ලුණුවලට ඇත්තේ දීර්ඝ ඉතිහාසයක්. පංච රසයෙන් එකක් ද වන ලූණු, ආහාර රසකාරකයක් ලෙසත්, ආහාර කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් ලෙසත්, ඖෂධයක් ලෙසත්, ඈත අතීතයේ සිට මිනිසුන් භාවිතයට ගෙන ඇති බවට සාක්ෂි තිබෙනවා.

ආහාරයට එක් කරන, ‘කෑමට ගන්නා සාමාන්‍ය ලූණු’ නොහොත්, ‘සෝඩියම් ක්ලෝරයිඞ්’ (NaCl) නමින් හඳුන්වන රසායනික සංයෝගයට අමතර ව, ලූණු වර්ග අටක් පිළිබඳ ව පැරණි පුස්කොළ පොත්වල සඳහන් වෙලා තිබෙනවා.

ලූණු අපේ බත් පතේ පමණක් නො ව, සමාජය තුළත් කොතරම් සමාජ බලයක් අත් කරගෙන සිටියා ද කිවහොත්, 18 වන සියවසේ දී පුද්ගලයෙකුගේ සමාජ තත්ත්වය පෙන්වීමට ද ලූණු භාවිත කර තිබෙනවා.
පෙර කී විවිධ ප‍්‍රයෝජනයන් සහ වටිනාකම් නිසාවෙන් ලූණු, ‘කුස්සියේ මනාලිය’ සහ ‘කුළුබඩු ලොවේ රැජිණ’ ලෙසින් ද නම්බුනාම ලබා තිබෙනවා.

ලූණු රසට වැඩිපුර ලොල් වීම භයානක ය.

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ලූණු අත්‍යවශ්‍ය වුව ද ලූණු රසට වැඩිපුර ලොල් වීම, මරණීය රෝගාබාධවලට හේතු වන බව සිහියේ තබා ගැනීම වැදගත් කාරණාවක්.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වාර්තාවලට අනුව, මෙරට ජනයා සීනි සහ පැණි රස කෑම මෙන් ම, ලූණු කෑම පිළිබඳවත් එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැති බව හොඳට ම පැහැදිලි වෙනවා.

ඒ නිසා පෙර කී, කුස්සියේ මනාලිය අපට පිහියෙන් අනින්නේ කොහොමදැයි, සොයා බලන එක ගොඩක් වටිනවා.

හාවඩ් සරසවියේ කර ඇති සමීක්ෂණයකට අනුව, අධික ලෙස ලූණු රසයට ලොල් වීමෙන්, 2010 වසර තුළ පමණක් ලොව පුරා මිනිසුන් මිලියන 3ක් පමණ මියගොස් ඇත.

මෙරට, පස් දෙනෙකු අනුභව කළ යුතු ලූණු ප‍්‍රමාණය, එක් අයෙකු අනුභව කරයි.

දිනකට කොපමණ ලූණු අවශ්‍ය ද?

ලූණුවලින් අපේ ශරීරයට ලැබෙන අත්‍යවශ්‍ය ඛනිජ ලවණය වන්නේ සෝඩියම් ය. අපට දෛනිකව සෝඩියම් අවශ්‍ය වන්නේ, අංශු මාත‍්‍රාවකි. එම ප‍්‍රමාණයෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක්, අප දිනපතා අනුභව කරන එළවළු, පලතුරු වැනි ආහාරවලින් ද ලැබෙන බව අප සිහියේ තබා ගත යුතු වෙනවා.

ලූණු වැඩියෙන් ශරීරගත වීම බරපතළ සෞඛ්‍යාබාධවලට මුල් වන නිසා, දිනකට උපරිම ලෙස ගත හැකි, එකතු කළ ලූණු ප‍්‍රමාණය, (Added salt) වැඩිහිටියෙකු සඳහා ග‍්‍රෑම් 05ක් ලෙසත්, ළමයෙකු සඳහා ඉන් අඩක් ලෙසත්, ළදරුවන්ට ලූණු ලබා නො දිය යුතු බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා.

පමණට වඩා ලූණු කෑමෙන් විපත් බොහෝ ය.

බි‍්‍රතාන්‍ය වෛද්‍යවරුන් පිරිසක් කර ඇති පර්යේෂණයක දී තහවුරු වී ඇත්තේ, දිනකට අනුමත උපරිම ප‍්‍රමාණයට වඩා ලූණු කෑමට ගන්නා සෑම පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට ම හෘදයාබාධ වැළඳිය හැකි බව යි.

