ගාමණී අභය රජුගේ විජයග්‍රහණය
61. මහත් බල ඇති ඒ සුරනිමල යෝධ තෙමේ රජු ඉදිරියට යන්නා වූ (දීඝජන්තු) යෝධ තෙමේ හට තම නම ඇසෙන්නට සලස්වා ආක්‍රෝශ කළේ ය.
62. කිපුණු ඒ (දීඝජන්තු) තෙමේ “ඔබ නසන්නෙමි” යි අහසට නැගුණේ ය. (සුරනිමල තෙමේ පහළට) බසින ඔහු හට පළඟ පෑවේ ය.
63. ‘පළඟ ඇති මොහු කපමි’ යි සිතූ ඒ (දීඝජන්තු) තෙමේ කඩුවෙන් පළඟට පහර දුන්නේ ය. ඒ පළඟ මුදා හළ (සුරනිමල) තෙමේ බිම වැතිර ගත්තේ ය.
64. දීඝජන්තු තෙමේ පළඟට පහර දෙමින් එහි වැටුණේ ය. නැගී සිටි සුරනිමල තෙමේ වැටුණු (දීඝජන්තු) තෙමේ හට කඩුවෙන් පහර දුන්නේ ය.
65. ඵුස්සදේව තෙමේ සක් පිම්බේ ය. දමිළ සේනා බිඳී ගියේ ය. එළාර තෙමේ ද (පසුබැස) නැවතුණේ ය. බොහෝ දමිළයන් නැසිණ.
66. එහි වැව් ජලය නැසුනවුන්ගේ ලෙයින් රතු පැහැතිව කැලතුණේ ය. එහෙයින් එය ‘කලත්තෑව’ යැයි ප්‍රසිද්ධ වී ය.
67. එහි දී ගාමණී අභය රජ තෙමේ “මා හැර අන් අයෙක් එළාර රජු නො නසව.” යැයි බෙර හැසිරවූයේ ය.
68. (ගාමණී අභය රජ තෙමේ) සන්නාහ සන්නද්ධ වූයේ, එසේ ම සන්නද්ධ කළ කණ්ඩුල ඇතු පිට නැගී එළාර රජුව ලුහුබඳිමින් දකුණු වාහල් දොරකඩට පැමිණියේ ය.
69. නුවර දකුණු වාහල් දොර දී ඒ රජවරුන් දෙදෙනා යුද්ධ කළෝ ය. එළාර රජ තෙමේ තෝමරය දමා ගැසුවේ ය. ගාමණී අභය රජු එය වැළැක්වූයේ ය.
70. ඒ පර්වත නම් ඇතුට ස්වකීය කණ්ඩුල ඇතු ලවා දෙදළින් ඇන්නවී ය. එළාර රජු හට තෝමරය දමා ගැසුවේ ය. ඇතු සහිත ඒ (එළාර) තෙමේ එහි හින්දවිණි.
71. එහි දී දිනන ලද සංග්රාම ඇති ඒ (ගාමණී අභය රජ) තෙමේ යාන වාහන බල සේනා සහිත ලක්දිව ඒකච්ඡත්ර කොට (අනුරාධපුර) නගරයට පිවිසුණේ ය.
72. නුවර අණ බෙර හසුරුවා හාත්පස යොදුනක ජනයා රැස් කරවා එළාර රජු හට පුද සත්කාර කර වී ය.
73. සිරුර වැටුණු ස්ථානයේ දී ඒ මෘත දේහය කුළුගෙයක බහා දවන ලද්දේ ය. එහි චෛත්‍යයක් ද කොට පෙරහැර ද කරවන ලද්දේ ය.
74. අද දක්වාත් ලක්දිව රජ දරුවෝ ඒ ප්‍රදේශයට ආසන්නයේ තූර්ය වාදනය නො කරති.
