සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ ලෝ තලයට පහළ වන්නේ ඉතාමත් දීර්ඝ කාලයකිනි. ඒ මහා පුරුෂෝත්තමයන් වහන්සේලා බොහෝ කලක් සම්බුද්ධත්වය පිණිස අවශ්‍ය පුණ්‍ය සම්භාරය මහත් වීරියකින් රැස්කොට එහි අවසාන ප්‍රතිඵලය ලෙස බෝධි මූලයේ වජ්‍රාසනය මත වැඩ සිටිමින් දසමර සෙන් පරදවා සම්මා සම්බෝධිය සාක්ෂාත් කරති. එම උතුම් අවබෝධය ලබන කල්හි දස දහසක් ලෝක ධාතු කම්පා වී යති. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය ආලෝකයක් ලෝකයේ පැතිරී යයි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි අන් අයගේ යහපත වෙනුවෙන් කැප වී, සය වසරක් දුෂ්කරක්‍රියා කොට, මධ්‍යම ප්‍රතිපදාව තුළින් උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් ඒ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කල ඒ උතුම් ශ්‍රී සද්ධර්මය නුවණැති දෙවි මිනිසුන්හට පුරා හතළිස් පස් වසක් මුලුල්ලේ දිවා රෑ නොබලා, වෙහෙස මහන්සි නොබලා, ගම් නියම්ගම් සිසාරා වැඩම කරමින් දේශනා කළ සේක.
විශ්මිත වූ අවබෝධයක්
වරෙක අප භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. ‘පින්වත් මහණෙනි, මම මේ ලෝකයේ යථාර්ථය දකින්ට දක්‍ෂ කෙනෙක් වෙමි. පරලොව යථාර්ථය දකින්ට දක්‍ෂ කෙනෙක් වෙමි. මාරයාට අයිති දේ ත්, මාරයාට අයිති නැති දේ ත් දකින්ට දක්‍ෂ කෙනෙක් වෙමි. මරණයට අයිති දේ ත්, මරණයට අයිති නැති දේ ත් දකින්ට දක්‍ෂ කෙනෙක් වෙමි. ඉදින් පින්වත් මහණෙනි, යම් කෙනෙක් මම කියා දෙන ධර්මය ඇසිය යුතුයි, එය විශ්වාස කළ යුතුයි කියා සිතයි නම්, එය ඔවුන් හට බොහෝ කලක් හිත සුව පිණිස ම පවතින්නේ ය. ‘තස්ස මය්හං භික්ඛවේ, යේ සෝතබ්බං සද්දහාතබ්බං මඤ්ඤිස්සන්ති, තේසං තං භවිස්සති දීඝරත්තං හිතාය සුඛායාති’
(චූළ ගෝපාලක සූත්‍රය – ම.නි. 1)
මේසා අවබෝධයකින් යුතු භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයක් අපට අසන්න ලැබීම කොයිතරම් වාසනාවක් ද? එම අවවාද පිළිපදින්නට කෙනෙකුට හැකි වුණොත් ඔහුහට කෙතරම් යහපතක් සැලසේවි ද? යම් පුද්ගලයෙකුගේ, පිරිසකගේ යහපත පිණිස එක් වරක් පමණක් ධර්මය පෙන්වා දීම අවවාදය යි. එය ම නැවත නැවත ප්‍රකාශ කිරීම අනුශාසනාව යි.
