දමනය වීම සැබැවින් ම ලෙහෙසි පහසු දෙයක් නොවුණ ද දමනය වීමෙන් ම පැමිණෙන දන්තභූමිය නම් අතිශය සුන්දර ය. එය අපට යාන්තමින් හෝ දැනගත හැකි වන්නේ පුද්ගලයෙකු ව පරිපූර්ණව දමනයට පත් කරවන උතුම් සම්බුදු සිරි සදහම් තුළ ම සඳහන් වන, සදා දැමුණු චරිත දෙස නෙත් විදහා බලන කල ය. දමනය නොවූවන් දමනය කිරීමෙහිලා අප භාග්‍යවතුන් වහන්සේ දැක්වූ කුසලතාවය අතිශය විශ්මය දනවයි. එනිසා ම උන්වහන්සේට ‘අනුත්තරෝ පුරිසදම්මසාරථී’ හෙවත් ‘පුද්ගලයන් දමනය කරන්නන් අතර ශ්‍රේෂ්ඨ ම කෙනා’ යැයි කියනු ලැබේ. ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් භාවිත කළ වැඩපිළිවෙළ ද අතිශයින් විස්මිත ය. එදහමින් සදා දමනය වූ නිකෙලෙස් උතුමන්ගේ චරිත ද එලෙසින් ම විස්මිත ය.
දිනක් භාග්‍යවතුන් වහන්සේ ම, පුද්ගලයෙක් දමනය වීම පිණිස පවතින ඒ සොඳුරු වැඩපිළිවෙළ වනයේ වෙසෙන හස්තියෙකු ගෙනවිත් දමනය කරනා අයුරට උපමා කොට මෙලෙස වදාළ සේක.
“පින්වත් අග්ගිවෙස්සන, ඒක හරියට මේ වගේ. දවසක් රජ කෙනෙක් ඇතුන් අල්ලන මිනිසා අමතා මෙහෙම කියනවා. ‘යහළු ඇතුන් අල්ලන තැනැත්ත, ඔබ රාජකීය හස්තියා පිට නැඟලා ඇතුන් වෙසෙන වනයට යන්න. ගිහින් වනයේ සිටින ඇතෙකු සොයාගෙන, ඌව රාජකීය හස්තියාගේ බෙල්ලේ ගැට ගහන්න. ඊටපස්සේ ඌව මෙහෙට අරගෙන එන්න.’ ‘එහෙමයි දේවයන් වහන්ස.’ කියලා ඇතුන් අල්ලන මනුස්සයා රාජකීය හස්තියගේ පිටේ නැඟලා වනයට ගිහින්, හොඳ ඇතෙක් හොයාගෙන, රජුගේ ඇතාගේ බෙල්ලට තියලා හොඳින් ගැටගහනවා. ඊටපස්සේ ඌව නගරයට අරගෙන එනවා. අග්ගිවෙස්සන, එපමණකිනුත් කැලෑ ඇතා එළිමහනට ආවා වෙනවා. හැබැයි අග්ගිවෙස්සන, තාම ඒ ඇතාගේ හිත බැඳිලා තියෙන්නේ නම් කලින් හිටපු කැලයට ම යි.
