මිනිසත් බව ලැබූවන් අතර ඇති වෙනස්කම් ඉමහත් ය. නිදුක් නිරෝගී බව, ආයුෂය, රූපය හා ධනය ආදී සම්පත්තීන් වශයෙන් බොහෝ දෑ සම්බන්ධයෙන් මිනිසුන් එකිනෙකා අතර මේ සා වෙනස්කම් තිබීම පිටුපස ඇති කථාව සසර ගමනට ම යා වූවකි. සම්බුදුරජුන්ගේ දහම තුළ පැහැදිලි කර දුන් ඒ කර්ම – කර්ම ඵල ස්වභාවය පදනම් කොටගෙන කේ. කමලා රණතුංග ලේඛිකාව විසින් රචිත ‘නිරෝගී බව දීර්ඝායුෂ, මෙහි රහස කුමක්ද?’ යන ග්‍රන්ථයෙන් සිදු කෙරෙන උපුටා ගැනීමකි මේ…

ලෝකය විවිධය, ලෝකය විෂමය, ලෝකය දෙස බැලූ විට නිරෝගී හා රෝගී අයද දිගායු ලැබූ අය හා අල්පායු ලැබූ අයද ඇති බව පෙනේ.

කිසි කෙනෙකුට කිසිම වරදක් නොකළ අහිංසක දරුවන් දරුණු ලෙඩවලින් පෙළෙන්නේ මන්ද? කිසි කෙනෙකුට කිසිම වරදක් නොකළ දරුවන් තම හිරිමල් කැකුළු වියේදීම රුදුරු අකල් මරණවලට ලක්වන්නේ මන්ද? අනික් අතට බලන විට මුළු මිනිස් සමාජයට මෙන්ම සත්ව සමාජයට ද පීඩාකාරී වූ පිළිවෙත් අනුගමනය කරන අවි ආයුධ, වස විෂ මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන්නන්, මංකොල්ලකරුවන්, ස්ත්‍රී දූෂකයන් සහ මිනීමරුවන් නිරෝගීව දිගායු විඳින්නේ ඇයි? අහිංසක වූත්, සුන්දර වූත් දරුවන්ට මේ වරම නොලැබුණේ ඇයි? මෙවැනි අසාධාරණයක්, දුක්ඛිත තත්ත්වයක් මේ මිහිමත සිදු වී ඇත්තේ මක්නිසාද?

ලෝකය දියුණු වී ඇත. විද්‍යාව දියුණු වී ඇත. එහෙත් වේදනාකාරී වූ මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරක් නැති නම් මෙවන් දියුණු ලෝකයක අප ජීවත්වීමේ අර්ථය කුමක්ද?

මා හොඳින් දන්නා සුන්දර විනීත දැරියකට සිදු වූ විපතක් මෙහිදී මා සිහියට නැගේ. මාස හයක් වයසැති තම බිළිඳු දියණිය හා තනිව නිවසේ සිටි මොහොතක නිවසට ඇතුළු වූ අපරාධකරුවකු විසින් පොරොවකින් ගසා මරා ඇය කෙලෙසා දමන ලදී. එවකට ඇගේ වයස අවුරුදු විස්සකි. ඇයත්, ඇගේ සොයුර සොයුරියනුත්, දෙමාපියෝත් සමාජයට කිසිදු වරදක් නොකළ අහිංසක පුද්ගලයෝය.

වසන්තයේ පිපුණු මල්වැනි සුන්දර, පිවිතුරු දරුවන්ගේ ජීවිත මාරයාගේ රුදුරු ග්‍රහණයට අසු වී මොහොතකින් සුණුවිසුණු වී යන්නේ මෙසේ නම්, ලොව මැවූවා යැයි කියන දෙවියන් වහන්සේගෙන් අපට බලාපොරොත්තු විය හැකි ආශීර්වාදය කුමක්ද?

එක්තරා පවුලක සුරතල් දරුවන් තිදෙනාම මිය ගියේ මවුපියන් ගෙදර නැති අවස්ථාවක ගින්නෙන් දැවී අඟුරු වීමෙනි.

