ඔබ පුදුම වුණා ද මොකක් ද මේ අහන්නේ කියලා? ගින්දර හා බැඳුණු මහා විපතක් ගැන වැඩිපුර කථා කරන කාලය දැන් එළඹිලා. මේ කථා බහට ඇමෙරිකා එක්සත් ජනපදය එහෙමපිටින් ම සම්බන්ධයි. ඒ ගැන කථාබහකට පූර්විකාවක් විදිහටයි මේ ප්‍රශ්නෙ අපි ඔබෙන් ඇහුවේ. පිපිරීමක් සම්බන්ධ පුවතින් මුළු මහත් ලෝකයක් ගිනි තියන්න සමත් වුණ ‘යෙලෝස්ටෝන්’ කියන්නේ ඇමෙරිකාවේ තිබෙන ගිනිකන්දක්. මෙහි ඇති සක්‍රීය බව නිසා එය ‘සුපිරි ගිනි කන්දක්’ ලෙස හැඳින්වෙනවා.
යෙලෝස්ටෝන් ජාතික උද්‍යානය ලෝකයේ සුන්දර ම උයනක් ලෙසයි සැලකෙන්නේ. මෙහි විශේෂත්වය තමයි උයන නිර්මාණය වී තිබෙන්නේ මීට වසර හය ලක්ෂයකට පමණ පෙර පුපුරා ගිය ගිනිකන්දක් මතවීම. උයනේ එක් තැනක තිබෙනවා කිලෝ මීටර් 46ක් ඉහළට උණු ජලය විදින ගීසරයක්. (අපේ රටේ තියෙන හුම්මාන වගේ) කොහොම වුණත් දැන් ඇති වී තිබෙන අලූත් ම අර්බුදය තමයි කවර හෝ මොහොතක මේ ගිනිකන්ද යළි පිපිරී යා හැකියි යන්න.
ගිනි කඳු ගැන ඔබ නිසැකව ම අසා ඇති. එක් මොහොතකින් පොම්පෙයි නගරය මිහිදන් කළ ඉතාලියේ විසුවියස් ගිනිකන්දේ ඛේදවාචකය, ගිනිකන්දක රැඳුණ දුක් ගින්දර ගැන හොඳ සාක්ෂියක් සපයනවා. මිහිදන් වූ පොම්පෙයි නගරය පසු කාලීනව කැණීම් මඟින් මතු කර ගත්තා. නගරය, නගරවාසීන් සමඟ ඒ මොහොතේ සිටි ඉරියව්වලින් ම පාෂාණීභූත වෙලා තිබුණා. මෙලෙස සියල්ල හිටි හැටියේ ගල් ගැහෙන්නේ ගිනි කඳු විදාරණයෙන් පසු ව ඉවතට ගලා එන ලාවා නිසාවෙනුයි.
පෘථිවිය මතුපිට ජීවත්වන අපට පෘථිවි අභ්‍යන්තරය නිසැකයෙන් ම මේ මේ ආකාර යැයි පවසන්න පුළුවන්කමක් නෑ. අපි මතුපිට දකින ස්වභාවයට හාත්පසින් ම වෙනස් ස්වභාවයක් ඇතුළත ඇති බව නම් යම් යම් පර්යේෂණ මඟිනුත් තහවුරු කොට තිබෙනවා. පෘථිවිය මතුපිට යම් ආකාරයකින් සක්‍රීයයි ද ඊට වඩා අභ්‍යන්තරය අතිශයින් සක්‍රීයයි. අපි මේ පොළව මත දකින පාෂාණ පෘථිවි අභ්‍යන්තරයේ පවතින්නේ අධික උෂ්ණත්වයකින් යුතු ද්‍රව ස්වභාවයෙන්. ඒවා මැග්මා, එහෙමත් නැතිනම් ලාවා කියලා හඳුන්වනවා. අභ්‍යන්තරයේ පවත්නා අධික පීඩනය නිසා පෘථිවියේ පිටත ඝන වී ඇති පෘෂ්ඨයේ දුර්වල ස්ථර හරහා මේ ලාවා මතු පිටට පැමිණෙනවා. එම උණුසුම් ද්‍රවය ඝනීභවනය වීමෙන් තමයි ගිනි කඳු නිර්මාණය වෙන්නේ. යළි යළිත් ඒ ස්ථානයේ ම මේ කාර්යය සිදුවුණොත්, අභ්‍යන්තරික අධිපීඩනය පෘථිවිය මතුපිටට එන්නේ විශාල පිපිරීමක් සහිත ව අළු සහ ලාවා සැතැපුම් ගණනාවක් දුරට විසිරී යන අන්දමකින් සක්‍රීය වූ යමහලක් ලෙසයි.
