එදා ආච්චි තනියම කල්පනා කර කර ඉන්නවා වගේ පෙනුනා. මාත් හෙමිහිට ආච්චි ළඟට ළං වුණා. “ආච්චි… ආච්චියේ… මොකෝ මේ ඔයා අහස පොළොව ගැටලන්ට වගේ බර කල්පනාවක?”
“නෑ… මයෙ පුතේ… මං මේ කල්පනා කොළේ අපට කල්‍යාණමිත්‍ර සත්පුරුෂ ආස්සරේ ලැබුණු නිසා වෙච්චි ලාභය ගැන. ඇයි… පුතේ දැන් නොවැ අපි දන්නේ මේ භයානක සංසාර ගමන ගැන….”
“ඒක ඇත්ත ආච්චි… අපි උනත් මේ හැටි හොඳ දේ දැනගත්තේ ආච්චි අපට කියා දුන්නු නිසා නොවැ.”
“සත්පුරුෂ ආස්සරේ ගැන කියද්දි මට ලස්සන කතාවක් මතක් වුණා පුතේ.”
“අනේ ආච්චියේ මොකක්ද ඒ ලස්සන කතාව?”
“ඒ මෙහෙමයි පුතේ, ඉස්සර අපේ ලංකාවේ රුහුණු ජනපදේ ‘වියදියා’ කියලා වැද්දෙක් උන්නා. එයැයිගේ රස්සාව තමා දඩයම. දවස ගානේ පන්සියයක් විතර සත්තු මරණවා. දවසක් මුන්දැට දඩයම් නැතුව ගියා. මුන්දැගේ මායියා එළෝළුවක් එක්ක බත් උයලා තිබ්බා. මුන්දැට බත් වළඳ දැක්ක ගමන් කේන්ති ගියා.
“නිදකිං විතරක්!… මෙච්චර මස් තියෙන ගෙයි මට කන්ට මස් නැද්ද?” කියා මන්නයක් අරං ගේ පිටිපස්සට ගියා. තණකොළ කන වස්සාගේ දිව ඇදලා කැපුවා.
“මේං මේක උයලා දිපිය” කියා මායියාට දුන්නා. උන්දැ භය වෙලා හණිකට උයලා දුන්නා. වියදියා බත් කෑවා විතරයි මුළු ශරීරය ම ගින්නෙන් පුළුස්සනවා වාගේ මහා දැවිල්ලක් හටගත්තා. එළිවෙන තුරා වේදනාවෙන් හඬ හඬා උන්නා. පහුවෙනිදා උදේ ම සේරුවිලට ගියා. මංගල වෙහෙර වන්දනා කොරලා හිටං භික්ෂූන් වහන්සේනමකට ගිහිං රාත්තිරී තමන් ව පිච්චුනා ය කියා කිව්වා. උන්නාන්සේ හඳුනාගත්තා මෙයැයි වැද්දා බව. ඉතිං ප්‍රාණඝාත කොරන්ට එපාය කියලා දේවදූත සූත්‍රයෙන් බණ කීවා. ඊට පස්සේ පින් කොරන්ට කියලා විමාන වස්තුවෙන් බණ කීවා.
ඉතිං පුතේ, එදා පටන් මුන්දැ දඩයම් ගියේ නෑ. සත්ව ඝාතනය එහෝම නැවැත්තුවා. දැන් නිතර ම බණ අහන්ට යනවා, සිල් ගන්නවා. උන්දැ යහපත් මගට ආවා.
දවසක් පුතේ මේ වැද්දා ජනයාත් සමග මුහුදට නාන්ට ගියා. මුහුදේ උන්න දිව්‍ය නාගයෙක් මුන්දැව දැක්කා. දැකලා හිටං ඇවිත් දරණවැලින් වෙලා ගත්තා. වැද්දාට තේරුනා තමුන්ව නයෙන් වෙලාගත් බව. වැද්දා කලබොල වුණේ නෑ. හණික සිහිය උපදවා ගත්තා.
‘මං ඉස්සසෙල්ලාම ඇසුවේ දේවදූත සූත්‍රය යි. ඒක අපගේ බුදුරජාණන් වහන්සේ විසින් ම වදාළ බව සත්‍යයි. බුද්ධ පුත්‍ර වූ සංඝයා වහන්සේ එය බුදුබණ ලෙසින් දරාසිටින බව සත්‍යයි. ඒ බණ මං ශ්‍රද්ධාවෙන් ඇසූ බව සත්‍යයි. මේ සත්‍යයෙන් මට අන්තරාවක් නොවේවා!’කියා අධිෂ්ඨානයක් ඇතිකර ගත්තා.
මෙයැයිගේ මේ ධර්මානුභාවය නිසා නාගරාජයාට මොහුව මරාගන්ට බැරිව ගියා. නාගරාජයා වැද්දාව අරගෙන නාග භවනට ගියා.
“මිත්‍රයා… උඹ මැරෙන්ට භය නැත්තේ ඇයි? මට ඒක පහදා දීපං” කියලා නාගරාජයා උන්දැගෙන් ඇසුවා. උන්දැට මතක දේවදූත සූත්‍රය නොවැ. උන්දැ මෙහෙම කීවා.
“මහා නාගරාජය, අපගේ සම්බුදුරජාණන් වහන්සේ තමයි සියලු රසයන්ට වඩා අග්‍ර රස ඇති ධර්මය වදාළේ. ඉතින් මටත් දේවදූතයන්ගේ බණ කියා අපූරු බණක් අහන්ට ලැබුණා. එදා පටන් මං තිවිධ රත්නය සරණ ගියා. පංච සීලයේ පිහිටියා. ඉතින් මං දැන් මක්කටෙයි භය වෙන්නේ.”
“අනේ මිත්‍රයා… මාත් ආසයි ලොව්තුරා බුදුන්නේ බණක් අසන්ට. අනේ මටත් කියාපංකෝ. මාත් මනාපයි බුදුන්නේ බණ අසන්ට.”
“නා රජ්ජුරුවන් වහන්ස, අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මට පව් කියා දෙයක් වදාළා. ඒවා කොරන්ට හොඳ නෑ. බොහෝම භයානකයි. ඒ කියන්නේ මෙලොව පරලොව ගැන නොබලා කවුරුහරි ප්‍රාණඝාත කොළොත් ඒක හරීම භයානකයි. ඒ වාගෙමයි හොරකොම. වල් වලත්ත වැඩ කොරන්ට ම නාකයි. බොරු කීමත් හොඳම නෑ. සුරාපානය හරීම නරකයි.
හැබැයි සත්පුරුෂ ආස්සරේ නැතිව ඉඳන් ඔවැනි භයානක පව් කොළෝතින් ඒකුන් ගොහින් නිරයේ උපදිනවා. සංජීව, කාලසූත්ර, සංඝාත, රෞරව, මහාරෞරව, තාප, ප්‍රතාප, අවීචි කියන මහා නරකාදි අටක් තියෙනවා. පව්කාරයෝ ගොහින් ඒ අටමහා නරකයේ උපදිනවා. ගිනි ජාලාවන්ට මැදි වෙලා ලොහො දිය බිබී යමපල්ලන්නේ අටෝරාසියක් වධබන්ධනයන්ට ලක්වෙනවා.
ඒ වගේම නාරජ්ජුරුවන් වහන්ස, ඔය අට මහා නිරයේ එක් එක් නිරයට දොරටු සතර ගානේ දොරටු තිස් දෙකක් තියෙනවා. ඒ එක් එක් දොරටුව ළඟ උස්සද නිරයවල් සතරක් තියෙනවා. ඒ කියන්නේ එක නිරයකට දොරටු සතරයි. දොරටුවක් ළඟ සතර බැගින් උස්සද නිරය දහසයයි. එතකොට ඔක්කෝම උස්සද නිරය එකසිය විසි අටයි. මහා නිරය අටත් එක්ක එකසිය තිස් හයයි.
නාරජ්ජුරුවන් වහන්ස, අවීචි මහා නරකාදිය තුන්සිය දහඅට යොදුන් විශාලයි. නවසිය පනස් හතර යොදුනක වටයෙන් යුක්තයි. උස්සද නිරය සතරත් එක්ක දසදහසක් යොදුන් විශාලයි. ඔය අවීචි මහා නරකාදියේ දොරටු හතර වටා මේන්න මේ උස්සද නිරයවල් පිහිටා තියෙනවා. 1. අබ්බුද 2. නිරබ්බුද 3. අබබ 4. අටට 5. අහහ 6. කුමුද 7. සෝගන්ධික 8. උත්පල 9. පුණ්ඩරීක 10. පදුම 11. ගූථ නරකය 12. කුක්කුල නරකය 13. කටුහිඹුල් වනය 14. අසිපත්‍ර වනය 15. ඛාරෝදක වේතරණී නදිය 16. ලෝකුඹු නරකය.
