ඕවිටේ, දෙනියේ, වෙල් යායේ ඇවිද කපා ගත් ළා තණකොළ මිටිය රත්තිට ළං කර හිස අත ගා ආදරයෙන් කථා කළ තාත්තා ඇඟපත සෝදා ගන්නට කුඹුක් ගහ ළඟ ළිඳට ගියේ බිං කළුවරේ ය. පසු දිනයේ කොස් නැටි පෙනෙන, නො පෙනෙන උදෑසන ම අම්මා රත්තී වෙත ගොස් සෙනෙහසින් කතා කළා ය.
‘‘ඔන්න රත්තියේ අදත් අපිට කිරි ඩිංගිත්තක් ඕනේ… අහවර වෙච්ච හැටියේ පැට්ටව ළඟට ම ගෙනත් දෙනවා මං..”
රත්තී ළෙංගතුව හිස සොලවා පෑ අවසරයෙන් කිරි ෙදාවා ගත් ඕ පැටවා රත්තීට ළං කෙරුවා ය. තලූ මර මරා කිරි බොන පැටවාගේත්, රත්තීගේත් හිස අත ගෑ අම්මා ගෙට එන්නේ නැවුම් ව දොවා ගත් එළකිරි ගෙදර උදවිය වෙනුවෙන් පිළියෙල කරන්නට ය.
උණු උණුවේ පැසෙන සුදුවන් කහ පැහැයක් ගත් මේ එළකිරි පානයේ ඇත්තේ ප‍්‍රණීත රසයකි, මහඟු පෝෂණ ගුණයකි. ඉතිරි කිරිවලින් දීකිරි, වෙඬරු, ගිතෙල්, මෝරු යනාදි වශයෙන් පස්ගෝරසයේ ඉතිරි සිව්රසයන් ද සැකසේ. යොදයෙන් සකසන දුම්තෙල්වලින් ආහාර පිස ගනු ලැබේ. ජාතියට කිරි දුන් ගෙදර කිරි මව මේ සියලූ රසයෙන් ගුණයෙන් සපිරි බොජුනින් රස නහර පිනවා, පෝෂණය කරවා දිවි ඇති තෙක් ම පවුලේ සාමාජිකාවක ලෙස සිටියා ය.
ඒ ළෙංගතු සබැඳියාවන්ට හෙණ ගැසුවේ විජාතිකයන්ගේ පැමිණීමෙනි. ගෙරි මස් කන්නවුන් ලෙස අපේ මුතුන් මිත්තන්ගේ ගර්හාවට පාත‍්‍ර වූ ඔවුහු කිරි මව මරා මස් කන්නට අපට පුරුදු කළහ. අපට හුරු පුරුදු ජීවන ක‍්‍රමය ක‍්‍රමයෙන් වෙනස් කළහ.
්
අද වනවිට අපේ ගෙදර රත්තියෙක් නැත. උදෑසන හිස්බඩ පුරවා ගන්නේ පෝෂණීය එළකිරිවල අග‍්‍ර වූ සාරයෙන් ප්‍රෝටීන ද දෙවැන්නෙන් චීස් හා බටර් ද සකසා එලෙස ප්‍රෝටීන හා මේදය ඉවත් කළ පසු ඉතිරි වන හුදු දියරයට කෘත‍්‍රිම ප්‍රෝටීන හා සත්ව මේදය යොදා සකසන පිටරට කිරිපිටිවලිනි…!
නිල් පැහැ තණපිටිවල තණකොළ උලා කා සුවසේ වැඩෙනා එළදෙනුන්ගෙන් සුදු නෝනාවරුන්, සුදු මහත්වරුන්ගේ අතින් නැවුම් ව දොවා ගන්නා පිරිසිදු එළකිරිවලින් නිෂ්පාදිත, අරුම පුදුම පෝෂණ ගුණයක් අඩංගු යැයි කියැවුණ පිටිකිරි වීදුරුව අද අප ඇද දමා තිබෙන යුද්ධය සුළුපටු එකක් නො වේ.
