සිංහලයේ වංශකතාව අරුත් ගන්වමින් අපි නැවත වරක් එක ධජයක සෙවණේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයන් බවට පත් වූයෙමු. සීමා මායිම් තනා රට දෙකඩ කරන්නට වලි කෑ දෙස් විදෙස් බලවේග සියල්ල ම අපි එක් මොහොතක දී පරාජය කළෙමු. දැන් ගෙවී යන්නේ පශ්චාත් යුද සමයයි. යුද්ධයෙන් උරුම වූ සදාතනික ඛේදවාචකයන්ගේ කැළැල් වසා දමමින් නව යුගයක් ආරම්භ වනු දකින්නට අප කාටත් ඇත්තේ මහත් වුවමනාවකි. යුද්ධයේ නිමාවෙන් සිවුවසරක් ගෙවී ගිය තැන බැලූ බැල්මට නම් යම් භෞතික සංවර්ධනයක් කරා අප එළඹ සිටින බව නො රහසකි. එහෙත් තවමත් අපට ඇති ගැටලූ සුළුපටු නැත. එක් අතෙකින් රට තුළ ම ඇති වී තිබෙන ගුණ ධර්මයන්ගේ පිරිහීමයි. එයින් බැට කනවා මදිවාට අපට සිදුව ඇත්තේ දිනන්නට නො හැකි යැයි කී යුද්ධයක් දිනූ නිසාවෙන් ලෝක ප‍්‍රජාවෙන් එල්ල වන්නා වූ කුහකත්වයෙන් පිරීගත් පීඩනයන්ගෙන් ද බැට කන්නට ය. සරලව ම පැවසුවහොත් ඔවුහු අපට තනිව නැගී සිටින්නට දෙන්නේ ම නැත. ඔවුන්ගෙන් එල්ල වන පීඩනයන් පරයා නැගී සිටින්නට උත්සාහ කළ ද පිරිහීමට බඳුන් වී ඇති අපේ ම සමාජ ක‍්‍රමය ඊට හරස් වෙයි. ඒ නිසා මේ දෙයාකාරයක වූ සතුරු බලවේග මැඩලා නැගී සිටීම ගැන අන් කවරදාකටවත් වඩා අප දැන් සිතා බැලිය යුතු ව ඇත.

ඉතිහාසය යළි කියැවීම

ආර්ථික, දේශපාලනික හා සමාජයීය වශයෙන් ද ආධ්‍යාත්මික වශයෙන් ද හෙළදිව අතිශයින් සමෘද්ධිමත් ජීවන රටාවක් ඇති වූයේ කවර යුගයක දී දැයි ආපසු හැරී බලන සෑම මොහොතක ම අපට කියන්නට ඇත්තේ ඒ අනුරාධපුර යුගය තුළ බවයි. අනුරාධපුරයේ විශිෂ්ටත්වය හුදෙක් භූ ගෝලීය වශයෙන් ඇති වූවක් නො වේ. අනුරාධපුරය වූ කලී මහ රහත් මුනිවරුන් පවා අනුමත කරන්නට යෙදුන අගනගරයයි. ශී‍්‍ර සම්බුද්ධාධිෂ්ඨානයක් අනුව මහමෙව්නාවේ රෝපිත වූ, දඹදිව් තලයෙන් සේ ම ලක්දිව්තලයෙන් ද තෙවරක් ම පුදනු ලැබූ විජය ශී‍්‍ර ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ ලක්දිවට මිණි කිරුල වී වැඩ සිටින්නේ අනුරාධපුරයේ ය. මහා පෙළහර පා වදාළ ද්‍රෝණයක් වූ ශී‍්‍ර සර්වඥ ධාතූන් වහන්සේලා ජීවමාන සම්බුදු මහිමය ගෙන එමින් ස්වර්ණමාලී මහා සෑ රදුන් තුළ ජීවමානව වැඩ සිටින්නේ අනුරාධපුරයේ ය. යුග යුග ගණනින් ගොඩ නැගුණු විස්මිත නිර්මාණයන් සලකුනකුදු නො තබා කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් ඇත. එසේ තිබිය දී බෝ රජුත්, මහා සෑ රජුත් මේ තාක් කාලයක් නිරුපද්‍රිතව, සුරක්ෂිත ව අනුරපුරයේ වැඩ සිටින්නේ ඒ විජය භූමියේ පවත්නා අසහාය වූ බුද්ධ බලය, බුද්ධ තේජස නිසාවෙන් නො වේ ද?

