‘‘කොහොම ද ඉතිං ජීවිතේ….? සතුටින් ඉන්නව ද..?” කියල කෙනෙක්ගෙන් ඇහුවොත් බොහෝ දුරට ඔහුගෙන් හෝ ඇයගෙන් ලැබෙන්නේ ‘‘මොන සතුටක් ද? ඔහේ ඉන්නවා….” කියල පිළිතුරක්.

අනාර්ය ලෝකය තුළ සෑම දෙනෙක් ම වෙහෙසෙන්නෙ සතුට කියන දෙය අත්වි`දින්නට. සතුට වෙනුවෙන් මනුෂ්‍යයා නො කරන දෙයක් නෑ. නමුත් මේ මනුෂ්‍ය වර්ගයාට නැත්තෙත් සතුට ම යි. යම් ප‍්‍රමාණයක හෝ සතුටක් වි`දිනවා නම් එය ඉතාමත් කෙටි වේලාවකට සීමා වූවක්. සමහර විට එය ද ඉතාමත් ළාමක සතුටක්. කෙලෙස් වගුරුවන සතුටක්. වර්තමාන ලෝකයේ ගුණාත්මක, එහෙමත් නැත්නම් සැබෑ ම මානුෂික ගුණාංගයන්ගෙන් හටගත් සතුටක් අත්වි`දිනවා කියන එක මනුෂ්‍යයාට දුර්ලභ කාරණාවක් වෙලා. සාමාන්‍ය මනුෂ්‍යයා අත්විඳින ළාමක වින්දනාත්මක සතුට ගත සිත දෙකට ම බරක්. කෙලෙස් උපදවන දෙයක්. සසරෙහි බර වැඩිකරන්නා වූ දෙයක්. කොටින් ම කියතොත් එය පාපී සතුටක්. නමුත් ලෞකික වශයෙන් මිනිස් සිතක වැඩෙන ගුණධර්මයන් නිසා උපදින සදාචාරාත්මක, ශිෂ්ටසම්පන්න සතුට මනුෂ්‍යයාගේ සසර බර වැඩි කරන්නෙ නැහැ. ඒ වෙනුවට එයින් පුණ්‍ය ධර්මයන් උපදිනවා. ඉන් සසරෙහි සැප සැලසෙනවා. නමුත් වර්තමානයේ මෙවන් සතුටක් මිනිස් සිත් සතන් කෙරෙන් පලා ගොසින්. ඒ වෙනුවට ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස ඔස්සේ මිනිසා සතුට කියල වි`දින්නෙ පහත්, ග‍්‍රාම්‍ය, හීන වූ සතුටක්. මෙයට හේතුව තමයි මිනිසාට උත්තම දහමක පහස නො ලැබීම.

සාමාන්‍ය සතුට කියන දෙය ප‍්‍රිය මනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පහස සහ සිතට දැනෙන අරමුණුවලින් තමයි ඇතිවෙන්නෙ. පංචකාම ගුණයන් වන මේවා නිසා ඇතිවන මේ සතුට සිත අවුස්සන සිත කලඹන නො සන්සුන්කම ඇති කරන දෙයක්. එයින් නැවත පීඩාවක් ම මිස සැබෑ මානසික සැනසුමක් උදාකරන්නෙ නැහැ. නමුත් ලෞකික වශයෙන් එදිනෙදා සාමාන්‍ය ගෘහවාසය තුළ හිදිද්දී ම උසස් සතුටක් ප‍්‍රායෝගික ව ලබන්න ඔබට පුළුවන්. උදාහරණයක් විදියට ඔබ නිවසේ දී නිතර පාහේ නො කරන පොදු කටයුතු තියනව. අන් අයගේ පහසු විහරණය සදහා ඉවහල් වන. අපි හිතමු, ඔබ අකමැති වෙන්න පුළුවන් නිවසේ නාන කාමරය (Bathroom) නැත්නම් වැසිකිළිය පිරිසිදු කරන්න. ඉතිං ඔබට පුළුවන් සිතේ සතුට වෙනුවෙන් කරන මහඟු ආයෝජනයක් හැටියට මේවා ඔබේ අතින් ම මෙත් සිත උපදවාගෙන පිරිසිදු කරන්න ඇත්තෙන් ම ඔබ විසින් පිරිසිදු කළ එය නිවසේ අන් අය සුවසේ පරිහරනය කරන ආකාරය දැකලා ඔබට ලබන්න පුළුවන් ඉමහත් සතුටක්. ඒ වගේ ම මුළුතැන් ගෙයි සේදීමට ඉදුල් භාජන ඇත්නම් ඔබට පුළුවන් ඒවා කැමැත්ත උපදවාගෙන ඒවා පිරිසිදු කරන්න.