75. මෙසේ ඒ ගාමණී අභය රජ තෙමේ දෙතිසක් දමිළ රජුන් අල්ලාගෙන ලංකා රාජ්‍යය ඒකච්ඡත්ර කොට පාලනය කළේ ය.
76. (ගාමණී අභය රජුගේ සේනා) විජිතපුර (එළාර රජුගේ යුද පෙරමුණ) බිඳ වැට්ටවූ කල දීඝජන්තු යෝධ තෙමේ (ස්වකීය) බෑණනුවන් ද යෝධයෙකැයි එළාර රජුට දන්වා,
77. ඒ භල්ලුක නම් වූ ස්වකීය බෑණනුවන් හට මෙහි එන්න යැයි පණිවුඩ යැව්වේ ය. ඒ ඇසූ භල්ලුක තෙමේ,
78. එළාරගේ ආදාහනයෙන් එළඹි සත්වන දිනයේ හැට දහසක් මිනිසුන් සමග මෙහි ගොඩබැස්සේ ය.
79. ගොඩ බට හෙතෙමේ, (එළාර) රජු (පැරදී) වැටුණු බව අසා ලැජ්ජාවට පත්ව “යුද කරන්නෙමි.” යි මහාතිත්ථයෙන් මෙපිටට ආවේ ය.
80. කොළොම්බහාලක නම් ගමේ (ඔවුහු) කඳවුරු පිහිටවූහ. රජ තෙමේ ඔවුන්ගේ පැමිණීම පිළිබඳ අසා යුද්ධය පිණිස නික්මුණේ ය.
81. යුද සන්නාහයෙන් සන්නද්ධව කණ්ඩුල ඇතු පිට නැගී ඇත්, අස්, රිය හා යෝධයන් ද පාබල සේනාව ද සම්පූර්ණ කොට ගත්තේ ය.
82. ලක්දිව අග්රතම දුනු විදින්නා වූ උන්මාද ඵුස්සදේව තෙමේ පංචායුධයන්ගෙන් සන්නද්ධව (රජු පසුපස අසුනේ ගියේ ය.) සෙසු යෝධයෝ ද ඒ අනුව ම ගියහ.
83. එහි මහා යුද්ධය පැවති කල්හි සන්නද්ධ වූ භල්ලුක තෙමේ රජුගේ ඉදිරියට පැමිණියේ ය. කණ්ඩුල හස්තිරාජ තෙමේ,
84. ඔහුගේ වේගය අඩු කරවනු පිණිස සෙමෙන් සෙමෙන් පසුබැස්සේ ය. සේනාවෝ ද ඒ සමග ම සෙමෙන් සෙමෙන් පසුබැස්සහ.
85. රජ තෙමේ, “ඵුස්සදේවය, පෙර යුද්ධ විසි අටේ දී ම මේ ඇතු පසු නො බැස්සේ ය. මෙවර කුමක් නිසා ද?” යැයි ඇසී ය.
86. “දේවයන් වහන්ස, අපට පරම ජයග්‍රහණයකි. මේ ඇත් තෙමේ ජය භූමිය සොයමින් පසු බසින්නේ ය. ජය සහිත ස්ථානයේ සිටින්නේ ය.” යැයි හෙතෙමේ කී ය.
87. ඇත් තෙමේ පසුබැසගෙන ගොස් ඵුස්සදේව දැක මහ විහාර සීමාවේ මනා කොට සිට ගත්තේ ය.
88. ඇත් රජ තෙමේ එසේ සිටි කල්හි භල්ලුක දමිළ තෙමේ රජු ඉදිරියට පැමිණ රජු හට උපහාසයෙන් කථා කළේ ය.
89. අසිපතින් මුව වසා ගත් රජ තෙමේ ඔහුට ආක්‍රෝශ කළේ ය. ‘රජුගේ මුඛයට විදිමි.’ යි ඒ (භල්ලුක) තෙමේ හීයක් විද්දේ ය.