තුන්සිංහලයේ අභිමානනීය අගනගරයයි මේ…

ආක‍්‍රමණිකයන් විසින් ලක්දිව සිය ග‍්‍රහණයට නතු කරගත් අවස්ථා ගණනාවක් අපට ඉතිහාසය තුළ මුණ ගැසේ. එළාර ඇතුළු සොළී හමුදාව රට ආක‍්‍රමණය කොට හතළිස් හතර වසරක් මුළුල්ලේ රට පාලනය කළහ. ඔවුහු පරදවාලීමේ සටන දකුණින් අරඹා රට එක්සේසත් කළ දුටුගැමුණු නම් වූ වීර නරනිඳු තම විජයග‍්‍රහණයෙන් පසු අගනුවර දකුණුලක පිහිටුවා එහි රජකම් කරන්නට සිතුවේ නැත. තුන්සිංහලය ම එකම ධජයක් යටතට ගෙනා හෙතෙමේ සිය අද්විතීය රාජධානිය ගොඩ නැගුවේ ද අනුරපුරයේ ය. එලෙස ම දකුණු ඉන්දීය දමිළ පාලකයන්ගෙන් බැට කා පළා ගිය වළගම්බා රජු, රටපුරා තැනින් තැන සැඟව සිට කළ යුද්ධයෙන් ජයගත් පසු රටේ වෙන ඉසව්වකට අගනුවර ගෙන ගියේ නැත. සැඟව සිටීම පිණිස සුදුසු වූ ආරක්ෂිත ස්ථාන සොයා රටපුරා කරක් ගැසූ හෙතෙමේ අවසන රාජධානිය පිහිටවන්නට යෝග්‍ය බව දුටුවේ අනුරාධපුරය තුළයි. මෙයින් ඉඟි කෙරෙන අනෙක් කරුණ නම් රට පුරා සොයා බැලූව ද අනුරාධපුරයට වඩා රාජ්‍ය පාලන කටයුතු මෙහෙයවීමට සුදුසු වෙනත් ආරක්ෂිත නගරයක් වළගම්බා රජුට හෝ දුටුගැමුණු රජුට හමු නො වූ බවයි. තුන්ලොව තුන්කල් මැනවින් දුටු තථාගතයන් වහන්සේට වරදක් සිදු වූයේ නැත. ජීවමාන සම්බුදුරජාණන් වහන්සේ ලෙස සලකා වන්දනා මාන කළ හැකි උත්තරීතර වූ, මහානීය වූ ශාරීරික, පාරිභෝගික හා උද්දේසික චෛත්‍යයන් අනුරපුරයේ වැඩ සිටින්නේ ඒ නිසා ය. ඒකීය ශී‍්‍ර ලංකාවක් බිහි කරලූ වීරෝධාර වූ, පැණවත් වූ හෙළ රජ දරුවන් අනුරපුරය අගනුවර කොට ගත්තේ ද ඒ නිසා ය.

