බුදුරජාණන් වහන්සේ යන නම පවා ලොව අසන්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. කලාතුරකින් ලොව පහළ වන, කිසිම ගුරුවරයෙකුගේ උපදේශයකින් තොරව තමන් වහන්සේ විසින් ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට ලොව ජයගත් මුනිරජාණන් වහන්සේනමක් ගැන හිත පහදවා ගැනීම පවා කොයිතරම් භාග්‍යයක් ද!
“මහණෙනි, යමෙක් වනාහී මුළු හදවතින් ම තෙරුවන් සරණ ගියේ නම් තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය මුළු හදවතින් ම අදහා ගනී නම්, ඔහුගේ ඒ අවංක ශ්‍රද්ධාව ඔහු සතු මහා ධන සම්පතක් යැයි මම කියමි.”
(විත්ථත ධන සූත්‍රය – සං. නි.)
පින්වත, ඔබ සරණ ගිය ඒ බුදුරජාණන් වහන්සේ ගැන ඔබේ සිත තුළ ශ්‍රද්ධාවක් නැත්නම්, අවබෝධයක් නැත්නම්, ඔබට කිසි දිනක භාවනාවක් තුළින් ආර්ය වූ ආධ්‍යාත්මික දියුණුවක් ලබා ගත නො හැකි ම යි. ඔබ හට චතුරාර්ය සත්‍ය අවබෝධ කොට, සියලු දුකින් නිදහස ලබන පරම ශාන්තිය සාක්ෂාත් කර ගත නො හැකි ම යි. එම නිසා ඔබ පළමුව මුළු හදවතින් ම සරණ ගිය ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ පැවති උතුම් සම්බුදු ගුණ ගැන ඉගෙන ගන්න.
දානාදි පාරමී බලෙන් දිනුවෝ මුනින්දා…
සත්වරක් මේ මහා පෘථිවිය කම්පා කරවමින්, දස පෙරුමන් මුදුන්පත් කොට තමන් සසරේ උපදින අවසාන ආත්මභාවයට පැමිණි අප සිදුහත් බෝසතාණන් වහන්සේ මහා බෝ සෙවණේ වජිරාසනය මත වැඩ හිඳ, උන්වහන්සේට බාධා කළ – උන්වහන්සේ නොමඟ යවන්නට මහන්සි ගත් ඒ සෑම බලවේගයක් ම පැරදුවා. පරදවා උන්වහන්සේ ගුරු උපදේශ නැතිව ම උතුම් සම්බුද්ධත්වයට පත් වුණා. ඒ අසිරිමත් සිදුවීමත් එක්ක තමයි දෙව් මිනිසුන්ට බාධා මැඩගෙන උන්වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ යන්නට පුළුවන් වුණේ.
බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ මෙලොව පවතින පරම සත්‍යය හතරක් කිසිදු ගුරු උපදේශයක් නැතිව ම අවබෝධ කර ගැනීමෙන්. උන්වහන්සේ අවබෝධ කළේ දුක නම් වූ ආර්ය සත්‍යය, දුක හටගැනීම නම් වූ ආර්ය සත්‍යය, දුක නැති වීම නම් වූ ආර්ය සත්‍යය, දුක නැති කිරීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය යන මෙම උතුම් සත්‍ය හතර යි.
මෙම සත්‍ය හතර උන්වහන්සේ පරිපූර්ණ ව අවබෝධ කළේ තුන් ලොව කිසිම කෙනෙකුගේ අල්පමාත්‍ර වූ හෝ පිළිසරණකින් නො වෙයි. තමන් වහන්සේ විසින් උපදවාගත් විශිෂ්ට වූ ඤාණයෙන් ම යි. උන්වහන්සේ ‘සම්මා සම්බුද්ධ’ යන බුදු ගුණයෙන් සමන්විත වූයේ ඒ නිසා ම යි. සම්මා සම්බුද්ධත්වයට පත් සර්වඥයන් වහන්සේ සියල්ල දන්නා සේක. සියල්ල දක්නා සේක. අවබෝධ කළ යුතු සියල්ල අවබෝධ කළ සේක. ප්රහාණය කළ යුතු සියල්ල ප්රහාණය කළ සේක. සාක්ෂාත් කළ යුතු වූ සියලු දේ සාක්ෂාත් කළ සේක. ප්‍රගුණ කළ යුතු සියල්ල ම ප්‍රගුණ කළ සේක. අප ශාස්තෘ වූ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් ම ‘සම්මා සම්බුද්ධ’ වන සේක.
ආලෝකෝ උදපාදි…
ලෝකයේ සිදුවූ අද්භූත ආශ්චර්යවත් ම සහ සුදුර්ලභ ම සංසිද්ධිය වූ සම්මා සම්බුද්ධත්වය ලැබීම හෙවත් සම්මා සම්බුදුවරයෙකු පහළ වීම බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ මේ අයුරිනුයි.
“ඉදං දුක්ඛං අරියසච්චන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි” – “මහණෙනි, මෙය වනාහී දුක නම් වූ ආර්ය සත්‍යය යැයි කියා මා හට පෙර නො ඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.”
“ඉදං දුක්ඛසමුදයං අරියසච්චන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි” – “මහණෙනි, මෙය වනාහී දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය යැයි කියා මා හට පෙර නො ඇසූ විරූ ධර්මයන්හී දහම් ඇස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.”