මෙහි බරපතළ ම තත්ත්වය වන්නේ, මෙම හෘදයාබාධ අඩු වයසින් ම වැළඳීමයි. විශේෂයෙන් ළමයින්ට ලූණු සහිත ආහාර අධිකව ලබා දීමෙන්, ඔවුන්ගේ නො මේරූ වකුගඩුවලට හානි සිදු විය හැකි බවත්, වැඩිහිටියන් ලූණු සහිත ආහාර වැඩිපුර ආහාරයට ගැනීමෙන්, අධික රුධිර පීඩනය, ආඝාතය, අංශභාගය වැනි රෝගවලට ගොදුරු වීමේ අවදානමට ලක් විය හැකි බවත්, අධික ලූණු පරිභෝජනය පිළිකා රෝගයට ද හේතු විය හැකි බවත්, වෛද්‍යවරු අවධාරණය කරන කාරණාවක්.

මීට අමතර ව අධික ලූණු භාවිතයෙන්, අක්මාව ඉදිමීමේ තත්ත්වය, සමේ කැසීම, බිබිලි දැමීම, ඇස් පෙනීමේ දුර්වලතා, අධික පිපාසය, මූත‍්‍ර රෝග සහ වකුගඩු ආබාධ ඇති විය හැකි බවටත් වෛද්‍යවරු අනතුරු අඟවනවා.

ලොවේ ඇත්තන් ලූණු කන හැටි

ලෝක ප‍්‍රජාවේ ලූණු පරිභෝජනය ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්, එය මේ වන විට එක් පුද්ගලයෙකු දිනකට පරිභෝජනය කරන ලූණු ප‍්‍රමාණය ග‍්‍රෑම් 9ක් – 12ක් තරම් ඉහළ ප‍්‍රමාණයක් වන බවත්, ඊට සාපේක්ෂව හෘද රෝගීන් සහ ආඝාත රෝගීන්ගේ ශීඝ‍්‍ර වර්ධනයක් පෙන්නුම් කෙරෙමින් පවතින බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව පැහැදිලි වෙනවා.

ලොව වැඩිම ලූණු පරිභෝජනයක් පවතින රටවල් වන්නේ ඇමරිකා එක්සත් ජනපදය, මහා බි‍්‍රතාන්‍යය, ජර්මනිය, ප‍්‍රංශය වැනි රටවල් වන අතර, ලොව වැඩිම හෘද රෝගීන් සහ අධි රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන් ප‍්‍රමාණයක් හමු වන්නේ ද එම රටවල්වලින්.

ඇමරිකාව පමණක් සැලකූ විට එරට සිදුවන සෑම මරණ දහයකින් එකකට ම හේතුව, අධික ලූණු පරිභෝජනය යි.

සමස්තයක් ලෙස යුරෝපා ප‍්‍රජාවේ රටවල් තුළ එක් පුද්ගලයෙකු එක් දිනක දී අනුභව කරනු ලබන ලූණු ප‍්‍රමාණය ග‍්‍රෑම් 10 – 12ත් අතර වනවා. ඒ වගේ ම යුරෝපා රටවල සිදුවන මරණවලින් සියයට 42ක් පමණ හෘද රෝග නිසා සිදු වනවා.

මහජන සෞඛ්‍යය සඳහා ලොව කීර්තිමත් සරසවියක් වන, හාවඩ් සරසවියේ කර ඇති පර්යේෂණයකට අනුව, අධික ලෙස ලූණු රසයට ලොල් වීමෙන්, 2010 වසර තුළ පමණක් ලොව පුරා මිනිසුන් මිලියන 3ක් පමණ මිය ගොස් තිබෙනවා.

වසරක දී ලූණු කිලෝ ග‍්‍රෑම් කෝටි 10ක් ආහාරයට ගන්නා රටක්

ශ‍්‍රී ලාංකිකයන්ගේ ඒක පුද්ගල ලූණු පරිභෝජනය ඉතාමත් නරක සහ භයානක ලෙස ඉහළ යමින් පවතින බව, සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු අඟවා තිබෙනවා. එය අනුමත උපරිම ප‍්‍රමාණය මෙන් තුන් ගුණයක්. එනම්, ග‍්‍රෑම් 15ක් පමණ වන බව පැවසෙනවා. මෙම අගය පෙර සඳහන් කළ යුරෝපා රටවල්වලටත් වඩා භයානක තත්ත්වයක්.

අපේ ආහාරයේ ලූණු වැඩි වුණේ කොහොම ද?

ඉස්සර කාලේ මෙරට ජනයාගේ ශරීරයට ලූණු ඇතුළු වුණේ ප‍්‍රධාන වශයෙන් ම ප‍්‍රධාන කෑම වේල් තුන මගින්. එම ආහාර වේල් සකස් කර ගැනීමේ දී සෞඛ්‍යයට අහිතකර නො වන පදමට ලූණු, ඇඹුල්, මිරිස්, පහේ දැමීමට අපේ පැරැන්නන් වග බලා ගෙන තිබුණා.

එහෙත් ආහාර අනුභවය වාණිජකරණය වීමත් සමග ම, ලොව පුරා මිනිසුන් සකස් කළ සාප්පු කෑම, සහ හෝටල් කෑම අනුභවයට සිංහලයන් ද මහත් ගිජුභාවයක් දක්වන්නට වුණා. ඒ අනුව අද අපි දිනකට ප‍්‍රධාන ආහාර වේල් මගින් ලබා ගන්නා ප‍්‍රමාණය මෙන් තුන් ගුණයක පමණ ලූණු සහ සීනි ප‍්‍රමාණයක්, උදේ ඉදන් නිදා ගන්නා තෙක් ආමාශගතකර ගන්නා බනිස් ගෙඩියේ, ක‍්‍රීම් ක‍්‍රැකර් එකේ සිට කඩෙන් කන ෆ‍්‍රයිඞ් රයිස්, හොට් ඩෝග්, පීට්සා, බුරියානිය දක්වා වන අහාර හරහා ශරීරගත කර ගනිමින් සිටිනවා.
(එක් කොත්තුවක, ප‍්‍රයිඞ් රයිස් එකක පමණක් එකතු කළ ලූණු, ග‍්‍රෑම් 06 ක් පමණ තිබෙනවා.)

ඔබේ ලූණු කෑම නිවැරදි දැයි මැන ගන්නට ක‍්‍රමයක්

ඔබ සෞඛ්‍යට අහිතකර නො වන ලෙස ලූණු ආහාරයට ගන්නවා දැයි බලා ගැනීමේ ක‍්‍රමයක් වෛද්‍ය පර්යේෂණායතනය හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, ග‍්‍රෑම් 400 අයඩිනීකෘත මේස ලූණු (ලූණු කුඩු) පැකට් එකක් සාමාජිකයින් පස් දෙනෙකු සිටින පවුලකට දින 28කට ප‍්‍රමාණවත් විය යුතු වෙනවා. ඔබේ පවුලට ඒ ප‍්‍රමාණය නො සෑහෙනවා නම්, ලූණු කෑමෙන් ඔබ අසමත්. (මන්ද, සකස් කළ ආහාර වර්ගවලිනුත් ඔබ සෝඩියම් ලබා ගන්නා බැවින්.  වගුව බලන්න.)

කඩ කෑමවල සැඟවුණු සෝඩියම්?

සෝඩියම් සකස් කළ ආහාරවලට එකතු වෙන්නේ ලූණු හැටියට පමණක් නො වන බව ද මෙහිලා මතක් කළ යුතු යි. සකස් කළ ආහාර කල් තබා ගැනීමට එක් කරනු ලබන සෝඩියම් මෙටා බයි සල්ෆේට් සහ මොනො සෝඩියම් ග්ලූටමේට් (අජිනමොටෝ) වැනි වෙනත් ආහාර ආකලන වර්ගවලත් සෝඩියම් අඩංගු වෙනවා. එවැනි සුලභ ආහාර තිරකාරකයක් වන (ආහාර නිෂ්පාදිතයේ සෑම තැනකම සංයුතිය එකාකාරව පැතිර තිබීම සඳහා යොදා ගන්නා) බේකින් පවුඩර්, තේ හැඳි එකක සෝඩියම් මිලි ග්‍රැම් 488ක් තිබෙනවා. එහෙත් මෙම රසායනික ද්‍රව්‍යයන් අපට හඳුනා ගැනීමට නො හැකි වන්නේ, ඒවායේ අප දන්නා ලූණු රසය නොමැති නිසයි. එහෙත් මේවායින් ද ලූණුවලින් සිදුවන හානියම සිදු වනු ඇති.