විභූතිමත් අනුරාධ නගරයේ යටගියාව

අප සදහම් දායාදයෙන් පුදනු ලැබුවේ අනුරාධපුරයේ දී ය. අහසින් වඩිනා ඍද්ධිමත් වූ මහ රහත් මුනිවරුන් අපමණ වූ නිසාවෙන් හිරුගේ රශ්මිකදම්බයන් පවා වැසී යන තරමේ ආධ්‍යාත්මික දියුණුවක් ළඟා කරගන්නට අපගේ ලේ නෑයන් සමත් වූයේ අනුරාධපුරයේ දී ය. ගමයි, පන්සලයි, වැවයි, දා ගැබයි සුසංගත කළ, ලෞකික සහ ලෝකෝත්තර යන දෙයාකාරයෙන් ම දියුණුවෙන් දියුණුවට පත් වූ උත්කෘෂ්ට යුගය ඇතිවූයේ අනුරාධපුරයේ දී ය. පරිපාලන අගනගරයක් වශයෙන් අනුරාධපුරයේ බලසම්පන්න භාවය ඉක්මවා යන්නට සමත් වූ වෙනත් නගරයක් නම් අපට අතීතයේවත්, වර්තමානයේවත් පෙනෙන්නට නැත. 4 වන සියවසේ දී ආරම්භ වී 11 වන සියවස දක්වා පැවති අනුරාධපුර රාජධානිය හෙළ වංශකථාවේ වැඩිම ආයු ලද සහ වැඩිම රජවරුන් සංඛ්‍යාවක් රජකම් කරන ලද රාජධානියයි. සමකාලීන සමස්ත දකුණු ආසියාවේ ම දේශපාලනිකව හා සමාජයීයව මෙතරම් ස්ථාවර වූ හෝ කල් පැවතුණ වෙනත් අගනගරයක් නො වී ය.

වැටුණු තැනින් ම යළි නැගිටීම

අනුරාධපුර රාජධානියේ බිඳ වැටීමක් පළමුවෙන් ඇති වූයේ අපට හිතෛශීව කටයුතු කළ එකම ඉන්දීය පාලකයා වූ ධර්මාශෝක රජුගේ අභාවයෙන් පසු ව ය. එයින් මෞර්ය රාජ වංශය බිඳ වැටිණි. නොයෙකුත් බ‍්‍රාහ්මණ පිරිස් තම ආධිපත්‍යය පතුරුවා හරින්නට නොයෙකුත් අකටයුතුකම් කළහ. මුහුදු සීමාවන් තුළ බල පරාක‍්‍රමය පතුරුවන මුහුදු කොල්ලකරුවන් බවට ඇතැම්හු පත් වූහ. අපව පළමුවෙන් ආක‍්‍රමණය කළ සේන, ගුත්තික යන දෙදෙනා ද එලෙස සිය බලය පතුරුවාලීමේ ආශාවෙන් වෙළී ගත් නැවියන් ය. ඔවුහු එනවිට අප සිටියේ මහා යුද්ධයකට සූදානම් කරගත් ශරීර ඇතිව නො වේ. වසර ගණනක් පුරා කිසිදු කෝලාහලයක් අත් නො දුටු රටක කවර නම් යුද උපක‍්‍රමයන් ද? අවිහිංසාව අගයන සමාජයක සමූල ඝාතක අවි කොතැනින් සොයන්න ද? සූරතිස්ස රජු මරා දමා වසර 22ක් ලක්දිව රජකම් කරවන්නට සේන, ගුත්තික දෙදෙනාට ඉඩ සැලසුණේ එනිසාවෙනි. පසු ව සේනා සංවිධානය කොට ආක‍්‍රමණිකයන් පැරදවූ අසේල රජු දස වසරක් රජකම් කළේ ය. වසර 22ක් බිඳ වැටී තිබූ ලාංකේය පාලන ක‍්‍රමය දස වසරකින් ගොඩ නගන්නට ඔහුට හැකි වූයේ නැත. එයින් වූයේ එළාර විසින් නැවත වරක් උතුරත්, රජරටත් අල්ලා ගැනීමයි. එවක දකුණේ පාලනය ගෙනගිය ප‍්‍රාදේශීය රජවරු ඉවසීමෙන් බලා සිටියේ රටේ ඉහළ කොටස පාලනය කරන ඉන්දීය ආක‍්‍රමණිකයන්ට මෙන් ම යම් වියවුල් සහගත අවස්ථාවක දී ඔවුන්ගේ සහයට පැමිණීමට ඉඩ ඇති දකුණු ඉන්දීය පාලකයන්ට ද මුහුණ දී ජයග‍්‍රහණය ලැබිය හැකි මට්ටමකට සේනා සංවිධානය කිරීම උදෙසා ය. රුහුණේ සිට පැමිණි දුටුගැමුණු රජු හට රට එක්සේසත් කොට ජය කෙහෙළි නංවන්නට ඉඩ ලැබුණේ ඒ ඉවසීමට පින්සිදු වන්නට ය. ඉන්පසු බිහි වූ යුගයේ විශිෂ්ටත්වය මෙතෙකැයි කියා ප‍්‍රමාණ කරවන්නට අපට දැනුදු හැකියාවක් නැත. දිලිසුණු ලෝහයෙන් හා පුළුස්සන ලද මැටියෙන් සෑදු උළු, ගඩොලින් ගෘහ නිර්මාණ කිරීමක් ගැන ලෝකයා සිතන්නටත් පළමු දිව විමන් පරදන ගෘහයන් අනුරාධපුරයේ ගොඩනැගුණේ ඒ මහානීය බවට සාක්ෂි සපයමිනි.

