(01) සුප්පතිට්ඨිත පාදෝ – සම ව පිහිටි පාද
තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම කුසල් දහම් පිළිබඳ ව නොපෙරෙන ස්වභාවයෙන් යුතු ව, දැඩි ව සමාදන් ව සිටියේ ය. කාය සුචරිතයෙහි, වාක් සුචරිතයෙහි, මනෝ සුචරිතයෙහි යෙදුණේ ය. දන් බෙදීමෙහි, සිල් රැකීමෙහි, උපෝසථ සිල් රැකීමෙහි යෙදුණේ ය. මවට උවටැන් කිරීමෙහි, පියාට උවටැන් කිරීමෙහි, ශ්‍රමණයන්ට උවටැන් කිරීමෙහි, බ්‍රාහ්මණයන්ට උවටැන් කිරීමෙහි යෙදුණේ ය. කුලදෙටුවන්ට උවටැන් කිරීමෙහි යෙදුණේ ය. අන්‍ය වූ අධිකුසල ධර්මයන්හි ද යෙදුණේ ය.
හේ ඒ කර්මයන් නැවත නැවත ඉතා බලවත් ව කළ බැවින්, මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්නේ වෙයි. එනම්, මැනැවින් පිහිටි පා ඇත්තේ වෙයි. පාදයන් බිම සම ව තබන්නේ වෙයි. සම ව උඩට ඔසොවන්නේ වෙයි. සම වූ මුළු යටිපතුල ම පොළොවෙහි ස්පර්ශ වන්නේ වෙයි.
ඒ හේතුවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේව අභ්‍යන්තර වූ හෝ බාහිර වූ හෝ සතුරන් විසින් හෝ විරුද්ධකාරයන් විසින් හෝ රාගය විසින් හෝ ද්වේෂය විසින් හෝ මෝහය විසින් හෝ ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි කිසිවෙකු විසින් හෝ නොමැඬලිය හැක්කේ වෙයි.”
(02) හෙට්ඨාපාදතලේසු චක්කානි – පාදයන්හි යටිපතුල්හි චක්‍ර ලකුණු
තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම බොහෝ ජනයාට සැප ලබා දෙන්නේ විය. සොරුන්ගෙන් වන භය දුරු කොට, අමනුෂ්‍ය භය දුරුකොට, ධාර්මික ආරක්ෂාව සළසනුයේ විය. එමෙන්ම බොහෝ දෙනාගේ සුව පහසුව සළසනුයේ, පිරිවර හා එක් ව දන් දුන්නේ ය.
හේ ඒ කර්මයන් නැවත නැවත ඉතා බලවත් ව කළ බැවින් මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්නේ වෙයි. එනම්, ඔහුගේ යටිපතුල්හි චක්‍රයෝ පිහිටා ඇත්තාහ. දහසක් අර ඇති නිම්වළලු සහිත, නැබ සහිත, සියලු අයුරින් පිරිපුන් ව මැනැවින් බෙදී ඇති චක්‍රයෝ ය.
ඒ හේතුවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා පිරිවර ලබන්නේ වෙයි. භික්ෂූහු ය, භික්ෂුණීහු ය, උපාසකයෝ ය, උපාසිකාවෝ ය, දෙවියෝ ය, මිනිස්සු ය, අසුරයෝ ය, නාගයෝ ය, ගාන්ධර්වයෝ ය යනාදී වශයෙන් බොහෝ පිරිවර ලබන්නේ ය.”
(03 – 04 – 05) ආයතපණ්හී ච දීඝංගුලී ච බ්‍රහ්මුජ්ජුගත්තෝ ච – දික් විලුඹ, දික් ඇඟිලි, බ්රහ්මයෙකුට බඳු ඍජු සිරුර
තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම සත්ව ඝාතනය අත්හැර සතුන් මැරීමෙන් වැළකී සිටියේ විය. දඬු මුගුරු අත්හැරියේ විය. අවි ආයුධ අත්හැරියේ විය. සතුන් මැරීමෙහි ලැජ්ජා ඇත්තේ විය. සියලු ප්රාණභූතයින් කෙරෙහි දයානුකම්පා ඇත්තේ විය.
