ඈතින් පායා එන පොසොන් සඳමඩල දකින විට නිරායාසයෙන් ම සිහිපත් වන්නේ මිහිඳු මා හිමියන්ගේ ආගමනයයි. එදා එය එසේ සිදු නො වන්නට අද අපට මෙසේ හැසිරෙන්නට, පිළිවෙත් පුරන්නට, කථාකරන්නට දහමක් නො තිබෙන්නටත් ඉඩ තිබුණි. එහෙත් අපගේ වාසනාවට සිදුවිය යුතු සියල්ල එ් ආකාරයෙන් ම සිදුවී තිබේ. බුදු සසුනේ සිදුවීම් බොහෝ අසිරිමත් ය. එදා සිදුහත් බෝසතාණන් වහන්සේගේ උපත සිදුවන මොහොතේ ම නේරංජරා ගං තීරය අසබඩ පුංචි ඇසතු අංකුරයක් ද පැණනැගුණි. යශෝධරාවන්ගේ මෙන් ම චන්නගේ උපත ද එ් සමග ම සිදුවෙද්දී රජ මැදුරෙ අස් හල තුළ කන්ථක අසුගේ ද උපත සිදු විය.
එදා සිදුහත් කුමරුගේ දේහලක්ෂණ එකින් එක පරීක්ෂා කොට මේ කුමරු නම් එ්කාන්තයෙන් ම සම්බුද්ධත්වයට පත් වන්නේ යැයි සපථ කළ කොණ්ඩඤ්ඤ බමුණා සිදුහත් කුමරු ගිහිගෙය හැර යන්නට පෙර ම තවුස් වෙස් ගෙන වප්ප, භද්දිය, මහානාම, අස්සජී යන සගයන් ද සමග ගිහිගෙය හැර ගියේ ය. අවසන එ් පස්වග තවුසන් ගෞතම සසුනේ පළමුව නිකෙලෙස් වන්නට වාසනාව උදාකරගත්හ. මිනිසුන් දහස් ගණනක් මරා ඇඟිලි මාල ගොතමින් සිටි බිහිසුණු අංගුලිමාල අතින් තම මෑණියන් ඝාතනය වන්නට තිබූ අවස්ථාව යන්තම් මගහැරී භාග්‍යවතුන් වහන්සේගේ පුරිසදම්මසාරථී ගුණය තුළ දමනය වූ අයුරු කෙතරම් අසිරිමත් ද? මේ සියල්ල අහම්බයන් ද? නැත. එ්වා එසේ වීමට නියමිතව නො තිබුණේ යැයි කාට නම් කිව හැකි ද? එ්වා අයිති අපගේ සිතීමේ සීමාව අභිබවා ගිය ලෝක විෂයට විය හැකි ය. නො එසේ නම් කම්ම විපාක විෂයට විය හැකි ය.
මේ යුගයේ මහමෙව්නාව නම් වූ අමා පැන් තොට විවර වීමත් එබඳු ම සිදුවීමක් යයි මට සිතේ. මහමෙව්නාවෙන් ගලා ගිය අමා පැන් දහරින් සුවපත් වූ දෙව් මිනිසුන්ගේ ගණන මෙපමණකැයි කීමට මා හට නො හැකි ය. මේ යුගයේ එ් අමා පැන් තොට අපට හමු නො වූවා නම්….. අද එ් සෙවණේ පැවිදිවී සිල් ගුණ දම් පුරන තරුණ යතිවරයන් වහන්සේලා… අනගාරිකා මෙහෙණින් වහන්සේලා….. පමණක් නොව අප වැනි ගිහියන් ද කාමයන්ට ම යටවී කාමයන්ට ම මුසපත් වී කෙලෙස් වනයෙහි අඳුරු අගාධයක නතර වීමට ඉඩ නො තිබුණි ද? එහෙත් එය එසේ වූයේ නැත.