අපට වැරදුනේ කොතැන ද?

මේ සා සුවිශේෂී වූ රාජධානිය සහමුලින් ම බිඳ වැටුණේ එහි වූ භූමි දෝෂයක් නිසා නො වේ. එය සිදු වූයේ ඉතිහාසය විසින් වරදවා ගත් තීරණාත්මක තීන්දුවක් නිසාවෙනි. හතරවන මහින්ද රජු මරණයට පත්වන විට ඔහුගේ දෙටු පුත් සේන කුමරු 12 හැවිරිදි දරුවෙකි. රාජවංශය පරපුරෙන් පරපුරට ගෙන යෑමේ වුවමනාව මත ඔහුට රජකම පැවරිණි. එහෙත් කිසිදු පරිපාලන දැනුමක් නො වූ ඔහු රාජ්‍ය පාලනයේ දී ගත් අනුවණ තීරණ නිසා රාජ්‍ය බලය දුර්වල වූ අතර කල දුටු කල වළ ඉහගත් ඉන්දීය ආක‍්‍රමණිකයන් නැවත වරක් අනුරාධපුරයේ බලය අල්ලා ගත්හ. බුද්ධිමත් වූ, දක්ෂ වූ සෙන්පතිවරුන් විසින් නැවත යුද කොට එවක වයසින් මුහුකුරා සිටි සේන රජුට නැවත පාලනය බාර දුන්හ. ඔහුගේ ඇවෑමෙන් බාල සොහොයුරා පස්වන මහින්ද නමින් රජ විය. අදූරදර්ශී පාලකයෙකු වූ ඔහුට සිදු වූයේ ඉන්දියාවේ සොළී රජවරුන්ගේ සිරකරුවෙකු බවට පත් වන්නට ය. එයින් පසු අනුරාධපුරයෙන් ගිලිහුණු රජ කිරුල වසර ගණනාවක් පුරා පොලොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල ආදි රාජධානි හරහා කන්ද උඩට එනතුරු ම සංක‍්‍රමණය වූ බව ඉතිහාසය පෙන්වා දේ. බාහිර ආක‍්‍රමණ එල්ලවන හැම මොහොතක ම අප උත්සාහ කළේ අගනගරය වෙන තැනකට ගෙන එකී පීඩනයට පැලැස්තර විසඳුමක් ලබා දෙන්නට ය. එය හිසේ රුදාවට කොට්ටය මාරු කිරීමක් ම පමණක් බව අප ඉන්පසු කිසිදිනක ඒත්තු ගත්තේ නැත.