හේ ඒ කර්මය නැවත නැවත ඉතා බලවත් ව කල බැවින් මේ මහා පුරුෂ ලක්ෂණ තුන ලබන්නේ වෙයි. එනම්, දික් වූ විලුඹ ත්, දික් වූ ඇඟිලි ත්, බ්රහ්මරාජයාට බඳු ඍජු සිරුර ත් ය.
ඒ හේතුවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහෝ කල් සිටින දීර්ඝායුෂ ලබන්නේ ය. දීර්ඝ ආයුෂයෙන් පාලනය කෙරෙයි. ඒ අතරතුර ජීවිතය සතුරු වූ, විරුද්ධකාර වූ, කිසි ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි කිසිවෙකු විසින් හෝ ඒ බුදුරජුන් ඝාතනය නොකළ හැක්කේ වෙයි.”
(06) සත්තුස්සදෝ – සත් තැනක පිරුණු මස් ඇති බව
තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම දන් දෙන්නෙක් විය. ප්‍රණීත වූ, රසවත් වූ, කෑ යුතු දෙය ත්, අනුභව කළ යුතු දෙය ත්, රස වින්ද යුතු දෙය ත්, ලෙව කා රස විඳිය යුතු දෙය ත්, රසවත් ව පානය කරන දෙය ත් දෙන්නේ විය.
හේ ඒ කර්මය නැවත නැවත ඉතා බලවත් ව කළ බැවින් මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්නේ වෙයි. එනම්, සත් තැනක උස් වූයේ ය. සත් තැනක පිරුණු මස් ඇත්තේ ය. දෙඅතෙහි, පිටි අත්ලෙහි පිරුණු මස් ඇත්තේ ය. දෙපයෙහි පිටි පතුලෙහි පිරුණු මස් ඇත්තේ ය. දෙඋරහිසෙහි පිරුණු මස් ඇත්තේ ය. පිටිකරෙහි පිරුණු මස් ඇත්තේ ය.
ඒ හේතුවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රණීත වූ, රසවත් වූ, කෑ යුතු දෙය ත්, අනුභව කළ යුතු දෙය ත්, රස වින්ද යුතු දෙය ත්, ලෙව කා රස විඳිය යුතු දෙය ත්, රසවත් ව පානය කරන දෙය ත් ලබන්නේ වෙයි.”
(07 – 08) මුදුතලුණ හත්ථපාදෝ ච ජාලහත්ථපාදෝ ච – මෘදු යොවුන් අත් පා, ඉතා නම්‍යශීලී අත් පා
තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම සතර සංග්‍රහ වස්තුවෙන් ජනයාට සංග්‍රහ කළේ ය. එනම්; දානයෙන් ය, ප්‍රිය වචනයෙන් ය, අර්ථ චර්යාවෙන් ය, සමානාත්මතාවයෙන් ය.
හේ ඒ කර්මයන් නැවත නැවත ඉතා බලවත් ව කළ බැවින් මේ මහා පුරුෂ ලක්ෂණ දෙක ලබන්නේ වෙයි. එනම්, මෘදු යොවුන් අත් පා හා ඉතා නම්‍යශීලී අත් පා ය.
ඒ හේතුවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මැනැවින් සංග්‍රහ කරන ලද පිරිවර ජනයා ලබන්නේ ය. ඒ බුදුරජුන් විසින් මැනැවින් සංග්‍රහ කරන ලද භික්ෂූහු ය, භික්ෂුණීහු ය, උපාසකයෝ ය, උපාසිකාවෝ ය, දෙවියෝ ය, මිනිස්සු ය, අසුරයෝ ය, නාගයෝ ය, ගාන්ධර්වයෝ ය යනාදී වශයෙන් බොහෝ පිරිවර ඇත්තාහු ය.”
(09 – 10) උස්සංඛපාදෝ ච උද්ධග්ගලෝමෝ ච – ගොප් ඇටය උස් ව ගිය පාද ඇති බව, උඩු අතට කරකැවී ගිය ලොම් ඇති බව
තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම බොහෝ ජනයා හට දෙලොව යහපතට හේතු වන, කුසල් දහම් වැඩීමට උපකාරී වන වචන කියන ලද්දේ ය. බොහෝ ජනයාට දෙලොව යහපත සැළසුවේ ය. ප්‍රාණීන්ට හිතසුව සැළසුවේ ය. ධර්මයාගය කරන්නෙක් වූයේ ය.
