සුපින්වත් වෙසක් සඳ මඬල බැස ගිය නුබ ගැබේ, කලාවෙන් කලාවට පිරී ආ පොසොන් සඳ මඬල ජීවමානව දිදුලනවා. මේ සුපුන් සඳ මඬල දීප්තියෙන් දෙවැනි වන්නේ වෙසක් සඳවතට ම පමණ යි. එය එසේ විය යුතු ම යි නේ ද?

සම්මා සම්බුදු සඳ මඬලට පමණක් දෙවැනි වන ඒ ඖරසපුත‍්‍රයන් වහන්සේ නමක් වූ මිහිඳු මහරහතන් වහන්සේ උත්තුංග ධර්ම දායාදයෙන් හෙළ දිවයින අබිසෙස් කළේ මේ පොසොන් සඳ කිරණින් නැහැවී ගත් සුපුණ්‍යවත් දිනයක. රටකින් රටකට ලැබුණ අනර්ඝතම ත්‍යාගය වුණේ ඒ අසමසම ධර්ම දායාදය ම යි. එදා අම්බස්තලයෙන් පැතිරී ගිය සදහම් සන්දේශය නිසාවෙනුයි අප දිනූ මේ රට ලෝකයේ එකම සිංහල, බෞද්ධ රට බවට පත්වුණෙත්. මහින්දාගමනය නිසාවෙන් අපට ඒ උතුම් තිසරණය නො ලැබුණා නම් අපිත් දන් දීමක් ගැන නො දන්න, සිල් රැකීමක්, භාවනා කිරීමක් ගැන නො දන්න, නිවනින් නිවී සැනසීමක් ගැන නො දන්න අනාර්ය ජාතියක් ම පමණ යි. එහෙත් පොසොන් සඳ එළියේ සිදු වූ ඒ විප්ලවීය පුනර්ජීවනය නිසාවෙන් අපි සම්බුදු සදහම් දායාදයෙන් පිදුම් ලැබූ අභිමානවත් ජාතියක් වීමේ භාග්‍යය ලැබුවා.

තථාගත මුව මඬලින් වදාළ ඒ අග‍්‍ර වූ දානය අපට ලැබුණා. තුන් හෙළයේ වංශකතාව අර්ථවත් වුණේ එයින්. ඒ අනභිබවනීය ත්‍යාගය මේ ලෝකය තුළ අපව ඔසවා තැබූ තලය වචනයෙන් කිව නො හැකි තරම් උත්තරීතර යි.

තෑග්ගෙන් තෑග්ග හොඳ ම තෑග්ග කියලනේ අපි අහලා තියෙන්නේ. එහෙම නම් හොඳ ම තෑග්ග අපට ලැබුණ මේ පොසොන් සඳ පහන යට ධර්මයේ හැසිරෙන්න මහා දුර්ලභ වාසනාවක් ලබපු අපිත් ඒ තෑග්ග ම අපි විසින් යහපත අපේක්ෂා කරනු ලබන යම්තාක් පිරිසක්වේ නම් ඒ අයට දෙන්න ඕන නේ ද?

දන් දෙන්න නම් වස්තුවත් ඕනේ. තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ ‘පුත්ථාවත්ථු මනුස්සානං’ කියල යි. මිනිසාගේ වස්තුව වෙන්නේ දරුවෝ…..! ඒ වස්තුව ධර්මාශෝක රජතුමා සතු වුණ නිසයි එතුමා අග‍්‍රතම වූ දානයෙන් අසල්වැසියාට සත්කාර කළේ. ඒ නිසයි එතුමාගේ පුත‍්‍රරත්නය, සම්බුදු ශ‍්‍රාවකරත්නයක් වෙලා හෙළදිව ස්වර්ණමය සන්ධිස්ථානය සනිටුහන් කළේ.

පරපුරෙන් පරපුරට අප ඒ ධර්ම දායාදය සම්පේ‍්‍රෂණය කරවිය යුතු ම යි. ඒක අපේ යුතුකමක්, ඒවගේ ම වගකීමක්. ඒ විතරක් නෙමෙයි, එය සංසාර ගමන කෙළවර කරවන මේ දුලබ දහම අපට තිළිණ කළ ඒ අනුබුදුවරයාණන් වහන්සේ උදෙසා සිදු කරන ප‍්‍රමුඛතම කෘතගුණ පූජෝපහාරයක්.

උතුම් ශී‍්‍ර සද්ධර්මය අදටත් නිර්මලව ම අප සතුව තිබෙනවා. දිවි හිමියෙන් දහම සුරක්ෂිත කරවූ යතිවරයන් වහන්සේලාට, සිව්වනක් ශ‍්‍රාවක පිරිසට පුණ්‍යානුමෝදනාවන්නට තවමත් අප සද්ධර්ම දායාදයේ උරුමකරුවන්. උතුම් ශී‍්‍ර මුඛ බුද්ධ වචනය දන් දෙන්න අපට අද නැත්තේ ‘වස්තුව’…!