පිළිපදිමු ඒ උතුම් අවවාද
එක්තරා අවස්ථාවක දී අප භාග්‍යවතුන් වහන්සේ ගෝතමක චේතියේ වැඩවාසය කරන කල්හි භික්‍ෂුවක් හට මෙසේ වදාළ සේක. “පින්වත් මහණෙනි, මා මේ ධර්මය දේශනා කරන්නේ විශිෂ්ට වූ අවබෝධ ඤාණය තුළ පිහිටලයි. විශිෂ්ට වූ අවබෝධ ඤාණය තුළ නො පිහිටා නොවේ. (අභිඤ්ඤෙය්‍යාහං භික්ඛවේ ධම්මං දේසේමි නෝ අනභිඤ්ඤාය) පින්වත් මහණෙනි, මා මේ ධර්මය දේශනා කරන්නේ හේතු සහිතව යි. හේතු රහිතව නො වේ. (සනිදානාහං භික්ඛවේ ධම්මං දේසේමි නෝ අනිදානං) පින්වත් මහණෙනි, මා මේ ධර්මය දේශනා කරන්නේ ප්‍රාතිහාර්ය සහිතව යි. ප්‍රාතිහාර්ය රහිතව නො වේ. (සප්පාටිහාරියාහං භික්ඛවේ ධම්මං දේසේමි නෝ අප්පාටිහාරියං) ඉදින් මහණෙනි, මේ අයුරින් මා ධර්මය දේශනා කරන විට ඔබලා ඒ මාගේ අවවාදය පිළිපැදිය යුතුයි. (කරණීයෝ ඕවාදෝ) අනුශාසනාව පිළිපැදිය යුතුයි. (කරණීයා අනුසාසනී)
(ගෝතමක චේතිය සූත්‍රය – අං.නි. 1)
මේ උතුම් දෙසුම වදාළ මොහොතේ දී දස දහසක් ලෝක ධාතු කම්පා වූහ. මේ අයුරින් අප මුනි රජුන් වදාළ අනුශාසනාව උන්වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් වශයෙන් අප සියලු දෙනා දොහොත් මුදුනේ තබා පිළිපැදිය යුතුය.
අපගේ සිත තුල අපට අහිත පිණිස පවතින බොහෝ කෙලෙස් වරින් වර මතුවී අපට දුක ඇති කරති. එම කෙලෙස් අතරින් ද්වේශය බොහෝ අවස්ථාවන්හි අපගේ සිත තුල පැන නගී. එම උපන් ද්වේශය සතුටින් පිළිගතහොත් දුරු කිරීමට මහන්සි නො ගතහොත් එයින් තමාහට මේ ජීවිතයේදී බොහෝ දුක් සහිතව, දැවිලි සහිතව වාසය කරන්නට සිදුවන අතර ඔහු විසින් පරලොව දුගතිය කැමති විය යුතු බව අප භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ සේක. මහා කාරුණික භාග්‍යවතුන් වහන්සේ අප තුල හට ගන්නා ද්වේශය ප්‍රහාණය කර ගැනීමට නොයෙක් ක්‍රමෝපායයන් පෙන්වා දී තිබේ.
අනුන්ගෙන් ඇසෙන වචන පථ
ඒ අතරින් දෙපැත්තේ මිට ඇති කියතක් උපමා කොට වදාළ අවවාදය සිහිකොට එම උපන් ද්වේශය දුරු කරගන්නා ආකාරය පෙන්වා දුන් අයුරු ඉතාම විශ්මයජනක දෙයකි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ අනුන්ගේ වචනපථයන් පස් අයුරකින් තමන්හට අසන්නට ලැබෙන බවයි.
එනම්,
1). කලටත් අකලටත්
2). සත්‍යයෙනුත් අසත්‍යයෙනුත්
3). මෘදු ලෙසත් පරුෂ ලෙසත්
4). හිතසුව පිණිසත් අයහපත පිණිසත්
5). ද්වේෂයෙනුත් මෛත්‍රියෙනුත් වශයෙනි.
මේ කුමන ආකාරයෙන් අනුන්ගෙන් වචන අසන්නට ලැබුණත් එයට නො ගැටී ඒවා ඉවසීමට යමෙකුට හැකි වේ නම් එය කෙතරම් ආශ්චර්යයක් ද? බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයෙන් තොරව වෙනත් කිසිදු දහමක අනුන්ගෙන් ලැබෙන වචන ඉවසන අයුරු, ඒ සඳහා පුහුණු විය යුතු අයුරු පෙන්වා දී නොමැත. මෙම වචනපථයන්ට නො ගැටී ඒවා ඉවසීමට ශ්‍රාවකයන්හට හැකියාව සැලසෙන්නේ අති දුර්ලභ සම්මා සම්බුදු සසුනකදී පමණි.
