ඒකනාලා නම් වූ මේ ග‍්‍රාමය මගධ ජනපදයෙහි දකුණු කඳුකරයට වන්නට පිහිටියේ ය. බ‍්‍රාහ්මණ කුලීනයන් වාසය කරනා මෙහි මේ කාලය කුඹුරු සීසෑම් කෙරෙනා කාලය යි. සෑම කුඹුරු හිමි බ‍්‍රාහ්මණයෙකු ම තම සේවකයන් යොදවාගෙන සීසෑමේ කටයුතු ඉක්මනින් අවසන් කර ගැනීම පිණිස උත්සාහවත් වෙමින් පසුවෙයි. මේ අතර එදින උදෑසන භාරද්වාජ නම් ධනවත් බ‍්‍රාහ්මණයෙකු න`ගුල් පන්සියයක් පමණ යොදවා තම කුඹුර සීසෑම පිණිස සූදානම් වෙමින් සිටියේ ය.

එසමයෙහි ගෞතම නම් වූ අප භාග්‍යවතාණෝ ද එම එ්කනාලා ගමෙහි වැඩ වසන සේක. අසාධාරණ ඤණයක් වූ මහා කරුණා සමවතින් ලොව බලනා උන්වහන්සේට මේ ධනවත් භාරද්වාජ බ‍්‍රාහ්මණයාව දැක ගන්නට ලැබිණි. සම්බුදුරජුන්ගේ මහා කරුණාව අසමසම වූවකි. භාග්‍යවතුන් වහන්සේ එ් පෙරවරුවේ සිවුරු හැඳ පොරවා ගෙන, සිවුරත් පාත‍්‍රයත් රැගෙන භාරද්වාජ බ‍්‍රාහ්මණයාගේ සීසාන තැන පිහිටි දෙසට වැඩම කළ සේක. භාග්‍යවතුන් වහන්සේ එ් ස්ථානයට වැඩම කරන විට භාරද්වාජ බ‍්‍රාහ්මණයා සීසාන පිරිසට ආහාර බෙදමින් සිටියේ ය.

භාග්‍යවතුන් වහන්සේ ද පාත‍්‍රය රැුගෙන ආහාර බෙදන තැනට වැඩම කොට එකත්පස්ව සිටි සේක. පිඬු පිණිස වැඩම කොට සිටියා වූ භාග්‍යවතුන් වහන්සේව භාරද්වාජ බ‍්‍රාහ්මණයා දුටුවේ ය. මේ උදෑසන වෙහෙසී කටයුතු කරන අප සමීපයට කිසි කටයුත්තක් නො කොට ඉල්ලාගෙන කෑමට හුරු වූ ශ‍්‍රමණයෙකු පැමිණියේ යැයි ඔහුගේ සිතේ හට ගත්තේ අමනාපයකි. හෙතෙම මෙසේ කල්පනා කළේ ය. ‘ඔව්! මොහුට ද කය වෙහෙසා හරි හම්බ කරගෙන අනුභව කිරීමට කියා දිය යුතු ය’. එසේ සිතා භාග්‍යවතුන් වහන්සේට මෙසේ පවසා සිටියේ ය.

‘‘එම්බා ශ‍්‍රමණය, මේ බලන්න. අපි මෙහි වෙහෙසී සීසාන්නෙමු. වපුරන්නෙමු. සීසෑම් ද කොට වැපිරීම් ද කොට අනුභව කරන්නෙමු. ඔබ කිසි වෙහෙසක් නො වී, අනුන් විසින් වෙහෙසී ඉපැයූ දේ ඉල්ලාගෙන අනුභව කරන්නෙකි. එහෙයින් ඔබ ද ශ‍්‍රමණය සීසෑ යුත්තේ ය. වැපිරිය යුත්තේ ය. සීසෑම් ද කොට වැපිරීම් ද කොට අනුභව කළ යුත්තේ ය”.
භාග්‍යවතුන් වහන්සේ තැන්පත් ස්වභාවයෙන් ම ඔහු හට මෙසේ පිළිවදන් දුන් සේක.

‘‘පින්වත් බ‍්‍රාහ්මණය, මම ද සීසාන කෙනෙක් වෙමි. වපුරන කෙනෙක් වෙමි. සීසෑම් ද කොට වැපිරීම් ද කොට අනුභව කරන කෙනෙක් වෙමි”.