නමුත් මෙවැන්නක් සිදුවන්නේ ඉතා කලාතුරකින්. ඒ විරල ඛේදාන්තයට මංපෙත් සකසමින් යෙලෝස්ටෝන් ගිනි කන්ද ක්‍රමයෙන් සක්‍රීයවෙන ආකාරයකුයි දැන් පෙනෙන්නට තිබෙන්නේ. ගිනිකන්දක පුපුරා යෑම ගැන ඉඟි කෙරෙන ප්‍රධාන ම සාධකයක් වන්නේ නිතර නිතර ඒ ප්‍රදේශය තුළ ඇති වෙන භූමි කම්පා. 2012. 12. 06 වන දින සිට 2012. 12. 09 වන දින දක්වා ගෙවී ගිය දින තුළ පමණක් යෙලෝස්ටෝන් ගිනි කන්ද ආශ්රිත ව භූමිකම්පා 25ක් වාර්ථා වී තිබුණා. කවර දිනෙක මෙය පුපුරා යයි ද යන්න ගැන කිසිවෙක් නිශ්චිතව ම පවසන්නේ නැහැ. වසර මිලියනයකින්, වසර දහසකින් වැනි කාල පරාසයකින් වගේ ම හිටි හැටියේ අද හෙට වුණත් එහි පිපිරීමක් සිදුවන්න බැරිකමක් නැහැ. පර්යේෂකයන් නිසැකව ම පවසන එක ම දෙය මේ ගිනිකන්ද යම් මොහොතක අනිවාර්යයෙන් ම පුපුරා යන බව. ඒ වගේ ම පසුගිය සමයේ නිතර නිතර ඇති වුණ සූර්ය කුණාටු හරහා ඇති වූ වෙනස්කම් නිසාවෙන්, පෘථිවි අභ්‍යන්තරික පීඩනය ඉවතට ගෙන එන ස්වභාවයෙන් ම දුර්වල පෘථිවි ස්ථර තව තවත් දුර්වල වන්නට ඇතැයි ද සැක පහළ වී තිබෙනවා. වසර ගණනාවක් පුරා ‘ලෝක විනාශය’ ලෙස නම් කරන්නට යෙදුණ ‘ලොකු විනාශය’ මෙවැන්නකින් වුණත් සිදුවන්න පුළුවන් බව වැටහෙන්නේ මේ සුපිරි ගිනිකන්දේ ප්‍රබලතාවය ගැන සලකා බලනකොටයි.
යෙලෝස්ටෝන් පුපුරා ගියොත් සැතැපුම් 100 – 500 අතර දුරකට ලාවා ගලා යා හැකි බව තමයි උපකල්පනය කර තිබෙන්නේ. මේ ගිනි කන්දේ ප්‍රබලත්වය කෙතරම් ද යන්න සිතා ගන්නටවත් බැහැ. ඇමෙරිකා එක්සත් ජනපදයක් කිසි දිනක නො තිබුණ අයුරට ඒ සියල්ල ම සහ මුලින් ම විනාශ කර දමන්නට යෙලෝස්ටෝන් ගිනිකන්දට පුළුවනි. එපමණක් නො වේ, යෙලෝස්ටෝන් පුපුරා හැළෙන යම් දිනයක ඉවතට විසිවන අළු මුළු මහත් ඇමෙරිකා මහද්වීපය ම වසා දමන්නට තරම් වනු ඇති. සැබැවින් ම එවැන්නක් අද හෙට ම සිදු වුණොත්????
යෙලෝස්ටෝන් පුපුරුවා හරින්නට ප්‍රමාණවත් වන මහා භූමිකම්පාව ඇමෙරිකාවෙන් නො නවතින බවත් නිසැකයි. එහි නියත ප්‍රතිඵලයක් විය යුත්තේ මීටර් ගණනාවක් ඉහළට නැගෙන සුනාමි රළ පහරක්. මේ ස්වභාවික තර්ජනය කෙතරම් ප්‍රබල ලෙස ලෝකය සිසාරා නැගෙනව ද කියන එක අපි සියල්ලෝ ම මොහොතක් සිතා බැලිය යුතු යි.
ඇමෙරිකාව කියන්නේ ලෝකයේ පොලිස්කාරයා. වත්මන් ලෝකයේ ඔවුන්ගේ ඇඟිලි ගැසීමකින් තොරව කිසිදු තීරණාත්මක පියවරක් තැබිය නො හැකි තරම්. යම් රටක් එසේ කළොත්, ඔවුන්ට නිසැක ව ම බොහෝ දුර්විපාකවලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ දුර්විපාකයන් මානව හිමිකම් කඩ කිරීමේ චෝදනාවට වරදකරු කිරීමක්, ආර්ථික සම්බාධක පැණවීමක්, අභ්‍යන්තර ගැටුමක් හෝ හදිසි ආක්‍රමණයක් වෙන්න පුළුවන්. පසු ගිය කාලයේ ලොව පුරා බොහෝ රටවල් මුහුණ දුන් ඛේදවාචකයන් තහවුරු කොට පෙන්නුවේ මේ දේ. ලෝක ප්‍රජාව මත ඒ සා විශාල බල පරාක්‍රමයක් පවත්වන ඇමෙරිකාව පවා පණපිටින් ම වළලා දමන්නට වුණත් ස්වභාව ධර්මයේ නීතිය ප්‍රබල බව යෙලෝස්ටෝන් අපට සිහිපත් කරවනවා. එතකොට කාගේ නීතිය ද වඩා බලවත්????
