දයාබර දුවේ,

හැම අම්මෙකුට ම වගේ මටත් මගේ දුව ව ගොඩාක් වටිනවා. ඔයා මේ ලෝකෙට එනකල් මං මඟ බලාගෙන හිටියේ නොඉවසිල්ලෙන්. ‘මල් පෙත්තක් වගේ දරුවෙක්’ මගේ අතට වෙලා හුරතල් වෙන හැටි බලන්න මං හීන දැක්කා…

ලේ, මුත‍්‍රා ආදි අපිරිසිදු දේවලින් මුළු සිරුර ම වසාගෙන, වේදනාවෙන් බරිත වෙලා, හැඬීමට පවා අන් අයගේ උදව් උපකාර ලබාගනිමින් ඔයා මේ ලෝකෙට බිහිවෙනවා මට මතකයි. මාස නවයක් පුරාවට අඳුරු ගුහාවක හිරකරලා, ගුලි කරලා හිටපු ඔය සියුමැලි ශරීර කූඩුව, අලූත් පරිසරයේ සීතල – උණුසුම දරාගන්න බැරුව අඬනවා මට හොඳින් මතකයි…

කැත කුණු පිසදාල, සෝදලා ඔයාව මගේ අතට දුන්නාම, ඔය සුකුමාල අත් – පා, සිනිඳු සම, දීප්තිමත් නෙත් යුවල දිහා මං බැලූවේ හද පුරා උතුරා යන සෙනෙහසින් ම යි.

එ්ත්… මේ තමයි, තවත් ඉන්ද්‍රිය හයක පහළ වීම… දුකේ හටගැනීම… ලෙඩ රෝගවල පැවැත්ම… ජරා මරණවල පහළ වීම… කියලා මට තේරුම් ගියේ නැහැ.

කොටින් ම කියනවා නම්, සියලූ දුකේ හටගැනීම මේකයි කියලා මට තේරුනේ නැහැ. කිිරි කැටි අත් දෙකේ ඇඟිලි දිගහැරලා, පිරිමදින කොට මේ මිට මොලවාගෙන ඉන්නේ ජරා – මරණ දෙකයි කියලා මට තේරුම් ගියේ නැහැ.

ඇහැට පෙනුණු පින්වන්ත ලස්සන රූපය, කනට ඇසුණු සුරතල් සද්දේ, නාසයට දැනුණු කිිරි සුවඳ, කයට දැනුණු සිනිඳු පහස… මේ සියල්ල ම දුකක් ම යි කියලා මා පොඞ්ඩක්වත් හිතුවේ නෑ. මං එ්වාට වසඟ වුණේ ගිනිදැල්ලකට ඇදිල ගිය පළඟැටියෙක් වගේ. එ් හැම දෙයක් ම සතුටක් ම යි උපදවන්නේ කියල ම යි මම හිතුවේ. අනන්ත සසර පුරාවට මේ ආයතන හය ම විවිධ විදියට ලබාගනිමින් ආවට, මේවායේ ආස්වාදය – ආස්වාදය ලෙසත්, ආදීනවය – ආදීනවය ලෙසත්, නිස්සරණය – නිස්සරණය ලෙසත් ඇත්ත ඇති සැටියෙන් දැකගන්න අවබෝධ ඤාණය ගැන මං දැනගෙන හිටියේ නෑ.

බඩගින්නට කිරි ටික ඉල්ලන්න බැරුව, කිරි ටික උරාබොන්න බැරුව, පෙරළුණු පිටින් නොපිටට පෙරළෙන්න බැරුව, වේදනාවන් කියා ගන්න බැරුව ඔයා දුක් ගොඩක් විඳිනවා කියලා මට හැබෑවට ම තේරුනේ නෑ.

කිිරි දත් පෙන්නලා, කොක් හඬගා සිනාවෙලා, දින සති මාස අවුරුදු ගෙවිලා යද්දී, වාරු නැතුව වැටි, වැටී නැගිටින විට අපි හැමෝම සතුටු වුණා, ‘‘දැන් අපේ පැටියා ලොකු වැඩ කරනවා…” කියලා.

පුංචි ලෙඩක් හැදුණ ම පවා, ඔයාව කරපින්නාගෙන බෙහෙත්වලින් ම සුවය ඉල්ලගෙන ඇඬූ කඳුළින් කාලය ගත කළා මට මතකයි. එ්ත්….. ‘ඉක්මනට හොඳ වෙනවනේ…..’ කියලා හිතින් හිතමින් සතුටින් ම යි මම ඔයාගෙ සුවපත් භාවය බලාපොරොත්තු වුණේ. ඉපදීමත් එක්ක කාටත් උරුමවෙන, බිත්තර කටුවක් වගේ සියුම් සමකින් වටවුණු ශරීරය කියන්නේ ඇත්තටම ලෙඩ පැටව් ගහන කූඩුවක් කියලා මට අවබෝධයක් තිබුණේ නෑ.