හේ ඒ කර්මයන් නැවත නැවත ඉතා බලවත් ව කළ බැවින් මේ මහා පුරුෂ ලක්ෂණ දෙක ලබන්නේ වෙයි. එනම්, ගොප් ඇටය උස් ව ගිය පාද ඇති බව ත්, උඩු අතට කරකැවී ගිය ලෝම ඇති බව ත් ය.
ඒ හේතුවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන් හට අග්‍ර වූයේ ත් වෙයි. ශ්‍රේෂ්ඨ වූයේ ත් වෙයි. ප්රමුඛ වූයේ ත් වෙයි. උතුම් වූයේ ත් වෙයි. වඩා ත් උතුම් වූයේ ත් වෙයි.”
(11) ඒණිජංඝෝ – ඕලු මුවෙකුගේ බඳු කෙණ්ඩා
තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම සකස් කොට උගන්වන්නේ වෙයි. කිසියම් ශිල්පයක් වේවා, විද්‍යාවක් වේවා, ගුණධර්මයක් වේවා, කටයුත්තක් වේවා, ඉගැන්වීමේ දී ‘කිම? මාගේ මේ ක්‍රමයෙන් මොවුහු වහා දැනගන්නාහු ද? කිම? මාගේ මේ ක්‍රමයෙන් මොවුහු වහා පුහුණු වන්නාහු ද? කිම? මාගේ මේ ක්‍රමයෙන් බොහෝ කල් වෙහෙස නොගන්නාහු ද?’ යි සකස් කොට උගන්වන්නේ වෙයි.
හේ ඒ කර්මය නැවත නැවත ඉතා බලවත් ව කළ බැවින් මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්නේ වෙයි. එනම්, ඕලු මුවෙකුගේ බඳු කෙණ්ඩා ඇත්තේ වෙයි.
ඒ හේතුවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රමණයන්ට යෝග්‍ය වූ, ශ්‍රමණයන්ගේ අංගයන් වූ, ශ්‍රමණ පරිභෝග වූ, ශ්‍රමණයන්ට නිසි වූ, යම් යම් දේ ඇද්ද, ඒවා වහා ලබන්නේ වෙයි.”
(12) සුඛුමච්ඡවි – සිනිඳු සිවිය
තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු කරා යන හේ කරුණු දැනගැනීම පිණිස විමසන්නේ වෙයි. එනම් ‘ස්වාමීනී, කුසලය යනු කුමක් ද? අකුසලය යනු කුමක් ද? වැරදි දෙය යනු කුමක් ද? නිවැරදි දෙය යනු කුමක් ද? සේවනය කළ යුතු දේ යනු කුමක් ද? සේවනය නොකළ යුතු දේ යනු කුමක් ද? මා විසින් කුමක් කරන ලද්දේ බොහෝ කල් අහිත පිණිස දුක් පිණිස පවතින්නේ ද? මා විසින් කුමක් කරන ලද්දේ බොහෝ කල් හිත පිණිස සැප පිණිස පවතින්නේ ද?’ යනාදී වශයෙනි.
හේ ඒ කර්මය නැවත නැවත ඉතා බලවත් ව කළ බැවින් මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්නේ වෙයි. එනම්, සිනිඳු වූ සිවිය ඇත්තේ වෙයි. සිනිඳු සිවිය ඇති බැවින් කයෙහි දුහුවිලි දැලි ආදිය නොරඳින්නේ වෙයි.
ඒ හේතුවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාව ඇත්තේ වෙයි. පැතිර පවත්නා ප්‍රඥාව ඇත්තේ වෙයි. සතුට බහුල ප්‍රඥාව ඇත්තේ වෙයි. වේගවත් ප්‍රඥාව ඇත්තේ වෙයි. තියුණු ප්‍රඥාව ඇත්තේ වෙයි. විනිවිද යන ප්‍රඥාව ඇත්තේ වෙයි. ඒ බුදුරජුන්ගේ ප්‍රඥාවට සමාන වූ හෝ ශ්‍රේෂ්ඨ වූ හෝ කිසිවෙක් සියලු සත්වයන් අතර නැත්තේ ය.”