එ් බුදුරජාණන් වහන්සේගේ පුරිසදම්මසාරථී ගුණය තවමත් ජීවමානව වැඩ හිඳින නිසා නො වේ යැයි කාට නම් කිව හැකි ද? ධර්මයේ සන්දිට්ඨික ගුණය තවමත් ප්‍රකට වන නිසා නො වේ යැයි කාට නම් කිව හැකි ද? පිළිතුර ඔබ සතු ය.
බුදුරජාණන් වහන්සේ වාදයෙන් පරදවා බිම හෙලන්නෙමි යයි වහසි බස් දෙඩූ සච්චක ඔබට මතක ද? එදා ඔහු බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් පුරිසදම්මසාරථී ගුණය තුළ දමනය වූ අපූරුව ද ඔබට මතක ඇතුවාට සැක නැත. ඔහු පසු කලෙක ලංකාවේ ඉපිද කළු බුද්ධරක්ඛිත නමින් පැවිදිව අරහත්වයට පත් වූ වග ජනප්රවාදයේ එන කථා පුවතකින් මට අසන්නට ලැබුණි. මේ ලිපියෙහි වෑයම එහි සත්‍ය අසත්‍යතාවය ගවේෂණය කිරීම නො වේ. එහෙත් එ් රහතන් වහන්සේ වැඩ විසූයේ යැයි සැලකෙන බිම සොයා යන්නට එක්තරා දිනෙක මා හට සිත් පහළ විය. එම සොඳුරු වන අසපුව බොහෝ භාවනායෝගී පින්වත් ස්වාමින් වහන්සේලා දිගු කලක් දහම් මග පිළිවෙත් පිරූ තැනක් වීම මාගේ උත්සාහය තවත් තීව්ර කරවන්නට සමත් විය.
එදා කළු පොහොය දිනයකි. නැතහොත් අමාවක පොහොය දිනයකි. ඔහු එහි යන විට දම් සභා මණ්ඩපයේ ධර්ම දේශනාව ආරම්භ වූවා පමණ ය. මේ වේලාවේ දම් සභා මණ්ඩපය මැදින් ඉදිරියට යෑම සුදුසු නැත. එවිට සිත එකඟ කොටගෙන බණ අසන අයගේ සිත් විසිරෙන්නට ඉඩ ඇත. අසුන් ගන්නට පවා ඉඩක් නො තිබුණ ද මෙතනට දම් දෙසුම හොඳින් ඇසෙන බැවින් සිටගෙන ම වුව ඇසිය යුතු වන්නේ එ් අමා දහම් පද ම නො වේ ද? ඔහු දම් සභා මණ්ඩපයේ ඈත කෙළවරේ සිට, සිටගෙන ම බණ ඇසුවේ ය. කෙමෙන් රෑ බෝ වී ය. මැදියම් රාත්‍රිය ද උදාවිය. එහෙත් කිසිවෙකුට එ් වගක් නො දැණුනි. ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ අසිරිමත් බුදු ගුණ ම ය. දම් දෙසුම නිමා වන විට පෙරඹර අහස රත් පැහැ ගන්වමින් අරුණලූ උදා වෙමින් තිබුණි. එසේ තුන් යම් රාත්‍රිය මුළුල්ලේ ධර්ම ගෞරවයෙන් යුතුව සිටගත්වන ම බණ ඇසුවේ වෙන කිසිවෙක් නො වේ. එදා සිරිලක අග රජ වූ සද්ධාතිස්ස මහ නිරිඳුන් ය. එ් කළු පෝය දවසේ කළුදිය පොකුණ අසබඩ කළු තිඹිරිය ගසක හෙවණේ සිට, පෙර දා බුදුරජාණන් වහන්සේ දඹදිව කාළකාරාමයේ දී මුල් වරට දේශනා කරන විට පස් වරක් මහ පොළව කම්පිත කරවූ එ් සූත්‍රය එදා නැවත දේශනා කොට වදාළේ කළු බුද්ධරක්ඛිත මහ රහතන් වහන්සේ ය. එ් දෙසුම අසා මෝහයේ කළුවර පිසදමා අරුණලූ උදාව දුටු පිරිස කෙතෙක් ද යන්නට සාක්ෂි දැරිය හැක්කේ මේ කළුදිය පොකුණට ම පමණි.
