ධජයක් හෙවත් කොඩියක් ඉහළට එසැවෙන්නේ යම් පණිවුඩයක් දෙමිනි. කලින් කලට ඔබේ නිවසේ ද සේවා ස්ථානයේ ද නොයෙක් දේ සිහි කරමින් නොයෙක් කොඩි එසැවෙන්නට ඇත. ඔබේ සුරතින් කොඩියක් ගෙන අහසේ ලෙළදවූ අවස්ථා ද එකක්, දෙකක් හෝ නො තිබෙනවා විය නො හැක. ඈත අතීතයේ නම් රජ මැතිවරුන්ට කොඩි එසැවීම පිණිස ම කාර්යයේ නියැළුණු පිරිස් ද සිටියහ. එසේ ම රජුටත්, පළාත් හා දිසාවන්ටත් වෙනස් වෙනස් කොඩි ද තිබුණි. අද දක්වා ම ලෝකයේ නොයෙකුත් තැන්වල, නොයෙකුත් අවසථාවල කොඩි භාවිත කෙරේ. මේ වනවිට කොඩිය යනු හැමතැන ම සුලබව දකින්නට ලැබෙන, නෙක අරුත් ගෙන එන සංකේතයකි. එසේ ඉහළට එසැවෙන සියලූ ධජ අතර අග්‍ර වූ, ශ්‍රේෂ්ඨ වූ, උත්තරීතර වූ ධජයක් තිබිය යුතු ම ය…!
මේ උදා වී තිබෙන්නේ ද බොහෝ ධජ පතාක එසැවෙන කාල වකවානුවකි. තුන් ලොවක් දිනා වදාළ ශාන්තිනායක වූ පරමෝත්තම ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සැමරෙන මේ සුපින්බර වෙසක් සමයේ දී සැදැහැවතුන් බොහෝ දෙනා එ් උත්තම මුනිරජාණන් වහන්සේ පුදනු වස් ආමිස, ප්‍රතිපත්ති පූජා පවත්වති. වසරේ අන් කවරදාටත් වඩා වෙසක් සමයේ දී නොයෙකුත් පින්කම්හි නියැළෙමින් ශ්‍රද්ධා සම්පන්නව කටයුතු කිරීම පිණිස සැදැහැ සිතින් පෙළ ගැසෙති. එ් නොයෙක් ආකාර වූ පින්කම් වර්ණවත් කිරීම පිණිස ෂඞ් වර්ණ බුද්ධ රශ්මි මාලාවන්ගෙන් ශෝභමාන වූ බෞද්ධ කොඩියක් ඔසවා තැබීමට කිසිවෙක් අමතක නො කරති. ගමක් නගරයක් පාසා මුළු රට පුරා ම දිස්වෙන එ් ධජ පතාකයන් පරිසරයට මෙන් ම නෙතට සිතට ද කැඳවන්නේ ශාන්ත වූ සුන්දරත්වයකි. ‘මේ වනාහී අපගේ උතුම් වෙසෙඟ් අසිරියයි…’ යන අභිමානය ලොවට හඬගා පැවසීම පිණිස බෞද්ධ අප කවුරුත් පළමුවෙන් ඉහළට ඔසවන්නේ ෂඞ් වර්ණ බෞද්ධ කොඩියයි. එය බොහෝ කල් පටන් නො සිඳී පැවත ආ බෞද්ධ අපේ සොඳුරු චාරිත්රයකි. ‘එ් සොඳුරු චාරිත්‍රය තවත් බොහෝ කල් පවතීවා!’ යන්න අපගේ ද පැතුමයි.