90. ඒ හීය අසිපත් තලයේ හැපී බිම වැටුනේ ය. (රජුගේ) “මුඛයට විදින ලදී.” යි යන සංඥාවෙන් භල්ලුක තෙමේ ජය ඝෝෂා කළේ ය.
91. රජුට පසුපස අසුනේ සිටියා වූ මහත් බල ඇති ඵුස්සදේව තෙමේ රජුගේ කුණ්ඩලාභරණයේ ගැටෙන අයුරින් ඒ (භල්ලුකගේ) මුඛයට හීයක් විද්දේ ය.
92. රජු දෙසට පා හෙළා වැටෙන ඔහුගේ දණහිසට තවත් හීයකින් විද,
93. රජු දෙසට හිස ලා ඔහුව හෙළන ලද්දේ ය. භල්ලුක තෙමේ වැටුණු කල්හි එහි ජය ඝෝෂා පැවතියේ ය.
94. ඵුස්සදේව තෙමේ එහි දී තම දෝෂය දක්වන්නට තම කන් පෙත්ත සිඳ ලේ පතක් ගෙන තමන් ම
95. රජු හට පෙන්වී ය. ඒ දුටු රජ තෙමේ, “කුමක් ද?” යැයි ඔහුව විමසුවේ ය. හෙතෙමේ “මා විසින් රාජ දඬුවම් ලබන්නක් කරන ලද්දේ ය.” යැයි රජු හට කී ය.
96. “ඔබගේ දෝෂය කුමක් ද?” යැයි විමසූ කල්හි (විදින ලද හීය රජුගේ) කුණ්ඩලාභරණයේ ගැටීම ගැන කීවේ ය. “සොහොයුර, නිදොස් දෙය දෝෂයක් ය යන සංඥාවෙන් මේ කුමක් කළේ ද?”
97. මෙසේ කියා මහ රජු කෙළෙහි ගුණ දන්නේ, “හීයට සුදුසු වූ මහත් වූ සත්කාර ඔබ හට වන්නේ ය.” යැයි මෙසේ ද කියන ලද්දේ ය.
98. සියලු දමිළයන් නසා ලබන ලද ජය ඇති රජ තෙමේ ප්රාසාදතලයට නැග සිංහාසනාරූඪ වූයේ,
99. සියලු අමාත්‍යවරුන් මධ්‍යයේ ඵුස්සදේව විසින් විදින ලද ඒ හීය ගෙන්වාගෙන තලය ඍජු කොට කෙළින් සිටුවා
100. ඒ මතුපිට කහවණු වගුරුවා ඒ හීය වසා ඒ ක්ෂණයෙහි එය ඵුස්සදේව හට දුන්නේ ය.
101. ඉක්බිති නරේන්ද්‍ර තෙමේ අලංකාර කරවන ලද, සුවඳ පහනින් ආලෝකවත් කරවන ලද, නොයෙක් ගඳ සුවඳින් සමන්විත වූ ප්රාසාදතලයේ,
102. නාටක ජනයාගේ එක් වීමෙන් දිව්‍ය අප්සරාවන් සිටින්නා වැනි ආකාරයකින් යුතු වූ උඩු මහල් තලයේ අනර්ඝ වූ ඇඳ ඇතිරිලි අතුරන ලද මනා වූ මුදු මොළොක් සයනයේ
103. සැතපුණේ, සිදු කරන ලද අති විශාල සේනා ඝාතනය සිහි කරන්නේ මහත් වූ ශ්‍රී විභූතිය බලා වුව ද සැපයක් නො ලද්දේ ය.
104. පුවඟු දිවයිනේ වැසි අරහතුන් වහන්සේ ඒ කල්පනාව දැන රජු අස්වස්සන්නට රහතන් වහන්සේලා අටනමක් එවූහ.