කළුදිය පොකුණ ආරණ්‍ය සේනාසනය සැබැවින් ම සිත් නිවන සොඳුරු වන සෙනසුනකි. මෙහි වැඩ හුන් කළු බුද්ධරක්ඛිත මහ රහතන් වහන්සේ ගැන තරමක් ප්‍රකට වුව ද අප්රකටව වැඩ හුන් රහතන් වහන්සේලා ගණන අපට අනුමාන කළ නො හැකි ය. මේ පින් බිමට ඇතුළු විය හැක්කේ මිහින්තලය පසුකොට මඳ දුරක් දඹුල්ල පාරේ ඉදිරියට එන විට පාරේ වම් පස ඇති ‘කළුදිය පොකුණ ආරණ්‍ය සේනාසනය’ යන පුවරුව අසලිනි. වන රොද අතරින් වැටී ඇති අඩි පාර කෙමෙන් ස්වභාවික ගල් පර්වත කීපයක් අතරින් වැටුනු ගල් පඩි පෙළක් බවට පත්වේ. සැතපුම් කාලකට අඩු දුරක දී ඔබට නෙත් පුරා දැක ගත හැක්කේ සුවිසල් ජලාශයකි. මෙය දෑසින් දුටු විට මෙම සෙනසුනට කළුදිය පොකුණ යයි නම් තැබීම කෙතරම් උචිත දැයි ඔබටම පසක් වනු නිසැක ය. එතරම් ම එහි දිය කළු පැහැති ය. එහෙත් එ් අපිරිසිදු බවක් නිසා නම් නො වේ. මම එයට හේතුව සෙවීමට නො වෙහෙසුනෙමි. වෙහෙසිය යුත්තේ අපගේ සිත් තුළ පවතින කළුවර දුරුකර ගැනීමට ය.
ජල තලය මධ්‍යයේ සුවිසල් සීමා මාලකයක නටබුන් පැහැදිලිව දැක්ක හැකි ය. මම එ් කළුතිඹිරිය ගස සොයා පියනැගුවෙමි. එහෙත් අද එ් කළු තිඹිරිය ගස නම් එතන නැත. එහෙත් එ් අසල ම කළු ගල් පව්වක් නම් ඇත. මම එ් මතට නැගුනෙමි. අසිරිමත් ය, එතනට හාත්පස දිස්වන අපූරුව අකුරු කිරීමට අපහසු ය. සිහිලැල් සෙවණේ වන සියොතුන්ගේ ගී හඬ නෑසීයන පරිදි සිත සමාධිය තුළ සතපවන්නට සමත් මෙවන් තැනක් මට තවම හමුවී නැත. මම එ් ගල මත හිඳගෙන ලිපියේ මුල් කොටස අකුරු කළෙමි.
මෙම සෙනසුන මිහින්තලය පුද බිමෙහි අට සැට ලෙන්වලට අයත් ලෙන් සමූහය අතරට ගැනෙන්නේ ද යන්න පිළිබඳ නිසැක පුරාවිද්‍යා දත්තයන් ලිපිය ලියන මොහොත වන විට මා හට සොයාගැනීමට නො හැකි වුව ද මේ පින් බිම පුරා තුරු වදුලූ අතරෙ සැඟවී පවතින ගල් ලෙන් කීපයක් ම දක්නට ඇත. එ් සියල්ලෙහි ම යතිවරයන් වහන්සේලා බවුන් වඩමින් සිටින බැවින් මම එයට බාධා නො කළෙමි. පින්බිම පුරා අතීත අසිරියක නටබුන් බොහොමයක් දක්නට ඇත. පොකුණේ දකුණු කෙළවරට වන්නට නටබුන් වූ සෑයක සලකුණු ඇත. ගලින් ම නිම වූ උළුවසු සහිත ගල් ලෙන දුටු විට අතීතයේ සිට මෙහි බවුන් වැඩූ යතිවරයන් වහන්සේලා පුද සත්කාර කළ පාලකයන් මෙන් ම වැසියන් ද බොහෝ සිට ඇති බව ප්‍රකට වේ.
