කුක්කුටසම්පාත ගිරිශිඛරය ළා මීදුමකින් වැසී ඇත. මහ කළුගල් අතර වැඩුණු කටු පඳුරු සහිත තුරුලතා මතින් වෙනදා ඇසෙන කුරුලූ කූජනය අද ඇසෙන්නේ ශෝකී රාවයකිනි. හිරු කුමරා සොවින් මුකුලිත වූ මුහුණ වලා රොදක සඟවා ගනිද්දී ගිලිහුන කඳුළු බින්දු පොළව මත පතිත වූයේ අකල් වැසි පොද ලෙසිනි. කුක්කුටසම්පාත පර්වත තුන මධ්‍යය දෙසට වැටී ඇති කුඩා අඩිපාරේ සෙමින් පියවර තබමින් අසීරුවෙන්
කන්ද තරණය කරන මහ තෙරුන් වහන්සේනමකි. එකසිය විසි වසරක් වයස්ගත වූ උන්වහන්සේගේ කය දුර්වල වී ඇතත් සිත ප‍්‍රභාෂ්වර ය. සෙමෙන් සෙමෙන් පර්වත තුන මධ්‍යයට වැඩම කළ උන්වහන්සේ සීරුවෙන් තමන් වහන්සේ මෙතෙක් හැඳ පෙරවා සිටි පාංශුකූල චීවරය ගලවා මහත් සැලකිල්ලෙන් එය නවා දෝත මත තබාගත්හ. අනතුරුව දෙවියන් විසින් පර්වත තුන මධ්‍යයේ පනවන ලද සයනය වෙත වැඩි මහ තෙරුන් වහන්සේ සන්සුන්ව දෑස පියාගත්හ. සැණෙකින් සමාධියට සමවැදි උන්වහන්සේ දෙවියන් හඬා වැටෙද්දී තිලොව ම කම්පා කරවමින් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළහ.

එකෙණෙහි ම අහස ගුගුරා ගියේ ය. අකල් වැසි පොද පතිත විය. උන්වහන්සේගේ ශ‍්‍රී දේහය මැදිකොට ගනිමින් කුක්කුටසම්පාත පර්වත තුන එක ම පර්වතයක් ලෙසට එක් විය.

මෙසේ පිරිනිවන් පා වදාළ මහ තෙරුන් වහන්සේ පිළිබඳව සිරි සම්බුදු මුව මඬලින් වෙනත් කිසිවෙකු ගැන නො වදාළ පරිද්දෙන් දේශනා කොට ඇත්තේ මෙසේ ය. ”පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ යම් ලෙසින් සුවසේ ධ්‍යාන සමාපත්තීන්ට සමවදින්නේ ද මුන් වහන්සේට ද එ් හැකියාව ඇත. තථාගතයන් වහන්සේ යම් ලෙසින් ඍද්ධි බලයෙන් පර්වත බිත්ති විනිවිද යාමේ හැකියාවෙන් යුක්ත ද මුන් වහන්සේට ද එ් හැකියාව ඇත. එපමණක් නොව මාගේ ශාසනයෙහි ධුතාංගධාරී භික්ෂූන් වහන්සේලා අතරින් මා පුත් මහා කාශ්‍යපයන් ම අග‍්‍ර වන්නේ ය.”

එවන් වූ මහානුභාව සම්පන්න මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ සිරුර විනාශ නො වී අදත් කුක්කුටසම්පාත පර්වතය මධ්‍යයේ ඇත. මෙම පර්වතය අද ගුරුපාදගිරි නමින් හැඳින්වෙයි. දඹදිව බුද්ධගයාවට කි. මී. 33ක් පමණ දුරින් මෙය පිහිටා ඇත. උන්වහන්සේගේ සිරුර තවමත් පර්වත මධ්‍යයේ පවතින නිසා ම මහා කසුප් හිමියන්ගේ ධාතූන් වහන්සේලා ලොවේ වෙනත් කොතැනකදීවත් හමු නො වේ.

එහෙත් අසිරියකි! මේ මහානුභාව සම්පන්න පුරිෂෝත්තමයාණන් වහන්සේගේ එක් දළදා වහන්සේනමක් මේ රන් දිවයිනේ වැඩ වෙසෙති. මා අද උදෑසන ගමන් ආරම්භ කළේ එ් උතුම් පුණ්‍ය භූමිය දැක බලා වන්දනා කර ගැනීම සඳහා ය.

කොළඹ සිට ගාලූ පාරේ පැමිණි අප ඓතිහාසික කළුතර බෝ සමිඳුන් ද වන්දනා කර ගනිමින් අළුත්ගමට ළඟා වන විට උදෑසන නවය පසුවී තිබුණි. මහා කසුප් හිමියන්ගේ මහ ගුණ කඳ ඇසූ වේලෙහි පටන් මේ ගමන ගැන මහත් ආශාවෙන් සිටි ඉෂානි දුව හා තමේෂා දියණිය ද මග දී අපට එකතු වූහ. අළුත්ගම සිට මද දුරක් ගිය විට බෙන්තොට නගරාසන්නයේ හමුවන කහඹිළියා කන්ද හන්දියෙන් වම් පසට වැටී ඇත්තේ අප ගමන් මග යෙදී ඇති ඇල්පිටිය ප‍්‍රධන මාර්ගය යි. ඇල්පිටිය මාර්ගයේ කි. මී. 01ක් පමණ ගිය විට ආරච්චිමුල්ල හන්දිය හමු වේ. එතැනින් වම්පසට වැටී ඇති පටු මාර්ගය වටරවුම් පාර ලෙස හඳුන්වන අතර මෙය වැටී ඇත්තේ ඓතිහාසික ගලපාත රජ මහා විහාරය අද්දරිනි.

රජ මහා විහාරය ආසන්නයේ ම දකුණු පසට වන්නට හමා එන මඳ සුළඟට සුවඳ මුසු කරන ඕලූ නෙළුම් මලින් ගැවසී ගත් වැව් තලයකි. සිලි සිලි හඬ නගමින් සෑ සමිඳුන්ට පවන් සලන බෝධිය පිහිටා ඇත්තේ වැව අද්දර ම ය. අප එන බව දැනගෙන කල් තියා ම මෙහි පැමිණි මොනාලි නංගී බෝ මළුව අමදිමින් සිටියා ය. අපි සියලූ දෙනාම එක්ව තෙල් මල් පහන් ගෙන විහාරස්ථානය වෙත වැටී ඇති ගල් පඩිපෙළ නැංගෙමු. ශෛලමය පියගැට පෙළෙහි අඩක් පමණ තරණය කළ විට දකුණු පසින් යකඩ වැටකින් වට කොට ඇත්තේ ඉපැරණි සෙල් ලිපියකි.

ඊට මඳක් ඔබ්බෙන් ගලින් ම නිමැවූ පැන් පොකුණකි. එ් අද්දර ම ඉතා සියුම් ලෙස ගලින් කැටයම් කරන ලද ගල් උළුවස්සකි. මෙය මෑතක දී ප‍්‍රතිසංස්කරණය කොට ඇති බව පෙනෙන්නට ඇත.

මහා කාශ්‍යප තෙරුන් වහන්සේ පිරිනිවන් පා වදාළ ගුරුපාදගිරි පර්වතය සිහිගන්වමින් උන්වහන්සේගේ දළදා වහන්සේ වැඩ වෙසෙන ගලපාත විහාරය ද ගල් පර්වත හා සුසැදුන කඳු මුදුනක පිහිටීම දෛවෝපගත දෙයක් සේ දැනේ.

විහාර භූමියට ඇතුල් වන විට ම දක්නට ලැබුණේ සෑ රදුන්ගේ සලපතළ මළුව කළු ගලින් ම ඉතා මනරම් ලෙස අභිනවයෙන් සකස් කරමින් පවතින අන්දමයි. එමෙන් ම සෑ මළුවේ වම්පසින් විහාර ගෙය අද්දරට වන්නට ඉදිවෙමින් පවතින දොළොස් මහේ පහන් කුටියකි.

විහාර ගෙය මනරම් ලෙස බිතු සිතුවමින් අලංකාර වී ඇත. එ් මධ්‍යයේ වඩා හිඳුවා ඇති පිළිම වහන්සේලා ඉතා සියුම් ලෙසින් ශ‍්‍රද්ධාව ජනිත වන ආකාරයට නිමවා ඇති බව නම් කිව යුතු ම ය.

අපි පළමුව මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේගේ දළදා වහන්සේ වැඩ සිටින සෑ රදුන් මහත් ගෞරවයෙන් පැදකුණු කොට වන්දනා කළෙමු. අනතුරුව විහාර ගෙය තුළට පැමිණ මල් පහන් පුදා මිහිරට හඬ නගා තෙරුවන් වන්දනා කළෙමු. අප විහාර ගෙයින් එළියට පියවර මනිද්දී අප ඉදිරියේ වැඩ සිටියේ ඓතිහාසික බෙන්තොට රජමහා විහාර මූලායතනාධිපතීන් වහන්සේ වන විශ්වවිද්‍යාල කථිකාචාර්ය දර්ශනපති සීගිරියේ අනෝම හිමියන් ය.

උන්වහන්සේ 1964 වසරේ සිට මෙහි වැඩ වසමින් විහාරයේ දියුණුවට මහා මෙහෙයක් කරති. උන්වහන්සේගේ පා යුග වන්දනා කළ අපි මෙසේ සංවාදයට මුල පිරුවෙමු. ‘‘ගෞරවනීය ස්වාමීන් වහන්ස, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන කෙටි විස්තරයක් කළොත්?”

‘‘මහත්තයෝ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියන්නෙ, බුදු හිමියන්ගෙන් පවා ප‍්‍රශංසා ලැබූ උත්තමයාණන් වහන්සේනමක්. ධුතාංග 13ක් සමාදන් වෙලා හිටිය උන්වහන්සේ පැවිදි ජීවිතය පුරා කවදාවත් ඇඳක පිට තියල හාන්සි වෙලා නෑ. තුන් සිවුරෙන් ම යි සිටියෙ. බුදු සමිඳුන් පරිභෝග කළ චීවරය පවා දරාගන්න තරම්, මහ වාසනා ගුණයෙන් යුක්ත වුණ මහෝත්තමයාණන් වහන්සේනමක්. එ් විතරක් නෙවෙයි; මහා පුරිස ලක්ෂණ හතකිනුත් උන්වහන්සේගේ සිරුර ශෝභමාන වෙලා තිබුණ නොවැ.”

‘‘ස්වාමීන් වහන්ස, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මහා කරුණා ගුණයකින් යුක්ත උත්තමයන් වහන්සේනමක් කියා මා අසා තියෙනවා.”

‘‘ඔව් එ්ක ඇත්ත. උන්වහන්සේ හැමදාම පිණ්ඩපාතෙන් ලැබුණ දෙයක් විතරයි වැළඳුවේ. පිඬුසිඟා වැඞීමට පෙර මොහොතක් සමවත් සුවයෙන් වැඩ සිටින්නේ දන් පුදන අයට ලැබෙන අනුසස් වැඩිකර දෙන්නට යි.
දවසක් උන්වහන්සේට පොරි ඩිංගක් පූජා කර ගත්ත ගෙවිලියක් එ් පිනෙන් ලාජා දෙව්දුව නමින් මහා දිව්‍ය විමානයක ඉපදුණා. තවත් දවසක් මරණින් මතු නිරයේ ඉපදීම පිණිස කර්ම සකස් වී තිබුණ සිඟන ස්ත‍්‍රියක් දැක ඇයට අනුග‍්‍රහ පිණිස ඇය සතුව තිබූ ලූණුත් නැති නිවී ගිය ඇඹුල් කැඳ පිණ්ඩපාතය ලෙස වැළඳුවා. එ් පින ඇය මරණින් මතු නිම්මාණරතී දෙව්ලොව උපදවන්නට සමත් වුණා.

උන්වහන්සේගේ කරුණාව හඳුනගන්න මම හොඳ කතාවක් කියන්නම්. ඔන්න දවසක් දා මහා කසුප් හිමියන් සුපුරුදු පරිදි දුප්පත් අසරණ මිනිසුන් බහුල වීදිය පිඩුසිඟා වැඩියා. එක්තරා පෙදෙසක දී ලාදුරු රෝගය වැළඳී සිරුර කුණු වී ගිය ඉතා ම දුර්වල රෝගියෙකු දැක මොහුට පිහිට විය යුතු යැයි සිතා ඔහු වෙත වැඩියා. එවිට ඔහු සිටියේ ආහාර ගනිමින්. ‘අනේ මේ හිමියන්ට මම කුමක් නම් පුදන්න ද? මා සතුව ඇත්තේ මේ ආහාරයේ අනුභව නො කළ කොටස පමණයි. මේ ස්වල්පය හෝ පුදන්නෙමි.’ යි සිතා කුණු වී ගිය ඇඟිලිවලින් නමුත් පිරිසිදු සිතින් යුතුව උන්වහන්සේගේ පාත‍්‍රයට එ් ආහාර ස්වල්පය බෙදුවා. ඔහුගේ ඇඟිලි කොතරම් කුණු වී ගොස් තිබුණා ද කිව්වොත් බෙදූ ආහාරත් සමග ම ඇඟිල්ලක් ද ගැලවී පාත‍්‍රයට වැටුනා.

‘අනේ මේ වුණේ මොකක්දැ’ යි බිය වුණ රෝගියා කැලඹුන සිතින් බිම බලාගෙන ගැහි ගැහී හිටියා. මෙය දුටු මහා කස්සප හිමියන් ඔහුගේ සිත වෙනස් වුවහොත් හානි වන්නේ දුර්ලභව කර ගැනීමට තිබූ පිනට බව දැන මහත් අනුකම්පාවෙන් ඔහුට පෙනෙන්න ම වාඩි වී අර ඇඟිලි කැබැල්ල පසෙකට කොට සන්සුන් සිතින් ඔහු පිදූ දානය වැළඳුවා. ‘අනේ මේ නම් මොන අරුමයක් ද? මා පිදූ මේ කටුක ආහාරය මා ඉදිරියේ දී ම මුන් වහන්සේ වැළඳූ සේක.’ කියා මහත් සොම්නසට පත් වූ රෝගියා එ් සතුටු සිත නො නැසී තිබිය දී ම කලූරිය කොට මහත් දෙව් සැප ලැබුවා.

බලන්න මහත්තයො අපිට මේක අහනකොටත් නිකන් මොකක්ද වගේ. නිකෙලෙස් හිතක අසිරිය බලන්න. උන්වහන්සේට එ් ආහාරය ගැන කිසි ම පිළිකුලක් දැනුණෙ නෑ. හිත පුරා ම තිබුණෙ මහා කරුණාව විතරයි…”

‘‘ස්වාමීන් වහන්ස, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රූපයෙන් බුදුරජාණන් වහන්සේට තරමක් සමාන බව මා අසා තියෙනවා.” ‘‘උන්වහන්සේ තුළත් මහා පුරුෂ ලක්ෂණ 07ක් පිහිටා තිබුණ නොවැ. එ්ත් උන්වහන්සේ බුදු හිමියන්ට වඩා අඟල් හතරක් විතර මිටි බවයි සඳහන් වෙන්නෙ. එක් වයසක අම්මා කෙනෙක් පුරුදු වෙලා හිටියා වීදියේ වඩින මහා කස්සප හිමියන්ට නිතර ම දන් පිළිගන්වන්න. දවසක් දා කස්සප
හිමියන් වඩින්නට කලින් මේ වීදියේ බුදු හිමියන් පිඬු සිඟා වැඩියා. ‘මේ වඩින්නේ මම හැමදා ම දන් පුදන කසුප් හිමියන් නොවැ’ කියලා අර මාතාව රැුවටුනා. බුදුරජාණන් වහන්සේගේ පාත‍්‍රයට දන් බෙදුවා. මෙන්න ඊට සුළු වෙලාවකට පස්සේ මහා කාශ්‍යප හිමියන් වඩිනවා. මාතාවට හරිම පුදුමයි. ඇය දුර දිග හිතුවේ නෑ. සමහර විට බුදු සමිඳුන් කියලා දන්නේ නැතුවත් ඇති. දුවලා ගිහින් බුදු හිමියන්ගේ පාත‍්‍රයට අත දමා බෙදූ දානය ආපසු අරගෙන කාශ්‍යප හිමියන්ගේ පාත‍්‍රයට බෙදුවා.

මේක දුටු මහා කාශ්‍යප හිමියන්ට මහත් සංවේගයක් හටගත්තා. හැබැයි අපිට වගේ කෙලෙස් නිසා ඇතිවෙන විදියෙ දුකක් නෙවෙයි. අපි ධර්ම සංවේගය කියල කියමුකො. ‘මාගේ ශාස්තෘන් වහන්සේට මේ නිසා යම් අගෞරවයක් වූයේ නම් එසේ වූයේ මා උන්වහන්සේ වැඩම කොට වදාළ වීදියේ පිඬු සිඟා වැඩිය නිසයි. මින් මතුවට දිවි ඇති තුරා ශාස්තෘන් වහන්සේ සමග එක මග පිඬු සිඟා නො වැඩිය යුතු යි’ යැයි සිතා මහ වනයට වැඩම කළා.”

‘‘ස්වාමීන් වහන්ස, මහා කාශ්‍යප තෙරුන් වහන්සේ වඩිනා තුරු බුදුරජාණන් වහන්සේගේ චිතකයට ගිනි දැල්වුණේ නෑ කියා මා අසා තිබෙනවා.”

‘‘වනන්තරේට වැඩම කළ මහා කාශ්‍යප හිමියන් වැඩ සිටි ගල්ලෙන අද්දර ලස්සනට මල් පිපෙන ගසක් තිබුණා.

උන්වහන්සේ අධිෂ්ඨාන කොට තිබුණා යම් දිනයක මාගේ ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පාන්නේ ද එදිනට මේ ගසේ මල් අකලට පරවී හැළේවා කියා. දවසක් උන්වහන්සේ කුටියෙන් එළියට වඩින කොට එ් ආකාරයෙන් මල් පරවී වැටී තිබුණා. දෙවියන් පවා ඇවිත් මහා කසුප් හිමියන්ට මේ බව පැවසුවා.

ඉතින් උන්වහන්සේ වහා ම කුසිනාරාව බලා පිටත් වුණා. උන්වහන්සේ වඩිනා තුරු චිතකයට ගිනි දැල්වීමට කොතරම් උත්සාහ කළත් දෙවියන් එය වළක්වාලූවා. මහා කාශ්‍යප හිමියන් චිතකය අසලට වඩින කොට සම්බුදු සිරුර රන් දෙනක බහා සඳුන් දර සෑය මත තබා සඳුන් දරවලින් වටකරලයි තිබුණේ. එ්ත් කස්සප හිමියන්ගේ ආනුභාවය බලන්න. එ් සම්බුදු සිරිපා දැක බලා වන්දනා කර ගන්න අසිරිමත් විදියට උන්වහන්සේට
අවස්ථාව සැලසුනා.”

‘‘ස්වාමීන් වහන්ස, සර්වඥ ධාතූන් වහන්සේලා බෙදා දීමෙදිත් මහා කාශ්‍යප හිමියන් මුල් වී කටයුතු කළා කියා මා අසා තිබෙනවා.”

‘‘මුලින් ම ධාතූන් වහන්සේලා බෙදද්දී ලලාට ධාතූන් වහන්සේ අයත් වුණේ මල්ල රජ දරුවන්ගේ කොටසට. මෙහි දී ලලාට ධාතූන් වහන්සේ ලක්දිවට වෙන් කොට තැබිය යුතු බවත්, ස්වර්ණමාලී මහ සෑය වෙනුවෙන් ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වෙන් කොට තැබිය යුතු බවත් පෙන්වා වදාළේ කස්සප හිමියන් ම යි.

මහා පරිනිර්වාණ අවස්ථාවෙදි සුභද්‍ර භික්ෂුවගෙ අභද්‍ර වචන ඇහෙද්දි ම උන්වහන්සේ හිතුව ‘දැන් ඉතින් මේ සම්බුදු සසුනෙ බරට මා උර දිය යුතුයි’ කියල. ඉක්මනින් ම විසිරිල තිබුණ ධර්ම විනය එක්තැන් කරල පළමුවෙනි ධර්ම සංගායනාව පවත්වල සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය පිණිස මහ මෙහෙවරක් කළේ මහා කාශ්‍යප හිමියන් ම යි.

‘‘ස්වාමීන් වහන්ස, උන්වහන්සේ පිරිනිවන් පා වදාළේ ගුරුපාදගිරි පර්වතය මධ්‍යයේ නම් අපට කොහොම ද මේ දළදා වහන්සේ ලැබුණේ?”

‘‘එ්ක වුණේ මෙහෙමයි. මේ දළදා වහන්සේ මහා කාශ්‍යප හිමියන් ජීවත්ව සිටි කාලෙදි වැටුන එකක්. සඟ පිරිස ගෞරවයෙන් රැකගත් මේ ධාතූන් වහන්සේ අනුරාධපුර යුගයෙදි තමයි ලංකාවට ලැබුණේ.
අනුරාධපුරයේ වැඩ සිටි රහතන් වහන්සේනමක් මේ දළදා වහන්සේ මේ ස්ථානයට වැඩමවාගෙන වැඩියා. මේ බව දැනගත් ගැමුණු රජතුමාගේ සොයුරු සද්ධාතිස්ස කුමරු තමයි මේ ස්ථානයට ඇවිත් දළදා වහන්සේ උදෙසා අංග සම්පූර්ණ විහාරාරාමයක් කරවූවේ.

පොළොන්නරු යුගයේ රජ කළ මහා පරාක‍්‍රමබාහු රජතුමා වගේ ම කීර්ති ශ‍්‍රී නිශ්ශංකමල්ල මහ රජවරුන් පවා මේ දළදා වහන්සේට බොහෝ පුද සත්කාර කොට පින් රැුස් කර ගත්තා පමණක් නොව විහාරයේ දියුණුවටත් විශාල මෙහෙවරක් කළා.

දඹදෙණි යුගයේ රජ කළ දෙවෙනි පරාක‍්‍රමබාහු රජතුමා මේ ඉතිහාස ප‍්‍රවෘත්ති දැනගෙන මහත් ශ‍්‍රද්ධාවෙන් සිව්රඟ සේනාව පිරිවරාගෙන මෙහි පැමිණ දළදා වහන්සේ දැක බලා වන්දනා කොට දින තුනක් තිස්සේ මහා පූජාවන් පැවැත්වූවා. අනුරාධපුර යුගයේ සිට දෙවෙනි පරාක‍්‍රමබාහු යුගය දක්වා මහා කාශ්‍යප දළදා වහන්සේ වැඩ සිටියේ මෙන්න මෙතන ඉදිකරල තිබුණ දළදා මාළිගයෙ යි. දෙවෙනි පරාක‍්‍රමබාහු රජතුමා තමයි දළදා වහන්සේගෙ වැඩි ආරක්ෂාවට මේ පෙනෙන ස්තූපය තනවල දළදා වහන්සේ එ් තුළ නිදන් කළේ.”

‘‘ස්වාමීන් වහන්ස, බෙන්තොට දළදා පෙරහැර ගැන සඳහන් කළොත්?”

‘‘අතීතයේ සිට ම මේ දළදා වහන්සේට පූජෝපහාර පිණිස වාර්ෂිකව දළදා පෙරහැර පවත්වනවා. මෙය ප‍්‍රකට වෙලා ඇත්තේ බෙන්තොට දළදා පෙරහැර නමින්.

පෘතුගීසි ආක‍්‍රමණ යුගවල දී මේ විහාරයටත් බලපෑම් ඇති වුණත් දළදා වහන්සේ වැඩ හිඳින මේ සෑ රදුන්ට කිසි ම හානියක් කරන්න ලැබුණෙ නෑ. මා නම් සලකන්නේ එ් මහානුභාව සම්පන්න දළදා වහන්සේගේ අසිරියක් හැටියට ම යි.”

‘‘ස්වාමීන් වහන්ස, මේ විහාරස්ථානයේ වර්තමාන තත්ත්වය ගැන සඳහන් කළොත්?”

‘‘කියන්න කණගාටුයි මහත්තයෝ මේ මහානුභාව සම්පන්න පින් බිම ගැන තවමත් බොහෝ දෙනෙක් දන්නෙ නෑ. එ් හින්ද ම මෑත යුගයෙදි බොහෝ අඩුපාඩු පැවතුනා. අපගේ වාසනාවට දවසක් පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සෑ රදුන් වන්දනා කිරීමට වැඩිය වේලෙහි මම දන්වා හිටියා මේ ගරා වැටෙමින් යන සලපතළ මළුව ගැන. උන්වහන්සේ බොහෝ ම ශ‍්‍රද්ධාවෙන් එ් වගකීම භාරගත්තා. පින්වත් මහත්මයෙකුට පැවරුවා. මේ ලස්සනට සලපතළ මළුව කළු ගලින් ම ප‍්‍රතිසංස්කරණය වෙන්නෙ උන්වහන්සේට පින් සිදුවන්නටයි. එ් විතරක් නෙවෙයි; සම්බුදු සසුනෙ සදහම් ආලෝකය බොහෝ කල් පවතින්නට කටයුතු කළ මහා කාශ්‍යප සමිඳුන්ගේ දළදා වහන්සේ වැඩ ඉන්න මේ බිම සැමදා ආලෝකවත් වන්නට දොළොස් මහේ පහනක් තැන්පත් කරන්නටත් කටයුතු කෙරෙමිනුයි තියෙන්නෙ. මේ වාගෙ විහාරයේ ප‍්‍රතිසංස්කරණ කටයුතුවලට දායක වෙලා පින් කැමති අයට පින් රැස්කර ගැනීම පිණිස තවත් ඕනෑතරම් අවස්ථා තියෙනවා.”

හිමියන් සමග සංවාදයේ යෙදී සිටිය දී කාලය යනවා නො දැනේ. එහෙත් උන්වහන්සේට දානය වැළඳීමට කාලය එළඹ ඇති බැවින් නැවතත් උන්වහන්සේට වන්දනා කොට සමුගතිමි.

අලූතින් සුණු පිරියම් කර ඇති සෑය හිරු රැසින් නැහැවී ඇත. මේ පින් බිමෙන් සමුගෙන යාමට පෙරාතුව මම නැවතත් මහා කාශ්‍යප හිමියන්ගේ මහ ගුණකඳ මෙනෙහි කරමින් සෑ රදුන් පැදකුණු කළෙමි.

ලාජා දෙවඟන ද කැඳ පිදූ පිනෙන් නිම්මානරතී දෙව්ලොව උපන් දිව්‍ය රාජිණිය ද ලාදුරු රෝගියා ව සිටි දෙව් පුතු ද අහසේ සිට දොහොත් මුදුන් දී සෑ රදුන් වන්දනා කරමින් සිටින සෙයක් මට දැනේ.

ධාතු ගර්භය තුළින් ‘‘එ්වං මේ සුතං එ්කං සමයං භගවා….” ලෙසින් සූත‍්‍ර සජ්ඣායනා කරන ලෙසක් මට ඇසේ. මම මහා කස්සප සමිඳුන්ගේ මිහිපිට ඇති එක ම ධාතු චෛත්‍යය ඉදිරියේ දණින් වැටී, පිළිසකර කරන ලද සලපතළ මළුව මත නළල තබාගතිමි.

‘‘ස්වාමීනී, මහා කාශ්‍යප මහෝත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේ එදා ධර්ම විනය එක්තැන් කරවා.. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය ආදි වශයෙන් මනා කොට සංගෘහිත කරවූ බැවින් අපි අදත් එ් අමා රස විඳින්නෙමු. භික්ෂූන් වහන්සේනමක් බඔසර හැසිරිය යුත්තේ මේ අයුරිනැයි ඔබ වහන්සේ එදා පිළිවෙතින් පෙන්වා වදාළ නිසා අපි අද ද එ් පින් කෙතේ අස්වනු නෙළන්නෙමු. අනාගතයේ මිනිස් ආයුෂ අවුරුදු අසූ දහසක් වූ කල්හි ලොව පහළ වන මෛත‍්‍රී සම්බුදුරජාණන් වහන්සේ ගුරුපාදගිරි පර්වතය අසලට වැඩම කළ කල්හි ගිරිශිඛරය විවර වී ඔබ වහන්සේගේ ශ‍්‍රී දේහය මෛත‍්‍රී බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දැවී යන මොහොත දක්වා බොහෝ දෙව් මිනිසුනට පින් රැස්කර ගැනීම පිණිස ඔබ දළදා වහන්සේ මෙහි ම සුරැකේවා…!

සටහන
සුදර්ශන ශ්‍රී විජේසිංහ