ගද්‍ය පද්‍ය ග‍්‍රන්ථ රාශියක් බිහිව අදට ද එ්වා ශේෂව පවත්නා කෝට්ටේ යුගය සිංහල සාහිත්‍යයේ නො එසේ නම් සිංහල පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස බොහෝ සාහිත්‍ය විචාරකයෝ සලකති. එසේ වුව ද සියවස් දහතුනක් අඛණ්ඩව පැවති අනුරාධපුර පාලන යුගයට අයත් පුරාවිද්‍යාත්මක හා සාහිත්‍යික මූලාශ‍්‍ර සලකා බලන විට, එම දීර්ඝ කාල පරිච්ෙඡ්දය සිංහල සාහිත්‍යයේ හැම අතින් ම උද්දීප්තියක් පැවති සමය ලෙස නිසැක ලෙස ම සැලකිය හැකි වෙයි. වෙනත් බාහිර මූලාශ‍්‍රයන්ගේ, විශේෂයෙන් ම සකු ග‍්‍රන්ථයන්හි බලපෑම ඇති වුව ද අනුරාධපුර සාහිත්‍ය සම්ප‍්‍රදාය සිංහල ජනකායගේ ස්වතන්ත‍්‍ර උරුමයක් ලෙස හඳුන්වා දීම යුක්ති යුක්ත ය.

භික්ෂූන් වහන්සේලා, රජවරුන්, ඇමතිවරුන්, සෙනෙවිවරුන්, සෙබළුන්, ගිහි පඬිවරුන් පමණක් නො ව ජනතාව ද සාහිත්‍ය රසිකයන් ව සිටි බව ඔවුන් ලියූහයි සැලකෙන පොත පත හා වෙනත් ලේඛන අනුව නිගමනය කළ හැකි ය. ප‍්‍රකට නිදසුනක් ව පවත්නා, එක ම රජකුගේ රාජ සභාවක කවීන් දොළොසක් සිටි බව පැවසීමෙන් එවක සිටි සාහිත්‍යධරයන්ගේ ප‍්‍රමාණය කොතෙක් ද යනු සිතා ගත හැකි ය. සෙසු රජවරුන්ගේ රාජසභාවල ද පඬිවරුන්, කවීන් සිටින්නට ඇත. සීගිරි කැටපත් පවුරේ සමහර ගී ලියූවන් දක්වා ඇති නම්වලින් ද එය ස්ඵුට වෙයි.

අනුරාධපුර සාහිත්‍යය වශයෙන් අද උගතුන්ගේ කතාබහට හසුවන්නේ දැනට ශේෂව පවත්නා, දෙබිසෙව්ජා අබාසලමෙවන් හෙවත් පස්වැනි කාශ්‍යප රජතුමාගේ දම්පියා අටුවා ගැටපදය, වෙනත් කතුවරුන් විසින් විරචිත භෙරණ සිඛ හා භෙරණ සිඛ විනිස, සිඛවළඳ හා සිඛවළඳ විනිස, හතරවැනි සේන රජතුමාගේ සියබස්ලකර යන ග‍්‍රන්ථයන් හා සීගිරි කැටපත් පවුරේ ඇති ගී සමූහය යි. මීට අමතර ව බ‍්‍රාහ්මී ලිපි හා පසුකාලීන යුගයේ රචිත එළු සඳැුස් ලකුණේ ද සිදත් සඟරාවේ ද දැක්වෙන නිදසුන් පාඨවලින් උපකල්පනය කරනු ලබන ග‍්‍රන්ථ ද අනුරපුර සාහිත්‍යයට ඇතුළත් කෙරේ. ව්‍යවහාර වර්ෂ පූර්ව තුන් වැනි සියවසෙන් ඇරඹී එකොළොස් වැනි සියවසෙන් අවසන් වූ කාලය තුළ අනුරාධපුර යුගයේ බිහිවී අභාවයට ගිය පොත්පත් රාශියක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

