මේ ජීවිතය තුළ අපි බොහෝ තැන්වල නැවතී ඇත්තෙමු. ස්ත‍්‍රී පුරුෂයන් ළඟ, රැකී රක්ෂාවල, ආගමික, දේශපාලන, සමාජයීය මතිමතාන්තරවල අපට නවාතැන් ලැබී ඇත. සසර පුරා ම අප මෙවැනි බොහෝ තැන්වල නැවතී සිටියවුන් ය. නැවතී සිටියා කියා කීවාට සැබැවින් ම සිදු වී ඇත්තේ ගමනේ යෙදීමක් මිස නැවතීමක් නො වේ. එනිසා අප තවමත් සසරේ ය.

සසරෙන් මිදෙන මඟ කියන කල්‍යාණමිත‍්‍රයන්ගේ හමුවීම ලෝකයේ දුර්ලභ ය. කල්‍යාණමිත‍්‍රයා හඳුනාගත්, එ් ඇසුර මහත් සේ ප‍්‍රිය කරන, එ් ඇසුරේ හික්මෙන සත්පුරුෂයන්, ඇවිදින සසර නවතන මඟට බැසගනිති. ‘කසාවත’ අපට පසක් කරන යථාර්ථය එය යි.

බිනර නවමල් බණ්ඩාරගේ මේ නවාතැන වෙනුවෙන් මඟ බලා සිටින සද්ජනයෙනි, මේ සොඳුරු දහම් පඬුරෙන් රැස් වූ සියලූ පුණ්‍යධර්මයන් ඔබට ද අනුමෝදන් වෙත්වා! එ් අමා නිවන් සුව දුර නො වේවා! මේ, කසාවත අවසන් දිගහැරුම යි.

————————————————————

‘ගෞතම බුදු සසුන බබළවන පිරිසක් බිහිවේවා..’ යන අදිටනින් ඇරඹූ දහම් යාත‍්‍රාවට කසාවත් දරාගත් තවත් සඟ පිරිසක් එකතු වූ අන්දම සියැසින් ම දැක බලා මම සතුටට පත් වූයෙමි. විවිධාකාර නම් ගොත් කුල ගෝත‍්‍ර රැුකී රක්ෂා ධන නිර්ධන ආදි තරාතිරම් අත්හැර දමා කසාවත් දරා ගත් සුපින්වතුන් වහන්සේලා ගුණධර්මයන් ම සොයා යන නිර්මල ගමනක් වෙනුවෙන් මුළු මහත් ජීවිතය ම කැප කොට ශ‍්‍රමණ භාවයට පත් වීම, විටෙක මා සිත පුදුමයට පත් කළේ ය. පංච කාමයන් ඉතා මිහිරි ලෙස ලැබෙන වත්මන් යුගයේ එ් සියලූ කාම සම්පත් හැර දමා නිරාමිසය සහ නෙක්ඛම්මය සොයා යාමට තීරණය කිරීම පවා කොයි තරම් නම් දුෂ්කර ද! එවන් දුෂ්කර පැවිද්දක් ලද මා මිත‍්‍ර අනන්ත තරුනෙත් අද පටන් ගෞතම බුදු සසුනේ පැවිදි බව ලැබූ උතුම් භික්ෂුන් වහන්සේනමකි. සාදු සාදු…! එය සිහි කිරීම පවා මා හට සැපයකි.

කසාවත පිටින් පවුකම් කරන්නෝ ගිහි පාර්ශවයෙන් සම්මාන ලබද්දී කසාවත හැර දමා ගිහි බවට පත් වන්නන් පමණක් නින්දාවට ලක් කිරීමට පුරුදුව සිටින සමාජයක්, තරුණ කාලයේ දී ම කසාවත දරාගෙන නිවන සොයා යාමේ ආනිශංස දකින්නේ ද ඉතා ම අල්ප වශයෙනි.