විහාර මන්දිරය සහිත භූමියේ දී මා හට තරුණ ස්වාමීන් වහන්සේනමක් මුණ ගැසුණි. උන් වහන්සේගේ දෙපා නැමැද මම මෙම සෙනසුන ගැන තොරතුරු විමසුවෙමි.
‘‘පින්වත් ස්වාමීන් වහන්ස, මේ සෙනසුන ගැන තොරතුරු ටිකක් කියන්න පුළුවන් ද?”
‘‘මහත්තයා මම ගොඩක් තොරතුරු නම් දන්නෙ නෑ… හෙව්වෙත් නෑ…”
උන් වහන්සේගෙන් ලැබුණේ මා අපේක්ෂා කළ පිළිතුර නො වේ.
‘‘මහත්තයා මම දන්නෙ මෙච්චරයි.. මේ ස්ථානයේ ස්වාමීන් වහන්සේලාට විවේකීව බණ භාවනා කරගන්න පහසුකම් තියෙනව… මහත්තය අර බෝධීන් වහන්සෙයි බුදු කුටියයි වන්දනා කරගන්ට… විවේක තියෙනව නම් මේ තියෙන්නෙ සක්මන් මළු ටිකක්. භාවනා කරන්ටත් පුළුවනි…”
මා හට නමවත් පැවසීමට උකටලී වූ උන් වහන්සේ යන්නට පිය එසවූ බැවින් මම නිහඬ වූයෙමි.. ඇත්තෙන්ම උන් වහන්සේලා භාවනාවෙහි ම හිත් අලවා වාසය කිරීම කෙතරම් අගනේ ද? භෞතික තොරතුරු සොයා උන් වහන්සේලා සොයන ආධ්‍යාත්මික විමුක්තියට අප බාධා කළ යුතු නැත.
කළුදිය පොකුණ වන සෙනසුනෙහි වැඩ වසන ස්වාමීන් වහන්සේලා සඳහා දන් පැන් පූජා කිරීමට ඔබට හැකියාව ඇත. එ් සඳහා ඔබ මෙහි පැමිණ දිනයක් ලබාගත යුතු වේ. මිහින්තලය පුදබිම වන්දනා කරන්නට යන ගමනක දී රහතන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පූජනීය වූ මෙම අසිරිමත් මෙන් ම ඓතිහාසික පුදබිම දැක බලා සිත් සතන් නිවා සනසා ගැනීමට ඔබට ඔබට මේ තොරතුර ප්‍රමාණවත් වේ යයි සිතමි. එහෙත් එ් ගමන විනෝද ගමනක් කරනොගන්නා මෙන් මා ඉල්ලන්නේ කරුණාවෙනි. මන්ද ඔබගේ ශබ්දය මෙහි බවුන් වඩන යතිවරයන් වහන්සේලා හට බාධාවක් නො විය යුතු හෙයිනි. එමෙන් ම පොලිතින් ආදි අපද්‍රව්‍ය කිසිවක් එහි දමා නො එන්න. මන්ද තවත් චිරාත් කාලයක් මේ බිම මේ අයුරින් ම පවතිනවා දැකීමට වන දෙවිවරුන් පවා කැමති වනු නිසැක හෙයිනි.
මම සක්මන් මළුව වෙත පිය නැගුවෙමි. හීල් හෙවණේ නිසංසලේ සක්මන් කරන විට කාලය ගතවී යනවා නො දැනේ.. එහෙත් ආපසු පැමිණිය යුතුව තිබේ. එනිසා මම ආපසු එන්නට හැරුනෙමි. ඇත් රජෙක් දම්වැල් සිඳ දමා යන විලස සියලූ ගිහි බැඳුම් සිඳ දමා මෙවැනි සක්මනක හුදකලා වන්නේ කවදා ද? මා සමග නො පැමිණ සක්මනෙහි නැවතුන සිත යළිත් විමසයි. එය ද සිදුවිය යුතු විලස සිදුවනු ඇත.
චාරිකා සටහන
සුදර්ශන ශ්‍රී විජේසිංහ
Recent Comments