දිනය – 2015. 11. 16
වේලාව – සවස 7 පසු වී විනාඩි 17යි
ස්ථානය – හයිලෙවල් පාර, කොළඹ 05

වැස්ස… හොඳට ම වැස්ස. ධාරාණිපාත වර්ෂාවක් නො වුණට එක සීරුවට දිගු වෙලාවක් මේ වැස්ස පතිත වෙනවා. හාත්පස සීතලයි. අඳුර හරියට මැදියම් ? වගෙයි. කිලෝ මීටර් දෙසීයකට එහා දුරක ඉඳන් ඇවිත්, ගමනාන්තයට තව කිලෝ මීටර් පහක විතර දුරක් ඉතිරි වෙලා වැස්ස නිසා ඇති වුණ තදබදයෙන් නැවතුන බස් රථයක ජනේලයක් අයිනේ වාඩි වෙලා වෙලාව බලපු මගේ හිතත් නොසන්සුන්. පැය හතක් පමණ ම ගමනේ යෙදීමෙන් ඇති වුණ වෙහෙසටත් වඩා මගේ හිත නොසන්සුන් කළේ මේ අවසාන කිලෝ මීටර් කිහිපය යන්නට ගත වෙන දිගු වෙලාව යි. නොසන්සුන් බවින් ම ජනේලයෙන් එළිය බලද්දියි මම ඇය ව දුටුවේ.

පහන් කණුවේ ආලෝකය අඳුර කපාගෙන ඇය සිටි තැන එළිය කළා. වයස අවුරුදු හතළිස් පහක පමණ පෙනුමක් තිබුණ ඇය හැඳ සිටියේ අඳුරු පැහැති සායක් සහ හැට්ටයක්. ඇය අතේ තිබුණ ටියුලිප් මලූ හතර කඩ කාමරයේ දොරට හේත්තු කළා. එක ගමන් මල්ලක් විවෘත කරලා ඇතුළේ තිබුණ දේ එළියට ගත්තා. එ් කහ පාට ඉටි කොළයක්. එ්ක පැත්තකින් තියලා තවත් ටියුලිප් බෑගයකින් පත්තර කෑලි ටිකක් අරන් බිම ඇතිරුවා. ආයෙමත් කහ පාට ඉටි කොළය අතට අරන් කෙළවරක තිබුණ නූලකින් එ් ඉටි කොළය වසා දමා තිබුණ දොරේ තැනක ගැට ගැසුවා. මීටර් තුනක් විතර දිග ඉටි කොළයේ අනිත් කෙළවර එ් දොරේ ම අනෙක් පසට ගැට ගැසුවා. ටියුලිප් බෑග් දෙක නැමුවා. තුන්වෙනි ටියුලිප් බෑග් එකත් ඇරලා බෙඞ් ෂීට් එකක් එළියට ගත්තා. එ් ටියුලිප් බෑග් එකත් නමලා එ් නමපු බෑග් තුන ම අනෙක් ටියුලිප් බෑගයට දැම්මා. ඉටි කොළයේ ගැට නො ගසපු දෙකෙළවර කඩයට ගොඩ වෙන්නට සැකසූ පඩිපෙළේ පඩි තුනක් පහළට වන සේ ඇදලා දෙපසින් ගල් කැට දෙකක් තැබුවා. නැවත වරක් සියල්ල පිරික්සා බලපු ඇය හතරවෙනි ටියුලිප් මල්ලත් අතින් අරගෙන තමන් සකසා ගත්ත නිවහනට ඇතුළු වුණා…

පොලිස් නිලධාරි මහතාගේ සංඥවෙන් වාහන ගමන් කිරීම ඇරඹුනා… එක්තරා ශ්‍රී ලාංකේය කාන්තාවකගේ රාත‍්‍රී නවාතැන සැකසෙන අයුර කුතුහලයෙන් බලා සිටි මගේ හිතේ පිරී තිබුණ සංවේගය නිසා වාහන ගමනාගමනය ඇරඹීම ගැන කිසි ම සතුටක් ඇති වුණේ නැහැ.

