මන්නාරම් කන්‍යාරාමය ඇරිලා
වැලිපාරේ මං ආවා
පේසාලෙයි හන්දිය ළග
කනේරු මල් ගහ පාමුල
ඔබ පර වී වැටිලා
පපුවෙන් ලේ ගැලූවා
ඔබ නැතිව ගියේ මට ම යි
ඒ රටට නොවේ
මහපොළොවට මිස මිනිස්කමට
පෙම්නොකරන රටට නොවෙයි
නැගිටින්න එපා
නැගිට කොහේ යන්න ද අපි
ඉතිං කෝවලන්
ගිනි ගන්න රටක් නෑ
රට ගිනිගෙන ඉවරයි
මේ සොහොන් බිමේ දිනෙන් දින ම
පස් කදු වැඩි වෙයි
නැගිටින්න එපා
නැගිට කොහේ යන්නද අපි
ඉතිං කෝවලන්
(සංගීතය- පේ‍්‍රමසිරි කේමදාස)

දසක තුනක් පුරා මෙරට පැවති ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම් වල දී ඒ පිළිබද වඩාත් සංවේදී ව සිටිමින් සසල හදින් ඒ ගැන සටහන් කළ රත්න ශ‍්‍රී විජේසිංහයන් මේ රචනාවේ දී හුදෙක් ගීතාත්මක පදවැලක් සටහන් නොකොට මුළුමහත් ජාතියක ආධ්‍යාත්මීය වැලපිල්ල ගැන වැලපී ඇති සැටියක් මට පෙනේ.

එසේ ම, එය ගැයූ රශ්මි සංගීතා ද හුදෙක් වචන නොව එහි භාවය ම ගයමින් නෙතට කදුළු නො නගා නෑසිය හැකි ගීතයක් මෙරටට දායාද කළාය. මෑත කාලීන ඉතිහාසයේ මෙරට පැවති ත‍්‍රස්ත උවදුර පිළිබද මෙතෙක් ලියැවුනු විශිෂ්ටත ම ගේය පද රචනාවකි මේ. ඒ සිංහල ඇසින් ‘කෝවලන්’ලා දුටු හැටි යි.

අයෙකු මියගිය විට ඒ දෙණ අසල වැළපෙන ආදරණීයයන් ඔවුන්ට යළි නැගිට එන්න යැයි කදුළින් ඇරයුම් කරනු අපි අසා ඇත්තෙමු. එහෙත් මේ ගීතයේ එන ‘කත’ සිය ප‍්‍රියාදරයා අමතා කුමක් කියන්නේ ද?

‘‘නැගිටින්න එපා
නැගිට කොහේ යන්න ද අපි
ඉතින් කෝවලන්….”

දසක ගණනාවක් උණ්ඩයෙන් බෝම්බයෙන් පීඩා විදි ජනතාවගේ සිත්හි උපදින මනෝභාව මේවා ම නොවේ ද?

එකල අප කිසිවෙකු යා හැකි තැනක්, යා යුතු තැනක්, සැබවින් ම නොදැන සිටියා නොවේ ද? මුළු මහත් ශ‍්‍රී ලාංකිකයන් ම කිසිදු ජනවාර්ගික භේදයකින් විනිර්මුක්ත ව මේ උවදුරෙන් පීඩා ලැබුවා නොවේ ද?

ගර්භනී මාතාවන් පවා මිනිස් බෝම්බ සේ යොදාගත් අතීතයක් අප පසුකර ආවා නොවේ ද? එහෙත් එවැනි ම වූ අපට අපගේ උරුමයක් සේ ලෝකයේ ප‍්‍රථම වාර්තාගත අභය භූමිය ද හිමි ය. ඒ මිහින්තලාව යි. අභය දානය වෙනුවට බිල්ලට දීමට එවන් රටක මිනිසුන් ම හුරු වූයේ කෙසේ ද?

මිනිසුන්ගේ දෘෂ්ඨිගතවීම් හි පවතින බියකරු බව ම මෙයින් අපට ගම්‍ය වේ. කොහොඹ බීජයක් රෝපණය කළ විට එයින් උපදින දළු, කොළ, මුල්, මල්, ගෙඩි ආදී සියල්ල කටුක තිත්ත ම වන්නා සේ වැරදි දෘෂ්ඨිය මත පිහිටා කෙරෙන ක‍්‍රියා නිසා ඉපදෙන ඵල සියල්ල ම කටුක තිත්ත බව බුද්ධ දේශනාව යි. අප මෙතෙක් කර ඇත්තේ ඒ කොහොඹ ඵල රස විදීම හැර අන් කුමක් ද?

කනේරු මල් ගහ පාමුල
කෙළවර ත‍්‍රස්තවාදී උවදුර නිමා විය. එහෙත් ඒ අවසානය ද?

කනේරු මල්ගස් පාමුල, වෙඩිවැදුනු කණේරුමල් කොතරම් තිබුණා ද? පවුලක ගෘහමූලිකයා එසේ වෙඩිවැදුනු කනේරු මලක් වූ විට උපදින ආධ්‍යාත්මික හා ආර්ථික කඩාවැටීම ගැන අටුවා අනවශ්‍ය ය.

නැගිටින්න එපා
නැගිට කොහේ යන්න ද අපි….?

අපිවිසින් ඔසවා තැබිය යුතු එහෙත් තවමත් ගරා වැටී තිබෙන්නා වූ මානසික ඇදවැටීමේ ස්වභාවය එය යි.

