ජීවිතය… සතුටු සිනාවන් දෝරේ ගලා එකින් එක බලාපොරොත්තු ඉටුවෙමින් යන විට, කවුරුත් ජීවිතයට ආසා කරනවා. ලෝකයේ ම සතුට හිත ළඟ වගේ දැනෙනකොට තව තවත් බලාපොරොත්තු ගොඩ නැගෙනවා ජීවත් වෙන්නට. නමුත් ඔබ නොසිතූ මොහොතක සැණෙකින් පුපුරා යන්නට බැරි ද සතුටින් පිරි ජීවිතය මරණයෙන්? ආසාවෙන් බැඳි බැඳී හිතුවාට ජීවිතය ගැන සිය දහස් වර, කීයෙන් කී දෙනෙක් හිතුවා ද මොහොතකට හෝ ජීවිතය ළඟ ම මරණයත් ඇති බව? හදිසියේ ම කඩා වදින මරණය විසින් සුණුවිසුණු කර දමනතුරු ම ජීවිතය, ඔබට හිතුණේ නැහැ නේ ද එයි කියා මරණය මා ළඟටත්, මගේ ඥාතීන් ළඟටත් නොසිතූ මොහොතක මේ තරම් දුකක් රැගෙන? යළි ගොඩනගන්නට බලාපොරොත්තුවක් හෝ නොතියා ම විනාශ වී ගිය කල එක මොහොතින් සිහින මාලිගා සියල්ල, හූල්ලනවා පසුතැවෙනවා හැර, විලාප නඟනවා චෝදනා කරනවා හැර, ධර්මයක් නොදත් ඔවුන් කුමක් නම් කරන්න ද? ‘දෙවි කෙනෙකුගේ කැමැත්තට මෙය සිද්ධ වුණා’ කියලා මිථ්‍යාවෙන් ම දුක වසාගෙන සිටිනවා හැර ඔවුන් කුමක් නම් කරන්න ද?

ඒ මිථ්‍යා අඳුරේ ම සරණක් සොයනවා. මරණය ගැන අවබෝධයක් නැති තාක් කල් හිසේ අත් බැඳන් විලාප තියන්නට වෙනවා, පපුවේ අත් ගසා ගනිමින් මර ලතෝනි නගන්නට වෙනවා. මරණය විසින් හුස්ම පොද අරන් ගියදාට ඔබේ දරුවාගේ, ඔබේ අම්මා තාත්තාගේ, ඔබේ ඥාතියාගේ… නවත්තන්නට බැරි, වෙනස් කරන්නට බැරි ලෝක ධර්මතාවයන් හමුවේ හඬා වැළපීමෙන් අපට කළ හැකි කිසිවක් නැහැ. අපරිමිත ගුණ දරා වැඩ සිටි බුදු, පසේබුදු, මහරහත් උතුමන් පවා මරණය විසින් මොහොතින් නසා දැමූ බව චතුරාරක්ඛාව හෙවත් සතර කමටහන්හි මරණානුස්සතියේ මෙලෙස සඳහන් ව තිබෙනවා.

“සුයසත්ථාමපුඤ්ඤිද්ධි
බුද්ධිවුද්ධිජිනද්වයං
ඝාතේසි මරණං ඛිප්පං
කාතු මාදිසකේ තථා”

“පිනෙන් නුවණින් ගුණෙන් ඉතිරුණු
බුදු පසේබුදු රහතුන්
මරණය විසින් සැණෙකින්
නසා වනසා දැමුවෝ
මා වැන්නෙකුගේ මරණය
ගැන කියන්නට දෙයක් නැති ම ය…”

ආගම, ජාතිය, කුලය කුමක් වුවත් ලොව සදාකාලික නොවන සංස්කාරයන්ගේ අනියත බව කාටත් එක ම යි. උපන් සියලු සත්වයෝ මිය යන බවත්, සියලු සංස්කාරයන් අනියත බවත් වටහා නොගන්නා තාක් ම සසරේ යන අපට උරුම වන්නේ ජරා, මරණ, දුක්, දොම්නස් ‌ පමණයි.

