අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී සෑ රජුන් ඇසුරුකර ගනිමින් ද විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයේ දී ද බොහෝ දෙනා වඳිමින්, පුදමින් පිං කර ගන්නවා වගේ ම තමන්ගේ දුක් අඳෝනා ද කියමින් පිහිට පතනවා අපට දැකගන්නට තිබෙනවා. මෙහිලා විස්මිත භාවය කියන්නේ සද්ධාවන්තයාට ඇත්තට ම ඉන් පිහිටක් ලැබෙනවා.
පසුගිය මහාමේඝ පුවත්පත්වල පළවූ විස්තර පමණක් නොව රුවන්මැලි මහා සෑයට, ජයශ්‍රී මහා බෝ සමිඳුන්ට ජීවිතය පූජා කොට පිරිත් කියා බාරහාර වී සෙත සලසා ගත් විස්තර කොතෙකුත් අපිත් දන්නවා. නමුත් කරදරයක් ආ විට ඒ පිළිබඳ ව කොහොමද කටයුතු කරන්නේ කියලා බොහෝ දෙනෙකුට විචිකිච්ඡාවක් උපදිනවා. ඒ නිසා ඒ අයට තුනුරුවන්ගේ පිහිට ලැබේවා යන අර්ථයෙන් මෙත් සිතින් මේ විස්තරය ලියන්න හිතුණා.
නොයෙකුත් කරදර, උවදුරු, අමනුෂ්‍ය දෝෂ මෙන් ම තවත් නොයෙකුත් අවස්ථාවල දී මහා සෑයට හෝ මහ බෝධියට සරණ සොයා යන සැදැහැවතා පහන් දල්වා සුවඳ පතුරුවා මල් රැගෙන මළුවට ගොඩ වීම හොඳයි. මහා සෑයේ, බෝධීන් වහන්සේගේ ආනුභාවය ගැන පැහැදීම මුලින් ම ඇතිකර ගන්න. බුදු කෙනෙකුන් ලෙසින් ම තමාට පිහිට ලැබෙනවා යැයි සිතන්න. මළුවට මහත් ගෞරවයෙන් ගොඩ වී මල් හා සුවඳ දුම් රැගෙන තුනුරුවන් ගුණ කියමින් ප්රදක්ෂිණා කරන්න. බලවත් අමනුෂ්‍ය ප්‍රශ්න, බලවත් ජීවිත ප්රශ්නවල දී පමණක් අතට කඩාගත් පොල් ගෙඩියක් (විකිණීමට ඇති ඒවා නොවේ) පූජා කරන්න. නැත්නම් මල්වට්ටිය පමණක් ම සෑහෙනවා. පොල් පූජාව අතිශයින් විශේෂ කාරණයක දී කරන බලවත් පූජා විධියක් මිස නිතර කරන දෙයක් නො වෙයි. මල් වට්ටිය රැගෙන මහ සෑය, මහා බෝධීන් වහන්සේ ප්රදක්ෂිණා කරන ගමන් තුනුරුවන් සිහි කොට තමන්ගේ කරදරය කීමට මේ ගාථාව කිය කියා ප්රදක්ෂිණා කරන්න.
නමෝ තේ බුද්ධ වීර’ත්ථු – විප්පමුත්තෝ’සි සබ්බධී
සම්බාධපටිපන්නෝස්මි – තස්ස මේ සරණං භවා’ති
නමස්කාර වේවා ඔබ හට – සම්බුදු වීරයාණෙනි
ලොවේ ඇති හැම දුක්වලින් – මැනැවින් මිදුන මුනිඳුනි
මම වනාහී දැන් – අනතුරට පත් වූයෙමි
එසේ වූ මා හට – පිහිට සලසන සේක්වා!