ඉපදීම, මල්වරය, විවාහය, දරු උපත මෙන් ම මරණය ද අති සංවේදී අවස්ථා බවට පත් වුවත්, සංසාර සැඩ පහරින් නිදහස් වීමේ අදිටනින් උඩුගං බලා පිහිනන පින්වතුන් වහන්සේලාගේ ජීවිත සමාජයට සංවේදී නොවීම ම බුදු සසුනේ පරිහානියට හේතු වී ඇත. දරුවෙකු කසාවත දරාගත් විට සමාජයට එය ‘හතර කේන්දරය පාළු වීමකි’… ‘මව්පියන්ගේ දිළිඳුකම නිසා ගත් තීරණයකි’. තරුණයෙකු හෝ තරුණියක කසාවත දරාගතහොත්, සමාජය කසු කුසු ගාන්නේ ‘ගෙදර ප‍්‍රශ්න ඇති’… ‘ආදරයෙන් පැරදිලා වෙන්න ඇති’… ‘රස්සාවක් නැතිකමට වෙන්න ඇති’ ආදි වශයෙනි. වැඩිමහල්ලෙකු කසාවත දරාගතහොත් ‘මැරෙන්න කලින් කාලා බීලා ඉන්න තැනක් හොයාගත්තා’ යැයි සමාජය විසින් හීන ලෙස දකියි. නමුත්, යම් භික්ෂුවකට අල්පමාත‍්‍ර හෝ වරදක් සිදු වුවහොත්, මුළු මහත් සමාජය ම බුද්ධ ශාසනයට ද නින්දා කරමින් සති ගණන් එ් පිළිබඳ ව කතා බස් කරති. එනමුත්, භික්ෂු ජීවිතයක් ගත කරමින් දුක සේ ගුණධර්ම දියුණු කිරීම ගැන සිහි කරමින් දස කතාවේ යෙදෙන්නට සමාජයට හිතෙන්නේ වත් නැත. එයට හේතු ව නම්, සත්‍යය වැසී යන පරිදි මුල්බැසගෙන තිබෙන ප‍්‍රමාදයත්, මසුරුකමත් ය.
එ් නිසා ම, වර්තමානයේ මිනිසුන්ට සංවේදී වන්නේ භික්ෂුවකගේ සටනත් දිනුමත් නො ව උන්වහන්සේගේ අල්පමාත‍්‍ර හෝ පරාජය යි. කිසි දා පරාජය නො වන්නේ සටන් නො කර පරාජය භාරගත් හීන වීරිය ඇත්තන් ය. ජය ලැබූ සියල්ලෝ සටන් කළවුන් ය. සසුන තුළ ජය ලද්දෝ පරාජයේ වේදනාව ද හොඳින් හඳුනති.

‘‘බිනර…! මොනව ද කල්පනා කරන්නේ…?”

සුපුරුදු කටහඬකින් මා ඇමතූ බැවින් මම සැණෙකින් හිස හරවා ආපසු බැලූවෙමි. වෙන කිසිවකු නොව, එ් මා මිත‍්‍ර ස්වාමීන් වහන්සේ ය. කළු ගලක් මත හිඳගෙන සිතිවිලි වැල් ඔස්සේ එ් මේ අත යමින් සිටි මම ප‍්‍රකෘති ලොවට සිහි එළඹවාගෙන දෙදණ බිම ඔබා පින්වත් ස්වාමීන් වහන්සේට වන්දනා කළෙමි.

‘‘ඕකාස වන්දාමි භන්තේ…”

‘‘පින්වත් ස්වාමීන් වහන්ස, මම කල්පනා කළේ පැවිද්ද ගැන. එ්ක කොයිතරම් දුෂ්කර ද… උතුම් ද…! එ්ත් මිනිසුන්ට එ් පැවිද්දේ ගුණ දකින්න බෑනේ. මිනිස්සු හැම තිස්සේ ම බලන්නේ ස්වාමීන් වහන්සේනමකගේ වරදක් පමණයි…”

‘‘බිනර… එ්ක පැවිද්දන් වශයෙන් අපිට වාසියක් බිනර…”

‘‘වාසියක්…? ස්වාමීන් වහන්ස මට වැටහුණේ නෑ.”

‘‘මිනිසුන් පැවිදි අපේ අඩුපාඩු විවේචනය කරන්නේ නැත්නම්, මිනිසුන් අතරේ එ් සියල්ල සාමාන්‍ය දේවල් බවට පත් වුණොත් එ්ක අපේ පැවිද්දට අනතුරක්. අපේ සමාජයේ මිනිසුන් පැවිද්දන්ගේ අඩුපාඩු සොයන නිසා ම අපිට සංවර වෙන්න පුළුවන්කමක් තියෙනවා. පුංචි අඩුපාඩුවක් හරි විවේචනය කරන බව අපි දන්න නිසා අපි බොහොම සංවර ව ඉන්න පුරුදු වෙනවා.

නමුත්, නවක වැඩිහිටි බේදයකින් තොර ව පැවිදි අය ගැන සිත අපහදවගන්න ගිහි පිරිස නම් ශාසනය තුළ පිරිහිලා යනවා. නිවනින් විතරක් නෙවෙයි සුගතියෙනුත් ඈත් වෙනවා. එ් නිසා එ් දේ ගිහි පිරිසට නම් වාසියක් වෙන්නේ නෑ.”

‘‘ඉතින් විවිධාකාර ප‍්‍රශ්න එද්දී ස්වාමීන් වහන්සේලාට හිතෙන්නෙ නැද්ද… ගිහි ව හිටිය නං මේ ප‍්‍රශ්න නෑ නේ කියලා…”

මිත‍්‍ර ස්වාමීන් වහන්සේගෙන් මා ඍජු ව ම එසේ විමසුවේ එවන් වදන් මා ඇතැම් අවස්ථාවල ස්වාමීන් වහන්සේලාගේ ම මුවෙන් අසා ඇති නිසා ය.