(13) සුවණ්ණවණ්ණෝ හෝති, කඤ්චනසන්නිභත්තචෝ – ස්වර්ණ වර්ණයෙන් යුතු, රන්පැහැ ඇති සම
තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම ක්‍රෝධ රහිත ව සිටියේ ය. සිත් තැවුල් බහුල නැති ව සිටියේ ය. ඔහුට බොහෝ කොට කියන ලද්දේ නමුත් ඒ කෙරෙහි නොගැටෙන්නේ විය. නොකිපුණේ ය. ද්වේෂ නොකළේ ය. සිතෙහි ක්‍රෝධය නොපිහිටුවේ ය.
පය ත්, ද්වේෂය ත්, නොසතුට ත් පහළ නොකළේ ය. එමෙන් ම සිනිඳු වූ, මෘදු වූ ඇතිරිලි – පොරෝනා, සිනිඳු වූ පට සළු, සිනිඳු වූ කපු පිළී, සිනිඳු වූ පට වස්ත්‍ර, සිනිඳු වූ කම්බිලි ආදිය දන් දෙන්නේ විය.
හේ ඒ කර්මයන් නැවත නැවත ඉතා බලවත් ව කළ බැවින් මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්නේ වෙයි. එනම්, ස්වර්ණ වර්ණ වූයේ රන් බඳු පැහැ ඇති සම ඇත්තේ වෙයි.
ඒ හේතුවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියුම් වූ, මෘදු වූ ඇතිරිලි, පොරෝනා, සියුම් පට රෙදි, සිනිඳු කපු පිළී, සිනිඳු පට වස්ත්‍ර, සිනිඳු කම්බිලි ආදිය ලබන්නේ වෙයි.”
(14) කෝසෝහිතවත්ථගුය්හෝ – කොපුවක බහාලූ දෙයක් බඳු පුරුෂ නිමිත්ත
තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම බොහෝ කල් දකින්නට නැති වූ, ඉතා බොහෝ කල් වෙනත් ප්‍රදේශයන්හි කල් ගෙවූ ඥාති මිත්‍ර සුහද යහළුවන් යළි මුණගස්වන්නෙක් වූයේ ය. මව ත් පුතා හා යළි මුණගැස්සුවේ ය. පුතුත් මව හා යළි මුණගැස්සුවේ ය. පියා ත් පුතා හා යළි මුණගැස්සුවේ ය. පුතුත් පියා හා යළි මුණගැස්සුවේ ය. සොයුරා ත් සොයුරා හා යළි මුණගැස්සුවේ ය. සොයුරා ත් සොයුරිය හා යළි මුණගැස්සුවේ ය. සොයුරිය ඒ සොයුරා හා යළි මුණගැස්සුවේ ය. සොයුරිය ත් සොයුරිය හා යළි මුණගැස්සුවේ ය. මෙසේ ඔවුන් සමඟි කොට, සමඟියෙහි සතුටු වන්නේ විය.
හේ ඒ කර්මයන් නැවත නැවත ඉතා බලවත් ව කළ බැවින් මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්නේ වෙයි. එනම්, කොපුවක බහාලු දෙයක් බඳු ව පුරුෂ නිමිත්ත ඇත්තේ වෙයි.
ඒ හේතුවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහෝ ශ්‍රාවක පුත්‍රයන් ලබන්නේ වෙයි. පරසෙන් මඬින්නා වූ, ශූර වීර පරාක්‍රමයෙන් යුතු වූ, නොයෙක් දහස් ගණන් ශ්‍රාවක පුත්‍රයන් ලබන්නේ වෙයි.”