ඔයා ලොකු වුණා ම හොඳ ඉස්කෝලෙකට යවලා හොඳින් උගන්නලා හොඳ දරුවෙක් කරලා ලොකු රස්සාවක් කරවන්න හිතුවා. සැප ලබන්න, දුක් නො ලබන්න යන්න ඕනෙ කරන හොඳ පාර ගැන මමත් හීන මවලා තියෙනවා. එ්ත්… කවදාකවත් දුකක් නැති, පසුතැවීමක් නැති, ශෝක රහිත, බිය රහිත මේ ලෝකේ සුන්දර ම තැනට යන්න තියෙන මාර්ගය මහා කරුණා ඇති බුදු සමිඳුන් කියා දීපු ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා මට එදා තේරුනේ නැහැ.

මේ අතරතුර තමයි මට මුළුමනින් ම බුද්ධ ශාසනයක් බබළවන්නට උපකාර කරන ‘කල්‍යාණ මිත‍්‍ර සම්පත්තිය’ මුණ ගැහුණේ.

ගිනි අරගෙන දැවෙන කාම ලෝකයේ සැප අතර මොහොතකට හෝ නිරාමිස සැපය උදාකර දෙන, නිවී සැනසී ගිය සිත් දරාගත්, උතුම් ශ‍්‍රී සද්ධර්මය ලොවටම කියාදෙන උතුම් කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේලා මටත් මුණ ගැසුණා. මටත් ‘ක්ෂණ සම්පත්තිය’ උදා වුණා කියලා මං දැනගත්තා. ඉවසීම පුරුදු කරමින් ජීවන සැඩ පහරේ උඩුගම් බලා පීනා යන්න මං අධිෂ්ඨාන කරගත්තා. එ් සඳහා නො පමා ව ක‍්‍රියාත්මක වුණා.

‘‘මේ ලෝකය දුකක් ම යි… සංසාරය අතිශයින් ම භයංකාරයි…” කියලා විවිධ විදියට තේරුම් කරලා දුන්න කල්‍යාණ මිත‍්‍රයන් මට මුණ ගැසුණා. ‘ධර්මය තුළින් ම මේ ලෝකය දකින්න උත්සාහ කරන සිල්වතුන් – ගුණවතුන් තවමත් මේ ලෝකෙ ඉන්නවා නේ ද’ කියලා මං ගොඩක් සතුටු වුණා. එවන් කල්‍යාණ යහළුවන් සමග අසුරු සැණක් හෝ දස කථාවේ ම යෙදෙමින් කාලය ගතකරන්න මං බොහෝ ම කැමති වුණා.

පෙනෙන – නො පෙනෙන ලෝකයේ විවිධ වූ යහපත් – අයහපත් උපකාර – අනුපකාර අතරින් මම ධර්මය සොයාගෙන යන්න පටන් ගත්තා. සත්පුරුෂ ගුණ ධර්ම වඩන්නේ නැතුව මේ ධර්ම මාර්ගයේ එක අඩියක්වත් ඉදිරියට යන්න බැරි බව කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේලා දේශනා කළ දේ මගේ දෙසවන්හි දෝංකාර දුන්නා. තරහව, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, එකටෙක කිරීම, බද්ධ වෛරය, අන් සතු දේට ආසා කිරීම මගේ හිතින් දිනෙන් දින බැහැර කර ගන්න මං හැකිතාක් වීරිය කළා.

මේ ශ‍්‍රී සද්ධර්මය ස්වාක්ඛාතයි, සන්දිට්ඨිකයි, අකාලිකයි, එ්හිපස්සිකයි, ඕපනයිකයි, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූුහි කියලා මට තේරෙන්න පටන්ගත්තා. කවදා හෝ තෙරුවන් කෙරෙහි නිසැක භාවයට එන්නත්, ආර්යකාන්ත සීලයක් උපදවා ගැනීමටත් ඕනෙ කියලා මං තරයේ හිතට ගත්තා.

සංසාර සැඩපහරට අසුවෙලා ගසාගෙන යන අශ‍්‍රැතවත් පෘථග්ජනයෙක් නො වී, ගෞතම බුදු සසුනේ ම ශ‍්‍රැතවත් ආර්ය ශ‍්‍රාවිකාවක් වෙන්න මටත් බැරි ද කියලා මට හිතුණා. ගෙවල් – දොරවල්, ස්වාමියා – දියණිය, දෙමාපියන්, නෑදැයන් අතර ම ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේගේ ළයෙහි උපන් ශ‍්‍රාවිකා දියණියක් වෙන්න මටත් පුළුවන් නේ ද කියලා හිතුවා.

යහපත් මවක්, බිරිඳක්, දියණියක් විදියට මෙලොව – පරලොව දෙක ම සාර්ථක කරගෙන ධර්ම මාර්ගයේ දුර ගමනක් යන්නයි මට ඕන වුණේ. සිල් ගුණ දම් රකිමින් එ් මඟ යන හැටි අප කෙරෙහි අනුකම්පාවෙන් ම කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේලා ගිහි අපට කියා දෙනවා.

