‘‘මේ සංසාරේ නොයෙක් විදිහෙ ඉපදීම්වලට ගොදුරු වෙවී, දුක් සහිත ගමනක මං ඇවිද ඇවිද ගියා. මේ සසර දුක හදන වඩුවා කවුද කියල යි මං හොය හොයා හිටියේ. ආයෙ ආයේ ඉපදීම නම් දුකක් ම යි….
එ්යි වඩුවා…! මං දැන් ඔබව හඳුනාගෙන ඉවරයි… ආයෙත් නම් ඔබට මං වෙනුවෙන් ගෙයක් හදන්ට බෑ. ඔබේ පරාල ඔක්කොම මං කෑලි කෑලිවලට කඩලා දැම්මා. වහලෙ මුදුන් කැණිමඬල මං සී සීකඩ වීසි කළා. මේ සිත සංස්කාර රහිත බවට පත් වුණා. තණ්හාව නැති වුණා….”
දස බිම්බරක් මාර සේනා පරදවාලූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඬලින් මේ අසිරිමත් උදානය පළ වූ මොහොතේ ගයාවේ මහ බෝ මැඩ අබියස කෙතරම් නම් අනුත්තරීතරත්වයක් මැවී යන්නට ඇති ද? මේ මහා භද්‍ර කල්පයේ සතරවනුව ලොව පහළ වී වදාළ, අපගේ ශාස්තෘ වූ එ් භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පළමු සම්බුදු උදානයේ නිර්මල ස්පර්ශය ලැබුවා වූ ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේලාට නමස්කාර වේවා!
එතැන් පටන් මිහිකත සනස සනසා, තුන්ලොවට ම සුව සෙත සලසා පන්සාලිස් වසක් මුළුල්ලේ සුවාසූදහසක් වූ ධර්මස්කන්ධය දෙව්, මිනිස් ප්‍රජාවගේ සවන්පත් පුරා පිළිරැව් දුන්නා.
කුසිනාරාවේ යමක සල්රුක් සෙවණේ පිරිනිවෙන්නට සැතපී, “පින්වත් මහණෙනි, අවසන් වරට මම ඔබ අමතමි. සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළු ය. අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න.” යනුවෙන් ලෝකානුකම්පාවෙන් දේශනා කොට වදාරා තිලොව ප්රඥලෝකය නිවී ගිය මොහොත දක්වා ම එ් සුවාසූදහසක් වූ ධර්මස්කන්ධය තිලොව සුවපත් කොට වදාළා.
කෙලෙස් යුද්ධයෙන් ජයගත් මුනිවරුන් බිහි වූයේ එ් සරණින් ම යි…. සතර අපායෙන් සදහට ම නිදහස් වූ මඟඵල ලාභී සිව්වනක් ශ්‍රාවක පිරිස් සසර සුවපත් භාවය සලසා ගත්තේ එයින් ම යි…. දැනුදු දෙව් මිනිස් ලෝකයා විමුක්ති මාර්ගයේ හැසිරෙන්නේ කාලයේ පහර කෑමට හසු නො වූ එ් තථාගත ශ්‍රී සද්ධර්මයේ පිළිසරණින් ම යි….
තුන් කල්හි ම තුන් ලොවට ම සෙත සලසාලන එ් අමා දම් ගඟුල සම්බුදු මුව මඬලින් නික්මෙනවාත් සමඟ ම එ් මහානීය බුද්ධ භාෂිතයන්ගේ පළමු නිර්මල ස්පර්ශයෙන් අති පූජනීයත්වයට පත් වූ, සුදුමුදු දාඨාප්‍රභා විහිදුවාලූ ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේලාට නමස්කාර වේවා!
එ් සා පූජනීය වූ දන්ත ධාතුන් වහන්සේලා වන්දනාභිවන්දනයයි මේ………..!
සම්බුදු ශී‍්‍ර දේහය ආදාහනය කළ පසු ලලාට ධාතූන් වහන්සේ, දකුණු හා වම් අකු ධාතුන් වහන්සේලා සහ සතර දළදා වහන්සේලා හැරුණු කොට අවශේෂ සියලු ධාතුන් වහන්සේලා කුඩා කුඩා කැබලිවලට බෙදී වෙන් වූ බව ධාතු විස්තරයේ කියැවෙනවා. සතර දළදා වහන්සේ ලෙස හඳුන්වන්නේ උඩු ඇන්දේ සහ යටි ඇන්දේ වම් සහ දකුණු වශයෙන් පිහිටි රදනක දත් සතරයි.
තථාගත ශී‍්‍ර දේහය දැවෙන චිතකයෙන් ඍද්ධිමත් වූ රහතන් වහන්සේලා දෙනමක් විසින් සර්වඥ ධාතූන් වහන්සේලා දෙනමක් ඉවත් කර ගන්නට යෙදුණා. මියුගුණ මහා සෑයේ නිධන්ව අද ද දෙව් බඹුන්ගේ වන්දනාමානයට පාත්‍ර වන ග්‍රීවාස්ථි ධාතුන් වහන්සේ දැවෙන චිතකයෙන් ගනු ලැබුවේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ ඍද්ධිමත් සරභූ මහරහතන් වහන්සේයි. සෙංකඩගල දළදා මැදුරෙහි සුදුමුදු බුදුරැස් විහිදුවමින් ජීවමානව වැඩ සිටිනා වාම ශී‍්‍ර දන්ත ධාතුන් වහන්සේව එ් ආකාරයෙන් ම ගනු ලැබුවේ ඛේම මහරහතන් වහන්සේයි. උන්වහන්සේ වාම ශී‍්‍ර දළදා වහන්සේව රැගෙන කාලිංග දේශයට වැඩම කොට වදාළා.
සර්වඥ ධාතූන් වහන්සේලා ලබා ගැනීම පිණිස ලිච්ඡවීන්, ශාක්‍යයන්, කෝලියයන්, මගධයන් ආදි වූ සේනා හතක් කුසිනාරා නුවර මල්ල රජ දරුවන් හා සටන් වැදීමේ සූදානම ඇති ව නුවර වටා කඳවුරු බැඳ ගත්තා. තිලොවට ම මෙත් සිත පතල කළ ශාන්තිනායකයාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වෙනුවෙන් මහා යුද්ධයක් ඇති වීම වළකා, සියල්ලන්ට සමසේ ධාතුන් වහන්සේලා බෙදීම භාර ගත්තේ ද්‍රෝණ නම් වූ බමුණා විසින්.
මගධ නැළියෙන් සර්වඥ ධාතුන් වහන්සේලා බෙදා දීම ආරම්භ කරන්නට රන් දෙණ විවර කළ විට රජ දරුවන් හඬා වැලපෙන්නට වූයේ දෙතිස් ලකුණින් ශෝභමාන වූ එ් සම්බුදු සිරුර වෙනුවට ධාතුන් වහන්සේලා පමණක් ශේෂ වී තිබෙනු දැකීම නිසා ඇති වුණ කම්පාවෙනුයි. මේ ප්‍රමාදයෙන් ප්‍රයෝජන ගත්ත ද්‍රෝණ බමුණා දකුණු දළදා වහන්සේලා දෙනම ඉවතට ගත්තා. එයින් එක් දළදාවක් ජටාවේ සඟවා ගත්තා. අනෙක් දළදා වහන්සේ ව බිම දමා වසා ගත්තා. වම් උඩු දළදා වහන්සේ ව වස්ත්‍රවල සඟවා ගත්තා. එහෙම කළේ තමන් ළඟ තබාගෙන පුද පූජා කිරීමේ අදහස ඇතිව. අනෙක් ධාතුන් වහන්සේලාව කොටස් අටක් ලෙස සමසේ එක් එක් සේනාවන්ට බෙදා දුන්නා.
එ් එ් රජවරු ධාතු රැගෙන ගියාට පස්සෙ ද්‍රෝණ බමුණා තමන් සඟවා ගත් දන්ත ධාතුන් වහන්සේලා තුන්නම ගන්නට සූදානම් වුණා. එ්ත් මහා පුදුමයක්….! එක් දළදා වහන්සේ නමක්වත් ද්‍රෝණ බමුණා සතුව තිබුණේ නෑ. අවසානයේ ඔහුට සිදුවුණේ සර්වඥ ධාතුන් වහන්සේලා බෙදා දෙන්නට උපයෝගී කරගත්ත මගධ නැළිය ඉල්වාගෙන ගිහින් තැන්පත් කරවා, ස්ථූපයක් තනවලා වන්දනාමාන කරන්නටයි. එතකොට, දළදා වහන්සේලා ගත්තේ කවුරුන් ද?
තව්තිසාවේ දළදා නමදිම්….
මේ දළදා වහන්සේලා තුන්නමට සිදු වුණේ අපූරු දෙයක්. ද්‍රෝණ බමුණා දකුණු දළදා වහන්සේව ජටාවේ සඟවා ගත් බව දැකපු සක් දෙවිඳුන් සියුම් අතක් මවාගෙන, ඔහුට නො දැනෙන සේ දළදා වහන්සේව අර ගත්තා. එහෙම කළේ ද්‍රෝණ බමුණාට දළදා වහන්සේට සත්කාර කරන්නට හැකියාවක් නැති බව දැකපු නිසාවෙනුයි.
සක් දෙවිඳුන් එ් දකුණු දළදා වහන්සේව රන් කරඬුවක තැන්පත් කරවලා, සිරස මුදුනේ තබාගෙන තව්තිසා දෙව්ලොවට රැගෙන ගිහින් එ් උත්තම ධාතු කරඬුව සිළුමිණි මහා සෑයේ තැන්පත් කළා.
ගිහිගෙයින් අබිනික්මන් කරලා සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ නේරංජරා ගං තෙරේදි කපා දැමූ අක්බමරුවන් අභිනීල කෙස් වැටිය තැන්පත් වූ සිළුමිණි සෑය අති පූජනීයත්වයට පත් කරවමින් එ් දකුණු දළදා වහන්සේ අදටත් ජීවමානව වැඩ වෙසෙනවා.
තාවතිංසයේ සක් දෙව් විමනේ පරසතු මල් පිදෙනා
සිළුමිණි වෙහෙරේ මිණි කරඬුව මැද සුවසේ වැඩහිඳිනා
ලෝකනාථ මුනි ගුණ බලයෙන් නිති සුදු බුදුරැස් දිලෙනා
මම් නමදිම් සිරි දළදා සමිඳුන් දෙව්ලොව වැඩ හිඳිනා
ගන්ධාරේ දළදා නමදිම්….
ද්‍රෝණ බමුණා වස්ත්‍ර අතරේ දළදා වහන්සේනමක් සඟවා ගත් බව දැක්කේ මහා පින් බලයක් සහිත වුණ මනුෂ්‍යයෙක්. ඔහු පැමිණ සිටියේ එ් කාලයේ සොළොස් මහ ජනපදයන්ට අයත් වුණ ගන්ධාරයේ ඉඳලයි. මේ පුණ්‍යවන්තයා පෙර බුදුවරුන්ගෙන් පවා විවරණ ලැබූවෙක් බවයි කියැවෙන්නේ. ඔහු වම් උඩු දළදා වහන්සේව ගන්ධාරයේ චේතිය වනයට රැගෙන ගිහින් පුද සත්කාර කර තිබෙනවා. එ් උත්තම දළදා වහන්සේ අද කොතැනක කෙසේ වැඩ සිටින්නේ ද යන්න ගැන නම් නිශ්චිත සඳහනක් නෑ.
දඹදිව් තලයේ කඳුහෙල් අතරේ නො පෙනී වැඩ සිටිනා
දෙව් බඹ පිරිසේ රැකවල් ලැබ පින්සාර ගුණෙන් දිලෙනා
ගන්ධාරපුරේ වැඩ සිටින උතුම් දළදා හිමි සිහිවෙමිනා
මම් නමදිම් සිරි දළදා සමිඳුන් දොහොත් නඟා බැතිනා
සෝමාවතියේ දළදා නමදිම්……
සඟවා ගත්ත දළදා වහන්සේලා දෙනමක් ඔන්න ඔය විදිහට ද්‍රෝණ බමුණාට අහිමි වුණා. අනිත් දකුණු දළදා වහන්සේ බිම දමා සඟවාගෙනනේ ද්‍රෝණ බමුණා ධාතුන් වහන්සේලා බෙදා දෙන්න පටන් ගත්තේ. අන්න එ් ධාතුන් වහන්සේව දුටුවා නාග ලෝකයෙන් ආව ජයසේන කියන නා රජු. තථාගත පරිනිර්වාණය නිසා මහත් ශෝකයෙන් සිටිය නා රජු ඍද්ධි බලයෙන් එ් දකුණු දළදා වහන්සේව රැගෙන නාග භවනයට ගිහින් මැණික් සෑයක් තනවලා එහි තැන්පත් කරවලා පුද සත්කාර කළා.
කාවන්තිස්ස රජතුමා ලක්දිව රජකම් කළ සමයේ වැඩ සිටිය මහාදේව මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වුණ මහින්ද නම් වූ මහරහතන් වහන්සේ සමග මේ නා රජු බොහොම හිතවත් වුණා. නාග භවනට වැඩම කළ උන්වහන්සේ මේ මහානීය දළදා වහන්සේව දැකලා, පුද පූජා පිණිස මේ දළදාව මනුෂ්‍ය ලෝකයට ගෙන යාමේ අවශ්‍යතාවය පහදා දී දළදා වහන්සේ ඉල්ලා සිටියා.
සර්වඥ දළදා ධාතුන් වහන්සේට මහත් ආදර සත්කාර කළ නා රජු එ් ඉල්ලීමෙන් බොහොම විපිලිසර වුණා. එ්ත් මහරහතන් වහන්සේගේ ඇසුර නා රජුට වඩාත් ප්‍රියමනාප වුණ නිසා ඔහු ධාතූන් වහන්සේව තෙරණුවන්ට ලබා දුන්නා.
ගිරි අභය රජතුමා සහ සෝමාවතී දේවිය තමයි මහින්ද මහරහතන් වහන්සේ සතු වූ එ් උත්තම දක්ෂිණ දළදා වහන්සේව වඩා හිඳුවලා සෝමාවතිය මහා සෑය ඉදි කළේ. අදත් මහා පෙළහර පාමින්, සුදුමුදු බුදුරැස් විහිදුවමින් එ් උත්තම දක්ෂිණ දළදා වහන්සේ සෝමාවතියේ වැඩ සිටිනවා.
සෝමා දේවින් අබා කුමරු මහනාග වෙහෙර කරනා
නාග ලොවින් වැඩි දළදා හිමි මිණි කරඬුව තුළ දිලෙනා
දේව බඹුන්ගේ වන්දනාව මැද සුදු බුදුරැස් දිලෙනා
මම් නමදිම් දකුණත් දළදා හිමි දොහොත් නඟා බැතිනා
කලිඟු රටට වැඩි වාම ශී‍්‍ර දළදා…..
තථාගත ශී‍්‍ර දේහය දැවෙමින් තිබෙනකොට තමන් වහන්සේගේ ඍද්ධි බලයෙන් වාම ශී‍්‍ර දන්ත ධාතුන් වහන්සේව රැගත් ඛේම මහරහතන් වහන්සේ කාලිංගයට වැඩම කරවලා, එකල කලිඟු රජු වුණ ‘බ්‍රහ්මදත්ත රජුව’ තිසරණයෙහි පිහිටුවලා පුද පූජා පැවැත්වීම පිණිස ධාතුන් වහන්සේව භාර කළා. රජතුමා ගරු සිත් පෙරටුව දළදා වහන්සේ උදෙසා මුතු මැණිකෙන් තැනවූ ආසනයක් සහිතව දඹදිව පළමු දළදා මැදුර ඉදි කළා.
කාලයක් ගත වෙනකොට කලිඟු රටේ ‘ගුහසීව’ කියන රජු රාජ්‍යය විචාළා. ඔහු මිසදිටු මත දැරූවෙක්. ඔහුගේ ඇමතිවරයෙක් අපමණ බුදුගුණ ගැනත්, දළදා වහන්සේගේ අසිරිය ගැනත් කළ වර්ණනාවක් අසා පැහැදුණු රජතුමා තෙරුවන් සරණයෙහි පිහිටලා දළදා වහන්සේට මහත් පුද සත්කාර දැක්වන්න පටන් ගත්තා. කාලිංගයේ හිටපු තීර්ථකයන්ගේ සත්කාර පිරිහුණ නිසා ඔවුන් කෝපයෙන් යුතු ව පැළලුප් නුවරට, එ් කිව්වේ වර්තමාන පාටලීපුත්රයට පළා ගියා. එහි රජකම් කළේ ‘පඬි’ නම් වූ බලගතු රජ කෙනෙක්. නිඝණ්ඨයන් විසින් කියූ කේලාම් බස් ඇසීමෙන් කෝපවුණ රජු චිත්රයාන නම් වූ සාමන්ත රජුට අණ කළා චතුරංගනී සේනාව රැගෙන ගොස් ගුහසීව රජුවත්, ඔහු බැතියෙන් පුද දෙන ‘මිනී ඇටයත්’ ගෙන එන්න කියලා.
චිත්රයාන රජතුමා කාලිංගයේ දන්තපුරය අසල කඳවුරු බැඳලා ගුහසීව රජුව මුණ ගැසෙන්න ගියා. එවෙලේ ගුහසීව රජු කළ බුදුගුණ වර්ණනා, දළදා වර්ණනා අහපු, විසිතුරු දළදා පූජාවන් දැකපු චිත්රයාන රජුත් තිසරණයේ පිහිටියා. ඉන් පසුවයි ඔහු පඬි රජුගේ නියෝගය දැනුම් දුන්නේ. බිය වන්නට කාරණයක් නො දුටු ගුහසීව රජතුමා දළදා වහන්සේ සමග ධාතු කරඬුව පැළලුප් නුවරට වැඩම කෙරුවේ මහත් වූ හරසර සහිත පෙරහරකින්. එහෙත් එ් වනවිට තීර්ථක බස් අසා මහත් කෝපයෙන් සිටි පඬි රජතුමා දළදා වහන්සේව පූජනීය ආකාරයට පිළිගත්තේ නෑ….
දළදා වහන්සේ සුදුමුදු බුදු රැස් විහිදුවමින් මහා පෙළහර පාති
පඬි රජතුමා දළදා වහන්සේව විනාශ කරන්න නොයෙකුත් උපායන් යෙදුවා. ගිනිගෙන දිළිසෙන ගිනි අඟුරු වළකට දළදා වහන්සේව දමා අළු කිරීම තමයි පළමු උත්සාහය. එහෙත්…. සිදුවුණේ මහත් අසිරියක්… අග්නි ජාලාවන් විහිදෙන ගිනි වළෙන් ඉහළට විහිදුන රිය සකක් වැනි වූ සොඳුරු නෙළුම් මලෙක කෙමියෙහි වැඩ හිඳිමින් එ් වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සුදු බුදුරැස් විහිදුවා වදාළා. නගර වැසියෝ එයින් පැහැදිලා දළදා වහන්සේව පුද දෙන්න පටන් ගත්තා.
දෙවන උපාය වුණේ කිණිහිරයක තියලා කුළු ගෙඩියෙන් ගසා පොඩි කිරීම. සුවාසූදහසක් වූ උතුම් ශ්‍රී ධර්මස්කන්ධයේ පහසින් සුපූජිත වුණ වාම ශ්‍රී දළදා වහන්සේ කිණිහිරයෙහි ගිලී ගියා. සියලු දිශාවන් එ්කාලෝක කරවමින් නැඟුණු දාඨා ධාතු ප්රභාවන් අපමණ බුදුගුණයන් ගැන ජන සිත් පහදවාලූවා. එවිට නිඝණ්ඨයන් කියා සිටියේ මේ විෂ්ණුගේ දස අවතාරයන්ගෙන් එකක් කියලයි.
පඬි රජු හිටියේ වික්ෂිප්තව. ඔහුට මේ අරුමය සිතා ගන්නටවත් බෑ. එ් නිසා ඔහු නියෝග කළා කිණිහිරයෙහි ගිලුණ දළදාව රැගෙන කැමති වස්තුවක් ගන්නට කියා. එහෙත් තීර්ථකයන්ට කවර ආකාරයකින්වත් දළදා වහන්සේව ගන්නට ලැබුණෙ නෑ.
එ් මොහොතේ ගෞතම සම්මා සම්බුදු සසුනේ අග්‍ර ගිහි උපස්ථායක වූ අනේපිඬු සිටුතුමාගේ මී මුණුබුරෙකු වුණ ‘සුභද්‍ර සිටු පුත්‍රයා’ සැදැහැ සිත් පෙරටුව අපමණ බුදුගුණ වර්ණනා කරමින් සත්‍යකි‍්‍රයා කළා. එ් මොහොතේ දළදා වහන්සේ කිණිහිරයෙන් අහසට පැන නැඟී, නැවත සිටු පුතුගේ සිරසට වැඩම කරමින් බුදුරැස් විහිදුවන්නට පටන් ගත්තා. එවිට නිඝණ්ඨයන් කියා සිටියා මෙය සිටු පුතු මන්ත්‍ර බලයෙන් කළ දෙයක් බව. රජු දෙගිඩියාවකට පත්වුණා. එ් නිසා ඔහු කළේ වෙනත් පෙළහරක් දක්වන්න කියා දළදා වහන්සේගෙන් අයැද සිටීම.
එවිට දළදා වහන්සේ සුවඳ දිය පිරුණ රන් පාත්රයකට වැඩම කොට වදාළා. සම්බුදු ශ්‍රී මුව මඬල නම් වූ අමදම් විලේ රාජ හංසයෙකු සේ වැඩ හුන් එ් උත්තම දළදා වහන්සේ සුවඳ දිය මත ස්වර්ණ හංස රාජයෙකු සේ පිහිනා පෙළහර පාන්නට වුණා. ජනී ජනයාගේ සාදු නාදය දසත පැතිරුණා. එහෙත්, පඬි රජතුමා තවමත් සිටින්නේ සැකයෙන්. එ් නිසයි වීදිය මැද මහා වළක් කප්පවලා, දළදා වහන්සේව එහි දම්මවලා, පස් පුරවලා, අලි ඇතුන් ලවා පෑගෙව්වේ. ඡද්දන්ත හස්තිරාජයන් කෝටි ප්‍රකෝටි ගණනකගේ බලය, සවිය ඉක්මවන සවිබල තිබූ දසබලයාණන් වහන්සේගේ වාම ශ්‍රී දළදා වහන්සේ එවෙලේ මහ පොළව පළාගෙන පැන නැඟුණ නෙළුම් මලෙක විරාජමානව වැඩ වෙසෙමින් සුදු බුදු රැස් විහිදුවාලූවා.
එ් පෙළහර බලාවත් පඬි රජු දැමුණේ නැහැ. සිව්වන වතාවේ දළදා වහන්සේව මළ මුත්රාදියෙන් පිරී ගිය අපිරිසිදු දිය අගලකට විසි කරනු ලැබුවා. සැණෙකින් එය පස් පියුමින් සුසැදුණ, ස්වර්ණ හංස රාජයන් සරණ, බිඟු නද නැෙඟන දෙව් පොකුණක සිරියෙන් දිලෙන්නට වුණා.
මේ සියලු ඓශ්චර්යයන් බලා සිටි ඇමතිවරු මේ සා බල සම්පන්න දළදා වහන්සේ කෙරෙහි සිත පහදවා ගෙන තිසරණයෙහි පිහිටන ලෙස පඬි රජුට ආයාචනා කළා. එවිටයි රජු මිසදිටුවෙන් මිදී ගත්තේ. රජුගේ අණ අනුව දළදා වහන්සේව වැඩම කරවන්නට දිය අගල වෙත ගිය ප්‍රධාන ඇමතිවරයා රජු තිසරණයෙහි පිහිටි ආකාරය පවසා රජගෙයට වැඩම කරවන්න කියා දළදා වහන්සේට ඇරයුම් කළා. එ් මොහොතේ දළදා වහන්සේ නෙළුම් මලෙන් නෙළුම් මලට වැඩම කරවමින් ප්‍රධාන ඇමතිවරයාගේ කරතලය මත වැඩ හිඳ සුදු බුදුරැසින් හාත්පස ආලෝකවත් කරන්නට වුණා. රජු එ් බව අහලා වහා එතැනට ඇවිත්, තමන් කළ සියලු නොමනාකම්වලට සමාව ඉල්ලා රාජකීය ඔටුන්න මතට වැඩම කරවන ලෙස දළදා වහන්සේට ආරාධනා කළා. දළදා වහන්සේ බුද්ධ ප්රභාවන් නිකුත් කරමින් රජුගේ ඔටුන්න මතට වැඩම කළා.
දන්ත, හේමමාලා ලද මහා දායාදය
පඬි රජු විසින් දඹදිව දෙවන දළදා මැඳුර රනින්, මැණිකෙන් කරවා දළදා වහන්සේව රාජ්‍යයෙනුත් පුද දුන්නා. දළදා වහන්සේව පැහැර ගන්න උත්සාහ කළ ඛීරධාර රජුවත් පැරදෙව්වා. ඔහු දසරාජ ධර්මයෙන් රට පාලනය කළා. අවසන රාජ්‍යය පුතුටත්, දළදා වහන්සේව ගුහසීව රජුටත් බාර දුන්නා.
ගුහසීව රජු නැවත කලිඟු රටට ඇවිත් දළදා පූජාවන් පවත්වන්නට යෙදුණා. ඔය අතරෙ කොසඹෑ නුවර උදේනි රජපුත් වූ දන්ත කුමරුවන් දළදා වහන්සේ කෙරෙහි පැහැදුණු සිතින් යුතුව කලිඟු රටට පැමිණියා. ඔහු රජු පහදවාගෙන දළදා වහන්සේට නොයෙකුත් පුද සත්කාර කරමින් කල් ගෙව්වා. රජු දන්ත කුමරු ගැන සියලූ පුවත් දැනගෙන රාජකීය වූ තම පවුලට ම ගැළපෙන ඔහු හට සිය දියණිය වූ හේමමාලා කුමරිය විවාහ කර දුන්නා. ධාතු රක්ඛකාධිකාරී තනතුරත් භාර දුන්නා.
ඛීරධාර රජුගේ බෑණා මෙවර ගුහසීව රජු හා සටනට ආවේ දළදා වහන්සේගේ අයිතිය වෙනුවෙනුයි. තම දිවි ගියත් දළදා වහන්සේ අනෙකෙකුට ලබා දෙන්න අකැමැති වුණ ගුහසීව රජු එකල සදහම් ඓශ්චර්යයෙන් ශෝභමානව තිබුණ ලක්දිව රජකම් කළ සිය හිතමිතුරු මහසෙන් රජුට දළදා වහන්සේව භාර දෙන්නට දන්ත – හේමමාලා යුවළට උපදෙස් දී යුද්ධයට ගියා. එයින් ගුහසීව රජු පැරදුණා.
රජු පැරදුණ බව දැනගත් දන්ත – හේමමාලා දෙදෙනා බමුණු වෙස්ගෙන, ගම් දනව් දුරු කතර ගෙවාගෙන, ලක්දිව ගමනට පිටත් වුණා. දළදා වහන්සේට අනතුරක් වෙයි කියන සැකය නිසා ඔවුන් බොහොම ප්‍රවේශමෙන් තමයි මේ ගමනේ යෙදුණේ. දෙදෙනා ගං තෙරකට ඇවිත් වැලි තලයේ වැලි සෑයක් තනා දළදා වහන්සේව එහි සඟවාගෙන වාසය කළා. වැල්ල ඉක්මවා පැතිරුණ සුදු බුදුරැස් දැකලා සෘද්ධියෙන් අහසින් වැඩම කරමින් සිටි රහතන් වහන්සේනමක් දෙදෙනා සමීපයට වැඩම කළා. සියලූ කරුණු විමසා දැනගත් උන්වහන්සේ දළදාව රැගෙන යන මේ ගමනේ යම් උවදුරක් ගැහැටක් වුවහොත් තමන් වහන්සේව සිහිපත් කරන්න කියා උපදෙස් දී නො බියව ගමන පිටත් වන්නට අවවාද කළා.
දන්ත කුමරුත්, හේමමාලා කුමරියත් ලක්දිව කරා යන නැවක් බලාපොරොත්තුවෙන් තාම්රලිප්ත නම් නැව් තොටට ආවා. මේ මොහොතේ රැස් විහිදුවන දළදා කරඬුව දැකපු පණ්ඩුහර කියන නා රජු ඉමහත් සතුටින් දළදා වහන්සේ සහිත කරඬුව ගිල දමා, නාග භවනයට රැගෙන ගිහින් පූජා පවත්වන්නට වුණා.
දළදා වහන්සේගේ වියෝවින් තැවෙන රාජකීය යුවළ අර රහතන් වහන්සේව සිහිපත් කරලා උපකාර ඉල්ලා සිටියා. ගුරුළු වෙසක් ගෙන නා රජුව දමනය කරලා සම්බුද්ධ ශාසනය පිහිටන ලක්දිව කරා ගෙන යන්නට දළදා වහන්සේ නැවත ඉල්ලා ගත් එ් රහතන් වහන්සේ සධාතුක කරඬුව දන්ත – හේමමාලා යුවළට යළි භාර කළා.
උත්තම මුනි දළදා වඩම්මන මොක්පුර රන් නෞකා……
එවිටයි හේමමාලා කුමරියගේ කෙස් කළඹේ සඟවා ගත් දළදා වහන්සේ සමඟ ඔවුන් නැව් නැංගේ. නාගයින්ගේ සියලු බාධා කිරීම් මහරහත් අනුහසින් මැඩපැවැත්වූ නිසාවෙන් ඔවුන් එක් දිනෙකින් ම ලක්දිව ‘මහාතිත්ථ’ තොටුපළට ගොඩ බැස්සා. ඔවුන්ට එහි දී දැන ගන්නට ලැබුණෙ මහසෙන් නිරිඳු අභාවයට පත් වුණ බවයි. කම්පා වුණ ඔවුන් දෙදෙනා මහසෙන් රජුගේ පුත් කිත්සිරි මේඝවර්ණයන් තිසරණයෙහි පිහිටා ලක්දිව දැහැමිව රජකම් කරන බව අසා යළි සතුටට පත් වුණා. දෙදෙනා දුරු කතර ගෙවා වන්නිමාවේ (අද වවුනියාව) මේඝගිරි විහාරයට ඇවිදින් ආර්ය සංඝරත්නයට දළදා වහන්සේව භාර දුන්නා.
මේ බව කන වැකුණු සැණින් කිත්සිරිමෙවන් රජු යස ඉසුරු ලැබූවෙකු ආකාරයෙන් දළදා වන්දනාවට පැමිණියා. ‘මේ අපගේ ශාස්තෘන් වහන්සේගේ දළදා වහන්සේ ම නම් මහා පෙළහර පෑ යුතු වන්නේ ය’ කියලා රජු හිතනවත් සමඟ ම දළදා වහන්සේ ලක්දිව දාඨා ප්‍රභාවෙන් එ්කාලෝක කරමින් පෙළහර පාන්නට වුණා.
එවර රජු ඉමහත් සතුටින් දළදා වහන්සේව ලංකා රාජ්‍යයෙන් පුද දුන්නා. එදා පටන් ලංකා රාජ වංශයේ අවසානය දක්වා ම දළදා වහන්සේගේ හිමිකරුවා තමයි රටේ පාලකයා බවට පත් වුණේ.
දැනුදු මහා ඓශ්චර්යයන් සහිත ව සෙංකඩගලපුර දළදා මැදුරේ වැඩ වෙසෙමින් සැමට සෙත සළසන්නා වූ එ් වාම ශී‍්‍ර දළදා වහන්සේට අපගේ නමස්කාරය වේවා!
දන්ත කුමරු හා හේමා කුමරිය සිරසින් ගෙන වඩිනා
රාජ සුපූජිත දළදා මැදුරේ සුවසේ වැඩ සිටිනා
රන් විමනක රන් කරඬුව තුළ සිට සුදු බුදුරැස් දිලෙනා
මම් නමඳිම් වම් දළදා සමිඳුන් දොහොත් නඟා බැතිනා
සාදු! සාදු!! සාදු!!!
කවි පද උපුටාගැනීම – පූජ්‍ය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත පින් මතුවෙන වන්දනා ග්‍රන්ථයෙන්
සිරි දළදා වරුණ
උදුලා පද්මාවතී
udula padmawathi mahathmiyani obata godak pin mevani pinkamak karata ..deergausha budusaranai..