ඩබල් ගේම් ගහන, කොම්පැනි කෑම

සකස් කළ ආහාර මිනිසුන් අතර ප‍්‍රචලිත කිරීමේ දී ඒවායේ රසය, වර්ණය හා කල් පැවැත්ම සුවිශේෂී කාරණාවන් වෙයි. ආහාර නිෂ්පාදන සමාගම් විසින් අධික ලෙස ලූණු සහ සෝඩියම් අඩංගු රසායනික ද්‍රව්‍යයන් ආහාරවලට එක් කරන්නට හේතු වන රහස එයයි.

කෙසේ වෙතත් මෙම සකස් කළ ආහාරවල ප‍්‍රමිතිය සහ ඒවායේ සෞඛ්‍ය ආරක්ෂිතභාවය ද රටකින් රටකට වෙනස් වන බවත් පෙනෙන්නට තිබෙනවා.

යම් රටක ජනතාව තමන් කන බොන දේවල් පිළිබඳ ව සිහි බුද්ධියෙන් යුතු ව සොයා බලනවා නම් සහ ආහාරවල අන්තර්ගතයන් සහ සෞඛ්‍ය ආරක්ෂිතභාවය සඳහා නීති රීති ක‍්‍රියාත්මක කෙරෙනවා නම්, ආහාර නිෂ්පාදකයන් තම නිෂ්පාදනයන් එකී තත්ත්වයන්ට යම් තරමකට හෝ අනුගත කරන ආකාරයත්, එසේ නො මැති රටවල් තුළ පාළු අම්බලමේ වළං බිඳින ගොනෙකු සේ හැසිරෙන ආකාරයත් දකින්නට තිබෙනවා.

ලූණු කෑම අඩු කිරීම ලෙහෙසි නැත

සාමාන්‍ය කෙනෙකුට දැඩි අධිෂ්ඨානයක් සහ කැප විමක් නො මැති නම්, ලූණු සඳහා වන ඇබ්බැහි වීමෙන් අත් මිදෙන්නට නො හැකි බව, පර්යේෂකයන් පවසනවා.

අනෙක් අතට සීනි පාලනය කර ගැනීමට කෙනෙකුට උවමනා නම්, සීනි අඩංගු ආහාර පිළිබඳ ව පූර්ව නිගමනවලට එළඹ ඒවායින් වැළකී සිටීමට පිළිවන්.

එහෙත් නිවසේ දී තමන් විසින් ලූණු අඩුවෙන් දමා හිතා මතා පිළියෙල කර ගනු ලබන ආහාර මෙන් නො ව, සියලූ ම සකස් කළ ආහාර වර්ග සහ හෝටල් කෑම තුළ ලූණු අන්තර්ගත වන බැවින් අධික ලූණු ප‍්‍රමාණයක් ශරීර ගත වීම ලෙහෙසියෙන් පාලනය කර ගන්නට නො හැකි වනු ඇති. ලෝකවාසීන්ගේ ලූණු පරිභෝජනයෙන් සියයට 70කට ම හේතුව, සකස් කළ ආහාර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ලූණු කෑම අඩු කළොත්, ලැබෙන වාසි සුළුපටු නො වේ

ඇමරිකාව සැලකූ විට එරට එක් පුද්ගලයෙකු එක් දිනකට තම ලූණු පරිභෝජනයෙන් ග‍්‍රෑම් 2ක් පමණ අඩු කළොත්, එරට සෞඛ්‍ය සඳහා වන වාර්ෂික වියදම, ඩොලර් බිලියන 18කින් අඩු කර ගත හැකි බවත්, එරට ආහාර කර්මාන්තකරුවන් සහ ආපනශාලා හිමියන් තම ආහාර නිෂ්පාදනවලට එක් කරන ලූණු ප‍්‍රමාණය අඩකින් අඩු කළොත්, එරට වැසියන්ගේ ජීවිත ලක්ෂයක් පමණ අකල් මරණයෙන් බේරා ගැනීමට හැකි වනු ඇති බවත්, විද්‍යාඥයන් අවධාරණය කර තිබෙනවා.