ඇද වැටුන ආධ්‍යාත්මය ඔසවන්නට හැකි වන්නේ වඩාත් ආධ්‍යාත්මික යමකින් ම පමණි. එසේ නම් ඒ ධර්මය ම හැර අන් කුමක් ද? තවමත් ඉතිරි වී ඇති සැක සංකා ඇතැම් විට වැරදි අවබෝධය මත ශේෂ වූ වෛරී ගිනි පුපුරු මත ඉසින්නට සුදුසු ම පිරිත් පැන් මිස වෙන මොනවාද?

වෛරයේ ගින්දර
කුංකුම තිලකයෙන් නොව
රතු ලෙයිනි ඇගේ නළලත
සැරසෙනු ඇත්තේ
ඒ නෙත් හි පෙනෙන්නේ
තාරුණ්‍යයේ සොදුරුබව නොව
මළවුන්ගේ සොහොන්!
ඒ ගෙලෙහි ඇත්තේ
සයනයිඞ් කරලකි
මිනිසුන් නොවේ ඈ වැළද ගන්නේ
ගිනි අවි ය
නෑසියන් සොයා නොව
ඈ පා නගන්නේ
නිදහස සොයමින් ය දමිළයන්ගේ
ඇගේ ගිනි අවිය දැල්වෙන්නේ
සතුරා නසන්නට නොවේ
දමිළයන්ගේ වැටකඩුලූ බිදින්නට!
එවිට ඒ ජනයා මුවින් – ජාතික ගීය සුසර වනු ඇත!

මේ කව මා සපයා ගත්තේ කළක් පුරා ත‍්‍රස්තවාදී උවදුර ආශි‍්‍රත ව ලියැවුණු නිර්මාණ එක්රැස් කළ  ප‍්‍රවීන මාධ්‍යවේදිනී මාලනී ගෝවින්න ගෙනි.
වයස අවුරුදු 27 දී, අලිමංකඩ සටනේ දී මරණයට පත් වූ වානනී අතින් ලියැවී ඇති මේ රචනාවේ සමස්ථාර්ථය කුමක් ද?
තරුණ ජීවිත සිය ජනතාවගේ විමුක්තිය උදෙසා කැපකළ යුතු බව නොවේ ද?

ඇගේ දෙතොලින් පිටවන්නේ
නිෂ්ඵල වදන් නොව
සටනින් වැටෙනවුන්ගේ
අදිටනින් බර කියමන්
යැයි වානනී තව දුරටත් ලියා තබයි.

වසර ගණනාවක් පුරා ඔවුන් ලිව්වේ ද, කියැව්වේ ද, මෙවැනි රචනා පමණි. එතෙක් කල් ම ඔවුන් ට හගවා තිබුණේ සිංහලයන් යකුන් බව යි. ඔවුන්ගේ මානසිකත්වය මෙතරම් රළු කළේ ත‍්‍රස්තවාදයේ සිත්පිත් නැති කෘරත්වය නොවේ ද?

කෝනේශ්වරීලා
ඊයේ ඇගේ ඝාතනය
මට වේදනා දුන්නේ නැත
හැගීම් මිදී ඇති විට
වේදනා දැනේනේ කෙසේ ද?
මා සොදුරු දමිළ ගැහැණිය
මේ දිවයින සාමය වෙනුවෙන්
තී කර ඇත්තේ කුමක් ද?
ඒ නිසා මෙහෙ වරෙන්!
මගේ අම්මේ උඹත් වරෙන්!!
රණ විරුවනේ වරෙල්ලා
අකුරු කරනා මගේ නංගිත්
ඉන්නවා මා පිටුපසින්
හැම දෙයක් ම ඉවර ද?
නවතින්න එපා එතැනින්…
පුපුරවපල්ලා අප පුපුරවපල්ලා
ඇහිදපල්ලා කෑලි ඉන්පසු
එක්කොට වලදාපල්ලා ඒවා
ජාතිය ආයෙත් නූපදින්නට නම්…

(පරිවර්තනය – මාලනී ගෝවින්න ගෙනි)

අකාලයේ මියැදුණු කෝනේශ්වරී නම් තරුණ යුවතිය පිළිබද කලා අතින් ලියැවුණු මේ සටහන වරද කොතනක වුව ගරා වැටුනු මානසිකත්වය ම පෙන්නුම් කරන්නකි.
දශක ගණනාවක් පුරා මෙසේ පදම් වූ සිත්, යළි ගොඩනැංවීම පහසු කටයුත්තක් ද? ඒ හැර අබමිටක් සොයා ගැනීමට නොමළ එකදු ගෙයක් නොමැති පරිසරයක…? අනෙක් අතට ඒ මරණ සියල්ල අකල් මරණ වූ විට..?
විෙයාව හා වියෝ දුක වනාහී, මිනිස් සිත් ඔත්පල කරවන රෝගයක් වැන්නකි. අනපේක්ෂිත මරණයකින් තම සමීපතමයෙකු වියෝ වූ විට එය දරුණු ගින්නක් මෙන් හදෙහි ඇවිළෙයි.
එහෙත් මේ මානසිකත්වයෙන් ගොඩ ඒමට, සිත සමනයට මග පෙන්වන ඖෂධ අපට හමුවන්නේ ධර්මය තුළ ම පමණි.