බලය අතින් හිණිපෙත්තේ හිටියත්, ධනය කෙතරම් රැස්කොට තිබුණත්, ලොව පුරා අණසක පතුරුවා ගෙන හිටියත් ඒ කිසිදු දෙයක් මේ අනියත ජීවිතයට පිහිටක් සලසන්නේ නම් නෑ නෑ නෑ ම යි. ඒ සියල්ලේ බලතල මරණය ඉදිරියේ සැණෙකින් අවලංගු වී යනවා. ඒ බලතල යොදා ගෙන සිදු කළ අයහපත් දේවල්වල ආදීනව සහ යහපත් දේවල්වල ආනිශංස පමණක් හැමෝට ම උරුම වෙනවා. ඒක ඉරානෙට, ලිබියාවට, ශී‍්‍ර ලංකාවට, ඇමෙරිකාවට වගේ ම හැම රටට ම පොදු දෙයක්. කොටින් ම උපන්නා වූ සියලූ සත්වයන්ට පොදු දෙයක්. එහෙම එකේ තව තවත් ධනය, බලය, නිලතල වෙනුවෙන් අප්‍රමාණ තරග කිරීම්වලින් කවර ඵලක් ද?
මීට වඩා බොහෝ දියුණු ශිෂ්ටාචාර අතීතයේ තිබුණා. දැන් කෝ????
වර්තමානයේ ඉන්න ලෝක බලවතාටත් ඇස් පනා පිට තිබෙන තර්ජනය සුළුපටු නෑ නේ. හෙට වෙද්දි ඇමෙරිකාව මිහිදන් වුණොත් පුදුම වෙන්න කාරණයකුත් නෑ.
අනාගතයේ බිහිවන සියලූ ශිෂ්ටාචාරයනුත් මේ ඉරණම ම යි උරුම කරගෙන ඉන්නේ. එහෙම ඉරණමක් එක්ක ධනයෙන්, බලයෙන්, නිලයෙන් කවර ඵලක් ද?
මේ පුවත අහලා ලෝකවාසී බහුතරය ‘‘ඇමෙරිකාවට හොඳ වැඩේ” කියලා හිතන්නත් ඇති. හැබැයි එහෙම හිතුව අයත් මෙවන් ඛේදාන්තයන් උරුම වීමෙන් නිදහස් වෙලා නෑ. ‘‘ඇමෙරිකාවට හොඳ වැඩේ” කියලා කුහක සතුටක් ලබන පිරිස් සිටින රටක වුණත් හිටි හැටියේ ගිනිකන්දක් මතු වෙන්න බැරි ද? මහා භූ චලනයක්, සුළි කුණාටුවක්, සුනාමියක් ඇති වෙන්න බැරි ද? නො සිතූ විරූ විපතකට ඔවුන් ඇද වැටෙන්න බැරි ද? එච්චර දෙයක් උවමනත් නෑ, දැන් දැන් යෙලෝස්ටෝන් පුපුරලා ඇමෙරිකාව විනාශ වෙයි කියලා මහා උවමනාවකින් ඉන්න කෙනෙක් යෙලෝස්ටෝන් පුපුරන්න කළින් මේ දැන් වුණත් මැරෙන්න බැරි ද?
මරණය මේ දැන් වුණත් වෙන්න පුළුවන්. එය කිසිසේත් වළක්වන්න පුළුවන් කමකුත් නෑ. කය රැක ගන්න බැරි වුණාට හිත රැකගෙන, යහපත ම සලසාගෙන ඒ මරණයට මුහුණ දෙන්න නම් අපිට පුඵවන්.
ඒ පුළුවන්කම ලැබෙන්නේ දසදහසක් සක්වළ ඒකාලෝක කළ සම්මා සම්බුදු සූර්යාලෝකයෙන් අපි ආලෝකය ලැබුවොත් පමණ ම යි. ඒ හැර අන් සරණක් කොහි ද? සැබැවින් ම තුන් ලොව එකලූ කළ ඒ සම්මා සම්බුදු සමිඳුන්ගේ හැර ලොවට අන්කවර සරණක් ද?
විපත්පත් ලොවක අසරණව හිඳිනා මිනිසුනේ, සරණ යනු මැන නො පමාව, ඒ උතුම් අරහත් මුනිඳුන්! ස්වාගතයක් මැයි එය ඔබ හට නිසැක ව ම.
ඔබට සම්මා සම්බුදු සරණයි!
Recent Comments