දියණියන් දෙදෙනෙකු පමණක් සිටි එක්තරා පවුලක වැඩිමහල් දියණියක කොළඹ උසස් බාලිකා විදුහලක උගනිමින් සිටිය දී අවුරුදු 13 දී මියගියේ පිළිකාවක් සැදී කකුලක් ද කපා දැමීමෙන් පසුව ය. එක් අහිංසක පවුලක අම්මාද තරුණ දියණියන් දෙදෙනාද රුදුරු මිනීමරුවන් විසින් පණපිටින් පුළුස්සා මරා දමනු ලැබූහ.

අහුංගල්ලේදී පාසල් බස් රියක් දුම්රියේ ගැටීමෙන් මියගියේ මෙලොව කිසි කෙනෙකුට කිසිම වරදක් නොකළ පාසල් දරුවන් රැසකි.

මගේ මිතුරියක් වූ අහිංසක තරුණ ගුරුවරියක් පිළිකාවකින් මිය ගියේ පුරා වර්ෂයක් වේදනාවෙන් දුක් විඳීමෙනි.

ඇත්තෙන්ම ඉතා අහිංසක දරුවන්ට, දැරියන්ට හා ළඳුන්ට මෙවැනි බිහිසුණු ඉරණම් අයත් වන්නේ ඇයි? විද්‍යාවත්, වෛද්‍ය විද්‍යාවත් දියුණු යැයි පවසන නූතන ලෝකයේ මෙවැනි දරුණු ලෙඩත්, අකල් මරණත් ජය ගත නොහැකි වී ඇත්තේ මන්ද? “ලොව මැවූ දෙවියන් වහන්සේ මෙවැනි බිහිසුණු ඉරණම් අප වෙත ළඟා කරවන්නේ අපට පාඩම් ඉගැන්වීමට.” යැයි ඇතැම්මු පවසති. එහෙත් පාඩම් ඉගැන්විය යුත්තේ අහිංසක දරුවන්ට හෝ ළඳුන්ට නොව අපරාධකරුවන්ටය. මිහිතලය මත මෙවැනි අසාධාරණයක් සිදු වී ඇත්තේ මන්ද?

පැරණි හින්දුන් විශ්වාස කළ පරිදි ලොව මැවූ මහ බඹුට වැරැදුණු තැනක් ද මේ? නැති නම් ඉස්ලාම් දහමේ එන ලෙස අල්ලා දෙවියන් වහන්සේගේ අභිමතය මෙයද? එසේත් නැතිනම් කිතුණු දහමේ එන ලෙස සර්වබලධාරී දෙවියන් වහන්සේගේ අභිමතය මෙයද?

කිසිකෙනෙකුට වරදක් නොකළ අහිංසක දරුවන්ට හා ළඳුන්ට මෙවැනි රුදුරු ඉරණම් අයත් වේ නම් දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම හා ආරක්ෂාව ලැබෙන්නේ කාටද?

දේව සංකල්පය සත්‍යයක් නම් යුදගිනි අවුළුවන රුදුරු මිනිසුන්ට මුලින්ම දඬුවම් ලබාදීමෙන්, යුදබිමේ ලක්ෂ ගණනින් මියයන, අතපය අහිමිවන අහිංසක දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට සර්වබලධාරී වූ දෙවියන් වහන්සේට හැකිවනු නියතය. මියයන දරුවන්ගේ කෙඳිරිලිත්, වැළපෙන මව්වරුන්ගේ අඳෝනාත් අසමින් මහා කාරුණික වූ දෙවියන් වහන්සේ කරබාගෙන සිටින්නේ මන්ද?

අසරණ මිනිසුන්ගේ පවුල්වලටත්, අහිංසක දරුවන්ට හා ළඳුන්ටත් දේව කරුණාව නොලැබේ නම් අප දෙවිවරුන් ඇදහීමේ ඵලය කුමක්ද? අනික් අතට සතුන් මරන්නෝ, මිනීමරුවෝ සහ අපරාධකරුවෝ දේව සාපයට ලක් නොවී දිගුකල් යෙහෙන් වැජඹෙති. අපරාධ නොකරන අහිංසක දරුවෝ ජීවත්වීමේ වරම හෝ නොලබති.