එමෙන්න නිවසේ කාගේ හෝ ඇඳුමක් සේදීමට දමා තියෙන්න පුළුවන්. ඔබ එය මට පිනක් කරන්න අවස්ථාවක් යැයි සිතා සෝදන්න. මේ වගේ දේවල් කිරීමේ දී මෛත‍්‍රිය, කරුණාව පෙරදැරිව ම කළහොත් පුදුමාකාර සතුටක් වගේ ම මහත් පිනකුත් රැුස්කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේ ම පාන්දරින් අවදිවී මිදුලක් ඇත්නම් එය අලංකාරවත් ලෙස අමදින්න පුළුවන්. එය දැකීමෙන් ඔබේ සිතත් පහදිනවා. අන් අයගේ සිත් ද පහදිනවා. ඒ වගේ ම ඔබ නිර්මාණශීලී වූවොත් ඔබට පුළුවන් අන් අයගේ සුව පහසුව වෙනුවෙන් විවිධ දේවල් කරල සතුටු වෙන්න. පිරිසිදු කිරීම් ආදි මේ දේවල් කිරීමේ දී ඔබගේ සිත තුළ උපදින සිතුවිලි ප‍්‍රසන්න වෙනවා. අලංකාර වෙනවා. එමෙන් ම නිවසේ ඔබ අමනාපයෙන් සිටින අය කෙරෙහි පවා ඔබගේ මෙත් සිත වැඩෙනවා. අනෙක් අතට අන් අය ඔබ කෙරෙහි සතුටු වෙනවා. ඔවුන්ගේ මෙත් සිතුවිලි ඔබ කෙරෙහි නිරායාසයෙන් ම පතුරුවනවා.