මෙකී දත්තයන් අපේ රටට ද වලංගුයි. ඒ, දිනකට හෘදයාබාධ සහ ආඝාත රෝගවලින් පමණක් මෙරට වැසියන් 200ක් පමණ මිය යන නිසාවෙන්.

කට මට්ටු කරන්නට නීති රෙගුලාසි

වෙළෙඳ දැන්වීම් ස්වප්න මායා දැහැනේ වශීකෘතව සිටින මිනිසුන් බහුතරයකට අද ඇත්තේ ජීවිතය සඳහා ආහාර අනුභව කිරීම නො ව, විඳීම සඳහා ආහාර ගිල දැමීමක්. ඒ නිසා කොපමණ කීවත් මිනිසුන් තම වැරදි ආහාර පුරුදු සහ ඇවතුම් පැවතුම් වෙනස් කර ගන්නට කැමති නැහැ.

ඒ නිසා ‘කාලා මැරෙන්නට කෙනෙකුට තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියට’ වැට බඳින්නට ඇතැම් දූරදර්ශී රටවල් තීරණය කොට තිබෙනවා. මක් නිසාද යත්, වැරදි ආහාර රටාව නිසා රෝගීන් වන, මිය යන මිනිසුන් නිසාවෙන් රටකට සිදුවන පාඩුවට වන්දි ගෙවන්නට සිදු වන්නේ ජීවතුන් අතර සිටින, ලූණු, සීනි ගාණට කෑ යහපත් මිනිසුන්ට වන බැවින්.

උතුරු කොරියාව, ෆින්ලන්තය, එක්සත් රාජධානිය එලෙස ලූණු කෑමට වැට බැන්ද රටවල් කිහිපයකට උදාහරණයන්.

ලූණු, සීනි පරිභෝජනය පාලනය කිරීමට ශ‍්‍රී ලංකාවත් සැරසේ

ශ‍්‍රී ලකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙම වර්ෂය බෝ නො වන රෝග මර්දනය කිරීමේ වසර ලෙස නම් කර, ඒ සඳහා සාධනීය ක‍්‍රියා මාර්ග රාශියක් ගනු ලබමින් සිටින බව දැන ගන්නට, දැක ගන්නට ලැබෙනවා.
සකස් කළ ආහාරවල ලේබලය මත ඒවායේ අඩංගු වන සීනි සහ ලූණු ප‍්‍රමාණය පිළිබඳ ව ප‍්‍රකාශයක් ඇතුළත් කළ යුතු බවට වන නීති රෙගුලාසියක් සකස් කෙරෙමින් පවතින බව ද නොබෝදා දැන ගන්නට ලැබුණා.

මෙරට සකස් කළ ආහාර ද්‍රව්‍යයන්වල අන්තර්ගත වන සෞඛ්‍යට අහිතකර රසායනික ද්‍රව්‍යයන් මෙන් ම ලූණු, සීනි ද සුලභ යි. එ්වා නීති රෙගුලාසි මගින් ම පාලනය කෙරෙතැයි සිතා, ‘අද කාලා හෙට මැරුණත් කමක් නෑ’ කියලා ඉන්න පුළුවන් කාලයක් නෙමෙයි මේ.

ඔබත්, ඔබේ සහ පවුලේ උදවියගේ නිරෝගීකම පිළිබඳ ව සිහිබුද්ධියෙන් යුතු ව කටයුතු කරන්නේ නම්, ආහාර වේලට වැඩිපුර එකතු කරන ලූණු කපා හැරීම පිළිබඳ ව දෙවරක් නො සිතන්න. නිකන් පුරුද්දට බතටත්, කරවල, හාල්මැස්සන් වෑංජනයටත් ලූණු දමන්නේ මොකටදැයි සිතා බැලීමෙන්, ලූණු අඩුවෙන් කෑම සඳහා වන ඔබේ මෙහෙයුමට හොඳ ආරම්භයක් ලබා ගන්නට පිළිවන්.

ඉතින් හොද්දට ලූණු ටිකක් මදි වුණා කියා ගෙදර උන්දැට, ලූණු ඇඹුල් ඇතිව අමතන්නේ නැතිව, මීට පස්සේ ලූණු කෑමේ දී පරෙස්සම් වුණොත් නරකක් වෙන එකක් නෑ කියල නම් කියන්නම වෙනවා.

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට ලියන්න
gemunusaliyaprr@gmail.com

ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්ෂක – ඇල්ල