විවාහය – ගිහිගෙදර, නිවන සඳහා යම් ප‍්‍රමාදයක් ඇති කර දුන්නත්, බාධාවක් නොවන බව මා දැන ගත්තා. මට යන්න තියෙන මේ දුර ගමනේ දී ගිහි ශ‍්‍රාවිකාවක් විදියට තව කොතරම් නම් දේ පුරුදු කළ යුතු ද කියලා මං විමසිලිමත් වුණා. ධම්මානුධම්ම ප‍්‍රතිපදාවේ යෙදීමට මං යුහුසුළුව ක‍්‍රියාත්මක වුණා.

ප‍්‍රිය දේවලින් ඇස පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, ශරීරය පිනවන්න, මනස පිනවන්න අප‍්‍රිය හැම දේත් සමග ම ගැටීම හැර වෙනයම් දෙයක් මම මේ ජීවිතේ කළා ද කියලා ආපස්සට හැරිලා මං මගේ ජීවිතය තුළින් ම සොයා බැලූවා. මේ ජීවිතේ විතරක් නො වෙයි, කෙළවරක් නැති සංසාරේ හැමදාම මං කරලා ඇත්තේ එ් ටික විතරයි.

පුංචි සැපයක් බලාපොරොත්තුවෙන් ප‍්‍රිය දේවල් සොයාගෙන එකතු කරගෙන, විනාශ නො වෙන්න ආරක්ෂා කරගෙන, ගිලිහී යන ප‍්‍රිය දේ නැවත සොයා ගැනීමට වෙහෙසෙමින් දන්නා දා ඉඳලා මං මෙතෙක් විඳලා තියෙන්නේ දුක් ගොඩක් විතර ම යි.

මං විතරක් නො වෙයි, දුවේ… ඔයත් එහෙමයි. අපි හැමෝම අනාගතේ සැප බලාපොරොත්තුවෙන් දවස පුරා ම හුඟාක් දුක් විඳිනවා. රාග, ද්වේෂ, මෝහ ගින්නෙන් දැවී දැවී සැප ම සොයනවා. දින – සති – මාස ගෙවෙනවා. මේ විඳින්නේ මහා දුක් ගොඩක් කියලා අපිට තේරෙන්නේ නෑ. එ්කට හේතුව තමයි, තණ්හාවෙන් බැඳුනු අපි අවිද්‍යාව නම් අඳුරු කඩතුරාවෙන් වැහිලා ඉන්න නිසා. මේ ගැන නුවණින් කල්පනා කරන්න අපිට හිත ඉඩ දෙන්නේ නැහැ. එ්කට ‘‘වෙලාවක් නැහැ” කියලා තමයි අපි එ් ඇත්තෙන් වසන් වෙන්නේ. එ් තරමට ම අපි අසරණ වෙලා.

සතුටක් දැණුනා ම ඉතා ඉහළින් උදම් අනන්නත්, දුකේ දී හඬා වැළපෙන්නත් පුරුදු වෙච්ච මිනිසුන් අතර, කම්පා නොවන මැදහත් සිතක් හදා ගන්න මං දැන් පුරුදු වෙනවා. දුවේ… ඔයත් එහෙම පුරුදු වෙන්න.

භාග්‍යවතුන් වහන්සේගේ පිරිසිදු ශ‍්‍රී සද්ධර්මය කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේලාගෙන් අපට ඇහෙන මේ දුර්ලභ අවස්ථාවේ දී අපි ආයෙ කවදාවත් සසරේ අතරමං නො වෙන්න, අසරණ නො වෙන්න, ඔයත් මේ ධර්ම මාර්ගය ම වඩන්න. සුගති සැපයට පත්වෙලා සතර අපායෙන් මුළුමනින් ම නිදහස් වෙන මාර්ගයට එන්න. අපි උත්සාහ කරමු. දුක ම විඳිමින් භයානක සසරේ ආපු අපි එ් ගමන ඉක්මනින් ම කෙළවර කර ගනිමු.

එ් සඳහා ගෙවී යන තත්පරය පවා අත් නො හැර අපි අප‍්‍රමාදී වෙන්න ඕනෙ. ආදරණීය අම්මා කෙනෙක් කවදාවත් තමන්ගේ දරුවෙකුගේ දුක සිහිනෙකුදු පතන්නේ නැහැ ම යි. මමත් එහෙමයි. දුවේ… දයාබර මෑණි කෙනෙක් විදියට සදාකාලික සැප ලබාදෙන එ් අමා නිවන් මග මට තේරෙන හැටියට ඔයාට පෙන්නලා දෙන්නයි මට ඕනෙ. හීන වූ, ළාමක වූ සැපයෙන් එහාට දෙයක් ඔයාට හිතන්න පුරුදු කරන්නයි මට ඕනෙ. මව්වරුන් කෝටියකගේ කරුණාව කැටි වූ එ් උතුම් බුදු සමිඳුන්ගේ හද මඩලේ උපන් පින්වත් ශ‍්‍රාවක දියණියක් වෙන්න ඔයත්… අප‍්‍රමාදී වෙන්න.

ඔයාට තෙරුවන් සරණයි…!
මං,
ආදර අම්මා…