මේ වාගේ ගෘහස්ථ කටයුතු කිරීමෙන් අනතුරු ව පවා ඔබට ඒ ගැන සිත සිතා සතුටු වෙන්න පුළුවන්. එයින් ඔබ තුළ දවස පුරාවට ළගන්නා වූ නැවුම් ප‍්‍රබෝධයක් පවත්වාගෙන ඉන්න පුළුවන්. ඉතිං චිත්තාලංකාරය ඇතිවන ආකාරයේ මේ දේවල් කරන විට අසහනකාරී මානසික ස්වභාවයන් වෙනුවට සතුට කියන දෙය මිතුරකු සේ ඔබ ළඟින් ම ඉන්නවා. බොහෝ දෙනෙකුට සතුට අහිමි වන්නට හේතුවෙන එක් දෙයක් තමයි තවත් කෙනෙකුගේ දියුණුව දැකල එය විඳදරා ගැනීමට ඇති නො හැකියාව. අපි හිතමු ඔබ හොඳින් දන්න හඳුනන කෙනෙක් අලූත් නිවසක් හදනවා, නැත්නම් තියෙන නිවස ලොකු කරනවා. අලූත් වාහනයක් ගන්නවා. නැත්නම් වෙනත් වටිනා භාණ්ඩයක් මිල දී ගන්නවා. මේක දැකල ඔබට ඇති වෙන්න පුළුවන් ඊර්ෂ්‍යාව. එතකොට ඊර්ෂ්‍යාව නමැති අකුසලය සිත වහගන්නවා. ඒ අය කෙරෙහි තරහක්, වෛරයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ම අන් අයගේ අධ්‍යාපනික සහ අනෙකුත් සාර්ථකත්වයන්හි දී ඊර්ෂ්‍යාව ඇති වෙන්න පුළුවන්. එයින් සිතේ දැඩි බරක් නො සන්සුන්තාවයක් ඇති වී පීඩාකාරී චිත්ත ස්වභාවයකින් සිත විසිරී යනවා. මෙයින් සිතේ සතුටක් උපදවා ගැනීමට නො හැකි වී යනවා. බලන්න අන් අයගේ දියුණුව සැපත ඉවසාගත නො හැකි ව විහින් තමා විපතට පත් ව තම ජීවිතයේ සතුට අහිමි කරගන්න හැටි!….නමුත් අන් අයගේ දියුණුවේ දී ඔබට හැකි නම් එය දැකල සතුටු වෙන්න, ඔබ තුළ දියුණු වෙන්නේ මුදිතා ගුණය යි. මෙය ඔබට ඇතිකර ගන්න දුෂ්කර දෙයක් වෙන්න පුළුවන්. එතකොට ඊර්ෂ්‍යාව නිසා ඔබට විඳින්න සිදුවන චිත්ත පීඩාවනුත්, ඔබට රැුස්වෙන අකුසල ධර්මයනුත්, මේ ජීවිතයේදීත් පරලෙව දීත් ඔබේ දියුණුව වෙනුවට සිදුවන පරිහානියත් ගැන සිතල ඊර්ෂ්‍යා නො කර සිටීම යහපත් දෙයක් කියල ඔබේ සිත හික්මවන්න. විශේෂයෙන් ම කෙනෙකුට ධනය, බලය, නොයෙක් හැකියාවන්, කීර්ති ප‍්‍රශංසා, රූපවත්භාවය ලැබෙන්නේ ඔවුන් සිදුකර ගන්නට යෙදුණ පිනක විපාකයක් නිසා කියල ඒ ගැන සතුටු වෙලා ඔබත් සැප සම්පත් ලබන්න පින් දහම් කරගන්න. ධර්මානුකූල ජීවිතයක් ගෙවන්න.

ඒ වගේ ම කෙනෙක් කරන දානාදි පුණ්‍යකර්මයන් දැකල ඔබට ඇති වෙන්න පුළුවන් ‘‘අනේ මට ඒ වගේ පින්කමක් කරගන්න විදිහක් නැහැනේ” කියල දොම්නසක්. අපිට පෙර සසරින් උරුම වූ කර්ම දායාදයට අනුව අප එකිනෙකාට යමක් කිරීමේ ශක්ති ප‍්‍රමාණයන් වෙනස්. ඒ නිසා එය හොඳින් තේරුම්ගෙන තමාට කළ හැකි දේ තෙරුවන් කෙරෙහි ඇති ශ‍්‍රද්ධාවෙහි හොඳින් පිහිටල තුන් සිත පහදවාගෙන කළොත් ඒ පුංචි පුණ්‍ය කර්මය පවා මහත්ඵල මහානිසංස පිනක් බවට පත්කර ගන්න ඔබ වාසනාවන්ත වෙනවා. ඉතිං අවබෝධයෙන් යුතු ව ඔබ කරන පුංචි පුණ්‍යමය ක‍්‍රියාවකින් පවා මහත් සතුටක් ඇති කරගන්න පුළුවන්. කෙසේ වෙතත් කුමන ආකාරයේ හෝ හොඳ පින්දහම් කර ගැනීම තරම් දෙලොව සතුටට හේතුවන තවත් දෙයක් කොයින් ද…? බලන්න මේ ගාථා රත්නය දිහා.