අප මව්කුසක පිළිසිඳ ගන්නේ යම් මොහොතක ද මරණය අප ව හඹා එන්නේ ද ඒ මොහොතේ සිට ම යි. මරණයෙන් මේ ජීවිතය අවසන් වන්නේ යම් මොහොතක ද යළි උපතක් අපට උරුම වන්නේ ද ඒ මොහොතේ දී ම යි. මව්කුසක කළලයක් සේ පිළිසිඳ ගත් මොහොතේ පටන් පණ කෙන්දට රැකවරණයක් නම් නැහැ. ඕනෑම මොහොතක මරණය අප කරා ආ හැකියි. කර්මය දායාදය කරගෙන උපන් සත්වයාට මරණය උරුමයි.

සාමාන්‍ය සමාජයේ මරණය කියන වචනයට පවා දක්වන්නේ අනිසි බියක්. මරණය ගැන කථා කළොත් කියන්නේ “මූසල කතා කියන්න එපා” කියලයි. නමුත්, කථාව නොකියා සිටියා කියලා මරණයෙන් ගැලවීමක් තියෙනව ද? කථාව යටපත් කළ හැකි නමුත් මරණය යටපත් කළ හැකි ද? එසේ නම් මූසල දෙය වන්නේ මරණය ගැන කතා කීරීම නොව, කථා නොකර සිටීම යි. උපන් සියලු සත්වයන් මිය යනවා යනු යථාර්ථය යි. ලොව පවතින යථාර්ථය යටපත් කළ හැකි කිසිවෙක් ලොව නැහැ. යථාර්ථය සඟවාගෙන කා, බී, නටමින්, ගයමින්, සිනාසෙමින් ගෙවන ජීවිතය නොසිතූ මොහොතක සුණුවිසුණු කරමින් පුපුරුවා දමන්නේ යටපත් කිරීමට උත්සාහ කළ මරණය විසින් ම යි. ඔබ ජීවිත කාලයක් පුරාවට දුක් මහන්සියෙන් ගොඩනගා ගත් සතුට එක මොහොතින් නැති කර දාන්නට තරම් අනුකම්පා විරහිත බලයක් මරණය සතුව තිබෙනවා. දරුවන් නැති වීමෙන් අම්මාවරුන් නගන විලාපය මරණයට ඇසෙන්නේ නැහැ. දෙමාපියන් නැති වීමෙන් දරුවන් තනිවෙන බව මරණයට පෙනෙන්නේ ද නැහැ. සිව් මහා සමුදුරු කඳුළෙන් පිරෙන්නට තරම් ඇඬුවත් ඒ කිසිවක් මරණයට අදාළ නැහැ. මේ ජීවිතයේ ඔබේ හුස්ම පොදට ඇති කාලය අවලංගු වන සැණින් මරණය ඔබට වලංගු වනවා. ඒ වන විට ගෙවෙන්නේ ඔබේ ළදරු විය ද තරුණ විය ද මහලු විය ද යන්න මරණයෙන් ගැලවීමට හේතුවක් නොවෙයි. මරණය කිසිදාකත්, කිසිවෙකුටත් කාරුණික වන්නේ නැහැ.

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයෙකු වූ නකුලපිතු ගෘහපතියා දිනක් ගිලන් ව දුකට පත් වුණා. එවිට ඔහුගේ බිරිඳ වන නකුලමාතාව ඔහුට මෙසේ පැවසුවා.

“ඔබ අප ගැන අපේක්ෂාවෙන් මැරෙන්නට එපා, අපේක්ෂාවෙන් යුතුව මරණයට පත් වීම දුකක්. ඔබට මා ගැන මෙසේ සිතෙන්නට පුළුවනි. ‘මාගේ ඇවෑමෙන් පසු ගෙදර කටයුතු කරන ගමන් දරුවන් පෝෂණය කිරීම මැයට අසීරු වනු ඇත. මාගේ ඇවෑමෙන් පසු මැය අන්‍ය සැමියෙකු කරා යනු ඇත. මාගේ ඇවෑමෙන් පසු මැය ධර්මයේ හැසිරීම අත්හරිනු ඇත.’ යනුවෙන් ඔබට සිතෙන්නට පුළුවන්. ගෘහපතිය එසේ නොසිතන්න. මම ගෙදර වැඩකටයුතු ද කරගෙන, දරුවන් ද පෝෂණය කරමින්, බ්‍රහ්මචාරී ව වසමින්, පින් දහම් ද කරමින් බුද්ධ ශ්‍රාවිකාවක් වශයෙන් ජීවත් වන්නෙමි. එබැවින් ඔබ අපේක්ෂාවෙන් තොර ව ම මැරෙන්න.”