(15 – 16) නිග්‍රෝධ පරිමණ්ඩලෝ ච හෝති. ඨිතකෝ’ව අනෝනමන්තෝ උභෝහි පාණිතලේහි ජණ්ණුකානි පරිමසති, පරිමජ්ජති. – නුග රුකක් බඳු සම ප්‍රමාණ සිරුරක් ඇති බව. සිටගෙන සිටියදී ම නොනැමී දෙඅත්ලෙන් දණ මඬුළු ස්පර්ශ කළ හැකි බව
තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම මහජනයාට සංග්‍රහ කිරීමේ දී සම ලෙස දකින්නේ විය. සම වූවන් දන්නේ වෙයි. තෙමේ ම දන්නේ ය. පුරුෂයා ත් දන්නේ ය. විශේෂ පුරුෂයා ත් දන්නේ ය. ‘මොහු මෙකරුණට සුදුසු ය. මොහු මෙකරුණට සුදුසු ය’ වශයෙනි. ඒ ඒ කරුණ සඳහා අදාළ දක්ෂතා ඇති පුරුෂයන් හඳුනාගෙන කටයුතු කරන්නේ විය.
හේ ඒ කර්මය නැවත නැවත ඉතා බලවත් ව කළ බැවින් මේ මහා පුරුෂ ලක්ෂණ දෙක ලබන්නේ වෙයි. එනම්, නුගරුකකට බඳු සම ප්‍රමාණ සිරුරක් ඇත්තේ වෙයි. සිටගෙන සිටිය දී ම නොනැමී දණ මඬුළු දෙඅත්ලෙන් ස්පර්ශ කරන්නේ, පිරිමදින්නේ වෙයි.
ඒ හේතුවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආඪ්‍ය වූයේ වෙයි. මහා ධනය ඇත්තේ වෙයි. මහා භෝග සම්පත් ඇත්තේ වෙයි. ඒ බුදුරජුන්ගේ ධනය මේවා ය. එනම්; ශ්‍රද්ධා ධනය ය, සීල ධනය ය, හිරි ධනය ය, ඔත්තප්ප ධනය ය, සුත ධනය ය, ත්‍යාග ධනය ය, ප්‍රඥා ධනය ය යන මෙය යි.”
(17 – 18 – 19) සීහ පුබ්බද්ධකායෝ ච හෝති. චිතන්තරංසෝ ච, සමවත්තක්ඛන්ධෝ ච. – සිංහයෙකුගේ ඉදිරිපස සිරුර සේ ආනුභාව සම්පන්න කයක් ඇති බව, මසින් පිරුණු පිටිකර, සම ව වට වූ කඳ
තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම බොහෝ ජනයාගේ යහපත කැමති වූයේ ය. හිත කැමති වූයේ ය. පහසුව කැමති වූයේ ය. උවදුරු රහිත බව කැමති වූයේ ය. ‘මේ භවත්හු කෙසේ නම් ශ්‍රද්ධාවෙන් වැඩෙන්නාහු ද? සීලයෙන් වැඩෙන්නාහු ද?සුතයෙන් වැඩෙන්නාහු ද? ත්‍යාගයෙන් වැඩෙන්නාහු ද? ධර්මයෙන් වැඩෙන්නාහු ද? ප්‍රඥාවෙන් වැඩෙන්නාහු ද? ධන ධාන්‍යයෙන් වැඩෙන්නාහු ද? කෙත් වතු වලින් වැඩෙන්නාහු ද? දෙපා සිව්පා සතුන්ගෙන් වැඩෙන්නාහු ද? අඹුදරුවන්ගෙන් වැඩෙන්නාහු ද? දාස කම්කරු පුරුෂයන්ගෙන් වැඩෙන්නාහු ද? ඥාතීන්ගෙන් වැඩෙන්නාහු ද? මිතුරන්ගෙන් වැඩෙන්නාහු ද? බන්ධූන්ගෙන් වැඩෙන්නාහු ද?’ යි.
හේ ඒ කර්මයන් නැවත නැවත ඉතා බලවත් ව කළ බැවින් මේ මහා පුරුෂ ලක්ෂණ තුන ලබන්නේ වෙයි. එනම්, සිංහයාගේ ඉදිරිපස සිරුර බඳු ආනුභාව ඇති කය ඇත්තේ වෙයි. පිටිකර පිරීගිය මාංස ඇත්තේ වෙයි. සම ව වටවූ කඳ ඇත්තේ වෙයි.
