අප පසුගිය කලාපවල වැඩිපුර විමසුමට භාජනය කළේ නවීන කෘෂිකර්මයේ රසායන ද්‍රව්‍ය භාවිතයේ දී සිදු වන හානිකර තත්වයන් ගැන ඔබේ අවධානය යොමු කිරීමට ය. නවීන තාක්‍ෂණය නිසා වගාබිම රසායනික පොහොර හා කෘමිනාශක මඟින් විෂ කර ගන්නා අන්දම අප සඳහන් කරන්නට යෙදුණා. මෙවර අප අදහස් කරන්නේ හෙළ ගොවිතැනේ දී භාවිත වූ තාක්‍ෂණයේ පස සරුකර ගැනීම පිළිබඳ ව කතා කිරීමට ය.

පස සරුකර ගැනීම ගැන කතා කිරීම වැදගත් වන්නේ, වගාවලට යොදන සියලූ ම අහිතකර රසායනික ද්‍රව්‍යවලින් වැළකී පරිසර හිතකාමී එමෙන් ම ධාර්මික ගොවිතැනක් කිරීමට ඉන් අපට ඉඩ ලැබෙන හෙයිනි.

පස සරු කර ගැනීම ගැන අපට අලූතින් කතා කිරීමට සිදු ව ඇත්තේ නවීන යැයි කියා ගන්නා කෘෂිකර්මය විසින් පස රෝගී තත්වයට පත් කරන ලද නිසාවෙනි. සරු පස යනු ණඵඛ පමණක් නො වන බවත් ජීව විද්‍යාත්මක වශයෙන් ඉතා ක‍්‍රියාශීලී මිලියන සංඛ්‍යාත ක්‍ෂද්‍ර ජීවින්, පණුවන් හා දිලීර වර්ගවලින් ගහන පිරුණ දෙයකි. පස සරු ද නැද්ද යන්න තීරණය වන්නේ මෙම ජීවීන් ගහනයේ සමතුලිත බව අනුව ය. සමතුලිත පසෙහි දී සිදු වන්නේ වගාවන්ට හානිකර පණුවන් හා දිලීර, වගාවට හානිකර නො වන කෘමීන් හා දිලීර මගින් ම පාලනය කරනු ලැබීම යි.

සුවපත් පසක් යනු ස්වභාව ධර්මයේ ඉහත දැක්වූ නියමයන්ට අනුව සැකසුණු පසකි. මොහොතකට ඔබේ අවධානය ස්වාභාවික වනාන්තරයකට යොමු කරන්න. කෘමි හානි, දිලීර හානි, පස නිසරුවීම්, පස සෝදා යාම වැනි ප‍්‍රශ්න එහි තිබෙනවා ද? භූමියේ ඉහළ ම ඵලදායීතාවය ඇත්තේ වනාන්තරයක නො වේ ද? අප වගා බිම ස්වාභාවික වනාන්තරයකට සම කළ නො හැකි වුව ද, ස්වභාව ධර්මයෙන් අපට ඉගෙන ගැනීමට බොහෝ දේ තිබේ.

පළමු පාඩම වන්නේ, පසෙහි ස්වාභාවික ව තිබිය යුතු රසායනික, ජීව විද්‍යාත්මක හා භෞතික ලක්‍ෂණ මනා ව තුලනය වන්නේ නම් එම පස නිරෝගී පසක් බව ය. නිරෝගී පසක බෝග වගා කිරීම සඳහා අවශ්‍ය සියලූ ම සාධක උපරිම මට්ටමින් තිබෙන හෙයින් කෘමි, දිලීර හානි සිදු විය නො හැක. කෘමි හා දිලීර නාශක යෙදීම අවශ්‍ය නො වේ. අස්වැන්න උපරිම මටිටමින් ලැබේ.

දෙවැනි පාඩම වන්නේ පසට අලූතින් පොහොර එක් කිරීමට වඩා අප ප‍්‍රමුඛතා ව ලබා දිය යුත්තේ පස ආරක්‍ෂා කර ගැනීමට බව ය. වනාන්තරයකට වර්ෂාවෙන් වැටෙන ජලය එයින් පිට වන්නේත් පිරිසිදු ජලය වශයෙනි. වනාන්තරයේ පසෙහි පෝෂ්‍ය කොටස් රැගෙන යන්නේ නැත. වර්තමානයේ අපගේ වගා බිම්වල ඇත්තේ මෙහි අනෙක් පැත්ත ය. අපගේ ගොවීන් පස සංරක්‍ෂණයට දක්වන්නේ කෙතරම් අඩු උනන්දුවක් ද? ගොවි බිමට වැටෙන වර්ෂාව සහ සපයන වාරිමාර්ග මඟින් මතුපිට පස් සෝදාගෙන යාම ගැන අප ගොවීන් එතරම් උනන්දුවක් නො දක්වන බව පෙනේ. වාර්ෂික ව අප කෙතරමි පස් තොගයක් ජල ධාරා ඔස්සේ ජලාශවලටත් මුහුදටත් සෝදා යාමට සලස්වනවා ද? (ඉහළ මහවැලි කලාපයේ වසරකට ටොන් 132000ක් මෙලෙස ජලාශවලට පස් එකතු වේ.) ජලාශ පිරීමේ වැඩි ම වේගයක් පෙන්වන්නේ රන්ටැඹේ ජලාශය යි. (වසරකට 4.3% ක ප‍්‍රමාණයක්) ඒ වැලිමඩ හා ඌව පරණගම ප‍්‍රදේශවල එළවලූ හා අල ගොවින්ගේ ඉඩම්වල පස් සෝදා දුඹුරු උමා ඔය දිගේ පහළට එවමිනි. මෙලෙස සෝදා යන්නේ වගාවට ඉතාමත් අවශ්‍ය මතුපිට පස් ස්ථරය බව අමතක නො කළ යුතු ය.

මෙලෙස නො සලකා හරින ලබන හෙයින්, නිසරු වන පස සරු කර ගැනීමේ පරමාර්ථයෙන් අපට කෙතරම් රසායනික පොහොර වගා බිමට එකතු කිරීමට සිදු වනවා ද? ණඵඛ පමණක් යෙදීමෙන් පස යළි සමතුලිත තත්වයකට පත් නො වේ. එතරම් ශක්තිමත් නො වන පසක වැවෙන දුර්වල බෝගවලට කෘමි හානි ද බහුල ව සිදු වන බව අමතක නො කළ යුතු ය. එහෙයින් ම කෘමිනාශක බහුල ව යෙදීමේ අවශ්‍යතාව ගොවීනට ඇති වේ.

වනාන්තරයකින් අප උගත යුතු අනෙක් පාඩම වන්නේ පස නිතර ම ආවරණය කර තබා ගත යුතු බව ය. අපගේ ගොවීන්ගේ පුරුද්දක් වනුයේ වගා බිමේ පස නිරාවරණය වන පරිදි ආවරණ ඉවත් කිරීම ය. වගා බිමෙන් අනෙකුත් සියලූ ශාඛ ඉවත් කිරීමට ගොවීන් පෙළඹවීම නවීන කෘෂි තාක්‍ෂණයේ අංගයකි. එනම් සියලූ පැළෑටි ඉවත් කොට තමා වගා කරන බෝගය පමණක් ඉතිරි කර ගැනීම ය. නිරාවරණ පසට වැස්සෙන්, සුළෙ`ගන් හා අව්වෙන් හානි වන අතර එය ම පසේ ව්‍යුහය බිඳ වැටීමට හා පස සෝදා යාමට හේතුවක් වෙයි.
ස්වාභාවික ගොවිතැන සඳහා පස සුවපත් කර ගැනීමට සොබා දහමින් ම උගත හත හැකි පාඩම් ගැන මොහොතක් සිත යොමු කරමු.

පස සංරක්‍ෂණය:

පස සංරක්‍ෂණය යනු විශේෂයෙන් වැඩි වෙහෙසක් දරා කළ යුතු කාර්යයක් නො වේ. ඔබගේ ඉඩමේ පස සෝදා යාම වළක්වා ගත හැකි නම් ඒ කුමන ක‍්‍රමයෙන් වුව ද පස සංරක්‍ෂණය වනු ඇත. වත්මනෙහි අප පුරුදුව ඇත්තේ ගල්වැටි, කානු වැනි අධික ශ‍්‍රමයක් හා වියදමක් සිදු වන ක‍්‍රමවලට ය. එයින් පස සුරැුකෙන්නේ නම් එහි ඇති වරදක් නැත. එහෙත් අප ස්වාභාවික ගොවිතැනෙහි දී එයට වඩා සොබා දහමට අනුගත ක‍්‍රම අනුගමනය කරන්නේ නම් ඒවා වඩාත් තිරසාර වනු ඇත.

මේ ගැන සිතා බලන්න.

පස ආවරණය:

පස ආවරණය කිරීම යනු පස මතුපිට වල්, තණ කොළ, ගස්වලින් වැටෙන කොළ ආදියෙන් ආවරණය කිරීම ය. මෙයින් කාරණා දෙකක් ඉටු වේ. එනම් පස ආරක්‍ෂණය වීම හා පසෙහි සරු බව වැඩි වීම ය.