ඊටපස්සේ රජතුමා ඇත්තු දමනය කරන මිනිසාට කතා කළා. ‘යහළු ඇතුන් දමනය කරන තැනැත්ත, දැන් ඔබේ මේ කැලෑ ඇතාගේ කැලෑ ගති නැති වීම සඳහා, කැලෑ සිතුවිලි නැති වීම සඳහා, කැලයේ වාසය කිරීම නිසා ඇති වූ කරදර, පීඩා, වෙහෙස දුරු වීම සඳහා, ගමේ සිත් අලවා වාසය කිරීම සඳහා, මිනිසුන් කැමති ගතිගුණවල පිහිටුවීම සඳහා මේ ඇතා ව හොඳින් දමනය කරන්න.’ ‘එහෙමයි දේවයන් වහන්ස.’ කියලා ඇතුන් දමනය කරන මිනිසා රජුට පිළිතුරු දීලා, මහා විශාල කණුවක් අරගෙන පොළොව ගැඹුරට හාරලා, ඒ කණුව පොළොවේ හිටවනවා. ඊටපස්සේ කැලෙන් ගෙනාපු ඇතාගෙ බෙල්ල අර කණුවට තියලා හොඳට තද කරලා බඳිනවා. ඊටපස්සේ ඇතාට බොහෝම මිහිරි ආදරණීය වචනවලින් කතා කරන්න පටන් ගන්නවා. යම් දවසක ඒ මිහිරි ආදරණීය වචනවලට ඇතා කන් යොමු කරනවා ද එතකොට ඇතුන් දමනය කරන මිනිසා ඇතා ළඟට තණකොළත්, වතුරත් කිට්ටු කරනවා. යම් දවසක ඒ තණකොළත්, වතුරත් ඇතා පිළිගන්නවා ද එතකොට ඇතුන් දමනය කරන මිනිසාට මෙහෙම හිතෙනවා. ‘හරි… දැන් මේ කැලෙන් ගෙනාපු ඇතා ජීවත් වෙනවා.’ කියලා.
ඇතුන් දමනය කරන මිනිසා තවදුරටත් ඌව හික්මවනවා. ඇතාට යමක් පෙන්නලා ‘මේක ඔසවපන්.’ කියනවා. ‘දැන් බිමින් තියපං.’ කියනවා. යම් දවසක ඒ වචනවලට කීකරුව ඒවා කරනවා ද ඊටපස්සේ ඇතාට කියනවා ‘ඉස්සරහට පලයං.’ කියලා. ‘දැන් පස්සට වරෙං.’ කියලා. යම් දවසක ඇතා ඒ විදිහට ම කරනවා ද ඊටපස්සේ හික්මනවා ‘දැන් නැගිටපං.’ ‘දැන් වාඩිවෙයං.’ කියලා. යම් දවසක ඒ කියන විදිහට ම කරනවා ද ඇතුන් දමනය කරන මිනිසා ඒ ඇතාට අන්තිම පුහුණුව වන ‘ආනෙඤ්ජ’ නම් පුහුණුව දෙනවා. මේ පුහුණුවේ දී මහා විශාල ඵලකයක් ඇතාගේ හොඬේ බඳිනවා. හෙණ්ඩුවක් අතින් අරගත්තු මිනිහෙක් ඇතාගේ බෙල්ලට නගිනවා. ඇතාගේ වටේ ම හෙණ්ඩු අරගත්තු මිනිස්සු හිටගන්නවා. ඇතුන් දමනය කරන මිනිසාත් දිග මිටක් තියෙන හෙණ්ඩුවක් අතින් අරගෙන ඉස්සරහින් හිටගන්නවා. මේ පුහුණුවේ දී ඇතාට කිසිම හේතුවක් නිසාවත් ඉස්සරහා කකුල් හොලවන්න බෑ. පිටුපස කකුල් හොලවන්නත් බෑ. ඉදිරි කය හොලවන්නත් බෑ. පසුකය හොලවන්නත් බෑ. ඔළුව හොලවන්නත් බෑ. කන් හොලවන්නත් බෑ. දළ දෙක හොලවන්නත් බෑ. නගුට හොලවන්නත් බෑ. හොඬය හොලවන්නත් බෑ. දැන් ඇතාට වටේ ම ඉඳලා මිනිස්සු ගහන ආයුධ පහරවල් ඉවසන්න වෙනවා. කඩු පහරවල්, ඊතල පහරවල්, පරසතුරු පහරවල් ඉවසන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි. කන් බිහිරි වෙන තරමින් බෙර ගහන්න පටන් ගන්නවා. සක් පිඹින්න පටන් ගන්නවා.
ඒවත් ඉවසන්න වෙනවා. මේ විදිහට මේ හැම දෙයක් ම ඉවසන්න පුරුදු වුණා ම, සියලු වංක ගති, ඇදකුද, දොස්, කහට ඇතාගෙන් දුරු වුණා ම, ඒ ඇතා රජුට ම සුදුසු වූ, රජතුමාගේ පරිහරණයට සුදුසු වූ, රජ්ජුරුවන්ගේ ම අංගයක් කියන තත්ත්වයට පත් වෙනවා. ඊටපස්සේ ඒ ඇතාට ‘රාජකීය මංගල හස්තිරාජයා’ කියන නම වැටෙනවා.
