අප සරණ ගිය එ් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පූර්ණය කොට එ් අමා නිවන් මඟ සපිරි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට වදාළා! සාදු…! සාදු…! ආර්ය සත්‍ය කියල කියන්නේ කිසි දිනෙක වෙනස් නො වන, තථාගතයන් වහන්සේලා විසින් ම ඉස්මතු කරල පෙන්වා දෙන ලෝක ධර්මතාවයක්.

මේ උතුම් ආර්ය සත්‍යයන් හතර අතරින් මාර්ග සත්‍ය කියල කියන්නෙ සීල, සමාධි, ප‍්‍රඥ වශයෙන් දියුණු කර ගත යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයට යි. එයිනුත් සීලය කියන්නෙ සත්වයන්ගේ කය වචනය සංවර කර ගැනීම තුළ අකුසල් දුරු කර ගැනීමේ ප‍්‍රතිපදාව බවට පත් වන මාර්ග අංගයන්. එ් කියන්නේ, සීලය අපට සෑම කාලයක දී ම සැප උදාකරල දෙන, සම්බුදුවරුන් විසින් සුගත තථාගත ධර්ම විනය තුළ පනවා වදාරන අකාලික දහමක්. හැම සමාජයක ම සීලය ඇගයීමක් නො ලැබුවාට සෑම සමාජයක ම නීතිය නම් ඇගයීමක් ලබනවා. නීති සම්පාදනය වන්නේත් සමාජයීය යහපත සලසාලීමේ අරමුණින්.

ඕනෑම පුරවැසියෙකුට තමා ජීවත් වෙන රට තුළ, ප‍්‍රදේශය තුළ සංස්කෘතිය තුළ නිතැතින් ම පිළිපැදිය යුතු නීතිරීති සමුදායක් තියෙනවා. එ් නීති රටකින් රටකට, ප‍්‍රදේශයකින් ප‍්‍රදේශයකට වෙනස් බව බොහෝ විට දකින්නට පුළුවන්. එ් වගේ ම තමයි කාලෙන් කාලෙටත් මේ නීති රීති සංශෝධනවලට ලක්වෙනවා. එ්කට හේතුව තමයි මේ නීති සංග‍්‍රහයන් කියන්නෙ පෘථග්ජනයන් විසින් පනවාගන්නා ලද දෙයක් වීම. ලෝකයට යහපත සලසන්නට පනවන නීති අපරිපූර්ණ අවබෝධයකින් යුතු පිරිසකගේ නිර්මාණයක් වුණාට සීලය කියන්නෙ නම් තුන් ලෝකය ම පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන ලද බුදුරජාණන් වහන්සේලා විසින් පනවා වදාළ දහමක්. එ් නිසා එ් සීලය තුළ සංශෝධන වුවමනා වන්නේ නෑ.
රටක් තුළ නීතිරීති පද්ධතියක් ඇතිවන්නේ බොහෝ විට රටේ මිනිසුන්ගේ යහපත හා සුබසිද්ධිය උදෙසායි. බොහෝ දෙනෙක් නීතිය පිළිපදින්නේ නීති කඩ කිරීම තුළ විඳින්නට සිදුවන දඬුවම්වලට ඇති බය නිසයි. එහෙම නැතිව, ‘තමා වැරදි කරන කෙනෙක් වන්නට හොඳ නැහැ.’ කියා හිතන්නේ බොහොම ටික දෙනයි. එ් වගේ ම නීතිය ඉදිරියේ දී බොහෝ දෙනෙක් පිඹුරුපත් සකස් කරන්නේ, ‘මං කොහොමද මේ වැඬේ නීතියට අහු වෙන්නේ නැතිව කරන්නෙ…’ කියල යි. එහෙම පිඹුරුපත් සකසන ඔවුනට බොහෝ විට නීතිය ඉක්මවා යන ක‍්‍රම උපායන් හොයාගන්නත් පුළුවන් වෙනවා.

මෑත කාලයේ ඇඟ කිලිපොලා යන විදියේ අපරාධ ගැන, ජාවාරම් ගැන නිතර අසන්නට දකින්නට ලැබෙනවා. මේ හෙළිදරව් වන අපරාධ වගේ ම හෙළිදරව් නො වන අපරාධ කොච්චර නම් රට තුළ සිද්ධ වෙනවා ඇත්ද? මේකෙන් අපට තේරෙනවා, කොච්චර තදට නීති සම්පාදනය වුණත් එ්වායින් සියලූ දෙනා හික්මවීම කළ නො හැක්කක් බව සහ නීති අබිබවා යන පිරිස් ඕනෑ තරම් සිටින බව. එ් කොහොම වුණත් විෂම වූ අය වෙසෙන මේ මිනිස් ලෝකයේ අභිවෘද්ධිය පිණිස, රැකවරණය පිණිස රටක් තුළ නීතිරීති සම්පාදනය වී තිබීම අත්‍යවශ්‍ය ම වෙනවා. මොකද නීතියට හා දඬුවමට බියෙන් වැරදිවලින් වැළකෙන යම් පිරිසකුත් ලෝකයේ සිටිනවා.

හැබැයි, සිල්පද තුළ හික්මෙමින් වරදින් මිදෙනවා කියලා කියන්නෙ මීට හාත්පසින් ම වෙනස් දෙයක්. නීතිය තුළ කෙනෙක් වැරදි නො කර ඉන්නෙ දඬුවම් ලැබීමෙන් වැළකීම සීමාව කරගෙන යි. නමුත් සීලය තුළ කෙනෙක් වැරදි දේ දුරු කරන්නේ තමාගේ සිත කය වචනය තුළ ඇති පිරිසිදු බව සීමාව කරගෙන යි.

කෙනෙකුට කියන්නට පුළුවන් සිල්පදවලින් තිබෙන රැුකවරණය ම නීතිය රැකීම තුළිනුත් ඇතිවෙනවා කියලා. එ් වුණාට නීතිය තුළ රැුකෙන්නෙ ඕලාරික වූ වැරදි පමණයි. අපි ගත්තොත් නීතියට අනුව මනුෂ්‍ය ඝාතනය වරදක්. එ් වුණාට කුඩා සතෙක් ඝාතනය කළාට එ්ක වරදක් නො වෙයි. නමුත් කුඩා සතෙක් වුණත්, මහා සතෙක් වුණත් අප විසින් මරණයට පත් කළහොත් ‘ප‍්‍රාණඝාතයෙන් වැළකී සිටීම’ කියන සිල්පදය කැඞී හමාරයි. බලන්න, නීතියෙන් ලැබෙන හික්මීමට වඩා අති මහත් හා පරිපූර්ණ වූ හික්මීමක් සීලයෙන් ලැබෙනවා. මේකෙන් අපට පේනවා, සිල් පද ආරක්ෂා කරන එක තමයි වඩාත් උතුම්, එ් වගේ ම වඩාත් දුෂ්කර ම වෙන්නෙ කියලා. භාග්‍යවතුන් වහන්සේ පුඤ්ඤභිසන්ද සූත‍්‍රයේ දී දේශනා කොට වදාළා යම්කිසි කෙනෙක් පංච සීලය තුළ හොඳින් පිහිටලා ඉන්නවා ද ඔහු අප‍්‍රමාණ සත්වයන් හට අභය දන් දෙන කෙනෙක් වෙනවා. අවෛරය දන් දෙන කෙනෙක් වෙනවා. එ් වගේ ම නිදුක් බව දන් දෙන කෙනෙක් වෙනවා. එ් කියන්නේ, සිල් රකින කෙනෙක් ඉන්නවා නම් එ් කෙනා නිසා සමාජයට භය හට ගන්නෙ නැහැ. වෛරය හට ගන්නෙ නැහැ. එ් වගේ ම ඔහු නිසා අන් අය දුක් පීඩාවලට පත්වන්නේ නැහැ. මේකෙන් අපට පේනවා සිල් රැකීම කියන්නෙ තමාටත්, අනුන්ටත්, දෙපිරිසටමත් යහපත පිණිස පවතින උතුම් ධර්මයක් කියලා. තමාටත් රැුකවරණය ලැබෙනවා වගේ ම සමාජයටත් රැුකවරණය සැලසෙනවා.

අපරාධ වැළැක්වීමට කොතරම් නීතිරීති සැකසී තිබුණත් අපරාධවල අඩුවක් පෙනෙන්නට නෑ වගේ ම තමයි, සිල් පද ගැන කොතරම් අසන්නට ලැබුණත් සිල් රකින අය සිටින්නෙ බොහොම ස්වල්පය යි. එ්කට හේතුව සිල් රැුකීමේ සැබෑ අර්ථය අවබෝධ වී නොතිබීම යි. යම් කිසි කෙනෙක් තිසරණය තුළ ශ‍්‍රද්ධාවට පැමිණුනා නම් ඔහුට අවබෝධයක් ඇති වෙනවා, මේ සීලය තිබෙන්නේ නිවන් මඟ අවබෝධය පිණිස මාර්ග අංගයක් ලෙස කියා. එතකොට එ් කෙනා සිල් රැුකීම තුළ තමාට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප‍්‍රශංසා තුළ ඇලෙන්නේ නැහැ. එ් වගේ ම අලාභ අසත්කාර නින්දා ගැරහුම්වලට ගැටෙන්නේ ද නැහැ.

රටක නීතිය කියන දේ යහපතට වගේ ම අයහපතට ද යොදා ගන්නා අවස්ථා තියෙනවා. අපි ගත්තොත් තැබෑරුම්වලට, සමාජ ශාලාවලට, සූදු පොළවලට නීතිමය අවසර ලබා දීම තුළ සමාජ සදාචාරය විශාල ලෙස සෝදාපාළුවට ලක්වෙනවා. නමුත් සීලය නම් සෑම විට ම තිබෙන්නේ යහපත, සැපය ඉලක්ක කරගෙනයි.

එ් වගේ ම තමයි වඩාත් බලවත් කෙනා හමුවේ නීතිය අකර්මණ්‍ය වෙනවා. එතකොට දුබලයා නීතියට කොටුවෙනවා. බලවතා නීතියෙන් රිංගා යනවා. නමුත් වැරදි කරන කෙනාට කර්ම විපාකයෙන් රිංගා යන්න පුළුවන්කමක් නැහැ. අනික වැරැද්දකට නීතියෙන් දෙන දඬුවම් විඳි පමණින් එ් වැරැද්ද කිරීමෙන් රැස් වූ කර්ම විපාකය ගෙවී යන්නේ නැහැ. ඇතැම් වෙලාවට වැරදිකරුවන් නො වන අයත් නීතිය හමුවේ දඬුවම් ලබනවා. මේ හැම දෙයින් ම පෙනී යන්නේ නීති රාමු අපරිපූර්ණ බව සහ කර්ම – කර්ම ඵල ස්වභාවය වපුරන හැටියට ම අස්වනු ගෙන දෙන බව. ඉතින් යම් කෙනෙක් ශ‍්‍රැතවත් ආර්ය ශ‍්‍රාවක බවට පත්වෙලා නම් ඉන්නෙ එ් කෙනා සිල් රකින්නෙ කර්ම ඵල පිළිබඳ ව විශ්වාසය ඇතිවයි. එතකොට එ් කෙනා ලොකු කුඩා සියලූ වරදින් වැළකී සිටීමට උත්සාහ කරනවා. ඔහු සීලය වගේ ම නීතිය ද ආරක්ෂා කරන කෙනෙක් බවට නිතැතින් ම පත්වෙනවා. සැබැවින් ම නීති ද සුරකිමින් සමාජයට සියලූ යහපත සලසන්නේ මැනැවින් රකින සීලය යි. අපට ද තිසරණය සහිත සිල් සුරැුකීම මඟින් දෙපිරිසට ම යහපත ඉටුකරන නීතිගරුක පුද්ගලයකු වී සමාජයට රැකවරණය සැලසීමට වීරිය උපදීවා!

මහාමේඝ 2015 අධි ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
කෝසල සමරසේකර