පින්වත් යොවුන් දූ දරුවනේ,
මේක අපි හැමෝම දැනගත යුතු කාරණාවක්. තරුණ කාලෙම කෙනෙක් දැන ගත්තොත් ‘හිත සතුටින් තියාගන්නේ මෙහෙමයි’ කියලා කොච්චර වාසනාවක් ද? ඒ උදෙසා ම යි අද මේ දහම් ලිපිය.
ඉතින් වෙනදා වගේම බොහොම සෙනෙහසින් සිහිපත් කරනවා “අවසානය තෙක්ම ඔබ මේ ලිපිය හා රැඳී ඉන්න. ඔබට සිත සතුටින් තියාගන්නේ කොහොමද? කියන ප්රශ්නයට පිළිතුර හමුවේවි!”
හිතේ සතුටක් නෑ…
බොහෝ දෙනෙක්ට “හිතේ සතුටක් නෑ” කියන ප්රශ්නෙ තියනවා. ඇතැමුන්ගේ හිතේ සතුට නැත්තේ තමන් ආශ්රය කරන පිරිස නිසා. සමහරුන්ට රස්සාවෙන් හිතේ සතුට නැතිවෙලා. තමන් දැන් ඉන්න තැනින් ඇතැම් කෙනෙක්ගේ හිතේ සතුට ඇති කරන්නේ නෑ. තව උදවිය ඉන්නවා බලාපොරොත්තුවෙන් හිටියේ අනාගතේ මෙහෙම තැනකට යන්නම් කියලා, නමුත් දැන් ඉන්නෙ වෙනම තැනක. ඉතින් ඒ නිසා හිතේ සතුට නැති වෙලා. මේ විදියට කතා කරනවා නම් කතා කරන්න පරාස ගොඩාක් තියෙනවා, හිතේ සතුට නැති වීම ගැන.
හිතේ සතුටක් නැති ඇසුරක්…
‘මට අසවල් කෙනා නිසා හිතේ සතුටක් නෑ, මට අසවල් පිරිස නිසා හිතේ සතුටක් නෑ’ කියන කල්පනාව ඇතැම් විට ඔයාලට ඇති. අපේ ජීවිතේ සතුට සැනසුම අපි තවත් බාහිර කෙනෙක් මත හෝ පිරිසක් මත තියලා නම්, ඇත්තෙන්ම ඒක මොනතරම් අනුවණකමක් ද?
හොඳට තේරුම් ගන්න මේ ලෝකේ කෝටි අටසියයක් විතර මිනිස්සු හිටියට අපි ඇසුරු කරන්නේ බොහොම පොඩි පිරිසක් කියලා. ඒ පොඩි පිරිසත් එක්ක අපිට සතුටින් ඉන්න බැරි වුණොත්, අපි මොනතරම් කැමති වුණත් හිතේ සතුටින් නම් ඉන්න ලැබෙන්නේ නෑ. එකට ඉන්න පිරිසත් එක්ක සතුටින් ඉන්න බැරි වෙන්න ප්රධාන වශයෙන් අපේ ම දුර්වලතා දෙකක් බලපානවා.
පළමුවෙනි දේ තමයි අගුණ දැකීම. මොනතරම් ගුණවන්තයෙක්ගේ වුණත් අගුණ පේන සොභාවයක් මේ හිතේ තියනවා. ඒ නිසා ම හොඳ මිනිස්සු පවා අපි පොඩි අඩුවක්, අගුණයක් මුල් කරගෙන බැහැර කරනවා. ඉතින් ඔබ ගුණ දකින්නත්, ගුණ සිහි කරන්නත් පුරුදු වෙන්න.
දෙවැනි දේ තමයි තමන්ට ඕන විදිහට ම අනිත් අය ඉන්න ඕන, කතාබස් කරන්න ඕන කියලා තමන් ආසා කරන, හැම දෙයින් ම සර්ව සම්පූර්ණ අය බලාපොරොත්තු වීම. අපිට පුළුවන් නම් එකිනෙකාගේ වෙනස්කම්වල දී ඒ ගැන උපේක්ෂාවෙන් බලන්න ඒක අපිට හරිම පහසුවක්.