ඔය විදිහමයි අග්ගිවෙස්සන, සියලු සම්බුදු ගුණයන්ගෙන් යුක්ත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් ලෝකයේ පහළ වෙලා මුල, මැද, අග සුන්දර වූ, පිරිසිදු, පිරිපුන් නිවන් මග ගැන කියවෙන ධර්මය දේශනා කරන්න පටන් ගන්නවා. එතකොට එක්තරා කුලපුත්‍රයෙකුට මේ ධර්මය අහන්න ලැබෙනවා. ඔහුට මෙහෙම හිතෙනවා. ‘මේ ගිහි ගෙදර වාසය කිරීම නම් ඉතාම කරදර සහිතයි. මේක නම් කෙලෙස් උපදින මගක් තමයි. හැබැයි පැවිද්ද නම් අහස වගෙයි. හරිම නිදහස්. මේ ගෙදර ඉඳලා නම් පිරිසිදුව නිවන් මගේ හැසිරෙන එක ලේසි දෙයක් නෙවෙයි. ඒ නිසා මමත් කෙස්රැවුල් බාලා, කසාවත් පොරොවාගෙන, ගෙවල් දොරවල් අතහැරලා මේ සසුනේ පැවිදි වෙන්න ඕනේ.’ කියලා පස්සේ කාලෙක ඔහු සියලු භවභෝග සම්පත්, ඥාති පිරිවර අතහැරලා පැවිදි වෙනවා. අග්ගිවෙස්සන, එපමණකිනුත් ඔහු එළිමහනට ආවා වෙනවා. හරියට ඇතා කැලෙන් එළියට ආවා වගෙයි. හැබැයි අග්ගිවෙස්සන, සියලු දෙවි මිනිසුන්ගේ හිත් බැඳිලා ගිහින් තියෙන්නේ මේ පංචකාම ගුණයන්ට ම යි. ඇතාගේ හිත කැලේට බැඳිලා තිබුණා වගෙයි.
දැන් තථාගතයන් වහන්සේ ඔහුව තවදුරටත් හික්මවනවා. ‘පින්වත් භික්ෂුව, දැන් ඔබ මෙහෙ එන්න. දැන් ඔබ සිල්වත් වෙන්න. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වෙන්න. ඇවතුම් පැවතුම් හොඳින් සංවර කරගන්න. කුඩා වරදෙහි පවා භය දකිමින් වාසය කරන්න. සමාදන් වුණ සිල්පදවල හොඳින් හික්මෙන්න.’ කියලා. යම් දවසක ඒ භික්ෂුව සිල්වත් වෙනවා ද ඊටපස්සේ තථාගතයන් වහන්සේ ඔහුව තවදුරටත් හික්මවනවා. ‘දැන් ඔබ මේ ඇස්, කන් ආදී ඉඳුරන් හොඳින් සංවර කරගෙන ඉන්නේ ඒවායින් නිමිති, අනුනිමිති අරගෙන පස්සේ හිත තුළ අර්බුධ ඇතිවෙන්නේ නැති වෙන්න. පාපී අකුසල් පස්සෙන් පන්නාගෙන එන්නේ නැති වෙන්න.’ කියලා. යම් දවසක ඒ භික්ෂුව ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා ද තථාගතයන් වහන්සේ ඔහුව තවදුරටත් හික්මවනවා. ‘දැන් භික්ෂුව, ඔබ අවධානයෙන් යුක්තව ම දානය වළඳන්න. නුවණින් විමසමින් ම ආහාර ගන්න.’ කියලා.
