හැන්දෑ අහසට අඳුර ගලාගෙන එද්දි දිවා කාලයේ නොනිමි මෙහෙවරක යෙදුණ කුරුල්ලෝ කැදලි කරා පියාඹගෙන යනවා… දිවා කාලයේ කුසගින්නේ සැඟවිලා හිටපු නිශාචර කුරුල්ලෝ අහස අත්පත් කර ගන්නවා… හරියට දිවා වැඩ මුරය නිම කළ අපේ ඇත්තෝ අතෙන් බඩු මල්ලක් එල්ලගෙන ගෙවල් කරා එද්දි රෑ වැඩමුරය කරන අය බත් මුලත් බැඳගෙන පිටත් වෙලා යනවා වගේ… ආකාසෙ කෙමෙන් කෙමෙන් අඳුර රජකරද්දි තරු කැට එක දෙක දිලිසෙන්න ගන්නවා… තව ටිකකින් තරු එළිය පරදමින් සඳ මඬල උදාවෙන බව මම දන්නවා. මේ වෙලාවට ඉස්තෝප්පුවට වෙලා වාඩිවෙලා අහස දිහා බලාගෙන ඉන්න මම කැමතියි… එතකොට මගේ හිතට භාග්‍යවතුන් වහන්සේ වදාළ සුන්දර දේශනා මතක් වෙනවා…

අද කරන්ට් නැති නිසා පරිසරයත් නිහඬයි… අඳුරුයි… අඳුර මකන්නට දැල්වුව ලාම්පුවෙ එළිය සුළඟට පැද්දෙන්නෙ ලතාවකට වගේ… හාන්සි පුටුවට වෙලා වාඩිවෙලා බලාගෙන ඉද්දී අවට පරිසරයෙ ඉන්න පළඟැටියො හරිම උද්යෝගයකින් ඇවිල්ල පහන වටේ ආලිංගන නැටුමක් පටන්ගන්න යන හැටි පේනවා… එ් අයට මේක සතුටක් වුණාට තව ටිකකින් අත්වෙන ඉරණම මතක් වෙනකොට පහන නිවලා අඳුරෙ ඉන්න එක හොඳයි කියල හිතෙනවා..

‘‘අනේ පළඟැටියනේ…. නුඹලාට මේ පහන් දැල්ල මිහිරක්… සතුටක් විදියට පෙනුනට… මේකෙන් නුඹලට ලැබෙන්නෙ…. දැවිල්ලක් ම යි… තැවිල්ලක් ම යි…. වෙහෙසක් ම යි…. විනාශයක් ම යි….” මම පළඟැටියන්ට එහෙම කියනවා… එ්ත් එ් කවුරුත් එ්ක අහන පාටක් නෑ… තමන්ගෙ සගයන් දැවි දැවී වැටෙනවා පෙනි පෙනී අනිකාත් එ් පහන් දැල්ලට ම පනිනවා… එකවරක් පැනල තටුවක් හරි, තටුවකින් බාගයක් හරි ඉතිරි වුණ ඈයො… අමාරුවෙන් ඇවිත් ආයෙත් පනින්නෙ… ගියපාර විඳින්න බැරිවුණ මිහිර මේ පාර නම් කොහාම හරි විඳිනවා කියල හිතාගෙන….

එහෙම දෙවෙනි පාර පනින්න යන පළඟැටියෙකුට මම කතා කළා….‘‘අනේ ඇයි ඔයාලා ඔයතරම් මෝඩ…. මොක ද මේ කිසිම සැනසීමක් නැති… දැවිල්ලක්, තැවිල්ලක්, විනාශයක් ම වෙන පහන් දැල්ලට ම පනින්නෙ…?”

පළඟැටියා අමාරුවෙන් ඇස් දෙක හරවල මා දිහා බලල මෙහෙම කිව්වා….

‘‘අපි ද මෝඩ…..? නැත්නම් ඔයාල ද?”

‘‘එ් කියන්නෙ….?”

