සුපින්වත් ආර්ය ශ්‍රාවක වූ සුමන සමන් දෙව් රජාණෙනි,
අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් ලංකාද්වීපයේ පිරී සිටි යකුන් ගිරි දිවයිනට නංවා මේ පින්බිම පිරිසිදු කළ දා, කුරවීක බ්‍රහ්මස්වරයෙන් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව ගලා හැලෙද්දී, ඔබ එහි ගිලී අමා පැන් සනහාගෙන, සතර අපායට ඇද දමන කෙලෙස් සෝදා හළ බව අප ද දන්නා සත්‍යයකි- සිය හදෙහි භාග්‍යවතුන් වහන්සේ කෙරේ අප්‍රමාණ බැති පෙම් උපන් සිතින් යුතුව, ‘භාග්‍යවතුන් වහන්සේ නොදැක කෙසේ වසම් දෝ’ යි සිතා භාග්‍යවතුන් වහන්සේගේ අභිනීල කේශ ධාතූන් වහන්සේලා ඉල්වාගෙන, ඉඳුනිල් මැණිකෙන් මියුගුණ සෑ රදුන් ඉදි කළේ ඔබගේ දිව්‍ය ඉර්ධියෙන් ම නො වේ ද? සරභූ මහරහතන් වහන්සේ විසින් දැල්වෙන සම්බුදු චිතකයෙන් ගෙන ආ ග්‍රීවා ධාතූන් වහන්සේ වඩා හිඳුවා යළිත් සෙල් සෑයක් කරවූයේ අරහත් ඉර්ධියෙන් මැයි- ඔබගේ සෑ රදුන් ඇහැළ මල් කළඹකින් වසන්නා සේ රහත් මුනිවරු පැමිණ ධාතු නිධන් කරද්දී ඔබ කෙතරම් සතුටු වූවා දැයි මට සිතාගත නො හැකි තරම් ය- පින්බර උද්ධචූලාභය රජුන් ද යළි ගඩොලින් බැන්ද මියුගුණ සෑ සමිඳුන්, දෙවියන්, රහත් සඟුන්, උවසුවන් යන අප සියල්ලන්ගේ ම බැති පෙම් දක්වා මුනිරජාණන් වහන්සේ ව පුදන උත්තම පූජ්‍ය වස්තුවක් යැ-
චූලෝදර මහෝදර නා රජවරුන්ගේ යුද්ධය සන්සිඳුවාලූ දා කල්‍යාණියට අධිගෘහිත මිණිකැට නෙත් නා රජුන් සිය විමනට තථාගතයන් වහන්සේට වඩින්නට ආරාධනා කළ දා ඔබ සතුටින් ඉපිල ගිය බව තෙරුවන් සරණ ගිය සව්වන්ට නොරහසක් මැයි- ඉන් වසර තුනකට පසු, වෙසක් පුන් සඳ මෝදුවන්නා සේ ම ඔබගේ පැතුම ද මෝදු වී මණිඅක් නා රජුන්ගේ නාග භවනට ආරාධිත ශාක්‍ය සිහරජාණන් වහන්සේ ජේතවනයේ සිට පන්සියයක් මහ රහතුන් පිරිවරා දානය පිණිස වැඩි සේක- කල්‍යාණි මහ සෑරදුන් පිහිටි භූමියෙහි මැණික් පළඟෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ මධුර මනෝහර සදහම් දෙසද්දී—- දෙව් රජුනි, ඔබ ඒ අමා ස්වරය ඇසූයේ කොයි සිට ද?
අපගේ දහම් සෙන්පති, සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා ඍද්ධිමත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා වරක් ප්රමුඛ මුනිවරුන් පිරිවරා, තරු පිරිවරන සෞම්‍ය සඳ මඬලක් සෙයින් දේවාතිදේව වූ මුනිරජාණන් වහන්සේ ඔබගේ විමන කරා වඩිත් වඩිත් ම, අරිසව් දෙවිඳුනි, ගගන තලය මතදී ම රන්වන් සිරිපා සඟල සිඹ සිඹ වන්දනා කළේ ද? සමන්තකූට මස්තකයේ සුරත් පැහැ සිරිපා කමල පිහිටුවන්නට ආරාධනා කරද්දී, මෙතරම් දුෂ්කර වූ ගිරි හිසකට නැගගෙන, අනාගත සැදැහැවත් සිව්වණක් පිරිස පාද පත්මය කෙසේ වඳින්ට දැයි මුනිරජුන් විමසූ කල, හිඹුල් පුළුනක් පිඹහරින සේ ඔබගේ ඉර්ධියෙන් ඒ සැදැහැවත් පින්වතුන් සුව සේ ම සමන්කුළු මස්තකයට පමුණුවන බවට ප්‍රතිඥා දුන් ඔබ, අදටත් ඒ වදන සුරකින බවට අපට සැක නැත්මය-
පින්වත් දෙව් රජුනි, ඒ රන්වන් සිරිපා කමල් අප සියැසින් දැක නැත- ඔබගේ ඉන්ද්රනීල මාණික්‍ය පර්වතයේ සුරැඳි පාද පත්ම ලකුණවත් අප සියැසින් නො දැක්ක විරූ යැ-. නමුත්— ඒ සිරිපා මත හිසින් වැඳ වැටී වන්දනා කරගෙන, නෙතින් නුදුටු මුනි සිරිපා සිතින් දැක වඳින්නට බැරිවන්නට තරම්—- අහිංසක බුදු සව්වන් හදවතින් දිළිඳු වන්නේ ද නැත- ජීවිත ආශාව අත්හැර, බොහෝ දුරුකතර ගෙවාගෙන, ‘මගේ මුනිරජු කෝ–’ කිය කියා— බුදුගුණ රැව් දෙවා, සරණ සිහිකර කරා, කෙතෙක් නම් පිනැතියන් යුග යුග පාසා ඔබගේ විමන ඔබගේ උපකාරයෙන් ම තරණය කොට, පරම සුපූජිත සිරිපා කමල් අබියස වැටි වැටී වඳින්නට ඇත්ද…. මලින් සුවඳින් පුදන්නට ඇත්ද…. ගුණ ගී ගයන්ට ඇත්ද…. පිරිත් දම් සරින් රාව ප්රතිරාව නංවන්නට ඇත්ද….
අපගේ ඉටු දෙව් වූ සුමන සමන් දෙවිඳුනි, ඔබට සුවහසක් සිත් රැස් කළ පින් මහා සැප ගෙන දේවා! සුවහසක් සැදැහැවතුන්ගේ දුබල පා ඔසවා පුළුනක් සේ ම මුනි සිරිපා මළුවට ගෙන ගිය පිනෙන් ඔබට ද නිවන් මඟ වෙහෙසක් නො වේවා!! සුව සේ ම දහම් මඟ සපිරේවා!!!
මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි
Recent Comments