‘‘එහෙම හිතෙන අයත් ඉන්න පුළුවන් බිනර. එ්ත් ප‍්‍රශ්න නැතිකම නිවනට පහසුවක් වෙන්නෙ නෑ. මේ ගමනට කලකිරීම එකතු වෙන එක වාසනාවක්. එතකොට අපිට එ් දේවල් ගැන හිත පිහිටන්නේ නෑ. එතෙර වීමේ කැමැත්ත ම යි වැඩෙන්නේ. සිව්පසය බෙදාගැනීම ගැන අර්බුදයක් නිසා කලකිරීමක් ඇති වුණොත්, සිව්පසයේ හිත පිහිටව ගන්නෙ නැතුව එ් ප‍්‍රශ්නය සිව්පසයේ ආදීනවයක් ලෙස දැකලා නෙක්ඛම්මයේ යෙදෙන්න පුළුවන්. නින්දා අපහාස නිසා කලකිරීමක් ඇති වුණොත්, අනිත්‍ය වූ කීර්ති ප‍්‍රශංසාවේ හිත පිහිටුවගන්නේ නැතුව නෙක්ඛම්මයේ යෙදෙන්න පුළුවන්. ජාති ජරා ව්‍යාධි මරණ සහ තුන්කාලයේ විපාක වශයෙන් ලද දුක්ඛ ස්වභාවය මෙන් ම ආහාර සෙවීමේ දුක කියන සංවේග වත්ථු ආදිය ගැනත් එහෙමයි හිතන්න ඕන. කලකිරීමෙන් තොර, සනීපෙන් සතුටින් ඉන්න පුුළුවන්කමක් සිත පතනව නම් අපි දැනගන්න ඕන සිත මේ පතන්නේ පංච කාමය ම විය හැකියි කියලා. එ් නිසා සිහි කල්පනාවෙන් යුතු ව තෝරා බේරා ගන්න ඕන මේ නිරාමිස සුවයක් ද පතන්නේ එහෙමත් නැත්නම්, කිසි ප‍්‍රශ්නයක් නැති ව සනීපෙට සැපට ඉන්න පුළුවන් නිරාමිස වේශයෙන් එන පංච කාමය ම ද කියලා. පැවිද්දාට එන මුල් ම අභියෝග අතරේ පෙරමුණේ සිටින්නේ පංච නීවරණ සහ දස මාර සේනා යි. එ් නිසා හොඳ සිහි කල්පනාවෙන් කල්‍යාණ මිත‍්‍ර ඇසුරේ ම ඉඳගෙන ධර්මයේ ම පිළිසරණ ලබන්න ඕන බිනර. ඇෙඟ් දැවටෙන චීවරය කියන්නේ අමනුස්සයින්ගෙන් ආරක්ෂා වෙන්න දාන යන්තරයක් සුරයක් වගේ දෙයක් නොවෙයි. සීලයෙන් සහ ප‍්‍රතිපදාවෙන් ගිහි පිරිසගෙන් වෙන් ව වාසය කිරීමට ලැබෙන සංඥාවක් පමණයි. පැවිද්දට අයිති සියල්ල අපි විසින් සිහියෙන් නුවණින් වීර්යයෙන් දියුණු කර ගන්න ඕන.”

‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස, මට හොඳට ම පැහැදිලි වුණා…”

‘‘ඉතින් බිනර දැන් කොහෙද යන්නේ?”

මිත‍්‍ර ස්වාමීන් වහන්සේ විමසුවේ ය. ගිහි කල දී ‘අනන්ත’ ලෙස සිටින කාලයේ දී උන්වහන්සේ මුණ ගැසෙන්නට පැමිණි අවස්ථාවලවත් එ් අයුරින් විමසූ බවක් මා හට සිහිපත් නො වී ය. පැවිදි පින්කමෙන් පසු නම්, මා නිවසට යා යුතු ව තිබිණ. උන්වහන්සේ පැමිණෙන විටත් මා අසල වූ කළු ගලක් මත හිඳගෙන සිටි බැවින් යම් ගමනක යෙදී සිටි බවක් උන්වහන්සේට තේරුම් යාමට ද ඉඩක් නැත. එබැවින් එ් පැනයට දිය හැකි සුදුසු ම පිළිතුර දීමට මම උත්සාහ කළෙමි.

‘‘පින්වත් ස්වාමීන් වහන්ස… අකමැත්තෙන් ම වුණත් මම යමින් ඉන්නේ ජරා මරණය කරා. ජරා මරණ දුක් සෝ සුසුම්වලින් නිදහස් වෙලා විමුක්තිය දෙසට යන්න තමයි මගේ අදහස…”

‘‘එ් කියන්නේ බිනරට පැවිදි වෙන්න අදහසක් ආව ද?”