‘‘අපි නම් ලොකු මොළයක් නැති… තිරිසන් ලෝකෙ ඉපදුණ සත්තු කියල හරි සමාවක් දෙන්න පුළුවනිනේ.. ඉතින් මනස උසස් කියන ඔයාලා කරන්නෙත් මේ ටිකමනේ…”

‘‘මට පැහැදිලි නෑ…”

‘‘ඇසට රූප පෙන්නලා කවදාවත් දැන් නම් ඇති කියල සෑහීමකට පත්වෙන්න පුළුවන් ද? සැනසීමක් තියෙනව ද? එ්ත් ඔයාල මුළු ජීවිත කාලය ම ඇස අරගෙන එ්කට රූප පෙන්නන්නනෙ දුවන්නෙ… මේ දිවිල්ල වෙහෙසක් ම යි.. දැවිල්ලක් ම යි. තැවිල්ලක් ම යි කියලා තේරුම්ගන්නෙ නෑනෙ.. අවසානයේ රූප දැකල තෘප්තිමත් නො වුණ සිතකින්මනේ ඔයාල මැරෙන්නෙත්… ඔය විදියට අවිද්‍යා සහගතව රූප දකිද්දි… ඇස නැමති ආයතනයෙන් අනිත් පසින් නිපදවන කර්ම පොදිය… ඔබට විනාශයක්මනෙ අත්කරල තියෙන්නෙ…

කනට ශබ්ද අහන්ට දීල කවදාවත් දැන් නම් ඇති කියල සෑහීමකට පත්වෙන්න පුළුවන් ද? සැනසීමක් තියෙනව ද? එ්ත් ඔයාලා මුළු ජීවිත කාලය ම කන අරගෙන එ්කට ශබ්ද අස්සවන්නනෙ දුවන්නෙ… මේ දිවිල්ල වෙහෙසක් ම යි… දැවිල්ලක් ම යි…. තැවිල්ලක් ම යි කියල තේරුම් ගන්නෙ නෑනෙ…. අවසානයේ ශබ්ද අහලා අහලා තෘප්තිමත් නො වුණ සිතකින්මනෙ ඔයාල මැරෙන්නෙත්… ඔය විදියට අවිද්‍යා සහගතව ශබ්ද අහද්දි… කන නැමති ආයතනයෙන් අනිත් පසින් නිපදවන කර්ම පොදිය… ඔබට විනාශයක්මනෙ අත්කරල තියෙන්නෙ…

නාසයට ආඝ‍්‍රාණය දීල කවදාවත් දැන් නම් ඇති කියල සෑහීමකට පත්වෙන්න පුළුවන් ද? සැනසීමක් තියෙනව ද? එ්ත් ඔයාලා මුළු ජීවිත කාලය ම නාසය අරගෙන එ්කට ගන්ධ හොයාගෙනනෙ දුවන්නෙ… මේ දිවිල්ල වෙහෙසක් ම යි… දැවිල්ලක් ම යි…. තැවිල්ලක් ම යි කියල තේරුම්ගන්නෙ නෑනෙ…. අවසානයේ ගන්ධ විඳලා තෘප්තිමත් නො වුණ සිතකින්මනෙ ඔයාල මැරෙන්නෙත්… ඔය විදියට අවිද්‍යා සහගතව ගඳ සුවඳ විඳිද්දි… නාසය නැමති ආයතනයෙන් අනිත් පසින් නිපදවන කර්ම පොදිය… ඔබට විනාශයක්මනෙ අත්කරල තියෙන්නෙ…