මෙසේ ඇය තම සැමියාට දැහැමි ව අවවාද සිදු කළා. බලන්න, ධර්මය ජීවිතයට ගළපා ගත් බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ පවා තිබුණු අවබෝධය. නකුලමාතාව මෙහෙම කියනකොට, ‘මේ ගෑනි මං මැරෙනකල් බලා ඉන්නේ.’ කියලවත්, ‘මේ ගෑනි මං මැරෙනවට කිසිම දුකක් නෑනෙ.’ කියලවත් නකුලපිතු ගෘහපතියාට සිතුණේ නැහැ. තරහ ගියේ ද නැහැ. නකුලමාතාව පෙන්වා දුන්නේ යථාර්ථය බව ඔහු අවබෝධ කර ගත්තා. ඒ දහම් කථාවෙන් ඔහුගේ ගිලන් බව නැති වී ගොස් සුවපත් වුණා. අද කාලේ මනුස්සයෙක් මැරෙන්න හදන මොහොතක බිරිඳක් මෙවන් ප්‍රඥාවකින් හැසිරෙයි ද? එවන් ප්‍රඥාවන්තයන් අද දකින්නටවත් නැහැ. අද හිඳින්නේ පණ අදින මනුස්සයා ළඟට වෙලා “අනේ මා ව දාලා යන්න එපෝ”, “අපි අතරට ම ආයෙත් එන්න”, “දරුවොත් එක්ක මම තනි කරලා යන්න එපෝ” ආදී වශයෙන් මර විලාප තියන බිරින්දෑවරුන්. ඉතින් අවසාන මොහොතේ තම දරු පවුල ගැන ම තණ්හාවෙන් මැරිලා එතන දොර මුල්ලක හරි, වැසිකිලි වළක හරි යකෙක්, පෙරේතයෙක් වෙලා උපදිනවා. වර්තමානයේ ලෙඩ වී, ඔත්පල වී මැරෙන බොහෝ අය මෙවන් දුක්ඛිත උපතකට මඟ පාදගෙන ම යි මෙලොවින් හුස්ම ටික අතහරින්නේ. මරණය ගැන අවබෝධයක් නැති තාක් කල්, සිල් රකින – පින් කරන ජීවිතයක් ඇති කර නොගන්න තාක් කල් මරණයත්, පරලොව ජීවිතයත් දුක්ඛිත වනු ඇති.

පවාතදීපතුල්‍යාය
සායුසන්තතියාක්ඛයං
පරූපමාය සම්පස්සං
භාවයේ මරණස්සතිං

“සුළඟින් සැලී නිවෙනා
පහන් සිලකට සම වන
තිබෙන ආයුෂ අපගේ
වේගයෙන් ගෙවෙමින් යයි
අන් අය මැරෙන හැටි දැන
එය ම උපමාවට ගෙන
මරණය ගැන ද නිරතුරු
වැඩිය යුතු භාවනාවක් ලෙස”

විස්මිත ප්‍රඥාවෙන් ලොව සියල්ල අවබෝධ කළ, අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ සෑම මොහොතක ම මරණය සිහි කළයුතු බවයි. මරණසතිය භාවනාවක් ලෙස වැඩීමෙන් බලවත් කුසල් රැස්වන බව ද පෙන්වා වදාළා. යෞවන මදය, ආරෝග්‍ය මදය, ජීවිතය මදය ආදී මද මාන්න දුරු කර ගැනීමට ද මරණය සිහි කිරීම උපකාරී වෙනවා. ‘උපන් සියලු සත්වයෝ මරණය උරුම කරන් ජීවත් වන අය. මා ද එසේ ම යි. හේතූන්ගෙන් හටගෙන ඇති සියල්ල හේතු නැති වීමෙන් නැති වී යනවා.’ මේ පරම සත්‍යය ලොවට පෙන්වා දෙන්නේ ලෝක සත්වයාගේ යහපත පිණිස ම ලොව පහළ වන බුදුවරුන් ම පමණයි.