‘‘නැහැ පින්වත් ස්වාමීන් වහන්ස. මට පැවිදි වෙන අදහසක් ආවේ නෑ. මට තියෙන එක ම අදහස ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න ඕන කියන එකයි…”

‘‘හොඳයි. බිනර දැන් ම ගිහින් ගුරු දේවයන් වහන්සේ ව මුණ ගැහෙන්නකෝ. උන්වහන්සේ මේ වෙලාවේ ආවාසයේ ආලින්දයේ වැඩ සිටිනවා විය යුතු යි. එහෙනම්, තෙරුවන් සරණයි බිනර….”

මිත‍්‍ර ස්වාමීන් වහන්සේට වන්දනා කොට උන්වහන්සේට සමු දුන් මම සෙමෙන් සෙමෙන් ආවාසය කරා පිය මැන්නෙමි. අසල වූ පත්කඩයක් ද අතට ගත් මා උන්වහන්සේට නුදුරින් සිටගෙන සිටියේ මේ වන විටත් සංවාදයේ යෙදී සිටි කිහිප දෙනෙකු සිටි නිසා ය. මාගේ අවස්ථාව පැමිණෙන තෙක් මම ඉවසීමෙන් සන්සුන් ව සිටියෙමි.

‘‘ඔව් පුතා… මොකද?”

සංවාදයේ යෙදී සිටි පිරිස පිටව යද්දී ම පින්වත් ගුරුදේවයන් වහන්සේ හිස ඔසවා මා දෙස බලා ආමන්ත‍්‍රණය කළේ ය. මම උන්වහන්සේ වෙත ගොස් සීරුවෙන් පත්කඩය එළා ගාථාව කියා වන්දනා කළෙමි. ඉන් පසු පහසුවෙන් තැන්පත් වූ මම උන්වහන්සේ දෙස බලා දෑත් බැඳ ගත්තෙමි.

‘‘පින්වත් ගුරු දේවයන් වහන්ස, මම බිනර. බිනර නවමල්. මම අද පැවිදි වුණ අනන්තගෙ හොඳ ම යාළුවා. අනන්ත පැවිදි වෙන්න ආව දවසෙ ඉඳන් බොහෝ අවස්ථාවල මම අසපුවට ඇවිල්ලා සංඝයාගේ ඇසුර ලබාගෙන තියෙනවා. ධර්මය ශ‍්‍රවණය කරල තියෙනවා. ගුරු ගෞරවය උපදවාගෙන තියෙනවා. ගුණධර්ම සොයාගෙන යන්න පුරුදු වෙලා තියෙනවා…”

‘‘හොඳයි. ඉතිං…?”

‘‘ස්වාමීනී, මගේ හිතේ අදහසක් තියෙනවා. බලවත් කැමැත්තක් තියෙනවා. එ් දේ සම්පුර්ණ කරන්න පුළුවන් ගුරු දේවයන් වහන්සේට විතරයි…”

‘‘ඔව් කියන්න පුතා. පුතාට මහණ වෙන්න ඕන ද?”

‘‘නෑ… නෑ… පින්වත් ස්වාමීනී. මට අවශ්‍ය එ් දේ නෙවෙයි…”

‘‘එහෙනම්…?”

‘‘මට අවශ්‍ය පුංචි ම පුංචි ගුණධර්මයේ ඉඳන් බලවත් ම කුසලය දක්වා ම දියුණු කරගෙන, සියලූ පාපයන්ගෙන් නිදහස් වෙලා මේ සිතත් දමනය කරගෙන සියලූ දේ අතහැරලා තණ්හාව ක්ෂය කොට දුකෙන් තොර නිර්වාණය සාක්ෂාත් කර ගන්න යි පින්වත් ස්වාමීනී. මම එ් වෙනුවෙන් ඕන ම දෙයක් කරන්න කැමතියි. ගුරු දේවයන් වහන්සේ කළ යුතු නො කළ යුතු දේ මට පෙන්වා දෙන සේක්වා… මම එ් ආකාරයෙන් ම හික්මෙන්නට කැමතියි පින්වත් ස්වාමීන් වහන්ස…”

‘‘හිතන තරම් ලේසියෙන් එ් ගමන යන්න බෑ පුතා…!”

‘‘එහෙමයි පින්වත් ගුරු දේවයන් වහන්ස. මට ලේසියෙන් ඉක්මනින් යන්න ඕනත් නෑ. නමුත් මාර්ගයෙ ප‍්‍රතිපදාවේ යෙදෙන්න මම කැමතියි. එ් වෙනුවෙන් කළ යුතු දේ ගැන මට අවවාද අනුශාසනා ලැබේවා. මම ගුරු දේවයන් වහන්සේගේ සෙවණේ අවුරුදු හතරක් පහක් නෙවෙයි මරණය දක්වා ම හික්මෙන්නට කැමතියි ස්වාමීනී…”