එ්ත්… බුදු සසුන පිළිබඳව වූ සුන්දර වූත්, විස්මිත වූත් පණිවුඩය ලෝකයට හඬගා පෙන්වීම පිණිස ඉහළට එසැවවිය යුතු, සැවොම මැනැවින් අල්ලා ගත යුතු, නිරතුරු එසැවී තිබිය යුතු, බුදු සසුනේ අභිමානය ගෙනහැර පාන මහානීය ධජය වසරේ අන් කාලවල දී තබා වෙසක් සමයේ දී වත් රිසි සේ ගුවනේ ලෙළදෙනා’යුරක් දැක ගන්නට නො හැකිවීම නම් කනගාටුවට කාරණාවකි. එ් ධජය වනාහී සියලූ ධජ අතර අග්‍ර වූ, ශ්‍රේෂ්ඨ වූ, උත්තරීතර වූ ධජයයි. අපේ මේ සෙනෙහෙබර පණිවුඩය එ් උත්තම ධජය දසත ලෙළ දෙන සුපින්බර වෙසක් සමයක් වෙනුවෙනි…!
‘‘ධර්මය ම යි පවසන්ට ඕන. ධර්මය ම යි බබුළුවන්ට ඕන. ඍෂිවරුන්ගේ ධජය ම යි හයියෙන් අල්ලාගන්නට ඕන. ඍෂිවරුන් ඉන්නේ ශ්‍රී සද්ධර්මය ධජය කරගෙනයි. ශ්‍රී සද්ධර්මය තමයි ඍෂිවරුන්ගේ ධජය.”
(විසාකපඤ්චාලිපුත්ත සූත්‍රය)
ශ්‍රී සද්ධර්මය වනාහි බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා ආදි මහා ඍෂි වූ පුරුෂෝත්තමයන් වහන්සේලාගේ ධජයයි. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමැති මාණික්‍ය රත්නය ලොවට දායාද වූ, උතුම් ශ්‍රී සද්ධර්මය නමැති ධජය තුන් ලොවක් එකලූ කරමින් ඉහළට එසැවුණු මේ වාසනාවන්ත සමයේ දී හැම හදවත් තුළින් පැන නැගී, සිව් දිගින් ලෙළ දෙමින් දසතින් ඉහළට එසවිය යුත්තේ එ් මහා ධජය ම නො වන්නේ ද?
‘ධර්මය’ යනු එ් සා මහානුභාව සම්පන්න වුත්, විස්මිත වූත් ලොව පවත්නා පරම ගම්භීර වූත් සනාතන සත්‍යයයි. ධර්මය තුළින් ම නිර්මිත වූ, ධර්ම ස්වාමී වූ අපගේ දම් රජාණන් වහන්සේ පවා ගුරු තන්හී තබා පුද සත්කාර කළේ එ් උතුම් ශ්‍රී සද්ධර්මයටයි. උන්වහන්සේ විසින් ‘බුදුරදුන් දකින මාවත’ යනුවෙන් අපට පෙන්වා වදාළේ ද එ් උතුම් දහම් මඟයි. එමෙන් ම යම්තාක් කල් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස එ් ශ්‍රී සද්ධර්මයට පුද සත්කාර කරයි ද ගරු බුහුමන් දක්වයි ද එ් තාක් කල් මේ ශාසනය පවතින්නේ ය යන්න සම්බුද්ධ භාෂිතයයි.
එ් ශ්‍රී සද්ධර්මය වනාහී ඉතා යහපත් වූ කෙම්බිමක් කරා අප රැුගෙන යන ශාන්ත වූ, ප්‍රණීත වූ මාවත පෙන්වන ඍෂිවරුන්ගේ ධජයයි. අත්නොහැරෙන සේ හයියෙන් අප අල්ලාගත යුත්තේ එ් මහා ධජය ම යි. දැහැමි සිතුවිලිවලින් පිබිදුණු, නෙක විසිතුරු පූජෝපහාරයන්ගෙන් අලංකෘත වූ මේ සුන්දර වෙසක් සමයේ දී යළි ගිලිහී නො යන ලෙස හද පතුලේ තදින් ම සනිටුහන් කර ගත යුතු පණිවුඩය එයයි….