“ඉදං දුක්ඛනිරෝධං අරියසච්චන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි” – “මහණෙනි, මෙය වනාහී දුක නැති වීම නම් වූ ආර්ය සත්‍ය යැයි කියා මා හට පෙර නො ඇසූ විරූ ධර්මයන්හී දහම් ඇස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.”
“ඉදං දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි” – “මහණෙනි, මෙය වනාහී දුක නැති වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය යැයි කියා මා හට පෙර නො ඇසූ විරූ ධර්මයන්හී දහම් ඇස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.”
බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍යය නම් වූ ලොව උතුම් ම ආර්ය සත්‍යයන් හතර පරිවර්ත තුනකින් යුතු ව, ආකාර දොළොසකින් යුතු ව පරිපූර්ණ වශයෙන් ම ගුරු උපදේශ නැතිව ම අවබෝධ කොට වදාළ නිසා ‘සම්මා සම්බුද්ධ’ වන සේක. ඒ පරිවර්ත තුන තමයි සත්‍ය ඤාණ (එක් එක් ආර්ය සත්‍යය පිළිබඳ ඇති අවබෝධය), කෘත්‍ය ඤාණ (ඒ ඒ ආර්ය සත්‍යය පිළිබඳ කළ යුතු දෙය ගැන අවබෝධය), කෘත ඤාණ (ඒ ඒ ආර්ය සත්‍යය පිළිබඳ කළයුතු දේ කරන ලදියි කියා අවබෝධ වීම). මේ ආකාරයට චතුරාර්ය සත්‍ය ධර්මයන් පරිපූර්ණ වශයෙන් ම තමන් වහන්සේ විසින් ම අවබෝධ කොට වදාළ නිසා අපගේ ශාස්තෘන් වහන්සේ ‘සම්මා සම්බුද්ධ’ වන සේක.
“මහණෙනි, යම්තාක් කල් මා හට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ ව මේ ආකාරයට පරිවර්ත තුනකින් යුතු ව, ආකාර දොළොසකින් යුතු ව සැබෑ තත්ත්වය නම් වූ ඤාණ දර්ශනය සුවිශුද්ධ ලෙස ම අවබෝධ වූයේ වේ ද, එකල්හී මහණෙනි, දෙවියන් සහිත වූ ලෝකයේ මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාව තුළ මම වනාහී අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළෙමියි කියා ප්‍රතිඥා දුන්නෙමි.”
(ධම්මචක්කප්පවත්තන සූත්‍රය – සං. නි. 05)
බුදුරජාණන් වහන්සේ තවත් වරෙකදී ඒ බව වදාළේ මේ අයුරිනුයි.
“මහණෙනි, මම යම් තාක් කල් මේ ලෝකයෙහි ආස්වාදය ආස්වාදය වශයෙනුත්, ආදීනවය ආදීනවය වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත් අවබෝධ කළෙම් ද, ඒ වෙලාවේ මම අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළා යැයි ප්‍රතිඥා දුන්නෙමි.”
ගුරු උපදෙස් නැති – අසම ගුණැති ඍෂිවරයාණෝ…..
බුදුරජාණන් වහන්සේ උතුම් දම්සක කරකැවීමට වැඩිය මොහොතේ දී උන්වහන්සේට හමු වූ උපක නම් ආජීවකයාට කළ ප්‍රකාශයෙන්, තමන් වහන්සේ ලද අසිරිමත් සම්බුද්ධත්වය ලොවට හෙළිදරව් වූයේ මෙසේ සිංහනාදයක් ලෙසිනුයි.
“මම සියලු අකුසල් මැඩලූ කෙනෙක්. මම සියලු දෙය ම අවබෝධ කරපු කෙනෙක්. මම හැම දේකට ම නොඇලුන කෙනෙක්. සියලු කෙලෙස් අත්හැරපු කෙනෙක්. තණ්හාව ක්ෂය කරල විමුක්තියට පත් වුණ කෙනෙක්. මා තුළ ම ඇති වූ අවබෝධ ඤාණයෙන් ලොව සියල්ල අවබෝධ කළ මම කවර ගුරුවරයෙක් නම් සොයන්න ද?
මට ගුරුවරයෙක් නෑ. මට සමාන කෙනෙකුත් නෑ. දෙවියන් සහිත ලෝකයේ මට සමාන කෙනෙක් සොයාගන්නත් නෑ.
මම තමයි ලෝකයේ රහතන් වහන්සේ. මම තමයි ලෝකයේ අනුත්තර වූ ශාස්තෘන් වහන්සේ. එක ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මම සිහිල් බවට පැමිණියා. ඒ නිසා ම මම නිවුනේ වෙමි.”
මෙසේ අප භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වන සේක.
(අරියපරියේසන සූත්‍රය – ම. නි. 01)
අප සෑම දෙනාට ම තුන්ලොව හිත සුව සැපය පිණිස පහළ වී වදාළ ඒ ආශ්චර්යවත් මනුෂ්‍ය මාණික්‍ය රත්නය වන ගෞතම බුදුරජාණන් වහන්සේගේ සරණේ ම රැඳී සිටින්නට වාසනාව භාග්‍යය උදා වේවා!
මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි
Recent Comments