බටහිර දෙසින් සොඳුරු ව හිරු බැස යමින් තිබෙන මොහොතක වෙරළ කොනේ ඇති ගල් තලාවක වාඩි වී සිටින තරුණයෙකි. හිසකෙස් මුහුදු සුළඟට හැඩි වී ගොස් ය. සති කිහිපයකින් නො කැපූ නිසාදෝ මුහුණ පුරාවට රැවුල් ගස් වැවී තිබෙයි. බර කල්පනාවක නිමග්න වී සිටින තරුණයා දෙස මොහොතක් බලා උන්නෙමි. අහෝ මමත් මේ ආකාරයෙන් තරුණ වියක් ගෙව්වා මට මතක ය. අද ඊයේ වගේ මතක ය. මගේ තරුණ විය හොරු අරන් ගියාක් මෙනි. අසල තිබුණු ආසනයකට බර වුණෙමි. ජීවිතයත් මහ මුහුද මෙනි. ඊළඟ මොහොතේ කුමක් වේ දැයි මේ මොහොතේ කිව නො හැක. චණ්ඩ රැළි නැඟී එන්නා සේ ජීවිතයට මහා ප‍්‍රශ්න නැගි නැගී එයි. තවත් විටෙක මහා සුන්දර ලෙස හෙමින් ගලාගෙන යයි. මීට වසර හතළිස් පහකට පමණ පෙර මා පළමුව රජයේ රැකියාවකට ගිය දිනය මතක් වෙයි. එදින සිතේ ඇති වී තිබූ ප‍්‍රීතිය… ජීවිතේට සියල්ල හමු වුණා කියායි සිතුණේ. ජැන්ඩියට ඇන්දා මතක ය. ‘‘රාජේෂ් ඛන්නා පරාදයි” යැයි කියා මට විහිළු කළ මගේ ලොකු අක්කා මතක් විය. මාත්, අක්කලාත්, නංගිලාත්, මල්ලිත් සමඟ ගෙවූ ඒ සොඳුරු කාලය කෝ? දෛවය අපි සමඟ කරන සෙල්ලම නම් කුරිරු ය. හිත හිතන්නත් කලින් නෙතට කඳුළු එයි. ලොකු අක්කාව මතක් වුණේ කාලෙකිනි. මතක් නො කර සිටියා නම් හොඳ ය. හිතට දැනෙන දුක වැඩි ය. ඒ මගේ අක්කා ම පමණක් නො වේ. ඒ මගේ අම්මා ය. සමහර විට මම අම්මාටත් වඩා මගේ අක්කාට ආදරය කරන්න ඇති.. එතරම් ආදරේ කළ මගේ අක්කා අපෙන් වෙන් වී ගොසින් දැන් වසර 22ක් පමණ ඇති. හොරු අරන් ගියා වගේ ය. වෙන් වී යන්නට නම් එක් වුණේ ඇයි? එක් වෙන හැම දේ ම වෙන් වෙන බව තේරෙන්නේ දැන් ය.
හීනෙකින්වත් හිතුවේ නැත. රස්සාවෙන් සමුගත් දිනයත් අද ඊයේ වගේ ය. යාළු මිත‍්‍රයන්ගෙන් වෙන් වුණේ හිතේ සතුටකින් නම් නො වේ. අසතුටෙන් හෝ සමුගන්නේ තරුණ පිරිසට අවස්ථාව දිය යුතු නිසා යි. වයසට ගිහින් යැයි හරියට ම සිතුණේ එදා ය. ජීවිතය ජරාව කරා යන ඉක්මන. දැන්නම් තරුණ දරුවෝ මා දිහා බලන්නෙත් අමුතුවටයි. ඇත්තට කවුද හිතුවෙ මටත් මෙහෙම වෙයි කියල. මේ තරුණ ජීවිත සියල්ලට ම උරුම දුක මේකයි. වයසට යාමෙන් මිදුනේ කවුද?
ඔව් මට හොඳට මතකයි. යාළුවන් සමඟ විනෝද ගමන් ගියා මට හොඳට මතකයි. එයින් කී දෙනෙක් නම් දැන් මේ ලොව අත්හැර ගිහින් ද? හිතුනෙවත් නැත. කවදාවත් හිතුවේවත් නැත. අතේ පයේ තිබූ ඒ හයිය දැන් කෝ. විනෝදයට කියා කළ කී දේවල තේරුමක් තිබුණි ද? අයියෝ තරුණ වයසේ ය කියා කළ නො හොබිනාකම් මතක් වුණත් දැන්නම් ලැජ්ජ ය. ජීවිතයට ලැබුණ යහපත කිම? ළමා වයස ද යොවුන් වයස ද තරුණ වයසක් ද මටත් තිබිණි. ළඟක ඉඳන් අලූත් ලෙඩකි. කොන්ද නවන්නට අමාරු ය. නැව්වොත් කෙළින් කරන්නට අමාරු ය. දණහිස් ඉදිමී ඇවිදින්නත් අමාරු ය. වයසට යද්දි ලෙඩ රෝග කොහොමත් උරුමය. මේ ජීවිතේ තේරුම කිම?
