගියේ ය. විමලධර්මසූරිය රජු ද අනිත්‍ය වසඟයට ගියේ ය. ඉන් පසු සෙනරත් රජු රජකමට පත් විය. මෙතුමාගේ කාලයේ දී යම් යම් ගැටුම් ඇති වූ අතර 1630 අගෝස්තු මස එහි උච්ඡතම අවස්ථාව සනිටුහන් විය. කොන්ස්තන්තීනු ද සා නම් ආණ්ඩුකාරවරයා විශාල සේනාවක් ගෙන උඩරට ආක්‍රමණයට පැමිණි අතර රන්දෙණිවල නම් ස්ථානයේ දී බිහිසුණු ගැටුම් ඇති විය. පෙර අවස්ථාවේ දී මෙන් මෙවර ද ස්වදේශිකයන් රජු හා එක් වූ අතර පෘතුගීසින්ට පෙර පරිදි ම පරාජයේ සෝ සුසුම් හිමි විය.

නැවතත් සාමකාමී කාලයක් ඇති විය. එහෙත් එම සාමය භුක්ති විඳීමට රටවැසියාට වරම් තිබුණේ වසර අටකට පමණි. සෙනරත් රජුගෙන් පසුව ඔහුගේ පුත් මහා අස්ථාන කුමරු සස වන රාජසිංහ නමින් රජකමට පත් විය. මේ අතරවාරයේ රාජ්‍ය අල්ලා ගැනීමේ පහ නො වූ ආශා ඇති පෘතුගීසීහු එම ආශාව සාක්ෂාත් කර ගනු වස් තම බලය වැඩි දියුණු කර ගනිද්දී අප සිංහලයෝ තම රාජ්‍යයත්, තම රජුවත් අහිමි කර නොගැනීමේ උතුම් අධිෂ්ඨානයෙන් සතුරාට මුහුණදීමට සංවිධානගත වූහ. වසර අටක නිහැඬියාව බිඳ හෙළමින් 1638 දී දියෝගු ද මේලෝ නම් ආණ්ඩුකාරවරයා විශාල සේනාවක් ගෙන දෙව් පුරය අල්ලන්නට යන අසුර සේනාවක් සේ මහනුවර බලා පිටත් වූ අතර රජු හා සිංහල සේනාවෝ උපක්‍රමශීලී ව නගරය අතහැර ගොස් ගන්නෝරුව නම් ස්ථානයේ කඳවුරු බැඳ පෘතුගීසීන් ව පිළිගැනීමට මග බලා සිටියහ.

ජනශූන්‍ය වූ සෙංකඩගල පුරවරය ගින්නෙන් දවා නැවත කොළඹ බලා පිටත් ව ගන්නෝරුව ප්‍රදේශයට ළඟා වූ ඔවුන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් බලා සිටි සිංහලයෝ සතර දෙසින් ම ඔවුන් ව වට කර ගත් අතර පෘතුගීසි සේනාව තුළ සිටි ජාතිමාමක අදහස්වලින් යුක්ත වූ සියලු ස්වදේශිකයන් වැල නොකැඩී රජු හා එක් විය. සිංහලයන්ගේ බලවත් ප්‍රහාර හමුවේ දිවි බේරාගැනීමේ වාසනාව හිමි වූයේ තිදෙනෙකුට පමණි. ආණ්ඩුකාරවරයාට හා අනෙක් සියලු භටයන්ට මිහිකත වැළඳ ගැනුමට සිදු විය. මෙයත් සමඟ උඩරට රාජ්‍යයට විරුද්ධ ව එල්ල වූ පෘතුගීසි ආක්‍රමණ නිමාවට පත් විය. මේ ආකාරයෙන් පෘතුගීසි ආක්‍රමණ 4ක් ලක්වාසීන්ට විරුද්ධව එල්ල වූ අතර එම සෑම අවස්ථාවක දී ම තම රාජ්‍යයත්, තම රජුවත් අහිමි කර නොගැනීමට සිංහලයෝ වග බලා ගත්හ. එමෙන් ම, ජාතිමාමක අදහස් තිබුණත්, සිංහල රජෙකුට පමණක් තම හදවතෙහි ඉඩ හසර වෙන් කොට තිබුණත් කරකියා ගත දෙයක් නොහැකි ව පෘතුගීසි සේනාවට එකතු වූ නියම සිංහල ලේ ඇති ස්වදේශිකයන් සිංහල රජු දුටු කල්හි ම තම නියම සිංහල ගති පෙන්වමින් සිංහල රජු හා එක්ව රටත්, රජුත් රැකගැනීමේ උදාරතර මෙහෙවරට උපරිම සහයෝගය දුන්හ.

අවසන් කොටස ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

මහාමේඝ

අපටත් බලා ඉන්ට වේවිද?  (අවසාන කොටස) >>
<< අපටත් බලා ඉන්ට වේවිද?    ( 01 කොටස)