දේව ආශීර්වාදය ලැබුවෝ තමනට දෙවියන්ගෙන් ලැබී ඇති සැප සම්පත් පිළිබඳව උදම් වෙති. ඔවුන්ගේ දේව භක්තිය දිනෙන් දින වැඩෙන්නේ පුරපස සඳ මෙනි. එහෙත් තමන්ට වඩා ඉතාමත්ම අහිංසක වූත්, පිවිතුරු වූත් සුන්දර දරුවන්ට හා ළඳුන්ට දේවාශීර්වාදය නොලැබෙන්නේ මන්දැයි ඔවුහු මොහොතකට හෝ සිතා බලත් ද? අසාධ්‍ය ලෙඩවලින් වේදනා විඳීමට හෝ රුදුරු අකල් මරණවලින් විනාශ වී යාමට හෝ මේ අහිංසක දරුවන් කළ වරද කුමක්ද?

දුප්පත්කම, බලාපොරොත්තු කඩ වීම, වියෝදුක, අසාධ්‍ය ලෙඩ හා අකල් මරණ අහිංසක ජීවිතවලට සදා සරදම් කරන්නේ ඇයි? මිනිසුන්ගේ ඉරණම කෙරෙහි දෙවියන්ගේ බලපෑමක් නොව ග්‍රහයින්ගේ බලපෑමක් ඇතැයි ඇතැම්මු පවසති. දුබල ග්‍රහ ආකර්ෂණ ඇතිව උපදින දරුවන්ට අවාසනාවත්, ප්‍රබල ග්‍රහ ආකර්ෂණ ඇතිව උපදින දරුවන්ට වාසනාවත් ගෙනෙන බව මෙහිදී අදහස් වේ. ‘දෙවියන් වහන්සේ මිනිසුන්ගේ ඉරණම කෙරෙහි බලපාන්නේ ය’ යන මතයට වඩා තරමක විද්‍යාත්මක බවක් මෙහි දක්නට ලැබේ. මන්ද හිරුගේ හා සඳුගේ බලපෑම තරමක් දුරට හෝ අද විද්‍යාවෙන් සොයාගෙන ඇති හෙයිනි.

එහෙත් මෙහිදී පැනනැගෙන එක් ප්‍රශ්නයක් නම්, ‘දුබල ග්‍රහ ආරක්ෂණ ඇති අවස්ථාවන්හි බිහිවීමට මේ දරුවන් කළ වරද කුමක්ද?’ යන්නයි. මිනිසුන්ගේ ඉරණම දෙවියන්ට බාර දීමේදී මෙන්ම ග්‍රහයින්ට බාර දීමේදී ද මිනිසා අතිශයින්ම අසරණ වෙයි. අකර්මණ්‍ය වෙයි.

චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයේ අන්තිම පුරුක යැයි ඇතැමුන් විසින් සැලකෙන මිනිසා නැමැති සත්වයා දෙවියන් හෝ ග්‍රහයින් හමුවේ මෙසේ අසරණ වීම නම් ඛේදනීය තත්ත්වයකි.

ලොව දියුණු යැයි පැවසෙන බටහිර රටවල චින්තකයෝ, දාර්ශනිකයෝ සහ විද්‍යාඥයෝ වරින්වර බිහි වූහ. මොවුහු විශ්වයේ ප්‍රභවය, සත්වයාගේ පරිණාමය, දෙවියන් වහන්සේගේ පැවැත්ම ආදී නොයෙකුත් කරුණු පිළිබඳව මතවාද ඉදිරිපත් කළහ. එහෙත් මේ කිසිවෙක් මිනිසුන් විඳින දුක, මීට හේතුව කුමක්ද යන්න ගැන සොයා නොබැලූහ.

මිනිසුන්ගේ හදවත නිරන්තරයෙන්ම පෙළන දුක, මේ දුකට හේතුව කුමක්ද, මෙය නැති කළ හැක්කේ කෙසේද යන්න ගැන කරුණු සෙවීමට උත්සුක වූයේ බටහිර රටවල දාර්ශනිකයන් නොව පෙරදිග රටවල දාර්ශනිකයන්ය.