දිවට රස දීලා කවදාවත් දැන් නම් ඇති කියල සෑහීමකට පත්වෙන්න පුළුවන් ද? සැනසීමක් තියෙනව ද? එ්ත් ඔයාලා මුළු ජීවිත කාලය ම දිව අරගෙන එ්කට රස දෙන්නනෙ දුවන්නෙ… මේ දිවිල්ල වෙහෙසක් ම යි… දැවිල්ලක් ම යි…. තැවිල්ලක් ම යි කියල තේරුම්ගන්නෙ නෑනෙ…. අවසානයේ රස විඳල තෘප්තිමත් නො වුණ සිතකින්මනෙ ඔයාල මැරෙන්නෙත්… ඔය විදියට අවිද්‍යා සහගතව රස විඳිද්දි… දිව නැමති ආයතනයෙන් අනිත් පසින් නිපදවන කර්ම පොදිය… ඔබට විනාශයක්මනෙ අත්කරල තියෙන්නෙ…
කයට පහස දීලා කවදාවත් දැන් නම් ඇති කියල සෑහීමකට පත්වෙන්න පුළුවන් ද? සැනසීමක් තියෙනව ද? එ්ත් ඔයාලා මුළු ජීවිත කාලය ම කය අරගෙන එ්කට පහස දෙන්නනෙ දුවන්නෙ… මේ දිවිල්ල වෙහෙසක් ම යි… දැවිල්ලක් ම යි…. තැවිල්ලක් ම යි කියල තේරුම්ගන්නෙ නෑනෙ…. අවසානයේ පහස විඳල තෘප්තිමත් නො වුණ සිතකින්මනෙ ඔයාල මැරෙන්නෙත්… ඔය විදියට අවිද්‍යා සහගතව පහස විඳිද්දි… කය නැමති ආයතනයෙන් අනිත් පසින් නිපදවන කර්ම පොදිය… ඔබට විනාශයක්මනෙ අත්කරල තියෙන්නෙ…
මනසට අරමුණු දීල කවදාවත් දැන් නම් ඇති කියල සෑහීමකට පත්වෙන්න පුළුවන් ද? සැනසීමක් තියෙනව ද? එ්ත් ඔයාලා මුළු ජීවිත කාලය ම අනිත් ආයතන හවුල් කරගෙන මනසට අරමුණු දෙන්නනෙ දුවන්නෙ… මේ දිවිල්ල වෙහෙසක් ම යි… දැවිල්ලක් ම යි…. තැවිල්ලක් ම යි කියල තේරුම්ගන්නෙ නෑනෙ…. අවසානයේ අරමුණු අතරෙ අතරමං වෙලා තෘප්තිමත් නො වුණ සිතකින්මනෙ ඔයාලා මැරෙන්නෙත්… ඔය විදියට අවිද්‍යා සහගතව අරමුණුවල ගැලෙද්දි… සිත නැමති ආයතනයෙන් අනිත් පසින් නිපදවන කර්ම පොදිය… ඔබට විනාශයක්මනෙ අත්කරල තියෙන්නෙ…

දැන් අපි මේ පහන් දැල්ලට පැන්නහම එක වරයිනෙ පිච්චෙන්නෙ… එ්ත් ඔයාලා ජීවත් වෙන කාලෙත් ඔය ආයතන හයෙන් එන රාග ද්වේෂ මෝහ කියන ගිනි ජාලා තුනකින් ම පිච්චෙමින්නෙ ඉන්නෙ….

මරණින් මත්තෙ සතර අපායට වැටුනහම දහස් වර සිය දහස් වර පිච්චෙන්නටනෙ වෙන්නෙ…. මම කියන එක පිළිගන්න බැරි නම් භාග්‍යවතුන් වහන්සෙ වදාළ ආදිත්‍ය පරියාය සූත‍්‍රය බලන්නකෝ…

ඔයාලා දන්නෙ ම නැතුව ඔය ආයතන හයේ වහලූන් බවට පත්වෙලානෙ ඉන්නෙ… ඔය වහල් භාවයෙන් නිදහස් වෙනකම් ඔයාලටත් තියෙන්නෙ වෙහෙසක් ම යි… දැවිල්ලක් ම යි… තැවිල්ලක් ම යි… විනාශයක් ම යි….”

‘‘දැන් මේකට මොකද කරන්නෙ…? කොහොමද මේකෙන් ගැලවෙන්නෙ…?”

‘‘එ්කට ඔය ආයතන හයේ ඇත්ත දකින්න…

ඔය ඇස, කන, දිව, නාසය, ශරීරය, මනස කියන ආයතන ඔබගේ නෙවෙයි… එ්ව හැදිල තියෙන්නෙ පුරාණ කර්මයකින්….. මේක ඔබට අයිති නැති දෙයක් විදියට දකින්න…
මේ හය ඔස්සේ ඔබ අත්දකින බාහිර ආයතන වන රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු ‘ඔබ’ කියල ද හිතන් ඉන්නෙ? නෑ… ‘ඔබගේ’ කියල ද හිතන් ඉන්නෙ? නෑ… එ්වා ‘ඔබේ වසඟයේ තියෙනවා’ කියල ද හිතන් ඉන්නෙ? නෑ..

‘‘එ්ක නම් මට තේරෙන්නෙ නෑ…”

ඔබ දකින ඔය ඇස හේතුවකින් හටගත්ත එකක්. බාහිර රූපත් හේතුවකින් හටගත්ත එකක්. එ්ත් ඔබට හිතෙන්නෙ. මම දකිනවා. මේක මගේ ඇහැ. මේව මගේ වසඟයේ තියෙන දේවල් කියල…

ඔබ අසන ඔය කන ‘ඔබ’ කියල ද හිතන් ඉන්නෙ? නෑ… ‘ඔබගේ’ කියල ද හිතන් ඉන්නෙ? නෑ… එ්ව ‘ඔබේ වසඟයේ තියෙනවා’ කියල ද හිතන් ඉන්නෙ? නෑ..