එවිට…. එ් ශ්‍රී සද්ධර්මය ඔබේ මෙලොව ජීවිතය සුවපත් කරනු ඇත. පරලොව ජීවිතය සුවපත් කරනු ඇත. අන් අය උදෙසා වූ සැබෑ ම යහපත ඔබ අතින් ඉටුවනු ඇත. බුදු සසුනේ චිරස්ථිතිය පිණිස උත්තම සහයෝගය ඔබ විසින් ලබා දුන්නා වනු ඇත.
එ් වෙනුවෙන් අපි,
x මුළු හදවතින් ම උතුම් තිසරණ ගුණ හඳුනාගෙන, එ් ගුණ මෙනෙහි කරමින් බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව දවස ගත කරමු.
x නො වරදවා ම මේ වෙසක් පොහෝ දිනෙන් ඇරඹෙන සෑම පුන් පොහෝ දිනක ම ධර්මයෙන් නිර්මිත වූ, ධර්ම දායාද කරගත් එ් උතුම් රහතන් වහන්සේලා අනුකරණය කරමින් උපෝසථ සිල් ආරක්ෂා කරමු. නිරතුරු පන්සිල් සුරකින ජීවිතයක් ඇතිකර ගනිමු.
x යමක් කරනා විටත්, යමක් කියනා විටත්, යමක් සිතනා විටත් හොඳින් සිතා බලා අකුසලයට ඉඩ නො දී ධර්මානුකූලව ම කටයුතු කරමු.
x මෙත් කරුණා මුදිතා උපේක්ෂා යන සිව් බඹ විහරණ තුළ පිහිටා පින්කම් සංවිධානය කරමු.
x දෙමව්පිය, ගුරුවරුන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් හට පුද සත්කාර කරමින් මහා ස`ග රුවන ඇසුරු කරමින් පින් කරමු.
x නිරන්තරයෙන් පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වෙමු. සෑම මොහොතක දී ම කුසල් සිතින් වාසය කරමු.
x නො වරදවා ම ගේ ඉදිරිපිට වෙනදා වගේ ම ‘බෞද්ධ ධජයක්’ ඔසවමු. එ් මොහොතේ ඔබේ සිතේ ‘මම මගේ ජීවිතය තුළ ධර්මය නම් වූ කොඩිය එසවීමෙන් සුන්දර ජීවිතයක් ඇති කරගන්නවා…’ යන අධිෂ්ඨානය ඇති වේවා යන්න අපේ පැතුමයි…!
‘‘ඇත්තෙන් ම ධර්මයේ හැසිරෙන කෙනාව රැුකගන්න ධර්මයට පුළුවන්. යහපත් ලෙස රැුස්කරගත් ධර්මය තමයි සැප ලබා දෙන්නේ. යහපත් ලෙස ධර්මය රැුස් වීමේ ආනිශංස මේකයි. ධර්මයේ හැසිරෙන කෙනා දුගතියක යන්නෙ නෑ.
ධර්මයත්, අධර්මයත් යන දෙක විපාක වශයෙන් සමාන වන්නෙ නෑ. අධර්මයෙන් සත්වයා නිරය කරා ගෙන යනවා. ධර්මයෙන් සත්වයා සුගතිය කරා ගෙන යනවා.
එනිසා ධර්මයට ම යි කැමති වෙන්ට ඕන. අකම්පිත සිත් ඇති සුගතයන් වහන්සේගේ ධර්මය ගැන සතුටු වෙන්ට ඕන. සුගතයන් වහන්සේගේ ධර්මයේ පිහිටන ශ්‍රාවකයන්ට නුවණින් යුක්තව උතුම් සරණ ලබාගෙන නිවන කරා යන්ට පුළුවන්.”
(ධම්මික නම් රහත් මුනිඳුන් වදාළ ගාථා – ථේර ථේරී ගාථා – ඛු. නි.)
හැම හදවත් තුළ ධර්මය නමැති
කොඩි එසවේවා!!!
ඔබ සැමට
සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!
Recent Comments