පෙරදිග ජනිත වූ දාර්ශනිකයන් අතර මුළු මහත් මානව වර්ගයාට පමණක් නොව, සත්ව වර්ගයාටද අති විශිෂ්ට සේවාවක් කළ ශ්‍රේෂ්ඨතම මිනිසා නම් දඹදිව රජ පවුලක උපත ලැබූ සිදුහත් ගෞතම නම් කුමාරයාය.

රජකම්, මැතිකම් ලබා ගැනීමෙන් හෝ සුවිසල් මන්දිර ගොඩනැගීමෙන් හෝ සුඛෝපභෝගී භාණ්ඩ හිමිකර ගැනීමෙන් හෝ මිනිසාගේ හදවත වෙලා ඇති දුක් ගිනි කිසිදා නිවාලිය නොහැකි බව තරුණ සිදුහත් කුමරා අත්දැකීමෙන් වටහා ගත්තේය. මෙතුමා රජකම හැරපියා වනගත වූයේ මිනිස් සිත දවන, දුක්ගිනි නිවන ක්‍රමයක් සොයනු පිණිසය.

වෙනත් දාර්ශනිකයන්ට මෙන් නොව සිදුහත් කුමාරයාට ඇති වූ ප්‍රධානතම ගැටළුව වූයේ මිනිසුන් හා සතුන් විඳින දුකයි. එතුමාට සමකාලීන චින්තකයන්ට මෙන්ම එතුමාට පසුකාලීන බටහිර දාර්ශනිකයන්ට ද ගැටළු මතු කළ විශ්වයේ ප්‍රභවය, සත්වයාගේ පරිණාමය, ආත්මයේ පැවැත්ම ආදී අධි භෞතික කරුණු පිළිබඳ මතවාද ඉදිරිපත් කිරීමෙන් මානව වර්ගයාට හෝ සත්ව වර්ගයාට අබමල් රේණුවක තරම්වත් සැපතක් නොලැබෙන බව දත් මේ මහා දාර්ශනිකයා තනිවම කල්පනා කළේ මිනිසුන් දුක් විඳින්නේ මන්ද කියාය.

කුඩා කල තමාගේ මිත්‍ර කුමාරවරුන් දඩකෙළි පිණිස ගොස් අහිංසක සතුන් විද මරනු දුටු සිදුහත් කුමරු මහත්සේ කම්පාවට පත් වූයේය. දයාව ජන්ම දායාදය කොට උපන් කුමරුට දඩයම මහත් අමිහිරි දසුනක් විය.

සතුන්ටත් මිනිසුන්ට මෙන්ම තම දුක, තම වේදනාව, කතා කර පැවසිය හැකි නම් මිනිසුන් කිසි දිනෙක සතුන්ට වධ නොදෙනු ඇත. සතුන්ගේ මරණ බිය, ඔවුන්ගේ හද පත්ලෙන් නගන වේදනාව මිනිසුන්ට නොදැනෙන්නේ මේ අසරණ සතුන්ට කතා කර තම දුක පැවසීමට නොහැකි නිසාය. සිදුහත් කුමරුට පසුව බිහි වූ ඇතැම් දාර්ශනිකයන් අතරත්, ඇතැම් ආගම් අතරත් සතුන්ට ආත්මයක් නැත, සතුන් මැරීම වරදක් නොවේ යන අදහස් ප්‍රචලිත වන්ට ඇත්තේද සතුන්ට කතා කළ නොහැකි වීම නිසාය.

මානව දයාව මෙන්ම සත්ව කරුණාවද ඉහළින්ම පිළිගෙන ඇත්තේ බුදු දහමේය. තරුණ සිදුහත් කුමරුට පසු කල විශ්වයේ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා වීමට ඇත්තෙන්ම මග පෑදුනේ එතුමා තුළ සහජයෙන්ම පිහිටි මේ මුදු මොළොක් කරුණා ගුණය නිසාමය. එතුමාගේ දර්ශනයේ මුල්ම ශික්ෂාපදය වූයේ පණ ඇති සතුන් කිසිදා නොමරමු යන අදහසයි.

