ඇතැම් අයගේ කටහඬ ටින් කබල්වලට තට්ටු කරන්නාක් මෙනි. නැතහොත් කපුටන් කෑ ගසන්නාක් මෙනි. එවන් හඬවල් රළු ය. අමිහිරි ය. ඇසීමට ප්‍රිය නූපදී. පිත්, සෙම් ආදියෙන් අවහිරයක් නො වී නැඟී එන තථාගත බුදුරජාණන් වහන්සේගේ ස්වරය බ්‍රහ්මයාගේ ස්වරයට සමාන ය. අංග අටකින් යුක්ත ය.
“විස්සට්ඨ මඤ්ජු විඤ්ඤෙය්යා – සවනීයා විසාරිනෝ
බින්දු ගම්භීර නින්නාදී – ත්යේව අට්ඨංගිකෝ සරෝ”
යනුවෙන් අභිධානප්පදීපිකාවෙහි දක්වා ඇත්තේ ය.
පහසුවෙන් මුවින් නික්මෙන බව, සිනිඳු බව, පහසුවෙන් තේරුම් ගත හැකි බව, කනට සැප බව, අවුල් නැති බව, එකතු වී ඇති බව, ගැඹුරු බව, නින්නාද ඇති බව යන මේ අංග අට භාග්‍යවතුන් වහන්සේගේ ස්වරයෙහි අංගයෝ ය. අෂ්ට අංගයන්ගෙන් යුක්ත වන බුදුරජුන්ගේ හඬ කුරවි කෙවිල්ලන්ගේ හඬ සේ මධුර ය.
කුරවි කෙවිල්ලා හිමාල වනයෙහි වාසය කරන පක්ෂියෙකි. ඌ ඉදුණු අඹවලින් වෑස්සෙන පැණි බී තෘප්තිමත් ව පියාපත් ගසමින් නාද කරන්නට පටන් ගනී. උගේ හඬ කෙතරම් මිහිරි ද කිවහොත් ඒ හඬ කන වැකුණු මෘගයෝ හා පක්ෂීහූ මත් වූවන් මෙන් එයට ඇහුම්කන් දෙන්නට පටන් ගනිති. තණකොළ කන මෘගයෝ කටට ගත් තණ බිම හෙළා එයට ඇහුම්කන් දෙති. පියාසර කරන පක්ෂීහු පියාපත් නොගසා ඒ හඬ අසති. දියෙහි පිහිනන මත්ස්‍යයෝ වරල් නොගසා ඒ හඬ අසති. කුරවීක පක්ෂියාගේ හඬට වඩා සිය ගුණයෙන්, දහස් ගුණයෙන් තථාගතයන් වහන්සේගේ නාදය වූ බ්‍රහ්ම ඝෝෂාව ඉතාමත් මිහිරි ය. භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කර විටදී ශ්‍රාවකයෝ ධර්මය අසන අයුරු ධම්මචේතිය සුත්‍රය කියවීමෙන් අපට මොනවට පැහැදිලි වේ.
කුරවීක පක්ෂියාගේ හඬ පිළිබඳව බ්‍රහ්මායු සූත්‍ර අටුවාවෙහි මෙවැනි කතාවක් සඳහන් වෙයි.
අසන්ධිමිත්රා නමින් හැඳින්වෙන ධර්මාශෝක අධිරජුගේ දේවිය දිනක් මහා සංඝයාගෙන් මෙසේ විමසුවා ය.
“ස්වාමීනී, තථාගතයන් වහන්සේගේ හඬ වැනි හඬක් වෙනත් කා හට හෝ තිබෙනවා ද?”
“එබඳු හඬක් කුරවීක නම් පක්ෂියාට ඇත.”
“ඔවුහු කොහි වාසය කරන්නේ ද?” දේවිය ඇසුවා ය. හිමාලයේ වසන බව මහා සංඝයා වදාළහ.
දේවිය කුරවීක පක්ෂියෙකු දකින්නට කැමති බව රජතුමාට කීවා ය. ධර්මාශෝක රජතුමා “මේ කූඩුවෙහි කුරවික පක්ෂියෙකු ඒවා” කියමින් රන් කූඩුවක් යැව්වේ ය. එම කූඩුව අහසින් ගොස් එක් කුරවීක පක්ෂියෙකු ඉදිරියේ නැවතුණි. පක්ෂියා කූඩුව ඇතුළට ගිය විට කූඩුව ආපසු පැමිණ රජතුමා ඉදිරියේ නැවතිණ. නමුත් එම පක්ෂියා නාද කළේ නැත. ඌ ලවා නාද කරවන්නට නො හැකි වූ තැන රජතුමා “මේ පක්ෂියා හඬන්නේ කෙසේ ද?” යැයි ඇසී ය.
“දේවයන් වහන්ස, නෑයන් දුටු කල මේ පක්ෂියා හඬ නගන්නාහ” යි ඒ ගැන දන්නා අය කීහ.
රජතුමා කූඩුව වටේට ම කණ්ණාඩි තැබ්බවී ය. පක්ෂියා උගේ ඡායාව කණ්ණාඩිවලින් දැක, ‘නෑයන් පැමිණියේ ය’ යි සිතා නාද කරන්නට පටන් ගත්හ. සියලුම නගරවැසියෝ ඒ හඬ අසා මත් වූහ. අසන්ධිමිත්රා දේවිය “මේ තිරිසන් සතාගේ ස්වරය මෙතරම් මිහිරි නම් සර්වඥතා ඤාණයෙන් බබළන තථාගතයන් වහන්සේගේ ස්වරය කෙතරම් මිහිරි වන්නට ඇති දැ” යි බුද්ධාලම්භන ප්‍රීතිය උපදවා ඒ ප්‍රීතියෙන් ම සෝවාන් ඵලයට පත් වූවාහ.
ඇසුර: බ්‍රහ්මායු සූත්‍ර අටුවාව
සටහන – මානෙල් පොඩිමැණිකේ
සාදු සාදු සාදු !!!