තිස් වසරක යුද්ධය අපව මරා දැමුවේ නිහඬව නො වේ. ඒ යුද්ධයටත් වඩා මේ යුද්ධය භයානක වන්නේ මේ යුදබිම ගොදුරු ලබා ගන්නේ ඉතා නිහඬව වන නිසා ය. එසේ ම මේ ආහාර ම ය ත‍්‍රස්තවාදීන්ට තිබෙන්නේ ද බැලූ බැල්මට ප‍්‍රිය උපදවන සුළු, ඉතා ගුණදායක සහ නැතිව ම බැරි තරමේ පෝෂණීය බවක් අන්තර්ගත බව කියැවෙන අතිශය සුන්දර වෙස් මුහුණක් නිසා ය.
පිටරටින් එන නැවුම් කිරි වීදුරුවේ වෙස් මුහුණ නිසා අපේ මනසට කා වැදී තිබෙන්නේ මේ කිරි නො බොන්නේ නම් අපට කිසිවක් ඉගෙන ගන්නට, මතක තබා ගන්නට පමණක් නො ව නිරෝගී ව සිටින්නට ද නො හැකි බවකි. එසේ ම තරුණ මා පියවරුන්ට තම කුඩා දරුවා ඔසවන්නට බැරි තරමට අස්ථි දුර්වලතා ඇති වන බවකි. කොටින් ම මේ කිරි නො බොන්නේ නම් අප අසමත් ජාතියක් බවට පත්වන බවකි.
වෙළඳ මාෆියාව තුළින් පණ දුන් තරම් නම් මේ කතන්දරය සුන්දර නො වන බව දැන් මාස කිහිපයක පටන් හෙළිදරව් වෙමින් පවතී. අප සිතා සිටි ආකාරයේ නැවුම් බවකින් කිරිපිටි අපට නො ලැබෙනවා පමණක් නො ව ලැබෙන කිරිපිටිවල ද ඇත්තේ ශරීරයට මාරාන්තික විය හැකි වස විස ම ය.
අලෙවි ප‍්‍රවර්ධනය හරහා අපේ රටේ ඉහළින් ම මාර්කට් වන මේ කිරිපිටි එක් එක් වයස් කාණ්ඩයන්ගේ අවශ්‍යතා නිසි ආකාරයෙන් හඳුනා ගත් බව නිතිපතා අසන්නට දකින්නට ලැබෙන අපේ රටවැසියන්ට කිරිපිටි නැතිව ම බැරි දෙයක් බවට පත් වී අවසන් ය. එහෙත් එලෙස අපට නැතිව ම බැරි වී තිබෙන්නේ යොදය ද ඇතුළු පෝෂණීය සාරයන් සියල්ල ම පාහේ ඉවත් කළ පසු ඉතිරි වන රොඞ්ඩ ය. කෘති‍්‍රම රසකාරක හා පහසුවෙන් පිළියෙල කර ගැනීමට එක් කළ විෂ රසායන නිසා වස බවට පත් වූ රොඞ්ඩ ය. ඒ නිසා නිවසේ සිටින කිරි දෙනගේ නැවුම් කිරි ටික විකුණා දමා වස කැවූ කිරිපිටි ටික රස කර කර බොන එක අපට හාස්‍යයට කරුණක් නො වෙන තැනකට පත්වී අවසන් ය. අප අද පත්ව සිටින්නේ වෙළඳ මාෆියාවෙන් මානසික අල්ලස් ලබා ගැනීම නිසා ‘කුම්බලා මාළු කා විඳවන බළලූන්ගේ’ තත්ත්වයට ය.
මෙලමයින් රසායනිකය අඩංගු වූ ළදරු කිරිපිටි පිළිබඳ උණුසුම මැකී යනවාත් සමඟ ම ආනයනික කිරිපිටිවල ඩයිසයනමයිඞ් (DCD) නම් විෂ රසායනිකය අන්තර්ගත වී ඇති බවට පර්යේෂණ හරහා තහවුරු කෙරී ඇත.