ඉද නන්දති – පෙච්ච නන්දති
කත පුඤ්ඤෝ – උභයත්ථ නන්දති
පුඤ්ඤං මේ – කතන්ති නන්දති
භීයේ‍යා් නන්දති – සුග්ගතිං ගතෝ

භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාවෙන් වදාරන්නේ ‘‘හොඳ පින්දහම් කරගන්න කෙනා තමයි මෙලොව දී සතුටු වෙන්නෙ. පරලොව දී සතුටු වෙන්නෙත් ඔහු ම යි. දෙලොව දී ම ඔහු සතුටු වෙනවා. මං පින් කරගත්තා කියල සතුටු වෙනවා. සුගතියෙ ඉපදුණාට පස්සෙ ගොඩාක් සතුටු වෙනව” කියල.

ඒ වගේ ම ඔබ ඉතා හොඳින් දැනුවත් විය යුතු දෙයක් තමයි අන් අය සිදු කරන පින්කම් පවා සිත පහදවාගෙන අනුමෝදන් වෙන්න, ඒ ගැන සතුටු වෙන්න පුළුවන් කියන කාරණය. ඒ විදිහට අන්‍යයන්ගේ පුණ්‍යකර්මයන් දැකල අවංක ධර්මානුකූල සතුටක් ඇතිකරගන්න පුළුවන් නම් එය මහත්ඵල පිනක් හැටියට ඔබට විපාක දෙනව. එවන් කදිම අවස්ථාවක් විමාන වස්තුවේ සඳහන් වෙනව. ඒ තමයි විශාඛා මහා උපාසිකාව පූර්වාරාම මහා විහාරය කරවා බුද්ධ ප‍්‍රමුඛ මහ සඟරුවනට පූජා කරන අවස්ථාව දැක බලා මහත් සොම්නසින් යුතු ව ඇගේ යෙහෙළියක් ඒ පින අනුමෝදන් වී එහි පුණ්‍ය විපාකයක් හැටියට දෙව්ලොව පහළ වී එහි සැප සම්පත් භුක්තිවිඳිමින් සතුටු වෙනව. බලන්න… මේ පින ගැන යම් අවබෝධයක් හා තුණුරුවන් කෙරෙහි යම් ශ‍්‍රද්ධාවක් තියෙනව නම් ලෙහෙසියෙන් පින් රැුස්කරගන්න පුළුවන්.

සාන්දෘෂ්ටික ව සතුට කියන දේ කෙනෙකුට නිරතුරු ව අත්විඳින්න සීලය තරම් මහෝපකාරීවන උත්තම දෙයක් තවත් නැති තරම්. දුසිල්වත් කෙනෙකුට තමන්ගේ දුසිල්වත්භාවය නිසා ම ඇතිවන විපිළිසරභාවයත් නො සන්සුන්කමත් පසුතැවීමත් නිසා ඔහුගේ සිත්හි නිතර පවතින්නේ අමිහිරි, අසහනකාරී මානසික ස්වභාවයක්. නමුත් මනාකොට සිල්පද සුරකින කෙනෙකුගේ සිත ඉතා ධාර්මික සතුටකින් නිතර පිරී පවතිනවා. ඒ වගේ ම සිල්පද ඉතා හොඳින් දිවි හිමියෙන් ආරක්‍ෂා කිරීමේ අනුසස් හේතුකොට ගෙන පරලොව සුගති සැපය ගැන නිතර සිහි කරමින් සතුටු සිතින් යුතු ව ප‍්‍රබෝධයෙන් ජීවිතය ගතකරනව.