ඉතිහාසයට පිටුපා සුද්දන්ට හිස නැමීම

සිංහල රාජවංශයට තිත තබා ඉංගී‍්‍රසීන් රටේ පාලනය බාරගත් පසු මේ ඓතිහාසික පුරවරය සහමුලින් ම අත්හැර දැමුණි. බටහිර ජාතීන්ට හෙළදිවේ වියළි කලාපය ආර්ථික වශයෙන් වැදගත් වූයේ නැත. ඔවුන්ට මව්රටට පැටවිය හැකි සම්පත් ආකරය හමු වූයේ තෙත් කලාපය තුළයි. තේ හා රබර් වවමින්, ජනාවාස ඉදි කරවා ඔවුහු ජනාකීර්ණ කරවූයේ ද තෙත් කලාපයයි. මුහුදු මාර්ගයන්ගෙන් මෙරට සම්පත් නැව් නංගා ගෙනගිය හැකි ඉඩකඩ ගැන පමණක් ම සිතූ ඔවුහු මුහුදුබඩට පාලනය ගෙන ආහ. තවදුරටත් ඔවුන්ගේ පහසුව පිණිස වාණිජ අගනගරයත්, පරිපාලන අගනගරයත් එහිම තනා ගත්හ. අදෝමැයි…… සුද්දන්ට එපිටින් නො ගිය අපි අද දක්වා ම එයට හිස නමාගෙන සිටින්නෙමු.

දෙපිට කාට්ටු අසල්වැසියෝ

කලාපීය බලවතා වන්නට දත කන ඉන්දියාව එදා පටන් අද වනතුරුම අපට පහර ගසයි. අපට වැරදුණේ යම් තැනක ද ඒ හැම තැනක ම ඉන්දියාව අපට උපකාර කරන මුවාවෙන් අපව උගුලක පැටලවූ බව පිළිගත යුතු ය. 13 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා රටේ බලය බෙදා හැරීම ගැන අපටත් වඩා උනන්දු වූයේ ද තවමත් උනන්දු වන්නේ ද ඉන්දියාව ය. ඉන්දියාව යනු ධර්මාශෝක රාජ්‍ය සමයේ හැර ඉතිහාසයේ කිසිදු කලෙක එකට පාලනය නො වූ රටකි. එය එකම රටක් බවට පත්වූයේ කුඩා රාජධානි සියල්ල එකම ආක‍්‍රමණිකයාට යටත් වීම නිසා ය. එලෙස බිහි වූ එක්සත් ඉන්දියාව එදා සිටම කුමන හෝ අවාසනාවක් නිසා ක‍්‍රියාත්මක කළේ වැරදි දේශපාලන න්‍යායක් ය. තම රට සැමට එක ලෙස සලකන රටක් කරනු වෙනුවට ඔවුහු දකුණු ඉන්දියාව වෙනම ජන කොටසක් ලෙස ගත්හ. ඔවුන් යම්දිනෙක නැගීසිටීම වළක්වන්නට ඔවුන්ටත් වඩා දුර්වල, අස්ථාවර පසුබිමක් අසල්වැසි ශී‍්‍ර ලංකාවේ උතුරුකරයෙහි නිර්මාණය කළහ. ඒ වන විටත් අප, උතුරේ සිදුවන දේ අපේ පාලනය යටතට ගත නො හැකි තරමට එයින් දුරස්ව බටහිරට හා දකුණට ආගමනය වී අවසන් ය. තිස් වසරක යුද්ධයක් දක්වා ඔඩු දිව්වේ ද දැන් තමිල්නාඩුවේ සිට කෑමොර දෙන්නේ ද නැවතත් උතුරේ ගැටුම් ඇති විය හැකි යැයි කියමින් අපි අපිට ම වළ කපා ගන්නා තුරු නො ඉවසිල්ලෙන් සිටින ඇමෙරිකානු රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන්ගේ මුවින් පිට වෙන්නේ ද අප හදා ගන්නට නො සිතු ඒ වැරැද්ද යි. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ද එයයි. එහෙත් අපට වුවමනා එය නො වේ.

13 කාට ද? මොනවාට ද?