මෙන්න ඒ කකචූපම අවවාදය
අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ඒ කකචූපම අවවාදය මෙයයි. “පින්වත් මහණෙනි, දරුණු සොරු ඔබව අල්ලාගෙන දෙපැත්තේ ම මිට තිබෙන කියතකින් ඔබේ ශරීරයේ අංග කපද්දී පවා (උභතෝ දණ්ඩකේනපි චේ භික්ඛවේ කකචේන චෝරා ඕචරකා අංගමංගානි ඕක්කන්තෙය්‍යුං) ඔබ ඔවුන් ගැන දූෂිත සිතක් / ද්වේශ සහගත සිතක් ඇති කරගතහොත් (තත්‍රාපි යෝ මනෝ පදූසෙය්‍ය) ඔබ මගේ අනුශාසනය කරන කෙනෙක් නොවේ. (න මේ සෝ තේන සාසනකරෝ) පින්වත් මහණෙනි, ඒ මොහොතේ පවා ඔබ විසින් හික්මිය යුත්තේ මේ විදිහට යි. ‘මම මගේ සිත වෙනස් කරගන්නේ නෑ (නචේව නෝ චිත්තං විපරිණතං භවිස්සති) මම නපුරු වචන පිට කරන්නේ නෑ (න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි) මම හිතානුකම්පීව වාසය කරනවා (හිතානුකම්පී ච විහරිස්සාමි) ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ම ඉන්නවා (මෙත්තචිත්තෝ න දෝසන්තරා) ඒ පුද්ගලයාට මෛත්‍රී සිත පතුරුවාගෙන වාසය කරනවා (තඤ්ච පුග්ගලං මෙත්තාසහගතේන චේතසා ඵරිත්වා විහරිස්සාමි) සකල ලෝකය ම අරමුණු කරගෙන මෛත්‍රිය පතුරුවාගෙන ඉන්නවා. මහත්කොට එකඟ වූ සිතින් ප්‍රමාණ රහිතකොට වෛර නැතිව, තරහා නැතිව මෛත්‍රී සිත පතුරුවාගෙන වාසය කරනවා (තදාරම්මණඤ්ච සබ්බාවන්තං ලෝකං මෙත්තා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ඣේන ඵරිත්වා විහරිස්සාමාති) පින්වත් මහණෙනි, මේ අයුරින් ඔබ පුහුණු විය යුතුයි.”
(කකචූපම සූත්‍රය – ම.නි. 1)
උතුම් අවවාදය මතකයේ දරා ගමු
වරෙක අප සම්බුදු සසුනේ උතුම් ශ්‍රාවකයෙකු වූ බ්‍රහ්මදත්ත මහරහතන් වහන්සේ වදාළේ ‘ඉදින් ක්‍රෝධය හටගත්තොත් බුදුරදුන් වදාළ මේ ධර්මය සිතිය යුතුයි. එනම් කියතකින් තමාව කපා දැම්මත් තරහා සිතක් ඇති කරගන්නේ නෑ’ කියලා.
(බ්‍රහ්මදත්ත ථේර ගාථා)
මෙසේ අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සරණ කරගෙන තමා තුළ හට ගන්නා වූ තරහ මේ අවවාදය මෙනෙහි කිරීම තුළින් දුරු කරගත හැකි වුවහොත් ඔවුහු මේ ලැබූ දුර්ලභ මිනිසත් බවින් ඵල නෙලාගත් උදවිය බවට පත්වෙති. භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ කකචූපම අවවාදය නිතර සිහිකළොත් අනුන්ගෙන් ලැබෙන නොයෙක් වචනපථයන්ට නොගැටී ඒවා හොඳින් ඉවසීමට හැකිවන බවයි.
එම නිසා ඉතා වේගයෙන් ගෙවී යන ජීවිතයක් පරිහරණය කරන අප විසින් මේ ලෝකයට කලාතුරකින් පහළවන ආශ්චර්යවත් වූ මනුෂ්‍ය රත්නය වන අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි කරුණාවෙන් වදාළ මේ උතුම් අවවාදය මතකයේ දරාගත යුතුයි. එය නැවත නැවත සිහිකළ යුතුයි. එසේ කිරීමට අපට හැකිවේ නම් එය අපට බොහෝ කලක් හිතසුව පිණිස පවතිනු ඇත.
මහමෙව්නාව භාවනා අසපුවාසී
පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි.
Recent Comments