සූර්ය දිව්‍ය පුත්‍රයාත්, චන්ද්‍ර දිව්‍ය පුත්‍රයාත් රාහුගෙන් තමාට පැමිණුන උවදුර අපගේ භාග්‍යවතුන් වහන්සේට කියා සිටියේ ඒ ලෙසයි. ඒ දිව්‍ය පුත්‍රයන්ට භාග්‍යවතුන් වහන්සේ වහා සරණ වූ සේක. ඒ ගාථාවේ “නමෝ තේ බුද්ධ වීරත්ථු” – “බුද්ධ වීරයන් වහන්සේට නමස්කාර වේවා” යැයි බුද්ධ වන්දනාව තිබෙනවා. “විප්ප මුත්තෝසි සබ්බධී” – “ඔබ වහන්සේ නම් සියලු දුක්වලින් මිදුන සේකැ” යි බුදු ගුණ මනසිකාරය වෙනවා. “සම්බාධ පටිපන්නෝස්මි” – “මට දැන් කරදරයක් ඇවිල්ලා” යැයි තමන්ගේ උවදුර ගැන ද කියවෙනවා. අපේ හිතේ ඇති දෙය භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක. තවත් වචන අටුවා අවශ්‍ය නැහැ. “තස්ස මේ සරණං භවාති” – “අනේ මා හට පිහිට සලසා දෙන සේක්වා” යැයි පිහිට ඉල්ලීම ද වෙනවා. මීටත් වඩා උතුම් සරණ ඉල්ලීමක් තියෙයි ද තවත්…
මේ විදිහට මහ සෑය මහ බෝධිය පැදකුණු කොට මල් පුදා තෙරුවන් වැඳ රතන සූත්‍රාදී පිරිත් කියා මෙත් සිත වඩන්න. ඉන් අනතුරුව ඔබේ වචනයෙන් කරුණු සිහිකොට දෙවියන්ට පින් දෙන්න. බුදු සිරිපා වඳිනා අයුරින් මහ සෑ, මහ බෝ පසඟ පිහිටුවා වඳින්න. ඉන් අනතුරුව රත්නමාලි මහා සෑ රජුන් ඉදි කළ දුටුගැමුණු මහ රජතුමා, 28ක් යුද්ධයන් කරද්දී එක ම ඊ පහරක්වත් නොවැදී ආරක්ෂා වූ එතුමා නිතර සිහි කළ සරණානුස්මෘති ගාථා තුන සිහි කරමින්, කියමින් මහා සෑය මහ බෝධිය ප්රදක්ෂිණා කොට නැවත පසඟ පිහිටුවා වැඳ ඉමහත් ගෞරවයෙන් මහ සෑයෙන් පිටත් වන්න. කැමරා, ෆෝන් ආදිය මහ සෑයේ දී මහා බෝධියේ දී භාවිත කොට තවත් පාපයක නම් පැටලෙන්න එපා. දුටුගැමුණු රජතුමා සරණ සිහි කර භය නැතිව සිටි ගාථා තුන මෙසේයි.
බුද්ධෝ තිලෝක සරණෝ – බුද්ධෝ සුරියෝ තමෝනුදෝ
ඒවං තං සරණං ඛේමං – බුද්ධෝ මේ සරණං වරං
ගච්ඡාමි සරණං බුද්ධං – නත්ථි මය්හං භයං සදා
බුදුරජාණන් වහන්සේ තුන් ලොවට ම එක ම සරණ වූ සේක. ඒ අපගේ බුදුරජාණන් වහන්සේ ලෝකයාගේ මෝහාන්ධකාරය දුරලන සූර්යයා වන සේක. මෙසේ ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ බිය රහිත වූ උතුම් ශ්‍රේෂ්ඨ සරණ ම වූ සේක. මම බුදුරජාණන් වහන්සේ සරණ යමි. එහෙයින් මා හට සදා භය නැත්තේ ම ය.