‘එදා’ සහ ‘අද’ අතර තිබෙන ශෝචනීය වෙනස තමයි මේ.

එදා………
– අපට නිර්මල වූ ධර්මය ලැබුණා
– දුවාදරුවන් අතේ ඇඟිලි ගණනට වඩා හිටිය බරසාර පවුල් තිබුණා. ඒ කිව්වේ මහා ‘වස්තු සම්බාරයක්’ සහිත වූ පවුල්
– වස්තුව තිබුණ නිසා අග‍්‍ර වූ විදිහට දන් දුන්නා
– ධර්මයෙන් පෝෂණය වෙලා අල්පේච්ඡු ආකාරයට ජීවත් වුණා
– අවශ්‍යතා අඩුයි, පොදි බැඳ ගැනීම් නැහැ, සැහැල්ලූවෙන්, අල්පේච්ඡ ව ජීවත් වුණා
– මහා වැව්, දාගැබ් ඉදි කළා. බතින් බුලතින් රට සරුසාර කළා. උපාධි නො තිබුණාට අව්වට, වැස්සට, හේනට, කුඹුරට, උදැල්ලට, නගුලට හුරුවුණු අත් තිබුණ විශ්වකර්ම වෛද්‍යවරු, ඉංජිනේරුවරු හිටියා. ඒ නිසයි බටහිර තාක්ෂණික ක‍්‍රමවේදයන් පවා මවිතයට පත්කරවපු කාය හා මනෝචිකිත්සාවන් වගේ ම වාරි හා ඉදිකිරීම් තාක්ෂණයක් අතීත හෙළදිව සතු වුණේ
– අතට පයට යන්ත‍්‍ර සූත‍්‍ර නැති වුණාට, විදුලි වේගයෙන් වැඩකරන්න විදුලිය නැති වුණාට, සෑම අවශ්‍යතාවයක් ම දෑතේ සවියෙන් ඉටුකරගත්තට ඔවුන්ට වුවමනා තරම් විවේකයත් තිබුණා
– විවේකය තිබුණ නිසා ඔවුන් සුව සේ ධර්මයේ හැසිරුණා. ‘ඍද්ධියෙන් යන්නා වූ නෙක් රහතුන්ගේ – සෙවණැල්ලෙන් හිරු රශ්මිය භංගේ’ කියලා නූතන ගී පදවැල් තුළ වර්ණිත වුණේ ඒ අසිරිමත් යුගයේ අද්විතීයත්වය.

ඒත් අද…….
– විදුලිය තියෙනවා. ප‍්‍රවාහනය හා සන්නිවේදනය දියුණු යි. සුඛෝපභෝගි ජීවන ක‍්‍රම හතර අතේ ම. කාලයෙන් උපරිම ප‍්‍රයෝජන ගන්න පුළුවන් තරමට ම තාක්ෂණය දියුණු යි. ඒත් විවේකය නැහැ
– මුදල් උපයන ක‍්‍රම ඕන තරම්. ඒත් කාලා, බීලා, ඇඳලා, ගෙයක් දොරක් හදා ගන්න එකත් ගොඩක් අපහසු වෙලා
– ජීවන වියදම වැඩියි… කටවල් අට දහයකට කන්න දෙන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා දරුවො එක්කෙනයි, දෙන්නයි. නැත්නම් එක්කෙනෙක්වත් නෑ….
– ජීවත්වෙන්න පුදුම තරගයක්. උපන් දවසේ ඉඳලා එකිනෙකා අබිබවා යන්න පුරුදු කරවනවා. කුඹුරක්, නියරක්, ඇළක් නො හඳුනන දරුවො මේ කෘෂිකාර්මික රටේ ඕන තරම් ඉන්නවා
– හැම ගෙදරට ම ඕන වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්….. කුඹුරු පුරන් වෙලා. ඇළ වේලි ගොඩ වෙලා. නැව් නැගලා කෑම බීම අතට එනකල් බලන් ඉන්න විපරීත සංස්කෘතියක් බිහිවෙලා
– සාරධර්ම, ගුණධර්ම හඳුනන්නෙ නෑ. ආගම දහම ගැන සැලකිලිමත් වෙන්න වෙලාවක් නැහැ. කාර්ය පහසුකිරීම් ඉහවහා ගිය ලෝකයේ අපි නිදහසේ හුස්මක් වත් ගන්න බැරි තරමට ම කාර්ය බහුල වෙලා.

මොකක් ද මේ විපර්යාසය? එදා තිබුණ මූලික අවශ්‍යතාවයන් ම යි අදත් තිබෙන්නේ. එදා අවම පහසුකම් යටතේ පවා අපේ පවුල්වල ‘වස්තුව’ තිබුණා. අද ඒ දේත් නෑ…!