මගේ විවාහ උත්සව දිනය මට මතක ය. ගමකට කියා මඟුල් කෑ හැටි… ගමේ සිටි ලස්සන ම ගැහැනු දරුවා ඇයයි. ඔව් මට මතක ය. ඒ ලස්සන ඇස් දෙක මට මතක ය. දිගු වරලස… ඈ කෙරෙන් ආ සුවඳ මට මතක ය. ඈ භාවිත කළේ ඒ කාලයේ තිබුණු හොඳම පුයර වර්ගය යි. ඒ සුවඳ නම් මට තාම මතක ය. හැම දේ ම වෙනස් වී ගිය අරුමය! සසර පුරාවට ළඟින් ම ඉන්නම් කිවූ ඇය දැන් මගේ අහලකවත් නැත. හීනෙන්වත් දැක්කේ ද නැත. ඇය මෙලොවින් වෙන් වී ගොස් දැන් වසර 5ක් පමණ ඇත. අන්තිම කාලයේ ඇය විඳි දුක… අහෝ ඒ ලස්සන කොහේ ගියා ද? හැඩ දදා ඇවිද ගිය දෙපය වාරු නැතිව ඇඳට වැටී එක්තැන්ව ඇය විඳි දුක… අහෝ! පාට ගල්වමින් ලස්සන කළ දෙතොල් වේලී ගියේ ය. ඇඳටම වී සිටි නිසා ජීවත්ව සිටිද්දිම පස්ස පැත්ත කුණු වී ගියේ ය. ඇය පුදුම දුකක් වින්දා ය. මිය ගියෙත් යහපත් සිහිකල්පනාවකින් නො වේ. ඇගේ තරුණ බව කොහේ ගියා ද? ළමයින්ටත් ඇය එපා විය. නිතර නිතර පිට වන අශූචි අයින් කරන්නට නො හැකි කමින් ලොකු දුව නිතර බැන වැදුණා ය. සුදු පාටට තුවාලවලින් එළියට එන පණුවන් අයින් කළේ මගේ අතින් ම ය. වේදනාව කියා ගන්නට බැරිව ඈ දඟලපු හැටි! මීට වසර කිහිපයකට පෙර ආදරයෙන් වැලඳගෙන තොඳොල් වුණේ මේ පණුවන් පිරි ශරීරයත් සමඟ ය. දෛවය අප සමඟ කරන සෙල්ලම නම් කුරිරු ය.
දරුවන් කුඩා කලදි දරුවන් දිහා බල බලා අපි සතුටු වුණෙමු. දරුවන් හමු වුණායින් පසු හිතුවේ ම උන් ගැන ය. යමක් කළා නම් කළේ උන් වෙනුවෙන් ය. උගන්නන්නට පාසල් යවා හැම අඩුපාඩුවක් ම සොයා බලා සියල්ල ඉටු කළේ සතුටෙනි. ගතවන හැම තප්පරෙන් හරි සතයක් හෝ හම්බ කරන්නට උත්සාහ කළේ උන් වෙනුවෙනි. උන්ගේ බඩගින්න නිවන්නට ය. ගෙවී ගිය මුළු තරුණ කාලය ම ගත කළේ උන් වෙනුවෙන් ය. දන්නෙම නැතිව කාලය ගෙවුණු හැටි. අපට නැති බැරි කාලෙදි අපට සලකපල්ලා කියා නො කීවෙමු. ඒත් උන් අපිට මෙහෙම කරන එක වැරදියි…. හිතන්නත් කලින් ඇස දොඩමලූ වී කඳුළු කැට කඩා හැලෙයි.
වැඩියෙන් ම ආදරය කළේ ලොකු පුතාට ය. ඌ මම වගේ ම ය කියා බොහෝ අය කියයි. එහි සැබෑ අරුත වැටහෙන්නේ දැන් ය. බැන්දාට පසු වෙන ම ජීවිතයක් ගෙව්වා විනා මගේ දෙමාපියන්ට හරියාකාරව සලකන්නට මට බැරි විය. දෙමාපියන් හිත්වලින් කොතරම් දුකක් විඳින්න ඇද්ද? අල්ල ගන්න ඕන දෙයක් අත අරින්න හිත හදන් හිටිය නම් මේ දුක නැත. අප වෙනුවෙන් දුක් විඳි දෙමාපියො අප නිසා ම දුක් විඳ මිය ගියෝ ය. අහෝ දැන් අපට ද උරුම එය ම ය.