එදා රැය මා නිදා ගත්තේ සුවපහසුව ඇති යහනක. මදුරුවන්ගෙන් වන හිරිහැර වළකන්නට මදුරු දැලක් තිබුණා. බෙංගාල බොක්කේ අවපීඩන තත්ත්වය නිසා ඇති වුණ මහ වැසිවල සීතල නසන්නට ඕනෑ තරම් දේවල් තිබුණා. සුවසේ නවාතැනට ආව ද කියා අසන්නට සමීපතමයන් මට සිටියා. එදා ඔබේ නින්දත් කිසිසේත් ම ඇයගේ නින්ද තරම් කටුක වූයේ නැතිව ඇති. එහෙත් ඇය…? මිනිසුන් අතර ඇති මේ සා වෙනස්කම්වලට හේතුව සම්බුදු නුවණින් පහදා නො දෙන්නට අපට කිසි දිනක එයට සාධාරණ පිළිතුරක් සොයා ගන්නට ලැබෙන්නේ නම් නැහැ.

තෝද්‍යෙ පුත්ත සුභ විසිනුයි මිනිසුන් අතර දක්නට ලැබෙන මේ සා වෙනස්කම් ගැන සම්බුදුරජාණන් වහන්සේගෙන් විමසනු ලැබූයේ.

‘‘ස්වාමීනී, මේ මිනිස් ලෝකයේ ඉපදුණු මිනිසුන් අතරේ සමහරුන් උසස්. සමහරුන් හීනයි. සමහර අයට දීර්ඝායුෂ තියෙනවා. සමහරු අඩු වයසින් මැරෙනවා. බොහෝ ආබාධ තියෙන අයත් ඉන්නවා. අඩුවෙන් ආබාධ තියෙන උදවියත් ඉන්නවා. ලස්සන අය ඉන්නවා. විරූපී අයත් ඉන්නවා. ආනුභාව අඩු අය ඉන්නවා. මහේශාක්‍ය අයත් ඉන්නවා. සැප සම්පත් අඩු අය ඉන්නවා. බොහෝ සැප සම්පත් තියෙන අයත් ඉන්නවා. නීච කුලවල උපන් අය ඉන්නවා. උසස් කුලවල උපන් අය ඉන්නවා. නුවණැති උදවිය දකින්න ලැබෙනවා. මෝඩ උදවියත් දකින්න ලැබෙනවා. මේ විදිහට මේ මිනිස්සු වෙලා ඉපදුණ අය අතරේ උසස් ස්වභාවයනුත්, හීන ස්වභාවයනුත් දකින්න ලැබෙනවා. මේකට හේතුව මොකක්ද?”
(චූළ කම්මවිභංග සූත‍්‍රය – ම. නි.)

එ් වෙනස්කම්වලට හේතුව සම්බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට පෙන්වා වදාළා.

‘‘පින්වත් සුභ, සත්වයෝ ඉන්නේ කර්මය තමන්ගේ දෙය කරගෙන. කර්මය දායාදය කරගෙන. කර්මය උත්පත්ති ස්ථානය කරගෙන, ඥාතියා කරගෙන, පිළිසරණ කරගෙන… මේ හීන, උසස් දේවල්වලට සත්වයන්ව බෙදන්නේ කර්මය යි.”
(චූළ කම්මවිභංග සූත‍්‍රය – ම. නි.)

ආනුභාව සම්පන්න ජීවිතයක් ලැබෙන්නට කර්ම විපාක රැුස් වන ආකාරය සම්බුදුරජාණන් වහන්සේ මෙසේ පහදා දුන්නා.

‘‘යම් කෙනෙක් ඊර්ෂ්‍යා කරන්නේ නැති නම්, අනුන්ගේ ලාභ සත්කාරවලට, ගරු නම්බුවට ඊර්ෂ්‍යා බැඳ ගන්නේ නැති නම්, ද්වේෂය ඇති කර ගන්නේ නැති නම් අන්න එ් කෙනා එ් කර්මය නිසා මරණින් මත්තේ දෙව්ලොව උපදිනවා. ආයෙමත් මනුෂ්‍ය ලෝකෙට ආවොත් ඔය කර්මය නිසා මහානුභාවසම්පන්න, මහේශාක්‍ය කෙනෙක් වෙනවා…

යම් කෙනෙක් ඊර්ෂ්‍යා කරනවා නම්, අනුන්ගේ ලාභ සත්කාරවලට, ගරු නම්බුවට ඊර්ෂ්‍යා බැඳ ගන්නවා නම්, ද්වේෂය ඇති කර ගන්නවා නම් අන්න එ් කෙනා මරණින් මත්තේ නිරයේ උපදිනවා. ආයෙමත් මනුෂ්‍ය ලෝකෙට ආවොත් ඔය කර්මය නිසා කිසිම ආනුභාවයක් නැති කෙනෙක් වෙනවා…”
(චූළ කම්මවිභංග සූත‍්‍රය – ම. නි.)

එ් වගේ ම කෙනෙක් භව භෝග සම්පත් බොහෝ කොට ලබන්නත්, තව කෙනෙක් එවැනි සම්පත් නො ලබන්නත් කර්ම විපාක සැකසෙන ආකාරය සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා.

‘‘යම් කෙනෙක් දන් දෙනවා නම්, ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන්ට ආහාර පාන, වස්ත‍්‍ර, යාන, මල්, සුවඳ, ආලේපන, සයනාසන, ආවාස, තෙල්, පහන් පූජා කර ගන්නවා නම් එ් කර්මය නිසා එ් කෙනා මරණින් මත්තේ දෙව්ලොව උපදිනවා. ආයෙමත් මනුස්ස ලෝකෙට ආවොත් බොහෝ භෝග සම්පත් ලබනවා.

යම් කෙනෙක් දන් දෙන්නේ නැති නම්, ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන්ට ආහාර පාන, වස්ත‍්‍ර, යාන, මල්, සුවඳ, ආලේපන, සයනාසන, ආවාස, තෙල්, පහන් පූජා කර ගන්නෙ නැති නම් එ් කර්මය නිසා එ් කෙනා මරණින් මත්තේ නිරයේ උපදිනවා. ආයෙමත් මනුස්ස ලෝකෙට ආවොත් භෝග සම්පත් අල්පව තමයි ලබන්නේ.”
(චූළ කම්මවිභංග සූත‍්‍රය – ම. නි.)

බලන්න… මේ කිසිවක් මැවුම්කාරයෙකු කළ දේවල් නො වෙයි. ඉබේ ම හට ගත් දේවලූත් නො වෙයි. හේතුවකින් ම යි එ් දේවල් සැකසුනේ. හේතු වෙනස් කිරීමෙන් ම යි එ් දේවල් වෙනස් කළ හැක්කේත්. අපේ රටේ මෙවැනි දුර්භාග්‍ය සම්පන්න ඉරණමක ගොදුරු බවට පත් වී සිටින්නේ බොහොම ටික දෙනයි. එ් ටික දෙනත් නිතර දන් පැන් පුදන සමාජය නිසාවෙන් යම් හෝ සුවපහසුවක් අත් විඳිනවා. දානය ගැන නො දන්න, එ් ගැන කථා නො කරන, මීටත් වඩා දුගී දුප්පත්කම්වලට මුහුණ දෙන අති මහත් ජනතාවක් සිටින රටවල් ලෝකයේ තිබෙනවා. දානය ගැන පරිපූර්ණ වශයෙන් දේශනා කොට වදහළ සම්බුදුරජාණන් වහන්සේ පහළ වූ දඹදිව පවා භෞතික ව විද්‍යාමාන වන අන්ත දිළිඳුකම් දකින්නට පුළුවන්. පෙර සකස් කළ හේතුන්ගෙන් හට ගත් මේ කර්ම ඵල ස්වභාවය ඉක්මවා යන අධ්‍යාත්මික පොහොසත් බව උරුම කර ගන්නට ඔවුන් අති බහුතරය වාසනාවන්ත නොවීම කණගාටුවට කරුණක්.

නමුත් අපට එ් වාසනාව අහිමි වී නැහැ. ඇයගේ කථාව සහ ලෝකයේ බොහෝ ජනයාගේ කථාව අපේත් කථාව නො වන්නට හේතු සකසා ගන්නට අපට අවස්ථාව තිබෙනවා. එ් අවස්ථාව අපට ලැබුණේ සත්පුරුෂ උතුමන් මේ උත්තුංග ධර්මය අපට අවබෝධ වන අයුරින් පහදා දුන් නිසාත්, එ් ධර්මය සවනත වැකෙන්නට අප වාසනාවන්ත වූ නිසාත්.
සිතා බලන්න. අප අවට සිටින මේ අසරණ ජනයාට පිහිටක් වීම අපේ යුතුකමක්. මේ වැසි සමයේ වගේ ම දුරුතු මාසයේ එළඹෙන සීත සමයේ අලූත් කුඩයක්, බෙඞ් ෂීට් එකක්, ජර්සියක්, බිමට එළිය හැකි ඇතිරිල්ලක් ඔවුන්ට මහා සම්පතක් වේවි. එ් නිසා, ඔබ දැහැමි ව උපයා ගත් මුදලින් එ් කාල දානය පූජා කරමින් පින් රැුස් කර ගන්නට ඔබටත් පුළුවනි. වුවමනා කාලයේ දී සුදුසු දැයින් අනුග‍්‍රහ ලබන්නට එය ම ඔබට උපකාරක ධර්මයක් වේව්.

එ් වගේ ම, මේ කථාව අපේ ද කථාව වීමේ අවදානමෙන් අප සහමුලින් ම නිදහස් වී නැති බවත් මතකයේ තබා ගත යුතු ම යි. චක‍්‍රවර්තී රාජ්‍යය දිනාගෙන සක්විති රජුන් ව දැහැමින් සිව්දිශා පාලනය කළ පුණ්‍යවන්තයන් පවා සුගති සැප කෙළවර කුරා කුහුඹුවන් ව ඉපිද අපාගත වූවා නම්…, මේ අල්ප වූ පුණ්‍ය සම්පත්ති අනුභව කරමින් කලින් කලට පළින් පළට කුසලයේ හැසිරෙන අපේ පුණ්‍ය විපාකයන්ගේ ආයුෂය ගැන කවර කථා ද… අප රැස් කරන පින් එ්කාන්තයෙන් ම විපාක දී ගෙවී යනවා. මේ කථාව, ඔබේ ද මගේ ද කථාව වුණ අතීතයක් තිබුණ වග නිසැකයි. එහෙත්, මේ කථාව අප කිසිවෙකුගේ අනාගත කථාව වීම සහමුලින් ම වළකාලන්නට අපට හැකියි. පින ගෙවී යන්නට පෙර එය කළ යුතු ම යි.

තුමුල හිමාලය තරම් වූ මහා දුක් කඳක් වියළවා හැර, මුං ඇට ප‍්‍රමාණයේ කුඩා ගල් කැට සතක ප‍්‍රමාණ ඇති දුකක් පමණක් ශේෂ ව, උතුම් තෙරුවන කෙරෙහි අචල පැහැදීමෙනුත් – ආර්යකාන්ත සීලයෙනුත් යුතුව මේ නිවන් මඟේ හික්මෙන්නට අප වාසනාවන්ත වුවහොත් මේ කථාව මතු කිසි කලෙකවත් අපේ කථාව වන්නේ නැහැ. සුගත මඟ හික්මෙන පුණ්‍යවන්තයන් විසින් පමණක් ම අත්පත් කර ගන්නා එ් වාසනාව අපට මඟ නො හැරේවා!

තෙරුවන් සරණයි!

සටහන
කලණ ගංගානාථ