ඒ හේතුවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නොපිරිහෙන ස්වභාව ඇත්තේ වෙයි. ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, සුතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් නොපිරිහෙයි. සියලු ලොව්තුරු ගුණ සම්පත්තියෙන් නොපිරිහෙයි.”
(20) රසග්ගසග්ගී හෝති – අග්‍ර රස ලබා දෙන රස නහර
තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම සත්වයන්ට පීඩා නොදෙන ස්වභාව ඇත්තෙක් වූයේ ය. අතින් වේවා, කැට කැබැල්ලෙන් වේවා, දඬු මුගුරින් වේවා, අවි ආයුධයෙන් වේවා, පීඩා නොදෙන ස්වභාවයෙන් යුතු වූයේ ය.
හේ ඒ කර්මය නැවත නැවත ඉතා බලවත් ව කළ බැවින් මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්නේ වෙයි. එනම්, අග්‍ර රස ලබා දෙන රස නහර ඇති බව යි. ඔහුගේ ගෙලෙහි උඩු අතට කෙලින් නැගී සිටි රස නහරයෝ හටගත්තාහ. එයින් සම සේ රස ලබාදෙන්නේ වෙයි.
ඒ හේතුවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අල්පාබාධ වූයේ, රෝග අඩු වූයේ, ඉතා සීත ත් නොවූ, ඉතා ඌෂ්ණ ත් නොවූ, මධ්‍යම වූ ප්‍රධන් වීර්යයට ඔරොත්තු දෙන ස්වභාව ඇති ව සම ව ආහාර පැසවන ග්‍රහණියකින් සමන්විත වූයේ වෙයි.”
(21 – 22) අභිනීලනෙත්තෝ ච හෝති, ගෝපඛුමෝ ච. – අභිනීල නෙත්, අළුත උපන් වසු පැටවෙකුගේ බඳු ඇස් මඬල
තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම කෝපයෙන් ඇස් ඔරොවා අනුන් දෙස නොබලන්නෙක් වූයේ ය. ක්‍රෝධ සිතින් හිස ඇල කොට ඇස් කොණින් නොබලන්නෙක් වූයේ ය. ක්‍රෝධ සිතින් අනුන් දෙස රහසින් නොබලන්නෙක් වූයේ ය. කෙලින් ඇස් පුරා බලන්නෙක් වූයේ ය. ඍජු සිතින් ප්‍රිය ඇසින් බලන්නෙක් වූයේ ය. බොහෝ ජනයා දෙස සතුටින් බලන්නෙක් වූයේ ය.
හේ ඒ කර්මය නැවත නැවත ඉතා බලවත් ව කළ බැවින් මේ මහා පුරුෂ ලක්ෂණ දෙක ලබන්නේ වෙයි. එනම්, අභිනීල නෙත් ඇති බව ත්, අළුත උපන් වසු පැටවෙකුගේ බඳු ඇස් මඬල ඇති බව ත් ය.
ඒ හේතුවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රිය දැකුම් ඇත්තේ වෙයි. බොහෝ ජනයාට ප්‍රියමනාප වූයේ වෙයි. භික්ෂූන්ට, භික්ෂුණීන්ට, උපාසකයින්ට, උපාසිකාවන්ට, දෙවියන්ට, මිනිසුන්ට, අසුරයින්ට, නාගයින්ට, ගාන්ධර්වයින්ට ප්‍රිය වූයේ මනාප වූයේ වෙයි.”
(23) උණ්හීසසීසෝ – පිරිපුන් නළලින් යුතු හිස
තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම බොහෝ ජනයාට පින්කම් කිරීමෙහි ප්‍රධාන වූයේ ය. කාය සුචරිතයෙහිදී, වාක් සුචරිතයෙහි දී, මනෝ සුචරිතයෙහි දී, දන් පැන් බෙදීමෙහි දී, සීල සමාදානයෙහි දී, උපෝසථයෙහි දී, මව්පිය උපස්ථානයෙහි දී, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සැලකීමෙහි දී, කුලදෙටුවන් පිදීමෙහි දී වෙනත් බොහෝ අධිකුසල ධර්මයන් හි දී බොහෝ ජනයාට ප්රමුඛ වූයේ විය.
