අද අපි ඉගෙනගන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ තවත් වැදගත් භාවනාවක්. එ් තමයි සිහිනුවණින් යුතුව ඉරියව් පැවැත්වීම නම් වූ කායානුපස්සනාවට අයත් ඉරියාපථ භාවනාව. සාමාන්‍යයෙන් ‘‘සක්මන් භාවනාව” කියා ව්‍යවහාර කළත් මේ භාවනාව සෑම ඉරියව්වකට ම අදාළයි. භාග්‍යවතුන් වහන්සේ එ් ගැන පෙන්වා වදාළේ මේ ආකාරයෙනුයි.

‘‘පින්වත් මහණෙනි, සද්ධර්මය අවබෝධ කරනු කැමති ශ‍්‍රාවකයා ඉතා හොඳ සිහි කල්පනාවෙන් ගමන් කරන විට ගමන් කරමියි මනා කොට දැනගනියි. නැවතී සිටින විට නැවතී සිටිමියි මනා කොට දැනගනී. හිඳගෙන සිටින විට හිඳගෙන සිටිමියි මනා කොට දැනගනී. සැතපී සිටින විට සැතපී සිටිමියි දැනගනී. ඔහුගේ කය යම් යම් ආකාරයෙන් ම මනා කොට දැනගනී. (ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. ඨිතෝ වා ඨිතෝම්හීති පජානාති. නිසින්නෝ වා නිසින්නෝම්හීති පජානාති. සයානෝ වා සයානෝම්හීති පජානාති. යථා යථා වා පනස්ස කායෝ පණිහිතෝ හෝති. තථා තථා නං පජානාති.)

තමන්ගේ ඉරියව් පැවැත්වීමේ දී පූර්ණ අවධානය යොමු කරමින් කල් ගෙවීම මින් අදහස් කෙරෙනවා. ඉතා බලවත් ව සිහිය දියුණු කර ගැනීමට මෙම භාවනාව මහෝපකාරී වනවා. සාමාන්‍යයෙන් කෙනෙකු කොපමණ කායික ඉරියව් පැවැත්වුව ද එ් කෙරෙහි යොමු කළ කල්පනාවක් නැහැ. සිත පවතින්නේ බාහිර අරමුණක විසිරිලයි. යම් හෙයකින් තම කය කෙරෙහි අවධානය යොමු කළ ද එ් මුළා වූ වසඟ වූ හැඟීමෙන් මිස අවබෝධයක් තුළ නො වෙයි. මෙහි දී අදහස් කරන්නේ ඊට හාත්පසින් ම වෙනස් දෙයක්. සිත තුළට රාගයක් හෝ ද්වේෂයක් හෝ ළාමක අකුසලයක් ඇතුව වන්නට නො දී සැබෑ ලෙස ම සිදුවන්නේ කුමක්දැයි මනා සිහියෙන් විසීම ම මෙහි ඉගැන්වෙනවා.

ඉරියාපථ භාවනාවේ දී, සක්මන් භාවනාව ගැන අප විශේෂයෙන් ම දැනගත යුතුයි. සක්මන් භාවනාව සිත දියුණු කරගැනීමට අතිශයින්ම වැදගත් වන්නක්. සමහර කෙනෙකුට සක්මනේ දී තමයි බොහෝ ධර්ම කාරණා අවබෝධ වෙන්නෙත්. බුදුරජාණන් වහන්සේ වදාළා, සක්මන් භාවනාවේ දී සිත එකඟ කර ගන්නට කෙනෙක් දක්ෂ වුණොත්, එ් සමාධිය බොහෝ වේලාවක් පවත්වන්න පුළුවන් කියා. එහෙම නම්, යම් කිසි කෙනෙකුට සමාධිය වඩන්න යම් දුෂ්කරතාවයක්, ප‍්‍රමාදයක් තියෙනවා නම්, එ් කෙනාට සක්මන් භාවනාව ප‍්‍රගුණ කර ගැනීම බොහොම ප‍්‍රයෝජනවත්. සක්මන් කිරීමේ දී නීවරණ ධර්ම ඇතිවුණොත් එයට පසුබට නො වී දිගට ම කරගෙන යන්න උත්සාහවත් වෙන්න  ඕනෑ.

