බෝසත් සුනඛයාගේ කථාව
පින්වතුනේ, පින්වත් දරුවනේ,
තමන්ගේ ජාතියට රැකවල් දිය යුත්තේ තමන්ගේ කෙනෙක්මයි. තමන්ගේ ධර්මය රැකගත යුත්තේ තමන්මයි. අපගේ බෝසතාණන් වහන්සේ තමන්ගේ වර්ගයා රැකගැනීම පිණිස නොයෙක් ආත්මවල සිය ජීවිතය කැප කොට තියෙනවා. පුරණ ලද පාරමී බලයෙන් යුතු අප මහා බෝසතාණන් වහන්සේ පවා එක්තරා අවස්ථාවක සුනඛ යෝනියෝ ඉපදුනා. එදා තමන්ගේ ඤාති වර්ගයාට වෙන්ට තිබුනු මහ විපතකින් ඔවුන්ව බේරාගත්තා. භාග්‍යවතුන් වහන්සේ පෙර ආත්මවලදී පවා තමන්ගේ ඤාති වර්ගයා බේරාගන්ට කටයුතු කළ බව දම්සභා මණ්ඩපයේදී භික්ෂූන් වහන්සේලා කථා කරමින් සිටියා. ඒ අවස්ථාවේ එතනට වැඩම කොට වදාළ අප භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.
“පින්වත් මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙක මහා බෝධිසත්වයන්ටත් කිසියම් කර්මයකට අනුරූපව සුනඛ යෝනියේ උපදින්ට සිදුවුනා. ඉතින් සුනඛ යෝනියේ උපන් බෝසත් සුනඛයා නොයෙක් සියගණන් සුනඛයන් පිරිවරාගෙන මහා සුසාන භූමියක වාසය කළා.
එක් දවසක් බරණැස් රජ්ජුරුවෝ සුදු අශ්වයන් යෙදූ ඉතා අලංකාර ලෙස සැරසූ අනගි අශ්ව කරත්තයෙන් උයන් කෙළියට ගියා. හිරු අවරට යද්දි නැවතත් ඒ අශ්ව කරත්තෙන් මාලිගයට ආවා. රජ්ජුරුවෝ රථයෙන් බැහැලා මාලිගයට ගොඩවුනා. රථයේ බැඳපු අසුන්ව අස්ගාලට ගෙනිච්චා. නමුත් එදා රථය ඇතුළට දාන්න බැරිවුනා. රජමිදුලේම තිබුනා. එදා රෑ වැහැපු වැස්සට අශ්ව රථය තෙමිලා ගියා. මාලිගාවේ උඩුමහල් තලයේ සුරතලයට ඇතිකරන වංශවත් බල්ලන් හිටියා. ඒ විශාල බල්ලන්ට තෙත සම්ගඳ ඉව වැටුනා. ඔවුන් හිමින් පහතට බැස්සා.
ඒ රථයට ගොඩ වෙලා තෙත සම් තෙත් වූ වරපට ආදිය කාලා දැම්මා. පසුවදා උදෑසන රාජසේවකයන්ට සපා කා විනාශ කරන ලද තෙත් වූ සම් ඇති වරපට ඇති රථය දකින්ට ලැබුනා. ඔවුන් මේ කාරණය රජ්ජුරුවන්ට පැමිණිලි කළා.
“දේවයන් වහන්ස, ගමේ බල්ලෝ කාණු කටකින් රජමිදුලට ඇවිත් තියෙනවා. අශ්ව කරත්තේ ආසනයට යෙදූ සමත් සම්පටිත් ඔක්කොම කාලා” රජ්ජුරුවෝ වහාම රථය බලන්ට ආවා. මුළු රථයම විනාශ කරලා! රජ්ජුරුවන්ට හොඳටම කේන්ති ගියා. “එසේ නම් සේවකයිනි, එක බල්ලෙක් තියන්ට එපා. දුටු දුටු තැන මරාපියව්” කියා රාජ අණ පැවැත්තුවා.
එදා පටන් ගමේ සියලුම බල්ලන්ට මහා නරක කලදසාවක් උදාවුනා. රාජ සේවකයන් දුටු දුටු තැනදී බල්ලන්ව මැරුවා. පණ බේරාගෙන පලා යන බල්ලෝ කෙළින්ම මහ සොහොනට දිව්වා. බෝසත් සුනඛයා වටේ එකතු වෙන්ට පටන් ගත්තා. එතකොට බෝසත් සුනඛයා ඔවුන්ගෙන් මෙහෙම ඇහුවා.