ඒ භික්ෂුව සිහිනුවණින් දන් වළඳන්න යම් දවසක පුරුදු වෙනව ද තථාගතයන් වහන්සේ ඔහු ව තවදුරටත් හික්මවනවා. ‘භික්ෂුව, දැන් ඔබ නිදිවරාගෙන භාවනා කරන්න ඕනෙ. දහවලත්, රාත්‍රී පළමු හා පශ්චිම යාමවලත් සක්මන් කරමිනුත් – වාඩි වී භාවනා කරමිනුත් නීවරණවලින් සිත පිරිසිදු කරගන්න.’ කියලා. අග්ගිවෙස්සන, යම් දවසක ඒ භික්ෂුව නිදිවැරීම පුරුදු වෙනව ද තථාගතයන් වහන්සේ ඔහුව තවදුරටත් හික්මවනවා. ‘භික්ෂුව, දැන් ඔබ හැම දෙයක් ම කරනකොට හොඳ සිහිනුවණින් කරන්න පුරුදු වෙන්න.’ කියලා. එතකොට ඒ භික්ෂුව යම් දවසක සිහිනුවණින් හැමදේම කරන්න පුරුදු වෙනව ද ඊළඟට තථාගතයන් වහන්සේ ඔහුව තවදුරටත් හික්මවනවා. ‘භික්ෂුව, දැන් ඔබ භාවනාවට යෝග්‍ය වූ හුදෙකලා සේනාසන පරිහරණය කරන්න පුරුදු වෙන්න. පිණ්ඩපාතයෙන් පස්සේ හොඳට කය ඍජු කරගෙන පළඟක් බැඳගෙන වාඩි වෙලා තමන්ගේ ලෝකයේ තිබෙන ලෝභය, ද්වේෂය, නිදිමත හා අලස බව, සිතේ විසිරීම හා පසුතැවීම, සැකය යන මේවාගෙන් සිත පිරිසිදු කරගන්න.’ කියලා. ඉතින් ඔහු සිත කිලුටු කරන, ප්‍රඥාව දුර්වල කරන මේ පංච නීවරණ ප්‍රහාණය කරලා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨානයෙන් යුතුව වාසය කරනවා. ඒක හරියට ඇතාව අර විශාල කණුවේ ගැටගැහුවා වගෙයි. අන්න ඒ විදියට ම භික්ෂුවගේ හිත ගැටගහන කණුව තමයි සතර සතිපට්ඨානය. එහෙම කරන්නේ ගිහි ගෙදරට පුරුදු වෙච්ච ගතිගුණ දමනය කරන්නයි. ගිහි ගෙදරට ආශා කරන සිතුවිලි දමනය කරන්නයි. ගිහි සිතුවිලිවලින් ඇති වූ කරදර, පීඩා, වෙහෙස දමනය කරන්නයි. ආර්ය සත්‍යාවබෝධය ඇති කරවා දෙන්නයි.
නිවන අවබෝධ කරවන්නයි. ඊටපස්සේ තථාගතයන් වහන්සේ ඔහුව තවදුරටත් හික්මවනවා. ‘භික්ෂුව, දැන් ඔබ සතර සතිපට්ඨානයෙන් ම වාසය කරන්න. කාම අරමුණු ගැන බැඳුණු සිතිවිලි හිත හිතා ඉන්න එපා!’ කියලා.
එතකොට ඒ භික්ෂුව පළමුවෙනි, දෙවෙනි, තුන්වෙනි, සතරවෙනි කියන ධ්‍යාන සතර උපදවා ගන්නවා. ඔය විදිහට සිත සමාධිගත වෙලා පිරිසිදුව බබළනකොට, මෘදු
වුණා ම, අවබෝධයට සුදුසු වුණා ම, නොසෙල්වී තියෙනකොට තමන් කලින් ගත කරපු ජීවිත ගැන දකින නුවණ ලබා ගන්න සිත යොමු කරනවා. එතකොට කලින් ගෙවපු ජීවිත ගැන නොයෙක් විදියට සිහි කරනවා. ඊළඟට සත්වයන් කර්මානුරූපව මැරෙන – උපදින නුවණ ලබාගන්න සිත යොමු කරනවා. එතකොට කර්මානුරූපව සුගති, දුගතිවල සත්වයන් උපදින හැටි දකිනවා.
