සෙංකඩගල දළදා මැදුරෙහි වැඩ සිටිනා වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේව දැකබලා වන්දනා කරන්නට උතුම් ලාභයක් නොබෝ දිනෙකින් අපට උදා වනවා. දිවමන් මුනිඳු වන් ව අපට සැපසුව සලසමින් වැඩවෙසෙනා ඒ උතුම් වාම ශ්‍රී දළදා වහන්සේට අපගේ නමස්කාරය වේවා! මේ සටහන් තැබෙන්නේ ඒ උතුම් දළදා පුවතයි!
පන්සාලිස් වසක් පුරා දෙව්මිනිස් ලෝකයා සසර දුකින් නිදහස් කරලීම පිණිස අමා දම් දෙසා වදහළ අපගේ ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් දින සතකට පසුව සඳුන් දර සෑයෙහි තථාගත ශී‍්‍ර දේහය දැවෙමින් තිබෙන විට තමන් වහන්සේගේ ඍද්ධි බලයෙන් ඒ චිතකයෙන් වාම ශී‍්‍ර දන්ත ධාතුන් වහන්සේනමක් රැගත් ඛේම මහරහතන් වහන්සේ කාලිංගයට වැඩම කරවලා, එකල කලිඟු රජු වුණ ‘බ‍්‍රහ්මදත්ත රජුව’ තිසරණයෙහි පිහිටුවලා පුද පූජා පැවැත්වීම පිණිස ධාතුන් වහන්සේව භාර කළා. රජතුමා ගරු සිත් පෙරටුව දළදා වහන්සේ උදෙසා මුතු මැණිකෙන් තැනවූ ආසනයක් සහිතව දඹදිව පළමු දළදා මැදුර ඉදි කළා.
කාලයක් ගත වෙනකොට කලිඟු රටේ ‘ගුහසීව’ කියන රජු රාජ්‍යය විචාළා. ඔහු මිසදිටු මත දැරූවෙක්. ඔහුගේ ඇමතිවරයෙක් අපමණ බුදුගුණ ගැනත්, දළදා වහන්සේගේ අසිරිය ගැනත් කළ වර්ණනාවක් අසා පැහැදුණු රජතුමා තිසරණයෙහි පිහිටලා දළදා වහන්සේට මහත් පුද සත්කාර දක්වන්න පටන් ගත්තා. එවිට කාලිංගයේ හිටපු තීර්ථකයන්ගේ සත්කාර පිරිහුණ නිසා ඔවුන් කෝපයෙන් යුතුව පැළලුප් නුවරට පළා ගියා. එහි රජකම් කළේ ‘පඬි’ නම් වූ බලගතු රජ කෙනෙක්. තීර්ථකයන්ගේ කේළාම් ඇසීමෙන් කෝප වුණ රජු චිත‍්‍රයාන නම් වූ සාමන්ත රජුට අණ කළා චතුරංගනී සේනාව රැගෙන ගොස් ගුහසීව රජුවත්, ඔහු බැතියෙන් පුද දෙන ‘මිනී ඇටයත්’ ගෙන එන්න කියලා.
චිත‍්‍රයාන රජතුමා කාලිංගයේ දන්තපුරය අසල කඳවුරු බැඳලා ගුහසීව රජුව මුණගැසෙන්න ගියා. එවෙලේ ගුහසීව රජු කළ බුදුගුණ වර්ණනා – දළදා වර්ණනා අහපු, විසිතුරු දළදා පූජාවන් දැකපු චිත‍්‍රයාන රජුත් තිසරණයේ පිහිටියා. ඉන්පසුවයි ඔහු පඬි රජුගේ නියෝගය දැනුම් දුන්නේ. බිය වන්නට කාරණයක් නොදුටු ගුහසීව රජතුමා දළදා වහන්සේ සමග ධාතු කරඬුව පැළලුප් නුවරට වැඩම කෙරුවේ මහත් වූ හරසර සහිත පෙරහරකින්. එහෙත් ඒ වනවිට තීර්ථක බස් අසා මහත් කෝපයෙන් සිටි පඬි රජතුමා දළදා වහන්සේව විනාශ කරන්නට සිතා, ගිනිගෙන දිලිසෙන ගිනි අඟුරු වළකට දළදා වහන්සේව දැමුවා. එහෙත්… සිදුවුණේ මහත් අසිරියක්! මහා ගිනි වළෙන් ඉහළට විහිදුන රිය සකක් වැනි වූ සොඳුරු නෙළුම් මලෙක කෙමියෙහි වැඩ හිඳිමින් ඒ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සුදු බුදුරැස් විහිදුවා වදාළා. නගර වැසියෝ එයින් පැහැදිලා දළදා වහන්සේව පුද දෙන්න පටන් ගත්තා.