මිනිසුන් හා සතුන් විඳින දුක දැක කලකිරී රජකම හැරපියා දුක නැති කරන ක්‍රමයක් සොයනු පිණිස වනගත වූ සිදුහත් කුමරු විදර්ශනා භාවනාවෙන් අති ශ්‍රේෂ්ඨ වූත්, අධි මානසික වූත් විද්‍යා ඥාන 3ක් ලබා ගත්තේය. බුද්ධියේ උපරිම තත්ත්වය වූ බුද්ධත්වය එතුමාට ලබාගත හැකි වූයේ භාවනාවෙන් දියුණුකර ගත් මේ අධිමානසික විද්‍යා ඥාන තුන (ත්‍රිවිද්‍යා) නිසාය.

භාවනාවෙන් පිරිසිදු වූ එතුමාගේ සිතට තමා පෙර සසර ගත කළ ජීවිත සිහියට නගා ගත හැකි විය (පුබ්බේ නිවාසානුස්සති ඥානය). මීළඟට මෙතුමාට අනෙකුත් සත්වයන්ගේ මරණය හා ඊළඟ ජන්මයන්හී ලබන උපත පිළිබඳ ඥානය ලබාගත හැකි විය. (චුතූපපාත ඥානය) මේ අති ශ්‍රේෂ්ඨ වූ ඥාන දර්ශන 2 නිසා සිදුහත් කුමරුට ලෝකයේ පරම සත්‍ය කුමක්ද යන්න පැහැදිලිවම අවබෝධ විය. මේ ලෝකයේ මමය මගේය කියා ආශාවෙන් අල්වා ගත හැකි කිසිදු දෙයක් නැති බවත්, ඇත්තේ ඉපදෙමින් දුක්වෙමින් මැරෙමින් ගත කරන දුක්ඛිත පංචස්කන්ධ රාශියක් බවත් වටහා ගත් එතුමාගේ සිතට සියලු කෙලෙසුන්ගෙන් මිදී ආසවක්ඛය ඥානය ලබා ගත හැකි විය.

අතිශයින්ම අධි මානසික වූ මේ විද්‍යා ඥාන 3 ලැබීමෙන් එතුමාට මිනිසුන්ගේ සසර ජීවිතයේ ඇතිවන අප්‍රමාණ වූ දුකත්, මේ දුකට හේතුවත්, මේ දුක කවදා හෝ නැති කළ හැකි බවත්, ඒ දුක නැති කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයත් හොඳින්ම අවබෝධ වී එතුමා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත් වූ සේක.

ලෝක සත්‍යය තේරුම් නොගැනීම නිසා මිනිසාගේ සිතේ රජයන අවිද්‍යාවත්, ආශාවත්, වෛරයත් නිසා මිනිසා විසින් රැස්කරන කර්ම රාශිය ඔහුගේ සසර ගමන දිගු කරන බව වටහා ගත් මෙතුමාණෝ, සීල සමාධි ප්‍රඥා වශයෙන් ප්‍රගුණ කළයුතු වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය, සසර දුක නැති කරන ඒකායන මාර්ගය බව තම ශ්‍රාවකයනට පහදා දුන්හ. මිනිසා යම් දිනක සත්‍යය අවබෝධ කර නිවන් ලබන තුරු ඔහු යන දිගු සසර ගමනේදී, ඔහු තමා අවට වෙසෙන අනෙකුත් මිනිසුන් හා සතුන් කෙරේ ක්‍රියා කරන අන්දම (කර්මය) ඔහුට ඇති වන තාවකාලික සැප සම්පත් හා වේදනාකාරී ප්‍රශ්න කෙරෙහි බලපාන අන්දම බුදුන් වහන්සේ සූත්‍ර දේශනාවලදී වරින් වර පැහැදිලි කර දුන් සේක.

නිරෝගිකම හා දීර්ඝායුෂ මිනිසාට ඉබේ ලැබෙන දායාදයක් හෝ දේව වරප්‍රසාදයක් හෝ නොවන බවත්, අසාධ්‍ය ලෙඩ හා අකල් මරණ ඉබේ අත්වෙන්නක් හෝ දේව දඬුවමක් නොවන බවත්, මිනිසාගේ සසර ගමනේ ඔහුගේ හරි වැරදි වැඩ අනුව ඇති වන ජන්ම දායාද බවත් එතුමාගේ ඉගැන්වීම්වල පැහැදිලි කර ඇත.