105. ඒ රහතන් වහන්සේලා මැදියම රජ දොර බැස්සාහ. දන්වන ලද අහස් ගමන ඇති උන් වහන්සේලා උඩු මහලට නැගුණෝ ය.
106. රජ තෙමේ උන් වහන්සේලාට වන්දනා කොට, ආසනයන්හි වඩා හිඳුවා විවිධ සත්කාරයන් කොට වැඩම කිරීමට කාරණය විමසුවේ ය.
107. “නර ශ්‍රේෂ්ඨය, පුවඟු දිවයිනේ සංඝයා වහන්සේලා විසින් මෙහෙයවන ලද අපි ඔබ ව අස්වසනු පිණිස මෙහි ආවෙමු.” රජ තෙමේ නැවත උන් වහන්සේලාගෙන්,
108. “ස්වාමීනී, යම් ආකාරයකින් මා විසින් මහත් යුද සේනා නසා දමන ලද්දේ නම් එසේ වූ මා හට හුස්ම ගැනීමක් වන්නේ ද?” යැයි ඇසී ය.
109. “ඒ ක්‍රියාවෙන් ඔබගේ සුගති මඟට අනතුරක් නැත්තේ ය. නර ශ්‍රේෂ්ඨය, ඒ නසන ලද්දවුන් ද මිනිසෙක් හා අඩක් පමණක් වන්නේ ය.
110. තිසරණ පිහිටි එක් අයෙකි. තිසරණ පන්සිල්වල පිහිටි තව අයෙකි. සෙස්සවුන් මිසදිටු ගත් දුසිලුන් ය. සිවුපාවුන් හා සමාන ය.
111. ඔබ බුද්ධ ශාසනය නොයෙක් ආකාරයෙන් බබළවන්නේ ය. එනිසා නරේන්ද්රය, චිත්ත පීඩා දුරලන්න.”
112. උන් වහන්සේලා විසින් මෙසේ වදාරණ ලද මහ රජ තෙමේ හුස්ම ලද්දේ වන්දනා කොට උන් වහන්සේලා පිටත් කරවා යවා සැතපී නැවත මෙසේ සිතුවේ ය.
113. ‘සංඝයා වහන්සේලාට නො දී කිසි කලෙකත් ආහාර නො ගන්න.’ යැයි මවුපියන් විසින් අප හික්මවන ලද්දේ ය.
114. භික්ෂු සංඝයාට නො දී අප විසින් අනුභව කරන ලද කිසිවක් ඇද්ද? (යැයි පරීක්ෂා කරන්නේ) උදය ආහාරයක දී අනුභව කරන ලද එක ම මිරිස් වැටියක් දුටුවේ ය.
115. ‘සංඝයා වහන්සේලාට පිරිනැමීමක් සිහි නො වී පරිභෝජනය කරන ලද එයට මා විසින් දඬුවම් කටයුතු හෝ ඉවසිය යුතු ය.’ යැයි (හෙතෙමේ) සිතුවේ ය.
116. මේ මනුෂ්‍ය ලෝකයේ සත්පුරුෂ තෙමේ නොයෙක් කෝටි ගණනින් නසන ලද මනුෂ්‍ය සමූහයා ගැන සිතා මේ නම් කාමයන් නිසා යැයි ඒ ආදීනවය මෙනෙහි කරන්නේ ය. තව ද සත්පුරුෂ තෙමේ අනිත්‍ය ස්වභාවය ගැන නිවන අරමුණු කොට මනා ලෙස සිතන්නේ එසේ ම අප්‍රමාදීව දුක්ඛ විමෝක්ෂයට, මනා වූ ගතියට පැමිණෙන්නේ ද වෙයි.
(හුදී ජන පහන් සංවේගය පිණිස කළ මහාවංශයේ ‘ගාමණී අභය රජුගේ විජයග්‍රහණය’ නම් වූ විසි පස්වන පරිච්ඡේදය නිම විය.)
Recent Comments