හතරවටින් කළු කරගෙන ආවා. ගස් වැල් ඒ මේ අත අඹරවාගෙන සීතල හුළඟකුත් හරි හදිස්සියෙන් හමාගෙන ගියා. රිදී පාට රේඛාවන්ගෙන් විදුලි එළි අහසේ සිත්තම් අඳිද්දි, පළාතම දෙදරවාගෙන අකුණු ගහන්නත් පටන් ගත්තා. මාස ගණනාවක් තිස්සේ අහසින් වැසි පොදක් බිමට එනකල් මඟ බලාගෙන හිටපු අයගේ සිත් තෙමාගෙන මහා වැසි ඇද හැළුනා.

මින් පෙර කිසිම දවසක නො වුණ තරම් හිතවත්කමකින් තමයි මං ඒ වැස්ස දිහා බලන් හිටියේ. වේළිලා, ඉරිතැළිලා ගිය පොළවටත්, කේඬෑරි වෙලා, මලානික වෙලා ගිය ගස් කොළන්වලටත් මේ වැහිදිය දිව්‍ය ඖෂධයක් වෙන බව මම දන්නවා. ඒත් මේ ඇති වුණ හිතවත්කමට හේතු වුණේ වෙනත් කාරණයක්.

වැස්ස දිහා බලන් ඉද්දි මට කථාවක් මතක් වුණා. නියඟය පසුබිම් කරගත්ත එක සත්‍ය කථාවක් තමයි මේ.

මේ අවුරුද්දේ නියඟය ගොඩක් දරුණු වුණානේ. සෑම ගංගාවක ම, සෑම ජලාශයක ම ජල මට්ටම් සීඝ‍්‍රයෙන් පහළ බැස්සා. රටට බත සපයන මහවැලි කලාපවල ගොවි හමුදාව පෝෂණය කරන්න තරම් දියකඳක් ජල හිඟයෙන් පීඩා විඳපු මහවැලි ගඟට තිබුණෙ නෑ. වගා කටයුතු ආරම්භ කළාට පස්සේ වාර දෙක තුනකට වඩා ඒ ගොවිබිම්වලට මහවැලි වතුර ලැබුණෙ නෑ. සෑම ජලාශයක්ම පාහේ පත්ලට ම හිඳිලා ගියාට පස්සේ බීමට ගන්නවත් වතුර හොයා ගන්න එක දුෂ්කර වෙනකොට කුඹුරු අස්වද්දන්න වතුර කොහෙන් නම් හොයන්න ද?

මේ කියන්න යන කථාව අයිති නියඟයෙන් ඒ සා දරුණු විදිහට බැට කාපු මහවැලි කලාපයකට. මේ කථාවේ කථානායිකාව අපේ‍්‍රල් මාසයේ තද වැහි එකක් දෙකක් වැටෙනකොට ම කුඹුරේ වගල් කොටසේ, ඒ කිව්වේ නිතර ම තෙතමනය රඳාපවතින කොටසේ ලියැදිවල නියරවල් ශුද්ධ කරලා වී වපුරන්න වැඩ පටන් ගත්තා. උදව්වට කීප දෙනෙකුත් හිටියා. හැබැයි වැඬේට මුල් වෙලා හිටියේ මේ අම්මා.

ගෙදර තාත්තා අසනීප තත්ත්වයෙන් ඉඳගෙන වුණත් මේ වැඩේට උදව් වුණේ අවුරුදු ගණනාවක් මේ පොළව එක්ක හැප්පිලා දෙදෙනා එක්ව කරපු ජීවන සටන අද ඇය තනිව මෙහෙයවන නිසා ඇයට රුකුලක් වෙන්නට යි. කොහොම හරි කුඹුරෙ වී වැපිරුවා. ඒ ගොයම් පැළ අඟල් දෙක තුනක් පොළවෙන් ඉහළට එසැවෙද්දි මහවැලි ව්‍යාපෘතියට සිද්ධ වුණා ගොවිතැනට වතුර දෙන එක නවත්වන්න. වතුර නැතිකමින් ගොයම් පැළ මැරිලා ගියා.

කුඹුරෙ ලියැදි කිහිපයක තිබුණා පසුගිය වතාවේ වී වපුරලා, අස්වනු නෙළා ගත්තට පස්සේ ඉතිරි වුණ ඉපනැල්ලෙන් හැදුන ගොයම් පැළ. ගොවිතැන ගැන අත්දැකීම් තියෙනව නම් ඔබ මේ ගැන දන්නවා ඇති.

පැළ ගොයම මැරුණට පස්සේ මේ අම්මා වගා ළිඳේ තිබුණ වතුර ටිකෙන් එළවළු වගාවක් කරන්න පටන් ගත්තා. එළවළු වගා භූමිය එක පාර තෙමන්න ප‍්‍රමාණවත් තරම් වතුර, පත්ලට ම හිඳී ගිය ඒ ළිඳේ තිබුණෙ නෑ. ගිනි ගහන අව්වේ තනිව ම, වතුර ගෙනියන බට ඔසව ඔසව දවස් දෙක තුනකට පාරක් එළවළු වගාවට වතුර යොදන අතරෙ මේ අම්මා ඉපනැල්ලෙන් ඉපදුන ගොයම් පැළ තිබුණ ලියැදි දෙකකටත් වතුර හැරෙව්වා.

විශ්වාස කරන්න…. නිසි කාලෙදි ඒ ගොයම පීදුණා. ඉපනැලි ගොයම පීදෙනවට කියන්නෙ ‘නිරි පීදෙනවා’ කියල යි. මේ අම්මගෙ සත්කාරය නිසා නිරි පීදුණ ගොයම කිරි වැදිලා පැහුණා. දැන් ඔබට මැවිලා පෙනෙනව ද එක සීරුවට කිරි වැදිලා, කරල් බර වුණ ගොයමක්? ඒ චිත‍්‍රය වැරදි යි..! එහෙම සරුසාර වෙන්නෙ කල් යල් බලා අස්වද්දන ගොයම. මේ ලියැදි දෙකේ කරල් පීදුණේ තැනින් තැන. එහෙන් මෙහෙන් පැහුණ ඒ කරල් භාගෙට බාගයක් බොල්. මාස තුන හතරක් තිස්සේ වැහි බිඳක්වත් නො ලබපු බිමක ඒකත් හොඳ අස්වැන්නක්.

මේ අම්මා ඒ කරල් එකින් එක දෑකැත්තෙන් කපා ගත්තා. ඊට පස්සේ අව්වෙ දාලා කරල් වේළලා, වී ඇට වෙන් කරගෙන, වංගෙඩියට දමලා මෝල් ගහකින් කොට කොටා වීවලින් හාල් වෙන් කර ගත්තා. ඒකට කියන්නේ ‘වනේ දාලා පාහිනවා’ කියල යි. අම්මාගේ මේ වගා සංග‍්‍රාමයේ ප‍්‍රතිඵලය කැකුළු හාල් කිලෝ එකක් හෝ ඊට ටිකක් වැඩි ප‍්‍රමාණයක් විතර යි.

‘අපරාදේ මහන්සිය’ කියලා ඔබට හිතුන ද? මට නම් මුලින් එහෙම හිතුණා. ඒත් මගේ ඒ නීරස අදහස සහමුලින් ම වෙනස් වුණේ මේ කථාවේ බොහොම ලස්සන අවසානය නිස යි.

අධි බිනර පෝය උදා වුණේ මේ දේ සිදු වුණ දවස්වල. 2012-08-31 අධි බිනර පෝය උදාව එක්ක මේ අම්මා උදේ ම අවදි වෙලා, ලිප ගිනි මොළවලා, බොහොම උවමනාවෙන් ආහාරයක් සකස් කළා. මොනව ද දන්නව ද ඒ?

මේ අම්මා අර අකල් කැකුළු සහලින් කිරි ආහාර සැකසුවා. කාලයක් පුරාවට ගිනි කූටක අව්වෙ වේළි වේළි තමන් දහඩිය මහන්සියෙන් උපයා ගත්ත දේ ඒ උතුම් පුන් පෝය දවසේ මනාව සකසලා, බොහොම ගෞරවයෙන් යුතුව මුලින් ම භාග්‍යවතුන් වහන්සේට පූජා කරන ඒ අම්මා දකිද්දි මගේ ඇස්වලට කඳුළු පිරුණා.

ඒ අහිංසක හිත් මොන තරම් නම් සුන්දරයි ද? මොන තරම් නම් අව්‍යාජයි ද? විපතකදි විතරක් තුනුරුවන් ගැන සිහිවෙන බොහෝ ජීවිත අතරෙ මේ ජීවිත මොන තරම් නම් අපූරුවට භාග්‍යවතුන් වහන්සේ ව මුල් කරගෙන කටයුතු කරනව ද?

වැස්ස ගැන මට හිතවත්කමක් ඇති වුණේ මේ වැහි වතුරෙන් මහවැලි ගඟ පිරිලා, ඒ දියවරෙන් මහවැලියේ ගොවිබිම් අස්වැද්දෙන බව දන්න නිස යි. මේ වතුරෙන් කෙත්වතු සරුසාර වේවි. නිල්ල නගන ගොයම් රන් කරලින් බර වෙලා ඒ අහිංසක මිනිස්සුන්ට රන් අස්වනු ගෙනේවි.

එදාටත් අද වගේ ම ඔවුන් අස්වැන්නේ මුදුන් බතින් උතුම් මුනිඳු පුද දෙන බව මම දන්නවා.

ඇත්තට ම මට ආඩම්බරයි ඒ අම්මා ගැන.

ඊටත් වඩා ආඩම්බරයි, ඒ අම්මා මට සුගතිගාමී උපතට උපකාර කරලා මාව හදපු වඩපු මගේ ම අම්මා වීම ගැන.

චූටි දුව

කරදරයකදි මිස තෙරුවන සිහි නොවන
වරදින විටදි පමණක් බුදුගුණ ගයන
‘පරමල්’ අතර ‘සුවඳැති සොඳ මල්’ පිපෙන
සුරපුර දිටිමි මහවැලි කෙත්වල රැඳුන…

මහාමේඝ 2012 ඉල් කලාපය
WWW.MAHAMEGHA.LK