ස්වාධීනව පාලනය වන ඒකක කිහිපයක් බවට මේ කුඩා දිවයින බෙදා වෙන් කිරීමේ කිසිදු වුවමනාවක් නැත. ඉන්දියාවෙන් හැටෙන් එකකටත් වඩා අපේ රට කුඩා බව ඔවුන් නො සලකා හැරිය ද අපට එය අතිශයින් වැදගත් කරුණකි. රට තනි ඒකකයක් ලෙස පාලනය කිරීමේ හැකියාව එයින් ඉහළ දමා ඇත. එහෙත් 13 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා යෝජනා කෙරෙන්නේ ඉඩම් හා පොලිස් බලතල ද සහිත ස්වාධීන ඒකක බවට එක් එක් පළාත් වෙන්කර ගැනීමට ය. තිස් වසරක් පුරා යුද වැදී බෙදා වෙන් කර ගන්නට ගිය ලංකාවේ උතුර එයින් දකුණු ඉන්දීය වැසියන්ට ම සින්නක්කර ලියා ගන්නට හැකි ය. එයින් නො නැවතී ඔවුන් දකුණ දක්වා ම සංක‍්‍රමණය වන්නට බැරිකමක් ද නැත. එලෙස වෙන් වෙන් ව පාලනය කළ යුත්තේ පරිපාලන ව්‍යුහයේ අත පොවන මායිමෙන් දුර බැහැර වූ භූමි ප‍්‍රදේශයන් බොහෝ පවතින විශාල රාජ්‍යයන් ය. එහෙත් අපට තිබෙන්නේ දවස ගත වීමට පළමු එහා කොන සිට මෙහා කොනට ගමන් කළ හැකි කුඩා රටකි. එහි තව කවරක් නම් කැබලි කොට වෙන්දේසි කරන්න ද?

එකම වරද දෙවරක් නො කරනු පිණිස

රටේ පරිපාලන ව්‍යුහය ගැන අප නැවත වරක් සිතා බැලිය යුතු ව තිබේ. ඉතිහාසය අප උගත යුත්තේ එකම වරද දෙවරක් සිදු නො කිරීමේ අභිප‍්‍රාය ද ඇතිව ය. මේ උතුරු – දකුණු කියා වෙනසක් නැති ඒකීය රටකි. කඩා බෙදා වෙන් කරන්නට අවශ්‍යතාවයක් නැති රටකි. එහෙත් එක් වැරැද්දක් වහ වහා නිවැරදි කරගත යුතු ව තිබේ. ඉන්දියාවේ හා අනෙකුත් විජාතික කුමන්ත‍්‍රණකරුවන්ගේ උපකාරයෙන් උතුරු නැගෙනහිර ඇති වූ බෙදුම්වාදී අර්බුදය මෙතරම් දුරදිග යෑමට බල පෑ ප‍්‍රධානතම හේතුවක් වූවේ එම ප‍්‍රදේශ රටේ පරිපාලන අගනගරයෙන් බොහෝ දුරස්ව, අවධානයෙන් ගිලිහී යෑමයි. තව තවත් අප දකුණට හෝ බටහිරට තල්ලූ වීමෙන් මෙකී තත්ත්වය උග‍්‍ර වනවා මිස නිවැරදි කෙරෙන්නේ නැත. එකී දුර්වල බවේ ප‍්‍රයෝජන ගෙන අපට එරෙහිව අවි අමෝරා සිටින්නවුන් නැවත රට තුළ ම වියවුලක් ඇති කරන්නට බැරිකමක් නැත. එසේ නම් කළ යුත්තේ රටේ කිසිදු ප‍්‍රදේශයක් පාලනයෙන් කවර ලෙසකින්වත් ගිලිහී නො යන පරිදි ප‍්‍රතිසංවිධානය වීම නො වේ ද? යළිත් ඉතිහාසයෙන් ම පාඩම උගත යුතු ය. එකී අද්විතීය පරිපාලන අගනගරය නම් අනුරාධපුරය ම මිස අනෙකක් නො වේ.

