ඉතාමත් ම කලාතුරකින් පහළ වූ ගෞතම බුදු සසුන තුළ අප්රමාදී බවේ පිහිටා බලවත් ශ්‍රද්ධාවෙනුත්, දැඩි අධිෂ්ඨානයෙනුත්, මනා සිහිනුවණිනුත්, නො පසුබස්නා වීර්යයෙනුත් යුක්තව දහමේ හැසිරී අමෘතය නම් වූ එ් සුන්දර නිවන් සාක්ෂාත් කොට (කෙලෙස් සහිත සිත් ඇති ලෝ සතුන් අතරේ) නිකෙලෙස් සිත් දරාගෙන වැඩ සිටි එ් උතුම් රහතන් වහන්සේලාට පළමුව ද දෙවනුව ද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා!
ලෝභය, ද්වේෂය, මෝහය යන අකුසල මූලයන්ගෙන් හටගත් අනේකප්‍රකාර අකුසලයන්ගෙන් සිත කිලිටි වීමෙන් සත්වයෝ කිලිටි වී යයි. එනිසා ම පරක් තෙරක් නො පෙනෙන සසර කතරින් එතෙර වීමට ඔවුන් හට නො හැකි ය. එනමුත් සියලූ අකුසල් දුරු කොට සිත පිරිසිදු කර ගත් විට එ් හේතුවෙන් ම සත්වයෝ පිවිතුරු භාවයට පත් වේ. අකුසල් දුරු කිරීමෙන් පිවිතුරු ජීවිත උපදවා ගත් නුවණැත්තෝ ඝෝර වූ සසර කතරින් නිදහස් වී සදාතනික සැප උදා කර ගනිති. සදාතනික සැපය වූ එ් අමා මහ නිවන අවබෝධ කොට පාරිශුද්ධ ජීවිත උපදවා ගත් එ් අසිරිමත් මනුෂ්‍ය රත්නයන් රහතන් වහන්සේලා ලෙස හැඳින්වේ. එබඳු රහතන් වහන්සේලා ගැන අසන්නට ලැබීම පවා සැබැවින් ම වාසනාවකි. මේ ලෝකයට එ් උතුම් රහතන් වහන්සේලා බිහි වන්නේ බුද්ධ ශාසනයක පමණි. එ් මක් නිසා ද යත් සසර දුකින් නිදහස් කරවන එ් අමා නිවන් සුවය කරා යන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇත්තේ බුද්ධ ශාසනයක් තුළ ම පමණක් වන හෙයිනි.
සියලූ සංස්කාරයන් සන්සිඳී ගිය, කෙලෙස් සහිත සියලූ කර්මයන් ක්ෂය වී ගිය, තණ්හාව ක්ෂය වී ගිය, දුක නිරුද්ධ වූ අමා මහ නිවන් සැපය මේ ලෝකයේ ඇති ශාන්ත වූත්, ප්‍රණීත වූත් උතුම් ම සැපය යි. වෙසක් සඳ කැණින් නැහැවෙමින් නේරංජරා නදිය ගලා බසිද්දී, නදී තෙර ඇසතු රුක් සෙවණේ නේරංජරාවට මුහුණලා වැඩ සිටි සිද්ධාර්ථ ගෞතම අප මහා බෝසතාණෝ වසවර්තී මාර බලය පරදා ස්වයංභූ ඤණයෙන් සාක්ෂාත් කොට වදාළේ එ් අමෘත පදය වූ අමා මහ නිවන් සැපය යි. එ් මේ යුගයේ ලොව පළමු රහතන් වහන්සේගේ පහළ වීමයි. කෙලෙස් සහිත ලෝ සතුන් අතරේ සති අටක් පුරා ම එක ම නිකෙලෙස් උත්තමයා ලෙස වැඩ සිටියේ එ් අපගේ ශාස්තෘන් වහන්සේ ම ය. බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැපය පිණිස, දෙව් මිනිසුන් හට අනුකම්පා පිණිස පහළ වන ලොව ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නය වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසිනි එ් අමා නිවන ලෝකයට බෙදා දෙන්නේ.
සම්බුද්ධත්වයෙන් සති අටකට පසු බරණැස් නුවරට වැඩම කළ අපගේ ගෞතම සම්බුදුරජාණෝ මුවන්ට අභය දුන් ඉදිපතන වනයේ දී තුන්ලොව ම එ්කාලෝක කරවමින් කුරවීක නාදයෙන් එ් අමෘත බෙරය වයන්නට විය. අනතුරුව දෙසන ලද අනාත්ම ලක්ඛණ සූත්‍ර දේශනාව අසා කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම හා අස්සජී යන මහා පිනැත්තෝ අම නිවන් සාක්ෂාත් කොට රහතන් වහන්සේලා බවට පත් වූ සේක. එවිට ලෝකයේ ම රහතන් වහන්සේලා වැඩ සිටියේ සයනමක් පමණි.
බරණැස් නුවර දී ම යස නම් වූ සිටු පුත්‍රයාත්, ඔහුගේ මිතුරන් පනස් හතර දෙනාත් සම්බුදුරජුන්ගේ ළය මඬලින් පැන නැගුණු, සිරි මුව මඬලින් අසන්නට ලැබුණු එ් නෛර්යානික දහම අවබෝධ කර ගත්තෝ ය. මේ අයුරින් ලෝකයේ සම්බුදුරජුන් හැරුණු කොට රහතන් වහන්සේලා හැටනමක් බිහි වූ සේක. එ් රහතන් වහන්සේලාගේ ජීවිත අතිශයින් ම පිවිතුරු ය. නිර්මල ය. අකම්පිත ය. රහතන් වහන්සේ යනු සම්බුදු ළය මඬලින් උපන්, එ් සිරිසම්බුදු මුව මඬලින් උපන් තථාගත අනුජාත පුත්‍රයෙකි. එ් තම පුත්‍රයන් බඳු රහතන් වහන්සේලා හැටනම අමතා බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
‘‘පින්වත් මහණෙනි, බොහෝ ජනයාට හිත සුව පිණිස, දෙව් මිනිසුන්ගේ සැපය පිණිස මේ ධර්මය ප්‍රකාශ කරමින් චාරිකාවේ හැසිරෙන්න. නුවණැත්තෝ මේ දහම අවබෝධ කරනවා. මෙය නෑසුණොත් ඔවුන් පිරිහී යාවි. දෙදෙනෙකු එක මඟ නො ගොස් සියලූදෙනාම මේ ධර්මය බෙදා දෙන්න.”
මේ අයුරින් කෙලෙස්බරිත වූ සත්වයන් අතරේ නිකෙලෙස් මුනිවරයන් සැරිසරා වැඩම කිරීම ආරම්භ වූයේ ය. එදා පටන් ඇරඹි අරහත් පරපුරේ නිකෙලෙස් භාවය ලැබූ නුවණැති උතුමන්ගේ ප්‍රමාණය මෙතෙකැයි කෙලෙසක නම් කිව හැකි ද?
හඬට නො සැලෙනා සිංහයෙකු සේ රහතන් වහන්සේ අකම්පිත ය. දැලෙහි නො බැඳෙනා සුළඟක් සේ කිසිවක නො බැඳෙනා සේක. දියෙහි නො තැවරෙන නෙළුමක් සේ කිසිවකට නො ඇලෙනා සේක. මඩ නොමැති විලක කැළඹීමක් නැත්තේ යම් සේ ද එ් රහතන් වහන්සේලා ද කිසිවකට නො කැළඹෙනා සේක. ඉදිකටු තුඩ මත නො රඳින අබ ඇටයක් සේ එ් රහතුන්ගේ ජීවිතයෙහි අසනා, දකිනා කිසිවක් නො රඳනා සේක.
ඇත්තෙන් ම සාමාන්‍ය ලෝකයාට සිතා ගැනීමට නො හැකි තරම් රහතන් වහන්සේගේ ජීවිත පැවැත්ම අද්භූත ය. ආශ්චර්යවත් ය. විස්මිත ය. එනමුදු අතිශයින් ම සැහැල්ලූ වූ සරල වූ නිදහසේ හැසිරෙන දිවියකි රහතන් වහන්සේලා හට ඇත්තේ. මෙබඳු අසිරිමත් වූ රහතන් වහන්සේනමක් ගමක හෝ නියම්ගමක හෝ වනාන්තරයක හෝ නිම්නයක හෝ කඳු ගැටයක හෝ යම් තැනක වැඩ සිටිත් නම් එ් තැන පවා ලස්සන වේ.
‘‘දක්ෂ රියදුරෙක් රියෙහි බැඳි අශ්වයන් ව මැනැවින් හික්මවන්නා සේ රහතන් වහන්සේලා තම ඉඳුරන් දමනය කරගෙනයි ඉන්නේ. එ් නිසා ම පිරිපුන් සන්සිඳීමකිනුයි වාසය කරන්නේ. මානය දුරු කළ අකම්පිත සිත් ඇති එ් රහතන් වහන්සේලා දැකීම දෙවියන්ට පවා ඉතාමත් ප්‍රිය වේ.” යැයි දේවාතිදේව වූ බුදුරජාණන් වහන්සේ වදාළ සේක. පාත්‍රයට යමෙක් පුදනා දෙයකින් ජීවිත යාත්‍රාව ගෙන යාමයි රහතුන්ගේ සිරිත වන්නේ. සුවඳටවත්, පැහැයටවත්, ලස්සනටවත් හානි නො කොට මලෙන් රොන් රැුගෙන පියාඹා යන බඹරෙකු සේ දන්පැන් පූජා කරන දායකයාට පින් රැස් කර දීම පිණිස ය රහතන් වහන්සේලා නිවසක් නිවසක් පාසා පාත්‍රය රැුගෙන පිඬු සිඟා වැඩම කළේ. උන් වහන්සේලාට සුළු දානයක් පූජා කොට දෙව්ලොව උපන් පින්වන්ත මිනිසුන් මෙපමණ යැයි කිව නො හැකි ය. එපමණක් ද නොව රහතන් වහන්සේලාට ඉතා ප්‍රිය කළ දෙවි දේවතාවෝ උන් වහන්සේලාට දනක් පුදා පින් රැුස් කිරීමට ඇඟිලි ගනිමිනි බලා සිටියේ. එ්, රහතන් වහන්සේලාගේ ගුණ කඳ, රහතන් වහන්සේලා විඳි සැපය දෙවිවරුන් හොඳින් දැන සිටි හෙයිනි.
නන්දන වනය තව්තිසා වැසි දෙවියන්ගේ රමණීය උද්‍යානය යි. මෙම උද්‍යානයේ තාවතිංස දෙවි දේවතාවෝ කෙළි සෙල්ලම් කරමින් සතුටින් කල් ගත කරති. දිනක් තම අප්සරාවන් පිරිවරාගෙන නන්දන උයනේ රුක් සෙවණක දිව්‍ය පුත්‍රයෙක් සතුටු වෙමින් සිටියේ ය. පස්කම් සැපයෙන් තෘප්තිමත් වූ එ් දිව්‍ය පුත්‍රයාට ඉබේට ම මෙන්, ”තව්තිසාවැසි දෙවියන්ගේ මේ නන්දන උයන නුදුටු කෙනෙක් ඇත්තෙන් ම සැපය කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ” යි කියැවිණි. මෙය ඇසුණේ රහතන් වහන්සේලාගේ ජීවිතය ගැන පැහැදී සිටි දිව්‍ය පුත්‍රයෙකුට ය. එවිට එ් දිව්‍ය පුත්‍රයා පළමු දිව්‍ය පුත්‍රයාට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි. ”අනේ අනේ මෝඩයෝ! ඔහේ රහතන් වහන්සේලාගේ වචන අහලා නෑ නෙව. සියලූ සංස්කාර ධර්මයෝ හට ගැනීමත්, නැසී යාමත් ස්වභාව කොටගෙනයි තියෙන්නේ. ඔය ස්වභාවය සන්සිඳී යාමටයි සැපය කියා කියන්නේ.” මේ ලෝ සතුන් අතරේ එ් සැපය ස්පර්ශ කළේ රහතන් වහන්සේලා පමණි. ”යමෙක් අධිෂ්ඨානශීලී මනසකින් පිළිවෙතෙහි යෙදී බුදු සසුන මත පිහිටා සියලූ කෙලෙස් බැහැර කොට දැමුවේ ද එ් උතුමන් අවබෝධ කළ එ් නිවන් සැපය සිතු සිතූ අයුරින් වළඳති. මෙය බුදුරජුන්ගේ ශ්‍රාවකයන් තුළ පවතින සත්‍ය ගුණයකි. එ් සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!” යනුවෙන් ධර්ම ස්වාමී වූ සම්බුදුරජාණෝ රහතන් වහන්සේලා ගැන වදාළ සේක.
මේ ලෝකයේ පමණ කළ නො හැකි ගුණස්කන්ධයක් දැරූයේ අමා නිවන් දුටු අරහත් උතුමාණන් වහන්සේලා ම ය. උපසීව නැමැත්තෙකුට බුදුරජාණන් වහන්සේ එය මෙසේ තෝරා දුන් සේක. ”පින්වත් උපසීව, නිවන අවබෝධ කළ රහතන් වහන්සේ මැනීමට මිම්මක් නැත. යමෙකුට මැනිය හැකි යම් මිනුම් දණ්ඩක් වේ ද රහතන් වහන්සේට එ් මිනුම් දණ්ඩ නැත. සියලූ කෙලෙසුන් සන්සිඳී ගිය විට සියලූ වාදයන් ද අහෝසි වී යයි.” මේ නිසා ම ය පමණ කළ නො හැකි ගුණ දැරූ රහතන් වහන්සේලා ලොව අග්‍ර භාවයට පත් වන්නේ. ‘‘මේ ලෝකයේ යම්තාක් සත්ව වාසස්ථාන වෙත් ද භවාග්රයෝ යම්තාක් වෙත් ද එ් සියල්ලට ම ඉහළින් ලෝකයේ අග්‍ර වන්නේ රහතන් වහන්සේලා ය. ශ්‍රේෂ්ඨ වන්නේ රහතන් වහන්සේලා ම ය.”
මේ ලෝකයේ සියලූ සත්වයෝ වයසට යෑම, ලෙඩ වීම, මරණයට පත් වීම, සෝක වැළපීම් කායික මානසික දුක්ඛ දෝමනස්සයන් විඳිමින් ඉන් නිදහස් වීමක් නොමැතිව වාසය කරති. එනිසා ම මේ දුක් විඳිනා අතරේ ම ඔවුන් පතන්නේ මෙබඳු දුක් නැති යළි උපතකි. එනමුදු යළි යළි උපත යනු යළි යළිත් දුකට ම පත් වීම බව රහතන් වහන්සේලා මනාව පසක් කර ගත් දෙයකි. මේ ලෝකයේ රහතන් වහන්සේනමක් බිහි වන්නේ යළි යළි ඉපදීම නැති කිරීමෙනි. සියලූ රහතන් වහන්සේලාට තමන් ලැබූ අවබෝධය ගැන මෙබඳු වැටහීමකි ඇති වන්නේ. ‘‘ඉපදීම ක්ෂය වී ගියේ ය. උතුම් බඹසර ජීවිතයක් ගත කොට අවසන් කරන ලදී. නිවන පිණිස කළ යුතු සියල්ල සම්පූර්ණ කරන ලදී. යළි නිවන පිණිස කළ යුතු කිසිවක් නැත්තේ ම ය.” ඇතැම් රහතන් වහන්සේලා තම සුවිශේෂී ජීවිත පරිවර්තනය ගැන කරන ප්‍රීති වාක්‍යයන් ලෙස ද මෙසේ ප්‍රකාශ කළ අවස්ථා තිබේ.
රහතන් වහන්සේලාගේ ජීවිත හරී ම පුදුමාකාර ය. ඇසින් නො දැකිය යුතු දේ ඉදිරියේ ඇස් ඇතත් අන්ධයෙකු සේ ය උන් වහන්සේලා හැසිරෙන්නේ. නෑසිය යුතු දේ ඉදිරියේ බිහිරෙකු සේ ය. අනර්ථවත් කථා බහ ඇති තැනක දී ගොළුවෙකු සේ ය. මහා නුවණැති වුව ද හැසිරෙන්නේ කිසිවක් නො දන්නෙකු සේ ය. එතරම් ම නිහතමානී බවක්, එතරම් ම සන්සිඳී ගිය බවක්, එතරම් ම නිවහල් බවක්, එතරම් ම නිර්භීත බවක් අරහත් මුනිවරුන්ගේ දිවිය තුළ මිස අන් කවරෙකුගේ දකින්නට හැකි ද? එ් රහතන් වහන්සේලාගේ ජීවිතය සාමාන්‍ය කෙනෙකුට සිතා ගැනීමට පවා නො හැකි ය. කය සැරසීමෙහි නො යෙදෙන, පිඬු සිඟා ජීවත් වන, රුක් සෙවණක වුව දිවි ගෙවන, බැහැර කළ රෙදි කැබලි එක් කොට සැකසූ සිවුරක් දරන, තම ගුණ කිසි ලෙසකවත් ප්‍රකට නො කරන කෙනෙකුන් ව සාමාන්‍ය සිතකින් කෙසේ නම් හඳුනා ගන්න ද? එ් රහතන් වහන්සේලා ජීවමාන වන්නේ ථේර ථේරී ගාථා තුළ ය. උතුම් රහතන් වහන්සේලා පිවිතුරු හද මඬලේ හටගත් පරම පිවිතුරු සංකල්පයන් ගාථාවන් වශයෙන් ප්‍රකාශ කළහ. එම උතුම් ගාථාවන් ධර්ම සංගායනාවන් කළ රහතන් වහන්සේලා විසින් ඛුද්දක නිකායේ ථේර ථේරී ගාථා නම් කොටසට ඇතුළත් කළ සේක. අද අපට එ් රහතන් වහන්සේලාගේ ගුණය යන්තමින් හෝ තේරුම් ගැනීමට එ් පරම පිවිතුරු නිකෙලෙස් වදන් උපකාරී වේ.
දහමට දිවි පුදා පිළිවෙත් පුරා එ් දහම පසක් කර ගත් රහතන් වහන්සේලා ම ය මතු පරපුරට එ් දහම දායාද කිරීමට කටයුතු කළේ. මහා කස්සප මහ රහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා පළමුවෙන් නිර්මල දහම සංගායනා කොට රැුක ගත් සේක. සබ්බකාමී හා යස යන රහතන් වහන්සේලා ප්රමුඛ ව දෙවන වරට ධර්මය සංගායනා කොට ආරක්ෂා කර ගත්තේ ද රහතන් වහන්සේලා ම ය. මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ ප්රමුඛ රහතන් වහන්සේලා සිදු කළ තෙවන දහම් සංගීතිය නිසා ය මේ ලක් දෙරණටත් සිරි සදහම් ඔසුව දායාද වුණේ. දහම් පහුරේ නැඟී එ් රහතුන් සසර සයුරෙන් එතෙරට ම වැඩම කොට හමාර ය. එ් පශ්චිම වූ සියලූ දෙනා හට ද එ් දහම් පහුර ආරක්ෂා කරමිනි. පිරිනිවෙනා දහම ආරක්ෂා කොට එ් දහම බබුළුවා පහන් සිළ නිවෙන සේ පිරිනිවනට වැඩි එ් අප්‍රමාණ රහතන් වහන්සේලාට දොහොත් මුදුනේ තබා අපි ආදරයෙන් වන්දනා කරමු.
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.
Recent Comments