“අහෝ මිතුරනි, මොකද මේ…. මහ භයකට පත්වෙලා වගේ ගැහි ගැහි ඉන්නේ. මොකක්ද වුන කරදරය?” “අනේ අපි වරදක් කළේ නෑ. රජ්ජුරුවන්නේ අස්ප කරත්තේ බල්ලෝ කාලාලු. හනේ…. අපට ඒ පැත්තටවත් යන්ට වරම් නෑ. නමුත් අහුවුනේ අපවයි. රජ්ජුරුවන්ට හොඳටම කේන්ති ගිහින් රාජ අණක් නිකුත් කළාලු. දුටු දුටු තැන අපව මරන්ට කීවාලු…. අනේ අප දන්නා හඳුනන සෑහෙන දෙනෙක් මැරුනා. මහා විපැත්තියක් අපට වුනේ.”
“ඕ…. එහෙමද! ඔය රාජ මාලිගයට බල්ලන්ට යන්ට පාරක් තොටක් ඇත්තේම නැද්ද?”
“අනේ නෑ…. පාරේ යද්දි අස්ප කරද්දි දැක්කා මිසක්කා ඒක අහලකටවත් යන්ට අපට වරම් නෑ”
‘ඕහෝ…. එහෙනම් මේක රාජ මාලිගාවේ ඇතිකරන වංශවත් බල්ලන්ගේ වැඩක් වෙන්ට ඕනෑ…. වැරදිකාරයන්ට කිසි දඬුවමක් නෑ. වරදක් නොකළ අයටයි මරණ දඬුවම! දැන් මට කරන්ට තියෙන්නේ එක දෙයයි. හැබෑ වැරදිකාරයෝ කවුද කියලා රජ්ජුරුවන්ට පෙන්නන්ට ඕනෑ’ කියලා බෝසත් සුනඛයා කල්පනා කළා. තැතිගත් සුනඛයන්ව අස්වැසෙව්වා.
“සුනඛයිනි, භය වෙන්ට කාරි නෑ. මං තොපව ඔය මරණ භයෙන් නිදහස් කරවන්නම්. මං ගොහින් රජ්ජුරුවන්ව බැහැදකින කල් මෙතැනම වාසය කරව්. පිටතට යන්ට එපා” කියලා බෝධිසත්වයොත් තමන්ගේ පෙර ආත්මයන් පවා සිහි කළ හැකි ජාතිස්මරණ ඤාණයෙන් පුරන ලද පාරමී ධර්මයන් සිහි කළා. මෛත්‍රී සිත පෙරටු කරගත්තා. ‘මා හට කිසිවෙකුගෙන් ගල් පහරක් හෝ මුගුරු පහරක් හෝ ආයුධ පහරක් හෝ එල්ලවෙන්ට එපා’ කියලා අධිෂ්ඨාන කළා. හුදෙකලාවේම ඇතුලු නුවරට ගියා. බෝසතුන්ගේ ආනුභාවය නිසා ඔහුව දුටු කවුරුවත් කිපී බැලුවේ නෑ. බෝසත් සුනඛයා කෙලින්ම මාලිගාව ඇතුලට ගියා. රාජ සභාවට ම ගියා. රජ්ජුරුවෝ යම් ආසනයක වාඩි වී සුනඛයන්ව ඝාතනය කරන්ට අණ දුන්නාද එදත් ඒ ආසනයේම වාඩි වී සිටියා. සුනඛයා කෙලින්ම ගිහින් ආසනය යටට රිංගා ගත්තා. රාජ පුරුෂයෝ සුනඛයාව එතනින් එලවා දමන්ට සූදානම් වුනා. එතකොට රජ්ජුරුවෝ එය වැළැක්කුවා. සුනඛයා හෙමින් හෙමින් ආසනය යටින් එළියට ආවා. රජ්ජුරුවන්ට වන්දනා කළා.
“දේවයන් වහන්ස, තොප බල්ලන්ව මරාදමන්ට අණ කළාද?”
“ඔව්… ඇයි?”