අකාලික ශ්‍රී මුඛ බුද්ධ වචනය අන්ධකාරයෙන් වැසුණු මිසදිටු ජීවිතවලට නොලැබී යාමේ අවාසනාව නිසා අද මුළු ලෝකයක් ම විඳවනවා. කඩු, කිණිසි, ආයුධ දරාගෙන “ගහපියව්, කොටපියව්, බෙලි කපාපියව්, මරාගෙන මැරියව්” කියන අති බිහිසුණු හිංසාකාරී දේවල් ධර්මය යැයි අදහන්නට තරම් මේ මිථ්‍යාව ඔවුන් ව කොතරම් අන්ධ කර ඇත්ද? ඒ ගණ අන්ධකාරයේ ම ලගිමින් අනෙකාගේ කඳුළු, සුසුම්, ලේ ගංගාවල් මතින් ගොස් හිමිකර ගන්නා සුගතියක් ගැන ඔවුන් සිහින දකිනවා. දෘෂ්ටිය මිථ්‍යාවක් වූ කල කය, වචනය, සිත මුල් කරගෙන කරන්නා වූ සියල්ලෙන් ම රැස් වන්නේ අනන්ත පව් ම යි. ලොව සියල්ල අවබෝධ කළ අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ මේ මිථ්‍යා දෘෂ්ටිය තරම් සත්වයාට අහිත පිණිස, දුක පිණිස, අනර්ථය පිණිස පවතින අන් දෙයක් නැති බවයි.

සාදු සාදු!!! බලන්න අප සරණ ගිය අපගේ ශාස්තෘන් වහන්සේගේ අවබෝධයේ විස්මිත බව. ඒ බුදු නුවණින් වදහළ මිථ්‍යා දෘෂ්ටියේ බිහිසුණු ආදීනවයන් අද ලෝකයට ම අහිත පිණිස, දුක පිණිස, අනර්ථය පිණිස මූලික වෙලා. තමාගේ අත පය කියතකින් කෑලි කෑලි කපද්දීවත් ඒ පුද්ගලයා කෙරෙහි වෛර සිතක්, තරහ සිතක් ඇති කර නොගන්න කියලා මහා කරුණාවෙන් ශ්‍රාවකයා ව හික්මවපු අප ශාස්තෘන් වහන්සේ ප්‍රාණඝාතයට අනුබලයක් අඟවන දෙයක්වත් බුදු මුවින් වදාරලා නැහැ.

වීතරාගී උතුමන්ගේ නිකෙලෙස් හද මඬලෙහි කෙලෙස් සංකල්පනාවන් උපදින්නේ නැහැ. එවන් අසහාය ශාස්තෘන් වහන්සේනමකගේ හද මඬලෙහි ඉපිද එදා මිගදායෙන් ඇරඹී මනුලොව, දෙව්ලොව, අකනිටා බඹලොව දක්වා ම සුවපත් කරමින් ගලා ගිය අකාලික වූ ධර්මය තාවකාලික සුවයකට නොව ලොව්තුරු සුවයට ම මඟ කියා දෙනවා. දැවෙන සිත් නිවාලමින්, නිවුනු සිත් අමා නිවනට ම පමුණුවාලන සන්දිට්ඨික වූ ධර්මයක් ලොව පවතිනවා කියලවත් ඔවුන් දන්නේ නැහැ. මහානීය වූ ක්ෂණ සම්පත අහිමි, අන්ධබාල ම්ලේච්ඡයන් මිථ්‍යා ඇදහිලිවලින් ම සුගතිය පතනවා. අසූචි ගොඩක් හාර හාර සුවඳ පැතුවාට ලැබෙන්නේ අසූචි ගඳ ම යි. මිථ්‍යා දෘෂ්ටියෙන් කිසිදාක සම්මා සංකල්ප උපදින්නේ නැහැ. මිථ්‍යා සංකල්ප ක්‍රියාත්මක වීමෙන් බිය, තැති ගැනීම්, හඬා වැළපීම්වලින් පිරුණු ම්ලේච්ඡ ප්‍රතිඵලයක් ම යි අත්වන්නේ. ලොව වෙසෙන අසරණ අහිංසකයන් ද කර්මානුරූප ව මේවාට ගොදුරු වීම නැවැත්විය නොහැකියි.

මොහොතක් හිතලා බලන්න, මෙවන් බිහිසුණු සසරක වැටිලා ඉන්න අපට උදව් වන්නට තිබෙන්නේ මොනවා ද? නිරයෙන් ආපු යමපල්ලන් සේ බෙලි කපන, ගිනි තියන, මිනිසුන් අමු අමුවේ ම මරා දමන පාපතරයන්ගේ ග්‍රහණයට ගොදුරු වෙමින් යන ලෝකයක කුමන වීණා වැයීම් ද? මිල මුදල් ටිකක් තිබුණා කියා සසරක ප්‍රශ්නය විසඳන්න බැහැ. මුදල්වලින්වත්, බල පුළුවන්කාරකම්වලින්වත්, මරාගෙන මැරීම්වලින්වත් හිමිකර ගත හැකි සුගතියක් ගැන බුදු දහමේ නම් නැහැ.