‘‘නුගුණ හංගගෙන මායාකාරී ව ගුණ ප‍්‍රදර්ශනය කරන කෙනෙක්ට මේ ගමන අමාරුයි…”

‘‘එහෙමයි ස්වාමීනී. මගේ ජීවිතේ තියෙන වැරදි අඩුපාඩු සම්පූර්ණයෙන් ම ගුරුදේවයන් වහන්සේ ඉදිරියේ සංඝයා ඉදිරියේ ප‍්‍රකට කරන්න මම කැමතියි. පින්වත් ස්වාමීන් වහන්සේලා මා නිවැරදි කරත්වා…”

‘‘මේ දක්වා ඉගෙන ගත්ත දේවල්, හිතේ තියෙන විවිධ ආකල්ප, උගත්කම නිසා හෝ තමා දන්න කෙනෙක් පැවිදි වෙලා ඉන්නවා කියන කාරණා නිසා හෝ මාන්නය හදා ගත්තොත්…?”

‘‘පින්වත් ගුරු දේවයන් වහන්ස. මගේ එක ම රැකවරණය මගේ ශාස්තෘන් වහන්සේ යි. එතනින් එහාට පින්වත් ගුරු දේවයන් වහන්සේ යි.

ගුරු දේවයන් වහන්සේ මාගේ අඩුපාඩු දුටු දුටු තැන නිවැරදි කරත්වා. මම කිසි ම දෙයක් නොදන්න කෙනෙක් විදියට රළු ආකල්ප නැති කෙනෙක් විදියට මේ සසුන තුළ හික්මෙන්නට කැමතියි පින්වත් ස්වාමීන් වහන්ස…”

‘‘මුල දී ඔහොම කීවට කාලයක් යද්දි පිරිසත් එක්ක කයිවාරු ගසමින්, කාලය කන්න පටන් ගන්නවා. කතා බස්වල කිසි ම සාරයක් නෑ.

ධර්මය කතා කිරීමෙන් බැහැර වෙලා ඕපාදූප කේලම් විතරයි කටේ තියෙන්නේ…”

‘‘එහෙමයි පින්වත් ස්වාමීනි. වචනය හා සම්බන්ධ සියලූ ශික්ෂාපදයන් ආරක්ෂා කරගෙන දස කතාව තුළ රැඳෙන්න මම මහන්සි ගන්නම්. මගේ සිහිය පිට ගිය ඕනෑ ම මොහොතක පින්වත් ගුරු දේවයන් වහන්සේගේ රළු අවවාදයන්ගෙන් ම මා හික්මවන සේක්වා. එවිට එ් අවවාද හිතේ තියාගෙන මට තවත් වචනය සංවර කර ගත හැකියි…”

‘‘පැවිදි බව ලබපු සමහර අය බොහොම ලේසියෙන් ඉන්ද්‍රිය අසංවරකම නිසා දුකට පත් වෙනවා. විශේෂයෙන් කාමභෝගීන් වෙනුවෙන් හදපු විදුලි උපකරණ භාවිතයෙන් ඉක්මනින් ම අසංවර භාවයට පත් වෙනවා. සසරෙන් නිදහස් වෙන කෙනෙකුට බන්ධන කියන්නේ උගුලක් ම යි. ඉන්ද්‍රිය අසංවර වීම නිසා බොහෝ දෙනෙක් විවිධ බන්ධන හදා ගන්නවා. ඥාති බන්ධන, පේ‍්‍රම බන්ධන, දායක බන්ධන, ආවාස බන්ධන ආදි නොයෙක් දේවල්.”

‘‘පින්වත් ස්වාමීන් වහන්ස, අල්පේච්ඡ බව ම යි සැපය, සන්තුට්ඨිතාවය ම යි සැපය..! යම් තාක් ලොව දිනූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදි මහරහතන් වහන්සේලා වැඩ සිටියා නම්, උන්වහන්සේලා භාවිත කළ සරල සිව්පස උපකරණවලින් එහාට කිසිවක් මා කරා නො පැමිණේවා. මේ ගිහි භාවය බොහොම සංකීර්ණයි. පින්වත් ස්වාමීනී, මහා සංඝයාගේ සරල බව සැපයක්. බන්ධන අවම පැවිදි දිවියෙන් මගේ ඉලක්කය පහසු කරවන්නට මම කැමතියි ගුරු දේවයන් වහන්ස…”

‘‘පුතාගෙ අරමුණ මහණකම ම නෙවෙයි. ප‍්‍රධාන ඉලක්කය විමුක්තිය යි. එ් වෙනුවෙන් මහණකම වුණත් දරාගන්න කැමතියි කියල නේ ද මේ කිව්වේ…?”