මෙන්න බුදුවරුන්ගේ නගරය

පරිපූර්ණ වශයෙන් සුරක්ෂිත කෙරුණු නගරයක තතු හෙළිදරව් කෙරෙන සම්බුද්ධ භාෂිතය අපට මුණ ගැසෙන්නේ නගරූපම සූත‍්‍රයේ දී ය. එකී නගරය නො සෙල්වෙන සේ ගැඹුරට සිටවූ උස ගල් කණුවකින් යුතු ය. නගරය වටා ගැඹුරට කණින ලද දිය අගලකි. ඊට මෙහා පැත්තේ ඇත්තේ උස තාප්පයකි. එම තාප්පය මත නගරය වටා ගමන් කළ හැකි මාර්ගයක් ඇත. මේ නගරයේ අංග සම්පූර්ණ ආයුධ ගබඩාවක් ද වේ. ඇත්, අස්, රිය, පාබල යන චතුරංගනී සේනාව මෙම රාජ්‍යයට ආරක්ෂාව සලසයි. මනා සිහි නුවණින් යුතු නගරාරක්ෂකයෝ අභ්‍යන්තර ආරක්ෂාව සලසමින් බාහිර සතුරන් මර්ධනය කරති. නගරය වටා ඇති ප‍්‍රාකාරය කිසිදු දුර්වල ස්ථානයක් නැති සවිමත් ප‍්‍රාකාරයකි. රාජ්‍යය තුළ තෘණ, දර සහ ජල පහසුව සලසා ඇත. මනා කොට ආහාර පාන රැස් කරගෙන ඇත. සිත් වූ පරිද්දෙන් භාවිතයට ගත හැකි ධාන්‍ය එකතුවක් ඇත. එහි මනා සෞඛ්‍යය සේවාවක් ද ඇත. ඒ සම්බුදු නුවණින් දුටු සුරක්ෂිත ම නගරයයි. මෙකී සියලූ අංග එක්කර පහසුවෙන් ම ගොඩනැගිය හැකි පුරවරය ද අනුරාධපුරයයි. මල්වතු ඔයෙන් වට වී ගත් තැනි බිමක් වූ අනුරාධපුරය තුළ මෙකී පවුරු පදනම් සකසා, රටට බත සපයන මේ ස්වර්ණ භූමියෙන් සෞභාග්‍යවත් දිවි පැවැත්මක් අපට මතුකරගත හැකි ය. බුද්ධ තේජස, බුද්ධ අණසක පවත්නා මෙවන් පින්බිමක ජනයා සුඛිත මුදිත කරවීමට ස්වභාවයෙන් ම මං විවර ව තිබීම අරුමයක් නම් නො වේ. මුහුදට ළං නො වූ, දුර ද නො වූ මේ තැනි බිම ශී‍්‍ර ලාංකිකයන්ගේ සුරක්ෂිත බවේ මුද්‍රාව කරලන්නට අපට බැරිකමක් නැත.