ධම්මෝ තිලෝක සරණෝ – ධම්මෝ සුරියෝ තමෝනුදෝ
ඒවං තං සරණං ඛේමං – ධම්මෝ මේ සරණං වරං
ගච්ඡාමි සරණං ධම්මං – නත්ථි මය්හං භයං සදා
ඒ උතුම් ශ්‍රී සද්ධර්මය තුන් ලොවට ම එක ම සරණ වූ සේක. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකයාගේ මෝහාන්ධකාරය දුරලන සූර්යයා වන සේක. මෙසේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ සරණ බිය රහිත වූ උතුම් ශ්‍රේෂ්ඨ සරණ ම වූ සේක. මම ඒ උතුම් ශ්‍රී සද්ධර්මය සරණ යමි. එහෙයින් මා හට සදා භය නැත්තේ ම ය.
සංඝෝ තිලෝක සරණෝ – සංඝෝ සුරියෝ තමෝනුදෝ
ඒවං තං සරණං ඛේමං – සංඝෝ මේ සරණං වරං
ගච්ඡාමි සරණං සංඝං – නත්ථි මය්හං භයං සදා
ඒ උතුම් ආර්ය මහා සංඝ රත්නය තුන් ලොවට ම එකම සරණ වූ සේක. ඒ උතුම් ආර්ය මහා සංඝ රත්නය ලෝකයාගේ මෝහාන්ධකාරය දුරලන සූර්යයා වන සේක. මෙසේ ඒ උතුම් ආර්ය මහා සංඝ රත්නයේ සරණ බිය රහිත වූ උතුම් ශ්‍රේෂ්ඨ සරණ ම වූ සේක. මම ඒ උතුම් ආර්ය මහා සංඝ රත්නය සරණ යමි. එහෙයින් මා හට සදා භය නැත්තේ ම ය.
මෙහිදී තුනුරුවන් ගුණ මෙනෙහි කොට, තුනුරුවන්ට ජීවිතය පූජා කිරීමෙන් වන ආශීර්වාදය තමයි පළමුවෙන් තමාට ලැබෙන්නේ. ඊළඟට බුද්ධ වන්දනාවේ, ධාතු වන්දනාවේ, බෝධි වන්දනාවේ පින රැස් වෙනවා. ඒ බලයෙන් මහා සෑයේ මහ බෝ රජුන්ගේ ආනුභාවයෙන් සෙත සැලසෙනවා. නැති නම් උවදුරෙන් මිදෙන්න මඟ පෑදෙනවා. නමුත් අපගේ බලවත් කර්ම විපාකවල දී භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සමයේ දී ද උපේක්ෂා වූ සේක් ම යි. පිහිටක් ලබාගත හැකි නම් නම් අපගේ මහා කාරුණිකයන් වහන්සේ පිහිට වන සේක් ම යි!
සැදැහැ සිත සුන්දර දෙයක්. භාග්‍යවතුන් වහන්සේ ව නිතර සිහි කිරීම දුක් නිවන ඖෂධයක්. බුදු ගුණ නිතර හිතනවා නම්, මහ සෑය මහ බෝධිය ඔබේ ගෙදර වගේ සමීප වේවි. එතකොට ඉතින් ඉන්න තැන ඉඳල ම තුනුරුවන් සිහිකරන්න තමයි තියෙන්නෙ. ඒ නිසා හොඳට තුනුරුවන් ගුණ ඉගෙන ගන්න. ඔබ සියලු දෙනාට තුනුරුවනේ අනන්ත ආශීර්වාදයත්, අපගේ භාග්‍යවතුන් වහන්සේගේ නිර්මිත බුදු සිරුරත්, ද්‍රෝණයක් ධාතූන් වහන්සේලාත් වැඩ සිටින රත්නමාලි සෑ රජුන්ගේ ආනුභාව පිහිටත්, අප භාග්‍යවතුන් වහන්සේගේ නෙත් කැල්මෙන් සැනසුන ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආනුභාව පිහිටත් ඒකාන්තයෙන් සැලසේවා! සියලු දුක් දුරුවේවා!
මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි
athin gattu pol gediyak puja karana eka gena kiya denna.. ai ehema karanne… loku swaminwahnse me gena kiyala tiyenwa neda… ekata hetu kiyanna puluwanida