මේ දෙනම මොකෝ මෙච්චර සමඟි…
එක කාලයක අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේත්, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් විවේකී වනගත සෙනසුනක පොඩි කුටි දෙකක වාසය කළා. එහි උන්වහන්සේලා දෙනම විතරමයි වැඩ හිටියේ. පොඩි දාන ශාලාවකුත්, විවේක ශාලාවකුත් තිබුණා.
දවසක් දහවල් කාලෙක දන් වළඳන වෙලාවේ හරියට ගෙයක් දොරක් නැතිකම නිසා ඉබාගාතේ ඇවිදින මනුස්සයෙක් ඔය පුංචි අසපුවට ගොඩ වුණා. දන් වළඳන වෙලාව නිසා අපගේ මහරහතන් වහන්සේලා මේ මනුස්සයාටත් අනුකම්පාවෙන් ආහාර ටිකක් දුන්නා. මොහු මේක අනුභව කරලා කල්පනා කළා ‘මට මෙතැන නැවතුණා නම් හොඳයි’ කියලා.
සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ඇහුවා “පින්වත් ස්වාමීනී, කරදරයක් නැත්නම් ඔබවහන්සේලා දෙනමට පොඩිවට උපස්ථානෙකුත් කරගෙන මාත් මෙහේ නවතින්ට ද? මං මේ යන එන මඟක් නැති කෙනෙක්.” කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ, අපේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේටත් මේ කාරණේ මතක් කරලා ඔහුට අවස්ථාවක් දුන්නා. “හා! කමෙක් නෑ උපාසක. ඔබ එහෙනම් ඔය පුළුවන් විදියේ දෙයක් කරගෙන ඉන්න. අපේ උපස්ථානෙට අමුතු කෙනෙක් ඕන නෑ. අපි ලැබෙන දේකින් යමක් ඔබටත් දෙන්නම්!”
ඔන්න ඒ පුද්ගලයා දැන් මෙතැන නැවතිලා සතියක් හමාරක් ගෙවුණා. මොහුට හිතෙනවා දවසක් ‘මේ දෙනම මහ පුදුම සමඟියක්නේ. හප්පේ! මෙහෙම සමඟියෙන් ඉන්න පුළුවන් ද මිනිස්සුන්ට. මේකෙ මොකක් හෝ දෙයක් තියෙන්න ඕන. මං මේක පරීක්සා කොරලා බලන්ට ඕන.’
ඔන්න මේ පුද්ගලයාට අන් අයගේ සමඟියක් වාවාගන්න බැරිව ගියා. දවසක් මේ පුද්ගලයා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ විවේකී කුටිය සමීපෙට ගිහින් උගුර පාදලා සංඥා කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කුටියෙන් එළියට වැඩියා. ඇහුවා “ඇයි උපාසක?” කියලා. මොහු කටත් උල් කරගෙන, ඇසුත් ලොකු කරගෙන, සාරිපුත්ත මහරතන් වහන්සේට මෙහෙම කිව්වා. “අනේ මං මේ ඔබවහන්සේට මේක කියන්නේ කොහොමද කියලා දවස් ගාණක් හිත හිතා ඉඳලයි මේ කියන්නේ. ඔබවහන්සේ වගේ සුන්දර කෙනෙකුට අවැඩක් වෙනවා බලාන ඉන්න මට බෑ. මං ඒක ම යි මේක කියන්න හිතුවේ.”
“කියන්න උපාසක මොකක්ද ඔතරම් වැදගත් දේ?”
“ස්වාමීනී, අර අනෙක් කුටියේ ඉන්න අනෙක් උන්වහන්සේ. හප්පේ! ඒ උන්වහන්සේ මා එක්ක කීවානේ ඔබවහන්සේ ගැන හරියට නෝක්කාඩු. ‘ඔබවහන්සේ ආඩම්බරයිලු. හිතට අරගෙනලු ඉන්නේ’ කියලා. මං ඒත් කිව්වා මට නං එහෙම මොකුත් තේරුණේ නෑ කියලා. එතකොටත් කීවා උපාසක බලන්ටකෝ තව ටික දවසක් ඉද්දි තේරේවි! කියලා. අනේ මං මේ ඔබවහන්සේට හිතවත්කොමට ම යි මේක කිව්වේ ඕං.”