එදා සහ අද
සියල්ලට ම මුල් වන්නේ පුද්ගලයා සිය සිත පවත්වන ආකාරය යි. ත‍්‍රස්තවාදී උවදුර නිමා වී මීළගට අප හමුවේ පවතින ආර්ථික සාමාජීය සියලූ ගැටලූ ජයගැනීමට පෙර බි`දවැටුණ මානසිකත්වය ගොඩනැගීම ම වැදගත් වේ.
ආර්ථික පිළිබද අවධානය යොමුකරන විට ශ‍්‍රී ලාංකේය ආර්ථිකයේ ස්වර්ණමය යුගය වූයේ මෙරට රහතුන්ගේ යුගය ම බව අප අමතක නොකළ යුතු ය. ඒ රහතන් වහන්සේ වැඩසිටි යුගයේ දී අපි කෙත් වතු අස්වද්දා රන්අස්වනු උපද්දවා පෙරදිග ධාන්‍යාගාරය බවට පත් වීමු. පන්සිල් රකින ඇතැම් ගොවි දරුවන් වූ අපි ඒ කිරීටය අභිමානයෙන් අප හිස් මත පැළැන්දෙමු. එකළ සමාජය මෙහෙයවූ ගාමක බලවේගය වූයේ ධර්මය යි. මෛත‍්‍රිය යි.
උතුරුකරයේ හුණුගල් පොළොව මත මිනිස් දිරියෙන් හා ශ‍්‍රමයෙන් රන්අස්වනු ඉපැද්දවූ යුගයක් ගැන අපි අසා ඇත්තෙමු. එහෙත් පසුගිය දශක කිහිපයෙන් අනතුරු ව, දැන් ඇතැම් දමිළ වැසියන් ට ඉතිරිව ඇත්තේ අතීතයෙන් ගෙනා ඇදුම් කැබලි දෙකතුනක් පමණි.
මේ මොනතරම් ඛේදවාචකයක් ද?

දරු දුක
තමන්ගේ දරුවන් නිශ්චිතව ම මියැදුණා ද? නැත්නම් කොතැනක හෝ ජීවත් වනවා දැයි හරි හැටියට නොදන්නා මා පියන් තවමත් සිටිනවා වන්නට පුළුවන්. මානව හිමිකම් පිළිබද  ක‍්‍රියාකාරිනියක් මෑතක දී මා සමග පැවසුවා.
‘‘බොහෝ අය ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මිදී පලා එද්දී ඒ අයගේ දරුවන් ඒ අය සමග සිටියා. ඒත් මග දී දරුවන් මගහැරී තිබෙනවා. බොහෝ අය තවමත් දරුවන් ගැන බලාපොරොත්තු අත්හැරලා නෑ.” ඇය තව දුරටත් කීවා ය.

අසම්පූර්ණ සංඛ්‍යා ලේඛණ
මෙවැනි සිද්ධි පිළිබද නිශ්චිත සංඛ්‍යා ලේඛණ හෝ දත්ත සපයා ගැනීම තවමත් ඉතා දුෂ්කර කටයුත්තකි. බොහෝ සමීක්ෂණ කළ යුතු ව ඇතත් තවමත් ඒ ස`දහා යොමු වීම මන්දගාමී ව පවතී. උදාහරණයක් හැටියට,
උතුරුකරයේ එක් ප‍්‍රදේශයක ස්ත‍්‍රී පුරුෂ වැන්දඹු භාවය පුද්ගලයින් 40000ක් බව එක් වාර්තාවක සදහන් වී තිබේ.
ඒ සමග ම, එළිදුටු තවත් වාර්තාවක මේ ගණන වෙනස් ම අගයකි. මීට හේතුව මේ දත්ත නිශ්චිත ව ලබාගත හැකි ක‍්‍රමෝපායක් තවමත් නොතිබීම යි.
කච්චේරි ආශ‍්‍රිත ව දිසාපතිවරුන් යම් දළ සංඛ්‍යා ලේඛන පවත්වාගෙන යතත් ඒවා ද, සියයට සියයක් නිශ්චිත නොවන සටහන් පමණි. මීට හේතුව, ඒ ප‍්‍රදේශ මෑතක් වන තෙක් ම එල්.ටී.ටී.ඊ ය සතු ව පැවතී ම යි.
ඒ ජනතාවගේ ගොවිතැන ගමනාගමනය, සමාජ සම්බන්ධතා, ගොවි භෝග ප‍්‍රවාහනය, මත්ස්‍ය     ප‍්‍රවාහනය ආදිය මුළුමනින් ම ඇණ හිටි අතර, එල්.ටී.ටී.ඊ ය ට ගෙවන්නට සිදු වූ කප්පම් සහ පාරිභොගික ද්‍රව්‍ය මිල විශාල ලෙස ඉහළ යෑම ආදිය නිසා පසුගිය වකවානුවේ දී ඔවුන්ගේ ආර්ථිකය අතිමහත් අර්බුධයකට ලක් විය.
උතුරුකරයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල එකල රටේ වෙනත් ප‍්‍රදේශවලට සාපේක්ෂ ව දසගුණයකින් පමණ වර්ධනය වූ බව අපි දනිමු.
එහෙත් යුධ වාතාවරණය නිමාවත් සමග, ලක්ෂ ගණනින් ඒ ප‍්‍රදේශ වෙත පැමිණි සිංහලයන්ට නම් මිදි වැනි පළතුරු හොද මිලකට අලෙවිකරගැනීමේ අවස්ථා දමිළ වැසියන්ට උදා වූ අතර ඇතැම් විට හස්ත මුද්‍රාවෙන් මිල ගණන් විමසු සිංහලයන්ට සිංහලෙන් ම ඔවුන් මිදි වල ගණන් කියා තිබේ.

ප‍්‍රවීණත්වය විමසීම
සම්මානනීය ජනමාධ්‍යවේදිනී ශානිකා ශ‍්‍රියානන්ද යනු තොප්පිගලින් ඇරඹි හමුදා මෙහෙයුමේ මුලසිට අවසන් ජයග‍්‍රහණය දක්වා ම රැදී සිටිමින් වාර්තාකරණයේ යෙදුණ එක ම කාන්තා මාධ්‍යවේදිනිය යි. ඈ නොයෙක් වර අනූනවයෙන් දිවිබේරාගත් ආකාර ගැනත් අපි පෞද්ගලිකව දනිමු.
පසුගිය වසර 30 ඇතුළත, ත‍්‍රස්ත ක‍්‍රියා ව්‍යාප්තව පැවති පොළොව මත නොකඩවා පය තැබූ එක ම සිංහල කාන්තාව ලෙස මෙරට හමුදාවන් අතර ඈ ගෞරවාදරයට පත් ව සිටින්නීය.
පසුගිය කාලය පුරා ම ඈ එහි දී ඇසූ දුටු දේ අතිශය වැදගත් ය.

ප‍්‍ර:  ‘‘ශානිකා ඔබට දමිල ජනයා දැනෙන්නේ මොන විදියට ද?”
පි:  ‘‘කළක් හොදින් ජීවත් වූ එහෙත් එල්.ටී.ටී.ඊ. ක‍්‍රියාකාරීත්වය නිසා ගල්යුගය කරා යළි තල්ලූ වූ ජනතාවක් හැටියට යි.

දැන් ඔවුන් සමහරුන් සතු ව තිබෙන්නේ ජාතික හැදුනුම්පත පමණයි. සමහරුන් ආවේ ඇදුම් කෑලි දෙකක් අරගෙන. තවත් සමහරුන්ට ඒකත් නෑ. තිබුණේ පිගන් දෙකක් විතරයි.”

ප‍්‍ර: ‘‘ත‍්‍රස්තවාදීන්ගේ ක‍්‍රියාකාරකම් නිසා, ඔවුන් දිනාගත් ලෝකය කුමක් ද?”
පි: ‘‘කිසිවක් ම නැහැ. ඒ ප‍්‍රදේශ වල අලූතින් හැදූගෙයක් නෑ. පසුගිය අවුරුදු ගණනටම ඔවුන් ජීවත් වී තිබුණේ ඊට අවුරුදු විසි ගණනකට පෙර තැනූ ගොඩනැගිලි වල යි. ත‍්‍රස්තවාදය ජනතාවට කිසිවක් ම ලබා දී නැහැ. ලැබුණේ ‘දුක’ විතර යි.”

ප‍්‍ර: ‘‘ඒ අය පටන්ගත යුත්තේ කොතැනින් ද?”
පි: ‘‘බිංදුවෙන්”

ප‍්‍ර: ‘‘ඒ ප‍්‍රදේශ වල වැසියන් සිංහලයන් ව දකින්නේ මොන විදියට ද?”
පි: ‘‘ඉස්සර නම් දැක්කේ මිනීමරුවන් විදියට. ඔවුන් එල්.ටී.ටී.ඊ. ග‍්‍රහණයෙන් මිදී අපවෙත ආවේ පවා දෑස් ලොකු කරගෙන සැකෙන් බලමින්. ඒත් දැන් ඒ අදහස් වෙනස් වෙලා.

ප‍්‍ර: ‘‘එසේ පැමිණි ජනතාව තුළ ඔබ දුටු විශේෂත්වය කුමක් ද?”
පි: ‘‘ඉවසීම. දරාගැනීම. පුංචි දරුවන් පවා ඔවුන්ගේ තුවාල වේදනා ඉවසූ හැටි පුදුම යි. ඒ අය දැනගෙන තිබුණා අඩලා වැඩක් නෑ කියලා.

ළමා සොල්දාදුවන් විදියට තම වැඩිමල් සහෝදරයන් බලෙන් රැගෙන යද්දී ඒ වාහනය ඉදිරියේ වැතිරුණු පියාගේ සිරුර මතින,ඒ ත‍්‍රස්තවාදීන් වාහනය පදවා යනු දුටු කුඩා දරුවන් සිටියා.”

ප‍්‍ර: ‘‘ඒ මුළු සිද්ධි දාමයේ දී ඔබ වඩාත් පුදුම වූ අවස්ථා මොනවා ද?”
පි: ‘‘ප‍්‍රධාන පාරවල් හොදට ම අබලන්. ඒ-35 පාරත් ඒ වගේ. ඒත් ඒ පාරෙම අතුරු පාරවල් ඉතා හොදයි. මොකද? ඒ අතුරු පාරවල් වල ත‍්‍රස්තවාදීන්ගේ සුසාන භූමි සහ කාර්යාල පිහිටා තිබුණා. වැඩිපුර ම සැළකුවේ සුසාන භූමියට යි. එවිට තමයි තවත් අය දිවි පුදන්න ඉදිරිපත් වුනේ.

කැලෙන් කැඩූ දර කැබැල්ලටත් බදු ගෙවන්න වූ බව අපට දැන ගන්න ලැබුණා”

ප‍්‍ර: ‘‘මෙසේ ආ අය අතර ධනවතුන් සිටියේ නැද්ද?”
පි: ‘‘හිටියා. සමහරු ලක්ෂ දහය, පහළොව අරන් ආවා. ඩොලර් අරන් ආවා.”

ප‍්‍ර: ‘‘ඒ මුදල් කොහෙන් ද?”
පි: ‘‘ඒ අයගෙ දරුවන් පිටරටවල. බොහෝ අය ඒ තත්ව යටතේ විදෙස්ගත වුනානේ”

ප‍්‍ර: ‘‘නැවත පදිංචි කිරීමේ දී පාරම්පරික ගම්බිම් අහිමි වෙනවාය කියා අදහසක් තිබෙනවා.”
පි: ‘‘අදහස වැරදියි. බහුතරයක් පැරණි තැනටම ගෙනාවා. ඒ-9 වගේ ප‍්‍රධාන පාරවල් දෙපස සිටි අය, ඒ වගේ ම ප‍්‍රධාන ම නගර මැද එල්.ටී.ටී.ඊ. එකෙන් තෑගි ලැබුණ ඉඩම් නිවෙස් ආදිය ලැබුණු අයට වෙන තැනු දෙන්න වෙනවා.

රටේ නීතියක් තියෙනවා. නගරයක් මැද එක් අයෙකුට හිමිකරගත හැක්කේ පර්චස් 20කට අඩු ඉඩම් ප‍්‍රමාණයක් පමණයි. එල්.ටී.ටී.ඊ. ය තමන්ගේ හිතවතුන් ට නගර මැද අක්කර ගණන් දීලා. එහෙම කොහොම ද? නගර සංවර්ධනය නතර කරන්නද? ඒ ඉඩම්, කාර්යාල ආදී ගොඩනැගිලි සදහා අවශ්‍යය යි. එය යි නීතිය. ඒ ගැන නොදැන කතා කිරීම වරදක්. පදනම බලන්න  ඕන.”

ප‍්‍ර: ‘‘යලි පදිංචි වීමේ දී පැරණි නිවෙස් හි යහපත් තත්ව තිබුණා ද…පදිංචියට සුදුසු තරමේ?”
පි:  ‘‘නිවෙස් තිබුණා. වහළ නෑ. ත‍්‍රස්තවාදීන් වහළවල් ගලවලා. දැන් අපි වහළවල් දෙනවා. මූනිස්සම් ලකුණු පමණක් වැදුණු හොද තත්වයේ ගෙවල් පවා ඒ අතර තිබුණා.”

ප‍්‍ර: ‘‘දැන් ආර්ථිකයේ කිසියම් සාධනීය ලක්ෂණ තිබෙනවා ද?”
පි: ‘‘ඔව්. ක‍්‍රමයෙන් හරියාවි. යාපනේ ඉඩම් මිලත් සීග‍්‍රයෙන් වැඩිවෙලා. දැන් යාපනේ ඉඩමක් නෑ ගන්න. ඒ තරමට ව්‍යාපාරිකයන් ඉඩම් සොයනවා. ඒ ඉඩම් දැන් කොළඹට වඩා වටිනවා ලූ”

ප‍්‍ර: ‘‘භීෂණයත් සමග වැඩුණු තරුණ පරපුරක් ඒ අය. පේ‍්‍රමය වැනි හැගීම් ඔවුන්ට දැනෙන්නේ මොන විදියට ද?”
පි: ‘‘එල්.ටී.ටී.ඊ. ප‍්‍රතිපත්තිය වුනේ හැම පවුලකින් ම එක් අයෙක් ඔවුන්ගේ සංවිධානයේ සාමාජිකයෙකු විය යුතු බව යි. ඒ වගේ අවස්ථාවල පවුලක හිටියේ එක සහෝදරයා නම් ඔහු සංවිධානයට ගියා. නැත්නම් අක්කලා නංගිලා අරන් යන නිසා. ඔවුන්ට දැණුනු සොහොයුරු පෙම එවැන්නක්.

ඇත්තට ම පේ‍්‍රමය පැවතුනා. නමුත් බදින්න තහනම්. නමුත් විවාහ නො වී, එක් ව ජීවත් වූ අයත් සිටියා.”

අවසන් කාලය වන විට, ත‍්‍රස්තවාදීන් පේ‍්‍රමය අමුතුම විදියට ප‍්‍රයෝජනයට ගත්තා. එක බංකරයකට තරුණයෙක් සහ තරුණියක් යොමු කළා. පේ‍්‍රමයෙන් බැදී සිටි මේ අය, බංකරය දමා නොගොස් එය රැකගෙන සටන් කළා. ඒ සටනින් ම බොහෝ විට ඔවුනොවුන් අතර පේ‍්‍රමය රැකගෙන මියැදුණා.”

ප‍්‍ර: ‘‘ඒ අවුරුදු ගණනටම ඔබ වඩාත් කම්පා වූ අවස්ථාව?”
පි: ‘‘ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මිදී ආ ගර්භනී දමිළ මවකගේ කුසට ත‍්‍රස්තයන් වෙඩි තබා තිබුණා. ඈ ගර්භනී අවස්ථාවේ අවසාන අවධියේ පසුවුනේ. ඒ වෙඩි පහරින් ඇගේ ගැබ පුපුරා ගොස් ඒ ‘නූපන් දරුවා’ පිටතට ඇවිත්. දෙදෙනා ම මියැදී සිටියා. ඒ අසළ ඇදුම් කැබලි කිහිපයක් වැටිලා. කිරි බෝතලයකුත් එක්ක. ඒ කාන්තාවගේ වැඩිමල් දරුවා ඇගේ අප‍්‍රාණික සිරුර අසල වැටී ‘අම්මා….අම්මා…’ කියමින් ඈ අතගානවා

අදටත් මේ සිද්ධිය මතක් වෙද්දී ඇග සලිත වෙනවා. ජීවිතේට ම මට ඔය සිදුවීම අමතක කරන්නට බැරි වේවි.”
ශානිකා සිය අත්දැකීම් අප ඉදිරියේ දිගහැරියේ ඒ ආකාරය ට යි.
දශක තුනක් පුරා පැවති රුදුරු ත‍්‍රස්තවාදය විසින් දායාද කරන ලද කදුලින් තෙත් කළ අතීතයේ බිහිසුණු සෙවණැලි යළි කිසිදා පුනරාවර්තනය නොවේවා..!

ඇත්තෙන් ම මෙය පැතුමක් පමණක් ද? උතුරු නැගෙනහිර දමිල වැසියන් හා මායිම් ගම්මානවල විසූ අනෙකුත් වැසියන් මෙන් ම මිනිස් බෝම්බ සහ ත‍්‍රස්තවාදයේ වක‍්‍රාකාර බැටකෑම් වලින් පීඩා විදි දකුණේ වැසියන් ද, යන සමස්ථ ජාතියේ ම පැතුම බිය සැක රහිත, ‘සෙනෙහස රජයන දේශයක් ගොඩනැගීම යි’. මේ ලෝකයට සැබෑ නිදහසේ විමුක්ති මාවත පෙන්වා දුන් මහා කාරුණික බුදු රජාණන් වහන්සේ ගේ අසමසම ධර්මයෙන් ඒ සිහිනය සැබෑ කරගැනීමට නොහැකි ද? කිසිදා මිනිස් ඝාතනයක් හෝ මිනිස් හිංසනයක් හෝ අනුමත නොකරමින්, හිංසක අංගුලිමාල අහිංසක අංගුලිමාල බවට පෙරැලූ අද්විතීය ධර්මයකට සෙනෙහසේ රජදහන බිහිකළ නොහැකි ද?

අපේ විමසුම නාභිගත වන්නේ එතැනට යි. පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ බුදු දහමෙන් සිත සුවපත් කිරීම පිණිස දහම් සේවාවේ යෙදෙන යතිවරයාණන් වහන්සේ නමක්. සමස්ථ මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ අනුශාසකයන් වහන්සේ වශයෙන් කටයුතු කරන උන්වහන්සේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක්. ‘සෙනෙහසේ රජදහන සිහිනයක් නොවන්නට’ ආධ්‍යාත්මික සහ භෞතික වශයෙන් නැගීසිටිය යුතු ආකාරය පිළිබ`ද ව විමසීමට අපි උන්වහන්සේ සමග දහම් කතිකාවතක් සිදු කළා.

පින්වත් ස්වාමීන් වහන්ස, මනුෂ්‍යත්වය අගයන දහමක් සරණ ගිය බහුතරයක් වෙසෙන අපරටේ මෙම ‘සෙනෙහසේ කැදැල්ල’ බිද වැටීමට බලපෑ මූලික ම හේතුව කුමක් ද?

ඇත්තෙන් ම ජාතියක් විදියට එකමුතු වෙලා දීර්ඝ කාලයක් වාසය කරන්න නම් එකිනෙකා කරුණාව මෛත‍්‍රියෙන් යුතු ව වාසය කළ යුතු යි. එකිනෙකා කෙරෙහි සෙනෙහස ඇති කරගත යුතු යි. අපි භෞතික සම්පත් වලට පමණක් ආදරය කළොත් මනුෂ්‍යත්වය කෙරෙහි පැවතිය යුතු සෙනෙහස අතුරුදන් වෙනවා. ඒක තමයි මේ සියළු අරගල වලට මුල. භෞතික සම්පත් වලින් මිනිසාට පහසුවෙන් ජීවත් වීම පිණිස උපකාරීවන වටපිටාවක් නිර්මාණය වෙනවා තමයි. නමුත් මනුෂ්‍යත්වය නොමැති තැන කොයිතරම් ඉහලින් භෞතික සම්පත් නිර්මාණය වුවත් ඵලක් වන්නේ නෑ. ඒ නිසා මනුෂ්‍යත්වයට සෙනෙහස දැක්වීමට හැකිවුව හොත් එතැන සියළු අර්බුධ වල අවසානය දකින්නට පිළිවන්.

මනුෂ්‍යත්වයට මුල්තැන නො දී ‘භෞතික සම්පත් වලට තණ්හාවෙන්’ යුතු ව ක‍්‍රියා කිරීමෙන් තමයි මේ ‘අසමගිය’ නම් වූ අර්බුධය හටගන්නේ.

අතීතයේ වූ වැරදි අමතක කරන්නට බොහෝ අය කැමතියි. ඒ නිසා දිනූ නිදහස තුළින් නැවත අහිමි වී ගිය ‘ජාතික සමගිය’ ඇතිකර ගැනීම පිණිස දුර්වලතා සකසා ගනිමින් ධාර්මික ව නැගී සිටින්නේ කොහොම ද?

අපි ළග තිබිය යුතුයි එකිනෙකාගේ යහගුණ දැකීමේ හැකියාවක්. මිනිසුන් තුළ පවතින හොද ගතිගුණ දකින්නට වගේ ම සිහිකිරන්නටත් හැකියාවක් අපි තුළ තිබිය යුතු යි. නමුත් බහුතරයක් දෙනා තුළ පවතින්නේ මීට වෙනස් ස්වභාවයක්. මිනිසුන්ගේ යහපත් ගතිගුණ තිබිය දී ඔවුන්ගේ ස්වල්ප හෝ අඩුපාඩුවක් දුටු විට එය ම මතු කොට විවේචනය කරන ස්වභාවයක් තමයි බොහෝ දෙනා තුළ පවතින්නේ. මිනිසුන්ගේ ගුණ මකා දුර්වලතා ම ඉස්මතු කොට ඔවුන් සමාජය තුළ පීඩාවට පත් කිරීමේ ස්වභාවය පවතිනතාක් මිනිසුන් තුළ සමගිය සහ යහපැවැත්මක් නම් ඇති වන්නේ නෑ. ජාතියක් තුළ පමණක් නොවේ, පවුලක ජීවත් වෙන සාමාජිකයින් අතරේ පවා සමගි සම්පන්න සුවදායී පරිසරයක් ගොඩනැගෙන්නේ එකිනෙකා තුළ පවතින යහපත් ගුණ ධර්ම සිහි කිරීමෙනු යි. ඒ විදියට තම පවුලේ සාමාජිකයින්ගේ යහපැවැත් ම ගැන සිහිකිරීමට නොහැකි පවුල් ඉතා ඉක්මණින් අසමගි වී යනවා. සැමියාට බිරිද, බිරිදට සැමියා මෙන් ම දරුවන්ට දෙමාපියන් ද අහිමි වන්නේ එහි ප‍්‍රථිපලයක් වශයෙන්. ඒ නිසා පවුලක, ගමක, ආයතනයක, හෝ යම් රටක පුරවැසියන් අතර සෙනෙහසක් ගොඩනැගීම පිණිසත්, සාමය ස්ථාපිත වීම පිණිසත්, එකිනෙකා තුළ පවතින යහපත් දේවල් සිහිකිරීම බෙහෙවින් උපකාරී වෙනවා. ඒ නිසා අපි එවැනි ආකල්පයක් පිරිසක් වශයෙන් ඇති කරගත්තොත් සෙනෙහසින් අත්වැල් බැදගෙන බොහෝ කලක් ජීවත් වීම අපහසු දෙයක් වන්නේ නෑ. එකිනෙකාගේ ගුණ කල්පනා කරමින්, එකිනෙකාට උපකාර කරමින් වාසය කරන්නේ නම් ඒ පුරවැසියන් ගොඩනගාගත් සාමයට දීර්ඝායුෂ පවතිනවා. ඒ සදහා අපට හොද ම උපකාරය ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින්.

බුදුරජුන්ගේ ධර්මය තුළ මෛත‍්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව ගැන කියා දෙනවා. මේ සතර බ‍්‍රහ්ම විහරණ ගැන කියාදෙන ධර්මයක් අනුගමනය කොට ඒ සතර බ‍්‍රහ්ම විහරණයන්ට අනුව ජීවත් වුනොත් ඒ සමාජය යහපත් සමාජයක් බවට පත්වෙනවා ම යි. එකිනෙකාට පහසුවෙන් වාසය කිරීමේ හැකියාව උපදිනවා.

සතර බ‍්‍රහ්ම විහරණ නැතිනම්, ඒ ජීවත් වන මිනිසුන් නිරායාසයෙන් ම දැඩි චරිත බවට පත්වෙනවා. රළු-පරුෂ චරිත බවට පත්වෙනවා. එකිනෙකා කෙරෙහි ගැටුනු සිතින් බලමින් අමනාපයෙන් තමයි වාසය කරන්නේ.

මිනිස් වර්ගයාට ද්වේශ කළත් ඔවුන් භෞතික සම්පත් වලට ඇලූම් කරනවා. ඒ දේවල් රැකගන්නවා. නමුත් මනුෂ්‍යත්වය කෙරෙහි කරුණාව මෛත‍්‍රිය ඇති කරගන්නේ නෑ. ඒ තුළින් නොදැනීම භේද භින්න වුන සමාජයක් ගොඩ නැගෙනවා.

නමුත් යමෙක් මිනිසාගේ යහපත පිණිස කටයුතු කරයි නම්, ඔහු භෞතික සම්පත් දියුණු කළත් ඉන් මිනිසාට සහ ලෝකයට හානියක් වන කිසිවක් සිදුකරන්නේ නෑ. මනුෂ්‍යත්වයට සෙනෙහසක් දක්වන මිනිසා මනුෂ්‍යත්වය රැකගන්නේ අන්න ඒ ආකාරයට යි. ඔහු සැමවිටම මුල්තැන දෙන්නේ මනුෂ්‍යත්වයට යි. භෞතික සම්පත් වලට නොවෙයි.

මේ විදියට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව, මෛත‍්‍රිය කරුණාව උපදවාගෙන වාසය කරන්නේ නම්, ඔහු මිනිසාට පමණක් නොවේ…සියළු සත්වයින්ට, තුරු-ලතා වලට, දිය ඇලි වලට, වගේ ම මුළු මහත් ලෝකයට ම සෙනෙහෙවන්ත කෙනෙක් බවට පත් වෙනවා.

පින්වත් ස්වාමීන් වහන්ස. මේ වන විට ත‍්‍රස්තවාදයෙන් පීඩා විදි ඇතැමුන් තුළ විශාල මානසික කඩාවැටීමක් තිබෙනවා. මෙය  ඕනෑ ම යුද්ධයක් අවසන් වීමෙන් පසු දක්නට හැකි දෙයක්. මේ කඩාවැටීමෙන් ඒ අය මුදවා ගැනීම පිණිස අප කළ යුත්තේ කුමක් ද? එය සාර්ථක වීම පිණිස අප විසින් ඇති කරගත යුතු විශේෂ ගුණ ධර්ම මොනවා ද?

ඇත්තෙන් ම යම් ත‍්‍රස්තවාදී උවදුරකින් පීඩා විදි පිරිසක් තුළ මානසික බිද වැටීමක් පවතින්නට පුළුවන්. සමාජයෙන් තමාට උපකාරයක් නොලැබීමත්, තම අසරණ කම හමුවේ තමා හුදෙකලා වී ඇති බව කල්පනා කිරීමත් සමගින් තමයි මේ බිද වැටීම සිදු වන්නේ. තමා අවට සිටින අය තමාට අයහපතක්, හිරිහැරයක් කරනු ඇතැයි නිරතුරු උපදින සැකයකින් ඒ අය බියපත් වන්නට පුළුවන්. අන්න ඒ භය සහ සැකය අපි තුරන් කළොත් ඒ කෙනාගේ බිද වැටීම සැනෙකින් තුරන් වී යනවා. ඒ භය සැක නැති කිරීමට නම්, අපතුළ ඒ අය කෙරෙහි කරුණාවක්, මෛත‍්‍රියක් පවතින බවත් අනතුරක් නොකරන බවටත් ඒ සිත් තුළට කාවැද්දිය යුතු යි. එය කළ යුතු වන්නේ ක‍්‍රියාවෙන්. වචනයෙන් නොවේ.

ඒ ආකාරයට, අප ප‍්‍රායෝගිකව ම ක‍්‍රියාවෙන් ඒ අයට අපතුළ පවතින ආදරය කරුණාව පෙන්වා දුන්නොත්, නිරායාසයෙන් ම ඒ බිය සහ තැතිගැනීම් නැති වී යනවා. නිවාස, භෝග සම්පත් මිල මුදල් ආහාර පාන වැනි භෞතික සම්පත් දීමෙන් පමණක් එය සිදුවන්නේ නෑ. ඒ සිත් තුළ අනිත් අය කෙරෙහි විශ්වාසය ඇති කළ යුතු යි. එය ආධ්‍යාත්මික සත්කාරයක්. එය සිදු කිරීමට බුදු රජාණන් වහන්සේගේ ධර්මය සම්පූර්ණයෙන් ම උපකාර කරගත හැකියි.

මුලින් ම, බුදු රජාණන් වහන්සේගේ ධර්මය අපතුළත් හොදින් පැවතිය යුතු යි. ආධ්‍යාත්මය ඔස්සේ ඒ සාමයේ පණිවුඩය සන්නිවේදනය වීමට නම්, ඇත්තෙන් ම අපතුළ ඒ සදහා අවංක භාවයක්, පැවතිය යුතු යි. අපි අවංක නම්, ඒ හදවත් වලට ඒ අවංක උපකාරය දැනෙනවා. ඒ නිසා කරුණාවෙන් මෛත‍්‍රියෙන් යමෙකුට උපකාර කරයි නම් එය සාර්ථක වන සාධකය තමයි තම සිතතුළ පැවතිය යුතු අවංක භාවය.

බුදු රජාණන් වහන්සේගේ ධර්මයෙන් ඒ අය වෙත සුවිශේෂී පණිවුඩයක් ලබා දිය හැකි යි. අපේ ජීවිතය පවතින්නේ ටික කාලය යි. ඉතා ඉක්මණින් මෙලොවෙන් සමුගැනීමට සිදු වෙනවා. ජීවිතයේ අස්ථිර භාවය තේරුම් ගත්තේ නැත්නම්, භෞතික සම්පත් වලට මුලා වෙලා ප‍්‍රමාදයට පත්වීම නිසා ඒ කෙනා නොවටිනා කෙනෙක් බවට පත් වෙලා යනවා. නමුත් ජීවත් වීමට තිබෙන සුළු කාලය පිළිබද සිහිපත් කරගන්නට පුළුවන් වුනොත්, අස්ථිර ස්වභාවය ප‍්‍රකට වුනොත් ඒ කෙනා භෞතික සම්පත් වලට ප‍්‍රමුඛත්වය දෙන්නේ නෑ. ඔහු තුළ නිතැතින් ම, මිනිස්වර්ගයා කෙරෙහි මෛත‍්‍රිය, කරුණාව ආදී උතුම් ගුණධර්ම පිහිටනවා.

බුදු රජාණන් වහන්සේ වදාළ ආකාරයට මිනිසුන්ගේ කෙටි ආයුෂ ප‍්‍රමාණය ගැනත් ඉක්මණින් මෙලොවින් සමුගැනීමට සිදුව ඇති බවත් සිහිපත් කරගෙන වාසය කරනවා නම්, ඒ කෙනා සමාජයට අවංකව ම සේවය කරනවා. ඒ සේවය තුළින් තාවකාලික ලාභයක් අපේක්ෂා කරන්නේ නෑ.

ඇත්තෙන් ම, ආධ්‍යාත්මික සත්කාරකයෙකු විසින් තමාගේ ද ජීවිතයේ අස්ථිර බව තේරුම් ගනිමින් එය තුළ පිහිටා කටයුතු කරයි නම්, ටිකකලක් වාසය කරන අය ට පිළිසරණක් විය යුතු යි යන හැගීම අවංකව ම ඇති වෙනවා. ඒ අයුරින් උපකාර කළහොත් මිනිසාගේ සිත තළන්නේ නැති ව උපකාර කරන්නට පුළුවන්. එවිට, ඒ අයගේ සිත තුළ සතුටක්,   ප‍්‍රීතියක් සහ ප‍්‍රමෝදයක් උපදිනවා.

එවිට ඒ උපකාරය ලබන අය තුළ ‘මේ අය අපට අවංකව ම අනුකම්පාව දක්වනවා, කරුණාව දක්වනවා, සෙනෙහස දක්වනවා’ යන හැගීම ඇති වෙනවා. ඒ අයට රැුකවරණයක් තියෙනවා කියා තේරුම් යාමත් සමග ම බිය සැක තුරන් වී ගොස් සිත තුළ ප‍්‍රමෝදයක් හට ගන්නවා.

ප‍්‍රබෝධමත් සිතින් යුතු ව එකිනෙකා කෙරෙහි ප‍්‍රිය ඇසින් බලමින් වාසය කිරීම පහසුයි. එවිට, ජාති, ආගම්, කුළ-මල භේද නැති සමගි සම්පන්න ජාතියක් බිහිවෙනවා. එය එසේ වුවහොත්, මේ ධර්මද්වීපය මෛත‍්‍රියෙන් කරුණාවෙන් පිරුණු බියෙන් සැකෙන් තොර සෙනෙහසේ රාජධානියක් බවට පත්කිරීමේ ‘සිහිනය’ සැබෑ කරගත හැකි යි.

‘‘සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා”

– තනූජා ධර්මපාල –