ආසනික් නිසාවෙන් රජරට වකුගඩු රෝගය ඇති වන බව මෙරට විද්වතුන් පෙන්වා දුන් අවස්ථාවේ වගකිව යුත්තන් බහුතරයක් සිදු කළේ හාස්‍යයෙන් යුතු ව එහි වගකීම නාථ දෙවියන්ට භාර කිරීම ය. එසේ කොට ජාත්‍යන්තරයේ කෘෂි රසායන නිෂ්පාදකයන් සමඟ ගැසූ ගිවිසුම් වෙනස් නො කරන්නට ඔවුහු ඉටා ගත්හ. පසු නො බැස සිදු කළ වෑයමකින් පසුව ආසනික් හා වකුගඩු රෝග අතර සබැඳියාවක් පවතින බව (බහුතර බලධාරීන්ට නැතත්) මහජනතාවට ඒත්තු ගැන්විණි. එහෙත් බලධාරීන් ඒ ගැන අවධානය යොමු කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද නාථ දෙවියන් නිවැරදි බව පිළිගත් පසු ය. නමුත් ජාතියේ අවාසනාවට අදට ද ඒ කෘෂි රසායන සියල්ල තහනම් කරන්නට තරම් පෞරුෂයක් (පිට කොන්දක්) වගකිව යුත්තන්ට ඇති වී නැත.
කිරිපිටිවල ඩයිසයනමයිඞ් අඩංගු බවට දේශීය ව හඬ නැගෙද්දී සිදු වූයේ ද ඒ හාස්‍යජනක නාටකය යළි රඟ දැක්වීමයි. කිරිපිටි බලාධිකාරයේ ඩොලර්වල අගයෙන් මනිනු ලබන සාමාන්‍ය දැනීමක් ඇති දෙස් විදෙස් බලවේග කියා සිටියේ එවන් උසස් පර්යේෂණයක් කිරීමට තරම් තාක්ෂණික හෝ ශිල්පීය ඥනයක් අප රටේ නො මැති බවත්, එනිසා මේ වාර්තාවන් අසත්‍ය බවත් ය. ඔවුහු අපේ රටේ විශේෂඥ දැනුම අවතක්සේරු කළා පමණක් නො ව තමන් මේ ඉටු කරන්නේ වසවිස කවා මුළු මහත් ජාතියක් නිහඬව ම මරා දැමීමේ කුමන්ත‍්‍රණයක වගකිව යුතු කාර්යභාරයක් බව තේරුම් ගත්තේ ද නැත. අවසන පිටරටින් දැනුම සොයා ගොස් කිරිපිටිවල වසවිස ඇති ද යන්න සොයා බලන්නට සිදු විය. උසස් යැයි කියූ පිටරට දැනුමට එ් මාරාන්තික විෂ රසායන පෙනුණේ නැත. එනිසා පෙරළා ඔවුන් වෙත ලැබුණු වසවිස නැති සහතිකයත් සමඟ රුපියල් කෝටි ගණනින් වැය කොට පෝෂණීය ගුණයේ සුන්දර මායාව කෙරෙහි ජන හද පහදවන්නට මේ ව්‍යාපාරිකයෝ දැවැන්ත මාධ්‍ය විප්ලවයක් සිදු කළහ.
පිටරටින් ලැබෙන සෙම්ප‍්‍රතිශ්‍යාව වුව ද හොඳ යැයි සතුටු වන අප ඒ සියල්ල අමතක කර දමා නුවණැතියන්ගේ තේරීම කිය කියා අනුවණ ලෙස කිරිපිටි රස බැලූවෙමු. වෙළඳ මාෆියාව එලෙස අප ව නිහඬ කරන්නට තැත් කළ ද මිනිස් ජීවිතවල අගය වටහාගෙන සිටි දේශීය බලවේග යළි යළිත් මේ මාරාන්තික අවදානම ගැන බලධාරීන්ගේ ඇස් කන් අරවන්නට වෑයම් කළහ. ඒ දේශීය වෑයම නිසා නින්ද කැඞී ගිය වගකිවයුත්තන්ගේ ඇස් ඇරුණේ චීනය ද රුසියාව ද අදාළ කිරිපිටි සමාගමේ නිෂ්පාදන විෂ සහිත බව පවසා ආනයනය හා වෙළඳාම තම රටවල් තුළ සම්පූර්ණයෙන් ම තහනම් කළ පසු ය.