ඉතින් සුන්දර සිතක් තිබුණ සාරිපුත්ත මහරහතන් වහන්සේ අනුකම්පාවෙන් මුව සරසාගෙන කිව්වා. “හා! හා! උපාසක දැන් විවේකයක් ගන්නකෝ ගිහින්.” කියලා.
ඔහු ඔය වගේම මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ළඟටත් ගිහින් මහා කථාවක් කිව්වා. එදා සවසම සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට කියනවා “ඇවැත්නි, මේ උපාසක දැන් මෙහි හිටියා ඇති වගේ කියලයි මට හිතෙන්නේ.” කියලා. මුගලන් මහරහතන් වහන්සේත් ඒක අනුමත කළා. ඉතින් එදා ම ඒ උපාසකට දෙනම වහන්සේලා කථා කරලා දැනුවත් කළා “උපාසක, ඔබ අපට උපස්ථාන කළාට ගොඩාක් පින්. නමුත් දැන් ඔබ මෙහි හිටියා ඇති. ඔබ හෙට ම පිටත් වෙන්න.” කියලා.
බලන්න ඒ මුනිවරුන්ගේ සුන්දරත්වය. අඩු තරමේ අසවලා මෙහෙම මෙහෙම කිව්වා කියලාවත් අනුන්ගේ ඇදකුදයක් කථා කළේ නෑ. ඔබට තේරෙනවා ඇති, සුන්දර පිරිසක් මැද වුණත්, අපි හිත්වලින් අසුන්දරයි නම් අපිට සතුටින් ඉන්න බෑ. ඒ නිසා පරිබාහිර සුන්දර කරගෙන සතුට හොයනවාට වඩා ඔබ සුන්දර සිතක් හදාගන්න. ඔබට නොනැසෙන සතුටක් ලැබේවි!
එයාලගේ සතුට ඇයි මට නැත්තේ?
බොහෝ දෙනෙක්ගේ හිත් ඔය කාරණේ දී නම් හරිම අසරණයි! අන් කෙනෙක්ගේ සතුටක්, දියුණුවක්, සාර්ථකත්වයක් දැකලා සතුටු වීමේ හැකියාව ගොඩ දෙනෙක්ට නෑ. ඒ වෙනුවට තියෙන්නේ ම අන් අයගේ සාර්ථකත්වයට හූල්ලන එක හෝ ඉරිසියා කරන එකමයි! එහෙමත් නැත්නම් තව කෙනෙක්ගෙ සාර්ථකත්වය දිහා බලාගෙන තමන්ට ශාප කරගන්න එකයි.
ඔබත් ඉන්නේ එතැන නම්, ඔබට සතුට හැමදාම පැතුමක් විතරක් ම වේවි! සතුටින් ඉන්ට නම් නොලැබේවි!
හොඳින් මතක තියාගන්න ඔබ සතුටින් ඉන්න කැමති නම් දැන් තියෙන දෙයින් සතුටු වීම පටන්ගත යුතුයි. දැන් ඔබ ලබලා තියෙන සාර්ථකත්වයන්, ඔබ ඉන්න තැන, ඔබට දැනට තියෙන වත්කම් මේ දේවලින් ඔබ අහිංසකව සතුටුවෙන කෙනෙක් වෙන්න. ඒ සතුට විඳිමින් තමයි දශමෙන් දශමේ හෝ ජීවිතේ තව දියුණු කරගන්න තියෙන්නේ.
දියුණු වුණ, සාර්ථක වුණ මිනිස්සු දකිද්දී හදවතින් ම සතුටු වෙන පුරුද්දක් ඔබ හදාගන්න. ඒකත් ඔබේ සතුටේ අංගයක්. මනුස්සයෙක්ගෙ දියුණුව, සාර්ථකත්වය දකිද්දී සතුටු වෙන හිත ගොඩාක් දියුණුයි. ඒ දියුණු හිත අපට පහසුව ඇති කරනවා.