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස…”

‘‘පැවිදි වුණා කියන්නෙ රේස් එකක් දුවන්න පටන් ගන්නව වගේ හදිසි වෙලා යන ගමනක් නෙවෙයි. හොඳට වත් පිළිවෙත් කරලා පින් කර ගන්න ඕන. මොකද අපිට මේ යුගයේ පෙර පින මදි. ඊ ළඟට බුද්ධ දේශනා හොඳට ඉගෙන ගන්නත් ඕන. ගුරුවරයාට සංඝයාට කීකරු ව වාසය කරන්නත් ඕන. එ් වගේ ම සිව්පසය හොඳට ප‍්‍රත්‍යවේක්ෂා කරල අලසකමින් මිදිලා පුරුදු කළ යුතු දෙයක් මේ පැවිදි දිවිය.

ශ‍්‍රමණයෙකු බවට පත් වෙනවා නම්, අතරමග දී ශ‍්‍රමණ ආකල්ප ලිහිල් වෙන්න දෙන්න බෑ. මරණය දක්වා ම පැවිදි දිවිය පවත්වන්න කැමැත්තක් තියෙන්න ඕන…”

‘‘එහෙමයි ස්වාමීන් වහන්ස… බලවත් ව එ් අදහසේ සිටින්නට මම උත්සාහ කරන්නම්…”

‘‘හොඳට සිල් රකින්න ඕන. කල්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රයෙන් ධර්මයේ ආරක්ෂාවෙන් මේ අදහස් වෙනස් කර ගන්නේ නැති ව හැමදා ම පවත්වන්න ඕන. නැත්නම් වයසින් පරණ වෙද්දී, මේ කියන දේවල් අමතක වෙලා ලාබ සත්කාර කීර්ති ප‍්‍රශංසා කියන පංච කාමය ම සොයාගෙන යනවා. වීර්යයෙන් යුක්ත ව කටයුතු කරන්න ඕන. බුද්ධ ශාසනයට ජීවිතය පූජා කරල ම මේ තීරණය ගන්න එකයි හොඳ…!”

‘‘සාදු සාදු සාදු පින්වත් ගුරු දේවයන් වහන්ස. එය එසේ ම වේවා…”

‘‘සසරේ යන්න අපි කොයි තරම් අධිෂ්ඨාන කරල ඇද්ද..! එ් වගේ ම අපේ ජීවිතේ කී දෙනෙක්ට නම් පරිත්‍යාග කරල ඇත්ද..!! ගෑනු වෙලා ඉපදිලා පිරිමින්ට මේ ජීවිතේ දීලා ඇති. එ් පිරිමියා වෙනුවෙන් ම ඉපදේවා කියල පතලත් ඇති. පිරිමි වෙලා ඉපදිලා ගෑනුන්ට මේ ජීවිතේ දීලා ඇති. එ් ගැහැනිය වෙනුවෙන් ම ඉපදේවා කියල පතලත් ඇති. ඉතින් පුතාට අවශ්‍ය නම් සසරෙන් එතෙර වෙන්න, මේ විදියෙ අතීත සංස්කාරත් අතෑරලා අනාගත සසරේ සැකසෙන්න නියමිත කාම බන්ධනත් අතෑරලා සසර වසනා තුරු යම්තාක් ජීවත් වේ ද එ් සමස්ත සාංසාරික ජීවිතය ද මේ භවයේ කේසාන්තයේ සිට පාදාන්තය දක්වා වූ ශරීරයත් ගෞතම බුද්ධ ශාසනයට පූජා වේවා කියල අධිෂ්ඨාන කර ගන්න ඕන. මේ අදහස නිතර ම හිතේ තියෙන්න ඕන. කපාපු කෙස් වැවෙනවා වගේ නිතර නිතර සිහිපත් වෙන්නත් ඕන…”

‘‘එහෙමයි පින්වත් ගුරු දේවයන් වහන්ස. සමස්ත සාංසාරික ජීවිතයත් මේ භවයේ කේසාන්තයේ සිට පාදාන්තය දක්වා වූ කයත් දිවියත් ගෞතම බුද්ධ ශාසනයට පූජා වේවා… පූජා වේවා… පූජා වේවා…”

තුන් වරක් ම ගුරු දේවයන් වහන්සේගේ පා මුල වැඳ වැටී මා දිවිය සසුනට කැප කළෙමි.

‘‘හොඳයි. පුතා ශ‍්‍රද්ධාවෙන් ම මේ අදහස් හිතේ තියාගන්න. යම් මොහොතක පැවිද්දට සූදානම් ද පුතාට ඇවිත් නවතින්න පුළුවන්… සුවපත් වේවා…!”