නාරජ්ජුරුවෙනි, අටමහා නරකය ගැන කතා කිරීම පැත්තකින් තියමු. මේ උස්සද නිරයක උපන්නොත් ලොව්තුරා බුදුන්ට මිසක් කිසිම එර්දිමතෙකුටවත් ඒ සතුන් විඳින් දුක කියලා අවසන් කොරන්ට බෑ.
ඒ වගේම නාරජුනේ, ඔය නරකාදිවල ආයුෂ හරීම දිගායි. එකකට වැටුනොත් ඒකෙන් අනිකට වැටෙනවා. ගූථ නරකය, කුක්කුළ නරකය, හිඹුල් වනය, අසිපත් වනය, වේතරණී නදිය, ගිනිඅඟුරු පරුවතේ, සංඝාත නරකය ආදියේ දුක් මෙතෙකැයි කියා කියන්ට බෑ. ඒ නිසා මේවායේ උපදින්ට හේතුවන අකුසල් නොකරම ඉන්ට ඕනෑ.
ඒ වගේම නාරජුනේ, තිරිසන් අපායේ උපන්නත්, පෙරේත ලෝකේ උපන්නත් දුක් ම යි විඳින්ට තියෙන්නේ. ඔය කියපු කිසිම ලෝකයක සත්පුරුෂ ආස්සරයක් නෑ. අනේ නාරජුනේ මාත් මේ මනුස්ස ලෝකෙන් නිරයේ යන්ට නියමව හිටිය එකෙක්. අනේ මාව ඒ සත්පුරුෂයන් වහන්සේලා උතුම් තිසරණයේ පිහිටෙව්වා. සීලයේ පිහිටෙව්වා. දැන් මං මැරෙන්ට භය නෑ.
එතකොට පුතේ, නාරජ්ජුරුවෝ බොහෝම සතුටු වුණා. සිතූ පැතූ සම්පත් දෙන නාග මාණික්‍යයක් එයැයිගේ අතට දුන්නා. ආයෙමත් වෙරළට ගෙනැවිත් තිබ්බා. උන්දෑ එදා ම නාග මාණික්‍ය ගෙදරට දුන්නා. තමන් ගිහි ජීවිතේ අත්හැරියා. සේරුවිලට ගොහින් තමන්ට දේවදූත සූත්‍රය කියාදුන්න භික්ෂූන් වහන්සේව සොයා ගිහින් මේ හැම දෙයක් ම කිව්වා. තමන්ව පැවිදි කරන්ට කියා ඉල්ලා සිටියා.
භික්ෂූන් වහන්සේලා වියදියා ව පැවිදි කළා. වැදි තෙරුන්නාන්සේ කියලා ඒ භික්ෂුව ප්‍රසිද්ධ වුණේ. බොහෝ වීරිය අරගෙන ධර්මයේ හැසිරිලා රහතන් වහන්සේනමක් බවට පත් වුණා.
බලන්ට පුතේ, සත්පුරුෂ ආස්සරේ මොනතරම් උතුං ද. දැන් බලන්ට… අර වැද්දා වැදි ජීවිතේ ම ගෙව්වා නම් එයැයි මේ වෙද්දිත් මහානිරයක ඉපදිලා අඳෝනා නගමින් දුක් විඳිනවා නොවැ. අපගේ මහා සත්පුරුෂයන් වහන්සේ වන සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්‍ය රසයෙන් රසවත් වූ ධර්මය වදාළා නොවැ. ඒ ධර්මය එදා බුද්ධපුත්‍රයන් වහන්සේලා කටපාඩමින් දරාගෙන හිටියේ. ඒ ධර්මය සත්පුරුෂයන් වහන්සේලාගෙන් අසන්ට තරම් අර වැද්දාත් මොකාක් හරි පිනක් කොරලා තියෙන්ට ඇති. ඉතිං පුතේ, ඒ බණ ඇසීම මොනරතම් උතුම් දෙයක් උනාද. වැද්දාට සියලු අකුසල් නසා රහත් ඵලයට පත්වෙන්ට ලැබුණා. සත්පුරුෂ ඇසුර නිසා මොනතරම් පිරිසක් දෙවියන් අතර උපන්නා ද. සාදු… සාදු… ත්‍රිවිධ රත්නයෙහි අපව සමාදන් කරවන කල්‍යාණමිත්‍ර සත්පුරුෂ ආස්සරේ උතුම් දෙයක් ම යි නේද පුතේ.”
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
සාධු! සාධු! සාධූ. බුදු බණ තේරුම් කරන ඔබ සියළුදෙනාට පිං වේවා.
සාදු!සාදු !සාදු!