දැන් තර්ක කරන්නට කිසිවක් ඉතිරි වී නැත. මේ මොහොතේ සෘජු ව හිඳ මේ වසවිස අප රටට ඇතුළු වීම තහනම් නො කරන්නේ නම් හෙට අපට කිරිපිටිවලින් තුන්වේල ම පිරිමසාගන්නට තරමේ කිරිපිටි අතිරික්තයක් තෑගි ලැබෙන බව නිසැක ය. මන්ද චීනය හා රුසියාව තහනම් කරන ලද කිරිපිටි තොගය අපතේ නො යවා මුදල් කරන්නට පහසු ම මඟ එය වන නිසා ය.
ඇල් වතුරෙන් දිය කරන්නට සිදුවන දේශීය කිරිපිටිවලට වඩා උණු වතුරේ ක්ෂණයකින් දියවන පිටරට කිරිපිටි අපට හොඳ ය. හිරු එළිය වැටෙන තණපිටිවල වැඩෙන දෙනුන්ගෙ කිරිවලින් සකසන දේශීය කිරිපිටිවලට වඩා හිරු එළියක් නො වැටෙන ගොවිපොළවල්වල, තණකොළ වෙනුවට මස් සකසා ඉවත ලන අපද්‍රව්‍යවලින් සකසන සත්ව ආහාර කා තර වෙන, නැතහොත් රසායන යෙදූ තණකොළ කන, කෘති‍්‍රම පෝෂණ සංඝටක කවා වැඩි කිරි අස්වැන්නක් පිණිස සකසන දෙනුන්ගේ කිරෙන් සකසන පිටරට කිරිපිටි අපට හොඳ ය. එහි අර්ථය වසවිස නැති ජීවිතයට වඩා වසවිසෙන් සිදුවන මරණය අපට හොඳ බව නො වේ ද?
එළකිරි බිව්වොත් සෙම වැඩිවන අපට එයට පිළියම ගම්මිරිස් ඇට කිහිපයකින් සලසා ගත හැකි බව අමතක ය. ඒ වෙනුවට සිහින පාරාදීසයේ කිරිදෙනුන්ගෙන් ලබා ගත් විෂ කිරි ටික අපට නැතිව ම බැරි ය. අප සිදු කර ඇත්තේ අටුව කඩා පුටුව තැනීමක් නො වේ. අටුව කැඩුවා මිස අඩු ම තරමේ පුටුවක්වත් සාදා නො ගැනීම ය.
පිටරට කිරිපිටි නො බිව්වා කියා අප මැරෙන්නේ නැත. එහෙත් නො බී ඉන්නට ම නො හැකි නම් ආසනික්, සයනයිඞ් ආදිය කා බී, පිටරටින් ලද ත්‍යාගයකැයි කියා ඉතා නිහඬව මරු වැළඳ ගන්නට ද පුළුවන. මෙවන් කූට ව්‍යාපාරිකයන් පමණක් නො ව මෙවැන්නවුන්ට උඩගෙඩි දෙන මාධ්‍ය අවිනයත්, ඇස් කන් සංවේදී නො වනා වගකිවයුත්තනුත්, මේ සා විසල් විපතක් ඇති බව දැන දැනත් පිටරට කිරිපිටි රස නො බලා දවස අරඹන්නට බැරි තරමේ මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන ජනයාත් වසවිස කවා නිහඬ ඝාතන සිදු කිරීමේ පාපයට වග කිව යුතු ය.
වස කා නැසෙමු ද? යන පැනය අප ඔබගෙන් ඇසුවේ වරක් දෙවරක් නො වේ. වස බී නැසෙන්නට වුවමනා ද? කියා අප යළිත් අසන්නේ කාලයාගේ වැලි තලාවෙන් සහමුලින් ම සැඟව නො ගිය මෑත අතීතයේ ගෙදර දෙනගෙන් දොවා ගත් නැවුම් එළ කිරෙන් පෝෂණය වූ, වත්තේ පිටියේ හැදෙන එළවළුවක්, පලාවක් කා හැදුණු වැඩුණු පරම්පරාව අද ද අවුරුදු අනූව, සියය තරම් වූ ආයුෂ ලබා සුව සේ සිටින බවත්, පිටිකිරි නො බී සිටින්නට හිත හදා ගත නො හැකි වූ නූතන පරම්පරාව ආයු කෙළවරට එන්නට පෙර ම සල්ලි දී ආමාශගත කරගන්නා වසවිස හරහා ආයුෂ කෙටි කර ගන්නා බවත් තව දුරටත් වෙළඳ කඩතුරාවෙන් සඟවා තැබිය හැකි අන්දමේ රහසක් නො වන නිසා ය.
මෙහි කථා කළ යුතු ම තවත් පැත්තක් තිබේ. පිටරට කිරිපිටිවල ඇතැයි තහවුරු කෙරුණු ඒ මාරාන්තික විෂ රසායන කිසිවක් දේශීය කිරිපිටිවල නො තිබුණා පමණක් නො ව ඒවා පෝෂණ ගුණයෙන් ද පිටරට කිරිපිටිවලට වඩා ඉදිරියෙන් සිටින බව මේ පර්යේෂණවලින් හෙළි විය. කිරිපිටි පමණක් නො ව අපේ රටේ දෙනුන්ගෙන් දොවා ගත් නැවුම් එළකිරි ද දැන් ඔබට පහසුවෙන් සපයා ගත හැකි ය. ඒ මට්ටම දක්වා දේශීය කිරි නිෂ්පාදකයා දියුණු වී සිටින මේ අවධියේ පිටරට කිරි කළයට වස මුසු වීම ගැන අප කනගාටු විය යුතු නැත. ඔවුන්ගේ කිරි නො ලැබුණා කියා අපට කිරි හෝ කිරිපිටි හිඟයක් එන්නේ නැත. එයින් අපට හිඟ වන්නේ රස කර කර වස බොන්නට දෙන නො මිනිස්කම පමණි.
එහෙත් අදටත් අපේ කිරිපිටිවල ගුණය ගැන මාධ්‍ය හරඹ කෙරෙන්නේ නැත. එසේ නො කෙරෙන්නේ එහි ඇත්තේ කූට වානිජ උපක‍්‍රමයන් නො ව තමන්ට ද අනුන්ට ද යහපත සැලසෙන ධර්මචාරී දිවි පෙවතක් වන නිසා ය.
එක දෙයක් මතක් කළ යුතු ය. සමස්ත ලෝකයේ ම මී ගවයින්ගේ කිරි නිෂ්පාදනය අතින් අප සිටින්නේ දසවැනි ස්ථානයේ බවයි සමීක්‍ෂණ වාර්ථා පෙන්වා දෙන්නේ. කිරිවල විෂ කැවූ රොඩ්ඩට අප ජාතික ධනය කාබාසිනියා කරන්නේ එවන් කිරි සම්පතක් අප සතුව තිබිය දී ය. ඉතින් තව දුරටත් දේශීය කිරි ගොවියා වළ පල්ලට යවමින් පිටරටින් එන විෂකිරි බොනවා වෙනුවට නිරෝගී පරපුරක පැවැත්ම උදෙසා අපේ රටේ නිපදවන විශ්වාසනීය නැවුම් කිරි සහ කිරිපිටි භාවිතයට ඉක්මනින් යොමු වීම අත්‍යවශ්‍ය ය.
දැන්වත් මේ නිහැඬියාව බිඳ දමා අපේ ම වූ ආහාර සංස්කෘතියක් වෙනුවෙන් අප අත්වැල් බැඳ ගත යුතු ය.
මහාමේඝ 2013 නිකිණි කලාපය
WWW.MAHAMEGHA.LK
සටහන
උදුලා පද්මාවතී
Recent Comments