“රජතුමනි…. ඔවුන් නුඹවහන්සේට කළ අපරාධය කුමක්ද?”
“ඔවුන් ඉතා බලවත් රාජ අපරාධයක් කරලා තියෙනවා. මාගේ අශ්ව රථයේ එළාපු ඉතාම වටිනා සම්, වරපට ආදිය කාලා විනාශ කරලා තියෙනවා.”
“එතකොට රජතුමනි, යම් සත්තු ඒවා කෑවාද ඒ සතුන් කවුරුන්ද කියා නුඹවහන්සේ හොඳාකාරවම දන්නවාද?”
“නෑ…. එහෙම නිච්චියට ම කියන්ට බෑ.”
“සම් කාපු සත්තු මෙවුන් කියා නිච්චියට ම නොදැන ඒ මොහොතේ ඉඳන් දුටු දුටු තැන බල්ලන් මරවන්ට නියෝගය දීපු එක හොඳයිද දේවයන් වහන්ස?”
“ඒකේ වැරැද්දක් පේන්ට නෑ. රථයේ සම් බල්ලන් කාපු නිසයි දුටු දුටු තැන සියලු බල්ලන්ව මරන්ට කියා රාජාඥාව නිකුත් කළේ.”
“එතකොට මහ රජ්ජුරුවනි, ඒ ආඥාවට අනුව මිනිස්සු සියලුම බල්ලන්ව මරා දමනවාද? නැත්නම් ඇතැම් බල්ලන්ට ඒ මරණ දඬුවම බලපාන්නේ නැද්ද?”
“ඔව්…. අපේ මාලිගාවේ වංශවත් බල්ලන්ට මරණ දණ්ඩනය බලපාන්නේ නෑ.”
“එතකොට දේවයන් වහන්ස, නුඹවහන්සේ මේ දැනුත් කිව්වේ රථයේ සම් බල්ලන් විසින් කා දැමූ නිසා දුටු දුටු තැන සියලු බල්ලන්ව මරා දමන්ට සුනඛ වධය නිකුත් කළා කියලයි. එහෙත් මේ දැන්ම අපේ
මාලිගාවේ ඇතිකරන වංශවත් බල්ලන්ට මරණ දණ්ඩනය බලපාන්නේ නෑ කියනවා. එහෙනම් නුඹවහන්සේ මේ කාරණයේදී ඡන්දයෙනුත් ද්වේශයෙනුත් මෝහයෙනුත් භයෙනුත් අගතියට ගිහින් නොවැ ඉන්නේ. ඒක රාජ ධර්මයක් නොවෙයි. රජෙක් වුනාම තීරණයක් ගැනීමේදී තරාදියෙන් කිරලා බලනවා වගේ හැම පැත්තක් ගැනම කරුණු සොයා බලන්ට වටිනවා නොවැ. දැනුත් එහෙමනේ වෙලා තියෙන්නේ. රජ මැදුරේ බල්ලොන්ට දඬුවම් නෑ. දුර්වල බල්ලන් දුටු දුටු තැන මැරුම් කන්ට නියමිතයි. මේකට කිය යුත්තේ සුනඛයන්ට මරණය කියලා නොවේ. දුර්වලයන්ට මරණය කියලයි. ප්‍රබලයන් සුවසේ වැජඹෙනවා. දේවයන් වහන්ස, ඔබ යමක් කරනවාද එය ධර්මය නම් නොවේ” කියා බෝසත් සුනඛයා මේ ගාථාව පැවසුවා.
“රජමැදුරේ හැදුනු වැඩුනු – ලස්සන පෙනුමැතිව සිටින
රාජ කුලේ බල්ලන් හට – දඬුවමකුත් නැත්තේ
රැකවල් නැති පිහිටක් නැති – අපටයි මේ දඬුවම්!
මේ නීතිය සැමට සමව නැත්තේ
දුබලයන්ට මරණයමයි ඇත්තේ”
බෝසත් සුනඛයා මේ ගාථාව කියලා මෙහෙම සුසුම් හෙළුවා.