මගේ කියා අල්ලාගෙන මට සලකයි කියා බලන් ඉන්න මගේ ම ය වරද…. ඒ දරුවන්ට දැන් උන්ගෙ වැඩ ඇත. උන්ගෙ දරුවො ගැන හොයන්න බලන්න තියෙන්නේ උන්ට ය. ආයෙ ආයෙත් සැමට උරුම දුක මෙය නො වේ ද? හැබෑව වැටහෙන්නේ දැන් ය. ජීවිතය පුරාවට කළ කී දේවල් අර්ථයක් වී නැති වගෙයි. ළඟ ළඟ ම එන මරණය සතුටෙන් බාර ගැන්මට හිත හදන් සිටිය යුතු ය. මැරෙන්නට දැන් භයක් නැත. ඒත් ආයේ උපදින්න මේ හිත භය ය. මේ විඳි දුක් ආයේ ආයෙත් විඳින්නට භය ය. වයසට යාම නම් ඒකාන්ත දුක උරුමව ආයෙ ආයෙත් ඉපදෙන්න භය ය. ලෙඩ වීම නම් ඒකාන්ත දුක උරුමව ආයෙ ආයෙත් උපදින්න භය ය. මරණය නම් ඒකාන්ත දුක උරුමව ආයෙ ආයෙත් උපදින්න භය ය. ප‍්‍රියයන්ගෙන් වෙන්වීම නම් ඒකාන්ත දුක උරුමව ආයෙ ආයෙමත් උපදින්න භය ය. අපි‍්‍රය අමනාප දේ ප‍්‍රිය ස්වරූපයෙන් නො එනවා නම් හොඳ ය. අනේ! ඒ වෙනුවෙන් මං කුමක් කරන්න ද? උරුම දුක මෙය නම්….!
“හිතවත් පාඨකය, ඒ ගල් තලාවේ වාඩි උන් තරුණයා මම වෙමි. ඒ අහිංසක චරිතය එක්ක දොඩමලූ වන්නට මට අවස්ථාව ලැබුණි. ඒ හිතට හිතුණු දේවල් මේ අයුරින් සටහන් කළේ ඒ ජීවිතෙන් අපට ගත හැකි ආදර්ශයන් කිහිපයක් නිසාවෙනි. උපතින් බෞද්ධ වුවත් කරුණාදාස සීයාට ජීවිතයට ධර්මයේ පිළිසරණ ලබන්නට හැකියාවක් නො ලැබුණි. නමුත් මෙය ලියන මටත් කියවන ඔබටත් මේ වන විටත් උතුම් ලාභයක් උරුම වී තිබේ. ඒ උතුම් කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේ නිසාවෙන් ම විවෘත වුණු උතුම් සම්බුද්ධ ධර්මය යි. සාමාන්‍ය පෘථග්ජන ලෝකය දුකක්, ශෝකයක් පැමිණි විට කඩාගෙන වැටෙද්දි හඬද්දී වැලපෙද්දී පපුවේ අත් ගසා සුසුම් හෙලමින් සැමට උරුම දුකට මුහුණ දෙද්දී දුක මෙයයි දුකට හේතුව මෙයයි කියා හෝ තේරුම් ගැනීමට තරම් හෝ කුඩා ධර්ම ඥනයක් ලබා ගැනීමට තරම් ඔබත් මමත් භාග්‍යවන්ත වීමු. අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ ගුණ වශයෙන් හඳුනාගැනීමටත් ඒ උතුම් ධර්මය ගුණ අවබෝධයෙන් දරා ගැනීමටත් ඒ ධර්මය පුරුදු කරන උතුම් ශ‍්‍රාවකයින් ගුණ වශයෙන් හදුනාගැනීමටත් උතුම් කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේ නිසාවෙන් ම අපට අවස්ථාව ලැබී තිබෙයි. උතුම් ශීලයක සමාදන් වී සෝතාපත්ති අංගයන් පුරුදු කිරීම ගැන උතුම් කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේ නිසාවෙන් ම අපට දැන ගන්නට ලැබී තිබෙයි. එසේ නම් හිතවත කියන්නම් සෙනෙහසින් මිය නොයන් හිස් අතින්…!
සැමට උරුම දුකෙන් මිදී පරම සුන්දර උතුම් ම ලාභය වන ඒ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන මේ සියලූ දුකින් මිදී සදා සැනසිල්ල ලබා ගැනීමට සියලූ ම දෙනාට නුවණැස පහළ වේවා!”
සටහන
ධනංජය ජයවික‍්‍රම
Recent Comments