හේ ඒ කර්මය නැවත නැවත ඉතා බලවත් ව කළ බැවින් මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්නේ වෙයි. එනම්, පිරිපුන් නළලින් යුතු හිස ඇති බව යි.
ඒ හේතුවෙන් මහජන තෙමේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචනය අනුව යන්නේ වෙයි. භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකයෝ, උපාසිකාවෝ, දෙවිවරු, මිනිස්සු, අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ ආදීහු ඒ බුදුරජුන්ගේ වචනය අනුව යන්නෝ ය.”
(24 – 25) ඒකේකලෝමෝ ච හෝති, උණ්ණා ච භමුකන්තරේ ජාතා හෝති ඕදාතා මුදුතූලසන්නිභා – එක් එක් ලෝමය බැගින් ඇති බව. දෙබැම අතරෙහි සුදු පැහැති මෘදු පුළුන් රොදක් බඳු ඌර්ණ රෝමය.
තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම බොරු කීම අත්හැර, බොරු කීමෙන් වැළකී සිටියේ විය. සත්‍යවාදී වූයේ, සත්‍යයෙන් සත්‍යය ගලපනුයේ, ස්ථිර වචන ඇත්තේ, ඇදහිය යුතු බස් ඇත්තේ, ලොව නොරවටන බස් ඇත්තේ විය.
හේ ඒ කර්මය නැවත නැවත ඉතා බලවත් ව කළ බැවින් මේ මිනිස් බවට පැමිණියේ ම මේ මහා පුරුෂ ලක්ෂණ දෙක ලබන්නේ වෙයි. එනම්, එක් එක් ලෝමය බැගින් ඇත්තේ ය. දෙබැම අතරෙහි සුදු පැහැති මෘදු පුළුන් රොදක් බඳු ඌර්ණ රෝමයක් හටගත්තේ ය.
ඒ හේතුවෙන් මහජන තෙමේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අදහසට අනුව පවතින්නේ වෙයි. භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකයෝ, උපාසිකාවෝ, දෙවිවරු, මිනිස්සු, අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ ආදීහු ඒ බුදුරජුන්ගේ අදහසට අනුව පවතින්නාහ.”
(26 – 27) චත්තාළීස දන්තෝ ච හෝති, අවිරළදන්තෝ ච – සතලිසක් දත් ඇති බව, දත් අතර විවර නැති බව
තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම කේලාම් කීම අත්හැර, කේලාම් කීමෙන් වැළකුණේ විය. මෙතැනින් අසා මොවුන් බිඳවීම පිණිස එතැන නොකියන්නේ විය. එතැනින් අසා ඔවුන් බිඳවීම පිණිස මෙතැන නොකියන්නේ විය. මෙසේ බිඳී සිටින්නවුන් සමඟි කරන්නේ විය. සමඟි වූවන්ගේ වඩා ත් සමඟියට ම අනුබල දෙන්නේ විය. සමඟියෙහි සිටියේ, සමඟියෙහි ඇලුණේ, සමඟියෙහි සතුටු වූයේ, සමඟිය ඇතිවන වචන කියන්නේ විය.
හේ ඒ කර්මය නැවත නැවත ඉතා බලවත් ව කළ බැවින් මේ මහා පුරුෂ ලක්ෂණ දෙක ලබන්නේ වෙයි. එනම්, සතලිසක් වූ දත් ඇත්තේ ය. අතර විවර සහිත වූ දත් නැත්තේ ය.
ඒ හේතුවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නොබිඳිය හැකි පිරිස ලබන්නේ වෙයි. භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකයෝ, උපාසිකාවෝ, දෙවිවරු, මිනිස්සු, අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ ආදී බුදුරජුන්ගේ පිරිස නොබිඳිය හැක්කෝ වෙති.”
(28 -29) පහූත ජිව්හෝ ච හෝති, බ්‍රහ්මස්සරෝ ච කරවීකභාණී – දික් පළල් වූ දිව, කුරවීකයන්ගේ හඬ බඳු බ්‍රහ්මස්වරය
තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම දරුණු වචනයෙන් බැණ වැදීම අත්හැර, දරුණු වචන පැවසීමෙන් වැළකී සිටියේ ය. යම් ඒ වචනයක් දොස් රහිත ද, කනට සුවයි ද, ආදරය ඇති කරයි ද, හෘදයාංගම ද, වැදගත් ද, බොහෝ ජනයාට ප්‍රියයි ද, බොහෝ ජනයාට මනාපයි ද, එබඳු වචන කිව්වේ ය.