බුදු මුවින් වදාළ ශ‍්‍රී සද්ධර්මය මෙලොව ශ‍්‍රද්ධාවන්ත ඕනෑ ම කෙනෙකුට නිරාමිස සතුටක් ලබන්නට ඇති උත්තරීතර තෝතැන්නක්. දුකෙන්, දොම්නසින්, කණගාටුවෙන් ජීවිතය ගෙවන කෙනෙකුට ශ‍්‍රී සද්ධර්මය අසන්න කියවන්න ලැබුණොත් එය ඔහුගේ ජීවිතයේ යහපත් පරිවර්තනයකට උතුම් මූලාරම්භයක් වෙනවා. ශ‍්‍රී සද්ධර්මය අසන විට හෝ කියවන විට බුද්ධියේ නිම්වළලූ පළල් වී සත්‍යයේ දොර කවුළු විවර වෙනවා. අතොරක් නො මැති ව මුහුණ දෙන්නට සිදුවන ජීවිත ප‍්‍රශ්නවල ම පැටලි පැටලී අදුරේ අතපත ගාමින් ගෙවන ජීවිතවලට සදාතනික විසදුම් ලබා දී ඒ අදුරු ජීවිත මේ උතුම් ධර්මය විසින් ආලෝකමත් කරනව. නිවී සැනසුන ජීවිතයකට අති උත්තම පාර කියා දෙනව. ඒ ධර්මය ශ‍්‍රවණය කරපු සුවහසක් දෙව්මිනිස් කැල ඒ ධර්මය අවබෝධ කරගෙන ස්වකීය සතුට ප‍්‍රකාශ කරපු පී‍්‍රති වාක්‍යයන් ඒ උතුම් ධර්මය කියවන ඔබටත් මුණගැසේවි. කුමන ආකාරයේ ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වුවත් අනිත්‍ය මෙනෙහිකිරීම ආදි ධර්මායුධ සමඟින් ඒ ප‍්‍රශ්නවලට සතුටින් මුහුණදීමේ ජීවන කලාව මේ ධර්මයේ ඇති සුධර්මත්වය සැමට කියා දෙනවා.