පස ආරක්‍ෂණය:

හිරු එළිය හා වැස්ස කෙළින් ම පොළොව මතට පතිත වේ නම් එයින් පසට හා එහි ව්‍යුහයට හානි සිදු විය හැකි ය. පස ඉහත පෙන්වන ලද පරිදි ආවරණය වී ඇත්නම් හිරු එළිය හා වැස්ස කෙළින්ම පසට වැටීමෙන් වන හානිය අවම කර ගත හැකි ය. විශේෂයෙන් අප රටෙහි කඳුකර ප‍්‍රදේශවල පසට සිදු වන විශාල ම හානිය වන්නේ වැසි කාලයේ දී නිරාවරණ පසට වැටෙන වැසි නිසා සිදු වන පස සෝදා යාම ය. වැසි වසින විට ඉඩම් පස බුරුල් කොට තිබුයේ නම් මෙම හානිය ඉතා ම උග‍්‍ර වේ. එම නිසා පස ආරක්‍ෂා කර ගැනීමේ ප‍්‍රශස්ත ම ක‍්‍රමය වන්නේ පස ආවරණය කර තැබීම හා අවම ලෙස බිම් කෙටීම ය.

පස සරු වීම:

පසට ලබා දී ඇති ආවරණය නිසා හිරු එළිය හා වැස්ස සෘජු ලෙස පොළොවට පතිත නො වේ. පස මනාව ආවරණය කර ඇති නිසා එයින් නිපදවෙන කාබනික ද්‍රව්‍ය තැන්පත් වීම නිසා, මතුපිට තෙතමනය ආරක්‍ෂා වේ. මෙම තෙතමනය නිසා පසේ සරුබව ඇති කිරීමට සමත් ක්‍ෂද්‍ර ජීවීන්ගේ ගහනය ද වැඩේ. ගැඩවිල් පණුවන්ගේ පැවැත්මට අවශ්‍ය පරිසරය සකස් වේ. එමෙන් ම වියළි කාලගුණයක් ඇති වුව ද, පස මුළුමනින් ම වියළී යාම ඉන් වැළකේ. පොළොව මතු පිට අඟල් දෙකක පමණ කාබනික තට්ටුවක් තිබේ නම් පස පෙරළීම හෝ සී සෑම අවම කර ගත හැකි ය.

වල් පාලනය:
වල් පාලනය සඳහා අධික වල්නාශක යෙදීම ගොවීන් බොහෝ දෙනෙකුගේ පුරුද්දක් වී ඇත. වල්නාශක වල්වලට පමණක් නො ව සතුන්ට ද, මිනිසුන්ට ද හානිකර බව විද්‍යාඥයින් විසින් ම පවසනු ලැබේ. වල් මර්ධනයට පහසු ම ක‍්‍රමය පොළොව මතු පිට යොදන ආවරණය යි. විශේෂයෙන් ම වී වගාවේ දී මතුපිට ආවරණය යෙදීම වල් මර්දනයට මෙන් ම ඵලදාව වර්ධනයට ද හේතු වේ.

අවම ශ‍්‍රමය:
පස මතු පිට ආවරණය ගොවි මහතුන්ගේ ශ‍්‍රමය අවම ලෙස යෙදිය යුතු කාර්යයකි. අමතර පොහොර නො යෙදීම, ජලය අවශ්‍යතාව අවම වීම, හා බිම් කෙටීම අවම වීම වැනි කරුණු නිසා ශ‍්‍රමය ඉතා අඩුවෙන් වැය කොට වගාවේ ප‍්‍රතිඵල ලබා ගත හැකි ය.

කාබනික ද්‍රව්‍ය පසට එකතු කිරීම

පස සුවපත් කිරීම සඳහා කළ යුතු වැදගත් ම කාර්යය වන්නේ ඊට හැකි තරම් ස්වභාව ධර්මයට සමීප වීමට අවශ්‍ය තත්වයන් සලස්වා දීම ය. රසායනික ද්‍රව්‍යයන් යොදා විෂ සහිත තත්වයකට පත් වූ පසක් සුවපත් කර ගැනීම අඳහා වහා ම කළ යුත්තේ රසායනික ද්‍රව්‍යයන් පසට යෙදීම සම්පූර්ණයෙන් ම නැවැත්වීම ය. ඒ වෙනුවට කළ යුත්තේ හැකි තරම් කාබනික ද්‍රව්‍ය පසට එකතු කිරීම ය.

සාමාන්‍යයෙන් කෘෂි නිලධාරීන් නිර්දේශ කරන්නේ අක්කරයකට වසරකට කාබනික ද්‍රව්‍ය ටොන් 8 – 10ක් පමණ යෙදිය යුතු බව ය. බොහෝ ගොවීන් මෙන් ම කෘෂි නිලධාරීන් ද මතු කරන තර්කයක් වන්නේ ඉඩමකට මෙතරම් කාබනික ද්‍රව්‍ය ප‍්‍රමාණයක් බාහිරින් සපයන්නේ කෙසේ ද යන්න ය.

මෙම ප‍්‍රශ්නය අප විසින් ම නිර්මාණය කර ගත්තක් නො වේ ද? ඒක බෝග වගාව වැළඳ ගත් අප විසින් ම එක් බෝගයක් පමණක් තෝරා ගෙන අනෙකුත් සියලූ ගහ කොළ හා පැළෑටි වනසා දමන ලදි. වගා බිම අවට කුඩා කැලයක් / වනපෙතක් වත් තබා ගැනීම වල් සතුන් බෝ වීමට හේතුවකැයි සලකා ඒවා සියල්ල විනාශ කිරීමට කටයුතු කරන ලදි. එමෙන් ම එක්තරා යුගයක දී වී වගාවෙන් පසු ඉතිරි වන ඉපනැල්ල පවා ගිනි තබා විනාශ කිරීමට උපදෙස් දෙන ලදි. මේ සියල්ලෙහි පසුබිමෙහි සිටින්නේ ජාත්‍යන්තර පොහොර ව්‍යාපාර බව අප මතක තබා ගත යුතු ය.

මෙම ප‍්‍රශ්නයට පිළිතුරු හෙළ ගොවීන් සතු විය. වගා බිම අවට වන රොදවලින් වගාවට උවමනා පොහොර ලෙස යොදා ගත හැකි ශාඛ වර්ග හඳුනා ඒවා වගා බිමට යෙදීමට ඔවුහු පුරුදු ව සිටියහ. මෙසේ භාවිත කළ බොහෝ ශාඛ වර්ග පොළොවේ කිවුල නැති කිරීමට, දිලීර නාශනයට හා කෘමි ගහනය පාලනය කිරීමටත් හැකියාවක් ඇති ඒවා විය.

පස සරු කර ගැනීම සඳහා භාවිත කළ එක් ක‍්‍රමයක් වූයේ සශ්‍ය මාරුව යි. එයින් එක්තරා ප‍්‍රමාණයකට වගාවේ විවිධත්වය සැලසූ අතර අස්වැන්න නෙළා ගත් පසූ ඉතිරිය ඊළඟ වගාවට පොහොරක් විය. විශේෂයෙන් රනිල කුලයේ බෝග වගාවකට පසු එම වගා කළ බෝගය ම සජීවී පොහොරක් ලෙස ගොවි බිමට එක් කරන ලදි. ඊට අමතර ව සජීවී පොහොර වශයෙන් යොදා ගත හැකි ශාඛ වර්ග බොහොමයක් ඇත.

දිරාපත් වූ කාබනික ද්‍රව්‍ය එනම් අප කොම්පෝස්ට් යනුවෙන් භාවිත කරන පොහොර ද පස සරු කිරීමට භාවිත කිරීමට පුළුවන. කොම්පෝස්ට් සාදා ගැනීම ගැන අවශ්‍ය සියලූ පුහුණු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ම ලබා ගත හැකි ය.

මෙලෙස සුවපත් වූ පසකට රසායනික පොහොර අවශ්‍ය නො වේ. කෘමිනාශක අවශ්‍ය නො වේ. ස්වභාව ධර්මය විසින් ම ඒ සියල්ල විසඳනු ලබයි.

මෙම කරුණු ඔබේ සැලකිල්ලට යොමු වේවා! සත්ව ඝාතනවලින් තොර ව ධාර්මික ගොවිතැනක් කර ගැනීමෙන් ආධ්‍යාත්මික සුවය සලසා ගැනීමේ වාසනාව ඔබටත් උදා වේවා!

මහාමේඝ 2011 පොසොන් කලාපය
WWW.MAHAMEGHA.LK

හරිත සටහන
හැපී ගී‍්‍රන්ස් සංවිධානයේ ගරු සභාපති
කේ. එ්. ජේ. කහඳව

හැපි ග‍්‍රීන්ස් සංවිධානය
www.happygreens.lk
මහමෙව්නාව භාවනා අසපුව, කුඹල්වෙල, ඇල්ල.