ජීවන බර දරා ගන්න බැරි තරමට වැඩිවෙලා නැහැ. ඒත් අපේ ජීවිතයේ බර අපි විසින් ම වැඩි කරගෙන. ඒ නිසයි සරල දිවි පෙවත අපට අහිමි වුණේ. බටහිර සරණ ගිහින් අපි අනවශ්‍ය බොහෝ දේවල් අපේ මූලික අවශ්‍යතා බවට පත්කර ගෙන. බඩුභාණ්ඩ පුරවා ගෙන ඉන්න තරමට ජීවිතය සමෘද්ධිමත් කියලා හිතන තරමට, එවිට අපි පොහොසත් කියලා හිතන තරමට අපි මානසිකව ඇදවැටිලා. වැඩිවෙලා තියෙන්නේ ජීවන වියදම නෙමෙයි; තණ්හාව…! සැහැල්ලූ ජීවන රටාවකට හුරුවුණා නම් ආශාවන් පොදිබැඳීමෙන් අපට අහිමි වී ගිය විවේකය හා සුවපහසු ජීවන රටාව ඇති කර ගන්න කිසිදු බැරිකමක් නෑ.

ජීවන බර වැඩියි කියලා, කන්න දෙන්න නැහැයි කියලා දරුවො අඩුකිරීමෙන් මේ ප‍්‍රශ්නවලට විසඳුම් ලැබිලා තිබෙනව ද?

දශක කිහිපයකට එපිට අපට තිබුණෙ වත්තේපිටියේ වැවුණු පලාවක්, එළවළුවක් උයාපිහා ගෙන, පවුලේ හැමෝ ම එකට එකතු වෙලා බුක්ති විඳින සමාජ ක‍්‍රමයක්. දරුවෝ ගෙදරින් එළියට ගියේ, නින්දට ගියේ දෙමව්පියන්ට දණ ගහලා වැඳලා. හවසට සුන්දරව පවුලේ හැමෝම එකතු වෙලා බුද්ධ වන්දනාව කරපු අතීතයක් ඒ.

ඒත් අද…. අම්මා, තාත්තා, දරුවෝ එකිනෙකා කතාබහ කරන්නවත් මුණ ගැහෙන්නෙ කලාතුරකින්. එහෙම හමුවුණත් නන්නාඳුනන ආගන්තුකයෝ වගේ තමන්ගේ කුටුම්බය තුළ ම තමන්ට සිරගත වෙන්න වුණ මානසිකත්වයක් පමණයි ශේෂ වෙලා තියෙන්නේ. රත්තරන් කියපු අපේ පුංචි පවුල ගුණ දහමින් පිරිහිලා. ඒත් එදා තිබුණ ඒ වැඩුණු පවුලේ මනු ගුණ දම් පිරීතිරී ගිහින් තිබුණා. අප වරද්ද ගෙන තියෙන්නේ සුළුපටු ආකාරයකින් නම් නො වෙයි. ‘වස්තුව’ මොකක් ද කියන දේ නො දැන වස්තු පොදි බඳින්නට ගිය සමාජ ඛේදවාචකයේ නූතන කියවීම තමයි මේ පිරිහුණු සමාජ රටාව.

බටහිර ගැති මානසිකත්වය තමයි දරුවන් බොහෝ සිටීම අවාසියක් කියලා හිතන්න අපට පුරුදු කරලා තියෙන්නේ. ඔවුන්ගේ ධනාත්මක චින්තනය එය වෙන්න ඇති. හැබැයි කරන්න බෑ කියලා බටහිරින් කියපු දේවල් බොහොමයක් අප කරල පෙන්නුවා. පරාජය කළ නො හැකි යැයි කියූ ලොව ප‍්‍රබල ම ත‍්‍රස්තවාදී නායකයන් විසින් මෙහෙයවන ලද කුරිරු බෙදුම්වාදී ත‍්‍රස්තවාදය අප සහමුලින් ම පරාජය කළේ මේ මෑතකදි. එහෙව් එකේ මේ අපට කරන්න බැරි දෙයක් ද?

නො රටින් ඉල්ලගෙන හිස මත තබා ගත්ත පුහු ජීවන රටාව පැත්තකින් තියලා අපි අපේ ක‍්‍රමය සොයා ගෙන අතීත විභූතිය ප‍්‍රතිනිර්මාණය කරවමු.

අවිවේකයෙන් – විවේකයට…. පරිහානියෙන් – අපරිහානියට….

අසමත්බවින් – සමත්බවට…. පුංචි පවුලෙන් – වැඩුණු පවුලට….

මේ ඉලක්කයන්ට අනුගත වන්න සුදුසු ම කාලය තමයි මේ. වැඩි වැඩියෙන් උපයන ලද ‘සුජාත වස්තු’ අපට අත්‍යවශ්‍යයි කියන පණිවිඩය, ධර්ම දායාදයෙන් පිදුම් ලැබූ මේ පූජනීය කාල පරිචය තුළ අපි රටට ගෙන යමු.

වස්තුවේ සටහන
භාරත සූරියබණ්ඩාර