නොපසුබස්නා වීර්යය

බුද්ධ කාලයේ භගු කියන ස්වාමීන් වහන්සේ භාවනා කරද්දී තද නිදිමතක් හැදුණා. නමුත් උන්වහන්සේ උත්සාහය අත්හැරියේ නැහැ. සාමාන්‍යයෙන් අපට නිදිමත හැදුනා ම බොහෝ විට සිද්ධවෙන්නේ භාවනාව කල්දැමීම. පස්සේ කරනවා කියා අතහැරීම. නමුත් භගු  හිමියන් නිදිමත තියෙද්දී ම අමාරුවෙන් අමාරුවෙන් සක්මන් කරන්න හිතාගෙන සක්මන් මළුවට ගොඩවුණා. කොච්චර නිදිමතින් හිටිය ද කියනව නම් සක්මන් කරද්දී මළුවෙ ම ඇදගෙන වැටුනා. එ්ත් මේ ස්වාමීන් වහන්සේ වීරියෙන් නැගිට්ටා. වැලි පිසදාගෙන නැගිටලා හිතට ධෛර්යය අරගෙන ආයෙමත් සක්මන් කළා. ඊ ළඟ මොහොතේ හිත එකඟ කරගෙන සමථ – විදර්ශනා වඩා අරහත්වයට පත්වෙන්න උන්වහන්සේට පුළුවන් වුණා. ටික වේලාවකට කලින් නිදිමතෙන්, අලස බවින් පීඩා විඳපු හිතේ ස්වභාවය, තමන් විසින් ම උපදවාගත් වීරියෙන්, සිහියෙන්, නුවණින් නැති කරගත්තහම හිත හොඳින් සකස් වුණා. එහෙම නම් මේ හිතේ ස්වභාවය අපි හිතන ආකාරයට කි‍්‍රයා කරන ආකාරයට සකස්වෙන බව අපි තේරුම් ගත යුතු යි.

සක්මන් භාවනාව නිවැරදිව කරමු

සක්මන් කරද්දී සමහරු කකුල් ඔසවන කොට, තබනකොට ‘වම… දකුණ…’ කියා සිහිකරනවා. එහෙම නැත්නම් ‘ඔසවනවා… ගෙනියනවා… තබනවා…’ කියා සිහිකරනවා. නමුත් එහෙම සිහිකරන්න කියා බුද්ධ දේශනාවක නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙම නෙවෙයි.  ගමන් කරද්දී ගමන් කරනවා කියා හොඳ සිහියෙන් දැනගන්නවා.

(ගච්ඡන්තෝ වා ගචඡාමීති පජානාති.) ඊ ළඟට වාඩිවෙලා ඉද්දී වාඩිවෙලා ඉන්නවා කියා දැනගන්නවා. සිටගෙන ඉද්දි සිටගෙන ඉන්නවා කියා දැනගන්නවා. හාන්සි වෙලා ඉද්දි හාන්සිවෙලා ඉන්නවා කියා දැනගන්නවා. එතකොට මේ සෑම ඉරියව්වක් ම සිහියෙන් මනා කොට දැනගන්නවා. මේ සිහියෙන් මනා කොට දැනගැනීම සක්මනට විතරක් අදාළ එකක් නො වෙයි. තමන් සිහියෙන් ඉන්න  ඕනෑ තමන්ගේ ශරීරයේ ඉරියව් මේ විදිහට පවත්වනවා කියා. අන්න එ්කයි වැදගත් වෙන්නේ.

ඉරියව් ශාන්ත භාවයට පත්වෙනවා

පාරාසරිය කියන රහතන් වහන්සේ ථේර ගාථාවල දී වදාළා මේ විදිහට ඉරියව් පවත්වනකොට සතිපට්ඨානයේ මනා කොට සිහිය පිහිටියා ම, ඉරියව් හරි ම ලස්සනයි, හරියට සිනිඳු තෙල් දහරාවක් වගේ කියා. එ් කියන්නේ බොහොම ශාන්ත, සංයමයට පත්වෙච්ච කායික ඉරියව් සමූහයක් එයාගේ ජීවිතය තුළ සකස් වෙනවා.

අන්න එ් විදිහට සක්මන් භාවනාවේදීත් කෙනෙක් යම් කිසි තැනක් තීරණය කරනවා, මම අතනට යනකම් හොඳ සිහියෙන් යනවා. හිටගෙන මුළු ශරීරයට ම සිහිය යොමුකරගෙන, පාදය ඔසවන කොට හොඳ සිහියෙන් ඔසවලා, හොඳට සිහියෙන් තබනවා. වම් පාදයත් එහෙම තබනවා. දකුණු පාදයත් එහෙම තබනවා. හැබැයි එයා වම දකුණ කියලවත්, ඔසවනවා ගෙනියනවා තබනවා කියලවත් සිහිකරනවා නෙවෙයි. සිහිය පිහිටුවාගෙනයි කරන්නේ. මේකට වචන සිහිකරන්න  ඕනේ නෑ. සිහියෙන් කරන්න පුළුවනි.

එදිනෙදා ජීවිතයට සක්මන් භාවනාව

ඔබ ගමනක් ගිහින් ගෙදර එද්දි පයින් ඇවිදගෙන එනවා නම්, ඔබට එ් ගමන සක්මන් භාවනාවක් බවට පත්කර ගන්න පුළුවනි. එතකොට ඔබ එ් වෙලාවට අකුසල් හිතන්නේ නැහැ. ඔබට පුළුවනි හොඳට සිහිය පිහිටුවාගෙන ගමන් කරන්න. එතකොට ඔබ එ් තුළ සිහිය පිහිටුවාගෙන සිත දියුණු කරනවා. සක්මන් භාවනාවේ දී ඇවිදගෙන ඇවිත් එක තැනක දී නවතිනවා කියා  හිතමු. නැවතුනාට පසු අන්න එතන දී ඔබ දැනගන්නවා නැවතුන බව. සිහියෙන් දැනගෙන ඔබ ආපසු හැරෙනවා. හැරී ආපසු එනවා. එතකොට ඔබ ආපසු සක්මනේ පැමිණෙන්නෙත් සිහියෙන් ම යි.

පැමිණිලා ආපසු නවතින කොට ඔබ දන්නවා නැවතිච්ච බව. දැන් ඊ ළඟට ඔබ සිහියෙන් ආපසු  හැරී, ඉරියව්ව කෙරෙහි සිහිය පිහිටුවාගෙන ම ආපසු සක්මන් කරනවා. මේ විදියට හොඳින් ඉරියව් ඔස්සේ සිහිය දියුණු කර ගන්න පුළුවන්.

සිහිය පවත්වන නිසා අකුසල් නැහැ

මේ විදිහට ඉරියාපථ භාවනාව පුරුදු කිරීමේ ආනිශංස ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි සිහියෙන් තොරව ඉරියව් පවත්වද්දී සිතට බොහෝ අකුසල් රැුස්වෙනවා. සිහියෙන් තොර නිසා එ් බව අපට තේරෙන්නේ නෑ. නමුත් සිහිය පවත්වන්න පුරුදු වුණා ම සෑම ඉරියව්වක දී ම අකුසලයෙන් වළක්වාගෙන සිත ඉරියාපථ භාවනාව තුළ එකඟ කර ගන්න පුළුවන්කම ලැබෙනවා.

කයෙහි තිබෙන ඇත්ත ගැන ම පවතීවා නිතර සිහිය

මේ විදියට තමාගේ කය කෙරෙහි පූර්ණ අවධානයෙන් සිටින විට ‘චේතනාව’ මුල්කරගෙන මේ කයේ සෑම ඉරියව්වක් ම පවත්වන බව මනාව තේරුම්ගත හැකියි. මෙහි දී කරන්නේ කයට ම යොමු කළ සිහි කල්පනාවෙන් යුතුව ඉරියව් පැවැත්වීමයි. එවිට හේතු සහ ඵල අතර ඇති සම්බන්ධය මෙන් ම ආත්මයකින් හෝ ආත්මයකට අයත් දෙයකින් තොර වැඩපිළිවෙළ ඉරියව්  පැවැත්වීමේ භාවනාව තුළින් අවබෝධ කර ගත හැකියි. කයේ සිදුවන ඉරියව්වල වෙනස්වීම ඔස්සේ, විඳීම්වල, හඳුනාගැනීම්වල, චේතනාවේ මෙන් ම සිතේ වෙනස්වීම ද බුද්ධිමත් ශ‍්‍රාවකයාට තේරුම්ගත හැකියි.

ඉරියව් පැවැත්වීම පිළිබඳ භාවනාව තමාට හොඳින් ප‍්‍රගුණ වූ පසු, තම සිහි කල්පනාව මනා කොට කයෙහි පවත්වාගත් පසු, තම කයෙහි යම් ස්වභාවයක් ඇත්ද, අනුන්ගේ කයෙහි ද පවතින්නේ එබඳු ම අනිත්‍ය වූ දුක් වූ අනාත්ම ධර්මතාවයක් බව නුවණින් සලකාගත යුතු වනවා. අනුන්ගේ කය දෙස බොහෝ දෙනෙකු බලන්නේ මුළා වූ සිතින්. රැවටුණු සිතින්. එහෙත් තමාගේ කයේ ඇති නිස්සාරත්වය ම අනුන්ගේ කයෙහිත් පෙනෙන විට අර මුළාව කෙමෙන් කෙමෙන් පහවී යනු ඇති. එ් සඳහා තමාගේ කයෙහි මෙන් ම අනුන්ගේ කයෙහි ද එක ම ධර්මතාවය දැකිය හැකි පරිදි සිහිය දියුණු කර ගත යුතුයි. තවදුරටත් සිහිය දියුණු කිරීමේ දී මේ ඉරියව් පැවැත්ම නම් වූ කායික ස්වභාවය හටගන්නා ආකාරය ද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කළ හැකියි. (සමුදය ධම්මානුපස්සී වා කායස්මිං විහරති.) මේ ඉරියව් පැවැත්ම නම් වූ කායික ස්වභාවය අභාවයට යන අකාරය ද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කළ හැකියි. (වයධම්මානුපස්සී වා කායස්මිං විහරති) ඉරියව් පැවැත්ම නම් වූ කායික ස්වභාවය හටගන්නා ආකාරය ද අභාවයට යන අකාරය ද අවබෝධයෙන් දකිමින් වාසය කළ හැකියි. (සමුදය වයධම්මානුපස්සීවා කායස්මිං විහරති.)

අවබෝධය තුළින් ශාන්ත සුවය කරා…

සද්ධර්මය අවබෝධ කරනු කැමති එ් ශ‍්‍රාවකයා හට, හේතු – ඵල දහමින් සකස් වූ සංඛත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ඉරියව් පැවැත්ම නම් වූ කයක් තිබේ යයි මනාව යොමු කළ සිහිය බලවත්ව පිහිටයි. එසේ කායානුපස්සනාව තුළ මනාව පිහිටි සිත තව දුරටත් අවබෝධ ඤණය දියුණු වීම පිණිස ම පවතිනවා. ඔහු කායික ඉරියව් කිසිවක් මම ය, මාගේ ය, මාගේ ආත්මය ය වශයෙන් ග‍්‍රහණය කර නොගෙන වාසය කරයි. ලෝකයේ කිසිවක් කිසි ම පිළිවෙළකින් ග‍්‍රහණය කර නො ගනී කියා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එ් ශ‍්‍රාවකයා සතර මහා ධාතූන්ගෙන් හටගත් මේ කයෙහි, (ඉරියව් පැවැත්ම අරමුණු කොට) කය පිළිබඳ ව යථා ස්වාභාවය අවබෝධයෙන් ම දකිමින් වාසය කරනවා කියා පෙන්වා වදාළා.

අපත් අකුසලයෙන් සිත වළක්වන, බලවත් ම සිහිය දියුණු වන, ශාන්ත ඉරියව් ඇති වන, ධර්මාවබෝධය පිණිස උපකාරී වන ඉරියාපථ භාවනාව පුරුදු කරන්නට උත්සාහවත් වෙමු.

ඇසුර – අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ රචිත ‘‘එ් අමා නිවන් සුව බොහෝ දුර නොවේ” ග‍්‍රන්ථය සහ ”සිතට සුවදෙන භාවනා” ග‍්‍රන්ථය)

මහාමේඝ 2016 නවම් කලාපය
WWW.MAHAMEGHA.LK

මහමෙව්නාව භාවනා අසපුවාසී
ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි