සත් හැවිරිදි නිග්‍රෝධ රහත් මුනිඳුන්ගේ සිඟිති මුව මඬලින් අසිරිමත් සදහම් පද ළයාන්විතව ගලා ගියේය. චිත්ත සන්තාපයන් පහව ගොස් සැනසුම් සුසුමන් හෙලූ අශෝක නිරිඳුන් අපමණ සැදැහැයෙන් තෙරුවන් සරණ ගියේ ය. දඹදිව්තලයට බිය ශෝකය කැන්දූ චණ්ඩාශෝකයන්, යහපත සෙත සැලසූ ධර්මාශෝකයන් බවට පත් විය. අපමණ දනන් දුකට පීඩාවට පත්කළ දිග්විජය වෙනුවට, සැපත සැනසුම උදාකළ දහම් විජය ක්‍රියාවට නැංවිණි. මොග්ගලීපුත්ත තිස්ස මුනිඳුන් සමගින් ධර්මාශෝකයන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පුදද්දී, බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිනා ගියේය. ඇඳිළි බැඳ වන්දනා කරමින් අරහත් මුනිවරුන් ඇමතූ අශෝක නිරිඳුන් මෙසේ පැවසී ය. ‘තථාගත මුනිරජුන්ගේ සුවාසු දහසක් දහම් කඳට උපහාර පිණිස වෙහෙර විහාර අසූහාර දහසක් කරවන්නෙමි.’…. සයවසක් තුළ දඹදිව්තලය පුරා ගව්වෙන් ගව්ව මුනි ධාතූන් තැන්පත් වෙහෙර විහාර ඉදිවිය. වෙසක් පුන් පොහෝ දින ඒ සියලූ විහාරාරාම ගොයුම් බුදු සසුනට පිදුම් වෙද්දී, අරහත් සෘද්ධියේ අනුහසින් දම්සෝ නිරිඳුන් ඒ සියල්ල දැක ගත්තේ ය. අහස් කුස සිපගත් ශ්වේත වර්ණ ථූපයන් ද, රන්වන් පැහැයෙන් දළුලන බෝධි වෘක්ෂයන් ද සම්බුදු ගුණ කඳ සිහි ගැන්වීය. තුන්ලොව එකලූකළ සම්බුද්ධ ප්‍රඥාලෝකයට උපහාර පිණිස දහස් ගණනින් පහන් දල්වා තිබිණි. දසත පැතිරුණු තථාගත මුනිරදුන්ගේ සිල්ගුණ සුවඳ සිහිකළ සුගන්ධ පූජාවන් මදනළ හා මුසුවිය.
නිමල පිවිතුරු සම්බුද්ධ දිවිය සුගන්ධ පුෂ්පයන්ගෙන් පුද දී තිබිණි. ෂඞ්වර්ණ රශ්මි මාලා සිහිගන්වන ධජ පතාකයන් මද සුළඟේ ලෙළදුනි.
කසාවත් දැරූ බුදු පුතුන්ගෙන් ද, සුදු වත් හැඳි උවසු උවැසියන්ගෙන් ද සියලූ ආරාම පිරී තිබිණි. සොම්නසින් ඉපිළී ගිය ධර්මාශෝකයන් තිස්ස මුනි රජුන් අමතා මෙසේ පැවසීය. ‘‘පින්වත් හිමිපාණෙනි, ගොයුම් බුදු සසුනට මා දැන් ඥාතියෙකු, උරුම කරුවෙකු වන්නේය.” ‘‘පින්වත් නිරිඳුනි, සිය ලෙයින් උපන් දරුවෙකු සසුනට පිදීමෙන්ම ඒ උත්තම ඥාතීත්වය ලද හැක්කේ ය” තෙරුවන කෙරෙහි පහන් සිත් ඇති නිරිඳුන් සිය අතිජාත පුත්‍ර මහින්ද කුමරුන් ඇමතී ය. ‘‘ප්‍රියාදර පුතණුවනි, අරහත් ධජය වූ කසාවත දරා ශ්‍රමණ ගුණ පුරා අම සුව ලබන්නට කැමැත්තේ ද?”
‘‘උත්තම පියාණෙනි, දඹදිව්තල රාජාභිෂේකයට වඩා සම්බුදු රජුන්ගේ ළයෙහි උපන් සව්වෙකු වීමට මම ඉතා කැමැත්තෙමි.” ධර්මාශෝකයන් සිය නෙත් සඟල වන් මිහිඳු කුමරුන් ද, සඟමිත් කුමරිය ද මහත් හරසරින් යුතුව බුදු සසුනට පිදී ය. මොග්ගලීපුත්ත තෙරිඳුන්ගේ සුරතින් කෙස්වැටිය කපද්දීම මහා පින් ඇති මිහිඳු හිමියන් තච පංචක කමටහන් වඩා නිකෙලෙස් වූ සේක. තථාගත සම්බුදු වදන් සියල්ලම තෙවසරක දී සිය නිකෙලෙස් හද මඬලේ තැන්පත් කරගත් සේක. තෙවන දහම් සංගීතිය පවත්වා ධර්ම දූතයින් වැඩමවද්දී, සම්බුද්ධ සංදේශය රැගත් මිහිඳු මාහිමියන් මිස්සක පව්වට වැඩි සේක. දඩ කෙළියේ ගොස් සිටි තිස්ස රජු වෙත මුවෙකුගේ වෙස් ගත් දෙවි පුතෙකු යවා තමන් වෙත කැඳවා මෙසේ පැවසූ සේක. ”ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවක ශ්රමණයන් වූ අප ඔබ හා ඔබේ රටවැසියන් කෙරෙහි අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි පැමිණියෙමු.”
ඇත් පිය සටහන් දෙසුමෙන් තිසරණ ගන්වා දහම් දෙසද්දී රජු ඇතුළු පිරිසට දහම් මග විවර විය. අනුලා බිසවුන් ප්රමුඛ රාජ මහේෂිකාවන්ට පේ‍්‍රත වත්ථු – විමාන වත්ථු දෙසුමින් පවෙහි ආදීනව ද, පිනෙහි අනුසස් ද පහදා දුන් සේක. සංයුත් සඟියේ, සච්ච සංයුක්තයෙන් දහම් දෙසමින් චතුරාර්ය සත්‍යය පහදද්දී දහස් ගණනින් දෙවි මිනිසුන් මගඵල පසක් කළහ. ‘‘හාත්පස සක්වළ සිටින සදහම් අසනු රිසිවූ, පින් කැමති දෙවියන්, අප මුනි රජුන් වදහළ උතුම් සදහම් ඇසුමට පැමිණෙත්වා” යි සුමණ සාමණේරයන් ලවා දේවතාරාධනා කරවා ‘‘සමචිත්ත පරියාය සුතුර” දෙසූ සේක. නිරයේ ඇති තතු දේවදූත සුතුරින් ද, කුසල් අකුසල් ඔස්සේ සුගති දුගති කරායනයුරු බාල පණ්ඩිත සුතුරින් ද පෙන්වා දුන් සේක. සදහම් පහසලත් යොවුන් අරිට්ඨයන් ප්රමුඛ රජ කුමරුවන් හැට දෙදෙනෙකු කසාවත් දරා මිහිඳු හිමි සෙවණේ පිළිවෙත් පිරූහ. සීලයේ ගුණ තේජස ඉස්මතු කොට අග්ගික්ඛන්ධෝපම සූත්‍රයත්, ජීවිතයේ සැබෑ තතු පහදන ආසිවිසෝපම සූත්‍රයත් මිහිඳු සරින් ඔවුනගේ සවණට වැටුණි. දුක්ඛිත සසරේ බිහිසුණු බව අනමතග්ග සංයුක්තයෙන් පෙන්වා දී, දම්සක් පැවතුම් සූත්‍රය ද, අප්පමාද සූත්‍රය ද දෙසද්දී නිකෙලෙස් මුනිවරුන් හැටදෙනමක් ලක්දිව්තලයෙන් බිහි විය. මසක් ඇතුළත නිවන් මග එසේ විවර කොට වස් වැසීමට පෙර වස්සුපනායිකක්ඛන්ධය ද දේශනා කොට වීතරාගී මුනිවරුන් මිහින්තලා ලෙන්හි වස් විසූහ.
රාජකීය දිවිය අත්හළ අනුලාවන් ඇතුළු මහේෂිකාවන් පන්සියයක් බඹසර සිල් සුරකිමින් උපාසිකාරාමයක දැහැමින් කල් ගෙවූහ. ඔවුනට ශාසනික දායාද දීම පිණිස සංඝමිත්තා රහත් තෙරණිය ද, ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ද වැඩම කරවන්නැයි මිහිඳු මාහිමි පියරජුට හසුන්පත් යැවී ය. අරහත් මුනිවරුන් පිරිවැරූ දම්සෝ නිරිඳුන් ජය ශ්‍රී මහා බෝධි ශාඛාව දඹදිව් තලයෙන් තෙවරක් පුදා සඟමිත් තෙරණිය අත, තුන්ලොව අග්‍ර පූජාවන් මැද ලක්දිව්තලයට වැඩම වීය.
සඟමිත් තෙරණිය සෙවණේ භික්ෂුණීන් වූ අනුලාවන් සහ පිරිස සුළු කලෙකින් නිකෙලෙස් මුනිවරියන්ව අමා සුව සලසා ගත්හ. සක් දෙවිඳුන් පිදූඅකු ධාතූන් වහන්සේ යමාමහ පෙළහර පා නිදන් ගතවූ ථූපාරාම සෑ මළුවට රැස්වූ අරිට්ඨ මුනිඳුන් ඇතුළු සිහල රහතුන් විනය පිටකය සංගායනා කළහ. ගෞතම බුදු සසුන එසේ ලක්දිව ස්ථාපිත වෙද්දී සොම්නසින් ඉපිළ ගිය ලෝක ධාතුව තදින්ම කම්පා විය. දෙවන පෑතිස් නිරිඳුන් පිදූමහාමේඝ උයනේ මිහිඳු මාහිමියන් දෙවි මිනිසුන්ගේ මහත් පුද මැද ජය ශ්‍රී මහා බෝධිය රෝපණය කරවූ සේක. ද්‍රෝණයක් මුනි ධාතු රඳා අනාගතයේ ඉදිවන ස්වර්ණමාලී සෑ රදුනට බිම සලකුණු කළ සේක. සිරි සදහම් පැතිර යද්දී ලක්දිව, දඹදිවක් වී රහතුන්ගෙන් ශෝභමාන වී කසාවතින් බැබලී ගියේ ය. තිසරණ පන්සිල් සුරකින සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී ගියේ ය. ධර්මාශෝක නිරිඳුන් සේ දේවානම්පියතිස්ස රජුද ලක්දිව සිසාරා ගව්වෙන් ගව්ව වෙහෙර විහාර ඉදිකරවීය. ගෞතම බුදුරජාණන් වහනසේගේ ශ්‍රී නාමයට ලංකා ධරණී තලය පූජාකළ දෙවනපෑතිස් නිරිඳුන් සියළු රාජාභරණයෙන් ශ්‍රී මහා බෝධිය අභිෂේක කරවා මුර වතින් පිදී ය. සඟමිත් තෙරණිය සමගින් පැමිණ දහ අට කුලයක ශිල්පීහු මිහිඳු මාහිමිගේ මග පෙන්වීමෙන් ලක්දිව සුඛිත මුදිත කළහ. දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී සදහම් නදී දිය දහරින් ලක් වැසියන්ගේ දුක් සෝ සුසුම් නිවී සැනසී මග-ඵල ලාභී රහත් මුණිවරුන්ගේ පරපුරක් බිහිවිය.
දිවි පරදුවට තබා මුනි දහම රැකගත්, සම්බුදු වදන් පුස්තක කළ, ලොව දසත සම්බුදු දහම පැතිරවූ ශ්‍රේෂ්ට පරපුරක් බවට පත් වූහ. මේ සියලූ ශාසනික දායාදයන් ලක්දිවට තිළිණ කොට අනුපාදිශේෂ පිරිනිවණින් සැනසුණ අනුබුදු මිහිඳු මාහිමි ගේ ශ්‍රී අරහත්ත ධාතූන් ලක්දිව් තලයේම නිධන්ගත වූ සේක. සැබෑ කාන්තා විමුක්තිය උදාකළ, ශාසනික දායාදයන් තිළිණ කළ සඟමිත් තෙරණියගේ ශ්‍රී ධාතූන් ද වැඩ සිටින්නේ මේ පින්බිමේ ම ය. අසීමිත සෙනෙහසකින් ලක්වැසි දනන් සුවපත් කළ ධර්මාශෝක නිරිඳුන් ද සිරිලක්දිව ඉපිද රහත් මුනිවරයෙකුව සසුන බැබලී ය. ගෞතම බුදු රජුන්ගේ අමා දම්කඳ රැගෙන වැඩි, පන්දහසක් කල් සසුනට ආයු වැඩූ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා! අරහත් මුණිවරියන් බිහිකළ, ලක්දිව මුදුන් මල්කඩවන් සිරිමහබෝ සමිඳු වැඩමවූ සඟමිත් තෙරණියට අපගේ නමස්කාරය වේවා! අමා නිවනින් නිවී සැනසුණ ධර්මාශෝක නිරිඳුන්ට ද නමස්කාර වේවා!
මෙලෙස තුති ගී ගයා කිසි ලෙස – බැහැ හිමිට කළගුණ පුදන්නට
ඒ නිසා පෙළගැසෙමු අපි හැම – හිමි විවර කළ මගේ යන්නට
අම නිවන් මග ඵල ලබා අප – නිදහසේ සුව වින්ද දවසට
සැළකීම වේ එය නියම ලෙස – කළණ මිතු වූ මිහිඳු තෙරුණට
අනුබුදු නමස්කාරය
සුරේන්ද්‍ර කැප්පෙටිපොළ
Recent Comments