‘‘එහෙම නැතුව…. වෙන කොහොමද?”

‘‘ඔබගේ කන කර්මානුරූපව හැදිල තියෙන්නෙ යම් පරාසයක ශබ්ද ඇහෙන්න විතරයි… එතනින් එහා ශබ්ද ඔබට ඇහෙන්නෙ නෑ…

ඔබගේ ඇස කර්මානුරූපව හැදිල තියෙන්නෙ යම් පරාසයක රූප දකින්න විතරයි. එතනින් එහා රූප ඔබට පෙනෙන්නෙ නෑ…

අනිත් ආයතනත් ඔය විදිය ම යි….

එ් කියන්නෙ ආයතන විසින් ඔබ දකින දේවල් අසන දේවල්.. මම කියල හිතින් අල්ලාගෙන, මගේ කියල හිතින් අල්ලාගෙන, මගේ ආත්මය කියල හිතින් අල්ලාගෙන..

ඔබ චුත වෙනකොට කර්මානුරූපව ඔබගෙ ඔය ආයතන හය වෙනස් වෙනවා වෙනස් මට්ටමකට…”

‘‘උදාහරණයක් කියන්න බැරි ද?”

‘‘දැන් ඊ ළඟ උපතෙදි ඔබට ලැබෙන ආයතන හය මීට වඩා සියුම් හා ප‍්‍රණීත රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු පරාසයකට ගෝචර විදියට වෙනස් වෙලා නම්… ඔබ කියයි මම දැන් දෙවියන් අතර කියලා…

නැත්නම් ආයතන හය වෙනස් වෙලා තියෙන්නෙ ඉතා ම කටුක අමිහිරි පහසකට විතරක් ගෝචර වෙන විදියට නම් ඔබ නිරයේ ඉපදිලා…

මතකනෙ භාග්‍යවතුන් වහන්සේ වදාළා ඡු ඵස්සායතන කියන නිරය ගැන.

ඔබ අද වහලෙක් වෙලා ඉන්න, ඔබගේ කියල හිතාගෙන ඉන්න ආයතන හය ඔබගේ නො වෙයි… එ්ක පැරණි කර්මයක ප‍්‍රතිඵලයක්…

එ්වා උපයෝගී කරගෙන එ් ආයතන හය ඔස්සේ ඔබ නිපදවන කර්මවලට අනුරූපවයි ඔබගෙ ඊළඟ ආයතන හය හැදෙන්නෙ…

ඔබ ලෝකය විදියට දකින්නෙ එ් ආයතන හය ඔස්සේ මවලා දෙන මායාවක් මිස සැබෑවක් නො වෙයි…

ඔබ ඇසෙන් රූපයක් දකින කොට ම ඇසයි රූපයයි සිතයි එකතු වෙනවා. ඔය තුනේ එකතුව ස්පර්ශය යි…. එසැණින් ම එය නැතිවෙනවා… ඊ ළඟට ඔබ එ් ගැන සිහිකරන කොට… එ් රූපය බාහිරේ තියෙනවා කියල සිහිවුණාට එ්ක තියෙන්නෙ ඔබගෙ සිතේ සටහන් වුණ නිමිත්තක් විදියටයි…

මේ ගැන නුවණින් විමසලා ඔය ආයතන හයේ ඇත්ත දකින්න…

ඔය හය ම අනිත්‍යයි… ඔය හය ම වෙනස් වෙනවා… වෙනස් ස්වභාවයකට පත්වෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ වදාළේ එ්කයි…”

දෑස් අඩවන් කරගෙන මම ඔහුට සවන් දීගෙන සිටියෙමි. හැබෑට පළඟැටියෙකුට මෙච්චර දෙයක් තේරෙනව ද? මම සිහි එළවාගෙන දෑස් විවර කොට යළි පහන දෙස බැලීමි….

පළඟැටියන් පෙනෙන්නට නැත… පහන් දැල්ල දීප්තිමත්ව දැල්වී තිබේ… භාග්‍යවතුන් වහන්සේගේ ප‍්‍රඥාලෝකයට නමස්කාර වේවා!!!

මහාමේඝ 2016 දුරුතු කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
සුදර්ශන ශ්‍රී විජේසිංහ