ඊළඟට කෙලෙස් දුරු කළ බව දන්නා නුවණ ලබා ගන්න සිත යොමු කරනවා. එතකොට ඔහු මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා. කාම, භව, අවිජ්ජා කියන ආශ්‍රවලින් සිත නිදහස් වෙනවා. ‘සියලු දුකින් මම දැන් නිදහස්.’ කියන අවබෝධය ඇති වෙනවා. ‘ඉපදීම නැති වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දේ කළා. ආයේ කවදාවත් සසරට වැටෙන්නේ නෑ.’ කියලා දැනගන්නවා.
ඇතා අන්තිමේ දී හැමදේම ඉවසන්න පුරුදු වුණා වගේ, ඒ අරහත් භික්ෂුවත් සීතල, රස්නය, බඩගින්න, පිපාසය, මැසි – මදුරු පහස, අව් – සුළංවලින් ඇතිවන පීඩා, සර්පාදීන්ගෙන් ඇතිවන පීඩා, නපුරු – දරුණු වචන, ඉතා තියුණු – කටුක ප්‍රාණය නිරුද්ධ වන තරමේ මාරාන්තික ශාරීරික වේදනා පවා ඉවසන කෙනෙක් වෙනවා. සියලු රාග, ද්වේෂ, මෝහ දුරු කළ, සියලු කහට බැහැර කළ ඒ අරහත් භික්ෂුව ආහුණෙය්‍යයි, පාහුණෙය්‍යයි. දක්ඛිණෙය්‍යයි. අංජලිකරණීයයි. ලෝකයට උතුම් පින්කෙත වෙනවා.” අහෝ! ඒ දමනය කෙතරම් අසිරිමත් ද? ඒ උපමාව කෙතරම් අසිරිමත් ද? ඒ ඉවසීම කෙතරම් අසිරිමත් ද? එසේ නම් ඒ සදා දමනය වූ චරිත වන රහතන් වහන්සේලා කෙතරම් අසිරිමත් ඇති ද? ලොව දමනය කළ මහා මුනිඳාණන් ගැන කෙලෙස නම් සිතාගන්න ද?
ගුණයෙහි පිහිටා, අන්‍යයන් ගුණයෙහි පිහිටුවීම ලොව කොයි කලත් පැසසුම් ලබන දෙයකි. එහෙයින් එකරුණින් ද අප භාග්‍යවතුන් වහන්සේ පැසසුම් ලැබිය යුතු ය. ‘දන්තෝ සෝ භගවා දමථාය ධම්මං දේසේති’ – භාග්‍යවතුන් වහන්සේ තමන් දමනය වී, අන් අයට ද දමනය වීම පිණිස දහම් දෙසයි. එනිසා අන් කවරෙකුටත් වඩා ඒ දමනය භාග්‍යවතුන් වහන්සේ තුළ විද්‍යමාන වී ය. භාග්‍යවතුන් වහන්සේ දන්තභූමියට පත් වූ නිසා ම ය, සීතල හිම වැටෙන රැයේ ගව කුරවලින් රළු වූ බිමෙහි සඟල සිවුර එළා කිසිදු ආවරණයකින් තොරව සීතල ඉවසමින් සුවසේ සැතපුණේ. අහසින් යා හැකි ඉර්ධිබල තිබිය දී ගිනියම් අව්වේ රස්නය ඉවසමින් ලෝසත කෙරෙහි මහා කරුණාවෙන් පා ගමනින් ම යොදුන් සිය ගණන් චාරිකා කළේ. කසීභාරද්වාජ, අග්ගිකභාරද්වාජ ආදී අයට ජීවිතාවබෝධය ලබාදීම පිණිස කුසගිනි වේදනා ඉවසුවේ. ගිලන් බවින් මිරිකී පිරිනිවනට වඩින ගමනේ පැන් පොදක් රැගෙන නොයමින් පිපාසය ඉවසුවේ. මැසි – මදුරු පහස, අව් සුළං පීඩා ඉවසමින් පාරිල්‍යෙයක වනයේ වැඩ විසුවේ. අක්කෝසක භාරද්වාජලාගේ, අග්ගික භාරද්වාජලාගේ පරුෂ වදන් ඉවසුවේ. චිංචාව නිසා, සුන්දරිය නිසා ඇසුණු අවලාද වදන් ඉවසුවේ. අසත්පුරුෂ දේවදත්ත පෙරළුෑ ගලෙන් බිඳී ගිය ගල් පතුරෙන් වූ තියුණු තුවාල වේදනා ද්වේෂ මාත්‍රයකුදු නූපදවා මෙත් සිතින් ම ඉවසුවේ. ආයු සංස්කාර අත්හැරීමෙන් පසු ලේ අතීසාර රෝගයෙන් ඇතිවූ රෝග පීඩා හා මාරාන්තික ශාරීරික වේදනා ඉවසුවේ. සැබැවින් ම අප භාග්‍යවතුන් වහන්සේගේ දිවිසැරිය තුළට එබී බලන කල ‘දන්තභූමියට’ පත් වූ වග සක්සුදක් සේ පැහැදිලිව නොපෙනෙයි ද?
