මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම උදෙසා ස්ත්‍රිය ද පුරුෂයා ද එකසේ ම දායක වෙයි. එහිලා ඔවුනොවුන් මුහුණපාන අත්දැකීම් ද ඔවුනොවුන් සිදු කරන කැප කිරීම් ද එකම කාර්යභාරයක් වෙනුවෙන් එකිනෙකා අනුගමනය කරන ක්‍රමවේදයන් ද වෙනස් වේ. කායිකව ද ස්ත්‍රීන් හා පුරුෂයන් අතර කැපී පෙනෙන වෙනස්කම් තිබේ. මේ නිසාවෙන් ම මානව ශිෂ්ටාචාරයේ සමාරම්භයේ පටන් ම ස්ත්‍රිය ද පුරුෂයා ද සමාජ භූමිකාවේ ස්වකීය ප්‍රතිරූපය තහවුරු කර ගැනීමේ අරගලයක නිරතව සිටී. ඇතැම් විට නිහඬවම ද ඇතැම් විට ප්‍රකටවම ද මේ ස්ත්‍රී – පුරුෂ අරගලය දක්නට ලැබේ.
සෑම වසරක ම මාර්තු මස 08 වනදා වෙන් කොට තිබෙන්නේ ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙනි. එහෙත් ජාත්‍යන්තර පුරුෂ දිනයක් ලෝකයේ නැත. මේ කාරණයෙන් වුව ද ස්ත්‍රිය හා පුරුෂයා කෙරෙහි මුළුමහත් සමාජය ම අනුගමනය කරනු ලබනුයේ පිළිවෙත් දෙකක් ය යන්න පැහැදිලි වේ. එහෙත් ලෝකයේ පැවැත්මට පුරුෂයා ද ස්ත්‍රිය ද එකසේ ම දායක වේ. එසේ නම් විශේෂිත දිනයක් වෙන් කර ගනිමින් ස්ත්‍රී විමුක්තිය ගැන කථා කරන්නේ ඇයි? ස්ත්‍රියට සම තැනක් – නිසි තැනක් හිමි විය යුතු යැයි ප්‍රකාශ නිකුත් කෙරෙන්නේ ඇයි?
යථෝක්ත පැනයට හේතුවක් නිශ්චිතව දැක්විය නො හැකි බව සැබෑ ය. එහෙත් ලෝක ඉතිහාසයේ පෞරාණික ම යුගවල ද මේ ස්වභාවය දකින්නට වූ බවට සාධක ඇත. සම්බුදුරජාණන් වහන්සේ පහළ වූ යුගයේ ජම්බුද්වීපය පුරා පැතිර ගිය අදහස වූයේ ද ස්ත්‍රිය හීන දීන උපතක් ලද්දියක බව ය. ශුද්‍ර, වෛශ්‍ය, ක්ෂතී්රය, බ්‍රාහ්මණ ආදි කුල භේදය සේ ම දරුණු ලෙස සහ ඇතැම් විට එයටත් වඩා ප්‍රබල ලෙස ස්තී‍්‍ර – පුරුෂ භේදය දකින්නට ලැබුණි. දියණියකගේ උපත කුලයේ විනාශයට හේතු වන්නක් ලෙසින් සැලකූ භාරතීය සමාජයේ මුල්බැසගත් එ් දෘෂ්ටිය බිඳ හෙළන්නට මුල් වූවෝ අප සරණ ගිය සම්බුදුරජාණන් වහන්සේ ය.
උන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව ගතවී ගිය අටවන සතියේ දී අජපාල නුග රුක මුල දී පාපී මාරයා පැමිණ ‘‘දුකෙන් නිදහස් වීමේ ඉලක්කය සම්පූර්ණ කර ගත් සුගතයාණන් වහන්සේ පිරිනිවී වඩින සේක්වා!” යි ආරාධනා කළේ ය. එවිට උන් වහන්සේ වදාළේ මාගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ම ධර්මයෙහි මුල් බැස ගන්නා තුරු තථාගතයාණන් වහන්සේගේ පිරිනිවීම සිදු නොවන බව ය. සම්බුද්ධ ශාසනය අන් සියලූ ලෝක ප්‍රතිපදාවන්ගෙන් වෙනස් ආරක් ගනිමින් ස්ත්‍රියකට වේවා, පුරුෂයෙකුට වේවා එක ම ඉලක්කය වෙත පිවිසීමේ අවකාශය එසේ සලසා දුන්නේ ශාසන අරුණෝදයේ දී ම ය.
එ් විමුක්ති මාර්ගයට පිවිස සසුන් බඹසර සුරැකීමෙන් ස්ත්‍රියක සාක්ෂාත් කරනා නිර්වාණය එකී වැඩපිළිවෙළෙහි ම යෙදීමෙන් පුරුෂයෙකු සාක්ෂාත් කර ගන්නා නිර්වාණයෙන් වෙනස් වූවක් නො වේ. එ් දෙදෙනාගේ ම නිවන වනාහී එක සේ ම ප්‍රණීත වූවකි, ශාන්ත වූවකි. නුවණ මෙහෙයවා කටයුතු කරනා, සිහිය පිහිටුවාගෙන කටයුතු කරනා ස්ත්‍රී පුරුෂයනට උරුම වන නිසි තැන එය ය. නුවණ මෙහෙයවීමෙන් ම ස්ත්‍රියකට ද පුරුෂයෙකුට ද උරුම වන සම තැන එය ය. එ් උත්තම ක්ෂේම භූමියේ දී ස්ත්‍රී පුරුෂ යන මේ සියලූ පැනවීම්, සම්මුතීන් පමණක් ම වේ. එ් රහතන් වහන්සේලා කිසිවකට නො බැඳී, කිසිවකට නො ගැටී ලෝකයෙන් එතෙර වූ සේක් ම ය…!
ලෝකයේ හුදු සම්මුතීන් අතික්‍රමණය කළ සම්බුද්ධ ශාසනය තුළ නුවණැති ශ්‍රාවකයන්ට හිමි නිසි තැන ද සම තැන ද ලබන්නට සියලූ මනුෂ්‍ය වර්ගයාට වාසනාව උදා වේවා!!!
– මහාමේඝ –
Recent Comments