ගුරු දේවයන් වහන්සේට වන්දනා කළ මම උන්වහන්සේගෙන් සමුගෙන ආවාසයෙන් බැහැරට පැමිණියෙමි. මාගේ එක ම අරමුණ පැවිදි වීම නොව නිවන සාක්ෂාත් කිරීම යි. එ් අරමුණ වෙනුවෙන් ගිහි දිවියට වඩා පැවිදි දිවිය තුළ විශාල උපකාරයක් සහ පහසුවක් පවතින බව මම දුටුවෙමි. නමුත්, පැවිද්දා ද ගිහියෙකු මෙන් සංකීර්ණ වුවහොත්, කාමභෝගී වුවහොත් එ් පැවිද්ද ද සසර පිණිස ම පවතී. එබැවින් පින්වත් ගුරු දේවයන් වහන්සේගේ අනුශාසනා මැද බුදුරජාණන් වහන්සේ විසින් ම අනුමෝදන් වූ ගුණධර්මයන්ගෙන් පිරුණු පැවිදි දිවියක් සකසා ගත යුතු ව ඇත.

ජරා මරණයන්ගෙන් නිදහස් වීම පිණිස අප කෙතරම් නම් කැමැත්තෙන් සිටිය ද ලෝකයෙන් මිදී හුදෙකලා වීමට අප කෙතරම් නම් කැමැත්තෙන් සිටිය ද එ් සඳහා අපට ඇති ප‍්‍රධාන ම බාධකය නම්, ලෝකය විසින් අපට බැඳී සිටීම යි. එ් බන්ධනය, දරුවන්ට මාපියන්ගේ බන්ධනය සේ ද පෙම්වතාට පෙම්වතියගේ බන්ධනය සේ ද ස්වාමියාට භාර්යාවගේ බන්ධනය සේ ද විවිධාකාර වෙස් ගනී. එලෙස ම තම සතුරා සසරින් එතෙර වනු ඇතැයි බියෙන් සාංසාරික සතුරෝ ද අමනුෂ්‍යයන් ලෙස ලූහුබැඳ විත් මාර්ගය අවහිර කරවයි. සාංසාරික බන්ධන සහිත ව මිය ගොස් මතු භවයක නැවත හමු වීමට පොරොන්දු වී සිටි අය ද අමනුෂ්‍යයන් වී පැමිණ අප කෙරෙහි තණ්හාවෙන් සසරින් එතෙර වීමට නො දී විවිධ බාධා පමුණුවයි. එබැවින් අභ්‍යන්තර ප‍්‍රශ්න සේ ම බාහිර බලපෑම් ද නො අඩු ව මා කරා පැමිණෙනු ඇති බව මම හොඳාකාරව ම දැන සිටියෙමි.

සුත්ත නිපාතයේ ධනිය සූත‍්‍රයේ අවසානයේ දී ධනිය ගොපල්ලාට පැවිදි බව ලැබුමට කැමැත්ත ඉපදුණු සැණින් ම එ් කැමැත්ත නසාලීමට පවිටු බලවේගයක් හරස් වූ ආකාරය මා කියවා ඇත්තෙමි. එපරිද්දෙන් ම, මා දැන හඳුනාගත් ඇතැම් තරුණයන් ඇතැම් තරුණියන්, කෙසේ හෝ පැවිදි බවට පත් වන්නේ ය යන අදහසින් යුතු ව සිටිය දී ම විවාහ බන්ධන සකසාගෙන දරුවන් ද කරපින්නා ගෙන අතීත සසරට පුරුදු බෙර පදය ම වයමින් සිටිනු මම දැක ඇත්තෙමි. පැවිද්දා මෙන් ම, පැවිදි බවට කැමැත්තෙන් සිටින කෙනා ද බලවත් ව ප‍්‍රවේශම් විය යුත්තේ එබැවිනි.

සසර පෙනෙන තරම් සුන්දර නැත. ලැබෙන සැපයට වඩා කෝටි ප‍්‍රකෝටි ගණනක දුක් ගින්නක් එහි සැඟව පවතී. එමෙන් ම, සසරින් එතෙර වීම ද පෙනෙන තරම් සුන්දර නැත. නමුත් එතෙර වීම වෙනුවෙන් දරන්නට සිදුවන දුකට වඩා කෝටි ප‍්‍රකෝටි නො ව, ගණනින් කියා නිම කළ නො හැකි ශාන්ත ප‍්‍රණීත නිවනක් ඔහුට සාක්ෂාත් කළ හැකි ය.

ගණන් කළ නො හැකි තරම් කාලයක් කල්ප ගණනින් බුද්ධෝත්පාදයක් වෙනුවෙන් ප‍්‍රඥාවන්තයෝ මඟ බලා සිටිති. නමුත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවමාන යුගය අප හට මඟ හැරී ගියේ ගණන් කොට අවසන් කළ හැකි තරම් සුළු කාලයක් වන වසර දෙදහස් පන්සිය හැටකින් ය. ජීවමාන බුදුරජුන් නො සිටියත් එ් ශ‍්‍රී සද්ධර්මය ජීවමාන නිසා අප එ් තරම් ම අවාසනාවන්ත ද නැත. මිහිඳු මහරහතන් වහන්සේ ද ජීවමාන බුදුරදුන් නො දැක ජීවමාන ශ‍්‍රී සද්ධර්මයෙන් පිහිට පිළිසරණ සලසා ගත් මුනිවරයෙකි. එසේ නම්, අප ඉදිරියේ ඉතිරි ව ඇත්තේ අප‍්‍රමාදී ව කුසල් දහම් වැඞීම ම නො වේ ද!