අනුන්ගේ දියුණුවේ දී සතුටු වෙන හිතකින්, තමන්ට දැන් තියෙන දෙයින් සතුටු වෙමින්, සාර්ථකත්වයක් දියුණුවක් උදෙසා කැපවීමකින් කටයුතු කරන කෙනෙක්ට සතුටින් ම දියුණු වෙන්න පුළුවන් දවසක් එනවා.
ලංකාවේ ප්රවීණ කවි නිර්මාණකරුවෙකු වන රත්න ශ්රී විජේසූරිය ශූරීන්ගේ ගොලුබෙල්ලා සහ ළමයා කවි පන්තියේ මේ උදෙසා සුන්දර පාඩමක් උගන්වනවා. ඔබත් බලන්න ඒ පාඩම ඔබේ ජීවිතේට ගළපාගන්න පුළුවන් ද කියලා.
ඔන්න ළමයෙක් දකිනවා, පුංචි ගොලුබෙල්ලෙක් මලක්වත් නැති උස ගහක් මුදුනට හෙමි හෙමීට යන්න පටන් ගන්න හැටි. මේ පොඩි ළමයාට මේක හරිම ප්රහේළිකාවක් වෙනවා. ‘මෙතරම් පොඩි ගොලුබෙල්ලෙක් කොහොමද මේ විශාල ගහ මුදුනට යන්නේ?’ කියලා. මෙයා ගොලුබෙල්ලාගෙන් අහනවා.
ගොලුබෙල්ලෝ ගොලුබෙල්ලෝ – ඔහොම ගියාට පුළුවනිදෝ ගහ මුදුනට -යන්න ඔයාට?
එතකොට ගොලුබෙල්ලා කියනවා,
උසට උසේ ගහ හැදුණෙත් නෑ එක රෑට
ඇයි ළමයෝ තේරෙන්නේ නැද්ද ඔයාට
ඒක අහගෙන පොඩි ළමයා ගහ උඩ බැලුවා. මේ ගහේ කිසි මලක් පේන්න නෑනේ. ඒ නිසා ආයේ පොඩි ළමයා අහනවා,
කොළ විතරයි ගහ පුරාම – මල් නෑ පාට
වෙහෙස වෙලා මොකටද – ලස්සන නැති දේට?
එතකොට ගොලුබෙල්ලා මේ ළමයාට දෙනවා යම් උපදේශයක්,
එක දවසින් ලස්සන හිමි වෙනව ද කාට
දළඹු වෙසක් තිබුණා නේද සමනලයාට
එතකොට ළමයාටත් තියෙනවා තව කියන්න දෙයක්,
හීන් සැරේ ගාට ගාට ඔහොම ගියාට
හිස් අතින් ම එන්න වේවි බිමට ඔයාට
එතකොට ගොලුබෙල්ලා මේකෙ ලස්සනම කථාව පොඩි ළමයට කියා දුන්නා.
හිමින් හිමින් ගහ මුදුනට මා යන දාට
මල් පිපේවි! ගහ මුදුනේ ලස්සන පාට
ඉතින් අරගන්න මේ පණිවිඩ ඔක්කොම ඔයාලගෙ ජීවිතේට. අනාගත දියුණුවක් වෙනුවෙන් දල්වාගත් සිතකින් ඔබ දැන් තියන අඟලක තරම් පියවරක් පවා, ඔබ ඔබ ගැන ම සතුටු වෙමින්, දැනට ඔබ කරලා තියෙන දේවල් ගැන සතුටු වෙමින්, අනුන්ගේ දියුණුව ගැන හදවතින් සතුටු වෙමින්, එයට ආශීර්වාද කරමින් තබන්න. ඔබට හිතේ සතුටින් වාසය කරන්න එය මහත් සේ උපකාර වේවි!
හිත සතුටින් තියාගන්න මේ පිළිවෙළ විතරක් නොවේ තියෙන්නේ. නමුත් මෙයත් හිත සතුටින් තියාගන්න ඉතා ම සුන්දර පිළිවෙළක්. එය ගළපාගෙන ඔබත් සුවපත් වෙන්න.
තෙරුවන් සරණයි!
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.
Recent Comments