රට පෙරට ගෙන යන මග

ලොව කිසිදු බලවත් රාජ්‍යයක අගනගරය මුහුද අයිනේ හෝ රට කොනේ හෝ පිහිටා නැත. චීනය, රුසියාව, මහා බි‍්‍රතාන්‍යය, ඇමෙරිකාව සේ ම ඉන්දියාව ද අග නගරයන් පිහිටුවාගෙන සිටින්නේ රට තුළට වන්නට ය. නමුත් ඔවුන්ගේ වාණිජ අගනගරයන් බොහොමයක් රට කොනට වන්නට හා මුහුද අසලට වන්නට පිහිටුවා ඇත. අවිවාදිතව ම ඒ සියල්ල අතිශයින් සාර්ථක ය. එහෙත් අප සිටින්නේ පරිපාලන හා වාණිජ යන නගර ද්විත්වය පටලවාගෙන ය. රජ කාලයේ සිට ම සිදු වූ ඒ රජ වැරැද්ද අප තවම නිවැරදි කරගෙන නැත. එහි අනිටු ප‍්‍රතිඵලයන්ට අපි තිස් වසරක් පුරා මුහුණ දුන්නෙමු. එහෙත් තවමත් අවදානම පහව ගොස් නැත. පාලනය දුර්වල වූ කවර හෝ මොහොතක උතුර යළි ඇවිළිය හැකි ය. එවිට දකුණ ද ගිනි ගැනීම වළක්වන්නට පුළුවන්කමක් නැත. පළාත් නමයකට බෙදා තනි තනිව ගොඩනැගෙන්නට දෙනවාට වඩා හෙළ රජවරුන් කළා සේ ම තී‍්‍ර සිංහලය යළි ස්ථාපිත කරවීම වඩාත් සුදුසු වනු ඇත. එහිලා අනුරාධපුරය පරිපාලන කේන්ද්‍රස්ථානය කොටගෙන රුහුණු, මායා, පිහිටි වෙනුවෙන් හම්බන්තොට, කොළඹ සහ ත‍්‍රිකුණාමලය වාණිජ අගනගරයන් ලෙස වඩාත් සංවර්ධනය කළ හැකි ය. සරල ව ම පැවසුවහොත් රටේ සෑම කොනක් ම ඇස් මායිමේ තබාගෙන පාලනය කළ හැකි ආකාරයේ සුරක්ෂිත නගරයක් පරිපාලන අගනගරය බවට පත් කළ යුතු ව ඇත. එවිට ඇස් පනාපිට ම රටේ වාණිජ අගනගර සංවර්ධන ඉලක්ක පසු කරයන අන්දමත්, මුළු රට ම එකම ධජයක් යට සුරක්ෂිතව පවතින අන්දමත් දකින්නට වාසනාවන්ත වූ යුගයක් කරා අප එළඹෙනු ඇත. ආසියාවේ පමණක් නො ව ලෝකයේ ම ආශ්චර්යය වනු ඇත්තේ එයයි.

රහත් මුනිවරුන් වැඩි මඟ ඔස්සේ යළි අනුරපුරයට…

මහ රහත් මුනිවරුන් වැඩි මඟ ඔස්සේ නැවත ගමන් කොට අප ඒ නගරය යළි ගොඩනැගිය යුතු ය. ලෝකය ගමන් කරන රැල්ලෙන් මිදී අපි පියවර තබා ඇත්තෙමු. එහෙත් තවදුරටත් අප සිටින්නේ ඒ රැල්ලෙන් අපට පහර වැදිය හැකි මායිමේ ය. එයින් පහර නො වදින සුරක්ෂිත කඩයිම ඇත්තේ චණ්ඩ රළ පහරින් නිතර පීඩා ලබනා මුහුදුකරයේ නො වේ… එය ඇත්තේ අනුරාධපුරයේ ය. මේ මහා භද්‍ර කල්පයේ ලොව පහළ වී වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සතර නම ම සමවත් සුවයෙන් වැඩ සිටියා වූ බුද්ධ භූමිය එයයි…. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ශී‍්‍ර සර්වඥ ධාතූන් වහන්සේලා නිධන් කරවා මහා සෑයන් තැනවුණ පුණ්‍ය භූමිය එයයි…. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළ මොහොතේ පිටදුන් බෝධීන් වහන්සේලාගේ දක්ෂිණ ශාඛා වහන්සේලා පිහිටුවා වදාළ විජය භූමිය එයයි. සම්මා සම්බුදු තේජසින්, අනන්ත අපරිමාණ ගුණ සමුදායෙන් තෙදවත් වූ ඔදවත් වූ ඒ අමානනීය භූමිය ම මිස අන් කවරක් නම් හෙළ බොදුනුවන්ගේ කේන්ද්‍රස්ථානය බවට පත් කරවිය යුතු ද?

සටහන
උදුලා පද්මාවතී