දෙවන උපාය වුණේ කිණිහිරයක තියලා කුළු ගෙඩියෙන් ගසා පොඩි කිරීම. එහෙත්, වාම ශ්‍රී දළදා වහන්සේ කිණිහිරයෙහි ගිලී ගියා. සියලු දිශාවන් ඒකාලෝක කරවමින් නැඟුණු දාඨා ධාතු ප‍්‍රභාවන් අපමණ බුදුගුණයන් ගැන ජන සිත් පහදවාලූවා. එවිට තීර්ථකයන් කියා සිටියේ මේ විෂ්ණුගේ දස අවතාරයන්ගෙන් එකක් කියලයි.
පඬි රජුට මේ අරුමය සිතා ගන්නටවත් බෑ. ඒ නිසා ඔහු නියෝග කළා කිණිහිරයෙහි ගිලුණ දළදාව රැගෙන කැමති වස්තුවක් ගන්නට කියා. එහෙත් තීර්ථකයන්ට කවර ආකාරයකින්වත් දළදා වහන්සේව ගන්නට ලැබුණෙ නෑ.
ඒ මොහොතේ, ගෞතම සසුනේ අග‍්‍ර ගිහි උපස්ථායක වූ අනේපිඬු සිටුතුමාගේ මී මුණුබුරෙකු වුණ ‘සුභද්‍ර සිටු පුත‍්‍රයා’ සැදැහැ සිත් පෙරටුව අපමණ බුදුගුණ වර්ණනා කරමින් සත්‍යකි‍්‍රයා කළා. ඒ මොහොතේ දළදා වහන්සේ කිණිහිරයෙන් අහසට පැන නැඟී, නැවත සිටු පුතුගේ සිරසට වැඩම කරමින් බුදුරැස් විහිදුවන්නට පටන් ගත්තා. එවිට තීර්ථකයන් කියා සිටියා මෙය සිටු පුතු මන්ත‍්‍ර බලයෙන් කළ දෙයක් බව. රජු දෙගිඩියාවකට පත්වුණා. ඒ නිසා ඔහු කළේ වෙනත් පෙළහරක් දක්වන්න කියා දළදා වහන්සේගෙන් අයැද සිටීම.
එවිට දළදා වහන්සේ සුවඳ දිය පිරුණ රන් පාත‍්‍රයකට වැඩම කොට වදාළා. සම්බුදු ශ්‍රී මුව මඬල නම් වූ අමදම් විලේ රාජ හංසයෙකු සේ වැඩ හුන් ඒ උත්තම දළදා වහන්සේ සුවඳ දිය මත ස්වර්ණ හංස රාජයෙකු සේ පිහිනා පෙළහර පාන්නට වුණා. ජනී ජනයාගේ සාදු නාදය දසත පැතිරුණා. එහෙත්, පඬි රජතුමා තවමත් සිටින්නේ සැකයෙන්. ඒ නිසයි වීදිය මැද මහා වළක් කප්පවලා, දළදා වහන්සේව එහි දම්මවලා, පස් පුරවලා, අලි ඇතුන් ලවා පෑගෙව්වේ. ඡද්දන්ත හස්තිරාජයන් කෝටි ප‍්‍රකෝටි ගණනකගේ බලය, සවිය ඉක්මවන සවිබල තිබූ දසබලයාණන් වහන්සේගේ වාම ශ්‍රී දළදා වහන්සේ එවෙලේ මහ පොළව පළාගෙන පැන නැඟුණ නෙළුම් මලෙක විරාජමානව වැඩ වෙසෙමින් සුදු බුදු රැස් විහිදුවාලූවා.
ඒ පෙළහර බලාවත් පඬි රජු දැමුණේ නැහැ. සිව්වන වතාවේ දළදා වහන්සේව මළ මුත‍්‍රාදියෙන් පිරී ගිය අපිරිසිදු දිය අගලකට විසි කරනු ලැබුවා. සැණෙකින් එය පස් පියුමින් සුසැදුණ, ස්වර්ණ හංස රාජයන් සරණ, බිඟු නද නැඟෙන දෙව් පොකුණක සිරියෙන් දිලෙන්නට වුණා.
මේ සියලු ඓශ්චර්යයන් බලා සිටි ඇමතිවරු දළදා වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන තිසරණයෙහි පිහිටන ලෙස පඬි රජුට ආයාචනා කළා. එවිටයි රජු මිසදිටුවෙන් මිදී ගත්තේ. රජුගේ අණ අනුව දළදා වහන්සේව වැඩම කරවන්නට දිය අගල වෙත ගිය ප‍්‍රධාන ඇමතිවරයා රජු තිසරණයෙහි පිහිටි ආකාරය පවසා රජගෙයට වැඩම කරවන්න කියා දළදා වහන්සේට ඇරයුම් කළා. ඒ මොහොතේ දළදා වහන්සේ නෙළුම් මලෙන් නෙළුම් මලට වැඩම කරවමින් ප‍්‍රධාන ඇමතිවරයාගේ කරතලය මත වැඩ හිඳ සුදු බුදුරැසින් හාත්පස ආලෝකවත් කරන්නට වුණා. රජු ඒ බව අහලා වහා එතැනට ඇවිත්, තමන් කළ සියලු නොමනාකම්වලට සමාව ඉල්ලා රාජකීය ඔටුන්න මතට වැඩම කරවන ලෙස දළදා වහන්සේට ආරාධනා කළා. දළදා වහන්සේ බුද්ධ ප‍්‍රභාවන් නිකුත් කරමින් රජුගේ ඔටුන්න මතට වැඩම කළා.
පඬි රජු විසින් දඹදිව දෙවන දළදා මැඳුර රනින්, මැණිකෙන් කරවා දළදා වහන්සේව රාජ්‍යයෙනුත් පුද දුන්නා. දළදා වහන්සේව පැහැර ගන්න උත්සාහ කළ ඛීරධාර රජුවත් පැරදෙව්වා. ඔහු දසරාජ ධර්මයෙන් රට පාලනය කළා. අවසන රාජ්‍යය පුතුටත්, දළදා වහන්සේව ගුහසීව රජුටත් බාර දුන්නා.
ගුහසීව රජු නැවත කලිඟු රටට ඇවිත් දළදා පූජාවන් පවත්වන්නට යෙදුණා. ඔය අතරෙ කොසඹෑ නුවර උදේනි රජපුත් වූ දන්ත කුමරුවන් දළදා වහන්සේ කෙරෙහි පැහැදුණු සිතින් යුතුව කලිඟු රටට පැමිණියා. ඔහු රජු පහදවාගෙන දළදා වහන්සේට නොයෙකුත් පුද සත්කාර කරමින් කල් ගෙව්වා. රජු දන්ත කුමරු ගැන සියලු පුවත් දැනගෙන රාජකීය වූ තම පවුලට ම ගැළපෙන ඔහු හට සිය දියණිය වූ හේමමාලා කුමරිය විවාහ කර දුන්නා. ධාතු රක්ඛකාධිකාරී තනතුරත් භාර දුන්නා.
ඛීරධාර රජුගේ බෑණා මෙවර ගුහසීව රජු හා සටනට ආවේ දළදා වහන්සේගේ අයිතිය වෙනුවෙනුයි. තම දිවි ගියත් දළදා වහන්සේ අනෙකෙකුට ලබා දෙන්න අකැමැති වුණ ගුහසීව රජු එකල සදහම් ඓශ්චර්යයෙන් ශෝභමානව තිබුණ ලක්දිව රජකම් කළ සිය හිතමිතුරු මහසෙන් රජුට දළදා වහන්සේව භාර දෙන්නට දන්ත – හේමමාලා යුවළට උපදෙස් දී යුද්ධයට ගියා. එයින් ගුහසීව රජු පැරදුණා.
රජු පැරදුණ බව දැනගත් දන්ත – හේමමාලා දෙදෙනා බමුණු වෙස්ගෙන, දුරු කතර ගෙවාගෙන, ලක්දිව ගමනට පිටත් වුණා. දළදා වහන්සේට අනතුරක් වෙයි කියන සැකය නිසා ඔවුන් බොහොම ප්‍රවේශමෙන් තමයි මේ ගමනේ යෙදුණේ. දෙදෙනා ගං තෙරකට ඇවිත් වැලි තලයේ වැලි සෑයක් තනා දළදා වහන්සේව එහි සඟවාගෙන වාසය කළා. වැල්ල ඉක්මවා පැතිරුණ සුදු බුදුරැස් දැකලා සෘද්ධියෙන් අහසින් වැඩම කරමින් සිටි රහතන් වහන්සේනමක් දෙදෙනා සමීපයට වැඩම කළා. සියලු කරුණු විමසා දැනගත් උන්වහන්සේ දළදාව රැගෙන යන මේ ගමනේ යම් උවදුරක් ගැහැටක් වුවහොත් තමන් වහන්සේව සිහිපත් කරන්න කියා උපදෙස් දී නොබියව ගමන පිටත් වන්නට අවවාද කළා.