විවිධාකාර මතිමතාන්තර තිබුණත්, මා හට සුජාත උපතක් ලබා දී හොඳින් සිප් සතර හදාරවා දිවි මඟ පහන් කරවූ මාපියන්ගේ අනුමැතියකින් තොර ව කසාවත දරාගත නො හැකි බව මම දැන සිටියෙමි. එබැවින්, අප‍්‍රමාදී ව මාපිය අවසරය ලබාගෙන මුනිවරුන්ගේ සෙවණ කරා පැමිණිය යුතු ව ඇත. සුපින්වත් ගුරුදේවයන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබමින් මේ උතුම් දහමේ හික්මෙන්නේ කවදාදැයි සිත තුළ බුර බුරා නැගී එන විතර්කයකි. යම් දිනක මාපියන්ගේ අවසරය ලැබෙන තෙක් ම නිවසේ වාසය කරමින් කළ යුතු වැඩිය යුතු ගුණධර්ම වැඞීමට මම අදිටන් කර ගතිමි. මාපියන් මා කෙරෙහි ස්නේහවන්ත ය. මා හදිසි වුවහොත්, අනුවණ වුවහොත්, ඔවුන් මා කෙරෙහි උපන් තණ්හාවෙන් යුතු ව තම දරුවා අහිමි වේදෝ යන බියෙන් ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝයාටත් බැණ වැදී මහා පාපයක් රැුස්කර ගනු ඇත. එ් නිසා ඔවුන් කෙරෙහි ද කරුණාවෙන් මා ඉවසිය යුතු ය. යම් දිනක මාගේ අපේක්ෂාව වෙනුවෙන් අවසර ලැබේ ද එ් දිනයේ මාගේ අභිනිෂ්ක‍්‍රමණය වනු ඇත. නමුත් එ් දිනය දක්වා මාපියන් හා මුසුප්පු වී නො සිට, ඔවුන් කෙරෙහි ද කරුණාව මෛත‍්‍රිය උපදවාගෙන නිවසේ සිට ම ගුණධර්ම වඩන්නට හැකි තරම් ස්වාක්ඛාත ධර්මයක් මා හට මුණ ගැසී ඇත.

සියලූ ගිහි බැඳුම් හැරදමා සසුන් ගත වීමට පැමිණෙන දිනයේ දී මාළිගාවේ නිදා සිටියවුන් අවදි වේයැයි බියෙන් කුර මත අත් තබා නිහඬ ව ම කන්ථක අසු පිටින් බෝසතාණන් වහන්සේ හට අබිනික්මන් කිරීම වෙනුවෙන් උපකාර කිරීමට දෙවිවරුන් ඉදිරිපත් වුව ද බෝසතාණන් වහන්සේගේ පුණ්‍ය බලයෙන් සියලූ අධිෂ්ඨාන සම්පුර්ණ වුව ද අල්පමාත‍්‍ර පිනකින් යුක්ත අප හට එ් සියලූ අරමුණු වෙනුවෙන් බොහෝ වෙහෙස වීමට සිදු වනු ඇත. එ් උතුම් බලාපොරොත්තුව පෙරදැරි කරගෙන ? බෝ වීමත් සමඟ භාවනා අසපුවෙන් මම පිටව ගියෙමි. මෙය පිට ව යාමක් වුව ද සමුගැනීමක් වුව ද මේ සමුගැනීම තවත් උතුම් ආරම්භයකට හේතු සකස් කරනු ඇත. එ් උතුම් ආරම්භය වෙනුවෙන් අපේක්ෂාවේ දෑස් දල්වා මම මග බලා සිටින්නෙමි. ලද පින අවසන් නො වුව හොත්, කල්ප සියයක් තුළ පහළ වූ සත් බුදුරජාණන් වහන්සේලාගේ සත් වෙනි බුද්ධ මුනි වූ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෙකු වශයෙන් දිවි ගෙවීමටත්, ගුණධර්ම වැඞීමටත්, ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඞීමටත් මා හට වාසනාව උදාවනු ඇත.

ඇඟිල්ලෙන් පෙන් වූ
සඳ දෙස බලන්න.
ඇඟිල්ල දෙස නො බලන්න.
ඇඟිල්ල ගැන නො සොයන්න.
මේ ශ‍්‍රී සද්ධර්මය
ජීවමාන යි…!
එ් බව පමණක් අකුරු කරන්නෙමි.

මහාමේඝ 2016 ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

මතක සටහන
ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.
SMS Only – 077 063 08 68

– කොටස් 24කින් ඔබ වෙත දිගහැරුණු ‘කසාවත’ නවකතාව මෙතෙකින් සමාප්තයි –