කාහටත් සතුට උපදවාගන්න තියෙන මහඟු දෙයක් තමයි පරිත්‍යාගය. නො මසුරු ව යමක් දීමෙන් ඇතිවන සතුට පුදුමාකාර සහ චමත්කාර ජනක හැඟීමක්. ඔබ සතු යම් වටිනාකමක් ඇති දෙයක් එය අවශ්‍ය කරන කෙනෙකුට දෙසිතක් නො මැති ව ලබාදෙන විට එය ලබන්නාගේ ප‍්‍රතික‍්‍රියාවන් දෙස හොඳින් බලන්න. ඒ දුන් දෙයෙහි ඇති අවශ්‍යතාවය සලකා ලැබූ කෙනාගේ මුහුණේ ආලෝකමත් සිනහවත් සතුටත් ඔබට දකින්න ලැබේවි. ඔහු හෝ ඇය ඔබට කෘතඥතාව පළකරාවි, පින් අනුමෝදන් කරාවි. සිතන්න… ඔබ තුළ මොනතරම් සතුටක් උපදීවි ද මෙවන් අත්දැකීමකින්. ඔබ දීමට මැලි කෙනෙක් නම් ලෞකික වශයෙන් නෙක්ඛම්ම ගුණය ඔබ තුළ දියුණුකර ගැනීමට පවා මෙය මංගල ආරම්භයක් වේවි! ඇත්තෙන් ම යමක් අත්හැරීම නිසා හටගන්න සතුට මෙතෙකැයි කිව නො හැකි යි. යම් යම් දේවල් ගොඩනඟා ගැනීමෙන් අප හිතන තරම් සතුටක් කවදාවත් ලබන්න බැහැ. ඒ දේවල් විනාශ වීමෙන්, නැති වීමෙන් ආරක්‍ෂාකර ගැනීමට යාමෙන් උපදින්නේ දුකෙහි වැඩිවීමක් ම යි. නමුත් තමා සතු දේවල් අතහරින්න අත්හරින්න ඒ දේවල් නිසා හටගන්නා දුක, ශෝකය ක‍්‍රමයෙන් අඩු වෙනව. මේක ධර්මතාවයක්. ඉතින් අත්හැරීමේ ගුණය කියන්නේ සතුට උනන උල්පතක්. ඒ සතුට පසුපස්සේ තවත් උල්පතක් ගලනවා. ඒ තමයි පුණ්‍ය උල්පත. බොහෝ දෙනෙක් කියන පෘථග්ජන කියමනක් තියනවා. ඒ තමයි ‘‘සතුටින් මැරෙන්න තියනව නම් කොච්චර දෙයක් ද?” කියලා. ඇත්තෙන් ම ඒක යථාර්ථයක් වන්නේ හොඳින් සිල්පද ආරක්‍ෂා කරපු, ශ‍්‍රද්ධාව දියුණු කරගත්තු , දහම් දැනුම ඇති කරගත්තු, ත්‍යාගය පුරුදු කරපු, අනිත්‍ය ආදි භාවනා ප‍්‍රගුණ කරපු, සිහි නුවණ දියුණු කරපු කෙනාට යි. මේ, දේවල් නිසා ධාර්මික සතුටක් වින්දනය කරපු කෙනාට යි. එසේ නො මැති ව යහපත් (ඉට්ඨානං), කැමැත්ත ඇතිවන (කන්තානං), රුචිය උපදවන (මනාපානං), සිත ඇලෙන (මනෝරමානං), ලෞකික ජීවිතයට සම්බන්ධ (ලෝකාමිස පටිසංයුත්තානං) රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණුවලින් ලැබෙන ගෘහස්ථ සතුටට මුලාවෙලා එහි ම ඇලීගැලී ගෙවන ජීවිතයකට සිදු වන්නේ යළි යළිත් අසතුටෙන් වුවත් දීර්ඝ සසරට ඇදවැටී දුකට පත් වීමට යි. බුදුරජාණන් වහන්සේ වදාළේ (සරිතානි සිනේහිතානි ච – සෝමනස්සානි භවන්ති ජන්තු නෝ, තේ සාතසිතා සුඛේසිනෝ – තේ වේ ජාතිජරූපගා නරා) කියල යි. (මේ සත්වයාට තෘෂ්ණාව නිසා තමන් ගන්නා අරමුණු ඔස්සේ යම්කිසි සතුටක් ඇති වෙනවා තමයි. ඔවුන් ඒ මිහිරට බැඳෙනවා. ඒ සැපයම හොයන්නට පටන් ගන්නවා. එබඳු සත්වයින් ඒකාන්තයෙන් ම ඉපදෙන – දිරන සංසාරය කරා ම යනවා)

නමුත් බුද්ධ දේශනයට අනුව රූප, ශබ්ද ආදියෙහි අනිත්‍ය බව අවබෝධ කරගෙන වෙනස් වීමට පත්වූ ඒ රූපාදිය ගැන නො ඇලී ඒ රූපාදිය කෙරෙහි ඇලීම නිරුද්ධ වුණා ම කලින් තිබ්බ රූපාදියත් දැන් තියෙන රූපාදියත් ඒ සැම දෙයක් ම අනිත්‍යයි, දුකයි, වෙනස් වන ධර්මතාවයෙන් යුක්ත යි කියලා ඒ රූපාදියේ යථාර්ථය දකිද්දි, ඒ රූපයේ හිත ඇලෙන්නේ නැති ව යනවා. ඒ රූපයේ හිත නො ඇලෙන කොට එයාට ඇති වෙනවා සතුටක්. බුදුරජාණන් වහන්සේ ඒ සතුටට දේශනා කරනවා ‘නෙක්ඛම්ම’ සතුට කියලා. අන්න ඒ සතුට උපදවා ගෙන අපටත් රාග, ද්වේශ, මෝහවලින් එතෙර වන මාවතට පිවිසීමට වාසනාව භාග්‍ය උදාවේවා….!

සාධූ..! සාධූ..! සාධූ..!

සටහන
සුරංග ප්‍රියදර්ශන