දන්ත කුමරුත්, හේමමාලා කුමරියත් ලක්දිව කරා යන නැවක් බලාපොරොත්තුවෙන් තාම‍්‍රලිප්ත නම් නැව්තොටට ආවා. මේ මොහොතේ රැස් විහිදුවන දළදා කරඬුව දැකපු පණ්ඩුහර කියන නා රජු ඉමහත් සතුටින් දළදා වහන්සේ සහිත කරඬුව ගිල දමා, නාග භවනයට රැගෙන ගිහින් පූජා පවත්වන්නට වුණා.
ඒ මොහොතේ රාජකීය යුවළ අර රහතන් වහන්සේව සිහිපත් කරලා උපකාර ඉල්ලා සිටියා. ගුරුළු වෙසක් ගෙන නා රජුව දමනය කරලා සම්බුද්ධ ශාසනය පිහිටන ලක්දිව කරා ගෙන යන්නට දළදා වහන්සේ නැවත ඉල්ලා ගත් ඒ රහතන් වහන්සේ සධාතුක කරඬුව දන්ත – හේමමාලා යුවළට යළි භාර කළා.
එවිටයි හේමමාලා කුමරියගේ කෙස් කළඹේ සඟවා ගත් දළදා වහන්සේ සමඟ ඔවුන් නැව් නැංගේ. නාගයින්ගේ සියලු බාධා කිරීම් මහරහත් අනුහසින් මැඩපැවැත්වූ නිසාවෙන් ඔවුන් එක් දිනෙකින් ම ලක්දිව ‘මහාතිත්ථ’ තොටුපළට ගොඩ බැස්සා. ඔවුන්ට එහි දී දැන ගන්නට ලැබුණෙ මහසෙන් නිරිඳු අභාවයට පත් වුණ බවයි. කම්පා වුණ ඔවුන් දෙදෙනා මහසෙන් රජුගේ පුත් කිත්සිරි මේඝවර්ණයන් තිසරණයෙහි පිහිටා ලක්දිව දැහැමිව රජකම් කරන බව අසා යළි සතුටට පත් වුණා. දෙදෙනා දුරු කතර ගෙවා වන්නිමාවේ (අද වවුනියාව) මේඝගිරි විහාරයට ඇවිදින් ආර්ය සංඝරත්නයට දළදා වහන්සේව භාර දුන්නා.
මේ බව කන වැකුණු සැණින් කිත්සිරිමෙවන් රජු යස ඉසුරු ලැබූවෙකු ආකාරයෙන් දළදා වන්දනාවට පැමිණියා. ‘මේ අපගේ ශාස්තෘන් වහන්සේගේ දළදා වහන්සේ ම නම් මහා පෙළහර පෑ යුතු වන්නේ ය’ කියලා රජු හිතනවත් සමඟ ම දළදා වහන්සේ ලක්දිව දාඨා ප‍්‍රභාවෙන් ඒකාලෝක කරමින් පෙළහර පාන්නට වුණා.
එවර රජු ඉමහත් සතුටින් දළදා වහන්සේව ලංකා රාජ්‍යයෙන් පුද දුන්නා. එදා පටන් ලංකා රාජ වංශයේ අවසානය දක්වා ම දළදා වහන්සේගේ හිමිකරුවා තමයි රටේ පාලකයා බවට පත් වුණේ.
මේ සා පෙළහර පෑ අන් සර්වඥ ධාතූන් වහන්සේනමක් පිළිබඳ ධාතු වංශකථාවේ අප අසා නෑ. දිවමන් මුනිඳු දක්නා සේ ඒ උතුම් වාම ශී‍්‍ර දළදා වහන්සේ ව දැක වන්දනා කොට පිනැත්තෝ පින් පුරා ගනිත්වා!
සටහන – උදුලා පද්මාවතී.
Recent Comments