එ් පිළිතුරට තරමක් අවඥ සහගත ලෙස සිනහසුන භාරද්වාජයන් මෙසේ ඇසුවේ ය. ‍

‘‘ඔහෝ!…හරි පුදුම කථාවක් නෙව ශ‍්‍රමණයෙක් වීත් නුඹ වහන්සේ පවසන්නේ. අපට නම් ඔබ වහන්සේ සීසෑමටත්, වැපිරීමටත් යොදාගන්නා විය ගසක් හෝ නඟුලක් හෝ කෙවිටක් හෝ ගවයන් හෝ නො පෙනේ. එසේ වී නමුත් පින්වත් ගෞතමයාණෝ මෙසේ පවසන්නාහු ය. ‘බ‍්‍රාහ්මණය, මම ද සීසාන කෙනෙක් වෙමි. වපුරන කෙනෙක් වෙමි. සීසෑම් ද කොට වැපිරීම් ද කොට අනුභව කරන කෙනෙක් වෙමි’ යි යනුවෙන්. කවර කතාවක් ද මේ?

භවත් ගෞතමයාණන් ගැන අප නම් දැන උන්නේ ශ‍්‍රමණයෙකු කියා ය. එහෙත් දැන් ඔබ ම තමා ගැන ‘මම ගොවියෙකු වෙමි’ යි පවසයි. නුඹ වහන්සේ කරනා ගොවිතැනක් නම් අප හට නො පෙනේ. පවසනු මැනැවි.. ඔබ වහන්සේ ගොවිතැන් කරන්නේ කෙලෙසක දැයි අපිදු දැනගනු කැමැත්තෙමු.”

‘‘එසේ නම් භාරද්වාජය, දෙසවන් යොමා හොඳින් අසන්න. මාගේ ගොවිතැන ගැන මා ඔබට කියා දෙන්නම්. භාරද්වාජය, මාගේ කෙතෙහි මා වපුරන්නේ ඔබලා මෙන් බිත්තර වී නො වේ. මම ශ‍්‍රද්ධාව නම් වූ බීජ වපුරමි. එ් බීජ වැපිරීමට පෙර කුඹුර සීසෑම පිණිස මා සතුව ප‍්‍රඥව නම් නඟුලත්, විය ගසත් තිබෙන්නේ ය. එහි නඟුලිස නම් පාපය කෙරෙහි ඇති ලැජ්ජාව යි. රැහැන ලෙස ඇත්තේ මනස යි. සීසෑමේ දී මා යොදා ගන්නා හී වැල හා කෙවිට වනුයේ ඉතා හොඳින් පිහිටුවා ගත් සිහිය යි. මෙසේ සීසෑම කොට එහි සැදැහැ බිජු වපුරා තපස නම් වූ වැසි දහරින් මාගේ කෙත හොඳින් තෙමන්නෙමි.”

භාරද්වාජ බ‍්‍රාහ්මණයා කන් යොමාගෙන මේ අපූර්ව විග‍්‍රහය අසාගෙන සිටී. එ් උතුම් සම්බුදු මුව මඬලින් තවදුරටත් සොඳුරු දහම් අරුත් ගලා යන්නට විය.

”පින්වත් භාරද්වාජය, මම කයත්, වචනයත් වරදින් වළක්වාගෙන ආරක්ෂා කරගෙනයි සිටින්නේ. එ් සිල්වත් බව තුළ පිහිටා ලැබෙන පිණ්ඩපාතයක් රසයට ගිජු නො වී අර්ථය දැනගෙන අනුභව කරමි. වරදින් අත් මිදී යහපත් ලෙස දිවි ගෙවීමෙන් සැලසෙන සැපත හඳුනාගෙන කටයුතු කරන මම දුක් පීඩා රහිත ජීවිතයක් ගත කරන්නෙමි.”

ජීවිතය ගැන කිසිවෙකුගෙන් නො ඇසුණු මේ විස්මිත කතාන්දරය දැන් භාරද්වාජයන්ගේ සිත වසඟ කොටගෙන හමාර ය. හේ තවදුරටත් අසාගෙන සිටී.