“අහෝ… රජවරු කරන්ට ඕනෑ වැරදිකාරයන්ට දඬුවම් දීමයි. නිවැරදි අයට නොවෙයි. මෙතන තියෙන්නේ ඊට විරුද්ධ දෙයක්. වැරදිකාරයෝ සුවසේ වැජඹෙනවා. නිවැරදි අයට මරණ දඬුවම! අහෝ…. ලෝකයේ පවතින්නේ අයුක්තියයි. අහෝ…. ලෝකයේ පවතින්නේ අධර්මයයි.”
බෝධිසත්වයන්ගේ මේ වචනය ඇසූ රජ්ජුරුවන්ගේ සිත වෙනස් වුනා. රජ්ජුරුවෝ සුනඛයාගෙන් මෙහෙම ඇහුවා. “පණ්ඩිතයෙනි, එතකොට තොප දන්නවාද මගේ රථයේ සම් කෑවේ අසවල්ලුය කියා කියන්ට?”
“එසේය… මා දන්නවා.”
“ඔව්… කවුද සම් කෑවේ?”
“වෙන කවුරුවත් නොවෙයි. තමුන්නාන්සේගේ මාලිගාවේ සුවසේ වැජඹෙන වංශවත් බල්ලෝ තමයි ඒ හැම දෙයක්ම කළේ.”
“එවුන්ම මේවා කෑවා කියලා දැනගන්නේ කොහොමෙයි?”
“දේවයන් වහන්ස, මේ රජගෙයි බල්ලෝම මේවා කෑ වග මට පෙන්නන්ට පුළුවනි. මෝරු ටිකකුයි, තණකොළ ටිකකුයි මට ගෙනත් දෙන්ට” එතකොට රජ්ජුරුවෝ ඒවා ලැබෙන්ට සැලැස්සුවා. “මේ තණකොළ පොඩි කෑලි වලට කපා මෝරු වලට කලවම් කොට බල්ලන්ට පොවන්ට” කියලා බෝධිසත්වයෝ අනුශාසනා කළා. රජ්ජුරුවෝ ඒ කියපු විදිහට බල්ලන්ට පෙව්වා. මොහොතයි ගියේ බීපු බීපු බල්ලෝ වමනේ දැම්මා. සම් කෑලි, වරපට කෑලි වමනෙත් සමග වැටුනා.
රජ්ජුරුවෝ මහ පුදුමයට පත්වුනා. කාටවත්ම විසඳාගන්ට බැරිවුන දෙයක් මේ කැලේ ඉන්න සුනඛයෙක් විසඳා දුන්නා නොවැ කියලා මහත් සතුටට පත්වෙලා බෝසත් සුනඛයාට සිය සුදු සේසතින් පිදුවා. එතකොට බෝසත් සුනඛයා “මහ රජ්ජුරුවෙනි, ධර්මයෙන් යුක්තව රාජ්‍යය කරන්ට. මව්පියන්ට, ක්ෂත්‍රියයන්ට වගේම අන්‍ය සියලු දෙනාටත් යහපත සලසන්ට. නිති පන්සිල් රකින්ට. අප්‍රමාදීව ධර්මානුකූලව කටයුතු කරන්ට” කියලා අවවාද කොට සුදු සේසත රජ්ජුරුවන්ට ම දුන්නා. මහත් සතුටට පත් රජතුමා සියලු සත්වයන්ට අභය දානය දුන්නා. එදා පටන් සියලුම සුනඛයන්ට රාජ භෝජන ලැබෙන්ට සැලැස්සුවා. සුනඛයා දුන් අවවාද රන්පත් වල ලිව්වා. ඒ අවවාද අවුරුදු දස දහසක් පැවතුනා. සුනඛෝවාදයේ පිහිටි රජතුමා මරණින් මතු දෙවියන් අතර උපන්නා.
පින්වත් මහණෙනි, තථාගතයන් ඤාතීන්ට යහපත සැලසුවේ මේ ආත්මයේ විතරක් නොවෙයි. ඔය විදිහට පෙරත් කටයුතු කළා. එදා රජ්ජුරුවෝ වෙලා සිටියේ අපේ ආනන්දයන්. සුනඛ පිරිස වෙලා සිටියේ මේ බුදු පිරිසමයි. සුනඛයා වෙලා සිටියේ මමයි” කියා අප භාග්‍යවතුන් වහන්සේ මේ කුක්කුර ජාතකය වදාළා.
– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
සාදු! සාදු !!
sadhu sadhu sadhu