ඒ දන්තභූමියට පත් රහතුන්ගේ දිවිසැරිය ද දන්තභූමියේ සලකුණු මොනවට පෙන්වයි. එනිසා ම ය ධර්මසේනාධිපති සාරිපුත්තයන් වහන්සේ බ්‍රාහ්මණාගමික වූ තම මව්ගේ පරුෂ වදන් සිනහමුසු මුහුණින් යුතුව ඉවසුවේ. අඥාන බමුණෙකුගේ දරුණු වැලමිටි පහර, පසුපස හැරී බැලීම් මාත්‍රයකුදු නැතිව ඉවසුවේ. එක්තරා භික්ෂුවකගේ අභූත චෝදනා ඉවසුවේ. එනිසා ම ය අප ඉර්ධිබලධාරී මහා මොග්ගල්ලානයන් වහන්සේ ඇටකටු කුඩු වනතෙක් වැදුණු, සිරුර මස් වැදැල්ලක් බඳු වනතුරු වැදුණු මාරාන්තික පහරවල් ද්වේෂ මාත්‍රයකුදු නූපදවා ඉවසුවේ. මණිකාර කුළුපගතිස්ස මුනිඳුන් රන්කරු දුන් මාරාන්තික වධ වේදනා මෙත් සිතින් ඉවසුවේ. ලකුණ්ඨක භද්දිය මුනිඳුන් නිතර අනුන්ගෙන් ලැබුණු උසුළු විසුළු මෙත් සිතින් ඉවසුවේ. උපසේන මුනිඳුන් මාරාන්තික සර්ප විෂෙන් නිපන් වේදනා ඉවසුවේ. වේරංජාවෙහි වස් වැසූ මහා මුනිඳුන් ප්‍රමුඛ රහතුන් තුන් මසක් යව හාල් වතුරෙන් පොඟවා කොටා සාදාගත් අග්ගලා වලින් යැපෙමින් කුසගිනි වේදනා ඉවසුවේ. මේ ඒ රහතුන්ගේ ‘දන්තභූමියේ’ ලකුණු නොවේ ද? ඒ ‘දන්තභූමිය’ සැබැවින් ම අසිරිමත් නොවේ ද?
දන්තභූමියට සැපත්ව, දන්තභූමියට මග කියූ, ලොව දමනය කළ මහා මුනිඳුන් වූ භාග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!
දන්තභූමියට ලෝ සත පමුණුවාලන ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට අපගේ නමස්කාරය වේවා!
දන්තභූමියට සැපත්, සදා දැමුණු නිකෙලෙස් රහතන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා!
ඒ ‘සොඳුරු දන්තභූමිය’ අපට ද බොහෝ දුර නොවේවා!
(ඇසුර :- දන්තභූමි සූත්‍රය, ම. නි. 03, අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත ‘අච්ඡරිය මනුස්සෝ’ ග්‍රන්ථ රත්නය, ‘සොඳුරු හුදෙකලාව’ ග්‍රන්ථ රත්නය)
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.
Recent Comments