හේ ඒ කර්මය නැවත නැවත ඉතා බලවත් ව කළ බැවින් මේ මහා පුරුෂ ලක්ෂණ දෙක ලබන්නේ වෙයි. එනම්, දික් පළල් වූ දිව ඇත්තේ වෙයි. කුරවීකයන්ගේ මධුර නාදය බඳු බ්‍රහ්මස්වරය ඇත්තේ වෙයි.
ඒ හේතුවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිගත හැකි වචන ඇත්තේ වෙයි. භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකයෝ, උපාසිකාවෝ, දෙවිවරු, මිනිස්සු, අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ ආදීහු බුදුරජුන්ගේ වචනය පිළිගනිති.”
(30) සීහහනු හෝති – සිංහයෙකුගේ බඳු හනු
තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම හිස් වචනය බැහැර කොට හිස් වචනයෙන් වැළකුණෙක් වූයේ ය. කල් දැන වචන කිව්වේ ය. සිදු වූ දෙය ම කිව්වේ ය. යහපත ම කිව්වේ ය. ධර්මය කිව්වේ ය. විනය කිව්වේ ය. සිතෙහි රඳවා ගන්නට නිසි වචනයක් ම කිව්වේ ය. සුදුසු කල්හී උපදේශ සහිත ව, සීමාවක් ඇති ව අර්ථයෙන් යුතු වචන කිව්වේ ය.
හේ ඒ කර්මය නැවත නැවත ඉතා බලවත් ව කළ බැවින් මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්නේ වෙයි. එනම්, සිංහයෙකුගේ බඳු හනු ඇති බව යි.
ඒ හේතුවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අභ්‍යන්තර හෝ බාහිර හෝ සතුරන් විසින් හෝ පසමිතුරන් විසින් හෝ රාගයෙන් හෝ ද්වේෂයෙන් හෝ මෝහයෙන් හෝ ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි වෙන කවරෙකු විසින් හෝ නෙරපිය නොහැක්කේ වෙයි.”
(31 – 32) සම දන්තෝ ච හෝති, සුසුක්කදාඨෝ ච – සම වූ දත් ඇති බව, ඉතා සුදු දත් ඇති බව
තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම මිථ්‍යා ආජීවය දුරු කොට සම්මා ආජීවයෙන් ජීවිතය ගත කළේ ය. තරාදියෙන් කරන වංචා, තැටියෙන් කරන වංචා, මිම්මෙන් කරන වංචා, අල්ලස් ගෙන කරන වංචා, අනුන් රැවටීම, නොවටිනා දේ වටිනා හැටියට පෙන්වා රැවටීම, අත් පා සිඳීම, වධදීම, බන්ධන, පැහැර ගැනීම්, ගම් පැහැරගැනීම්, බලහත්කාරයෙන් ගැනීම් ආදියෙන් ජීවිතය ගෙවීමක් ඇද්ද, එයින් සම්පූර්ණයෙන් ම වැළකී ජීවිතය ගත කළේ ය.
හේ ඒ කර්මය නැවත නැවත ඉතා බලවත් ව කළ බැවින් මේ මහා පුරුෂ ලක්ෂණ දෙක ලබන්නේ වෙයි. එනම්, සම වූ දත් ඇති බව ත්, ඉතාමත් සුදු දත් ඇති බව ත් ය.
ඒ හේතුවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිසිදු පිරිවර ඇත්තේ වෙයි. ඒ බුදුරජුන්ගේ ශ්‍රාවක වූ භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකයෝ, උපාසිකාවෝ, දෙවිවරු, මිනිස්සු, අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ ආදී පිරිවර පිරිසිදු වෙති.”
(දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රය ඇසුරෙනි)
Budurajanan wahanse pilibanda boho nodath bohomayak ugathemi