සරණක් නැතිව සසරක යන අප කුමක් හෝ පෙර කළ බලවත් පිනකට ලද මේ ක්ෂණ සම්පත සැහැල්ලුවට නොගෙන මේ සසරින් මිදීම අරමුණු කරගෙන පින් දහම් රැස් කළ යුතු යි. යළිත් මනුලොවක උපතක් ගැන හෝ නොසිතිය යුතු යි. මිනිස් ලොව සුගති ලෝකවලට අයත් වුව ද බුද්ධ අධිෂ්ඨානය අවසන් වූ පසුව අනාගත මනුලොව මිසදිටුව බලවත් ව විනාශය කරා ම යනු ඇති.

අප නරෝත්තම ගෞතම බුදුරජුන්ගේ ශ්‍රී පාද ස්පර්ශයෙන් ප්‍රභාෂ්වර ව ආලෝකවත් වූ මේ සුන්දර දිවයින ඒ බුද්ධ අධිෂ්ඨානයෙන් පසුව අන්ධකාරයෙන් ම වැසී යනු ඇති. අප මුනිරජුන්ගේ ප්‍රථම ලංකාගමනයෙන් පළවා හැරි යකුන්ගේ ආගමනය ද එකල ම සිදු වනු ඇති. යළිත් මේ දිවයින බුදු හිමියන් වඩින්නට පෙර තිබූ යකුන්ගේ වාස භූමිය ම වනු ඇති. බුද්ධ අධිෂ්ඨානයෙන් මේ රට ගිලිහී ගියාට පසු සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගෙන් ලද උදව්, උපකාර, ආරක්ෂාව ද නොලැබී යනු ඇති. එවිට මාර අධිරාජ්‍යයේ බල පරාක්‍රමයෙන් මේ පෘථිවි තලය ම ග්‍රහණය කර ගනු ඇති.

එසේ නම් අතීතයේ සිට මේ තාක් නුවණින් විමසා බැලූ කල අප පිළිගත යුතු බලවත් සත්‍යයක් තිබෙනවා. එනම් මේ පුංචි දිවයිනට කාලෙන් කාලෙට නොයෙක් ආක්‍රමණ ආවත්, කොතරම් සතුරු උවදුරු ආවත් රැකෙන්නා වූ ආනුභාවයක් මේ රන් පොළවේ තිබෙන බවයි. මිසදිටුව පතුරුවමින්, රටට අයිතිවාසිකම් කියමින් ලේ පිපාසාවෙන් පෙළෙන නූතන මර සේනාව පිටරටවල බලය අරන් මේ රට විනාශ කරන්න හදද්දීත් මේ රන් දෙරණ තවමත් බේරෙන්නේ අන් කිසිවක් නිසා නොව, තුන්ලෝකාග්‍ර වූ දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිවිතුරු ශ්‍රී පාද ස්පර්ශයෙන් තෙවරක් ම අභිෂේක වූ බුද්ධ පරිභෝග වස්තුවක් නිසා යි.

එසේ ම පන්සාලිස් වසරක් පුරා බුදු මුවින් වදහළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය එලෙසින් ම නිර්මල ව රැකී පවතින්නේ ද මේ ලක් දෙරණේ ම පමණයි. බුදු පියාණන් කියා දුන් ඒ උතුම් ධර්මය පුරුදු කරමින්, ලොව්තුරු නිවන් මගේ වඩිනා බුද්ධ පුත්‍රයන් වහන්සේලාට පියාගෙන් දායාද වූ ධර්මද්වීපය ද මෙයයි. අප මුනීන්ද්‍රයාණන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් ධර්මය පවතින තාක් කල් මේ රට විනාශ කරන්නට මොන ම බලවේගයකටවත් බැහැ. බුදුවරුන්ගේ අධිෂ්ඨානයක් වෙනස් කළ හැකි කිසිදු බලයක් ලොව නැහැ. මෙතෙක් කල් මේ රට මෙතරම් ආරක්ෂා වීමෙන් ම එය මනා ව පැහැදිලි වනවා.

මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වූයේ ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන්නේ ද, මේ අතර කාලය තුළ යමක් පවසයි ද, කියයි ද, නිර්දේශ කරයි ද, ඒ සියල්ල ඒ අයුරින් ම වෙයි. අන් අයුරකින් නොවෙයි. එනිසා තථාගත යැයි කියනු ලැබේ.

(ලෝක සූත්‍රය – අං.නි. 2)

අපගේ සර්වඥයන් වහන්සේ මෙසේ වදාළා නම් තථාගත ධර්මය පිහිටන ධර්මද්වීපය මෙය ම යි. එය එසේ ම යි. වෙනස් කළ හැකි කිසිවෙක් ලොව නැත්තේ ම ය.

අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ, ලක්දිව බුදු සසුන පිහිටන ද්වීපය බැවින් එය ආරක්ෂා කරන ලෙස භාර කළේ දෙදෙව් ලොවට අධිපති සක්දෙව් රජුන්ට යි. එසේ නම් ලක් දෙරණ මේ සා කාලයක් ආරක්ෂා කළේ කාලෙන් කාලෙට බලයට ඇවිත් රටේ අස්සක් මුල්ලක් නෑර ම සූරාගෙන කන, විකුණන්ට පුළුවන් ඔක්කොම විකුණාගෙන කන, ණයට ගන්න පුළුවන් හැම තැනට ම ණය වෙන පාලකයන්වත්, ඔවුන්ට ම පෑහී යන අන්තවාදී මිථ්‍යා දෘෂ්ටික නූතන වධක සංහාරයවත් නොවන බව මනා ව පැහැදිලි යි.

“ධර්මයේ හැසිරෙන කෙනා ව ධර්මය විසින් ම රකින්නේ ය” යනු බුද්ධ වචනය යි. අධර්මයේ හැසිරෙන කෙනාගේ ක්‍රියාවේ ඵලය දායාදය ලෙස ඔහු කරා ම එනවා යන්න ද සත්‍යයක් ම යි.

සත්‍යානුභාවයෙන් පිරුණු බුදු වදන් තව තවත් පතුරුවා හරිමින් මේ රන් දෙරණේ ජීවත් වන අල්ප වූ ගෞතම ශ්‍රාවක පිරිසට නිර්මල බුද්ධ වචනයට අනුව ම අවවාද අනුශාසනා කරන…

ගෞතම බුදුරජුන්ගේ යොවුන් ශ්‍රමණ දරුවන් ව මේ දුක්ඛිත සසරින් එතෙර කරවන්නට අපේක්ෂා විරහිත ව මුළු දිවිය ම කැප කරන… උත්තම ගුරු පියවරුන්ගේ සෙවණ, කෙළෙහිගුණ හඳුනන්නවුන්ට නම් සැපයක් ම යි…! ගෞතම බුදු හිමියන් වදහළ ධර්මය පිහිට, පිළිසරණ කරගෙන දෙව්ලොව ගියා වූ සත්පුරුෂ දෙවියන් පවා උපකාර කරන්නේ ම යි මෙවන් උතුමන් හට.

රකින්නේ ය දිව රෑ මෙවන් උතුමන් නිරතුරු ව ම.

ලොව කොහේ ජීවත් වුණත් ඔබ, හඹා එන මරණයෙන් ගැලවීමක් නම් නැත්තේ ම යි. එදාට මරණය අබියස ශෝක නොකරන, බිය තැති ගැනීමෙන් හඬා නොවැටෙන, දුක් නොවන සිතක් ලැබිය හැක්කේ ම යි ඔබට දිවි පුදා මුළු හදවතින් ම තෙරුවන් සරණ යාමෙන්….

“ඒතං බෝ සරණං ඛේමං
ඒතං සරණමුත්තමං
ඒතං සරණමාගම්ම
සබ්බ දුක්ඛා පමුච්චති”

“මේ සරණ බිය රහිතයි,
මේ සරණ ම යි උතුම්
මේ සරණට පැමිණීමෙන්
සියලු දුකෙන් මිදෙන්නේ ම ය…”

කෙලෙස් පිරුණු පහත් ජීවිත මේ සරණට පැමිණීමෙන් උත්තම බවට පත් වුණා. නිකෙලෙස් බවට පත් වුණා. ජරා මරණවලින් නිදහස් වුණා. සසරින් ම නිදහස් වුණා…
බුදුවරුන්ගේ අනුශාසනාව සියලු දුකින් නිදහස් වීම පිණිස ම යි…!

(මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි)