වස්සානයට සුන්දරත්වය බද්ධ වෙලා තියෙන්නෙ සීතල දියට කිරි එක් වුණා වගෙයි. වස්සානයෙන් සුන්දරත්වයක් එක්වෙලා හාත්පස වැසිදියෙන් තෙමෙන කොට පැතිරෙන සීතල, සිතකට ගෙනෙන්නෙ අමුතු මිහිරක්. අන්න එ් මිහිර ඔස්සේ සිත එකඟ කරන මුනිවරු වැඩ වාසය කරන වන සෙනසුන් හරි ම සුන්දරයි. එදා එළඹුණු වස්සානයේත් සැවැත් නුවර ජේතවනයේ වස් වසන්නට අපගේ ශාස්තෘන් වහන්සේ තීරණය කළා මේක අහපු නන්දිය ශාක්යයාත් සැවැත් නුවර ම සිය වැඩකටයුතු කර ගනිමින් භාග්‍යවතුන් වහන්සේ ව බැහැ දකිමින් වාසය කරන්නට තීරණය කළා.
වස් තුන් මාසය ගත වෙද්දී නන්දිය ශාක්‍යයා ද වස් කාලයේ සැවැත් නුවර ගත කරමින් කලින් කල භාග්‍යවතුන් වහන්සේ ව මුණගැහෙන්නට ගියා. වස්සානය අවසානයේ සිවුරු සකසාගත් භාග්‍යවතුන් වහන්සේ ද ස්වාමීන් වහන්සේලා ද චාරිකාවේ නික්මෙන්නට සූදානම් වුණා. නන්දිය ශාක්‍යයා ද භාග්‍යවතුන් වහන්සේ මුණගැහෙන්නට පැමිණ ආදරයෙන් වන්දනා කොට තොරතුරු කථා කොට අවසානයේ මෙසේ අසන්නට වුණා.
‘‘ස්වාමීනී, නා නා කටයුත්තෙහි යෙදී වසන අප විසින් කවර වූ විහරණයකින් වාසය කළ යුත්තේ ද?”
සතුටු සිත් ඇති භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරන්නට වුණා.
01. නන්දිය, ශ්‍රද්ධා ඇත්තේ ම යහපත උදාකර ගන්නේ වෙයි. ශ්‍රද්ධා නැත්තහුට නො වේ.
02. සීලය ඇත්තේ ම යහපත උදා කර ගන්නේ වෙයි. සීලය නැත්තහුට නො වේ.
03. අරඹන ලද වීර්යය ඇත්තේ ම යහපත උදා කර ගන්නේ වෙයි. කුසීතහුට නො වේ.
04. එළැඹ සිටි සිහි ඇත්තේ ම යහපත උදා කර ගන්නේ වෙයි. සිහි මුළාවූවහුට නො වේ.
05. එකඟ වූ සිත් ඇත්තේ ම යහපත උදා කර ගන්නේ වෙයි. අසමාහිත තැනැත්තහුට නො වේ.
06. ප්‍රඥාව ඇත්තේ ම යහපත උදා කර ගන්නේ වෙයි. දුෂ්ප්රාඥහුට නො වේ.
නන්දිය, ඔබ මේ සය ධර්මය මත පිහිටා තවදුරටත් කරුණු පහක් වැඩිය යුත්තෙහි ය.
නන්දිය, මෙහිලා ඔබ තථාගතයන් සිහි කළ යුත්තෙහි ය.
එනම් ‘මේ මේ කරුණෙන් එ් භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක, සුගත වන සේක, ලෝකවිදූ වන සේක, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක’ වශයෙනි. නන්දිය, මේ අයුරින් ඔබ විසින් තථාගතයන් අරභයා තමා තුළ සිහිය ඉපැදවිය යුත්තේ ය.
තව ද නන්දිය, ඔබ ධර්මය සිහි කළ යුත්තෙහි ය. එනම් ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මනා කොට වදාරණ ලද ධර්මය ස්වාක්ඛාත ය, සන්දිට්ඨික ය, අකාලික ය, ඒහිපස්සික ය, ඕපනයික ය, නැණවතුන් විසින් තම තමන් තුළ දියුණු කොට අවබෝධ කරගත යුත්තේ ය’ වශයෙනි. නන්දිය, මේ අයුරින් ඔබ විසින් ධර්මය අරභයා තමා තුළ සිහිය ඉපැදවිය යුත්තේ ය.
තව ද නන්දිය, ඔබ කල්‍යාණමිත්‍රයන් සිහි කළ යුත්තෙහි ය. එනම් ‘එ්කාන්තයෙන් ම මට ලාභයෙකි, එ්කාන්තයෙන් ම මට මනා වූ ලැබීමෙකි. මා කෙරෙහි අනුකම්පා ඇති, යහපත කැමති, අවවාද කරන, අනුශාසනා කරන, කල්යාණමිත්රයෝ මට ඇත්තාහ’ වශයෙනි. නන්දිය, මේ අයුරින් ඔබ විසින් කල්‍යාණ මිත්‍රයන් අරභයා තමා තුළ සිහිය ඉපැදවිය යුත්තේ ය.
තව ද නන්දිය, ඔබ තමන්ගේ දන් දීමේ හැකියාව සිහි කළ යුත්තෙහි ය. එනම් ‘එ්කාන්තයෙන් ම මට ලාභයෙකි, එ්කාන්තයෙන් ම මට මනා වූ ලැබීමෙකි, ඒ මම් මසුරුමල නම් කිලූටෙන් යට වූ සිත් ඇති සමාජයෙහි ඒ මසුරු කිලූට බැහැර කළ සිතින් ගිහි ගෙදර වසමි, ඒ මම් දන් දීම පිණිස සිතින් අත්හැර සිටින්නෙකි, අත් සෝදා සිටින්නෙකි, දීමෙහි ඇලී සිටින්නෙකි, මාගෙන් ඉල්ලන්නට සුදුස්සෙක් වෙමි, දන් බෙදීමට ඇලූම් කරන්නෙක්මි’ වශයෙනි. නන්දිය, මේ අයුරින් ඔබ විසින් චාගය අරභයා තමා තුළ සිහිය ඉපැදවිය යුත්තේ ය.
තව ද නන්දිය, ඔබ දෙවිවරුන් ගැන සිහි කළ යුත්තෙහි ය. එනම් ‘යම් දේවතා කෙනෙක් ගොරෝසු ආහාරපානාදිය අනුභව කරන දෙවියන්ගේ ලෝකය ඉක්මවා ගොස් අන්‍යතර වූ මනෝමය කය ඇති දෙවියන් අතර උපන්නාහු ද ඒ දෙවිවරු තමන්ට කළ යුතු දේ ඇති බව නො දකිති. කළ දේ නැවත කළ යුතු යැයි ද නො දකිති’ වශයෙනි.
නන්දිය එය මෙබඳු දෙයකි. ක්ෂීණාශ්රව අරහත් භික්ෂුව තමන්ට විමුක්තිය පිණිස කළ යුතු දේ ඇති බව නො දකියි ද කළ දේ නැවත කළ යුතු යැයි නො දකියි ද එසෙයින් ම නන්දිය, ‘යම් දේවතා කෙනෙක් ගොරෝසු ආහාරපානාදිය අනුභව කරන දෙවියන්ගේ ලෝකය ඉක්මවා ගොස් අන්‍යතර වූ මනෝමය කය ඇති දෙවියන් අතර උපන්නාහු ද ඒ දෙවිවරු තමන්ට කළ යුතු දේ ඇති බව නො දකිති. කළ දේ නැවත කළ යුතු යැයි ද නො දකිති’යි, නන්දිය, මේ අයුරින් ඔබ විසින් දෙවියන් අරභයා තමා තුළ සිහිය ඉපැදවිය යුත්තේ ය.
නන්දිය, මෙම එකළොස් කරුණෙන් සමන්විත වූ ආර්ය ශ්රාවකයා පාපී අකුසල් දහම් අත්හරින්නේ ම ය. ඒ අකුසල්වලට හසු නො වන්නේ ම ය.
නන්දිය, එය මෙබඳු දෙයකි. දිය කළයක් යටිකුරු කළ විට දිය වමාරන්නේ ම ය. ඒ වැමෑරූ දිය යළිත් නො වමාරන්නේ ම ය. එමෙන් ම නන්දිය, එය මෙබඳු දෙයකි. වියැළී ගිය තණ ලැහැබක් ගිනි ගත් කල්හී එය ගින්නෙන් දැවී යන්නේ ම ය. ගින්නෙන් දැවී ගිය දෑ පෙරළා නො දවන්නේ ම ය. එ් අයුරින් ම නන්දිය, මෙම එකළොස් කරුණෙන් සමන්විත වූ ආර්ය ශ්රාවකයා පාපී අකුසල් දහම් අත්හරින්නේ ම ය. ඒ අකුසල්වලට හසු නො වන්නේ ම ය.
(නන්දිය සූත්‍රය – අ.නි 6 – අනුස්සති වර්ගය)
මෙම නන්දිය සූත්‍රය ගිහි ශ්රාවකයා හට පුරුදු කරන්නට භාග්‍යවතුන් වහන්සේ විසින් ඍජුව දේශනා කරන ලද ධර්මයන් අඩංගු දේශනාවකි. එකල ගිහි ශ්රාවකයා භාග්‍යවතුන් වහන්සේගෙන් තමන්ට පුරුදු කරන්නට ධර්මයක් ඉල්ලා සිටින ආකාරය ගැන අප ඉතා ප්රසාදජනක සිතක් උපදවා ගත යුතු ය. අද අප ධර්මය අසයි. කියවයි. මේ පුවත් ලිපිය ද ඔබ කියවා පැත්තකින් තබනු ඇත. එහෙත් එදා ධර්මයක් අසන්නේ පුරුදු කරන්නට ය. එය ගෞරවයෙන් දරාගෙන ඒ තුළ හිත වඩන්නට ය. එහෙත් අද…?