‘‘සියලූ ශෝක පීඩා දුරුවන තැනක් මේ ලොව ඇත්තේ ය. එතැන නම් අමා මහ නිවන යි. එ් නිවන වෙත ම යොමු වූ ඍජු මෙඟ් මම වීරියෙන් යුතුව ගමන් කළෙමි. පින්වත් භාරද්වාජය, මා ගොවිතැන් කළේ ඔය අයුරිනි. එ් සීසෑමෙන් මා ලැබුයේ අමා නිවන නම් වූ ඵලය යි. ඉදින් යමෙක් විසින් මේ සීසෑම කළහොත් බ‍්‍රාහ්මණය, ඔහු සියලූ දුක් පීඩාවන්ගෙන් අත් මිදෙන්නේ ම ය.”

භාරද්වාජයන් නුවණැත්තෙකි. ඔහුට මේ පැවසූ කරුණුවල අරුත මනාව වැටහෙන්නට විය. ‘අහෝ! මේ වැඩම කොට ඇත්තේ මහා උත්තමයාණන් වහන්සේනමකි.’ භාරද්වාජ බ‍්‍රාහ්මණයා වහා ම එහි තිබූ අගනා ම ලොකු රන් බඳුනක් ගෙන එහි කිරිබතක් වඩා භාග්‍යවතුන් වහන්සේ වෙත පිළිගැන්වී ය.

‘‘අහෝ! අප හට සමාවුව මැනව. අප වැනි සාමාන්‍ය ගොවියන් මෙන් නොව පින්වත් ගෞතමයන් වහන්සේ අමා ඵල ලබා දෙන්නා වූ සීසෑම කරන හෙයින් පින්වතාණන් ද උතුම් වූ ගොවියෙක් ම ය. ගොවියෙකු විසින් තවත් ගොවියෙකු හට යමක් දුන්නාට කම් නැත. පින්වත් ගෞතමයාණෙනි, අප කෙරෙහි අනුකම්පාවෙන් මේ කිරිබත ඉවසා වදාරන සේක්වා!”
සම්බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාවය පුදුම සහගත වූවකි. එය සම්බුදුවරුන් හට පමණක් ම විෂය වූ අචින්තනීය ස්වභාවයකි. භාරද්වාජයන් හට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

‘‘තව කෙනෙකු හට කරුණු පවසා පහදවාගෙන ලැබෙන මේ බොජුන් මා හට සුදුසු නො වේ. එය ධර්මය තුළ රැුඳුන අයෙකුගේ සිරිතකි. බ‍්‍රාහ්මණය, කරුණු පවසා පහදවාගෙන ලබන බොජුන් නොවැළඳීම සම්බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාවයක් ලෙස දත යුත්තේ ය.”

එසේ භාරද්වාජයන්ගේ දානය ප‍්‍රතික්ෂේප කළ භාග්‍යවතුන් වහන්සේ ඔහු කෙරෙහි අනුකම්පාවෙන් යළි මෙසේ පැවසූ සේක.

‘‘බ‍්‍රාහ්මණය, ඉතා යහපත් වූ ගුණධර්මයන්ගෙන් සපිරුන උතුමන් හටත්, මුළුමනින් ම සන්සිඳීමට පත් නික්ලේෂී රහතුන් හටත් අහරින් පැනින් සැලකිලිි සම්මානයන් කරන්න.

පින්වත් එ් උතුමන් වනාහී දායකයන් හට මහත් වූ පින් ඵල උපදවාදෙන අනුත්තර පින්කෙත යි.”

භාරද්වාජ බ‍්‍රාහ්මණයා තම අත තිබෙනා කිරිබතෙන් පිරුණු රන් බඳුන දෙස බලාගෙන ම භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසන්නට විය.

‘‘එසේ වී නම් පින්වත් ගෞතමයන් වහන්ස, මම් මේ කිරිබත කවර කෙනෙකුට දෙන්නෙම් ද?”

‘‘පින්වත් බ‍්‍රාහ්මණය, දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ ශ‍්‍රමණබ‍්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප‍්‍රජාවෙන් යුතු මේ ලෝකයෙහි යමෙකුට වනාහී ඔය කිරිබත වැළඳූ කල්හී මනා කොට දිරවන්නේ නම්, එ් කෙනා තථාගතයන් වහන්සේනමක් හෝ තථාගත ශ‍්‍රාවකයෙක් හැර වෙන කිසිවෙකු නො වන බව මම දකිමි. එහෙයින් බ‍්‍රාහ්මණය, ඔබ මේ කිරිබත රැුගෙන නිල් තණ නොමැති තැනක හෝ ප‍්‍රාණීන් රහිත ජලයෙහි හෝ දමන්න.”යි බුදුරජාණන් වහන්සේ ලබාදුන් පිළිතුරෙන් පුදුමයට පත් භාරද්වාජ බ‍්‍රාහ්මණයා එ් ගැනත්, අම ඵල ලැබදෙන සීසෑම ගැනත් සම්බුදුරජාණන් පැවසූ වදන් හදවතෙහි ෙදා්ංකාර දෙද්දී එ් කිරිබත ගෙන ගොස් කුඹුර අසල තිබූ කුඩා දිය පහරකට දැමුවේ ය.

විස්මයකි! එවේලෙහි ජලයේ දැමූ එ් කිරිබත දවසක් මුළුල්ලේ රත් වූ හී වැලක් ජලයට දැමූ කලෙක මෙන් චිට් චිටි යන හඬින් යුක්ත ව දුම් දමන්නට පටන් ගත්තේ ය. බොහෝ සෙයින් දුම් දමන්නට පටන් ගත්තේ ය. ‘මේ ශ‍්‍රමණයාණන් වහන්සේ මහා ආනුභාව සම්පන්න වූ අයෙකි’ යි ලොමුඩහගැන්වී ගිය භාරද්වාජයන් මහත් සංවේගයෙන් යුතුව එ් දෙස බලා සිටියේ ය. ඔහු ප‍්‍රශ්න කරන්නට වූයේ තමාගෙන් ම ය.

‘උඹට මේ සා ආනුභාව සම්පන්න ශ‍්‍රමණයෙකු ඇස් දෙකෙන් ම දැක ගන්නට ලැබුණා. උන්වහන්සේ විසින් දුක් ශෝක කිසිවක් නැති නිවන නම් වූ අමා ඵලයක් ගැන පැවසූ දහමකුත් අහන්නට ලැබුණා. එ් දහම උඹට කියා දෙන්නට උන්වහන්සේ තම පිණ්ඩපාතය පවා කැප කළා නො වේ ද? එ්ත් උඹ තාම මේ මඩ තවරාගෙන කරන නිස්සාරවත් ගොවිතැනට බැඳිලා නේ ද? භාරද්වාජයෙනි, එ් අමා ඵල ලබාදෙන ගොවිතැන උඹත් කර ගත්තොත් සැදැහැ බිජු වපුරා නුඹටත් අම ඵල ලැබිය හැකි නො වේ ද?’
භාරද්වාජ බ‍්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. මහා කාරුණික භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් අසල සිරසින් වැඳ වැටී භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසුවේ ය.

‘‘පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මනරම් ය. ඔව්!… ඉතා මනරම් ය. යටට හැරැවී ඇති දෙයක් උඩට හැරවූවාක් මෙනි, සැඟවුණු යමක් මතු කොට දැක්වූවාක් මෙනි, මංමුළා වූ කෙනෙකුට හරි මග පෙන්වූවාක් මෙනි, ඇස් ඇත්තන්ට රූප දැකීමට අඳුරේ තෙල් පහනක් දරන්නාක් මෙනි. එසෙයින් ම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ශ්‍රී සද්ධර්මය ප‍්‍රකාශ කරන ලද්දේ ය. එ් මම ද පින්වත් ගෞතමයන් වහන්සේ සරණ යමි. සද්ධර්මය ද භික්ෂු සංඝයා ද මම සරණ යමි. එ් මම ද පින්වත් ගෞතමයන් වහන්සේගේ සමීපයෙහි පැවිදි බව ලබම්වා! උපසම්පදාව ද ලබම්වා!”

කසීභාරද්වාජ බ‍්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදි උපසම්පදාව ලැබුවේ ය. නොබෝ කලකින් ම පිරිසෙන් වෙන්ව, හුදෙකලා ව, කෙලෙස් තවන වීරියෙන් යුතුව, දිවි දෙවෙනි කොට දහමෙහි හැසිරෙද්දී භාරද්වාජයන් වහන්සේ ද උතුම් පැවිදි ජීවිතයේ එක ම අරමුණ වූ එ් අරහත්වය මේ ජීවිතයේ දී ම සාක්ෂාත් කොට ඊට පැමිණ වාසය කළාහු ය. උන්වහන්සේ ද මේ ජීවිතයේ දීම අම ඵල නෙළුෑ සේක.

මහාමේඝ 2015 උඳුවප් කලාපය
WWW.MAHAMEGHA.LK

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.