මිහිඳු මහ රහතන් වහන්සේ බුදු දහම ලක්දිවට රැගෙන එ්මත් සමඟ ම හෙළ බසට නඟා දේශයේ ජනතාවට කියවන්නට සැලැස්වූ අටුවා ග‍්‍රන්ථ ඉන් ප‍්‍රධාන වේ. අපගේ ලේඛන සාහිත්‍යයේ මූලාරම්භයක් සේ සනිටුහන් වන මෙම ඓතිහාසික සංසිද්ධිය අනුරාධපුර යුගයේ අග භාගයේ රචිත දම්පියා අටුවා ගැටපදය ග‍්‍රන්ථයේ සඳහන් වන්නේ මෙසේය; ‘මගද බසින් වැටෙමින් ආ බුදුකැලි අටුවා හෙළදිව ඇදුරෝ හෙළ බසින් තැබූහ.’ මේ ඇදුරන් අතින් ලියැවුණු අටුවා ග‍්‍රන්ථ අතුරෙන් මහා අටුවා, මහා පසුරු අටුවා හා කුරුන්දි අටුවා යන ග‍්‍රන්ථ තුනට මිහිඳු රහතන් වහන්සේගේ ඍජු මඟපෙන්වීම ලැබුණු බව කියැවේ. එතැන් සිට අවුරුදු හත්සියයක් පමණ කාලයක් මුළුල්ලේ බුදු දහමට අදාළ පොත පත හෙළ බසින් ලියැවී ඇති බව පෙනී යයි. සාරත්ථ දීපනීයෙහි සඳහන් වන පරිදි ග‍්‍රන්ඨි පද, මජ්ක්‍ධිම ග‍්‍රන්ඨි පද, මහා ග‍්‍රන්ඨි පද යනුවෙන් සිංහල ගැටපද ග‍්‍රන්ථ තුනක් ද විජම් අටුවා ගැටපදය ද අනුරාධපුර මුල් යුගයේ දී ලියැවිණ.

බුදු දහමට විස්තරාර්ථ සපයමින් ගැටපද ග‍්‍රන්ථ රැුසක් මේ අවදියේ දී ලියැවී තිබේ. මහානාම හිමිපාණන්ගේ සද්ධම්මපකාසිනියට ලියූ හෙළ ගැටපදය වූ පටිසම්භිදා ගැටපදය ද පුරාණ පරිවාර ගැටපදය ද ඉන් ප‍්‍රධාන වේ. මහාවංශ ටීකාවේ සඳහන් වන පරිදි සිංහල වංසට්ඨකථා තුනක් මෙකලට අයත් ය. එනම් මහා විහාර, උත්තර මහා විහාර හා රෝහණ මහා විහාර යන සිංහල වංස, අටුවා කථා ය. එසේ ම සිංහල නමස්කාර වණ්ණනා යන කෘතිය හා මහා බෝධි වංශ අටුවාව ගැන ද මහා වංස ටීකාවේ සඳහන් වෙයි. පැරණිම එළු ථූපවංශය, එළු බෝධි වංශය හා එළු දළදා කාව්‍යය යන ග‍්‍රන්ථයන්හි ආරම්භක ගාථා කල්්‍යාණවතී සෑ පුවරු ලිපියේ දැක්වෙන බව මහාචාර්ය විමල විජයසූරිය කියයි. (අනුරාධපුර යුගයේ විශ්ව කීර්තිමත් සිංහල මහා ලේඛකයෝ – 1992)

අනුරාධපුර යුගයේ රට පාලනය කළ රජවරු වැඩි දෙනෙක් සාහිත්‍යධරයෝ වූහ. මහ සඟනට ලෙන්, පුදබිම් වෙහෙර විහාර තනා පූජා කරමින් කටාරම් හා ටැම් හිස්, පුවරු මත ඔවුහු කාව්‍යමය බසින් සන්නස් ලියා තැබූහ. ලංකාවේ දැනට විද්‍යමාන බ‍්‍රාහ්මී අක්ෂරයෙන් ලියැවුණු පැරණිම සෙල්ලිපි හමුවන්නේ ව්‍යවහාර වර්ෂ පූර්ව තුන්වන සියවසේ සිට ය. ගී විරිතට අනුව ලියැවුණු එ් සෙල්ලිපිවලින් නිගමනය කළ හැක්කේ මුල සිට ම සිංහල කවියට රාජකීය සම්බන්ධය පැවති බවයි. එතැන් සිට සියවස් තුනක් දක්වා වූ කාලය තුළ හමු වී ඇති කොස්සගම කන්ද, කිරින්ද හා තිස්සමහාරාම සෙල්ලිපි ගී විරිතින් රචිත ය. එම ලිපි අතුරෙන් පළමුවැන්න මේ ය:

‘‘මහ රජග ගමණි
අභයහ දෙවනපියතිශ
රමණි බරිය මිලකතිශ
විහාරෙ කාරිතෙ කතිය”

‘ගාමණී අභය මහරජුගේ රමණීය බිරිය වූ කතී විසින් මිලාකතිස්ස වෙහෙර කරවන ලදී’ යනු එහි භාවයයි. රමණීය බිරිය යන යෙදුම කාව්‍යමය අනුභූතියකින් යුතු ය. මිසදිටු බව බිඳ හෙළුෑ මහා නාග රජු බුදු දහම වැළඳ ගත් බව දෙවැනි තුන්වැනි ලිපිවලින් කියැවේ. මෙම ගී උද්ගීති, උපගීති විරිත්වලට අයත් වන බව මහචාර්ය පරණවිතාන කියයි.
අනුරාධපුර යුගයේ සාහිත්‍ය ප‍්‍රබෝධය මුල් කාලයේ සිට ම සෑම ජන කොට්ඨාසයක් අතර ම පැතිර පැවත තිබූ බව පෙනී යයි. තාලයකට කවි ගී ගායනා කිරීම පොදු ජනකාය අතර බෙහෙවින් සම්භාවිතව පැවතිණ. සුත්ත නිපාතයට ලියන ලද පරමත්ථජෝතිකා අටුවාවේ සුභාසිත සුත්ත වණ්ණනාවේහි සඳහන් වන පහත දැක්වෙන පාඨය ඊට නිදසුන් ය;

‘‘සිහළදීපෙ මග්ගපස්සේ සස්සං රක්ඛන්තියා සීහළචෙටිකාය සීහළකෙනෙව ජාතිජරාමරණපටිසංයුත්තං ගීතං ගායන්තියා සුත්වා මග්ගං ගච්ඡුන්තා සට්ඨිමත්තා විපස්සකභික්ඛු චෙත්ථ අරහන්තං පත්තා”

‘සිංහල දීපයේ ගොයම් රකින (පැල් රකින) ඇල් ගෙවිලියන් හෙළ බසින් ජාති ජරා මරණ පිළිබඳ ව පබඳූ ගැයූ ගී අසා සඟ සැටනමක් රහත් භාවයට පත් වූහ.’ යනු එහි භාවයයි.
ඇල් ගෙවිලියන් ගොයම් නෙළමින් ගැයූ ගීත ගැන ද වී කොටමින් තාලයට කියූ කවි ගැන ද එම අටුවාවේ වර්ණිත ය.

පාලි භාෂාවේ ගැබ්ව පවත්නා සුකුමාරභාවය හෙළ බසට මුසු වීම හේතු කොට ගෙන එය කාව්‍යයට හිතකර බසක් ලෙස වැඩිණ. සකු බසට වඩා පාලි භාෂාව පද ලාලිත්‍යයෙන් යුතු ය. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් හෙළ බසින් පැවති පුරාණ අටුවා (හෙළටුවා) ග‍්‍රන්ථයන්හි ගාථා වශයෙන් තිබුණ දහම් කරුණු කාව්‍යමය බසින් සිංහල ජනකාය අතර ප‍්‍රචලිත වී ගියේ ය.

පෙර සඳහන් කළ පරිදි රාජකීයයන් ම සාහිත්‍ය රසිකයන් වීම අනුරාධපුර යුගයේ සාහිත්‍ය ප‍්‍රබෝධයට හේතු වී ය. දැනට හමුවී ඇති මුල් ම කාව්‍ය රචනය ද (කොස්ගම කන්ද) රජකුගේ ය. පුස්කොළ පත්ඉරු මත ග‍්‍රන්ථ රචනය ආරම්භ වීමෙන් පසු ව රජවරුන් ද පොත පත ලියන්නට පටන් ගත් බව පෙනී යයි. දුටුගැමුණු රජතුමාගේ මරණ මංචකයේ දී කියවන ලදැයි පැවසෙන පිංපොත එතුමාගේ ම ස්වයං රචනයක් විය හැකි ය. එය කාව්‍යමය භාෂාවෙන් තිබෙන්නට ඇත. අඹහෙරණ සලමෙවන් හෙවත් කිත්සිරිමෙවන් රජතුමාගේ රාජ්‍ය සමයේ දී වැඩම වූ දළදා වහන්සේට උපහාර පූජාවක් වශයෙන් ලියන ලද එළු දළදා කාව්‍යය එතුමාගේ නිර්මාණයක් සේ සැලකේ. මහාවංශය අනාවරණය කරන තොරතුරු අනුව කේශධාතුවංශය ලියන ලද්දේ ද එතුමා විසිනි. වියත් තෙරනමක ව සිට පසු ව උපැවිදි වී රාජ්‍ය ධුරය හෙබවූ ධාතුසේන රජතුමා මහා ධම්මකථි සූත‍්‍ර පරිවර්තනය කළ බව මහා වංශයේ තිස්හත්වන පරිච්ෙඡ්දයේ දැක්වෙයි. කවියකු වූ දෙවැනි මුගලන් රජතුමා (535-555) බුදු දහම කවියට නඟා පොත් රචනා කොට ඇතුපිට හිඳුවා නගරය පැදකුණු කළ බව ද එම කාව්‍යය කවීන් ලවා ගායනා කරවූ බව ද මහා වංශයේ ම සඳහන් ව තිබේ.

රාජකීය සම්බන්ධයක් ඇති මහාවංශ කතුවර මහානාම හිමියන් එවක විදෙස් රටවල ද කීර්තියක් ඉසිලූ තෙරනමක් ව සිටි බවට සාධක ඇත. බුද්ධගයා සෙල්ලිපිවල සඳහන් ව ඇති මහානාම හිමි, මහාවංශ කතු හිමියන් ලෙස ම නිගමනය කර ඇත. එම විශිෂ්ට ග‍්‍රන්ථය වූ කලී ශ‍්‍රී ලංකාවේත්, භාරතයේත් ඵෙතිහාසික තතු අනාවරණය කළ, සිංහල ජාතියේ නාමය ලොව පවත්නා තෙක් ලියා තැබූ මහා ඉතිහාස ග‍්‍රන්ථයයි. එය ම සිංහලයන්ගේ මහා වීර කාව්‍යය ද වෙයි.

අනුරාධපුර යුගයේ සාහිත්‍යය විශිෂ්ටත්වයෙන් මෙන් ම විචිත‍්‍රත්වයෙන් ද අනූනව පැවති බව එවක සිටි වියතුන්ගේ ස්වභාවය අනුව මෙන් ම ලිසැවුණු පොතපත පිළිබඳ තොරතුරුවලින් ද හෙළි වෙයි. වරින්වර පරසතුරු ආක‍්‍රමණ පැවතිය ද සාහිත්‍ය ධාරාවන්හි එ්කමිතිය නො නැසී පැවතිණ. භික්ෂූන් වහන්සේලා, රාජකීයයන්, වෙනත් පඬිවරුන් අඛණ්ඩ සාහිත්‍ය මෙහෙවරක යෙදී සිටියේ තම ශක්ති ප‍්‍රමාණයෙනි. ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ රචනයට ද රජවරුන් ඉදිරිපත් වූ බව බුද්ධදාස රජතුමා ලියූ ‘සාරාර්ථ සංග‍්‍රහ’ නම් වූ අති විශිෂ්ට වෛද්‍ය ග‍්‍රන්ථය සාක්කි දරයි. දළ මුගලන් රජතුමා ලියූ ධර්ම ග‍්‍රන්ථ ගැන ද සීගිරි කාශ්‍යප රජතුමා ලියූ පොත් ගැන ද මහා වංශය කියයි. පළමුවන අග්බෝ රජතුමාගේ රාජ සභාවේ සිටි දොළොස්මහා කවියන් ගැන මහා වංශය මෙන්ම පූජාවලිය හා නිකාය සංග‍්‍රහය ද තොරතුරු දක්වයි. රාජසභාවේ පමණක් කවීන් දොළොස්දෙනෙකු සිටි කල්හි එවක රටේ කොපමණ කවීන් – ලේඛකයන් සිටින්නට ඇද්දැයි සිතාගත හැකි ය.

දොළොස් මහා කවියන් පිළිබඳ පුවත වූ කලී අනුරාධපුර යුගයේ එක් රජකුගේ කාල සීමාවේ සාහිත්‍යයේ බැබළීම සංකේතවත් කරන්නකි.
‘කවයෝ තස්ස රජ්ජම්හි-
සීහලාය නිරුත්තියා
කාවෙයේ‍ය බහුකේ කංසු-
විචිත‍්‍රනය සාලිනා’
මහාවංශයේ දැක්වෙන එම ගාථාවේ භාවයයි මේ;

‘එ් රජතුමාගේ රාජ්‍ය කාලයෙහි සිටි කවීහු සිංහල නිරුක්තියෙන් විචිත‍්‍ර ආකාරයේ ශෛලීන්ගෙන් යුතු ව බොහෝ කවි පබැදූහ.’
එම කවීන් දොළොස් දෙනාගේ නම් පූජාවලියේ හා නිකාය සංග‍්‍රහයේ සවිස්තර ව දැක්වෙයි. එහි සඳහන් ‘දැමි’ තෙරිඳු සූතාන්ත පාළිය හෙළ බසින් ලියූ බව පූජාවලිය කියයි. එවක දැහැමි කිත් (ධම්ම කිත්ති) නම් කවිවරයකු සිටි බව පූජාවලියේ කියවේ. මේ දොළොස් මහා කවීන් අතර සිටි බැබිරි, දළබිසෝ යන දෙදෙනා කිවිවරියෝ ය. දළබිසෝ යනුවෙන් හැඳින්වෙන්නේ පළමුවන අග්බෝ රජතුමාගේ දාඨා නම් දූ කුමාරියයි. දැහැමි තෙර නම හැරුණු විට අනිත් දොළොස්දෙනා ම රජ පවුලට සම්බන්ධ කුමර කුමරියන් යයි විශ්වාස කෙරේ. සක්දාමල කවියා ලියූ අසක් දා කව හා පුරාණ මයුර සන්දේශය යන කෘතිවලින් උදුරා ගත් කවි එළු සඳැුස් ලකුණේ හා සිදත් සඟරා පුරාණ සන්නයේ දැක්වෙයි. පැරණි කුස දා කව ද දොළොස්මහා කවීන්ගෙන් එක් අයෙකුගේ නිර්මාණයක් විය හැකි යයි තත්කාලීන භාෂා රීතිය අනුව සලකා බලා අනුමාන කෙරේ.

‘හලඳ බුලත වත රත ලවනත
මිණිමුතු පුල පත පැහැගත නෙත
සිසි කැලූමට පත සිසිවත වත
එනරිදු මන නෙත ගත පබවත’

මේ කවියේ බස සමාන වන්නේ සීගිරි කවි බසට ය.

අනුරාධපුර කාව්‍ය සම්ප‍්‍රදායේ විචිත‍්‍රත්වය හා රසාලිප්ත බව තහවුරු කිරීමට පවත්නා හොඳ ම නිදසුන් නම් සීගිරි ගී කාව්‍යවලිය යි. එය වූ කලී අනුරාධපුර සමයේ විශිෂ්ටත්වයට පත් දේශීය කාව්‍ය සම්ප‍්‍රදාය හා වැනුම් මඟ පැහැදිලි ලෙස පිළිබිඹු කොට දක්වන ජීවමාන සාධකය යි. හත්වන සියවසේ සිට නව වන සියවස දක්වා වූ කාලය තුළ සීගිරි කැටපත් පවුරේ ලියා ඇති ගී කාව්‍යාවලිය, අසක් දා කවෙන් ස්වර්ණමය අවධිය වෙත ළංව ඉන් ඉක්බිතිව ක‍්‍රමයෙන් අභාවයට ගිය අපගේ දේශීය කාව්‍ය සම්ප‍්‍රදායේ අවසන් පුරුක් ලෙස ගුණදාස අමරසේකර සිය ‘සිංහල කාව්‍ය සම්ප‍්‍රදාය’ කෘතියේ ලා පෙන්වා දී තිබේ. සීගිරි කවීන් අලංකාරවාදී සකු රීතියට හෝ සම්භාව්‍ය කවි රීතියට හෝ ගැති නො වී සිය සිතැඟි නිදහස් ව කැටපත් පවුරේ සටහන් කිරීමට පෙළඹුණේ එවක පැවති ස්වාධීන ජනකවි රීතිය විසින් හික්මුණවුන් බැවිනි.

‘තුමුල් මරු ජහස් සුයුහස් සන්දල් ලා
තුරු ගල් කොහල් හූ මල ගල් හී ගැල්ලා
ගණනින් මුත් කලබ් කළ තඹ ලපල් ලා
පැරැය දිගැස් තදුන් හසුන් කුම් වාල් ලා’

‘සැඩ පවන් හමා ගියේ ය. දලූ ලා වැඩුණු ගස් සිය දහස් ගණනින් බිම පතිත විය. කොවුලා නාද කළේ ය. මලය කඳු මතින් දිය ඇලි ගලා හැළිණ. නිම් නොමැති කණාමැදිරි එළියෙන් රැය තඹ දළු පැහැ ගැන්විණ. දිගැසිය! තී දුන් හසුනෙන් (පණිවිඩයෙන්) කවර නම් පිහිටක් ද?’

මනසක් තුළ හටගත් වික්ෂෝහය පරිසරයේ චලනය තුළින් මතු කළ මේ කවි සංකල්පනාව අපූරු කවි සිත්තමක් වෙයි. පරිසරයේ සජීව ක‍්‍රියාකාරීත්වය හා ජන හද ගැස්මේ රිද්මය මතුකෙරෙන මෙබඳු කවි ලියන්නට එකල විසූ සීගිරි කවීන් පෙළඹුණේ තත්කාලීන සාහිත්‍ය සම්ප‍්‍රදායට ඔවුන් සංවේදී වූ බැවිනි. ගැමි කවියන් සමඟ එක් වී රජවරුන්, බිසෝවරුන්, ඈපාවරුන් සියවස් තුනක් පමණ කාලයක් මුළුල්ලේ කවි ගී ලියමින් සාහිත්‍ය රසාස්වාදයේ යෙදුණ අයුරු සීගිරි කැටපත් පවුරු සාහිත්‍යයෙන් අනාවරණය වෙයි.
සීගිරි ගීවල සඳහන් කවීන්ගේ නම් ගම් සේ ම පස්වැනි සියවසේ දී මහාවංශය ලියූ මහානාම හිමියන් ද ප‍්‍රකට වූ නමුදු සෙසු සාහිත්‍යධරයන් පිළිබඳ ව සිංහල පොදු පාඨක ජනකාය දන්නා තොරතුරු අල්ප ය. මේ සියලූ ම පඬිවරු සංස්කෘත භාෂාවේ ද හසල දැනුමැත්තෝ වූහ. හත්වැනි සියවසේ විසූ ආර්යයදේවයන්ගේ කෘති මහායාන සාහිත්‍යයේ වඩාත් ප‍්‍රචලිත වී ඇති අතර එතුමන්ගේ ග‍්‍රන්ථයක එන සංස්කෘත ශ්ලෝක පහක් නේපාල දේශයේ සංස්කෘත ග‍්‍රන්ථයක තිබුණ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා අනාවරණය කර තිබේ. දහවැනි සියවසේ දී රත්න ශ‍්‍රී ඥාන හිමියන් විසින් රචිත කාව්‍ය ලක්ෂණම් නමැති ටීකා ග‍්‍රන්ථය, එ් හිමියන් භාරතයේ වංග-මගධ ප‍්‍රදේශයන්හි වැඩවසන සමයේ දී ලියන ලද්දකි. එය වූ කලී දණ්ඞීන්ගේ කාව්‍යාදර්ශයට ලියූ පරිවාර ග‍්‍රන්ථයකි. සිදත් සඟරාව, රත්න ශ‍්‍රී හිමියන් හඳුන්වා ඇත්තේ ‘රතුසියා’ නමිනි. දණ්ඞීන්ගේ කාව්‍යාදර්ශය, සියබස් ලකර නමින් හෙළ බසට නඟන ලද්දේ සිව්වැනි සලමෙවන් සෙන් රජතුමා විසිනි. රත්න ශ‍්‍රී ඥාන හිමියන් ලියූ පද්‍ය රචනයක් බුද්ධගයා සංස්කෘත සෙල්ලිපියක ද ඇති බව කියැවේ.

අනුරාධපුර යුගයේ අග භාගයේ විසූ පස්වැනි කාශ්‍යප රජතුමා සියබස්නෙන් බුදු ගුණ වැනූ කවියකු බව එතුමා විසින් පිහිටුවන ලද අභයගිරි ශිලා ලේඛනයේ දැක්වේ. සියබස්ලකරේ සඳහන් වන බුදු ගුණ කවි නිදසුන් හා සිදත් සඟරාවේ දැක්වෙන ‘වඳිමි මුනිඳුතුමා’ වැනි පද්‍ය පාඨ ‘සියබස්නෙන් බුදු ගුණ වැනූ’ රචනා විය හැකි ය.
අනුරාධපුර රාජධානි සමයේ සිටි සාහිත්‍යධරයන් විසින් රචනා කරන ලද ග‍්‍රන්ථයන්හි අගය එවක ලෝකයේ වෙනත් රටවල ද ප‍්‍රචලිත වී ඇති බවට සාධක පවතී. සිංහල දීප වාසීන්ගේ සාහිත්‍ය රචනා ලොව අන් හැම සාහිත්‍ය කෘතීන්ට වඩා අමා රස වෑහෙන වදන්වලින් පිරී පවත්නා බව අනුරපුර යුගයේ අග භාගයේ විසූ කීර්තිමත් භාරතීය කාව්‍ය විචාරකයකු වූ ද පඬිවරයකු වූ ද රාජශේඛර කවියා පවසා ඇත. එ් පිළිබඳ ව සඳහන් වන ‘බාලරාමායනම්’ ග‍්‍රන්ථයේ රාජශේඛර 10 සර්ගයේ 19 වැනි ශ්ලෝකය මෙසේ ය;

‘ජනශ්ව වාක්සුධඃ සුතීර් –
මණි සුතීශ්ච රෝහණඃ
නාන්‍යපත‍්‍ර සිංහල ද්වීපාන් –
මුක්තා සුතීශ්ච සාගරඃ’

‘අමාරසැති වදන් ලියන කියන ජනයා ද මැණික් වගුරන රුහුණ ද මුතු වෑහෙන මුහුද ද සිංහල ද්වීපයෙහි හැර අන් තැනක නැත්තේ ය’ යනු එහි භාවයයි.

අනුරාධපුර යුගයේ දී සිංහල භාෂාවෙන් ග‍්‍රන්ථ රචනා කළ පඬිවරුන් හැරුණු විට සංස්කෘත භාෂාවෙන් පොත් ලියා ජාත්‍යන්තර කීර්තියට පත් පඬිවරුන් හයදෙනෙකු පිළිබඳ තොරතුරු මහාචාර්ය විමල විජේසූරිය මහතා, සිය අනුරාධපුර යුගයේ විශ්ව කීර්තිමත් සිංහල මහා ලේඛකයෝ නම් කෘතියෙහි ලා ඉදිරිපත් කරයි. ඔවුන් නම් ආර්යදේව, රත්න ශ‍්‍රී ඥාන, කුමාරදාස, බුද්ධදාස, භදන්ත ධීර නාග පාද හා ආර්යශුර පාද යන හය දෙනා ය. මේ සිංහල පඬිවරුන් සංස්කෘත භාෂාවෙන් රචනා කළ කාව්‍ය හා එහි ඇතැම් ශ්ලෝක ශේෂව පවතී. එසේ ම ජානකීහරණය, වෛද්‍යක සාරාර්ථ සංග‍්‍රහය, නිකාය සංග‍්‍රහය, චිත්ත විශුද්ධි ප‍්‍රකරණය හා බුද්ධගයා සංස්කෘත ශ්ලෝක ආදියෙන් තහවුරු වන්නේ සිංහල ලේඛකයන්ගේ අසමසම පාණ්ඩිත්‍යය පිළිබඳ ව රාජශේඛර පඬිවරයා ඉදිරිපත් කළ මතය නිරවද්‍ය බවයි.

නූතන යුගයේ පවත්නා ලොව සියලූ විද්‍යා දර්ශන සාහිත්‍ය දැනුම් අන්තර්ගත පොත්පත් සංඛ්‍යාවට වඩා පාලි, සිංහල, සංස්කෘත භාෂාවලින් රචිත ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ රාශියක් අනුරාධපුර අවධිය තුළ පැවතුණ බව ඉඳුරා ම කිය හැකි ය. වරින් වර පැවති දේශපාලනික හා ශාසනික අර්බුද නිසා එම පොත පත අභාවයට පත් වන්නට ඇත. මහසෙන් රජු දවස මහා විහාරය සතු දේපළ විනාශ කිරීමේ සිට කාලිංග මාඝගේ සංහාරය දක්වා වූ කාල සීමාවන්හි විනාශ වී ගිය අනුරාධපුර සාහිත්‍යයට අයත් ග‍්‍රන්ථ සම්භාරය මෙතෙකැයි කියා දැක්විය නො හැකි ය. මහසෙන් රජු දවස, ඇතුන් පස්දෙනෙකුගේ උසට හෙළටුවා පොත් හා මහා විහාරයට අයත් වෙනත් ග‍්‍රන්ථ ගොඩගසා, ගිනිතබා විනාශ කළ බව මහාචාර්ය ගුණපාල මලලසේකර සූරීන් සිය ‘ලංකා පාලි සාහිත්‍ය’ ග‍්‍රන්ථයේ ලා සඳහන් කරයි. සිංහල භාෂාවෙන් රචිත අපගේ ප‍්‍රථම අදීන සාහිත්‍යය මෙසේ විනාශ විය.

ඉන් පසුව 1215 දී කාලිංග මාඝ විසින් අනුරපුර සාහිත්‍යයට අයත් විශාල පොත් තොගයක් ඇතුන් ලවා අද්දවා රුවන්වැලි සෑය තරම් උසට ගොඩ ගසා විනාශ කරන ලද බව ඵෙතිහාසික සාහිත්‍ය මූලාශ‍්‍රවල දැක්වේ. එමඟින් සමූලෝත්පාටනය වූයේ සිංහල ජාතියේ අදීන අධ්‍යාත්මය යි.

ශ්‍රේෂ්ඨ ජනකවි පරපුරකගේ හා ව්‍යක්ත ලේඛක පරපුරකගේ සේවය ලබමින් සියවස් දහතුනකට අධික කාලයක් තිස්සේ වැඞී විකාශනය වූ අනුරාධපුර සාහිත්‍යය, සිංහල සාහිත්‍ය වංශයේ ස්වර්ණමය යුගයක් වූවා පමණක් නො ව ලෝකයේ ම පැවති විශිෂ්ටතම බුද්ධිමය දායාදය වූවාට කිසිදු සැකයක් නො මැත්තේ ය.

මහාමේඝ 2013 බිනර කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
මාටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්
දයාපාල ජයනෙත්ති