‘යහපත’ කියන වචනයටත් අප ලැදියාවක් ඇත. නන්දිය ශාක්‍යයාට භාග්‍යවතුන් වහන්සේ විසින් යහපත උදා කරවන ධර්ම හයක් ගැන කියා දෙනු ලබයි. පළමු ධර්මය ශ්රද්ධාවයි. භාග්‍යවතුන් වහන්සේ විසින් කළ යුතු යයි දේශනා කළ යම් කායික ක්‍රියා වේ ද මානසික ක්‍රියා වේ ද වාචසික ක්‍රියා වේ ද ඒ සියලූ ක්‍රියා කිරීම ද නො කර සිටින්න යැයි දේශනා කළ කායික, මානසික, වාචසික ක්‍රියා නො කර සිටීම ද ඔහුගේ ශ්රද්ධාවට අයත් දෙයකි. ඔහුගේ යහපත උදා කරන්නේ ඒ තුළ ය. සුචරිතය ඇති වන්නේ එ් තුළ ය.
එ් ආකාරයෙන් ශ්රද්ධාවන්ත වූ ඔහුගේ සීලය ඔහුට යහපතක් ඇති කරන්නේ ම ය. එ් වාගේ ම ශ්‍රද්ධා සම්පන්න ශ්රාවකයා කුසල් උපදවන්නටත් අකුසල් ප්රහාණය කරන්නටත් උත්සාය කරන්නේ ය. එය ඔහුගේ පටන් ගත් වීරිය යි. එය ඔහුගේ යහපත උදා කරන ධර්මයක් වන්නේ ම ය. ශ්‍රද්ධාව මත පිහිටා මේ ධර්මයන් උපදවා ගන්නා ශ්රාවකයාට නීවරණ සන්සිඳී පවතින්නේ ම ය. ඔහු කුසලය කුසලය ලෙස ද අකුසලය අකුසලය ලෙස ද දකිමින් වාසය කරන නිසා එළැඹ සිටි සිහියෙන් වාසය කිරීමේ ධර්මය උපදින්නේ ය. ඔහු ධර්මය ඉගෙන ගනිමින් කලෙක ඒ ධර්මය නුවණින් විමසන ප්රඥවන්තයෙක් වන්නේ ම ය. ප්රඥව ඔහුගේ යහපත උදා කරන්නේ ම ය. යහපත උදා කරන ධර්මයට පැමිණෙන ප්‍රතිපදාව මෙය යි.
මේ යහපත උදා කර ගන්නා කෙනා කරුණු පහක් වැඩිය යුත්තේ යයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන සේක. භාග්‍යවතුන් වහන්සේ මෙහි දී සිහි කළ යුතු කාරණා වචන වශයෙන් ම නන්දිය ශාක්‍යයාට උගන්වයි. පළමු කාරණය බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීම ය. දෙවන කාරණය ධර්මයේ ගුණ සිහි කිරීම ය. තුන් වන කාරණය කල්‍යාණ මිත්‍රයන්ගේ ගුණ සිහි කිරීම ය. හතර වන කාරණය අත් හැරීම හෙවත් දානයේ ගුණ සිහි කිරීම ය. පස්වන කාරණය දෙවිවවරුන් ගැන සිහි කිරීම ය.
මෙම දෙවිවරුන් ගැන සිහි කරන කාරණය ඔබට පැහැදිලි ද? එය පැහැදිලි කර ගැනීමට භාග්‍යවතුන් වහන්සේ ගෙන හැර දක්වන උදාහරණය බලන්න. ‘ආශ්‍රව නැති රහතන් වහන්සේ විමුක්තිය පිණිස තමන් වහන්සේට කළ යුතු දෙයක් ඇති බව නො දකී ද කළ දේ නැවත කළ යුතු යැයි නො දකියි ද ඒ ආකාරයෙන් යම් දෙවි කෙනෙක් ගොරෝසු ආහාරපානාදිය අනුභව කරන දෙවියන්ගේ ලෝකය ඉක්මවා ගොස් වෙනත් මනෝමය කය ඇති දෙවියන් අතර උපදින්නේ ද එ් දෙවිවරු තමන්ට කළ යුතු දේ ඇති බව නො දකියි, කළ දේ නැවත කළ යුතු යැයි ද නො දකියි.’ යැයි භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කොට පෙන්වා දෙයි.
තමා විසින් යහපත උදා කරන ධර්මයන් හය උපදවා ගන්නා ශ්රාවකයාට මෙසේ සිහි කරන්නට කුසල් බලයක් තිබෙනවා නො වේ ද? එසේ නම් අප ද එ් බලය උපදවා ගත යුතු වන්නේ ය. අප කළ යුත්තේ මුලින් ම ශ්රද්ධාවට පැමිණීම ය. එ් භාග්‍යවතුන් වහන්සේ විසින් පුරුදු කරන්නට කියා දුන් ධර්මය පුරුදු කරන්නට ඇත්තේ ම ශ්‍රද්ධා සම්පන්න ශ්රාවකයාට ම ය. අප සියලූ දෙනාටමත් මෙම අවවාද දරාගෙන පුරුදු කිරීමට මෙම සදහම් පණිවිඩය හේතු වාසනා වේවා !
Recent Comments